ආණ්ඩු ප‍්‍රතිසංස්කරණ සඳහා වූ රාවයේ මහජන පෙත්සම

පාඨකයන්ට කරන ආයාචනයකි

 

තුන්වැනි බලයක් වශයෙන් ප‍්‍රතිසංස්කරණ අවශ්‍යතාවක් වෙනුවෙන් පෙනී සිටින මහජන ව්‍යාපාරයක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාව අළලා ලියන ලද ලිපියට (ඔක්තෝබර් 5) පාඨකයන්ගෙන් විවිධ අදහස් සහිත ප‍්‍රතිචාර ලැබී තිබුණි. රාවයෙන් ඉදිරිපත් කෙරෙන මහජන පෙත්සමක් පිළිබඳව මේ ලියන සටහනද පළමු අදහස සමග එකට බැඳුණු සරල මහජන ක‍්‍රියාකාරීත්වයක් මතුකර ගැනීමේ අරමුණින් සකස් කරන ලද වැඩසටහනක් ලෙස සැලකිය හැකිය.
11 වැනි පිටුවට ඇතුළත් කර ඇති එම මහජන පෙත්සම ශ‍්‍රී ලංකාවට මේ මොහොතේ අත්‍යවශ්‍ය දේශපාලන ප‍්‍රතිසංස්කරණ ඇතුළත් පෙත්සමකි. පෙත්සම අඩංගු පිටුව පිටුපස ඇත්තේ පෙත්සමට අත්සන් කරන පුද්ගලයන් පිරවිය යුතු තොරතුරුය. රාවය පාඨකයන්ගෙන් අප කරන ඉල්ලීම වනුයේ එම පෙත්සමට යොදන අත්සන තමන්ට සීමා නොකොට තම පවුලේ සාමාජිකයන්ගෙන්ද, හිතවතුන්ගෙන්ද පුළුවන්කමක් ඇතොත් වැඩ කරන ආයතනයේ අයගෙන්ද අත්සන් ලබාගනිමින් ඒ පිටුව පිරෙන්නට අත්සන් ලබාගැනීමට උත්සාහ කරන ලෙසය. ඊට වැඩියෙන් අත්සන් ලබාගැනීමේ හැකියාවක් ඇතොත් ඒ ගැන අපට දැනුම් දුන් විට පෙත්සමේ පිටපත් ඉල්ලා සිටින ගණනක් අපට එවිය හැකිය. මෙවැනි ක‍්‍රියාමාර්ගයකට පාඨකයන් පොළඹවා ලීම මගින් අප අපේක්ෂා කරනුයේ කුමක්දැ’යි පාඨකයන්ට පැහැදිලි කළ යුතුය.

1. අපේ රටේ දේශපාලන ක‍්‍රමය සේ ම ඒ යටතේ තිබෙන ආයතන ක‍්‍රමයද තිබෙන්නේ හොඳටම කුණුවූ තත්ත්වයකය. ඒ ගැන රාවය පාඨකයන්ට විස්තර කිරීම අවශ්‍යවන්නේ නැත. කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමත් සමග එළඹෙන ඓතිහාසික අවස්ථාව සමස්ත සමාජ ක‍්‍රමය දේශපාලන ක‍්‍රමයද ප‍්‍රතිසංවිධානයකට ලක්කිරීම සඳහා ලැබුණු ස්වර්ණමය අවස්ථාව ලෙස සැලකිය හැකිය. එහෙත් එම අවශ්‍යතාව තේරුම් ගැනීම රාජ්‍ය පාලකයා (ජනාධිපති මහින්ද රාජපක්ෂ) අසමත් විය. ඔහු එම ජයග‍්‍රහණය පරාර්ථකාමී දේශපාලන අවශ්‍යතාවක් සපුරාලීමට ලැබුණු අවස්ථාවක් කරගන්නවා වෙනුවට තම ආත්මාර්ථකාමී කෑදර දේශපාලන අභිලාෂයන් සපුරාගැනීම සඳහා යොදා ගැනීම මගින් ජයග‍්‍රහණයෙන් තමන්ට හිමි වීරත්වය සේ ම ඉන්පසුත් රටේ පොදු යහපත වෙනුවෙන් ඓතිහාසික කාර්යභාරයක් ඉටුකිරීමට තිබෙන අයිතියද නැතිකර ගත්තේය.

2. ජනාධිපති මහින්ද රාජපක්ෂ රටට අත්‍යවශ්‍ය ප‍්‍රතිසංස්කරණවලට තරයේ විරුද්ධය. රට තිබෙන්නේ අවශ්‍ය ප‍්‍රතිසංස්කරණවලින් තොරව එක අඩියක්වත් ඉදිරියට යා නොහැකි අවුල්සහගත තත්ත්වයකය. ඒ නිසා මෙම ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජය කිරීම රටට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ දිනාගැනීම සඳහා අත්‍යවශ්‍ය දේශපාලන කොන්දේසියක් බවට පත්වී තිබෙන්නේයැ’යි කිව හැකිය. ඒ සමග මහින්ද පරාජය කරමින් බලයට පත්වන නායකයා නිර්ලෝභී ලෙස රටට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් අවංක ලෙස ඇප කැපවී ක‍්‍රියාකරන නායකයකු බවට පත්කර ගැනීමද අත්‍යවශ්‍යය. එම අරමුණ ජයගත හැකිවනු ඇත්තේ ජනාධිපතිවරණයට පෙරත් පසුත් දේශපාලන ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටිමින් ඒ අරමුණ වෙනුවෙන් ක‍්‍රියාකරන විධිමත් සමාජයක් ඇතිකර ගැනීමෙන් පමණය.

