එල්ටීටීඊ තහනම ඉවත් කිරීම, ජනාධිපතිවරණ දිනය හා පාප්තුමාගේ ගමන

 

කැබිනට් ප‍්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ජනාධිපතිවරණය ගැන මහනුවරදී කරන ලද ප‍්‍රකාශයක් ඔක්තෝබර් 21 වැනි දින ඬේලිමිරර් පුවත්පතේ පළ කොට තිබුණි. ඊට අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ඔහු දන්නෙහිය. එහෙත් ඒ දිනය ප‍්‍රකාශ කරන්නට ඔහු කැමති නැත. සන්ධානයේ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත කියන්නේ ජනාධිපති වරණය පැවැත්වීමත්, පාප් වහන්සේගේ පැමිණීමත් යන දෙකම සිදුවන බවය. ඉන්ද පෙනෙන්නේ තවමත් ජනාධිපතිවරණයක් ප‍්‍රකාශ කර නැතත් මැතිවරණ කොමසාරිස්වරයා දෙන්න යන දිනය ඒ සියලූදෙනාම දන්නා බවය.
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ඒ සියලූදෙනාම දන්නේ නම් ජනාධිපතිවරයාද නොදැන සිටීමට හේතුවක් නැත. දැනටමත් ජනාධි පතිවරණය පැවැත්වෙන දිනය ආණ්ඩුව තීරණය කර අවසන් බව ඉන් පෙනේ. එය ජනාධිපතිගේ දෛවඥයා ලබාදී තිබෙන නැකත් දිනය බවට සැකයක් තිබිය නොහැකිය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව නම් නාමයෝජනා දිනය සේ ම ජනාධිපතිවරණ පැවැත්වෙන දිනය තීන්දු කළයුත්තේ මැතිවරණ කොමසාරිස්වරයාය. ජනාධිපති වරණයක් නිල වශයෙන් ප‍්‍රකාශ කර නොතිබියදී දැනටමත් මැතිවරණ කොමසාරිස්වරයා ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තීන්දු කොට එය ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්නම් එය මැතිවරණ කොමසාරිස්වරයා කර තිබෙන බරපතළ නීති උල්ලංඝනයක් වන බවට සැකයක් තිබිය නොහැකිය.
1982 ජනාධිපතිවරණයේ සිට මෙතෙක් ජනාධිපතිවරණ හයක් පවත්වා ඇතත්, මීට පෙර පවත්වන ලද කවර ජනාධිපතිවරණයකදීවත් ජනාධිපතිවරණයක් ප‍්‍රකාශ කොට නාමයෝජනා දිනය හා ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමසාරිස්වරයා ප‍්‍රකාශ කරන්නට පෙර මැති ඇමතිවරුන් හෝ පුවත්පත් ප‍්‍රකාශ කර නැත. බැලූ බැල්මට ඕනෑම කෙනෙකුට හිතෙන්නේ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ජනාධිපතිට ලැබී තිබෙන සහතිකයක් නිසා ඒ සියලූ කතා එසේ සිදුවන බවය. මෙය අශෝභන හා අශීලාචාර තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත.
පාප් වහන්සේ
ජනාධිපතිවරණය ජනවාරි මාසයේ දෙවැනි සතියේ මුල් දිනවල පැවැත්වෙන්නේ නම් පාප්වහන්සේගේ පැමිණීමක් සිදුවිය නොහැකිය. මැතිවරණය පැවැත්වෙන්නේ ජනවාරි 8 වැනිදා නම් මැතිවරණ ප‍්‍රතිඵල පළවනු ඇත්තේ ජනවාරි 9 වැනිදාය. ජනාධිපතිවරණ තරගය ළඟ ළඟ තරගයක් වුවහොත් දෙවරක් ඡන්ද ගණන් කරන තත්ත්වයක් පවා ඇතිවිය හැකිය. එසේ වුවහොත් ඡන්ද ප‍්‍රතිඵල නිකුත් කරන්නට සිදුවන්නේ ජනවාරි 10 වැනිදාය. ජනාධිපතිවරණය නිසා මැතිවරණ කටයුතු සඳහා එක දිගට දීර්ඝ කාලයක් පොලිසිය යොදාගන්නට සිදුවේ. පාප්වහන්සේගේ පැමිණීම වෙනුවෙන්ද පොලිස් නිලධාරීන් 50,000ක් යොදවන්නට නියමිත බවද කියනු ලැබේ. එක දිගට දීර්ඝ කාලයක් මැතිවරණ කටයුතු සඳහා යොදාගත් පොලිසියක් කිසිදු විරාමයක් ලබාදීමකින් තොරව පාප්වහන්සේගේ සංචාරය සඳහා යොදාගන්නේ කෙසේද?
