මහපාරේදී හමුවූ ගායකයා

හැම ජීවිතයක්ම කතාවක්. ගලා ගෙන යන කතාවක්. නැවතී නොනැවතී ගලායන කතාවක්. කතා ඇතුළේ කතාවක්. කතා පොකුරක්. මිනිස්සු කියන්නේ මිනිස්සුම තමයි. ඒත් කතා ඇතුළේ ඔවුන් විවිධයි. විෂමයි. අපූරුයි. මේ අහස යට හමුවුණු මිනිස්සු විවිධාකාරයි. ඒ විවිධත්වයම අපූර්වත්වය නොවේද?
රුක්මන් හසිත පෙරේරා. ඒ ඔහු තමා හඳුන්වා දුන් විදිය. අනන්‍යතාව ලෙස නම කී සැණින් සියල්ල අනන්‍ය වේද?
‘තාරුණ්‍යයේ හඬ. සුපර්ස්ටාර් වේදිකාවෙන් පෑයූ තරුව’ විවිධ කතා. වේදිකාව මත ඔහු හඳුන්වාදීමට පෙර රැුව් පිළිරැුව් දේ. ඒ අවසන නැවත ඇහෙන අනන්‍යතාව.
‘රුක්මන් හසිත.’
අපි ඉන්නේ හසිත ඉදිරිපිට. මූණට මූණ හමුවුණේ අද වුවත් හුරුයි, පුරුදුයි වගේ. ඒ ඔහු අපිව නොදන්නවා වුවද අපි ඔහුව දන්නා බැවින්. මේ ජනප‍්‍රිය වූ පසු ලැබෙන තුටුපඬුරක්. කොම්පඤ්ඤවීදියේ කෙනෙක් මේකට කියන්නේ පින කියලා. ඇත්තටම පිනද? අපි රුක්මන්ගෙන් ඇහුවා.

පින…ම්…ම්… පින කියමුකෝ.හසිත හීනියට උත්තර බැන්දා. මම උත්තර අවසන ප‍්‍රශ්න බැන්දා. මේක කතාබහක්. ඔහේ ගලා ගිය කතාබහක්.

ගම කොහේද?

බම්බලපිටිය තමයි උපන් ප්ලේස් එක. ඉස්කෝලේ ගියේ වැල්ලවත්තේ. අතරමග අධ්‍යාපනය නැවතුණු හින්දා මහමගට වැටුණද මන්දා. ඒත් එහෙම නැහැ. මොකද මම රස්සාවක් කළා. රස්සාව මට හරිගියේ නැහැ.

මොකක්ද කළේ? ඇයි හරි නොගියේ?

අලියා ගිනිපෙට්ටි ආයතනයේ වැඩ කළේ. එතනදි මට ලොකු අසාධාරණයක් වුණා. සාධාරණයක් ඉල්ලගෙන ලොක්කෝ ගාවට ගියාට සාධාරණයක් වුණේ නැහැ. මම හිතුවා කාගෙවත් යටතේ වැඩ කරන්නේ නැහැ කියලා. යාළුවෙක්ගේ තී‍්‍රවිලර් එකක් ඉල්ලගෙන පාරට බැස්සා. එදා ඉඳලා රස්සාව ත‍්‍රීවිලර් එලවන එක. කාටවත් යටත් නැහැ. නිදහස්. එකම අවුල තැනකට ගිහිල්ලා කිටබිට දාලා බැස්සාම මොකද්ද රස්සාව කියලා අහපුවාම ටිකක් ළතවෙන්න වෙන එක. ඒකත් කාලයක් යනකොට ගාණක් නැහැ. මම ත‍්‍රීවිලර්කාරයෙක්. ඇයි ලැජ්ජ වෙන්නේ.

ත‍්‍රීවිලර් රස්සාවට ඒ තරම් කැමතිද?

‘ඇත්තම කියනවා නම් කැමතියි. සමහර දවස්වලට රුපියල් තුන්දාහ හොයනවා. තුන්දාහ කියන්නේ අඩුම ගාණ. එතකොට මාසෙට බලන්න 3000, 30න් වැඩි කරලා. එතකොට අපේ දිහා හරි අප්සෙට් එකට වගේ බලන ඔය ෆුල්සූට් දාලා වැඩ කරන අය කීයද හොයන්නේ? මාසෙටම රුපියල් විසිපන්දාහයි. තිස්දාහයි. එතකොට මාර බෙදිල්ලක් නේද? අපි වැඩකට නැති අය. අර අය වැඩකට ඇති අය. ඇත්තටම ඒ කතාම වැඩකට නැහැ නේද?’