3. මෙම පෙත්සම් වැඩපිළිවෙළින් අපේක්ෂා කරන අරමුණ බහුවිධය. එහි එක් අරමුණක් වනුයේ රාවය පාඨකයන් සැලකිය යුතු පිරිසක් නිශ්චිත ක‍්‍රියාවකට නායකත්වය දෙන නායකයන් පිරිසක් බවට පත්කිරීමය. එහිදී ඔහු හෝ ඇය පෙත්සමට අත්සන් තබන කෙනෙකුට වෙනස්ව පෙත්සමට අත්සන් එකතු කරන්නකු බවට පත්කරයි. ඒ මගින් ඔහු එම පෙත්සම් ව්‍යාපාරයේ නායකයකුගේ භූමිකාව රඟපායි. මෙම ක‍්‍රියාව නිසා ඔහුට ආත්ම තෘප්තිය හැර ද්‍රව්‍යමය වශයෙන් වෙනත් කිසිවක් ලැබෙන්නේ නැත. එම අත්සන් ගැනීමේ ව්‍යාපාරයේදී ඔහුට මෙම පෙත්සමට ලැබෙන වැදගත්කම සේ ම ඊට අත්සන් කිරීමේ වැදගත්කම කියාදෙන්නට සිදුවේ. ඒ මගින් ඔහු සමාජ දේශපාලන වැදගත්කමක් ඇති මහජන ක‍්‍රියාවලියට කිසියම් නායකත්වයක් ලබාදෙන නායකයකු බවට පත්වේ.

4. මෙම පෙත්සමෙන් එයට අත්සන් තබන්නන්ට රටට අවශ්‍ය වී තිබෙන ප‍්‍රතිසංස්කරණ පිළිබඳව අවබෝධයක් හා හැඟීමක් ලබාදේ. පෙත්සමට අත්සන් තබන හැම කෙනකුම පෙත්සම අනිවාර්යයෙන් කියවිය යුතුය. ඔහු හෝ ඇය ඊට අත්සන් තැබිය යුත්තේ එහි එන අදහස් පොදුවේ අනුමත කරන්නේ නම් පමණය. ඒ මගින් පෙත්සමට අත්සන් තබන්නාද රටේ පොදු යහපත වෙනුවෙන් දියත් වන මහජන ව්‍යාපාරයකට සහාය දෙන හා ආශිර්වාද කරන පුද්ගලයකු බවට පත්වේ. ඒ සමග පෙත්සමට අත්සන් තබන්නාද එක්තරා ප‍්‍රමාණයකට හෝ ප‍්‍රතිසංස්කරණ අනුමත කරන නවීන ලෙස සිතන මතන හා ප‍්‍රතිසංස්කරණ වැඩසටහනේ සරල කොටස්කරුවකු බවට පත්කරයි.

5. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ රටට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ ගැන අවබෝධයක් ඇති එම ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින ජනතාවක් ගොඩනැගීමය. මෙවැනි ක‍්‍රියාවකට සම්බන්ධ කරගැනීම මගින් මහජනයාගේ යටි සිතේ තිබෙන බිය තුරන් කිරීමද තවත් අරමුණකි. සැඟවී තිබෙන බිය තුරන් කරන තෙක් ප‍්‍රකෘති සමාජයක් ඇතිවන්නේ නැත. ජනතාව අතර බහුත්වවාදී ආකල්ප වර්ධනය කිරීමද තවත් අරමුණකි. අපේ ඉලක්කය පුංචි නැත. මෙම පෙත්සමට අත්සන් දශ ලක්ෂයක් එකතු කරගැනීම අපගේ අරමුණ වන අතර එය පහසු ඉලක්කයක් නොවන බවද දනිමු. කහපටි ව්‍යාපාරයේදීද අපේක්ෂිත ඉලක්කය දශ ලක්ෂයක් විය. එවැනි ලොකු ඉලක්කයක් කරට ගැනීම ගැන මුලදී විවිධ විවේචන එල්ල වුවත් වැඬේ අවසන් කරන විට ඒ ඉලක්කය ඉක්මවායෑමට අපට හැකිවිය. මෙම පෙත්සම් වැඩපිළිවෙළේදීද අපේක්ෂා කරන ඉලක්ක ජයගැනීමට හැකිවනු ඇතැ’යි අපි විශ්වාස කරමු.

6. කහපටි ව්‍යාපාරය වයඹ ඡුන්ද කොල්ලය ආශ‍්‍රයෙන් මතුවූ තත්ත්වය පදනම් කොටගෙන ඉන්පසු පැවති මැතිවරණයකදී නිදහස් හා සාධාරණ ඡුන්දයක් වෙනුවෙන් දියත් කරන ලද ව්‍යාපාරයක් විය. එය සරල අරමුණක් මෙන්ම ක‍්‍රියාත්මක කළ සරල වැඩසටහනක් විය. එම වැඩසටහනේදී සමහර පන්සල්, පල්ලි, වෘත්තීය සමිති මධ්‍යස්ථාන හා වෘත්තීයවේදීන්ගේ සංවිධාන එම වැඩසටහන ඉදිරියට ගෙන යන මධ්‍යස්ථාන ලෙස ක‍්‍රියා කළේය. සුසන්තිකා ජයසිංහගේ දායකත්වයද ක‍්‍රමයෙන් ඉදිරියට ගලායමින් තිබුණු එම ව්‍යාපාරය උච්චතම තැනකට ගෙනයෑමට හේතුවිය. ඇය තමන්ගේ තරග ඉසව්ව දිව්වේ කහපටියක් අත පැළඳගෙනය. ප‍්‍රතිසංස්කරණ සඳහා වන මෙම පෙත්සම් වැඩපිළිවෙළ එතරම් සරල නැතත් එයද සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑමට හැකිවනු ඇතැ’යි රාවය විශ්වාස කරයි. පෙත්සම් ව්‍යාපාරයට නායකත්වය දෙන ක‍්‍රියාකාරීන් සේ ම පෙත්සමට අත්සන් තබන්නන්ද ජාලගත කරමින් ඒ මගින් ක‍්‍රියාකාරී මහජන ව්‍යාපාරයක් තැනීමට රාවය අපේක්ෂා කරයි.