කොහොමටත් පාප්වහන්සේගේ සංචාරය සඳහා වතිකානය පවත්වාගෙන යන ප‍්‍රතිපත්තිය අනුව මැතිවරණයක් පවත්වා මාසයක කාලයක් ගතවීමෙන් පසු මිස ඊට පෙර එවැනි රටක සංචාරයේ යෙදෙන්නේ නැත. ඒ නිසා නියම කරගෙන තිබෙන කාලසටහන අනුව පාප්වහන්සේ ලංකාවට නොඑන බව තේරුම් ගන්නට මහා බුද්ධියක් අවශ්‍ය වන්නේ නැත.
පාප්වහන්සේගේ සංචාරයට කතෝලික පල්ලිය, කතෝලික බැතිමතුන් මාස කිහිපයක් තිස්සේ සූදානම් කරමින් තිබුණි. ලංකාවේ කතෝලික දේවස්ථාන ඒ වෙනුවෙන්ම අලූත්වැඩියා කළේය. පාප් වහන්සේගේ රූපය සහිත විශාල කැලැන්ඩර තොගයක්ද මුද්‍රණය කරවන්නට ඇණැවුම් කළේය. පූජකයන් හා පූජකවරියන් සඳහා විශේෂ ලෝගුද සෑදෙව්වේය. කතෝලික බැතිමතුන් ආධ්‍යාත්මික වශයෙන් සූදානම් කරන වැඩසටහනක්ද පවත්වාගෙන ගියේය. ආරක්ෂක අමාත්‍යාංශය සමග ආරක්ෂාව පිළිබඳව කෙරෙන සාකච්ඡුාද සතිපතා සිදුවිය. ගෝවෙන් පමණක් බැතිමතුන් දහස් ගණනක් ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබුණි. මුලදී පල්ලියට පාප් වහන්සේගේ ගමන ගැන අල්පමාත‍්‍ර සැකයක් හෝ නොතිබුණි. ජනාධිපතිවරයා ඇතුළු ශ‍්‍රී ලංකා නියෝජිත පිරිස වතිකානයට යනවිටත් ජනවාරි මුලදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා තීන්දු කර තිබුණි. එහෙත් මොන මොන හේතු නිසා හෝ ඒ බව වතිකානයට දැනුම් දුන්නේ නැත. එහෙත් කතෝලික පල්ලිය සසල වූයේ පාප් වහන්සේගේ සංචාරයට පෙර ජනවාරි මුලදී ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව අසන්නට ලැබුණු විටය. කාදිනල් මැල්කම් රංජිත් තමන්ට සිදුවී තිබෙන අයුක්තිය ගැන ජනාධිපතිවරයාට ලීවේය. ඒ ගැන සන්ඬේ ටයිම්ස් පුවත්පත කාදිනල්වරයාගෙන් කරුණු විමසූ විට කාදිනල්වරයා කීවේ ලිපියක් යවන ලද බව සත්‍යයක් වුවත් එය ජනාධිපතිවරයා අමතා ලියන ලද රහස්‍ය ලිපියක් නිසා ඊට ඇතුළත් කරුණු ප‍්‍රකාශ කළ නොහැකි බවය. එහෙත් ඉක්මනින් පුවත්පත් සාකච්ඡුාවක් පවත්වන බව ප‍්‍රකාශ කර තිබුණි. කතෝලික පල්ලියට තේරුම් ගත නොහැකි වී තිබෙන දේ වනුයේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නම් පාප්වහන්සේගේ සංචාරයෙන් පසු එය නොකරන්නේ ඇයිද කියාය. ජනාධිපතිවරයාට එසේ කිරීමට සිදුවී තිබෙන්නේ පාප්වහන්සේ කෙරෙහි ඇති අකෘතඥභාවයක් නිසා නොව දෛවඥයා ජනාධිපතිවරණයක් සඳහා ලබාදී තිබෙන සුබ නැකැත් දිනය යෙදී තිබෙන්නේ පාප්වහන්සේගේ සංචාරයට පෙර නිසාය. දෛවඥයාට අනුව 2015 වසරට ඒ සුබ නැකත හැර ජනාධිපතිවරයාට වෙනත් සුබ නැකතක් නැත. අවසානයේ පාප්වහන්සේගේ සංචාරය වෙනුවට සුබ නැකත තෝරා ගැනීමට ජනාධිපතිවරයාට සිදුවී තිබේ.