ඒ රුක්මන් හසිතගේ මුල් ජීවිතේ මුල් ඇදුණු විදිය. ඕනෑම මිනිහෙකුට ජීවිත දෙකක් තියෙන්න පුළුවන්. තුන හතරක් තියෙන්නෙ පුළුවන්. තියෙන්න බැරිද?

‘මගේ මුළු ජීවිතයම කනපිට ගහන්න ගතවුණේ කෙටි කාලයයි. ඒ සුපර්ස්ටාර්ස් ගමන. ඉල්ලූම්පත‍්‍රය දාලා තිබුණේ මගේ අක්කා. මම දන්නේවත් නැහැ. ඒ සීසන් ටූ. එතනදි හතළිස් අටදෙනාට ඇවිල්ලා කැපුණා. ඊළඟට තුන්වැනි වටයටත් අක්කා ඉල්ලූම්පත‍්‍රයක් දාලා තිබුණා. ඒකට ගිහිල්ලා අන්තිම දහදෙනාට එන්න පුළුවන් වුණා. ඒ ඇවිල්ලා දහවෙනියාට කැපුණා.’
අපි මේ අහන්නේ දහවෙනියාගේ කතාව. හැමෝම කතා කරන්නේ එක දෙක තුන. ඊට එහා කතාවක් නැහැ. ඒත් දහවෙනියට නෙමෙයි සියවෙනියටත් කතාවක් තියෙනවා. සමහර වෙලාවට පළමුවැනියාට එහා ගිය කතාවක්.

‘කොහොමහරි මගේ වෙලාවට සුපර්ස්ටාර්ස් තුන්වන වටයේ ජයග‍්‍රාහකයා අභිෂේක කරන දවසේ මගේ අලූත් සිංදුවක් එළියට එනවා. බැලූවාම ඒ තරගාවලියේ සුපර්ස්ටාර්ස් තෝරන්න ඉස්සරවෙලා මම සුපර්ස්ටාර්ස් වෙලා ඉවරයි. හිතාගන්න බැරි විදියට මම ජනප‍්‍රිය වුණා. මගේම කියලා සිංදු හතළිහක් විතර මේ වනවිට කියලා තියෙවා. ඒ හැම එකම හිට්වුණේ නැහැ. සිංදු හත අටක් උපරිම හිට් වුණා. අවුරුදු හතරක් පහක් ගතවුණත් ඒ ජනප‍්‍රියතාව තවම තියෙනවා. මාසයකට සංගීත ප‍්‍රසංග එකොළහක්, දොළහක් ලැබෙනවා. සමහර මාසවල විස්ස විසිපහ තියෙනවා. නොවැම්බර් මාසේ තමයි ටිකක් අඩුවෙන්නේ. ‘ෂෝ’ එකකට රුපියල් 25,000ක් ගන්නවා. ඉතින් දැන් ටිකක් ඔළුව උස්සගෙන ඉන්නවා.’

එතකොට දැන් ඔයා කවුද? මම නැවත ප‍්‍රශ්නයක් දැම්මා.

‘දැන් ගායකයෙක්. කිිටබිට ගහලා කොතැනකට ගියත් දැන් රස්සාව මොකක්ද කියලා කවුරුත් අහන්නේ නැහැ. තැනට බහිනකොටම ගායකයා කරලා ඉවරයි. ජීවිතේ හැටි. ඒ කාලේ ත‍්‍රීවිලර්කාරයා කියලා කියාගන්න බැරිව ළතවුණා. දැන් ගායකයා කියලා කියාගන්න බෑ. ඇයි දන්නවනේ.’ ඒ රුක්මන් හසිතගේ හැටි. කියනකොට කියාගෙනම යනවා. කතා නොකරන ත‍්‍රීවිලර්කාරයෝ නෑ කියනවානේ. ඒ අය කොහොමත් කතාකාරයෝ. නොදන්නා මොකා නැග්ගත් දන්න ගාණට කතාව. පුදුම සමාජශීලී රස්සාව. පාරක්, තොටක් ත‍්‍රීවිලර් රියැදුරකුගෙන් අහනවා තරම් ස්ථිරත්වයක් නැහැ. මේ දෙක දෙකකට බෙදන්න පුළුවන් පන්නරය රුක්මන් හසිතට ආවේ ත‍්‍රීවිලර් රස්සාව හින්දා කියලායි ඔහු කියන්නේ.