7. පෙත්සමට අත්සන් එකතු කරන පුද්ගලයන්ට හා සංවිධානවලට පෙත්සමේ අතිරේක පිටපත් අවශ්‍ය නම් ඒවා රාවයෙන් ලබාගත හැකිය. පෙත්සමට අත්සන් එකතු කිරීමට උනන්දුවක් දක්වන්නන්ට එය අන්තර්ජාලය ඔස්සේද කළ හැකිය. විද්‍යුත් පිටපත රාවයේ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. අන්තර්ජාලය හරහා අනුමැතිය ලබාදෙන ලිපි pmr.ravaya@gmail.com යන විද්‍යුත් ලිපිනයට යොමු කරන්න. සාමාන්‍ය තැපෑලෙන් එවන ලිපි ‘පී.එම්.ආර්., රාවය, නො. 83, පිළියන්දල පාර, මහරගම.’ යන ලිපිනයට යොමු කරන්න.

වික්ටර් අයිවන් (උපදේශක කර්තෘ)
කේ.ඩබ්ලිව්. ජනරංජන (ප‍්‍රධාන කර්තෘ)

ආණ්ඩු ප‍්‍රතිසංස්කරණ සඳහා වූ රාවයේ මහජන පෙත්සම

විරුද්ධ පක්ෂ සන්ධානය විසින් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා ඔහු ලබන ජයග‍්‍රහණයකදී මතු විස්තර කරන ප‍්‍රතිසංස්කරණ පළමු මාස තුන තුළ සිදුකරන බවට මහජනයාට සහතික විය යුතුය.

1. තොරතුරු ලබාගැනීමේ අයිතිය

රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා නීතිගත කිරීමට අපොහොසත් වූ ‘තොරතුරු පනත’ නීතිගත කළ යුතුය.

2. වත්කම් බැරකම් නීතිය

වත්කම් බැරකම් නීතිය උල්ලංඝනය කරන්නට එම නීතියෙන් පනවා තිබෙන සරල දඬුවම් වෙනුවට බරපතළ දඬුවම් ලබාදිය හැකි ආකාරයට එම නීතියද සංශෝධනය කළ යුතුය.
ඒ සමග,

(අ) වත්කම් බැරකම් ප‍්‍රකාශ කිරීමට බැඳී සිටින අයට පිරවීම සඳහා ලබාදෙන පෝරමය නූතන අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස සංස්කරණය විය යුතුය.
(ආ) මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන්ට නාමයෝජනා සමග වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබාදීම අනිවාර්ය කළ යුතුය.
(ඇ) වත්කම් බැරකම් ප‍්‍රකාශ සඳහා වන මහජන පරීක්ෂාව පහසු කිරීම සඳහා වත්කම් බැරකම් ප‍්‍රකාශ කරන්නන්ගේ සියලූ ප‍්‍රකාශන වෙබ් අඩවියකින් ප‍්‍රසිද්ධ කළ යුතු අතර ඒ සඳහා විධිමත් වෙබ් අඩවියක් පවත්වාගෙන යෑමේ වගකීම විගණකාධිපතිවරයාට පැවරිය යුතුය.

3. නීතියට පටහැනි උපදෙස්

නීතියට පටහැනි උපදෙස් දීම හා එවැනි උපදෙස් පිළිපැදීම අපරාධ ගණයෙහිලා සැලකිය යුතු වරදක් ලෙස නීතිගත කළ යුතුය.

(අ) එවැනි නීති උල්ලංඝනයන්හිදී නීතිපතිගේ උපදෙස් නැතිව පුරවැසියන්ට නඩු පැවරීමේ අයිතිය ලබාදිය යුතුය.

4. ජාතික සමගියට හානි කිරීම

අන්තර්වාර්ගික හෝ අන්තර්ආගමික සමගියට හානි කරන අවමන්සහගත වෛරී හැඟීම් ඇති කිරීමට ඉවහල් වන අදහස් පළකිරීම් දඬුවම් ලැබිය හැකි වරදක් බවට නීතිගත කිරීම සඳහා වාසුදේව නානායක්කාර ඉදිරිපත් කර තිබෙන නීති සංශෝධන කෙටුම්පත නීතිගත කළ යුතුය.

5. ස්වාධීන කොමිෂන් සභා

18 වැනි සංශෝධනය අහෝසි කොට ඩිව් ගුණසේකර කමිටුවේ නිර්දේශයන්ද සැලකිල්ලට ගනිමින් 17 වැනි සංශෝධනය නැවත බලාත්මක කළ යුතුය.

6. මැතිවරණ ක‍්‍රමයේ ප‍්‍රතිසංස්කරණ

මැතිවරණ ක‍්‍රමය ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා දිනේෂ් ගුණවර්ධන කමිටුව ඉදිරිපත් කර තිබෙන නිර්දේශ අවශ්‍ය වෙනස්කම් සහිතව නීතිගත කළ යුතුය.

7. ජනමාධ්‍ය හා ජනමාධ්‍ය නිදහස

රජයේ ගුවන්විදුලි හා රූපවාහිනී සේවා ආණ්ඩුවේ පාලනයෙන් බැහැරව වෘත්තීය පුවත්කලාව මත පදනම් වූ, මහජනතාවට පමණක් වගවන, නිදහස් ස්වාධීන මහජන ජනමාධ්‍ය සේවාවන් බවට නොපමාව පරිවර්තනය කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය ස්වාධීන පාලන ව්‍යුහයන් හා මූල්‍යමය සම්පත් සලසා දීම සඳහා අදාළ කටයුතු පාර්ලිමේන්තු පනතක් මගින් සම්මත කළ යුතුය.
තමන් විසින් පත්කරන ලද නියෝජිතයන් ව්‍යස්ථා අණපනත් සම්පාදන හා මුදල් පාලන කටයුතු ඉටුකරන ආකාරය වාරණයකින් තොරව මහජනතාවට දැනගැනීමට හැකිවන පරිදි පාර්ලිමේන්තු වාදවිවාද මහජන සේවා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ හෝ ඒ සඳහා විශේෂයෙන් ස්ථාපනය කළ පාර්ලිමේන්තු විද්‍යුත් මාධ්‍යයක් ඔස්සේ සජීවී ලෙස ප‍්‍රචාරය කළ යුතුය. පාර්ලිමේන්තුවේ සියලූ ස්ථාවර හා තේරීම් කමිටු රැුස්වීම්වල කටයුතු මහජනතාවට වාර්තා කළ හැකිවන ලෙස ජනමාධ්‍ය වාර්තාකරුවන්ට විවෘත විය යුතුය.