දින සෙල්ලම
එහෙත් ජනාධිපතිවරයාගේ දෛවඥයා ලබාදී තිබෙන සුබ නැකැත් දිනයට ජනාධිපතිවරණය පැවැත්වීමේ ඇත්ත හැකියාවක් මැතිවරණ කොමසාරිස්වරයාටද නැත. මීට පෙර සතියේ පළ කළ ලිපියට ඇතුළත් වගුවට අනුව ජනාධිපතිවරණය ප‍්‍රකාශ කිරීමේ දිනයේ සිට ජනාධිපතිවරණය පවත්වන දිනය දක්වා මෙතෙක් ගතවී තිබෙන දින ගණන් මෙසේය 1982දී දින 51කි. 1988දී දින 59කි. 1994දී දින 53කි. 1999දී දින 54කි. 2005දී දින 58කි. 2010දී දින 64කි.
ආණ්ඩු පක්ෂය මැතිවරණ දිනය කල්තියා දන්නා නිසා ආණ්ඩු පක්ෂයට සිය මැතිවරණ කටයුතු අරබයා මේ වනවිට මාසයක පමණ කාලයක් ගතවී ඇතැ’යි කිව හැකිය. ඉක්මන් අයවැය හා ඉන් දෙනු ලබන සියලූ සහන සැලසුම් කර තිබෙන්නේ ජනාධිපතිවරණය අරමුුණු කරගෙනය. රුපියල් දෙලක්ෂයකට වැඩි වටිනාකමක් ඇති මෝටර් බයිසිකල් ලක්ෂයක් ක්ෂේත‍්‍ර නිලධාරීන්ට රුපියල් 50,000ක් වැනි මුදලකට බෙදාදෙමින් තිබෙන්නේද ජනාධිපතිවරණය අරමුණු කරගෙනය. ඒ වෙනුවෙන් පමණක් රජය දරන පාඩුව රුපියල් මිලියන 15,000කි. ජනාධිපතිවරණය ඉලක්ක කොටගෙන කරන්නට යන ප‍්‍රාදේශීය සංවර්ධනය සඳහාද වෙන්කර තිබෙන මුදල රුපියල් මිලියන දහස් ගණනකි. එක අමාත්‍යාංශ ලේකම්වරයකු පුද්ගලයන් 5000ක් අරලියගහ මන්දිරයට රැුගෙන ආයුතු බවට නියම කර තිබේ. අරලියගහ මන්දිරයේ 5000කට අසුන් ගතහැකි විශේෂ පීඨයක් ඇති අතර ජනාධිපතිවරයා ජනාධිපතිවරණය වෙනුවෙන් රාජ්‍ය සේවකයන් ලක්ෂ ගණනකට රැුස්වීම් පැවැත්වීමට සැලසුම් කර තිබෙන්නේ එම පීඨයේය. එහි පැවැත්වෙන රැුස්වීම්වලට එන අයට ආණ්ඩුවේ වියදමින් දොඩම් යුෂ වීදුරුවක්ද, හොඳ ආහාර වේලක්ද ලබාදෙයි. මීට අමතරව ආණ්ඩු පක්ෂයේ හැම සංවිධායක යකුටම ජනාධිපතිවරණ කටයුතු කරගෙන යෑම සඳහා රුපියල් මිලියන 10ක් දෙන්නට නියමිත බවද පුවත්පත් වාර්තා කර තිබුණි. ඉන් පෙනෙන්නේ කරන සමහර කටයුතු නීතියට පටහැනි වුවත් ජනාධි පතිවරණයේ වැඩ ආණ්ඩු පක්ෂය දැනටත් ගජරාමෙට කරගෙන යන බවය. මේ සියල්ල මැතිවරණ කොමසාරිස්වරයාටද නොපෙනෙනවා විය නොහැකිය.