‘ගොඩාක් අය මට සුපර්ස්ටාර්ස් වෙන්න යනකොට කිව්වා ත‍්‍රීවිලර් එලවන එක කියන්න එපා එස්.එම්.එස් අඩුවෙයි කියලා. මට ගහන තරමක් ගැහැව්වේ ත‍්‍රීවිලර් අය. ස්ටෑන්ඞ් එකේදි එකාට එකා කපාගත්තාට අවංකව ප‍්‍රශ්නයක් ආවොත් ඔක්කොම බොක්ක. ඒක තමයි ඇත්ත.’

‘ඇයි ත‍්‍රීවිලර්කාරයෙක් කියන්න ලැජ්ජ වෙන්නේ. අපිට බයිලා කියන කවුරුත් කන්න අඳින්න දෙනවාද? මේ රස්සාව නම්බුප යි.’

දැන් ත‍්‍රීවිලර් රස්සාවට ආයුබෝවන් කියලාද?

‘ඔව්! දැන් මට වැඩ වැඞී. ගාමන්ට්වල දවල්ටත් ෂෝවලට යනවා. කාලය වෙනස් වෙනවා. දැන් මට හයර් දුවන්න බෑ. සංගීතවලට හයර් වැඩියි. ඉතින් ත‍්‍රීවිලරයට ආයුබෝවන් කියලා කාර් එකක් ගත්තා. කොම්පඤ්වීදියට බායි කියලා කඩවත පදිංචියට ආවා. පවුල් පන්සල් වෙලා දැන් දැහැමින් සෙමින් වැඬේ කරගෙන යනවා.’

සංගීතය ඇඟට ආවේ කොහොමද?

අයියාගෙන්. අයියා රන්ජන් සාලිය පෙරේරා. සංගීතය හදාරලා තියෙනවා. එයත් එක්ක පැදුරු පාටිවලට මම යනවා. ඒ කාලේ මට රුපියල් 2500-3000ක් විතර හම්බ වෙනවා. මුලින්ම හාපුරා කියලා සිංදුවක් කිව්වේ 1989 නුවරඑළියේදී. එතකොට මට අවුරුදු 12ක් විතර. ෆෝචූන්ස්ලා සෙල්ලම් කළේ. මායි අක්කායි එදා හින්දි සිංදුවක් කිව්වා. ඒක තමයි ආරම්භය. ඊට පස්සේ කිව්වේ නැහැ ප‍්‍රසිද්ධියේ කවදාවත්. කිව්වේ අපේ සමාගම ඇතුළේ බෝතලයක් ගහලා ආතල් එකක් ගන්න ගමන්.

අයියා සංගීතය හැදෑරුවා. රුක්මන්ට එහෙම අදහසක් නැද්ද?

අනේ නෑ මචෝ. මළාට හදාරන්නේ නැහැ. හදාරන්න ගියොත් මේ ටිකත් නැතිවෙයි. මට මේසයකට තාලයකට තට්ටුවක් දාන්නවත් බෑ. එහෙම දැනගන්න ඕනෑ කියලා එකකුත් නැහැනේ. පුළුවන් විදිහට කියනවා. අවුලක් නැහැ කියාගන්න පුළුවන්. ගොඩක් අය මාර හැදෑරිල්ලක් කරලා තියෙනවා කිව්වාට සජීවීව කියන්න බෑ. මම ඇති පදම් එහෙම අය දැන් දැකලා තියෙනවා. ඉතින් මේ යන විදිහ හොඳයි.

තවමත් බොනවාද?