8. විගණනය

කැබිනට් මණ්ඩලය අනුමත කිරීමෙන් වැළකී තිබෙන එස්.සී. මායාදුන්නේ විසින් 2004දී සකස් කරන ලද විගණකාධිපතිගේ ‘ජාතික විගණන පනත’ නීතිගත කළ යුතුය.

9. අධ්‍යාපනය

අධ්‍යාපනයේ ශීඝ‍්‍ර ව්‍යාප්තියක් තිබියදීත් රට කෙළවරක් නැති තරමට ලේ හලන, නීතියේ පාලනයක් නැති අකාර්යක්ෂමතාව හා දූෂණය රජ කරන තත්ත්වයකට පත්ව තිබීමෙන්ම පෙනීයන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා බහුත්වවාදී ආකල්ප ඇති දේශපාලනඥයන් රාජ්‍ය නිලධාරීන් සේ පුරවැසියන්ද තැනීමට අධ්‍යාපන ක‍්‍රමය අසමත් වී තිබෙන බවය. නව නිපැයුම් පිළිබඳ ජාත්‍යන්තර දර්ශකයේදී රට තිබෙන්නේද කනගාටු වියයුතු තරම් දුප්පත් තැනකය. සමස්ත අධ්‍යාපනය ගැනම විවේචනාත්මකව කරුණු සොයා බැලීම හා අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඇති කළ යුතු ප‍්‍රතිසංස්කරණ නිර්දේශ කිරීම සඳහා පස් පුද්ගල කොමිෂන් සභාවක් පත් කළ යුතුය. එම කොමිෂන් සභාව, වෙනත් කාරණා අතර මතු සඳහන් කාරණාද සලකා බැලිය යුතුය.

(අ) පාසල් ක‍්‍රමයේ තිබෙන විසමතා හා එම විසමතා විසින් ඇති කර තිබෙන අසමානතා දුරු කරන්නේ කෙසේද යන්න ගැන.
(ආ) පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේදී සාමාන්‍යයෙන් සිදුවන අල්ලස් ගැනීම් හා එම විසම තත්ත්වය මුලිනුපුටා දැමීම සඳහා කළ යුතු දෑ ගැන.
(ඇ)උගන්වන ක‍්‍රමවල හා පාඨමාලාවල ඇති යල්පැනගිය ස්වභාවය හා ඒ තත්ත්වය ජයගැනීම සඳහා ගතයුතු පියවර ගැන.
(ඈ) ශිෂ්‍ය පරපුර වර්ගවාදී, ආගම්වාදී හා කුලවාදී ආකල්පවලින් තොරව නවීන ලෙස හා බහුත්වවාදී ලෙස කල්පනා කරන හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකල්ප සහිත ශිෂ්‍ය පරපුරක් බවට පත්කිරීම සඳහා ගතයුතු පියවර ගැන.
(ඉ) ශාස්ත‍්‍රීය අධ්‍යාපනයට කුසලතා නැති හෝ කැමැත්තක් නැති ශිෂ්‍යයන් කාර්මික හා තාක්ෂණික අධ්‍යාපනයක් සඳහා යොමු කිරීම සඳහා ගතයුතු පියවර ගැන.
(ඊ) ගුරුවරුන් කාර්යක්ෂම හා නොකඩවා දැනුම අලූත් කරගන්නා ගුරු පරපුරක් බවට පත්කර ගැනීම සඳහා ගතයුතු පියවර ගැන.
(උ) පාසල් අධ්‍යාපනයේද, විශ්වවිද්‍යාල අධ්‍යාපනයේද කාර්යක්ෂම පාලනයක් සඳහා ගතයුතු පියවර ගැන.
(ඌ) උසස් අධ්‍යාපනයේ ගුණාත්මක අගය වර්ධනය කිරීම සඳහා ගතයුතු ක‍්‍රියාමාර්ග ගැන.
(එ) පාසල් අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය පිළිගත හැකි උසස් ප‍්‍රමිති තත්ත්වයක තබාගැනීම සඳහා අයවැයෙන් වෙන් කළ යුතු ප‍්‍රතිපාදනවල ප‍්‍රතිශතය ගැන.

10. මහජන සෞඛ්‍යය

කලක් පිළිගත හැකි තත්ත්වයක තිබූ මහජන සෞඛ්‍ය සේවා තිබෙන්නේද අයහපත් හා අකාර්යක්ෂම තත්ත්වයකය. ඒ ගැනද විවේචනාත්මකව කරුණු සොයා බලා අවශ්‍ය විසඳුම් නිර්දේශ කරන කොමිෂන් සභාවක් පත් කළ යුතුය. එම කොමිෂන් සභාව වෙනත් කාරණා අතර මතු දක්වන කරුණු ගැනද සොයා බැලිය යුතුය.

(අ)සෞඛ්‍ය සේවය කණ්ඩායම් කාර්යයකි. එම කණ්ඩායමට වෛද්‍යවරුන්ද, පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ද, හෙද සේවකයන්ද, අතුරු වෛද්‍ය සේවකයන් හා සුළු සේවකයන්ද ඇතුළත්ය. මේ කණ්ඩායම තුළ සමගියක් වෙනුවට ඇත්තේ ඇනකොටා ගන්නා තත්ත්වයකි. එයද මහජන සෞඛ්‍ය සේවය අවුල් කිරීමට හේතුවී තිබෙන වැදගත් හේතුවකි. එම තත්ත්වය නැති කිරීම සඳහා ගතයුතු පියවර ගැන.