ජනාධිපතිවරයා ප‍්‍රකාශය කිරීමෙන් පසු ජනාධිපතිවරණය පැවැත්වීම දක්වා මෙතෙක් ජනාධිපතිවරණවලදී ගතවී තිබෙන දින ගණන් අනුව නම් ජනාධිපතිවරයාගේ සුබ නැකතට දිනයක් දීම මැතිවරණ කොමසාරිස් වරයාට මුහුණ දෙන්නට සිදුවන දුෂ්කරම ප‍්‍රශ්නය වනු ඇති බවට සැකයක් තිබිය නොහැකිය. විරුද්ධ පක්ෂ අපේක්ෂකයන්ට ජනාධිපතිවරයාගේ සුබ නැකත වැදගත්වන්නේ නැත. පාප් වහන්සේගේද එන නොඑන ප‍්‍රශ්නය ජනාධිපතිවරණය ප‍්‍රකාශ කිරීමත් සමග විසඳෙනු ඇති නිසා දින නියම කිරීමේදී පාප් වහන්සේගේ පැමිණීම පිළිබඳ ප‍්‍රශ්නයක් ඇතිවන්නේද නැත. ජනාධිපතිවරණ පනත අනුව ජනාධිපතිවරණයක් ප‍්‍රකාශ කිරීමෙන් පසු නාමයෝජනා සඳහා ලබාදෙන කාලය දින 16කට නොඅඩු විය යුතු අතර දින 21කට නොවැඩි විය යුතුය. මෙතෙක් පැවති කිසිම ජනාධිපති වරණයකදී දින 16 අවම කාලය පාවිච්චි කර නැත. 1982දී දින 18ක්ද, 1988දී දින 17ක්ද, 1994දී දින 20ක්ද, 1999දී දින 19ක්ද, 2005දී දින 18ක්ද, 2010දී දින 24ක්ද ලබාදී තිබේ. දින 18ක් ලබාදුනහොත් නාමයෝජනා දිනය එනු ඇත්තේ දෙසැම්බර් 8 වැනිදාය. ඉන්පසු මැතිවරණ ප‍්‍රචාරක කටයුතු කිරීම සඳහා දින 40ක් ලබාදුනහොත් ජනාධිපතිවරණය පවත්වන්නට සිදුවන්නේ ජනවාරි 17 වැනිදාය. දින 35ක් දුනහොත් (එය සාධාරණ ගණනක් නොවේ.) ජනවාරි 12 වැනිදාය. කොහොම ගණන් බැලූවත් සුබ නැකතට දිනයක් දීමේ හැකියාවක් ඇත්තේම නැති තරම්ය. එවිට ජනාධිපතිවරයාට ජනාධිපතිවරණය තරග කරන්නට සිදුවනු ඇත්තේ සුබ නැකතද අහිමි කරගනිමිනි.