ඇයි නැත්තේ. ගායකයෙක් වුණාම නවත්වන්න ඕනෑද? ඉස්සර ජෝතිපාල මහත්තයා, මිල්ටන් මහත්තයලා බොනවා කියන්න ඇඹරුණේ නැහැ. ඒකට දැන් අය හරි බයයි. මමත් දැන් මේ ෆීල්ඞ් එකේ තෙම්පරාදු වෙලා තියෙනවානේ. ඔය ගොඩක් අය කරටි කැඩෙන්න ගහනවා. අපි හොඳයි ඒ අයට වඩා. ඒ අය කරන්න තියෙන පිස්සු ඔක්කොම නටනවා. ඒ වුණාට මාධ්‍ය ඉස්සරහා බෝපැල වගේ. මාර ලැජ්ජයි ඒවා කතා කරනකොට. මම නම් හොඳට කනවා බොනවා. ගායකයෙක් වුණා කියලා අමුතු හැදියාවක් හදාගන්න මට බෑ. එහෙම ඕනෑත් නැහැ. එහෙම කියලා එදාට වඩා අමුතු විදියට චාටර් වෙන්න මට ඕනෑත් නැහැ. එක කාලයක් තිබ්බා මේ ජනප‍්‍රියකමත් එක්ක පිස්සු වැටෙන. මම ඒ කාලය හොඳට බැලන්ස් කරලා පැනගත්තා. දැන් නිව්ටල් එකේ යනවා. බාධක නැහැ. ගමන පැහැදිලියි.

අද ගායකයෙක් වෙන එක ලේසිිද?

ලේසිත් නෑ. අමාරුත් නෑ. අද ගායකයා කියන්නේ හිට් වෙන විදියට. කාටවත් මෙයා තමයි වැඞ්ඩා කියන්න බැහැ. හිට් වෙන විදියට තමයි වැඞ්ඩා තීරණය වන්නේ. අද ජනප‍්‍රිය කෙනා හෙට වැටෙනවා. ආයේ එනවා. මේක චක‍්‍රයක්. කොහොමහරි එකක් වැඩ කරලා අපිටත් වැඩ අල්ලාගෙන යන පසුබිම හැදෙනවා.

සුපර්ස්ටාර්ස්ලා ගැන මොකද හිතෙන්නේ?

මාරයි. අටලෝ දහමම එතන තියනවා. සුපර්ස්ටාර්ස් වන කෙනා සමහර වෙලාවට ටික කලකින් නිවිලම ගිහිල්ලා. මගදි හැලිිලා ගිය අය පස්සේ හොඳ ගායකයෝ වෙලා. ලොතරැුයියක් වගේ. සමහරු පරදිනවා. සමහරු දිනනවා. තව සමහරු පැරදිලා දිනනවා. තවත් අය දිනලා පරදිනවා. මේක කෙනෙක්ව පිස්සු කරලා අතඅරිනවා වගේ වැඩක්. පිස්සුවෙන්ම ඉන්නවාද? පිස්සුව හොඳ කරගෙන ඉදිරියට යනවාද කියලා බලන අමුතු වැඩසටහනක් ඒක. හැබැයි ඒ කාලය පැනගත්තාම ඉබේම පිස්සුව හොඳ වෙනවා.

සුපර්ස්ටාර්ස් වෙන්න මාර තරගයක් නේද තියෙන්නේ?

ඔව්! උපරිම. තමන් උත්සාහ කරන, කැප කරන ප‍්‍රමාණය. සිංදු කිව්වාට මදි. හොඳට ඉදිරිපත් කළාට මදි. තිරය පිටුපස කොටසත් උපරිම වෙන්න ඕනෑ. තිරය පිටුපස කොටස තමයි අත්‍යවශ්‍ය සාධකය.

ඒ මොකක්ද? එස්එම්එස්ද?

අනිවාර්යයි. එස්එම්එස් ෆෝන්වලින් නිකං යන්නේ නැහැනේ. යවන්න ඕනෑ. පුළුවන් තරම් යවන්න ඕනෑ. අර ප්‍රෙඞී සිල්වා මහත්තයා කියන්නේ නිකං ඉන්න එපා කොහොම කොහොමහරි ගහපල්ලා බං පෙත්සම් වගේ තමයි එස්එම්එස්ම ගහන්න ඕනෑ. මට සෑහෙන උදව් කළා පිටකොටුවේ අයියලා තුන්දෙනෙක්. එක්කෙනෙක් දිලිප් අයියා. අනෙක් අය චමින්ද, තරිඳු අයියා. මේ මගේ අනාගතය හදපු අය. තව මගේ යාළුවෝ. ‘සිම් කාඞ්’ බෙදාහරිමින් දන්න දන්න හැමෝටම කියලා පුළුවන් තරම් එස්එම්එස් ගහලා තමයි දහයට ආවේ. මගේ උපරිමය දහයෙන් ඉවර වුණා.