(ආ) රජයේ රෝහල්වලින් ප‍්‍රතිකාර ලබන රෝගීන්ට නිර්දේශ කරන ඖෂධවලින් වැඩි ප‍්‍රමාණයක් හෝ මුළුමනින් පිටතින් මිලදී ගැනීමට සිදුවී තිබේ. රජයේ රෝහල්වල ඖෂධ සඳහා වෙන් කරන ප‍්‍රතිපාදන ප‍්‍රමාණවත් නොවනවා විය හැකි වුවත් වෙන් කරන ප‍්‍රතිපාදනවලින්ද කිසියම් විශාල පංගුවක් දූෂිතයන්ගේ සාක්කුවලට ගලායන තත්ත්වයක් පවතී. ඒ තත්ත්වයද ඖෂධ හිඟය උග‍්‍ර කිරීමට හේතුවී තිබේ. ඒ අතර රජයේ රෝහල්වලින් කළ යුතු වෛද්‍ය රසායනාගාර පරීක්‍ෂණද වැඩි ප‍්‍රමාණයක් පුද්ගලික ආයතන මගින් කරගෙන එන ලෙස දැන්වීමේ ප‍්‍රතිපත්තියක්ද ක‍්‍රියාත්මක වෙයි. ඉහත අවස්ථාවලදී සිදුවන දූෂණය වැළකීම සඳහා ගතයුතු ක‍්‍රියාමාර්ග.

(ඇ) හෘදය රෝගීන්, වකුගඩු රෝගීන් වැනි ශල්‍යකර්ම අත්‍යවශ්‍ය සමහර රෝගීන් සඳහා දීර්ඝකාලීන පෝලිම් ක‍්‍රමයක් දැකිය හැකිය. මෙම පෝලිම් ක‍්‍රමය නොවැළැක්විය හැකි තත්ත්වයක ප‍්‍රතිඵලයක්ද නැත්නම් රෝගීන් ගසාකෑම සඳහා ක‍්‍රියාත්මක වන ව්‍යාජ දෙයක්ද යන්න සොයා බලා මෙම පෝලිම් ක‍්‍රමය නැති කිරීම සඳහා ගතයුතු ක‍්‍රියාමාර්ග.

(ඈ) ගාල්ලේ කරාපිටිය රෝහලට දිනපතා ගාලූ දිස්ත‍්‍රික්කයෙන් පිටස්තර ඈත දුෂ්කර පළාත්වලින් රෝගීන් රැුගත් ලංගම බස් රථ පැමිණේ. එසේ එන රෝගීන්ගෙන් වැඩි දෙනෙකු ආපසු යන්නේ ඊට පසු දිනය. මෙය දකුණු පළාතට පමණක් සීමාවූ තත්ත්වයක් නොව හැම පළාතකටම පොදුවේ බලපා තිබෙන තත්ත්වයකි. මින් පෙන්නුම් කෙරෙන්නේ දිස්ත‍්‍රික්කවල තිබෙන සමහර මූලික රෝහල්වල පවතින අසාර්ථක තත්ත්වයයි. මෙම විෂම තත්ත්වය වෙනස් කිරීම සඳහා ගතයුතු ක‍්‍රියාමාර්ග.

(ඉ) රජරට කලාපයේ පැතිර පවතින වකුගඩු රෝගය ප‍්‍රමුඛ අවධානයක් ලැබිය යුතු ජාතික ව්‍යසන කාරීත්වයක් ලෙස සැලකිය හැකිය. එහෙත් ඒ ප‍්‍රශ්නයට ලැබී තිබෙන්නේ නොවැදගත් අවධානයකි. ඊට අඩු වැදගත්කමක් ඇති බෙල්ලන්විල රක්ෂිතයෙන් අඩක් පමණ බිල්ලට ගෙන සාදා ඇති ජලාශය හා ඒ වටා ඇති ශාරීරික ව්‍යායාම හා ඇවිදින්නන් වෙනුවෙන් අලංකාර මංතීරු ඇතුළත් වන ලෙස සාදා නිම කර ඇති වේරැුස් ගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ශ‍්‍රම වියදම නැතිව වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 14,200කි. ඉන් පෙනෙන්නේ අත්‍යවශ්‍ය වැදගත් ප‍්‍රශ්නවලට කුඩම්මාගේ සැලකිලි ලැබෙන විට නොවැදගත් ප‍්‍රශ්නවලට නිර්ලෝභීව මුදල් වැය කරන තත්ත්වයක් රටේ පවතින බවය. රජරට වකුගඩු රෝගීන්ට අවශ්‍ය සහන ලබාදෙමින් එම රෝග තත්ත්වය පැතිරීම වැළකීම සඳහා ගතයුතු ක‍්‍රියාමාර්ග.

11. විශ‍්‍රාමිකයන්ගේ ආරක්ෂාව

විශ‍්‍රාමිකයන්ට තමන්ට ලැබෙන විශ‍්‍රාම පාරිතෝෂික මුදල් හෝ අර්ථසාධක අරමුදල් ආරක්ෂිතව තැන්පත් කළ හැකි, ඒවාට බැංකු පොලියට වැඩි පොලියක් ලබාදෙන ආයතන ක‍්‍රමයක් ඇති කළ යුතුය. ව්‍යාජ ෆිනෑන්ස් සමාගම්වලට වැඩියෙන්ම රැුවටෙන්නෝ විශ‍්‍රාමිකයෝය. ඔවුන්ට යැපීමට තිබෙන එකම අරමුදල ලෙස සැලකිය හැකි එම මුදල් අවදානම්සහගත දේවල ආයෝජනය කරන තැනකට විශ‍්‍රාමිකයන් තල්ලූ කළ යුතු නැත. ඔවුන්ගේ අරමුදල් තැන්පත් කළ හැකි සාමාන්‍ය බැංකු පොලියට වැඩි පොලියක් ලබාගත හැකි ක‍්‍රමයක් ඇති කළ යුතුය. තැන්පත් කළ හැකි ආයෝජන සඳහා සීමා පැනවිය හැකිය.

12. සිදුවී තිබෙන වැරදි හා අසාධාරණකම් ගැන සොයා බැලීම

නිදහසේ සිට අද දක්වා රටේ සිදුවී තිබෙන බරපතළ වැරදිවල ප‍්‍රමාණය ඉතා විශාලය. සෝල්බරි ව්‍යවස්ථාවේ තීන්ත වේලෙන්නටත් පළමුව උඩරට ඉන්දියානු වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිවාසිකම් අහිමි කළේය. ඉන් වසර 8කට පසුව දෙමළ ජනයාගේ භාෂා අයිතිවාසිකම් අහිමි කළේය. 1980 වැඩ වර්ජනයට සහභාගි වූ සියලූදෙනාගේ රැුකියා අහිමි කළේය. ඒ මගින් වෘත්තීය සමිති ව්‍යාපාරයේ පිටකොන්ද බිඳහෙළුවේය. 1983දී දූෂිත ජනමත විචාරණයකින් පාර්ලිමේන්තුවේ නිලකාලය දීර්ඝ කරගැනීමක්ද සිදුවිය. 2014 අලූත්ගම-බේරුවල කෝලාහලය දක්වා බිහිසුණු ජාතිවාදී කෝලාහල ගණනාවක්ම සිදුවිය. දකුණේ සිංහල කැරලි දෙකක් ඇතිවූ අතර උතුරේ දිග්ගැසුණු දෙමළ කැරැුල්ලක්ද ඇතිවිය. කැරලිකරුවන් අතින් සේ ම කැරලි මර්දනය කරන්නන් අතින්ද දැවැන්ත ජීවිත විනාශයක් සිදුවිය. 1978 සිට පොදු වස්තුව කොල්ලකෑම රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් ලෙස ක‍්‍රියාත්මක විය. අධිකරණය මහජන අයිතිවාසිකම් ආරක්ෂා කරනවා වෙනුවට මහජන අයිතිවාසිකම් උල්ලංඝනය කරන ආයතනයක් ලෙස ක‍්‍රියා කළේය. අධිකරණ නියෝග මගින් කම්කරු වැඩ වර්ජන හා වෙනත් උද්ඝෝෂණ මැඬලීම සාමාන්‍ය ලක්ෂණයක් බවට පත්වී තිබේ. මේ සියල්ල මෙසේ සිදුවූයේ ඇයිද යන්න සොයා බැලිය යුතුය. ඒ සඳහාද කොමිෂන් සභාවක් පත් කළ යුතුය. එය වැරදිකරුවන්ට දඬුවම් පමුණුවන කොමිෂන් සභාවක් නොව මෑත ඉතිහාසයේ සිදුවී තිබෙන බරපතළ වැරදි සොයා බලන කොමිෂන් සභාවක් විය යුතුය. එය මහජනයා කියන දුක්ගැනවිලිවලට හා ඉදිරිපත් කරන චෝදනාවන්ට ඇහුම්කන් දෙන හා ඒවා ගැන සොයා බලා වාර්තා කරන කොමිෂන් සභාවක් විය යුතුය.

13. ඉඩම් අවුල් විසඳාදීම

උතුරු නැගෙනහිර ප‍්‍රදේශයේදීර්ඝ කාලයක් ප‍්‍රචණ්ඩ ගැටුම් තිබුණි. දීර්ඝකාලීන ද්වන්ද්ව පාලනයක් තිබුණි. එම ප‍්‍රදේශවල ජීවත් වූ විවිධ ජන කණ්ඩායම්වලට තමන් ජීවත් වූ ප‍්‍රදේශ අතහැර යන්නට සිදුවිය. ඒ නිසා ඉඩම් අයිතියේ හා භුක්තියේ මහා අවුල් ඇතිවී තිබේ. එල්ටීටීඊය සේ ම ආරක්ෂක හමුදාද ආරක්ෂක අරමුණු වෙනුවෙන් මහජනයාගේ ඉඩම් අත්පත් කරගත්තේය. ඉඩම් අයිතියේ හා භුක්තියේ ඇතිවී තිබෙන අවුල් ගැන සොයා බලා ඒවා නිරාකරණය කරදීමට ක‍්‍රියාකරන ඉඩම් කොමිෂන් සභාවක් පත් කළ යුතුය. ආරක්ෂක හමුදා විසින් අත්පත් කරගෙන තිබෙන මහජන ඉඩම්ද ඒවායේ හිමිකරුවන්ට ආපසු ලබාදිය යුතුය. ආරක්ෂක හමුදා තවදුරටත් තමන් වෙත තබාගන්නා ඉඩම් වේ නම් ඒවායේ හිමිකරුවන්ට ප‍්‍රමාණවත් වන්දියක් ගෙවිය යුතුය.

14. නව ආණ්ඩු ක‍්‍රමයක් ඇතිකර ගැනීම

මහජන අදහස්ද ලබාගනිමින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පළමු ආදර්ශ කෙටුම්පත සකස් කිරීම සඳහා ව්‍යවස්ථා සම්පාදන විෂය පිළිබඳ පරිචයක් ඇති පස්පුද්ගල කොමිෂන් සභාවක් පත් කළ යුතුය.

(අ) කොමිෂන් සභාව මාස 06ක කාලයක් තුළ එම කෙටුම්පත සකස් කළ යුතුය.
(ආ) ආදර්ශ කෙටුම්පත මහජනතාවගේ දැනගැනීම සඳහා ප‍්‍රසිද්ධ කළ යුතුය.
(ඇ) ඉන්පසු එම කෙටුම්පත නව මැතිවරණ ක‍්‍රමය යටතේ තෝරා පත්කර ගන්නා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය. පාර්ලිමේන්තුව ඒ ආශ‍්‍රයෙන් සකස් කරන දෙවැනි කෙටුම්පතද ප‍්‍රසිද්ධියට පත් කළ යුතු අතර නිර්දේශ ලබාගැනීම සඳහා පළාත් සභාවලටද යැවිය යුතුය.
(ඈ) පළාත් සභාවල නිර්දේශද සැලකිල්ලට ගනිමින් අවසන් වශයෙන් සකස් කරන කෙටුම්පත නැවත පළාත් සභාවලට අනුමැතිය සඳහා යැවිය යුතු අතර ඉන්පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි ඡුන්දයකින් සම්මත වුවහොත් ජනමත විචාරණයකටද ඉදිරිපත් කොට අනුමත කරවා ගත යුතුය.
(ඉ) ව්‍යවස්ථා සම්පාදන කාර්යය අවුරුද්දකට නොවැඩි කාලයක් තුළ සිදුකළ යුතුය.
පළමු කෙටුම්පත සකස් කරන කොමිෂන් සභාවට ආණ්ඩු ක‍්‍රමය සකස් කිරීමේදී මතු දැක්වෙන කාරණාද සැලකිල්ලට ගත හැකිය.