හැමෝම එහෙමනේ?

මම විතරක් කරපු සෙල්ලමක් කියලාද හිතුවේ. අපිට පෙර පරම්පරාවල් ලාවට ආරම්භ කරලා දුන්නා. අපිට පස්සේ අද පරම්පරා මේ වැඬේ මාරෙට කරනවා. එහෙම නැතිව බෑ. ලැජ්ජ වෙන්න ඕනෑ නැහැ. අපිට කැමති අය එස්එම්එස් ගහනවා. හැබැයි ඒවා ටික විතරක් අහුලාගෙන ගමනක් යන්න බැහැ. ඒකට අපි අපිම එස්එම් ගහගහන්න ඕනෑ. වපුරන හැටියට අස්වැන්න වගේ එස්එම්එස් ගහන තරමට තමයි සුපර්ස්ටාර්ස්.

මේ ෆීල්ඞ් එකේ ඉන්න එක ලේසිද?

ලේසියි කියලා හිතුවාම ලේසියි. හෙට එන කෙනාට වුණත් ගරු කරන්න වටිනවා නම් ගරු කරනවා. ප‍්‍රවීණම කෙනෙක් වුණත් ගහන්න ඕනෑ නම් ගහනවා. අපි අපේ පාඩුවේ ඉන්නවා. මගේ ත‍්‍රීවිලර් එකට නැග්ගාම ඒක මගේ හයර් එකනේ. කාටවත් මගේ ත‍්‍රීවිලර් එකෙන් බස්සලා ඒ හයර් එක ගන්න බැහැනේ. ඒ වගේම ටර්න් එකට යනවා නම් ටර්න් එකට යනවා. ඉවසීම තියෙනවා. වෙනත් ඒරියාවලට බැහැලා හයර් ඉල්ලනවා නම් ඒකත් පුළුවන්. මේ තියරියම තමයි ගායකයෙක් වුණත්. මට ෂෝ තියෙනවනේ. ඉතින් මම ඉන්නවා. බැරිදාට යනවා. ඉල්ලීම් කරන තාක් ඕනෑතරම් සිංදු කියනවා. මොකද කට ගෙවෙන එකක්යැ. ඊට එහා මහා ලොකු දෙයක් නැහැ. විවේක දවසට සෙට්වෙලා අඩියක් ගහලා ආතල් එකක් ගන්නවා. කාටවත් කරදරයක් නැත්නම් එච්චරනේ. මම දැන් රටවල් හය හතකට ගිහින් තියෙනවා. මේ හැමදේම ලැබුණේ, මම ගායකයෙක් හින්දා. හැබැයි මාව ගායකයෙක් කළේ සිරස සුපර්ස්ටාර්ස් එක. ඒකට මගේ සිරස හැමදාම නවනවා. කවුරුහරි ඇහැව්වොත් ඔයා ගායකයෙක් විදියට සතුටුද කියලා. මම කියන්නේ ඔව්. ඒ ඇයි කිව්වොත් සුමිත‍්‍රා පීරිස් මහත්මියගේ මීළඟ චිත‍්‍රපටයට මම ගීත ගායනා කරනවා. එහෙමනම් මම ගායකයෙක් නේද? මට සතුටුයි නේද?’ ඒ රුක්මන්ගේ නිර්ව්‍යාජ ගතිය.

අපි රුක්මන් එක්ක ගිය කතාබහේ හයර් එක අවසන් කළා. රුක්මන්ගේ මීටරේ හොඳට වැඩ. රුක්මන් ඇත්තටම මහපාරේ ගායකයා. ඔහෝම පලයං. උඹේ හඬ අව්‍යාජයි. ඊට එහා දෙයක් කියන්න මට තිබුණේ නැහැ.