I. රාජ්‍ය ප‍්‍රතිපත්ති

(අ) සියලූ පුරවැසින් සමාන අයිතිවාසිකම් ඇති සමාන ගෞරවය ඇති මිනිසුන් ලෙස පිළිගත යුතුය.
(ආ) කුල ක‍්‍රමය පීඩාකාරී අවමන්සහගත හා යල්පැනගිය ක‍්‍රමයක් ලෙස සලකා එයට තිබෙන පිළිගැනීම තුරන් කිරීමේ අවශ්‍යතාව පිළිගත යුතුය.
(ඇ) එක්සත් ශ‍්‍රී ලාංකික ජාතියක් ඇති කර ගැනීම සඳහා වර්ග භේද හා ආගම් භේද තුනී කරන ප‍්‍රතිපත්තියක අවශ්‍යතාව පිළිගත යුතුය.
(ඈ) අසරණයන් ගණයට වැටෙන සියලූදෙනා (දෙමාපියන් නැති අනාථ ළමුන්, රැුකවරණයක් නැති වියපත්වූවන් හා ආබාධිතයන්) රැුක බලා ගැනීම රජයේ වගකීමක් ලෙස සැලකිය යුතුය.
(ඉ) බදු අය කරන ප‍්‍රතිපත්තිය සාධාරණ විය යුතු අතර බදු අය කරගත යුත්තේ බදු ගෙවීමට හැකියාවක් ඇති අයගෙන් පමණය.
(ඊ) නූතන අවශ්‍යතාවන්ට ගැළපෙන නවීන අධ්‍යාපනයක් සඳහා නිදහස් අධ්‍යාපන ක‍්‍රමයක්ද සෞඛ්‍ය පහසුකම් සඳහා නිදහස් සෞඛ්‍ය ක‍්‍රමයක්ද පවත්වාගෙන යෑම රජයේ වගකීමක් විය යුතුය.
(උ) දුප්පත්කම තුරන් කිරීම රජය සතු වගකීමක් විය යුතුය.
(ඌ) දිවයිනක් වශයෙන් ශ‍්‍රී ලංකාවේ පිහිටීමට ලැබී තිබෙන උපාය මාර්ගික වැදගත්කම සැලකිල්ලට ගනිමින් රටේ යහපතට හා ආරක්ෂාවට හේතුවන විදේශ ප‍්‍රතිපත්තියක් පවත්වාගෙන යා යුතුය.
(එ) පරිසරයේ තිබිය යුතු සමතුලිතභාවය බිඳ වැටීමෙන් ඇතිවී තිබෙන දේශගුණ විපර්යාස මුළු මහත් මිහිතලයටම මුහුණ දෙන්නට සිදුවී තිබෙන බැරෑරුම් ප‍්‍රශ්නයක් වන නිසා රටේ ආරක්ෂාව සඳහා පමණක් නොව මිහිතලයේ ආරක්ෂාව සඳහාද දැඩි පරිසර හිතකාමී ප‍්‍රතිපත්තියක් පවත්වාගෙන යෑම රජයේ වගකීමක් ලෙස සැලකිය යුතුය.

II.  මූලික අයිතිවාසිකම්

(අ)ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූල විස්තරාත්මක මානව හිමිකම් ප‍්‍රඥප්තියක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුය.
(ආ) අයිතිවාසිකම් උල්ලංඝනවලදී සරල වියදමකින් අධිකරණ ක‍්‍රියාවලියක යෙදී අයිතිවාසිකම් උල්ලංඝනයෙන් සිදුවී තිබෙන හානියට සරිලන වන්දියක් ලබාගැනීමේ හැකියාව සහතික කළ යුතුය.
(ඇ) මානව හිමිකම් කොමිසම පිළිගත් ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව ප‍්‍රතිසංස්කරණය කොට නීතිඥ සහායෙන් තොරව පැමිණිලි ඉදිරිපත් කළ හැකි, ඒවා විභාග කරන, දෙනු ලබන තීන්දු බලාත්මක කළ හැකි ආයතන ක‍්‍රමයක් බවට පත්කිරීමට අවශ්‍ය විධිවිධාන ඇති කළ යුතුය.

III. රාජ්‍යයේ ව්‍යුහය

(අ) ශ‍්‍රී ලංකා ජනරජය මධ්‍යම ආණ්ඩුවකින්ද, දෙවැනි මට්ටමේ පළාත් සභා ආණ්ඩු ගණනාවකින් සමන්විත නිදහස් හා ස්වාධීන රාජ්‍යයක් විය යුතුය.
(ආ) ඉන්දියානු ආණ්ඩුවේද එකඟතාව ඇතිව පළාත් සභා ආණ්ඩු ක‍්‍රමය කාර්යක්ෂම හා විධිමත් පාලනයක් සහතික කිරීමට හැකිවන ලෙසත් දෙමළ ජනතාවගේ සාධාරණ දේශපාලන අභිලාෂයන් තෘප්තිමත් කළහැකි ආකාරයටත් නැවත ප‍්‍රතිසංවිධානය කළ යුතුය.
(ඇ) ග‍්‍රාමීය මට්ටමේ සංවර්ධන කටයුතු පාලනය ගම්වලට ලබාදීම සඳහා ඉන්දියාවේ පවතින පංචායත් ක‍්‍රමයට සමාන ගම් සභා ක‍්‍රමයක් ඇති කළ යුතුය.
(ඈ) ජනරජයේ ස්වාධීනත්වය, ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවද රාජ්‍යයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ස්වභාවය ආරක්ෂා කිරීමද, ශ‍්‍රී ලංකා සමාජයේ බහු වාර්ගික, බහු ආගමික, බහු භාෂාමය හා බහු සංස්කෘතික ස්වභාවය ආරක්ෂා කරමින් ශ‍්‍රී ලාංකික අනන්‍යතාවක් සහිත සමාජයක් ගොඩනැගීම හා ප‍්‍රවර්ධනය කිරීම රජයේ ප‍්‍රධාන වගකීමක් විය යුතුය.
(ඉ) ජනරජයේ පරමාධිපත්‍ය බලය පිහිටා තිබිය යුත්තේ ජනතාවටය. එය ජනතාවට අහිමි කළ නොහැකි බලයක් විය යුතුය.
(ඊ) ජනරජය ලෞකික කටයුතුවලට පමණක් සීමාවූ ලෝකායත රජයක් විය යුතුය.

IV. ආණ්ඩුක‍්‍රමයේ ස්වභාවය

(අ) ජනාධිපති ආණ්ඩුක‍්‍රමය අහෝසි කොට, ‘වෙස්ට්මිනිස්ටර්’ මාදිලියේ හෝ ජර්මනිය, නෙදර්ලන්තය, ස්වීඩනය වැනි රටවල තිබෙන ‘සම්මුතිවාදී’ මාදිලියේ පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක් ඇති කළ යුතුය.
(ආ) ව්‍යවස්ථාදායකය ද්විමණ්ඩල විය යුතුය.
(ඇ) පාර්ලිමේන්තුවෙන් තෝරාපත්කර ගන්නා අගමැති ආණ්ඩුවේ ප‍්‍රධාන විධායකයා වන විට ඡුන්ද මණ්ඩලයකින් තෝරාගන්නා ජනාධිපති රාජ්‍යයේ ප‍්‍රධාන විධායකයා විය යුතුය.
(ඈ) කිසියම් කලක් යන තෙක් අගමැති හැමවිටම පත්වනු ඇත්තේ මහ ජාතියෙන් වන නිසා ජනාධිපති ධුරය සුළු ජාතීන්ට වෙන් කෙරුණු තනතුරක් විය යුතුය.
(ඉ) ජනාධිපතිගේ සියලූ බලතල හා කාර්යයන් අගමැතිගේ උපදෙස් අනුව සිදුවිය යුතුය. ඉතාමත් විශේෂ අවස්ථාවලදී පමණක් අභිමත බලය පාවිච්චි කිරීමේ අයිතිය ජනාධිපතිට තිබිය යුතුය.
(ඊ) මුළුමනින් ඡුන්දයෙන් තෝරාපත් කරගත් මන්ත‍්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවෙන් තේරී පත්වන අගමැති ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලය රාජ්‍ය බලයේ කේන්ද්‍රස්ථානය ලෙස ක‍්‍රියා කළ යුතුය.
(උ) කැබිනට් මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාවේ උපරිමය 25ක් විය යුතුය. නියෝජ්‍ය ඇමතිවරුන්ගේ සංඛ්‍යාව 30කට නොවැඩි විය යුතුය.
(ඌ) පාර්ලිමේන්තුව ඇතුළු සියලූ මහජන නියෝජිත ආයතනවල කාන්තා නියෝජනය ප‍්‍රවර්ධනය කිරීමට හේතුවන විධිවිධාන ඇති කළ යුතුය.

V. අධිකරණය

(අ)අධිකරණයේ ඇතිවී තිබෙන අතිවිශාල පරිහානිය ගැන සොයා බලා අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ නිර්දේශ කරන ත‍්‍රිපුද්ගල කමිටුවක් පත් කළ යුතු අතර එම නිර්දේශ මත අධිකරණය මහජන අයිතිවාසිකම් ආරක්ෂා කරන, නීතියට අනුකූලවද කාර්යක්ෂම හා ස්වාධීනවද ක‍්‍රියාකරන අධිකරණයක් බවට පත් කළ යුතුය.
(ආ)ඇති කරන නව ආණ්ඩු ක‍්‍රමය තුළ අධිකරණය පිහිටුවිය යුත්තේ විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ ග‍්‍රහණයට හසුකරගත නොහැකි ලෙසය.
(ඇ) නීතියට පටහැනි ඕනෑම ක‍්‍රියාවක් බලරහිත කිරීමේ බලය අධිකරණයට තිබිය යුතුය.
(ඈ) අධිකරණයට පූර්ණ සමාලෝචන බලයක් තිබිය යුතුය.
(ඉ) විසමාචාර චෝදනා මත උසස් අධිකරණයේ විනිසුරුවරුන් ඉවත් කිරීම සඳහා ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූල ක‍්‍රමයක් ඇති කළ යුතුය.
(ඊ) ශ‍්‍රී ලංකාව අත්සන් තබා ඇති එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය රට තුළ බලාත්මක කළ යුතුය.

VI. අල්ලස හා දුෂණය

(අ)අල්ලස හා දූෂණය බලවත් ලෙස විධිමත් ලෙස මර්දනය කිරීම සඳහා දැන් තිබෙන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙනුවට හොංකොං හා සිංගප්පූරුවේ තිබෙන දූෂණ මර්දන කොමිෂන් සභා ආදර්ශයට ගත් දේශපාලන ඇඟිලිගැසීම්වලට ඉඩක් නැති ස්වාධීන පාර්ලිමේන්තුවට පමණක් වගකිවයුතු දූෂණ මර්දන කොමිසමක් ඇති කළ යුතුය.
(ආ) අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල, පාර්ලිමේන්තුව, පළාත් සභා හා පළාත් පාලන ආයතනද ඒ සියලූ ආයතනවල සිදුවන ගනුදෙනුද දේශපාලකයන්, අධිකරණ හා රාජ්‍ය නිලධාරීන්ද එම කොමිසමේ අධිකාරියට යටත් කළ යුතුය.

ඇතිකළ යුතු ආණ්ඩු ප්‍රතිසංස්කරණ පිළිබ‍ද රාවය මහජන පෙත්සමේ සදහන් අදහස්වලට මෙහි අත්සන් තබන මමද එකග වෙමි.

නම ( මුලකුරු අගට යොදන්න)   –

ජංගම දුරකථන අංකය  –

ඊ මේල් ලිපිනය  – 

රැකියාව    –

මැතිවරණ කොට්ඨාශය  –

අත්සන   –

ඔබගේ අනුමැතිය ඉහත ආකාරයට සකස් කර  pmr.ravaya@gmail.com විද්‍යුත් ලිපිනයට එවන්න. ආකෘති පතුයක් පහත දැක්වේ.

Online--Petitions