කොටි තහනම ඉවත් කිරීම
යුරෝපා සංගමයේ අධිකරණයක් විසින් එල්ටීටීඊඊ තහනම ඉවත්කිරීමේ ප‍්‍රශ්නයේ අපවාදය ආණ්ඩුව බැරකරමින් තිබෙන්නේද එජාපයේ ගිණුමටය. මුලදී මෙය පුවත්පත් විස්තර කළේ යුරෝපා සංගමය විසින් ගනු ලැබූ තීන්දුවක් ලෙසය. ඇත්තටම මෙම නඩුව විභාග වූයේ යුරෝපා සංගමයට තිබෙන ඉහළම අධිකරණයක නොව හේග් නුවර තිබෙන දිස්ත‍්‍රික් අධිකරණයකය. එල්ටීටීඊයට එරෙහිව යුරෝපා සංගමය පනවා තිබෙන තහනම ඉවත් කරගැනීම සඳහා වන මෙම නඩුව එල්ටීටීඊයට හිතවත් පුද්ගලයන් තිදෙනකු විසින් ආරම්භ කර තිබෙන්නේ 2011 අපේ‍්‍රල් 11 වැනිදාය. ඒ නඩුව ලංකාවට අහිතකර බලපෑමක් ඇති කරන නඩුකරයක් වී නම් එම නඩුවට පාර්ශ්වකරුවකු ලෙස සම්බන්ධ වී අධිකරණය ඉදිරියේ කරුණු ගෙනහැර දැක්වීමේ වගකීමක් ලංකාණ්ඩුවට තිබුණි. එහෙත් ලංකා ආණ්ඩුව එම වගකීම ඉටු කළේ නැත.
හේග් දිසා අධිකරණය ඔක්තෝබර් 16 වැනිදා දෙන ලද තීන්දුව නිසා යුරෝපා සංගමය එල්ටීටීඊයට අදාළව පවත්වාගෙන යන තහනම ඉවත්වන්නේ නැත. අනෙක් අතට එල්ටීටීඊ අරමුදල් සඳහා පනවා තිබෙන තහනමද මෙම තීන්දුවෙන් ඉවත් කර නැත. යුරෝපා සංගමය එල්ටීටීඊයට පනවා තිබෙන තහනම අහෝසි වනු ඇත්තේ යුරෝපා සංගමය මෙම තීන්දුව පිළිගෙන ඊට එරෙහිව යුරෝපා සංගමයේ ඉහළම අධිකරණය වන යුක්තිය සඳහා වන යුරෝපා අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් නොකරන්නේ නම් පමණය. මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අයිතිය ශ‍්‍රී ලංකා ආණ්ඩුවටද ඇත්තේය. අභියාචනයක් ඉදිරිපත් කිරීමේ නිල අනුමැතිය තමන්ට ලබාදෙන්නේ නම් ඒ වගකීම භාරගන්නට ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය සූදානම් බව එහි සභාපති දැනටමත් ප‍්‍රකාශ කර තිබේ. එය තෝරාගත හැකි එක මාර්ගයකි. ආණ්ඩුවට තෝරාගත හැකි වෙනත් මාර්ගද තිබෙන්නේය. කොටි සංවිධානයට යුරෝපා සංගමය පනවා තිබෙන තහනම ඉවත් කිරීම වළකා ගැනීමට අවශ්‍ය නම් යුරෝපා සංගමය කරන්නේ මොකක්දැ’යි බලා නොසිට ආණ්ඩුව යුක්තිය පිළිබඳ යුරෝපා අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ යුතුය.
තහනම් කළ සංවිධානයක තහනම හැමදාමත් පවත්වාගෙන යා නොහැකි බව තේරුම් ගැනීමද වැදගත්ය. කොටි සංවිධානයද ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කොට වෙනත් රටවල් එම සංවිධානය තහනම් කළේ එය ත‍්‍රස්තවාදී කටයුතුවල නිරත වී සිටි බිහිසුණු සංවිධානයක් වූ නිසාය. එම සංවිධානය කරන ත‍්‍රස්තවාදී ක‍්‍රියා ප‍්‍රධාන කොට ලංකාවටත්, අසල්වැසි ඉන්දියාවටත් සීමාවිය. එම සංවිධානය වෙනත් රටවලදී අරමුල් එකතු කිරීම් හා ආයුධ මිලදී ගැනීම් කටයුතුවල නිරත වුවත් ඒ රටවල ආණ්ඩුවලට පහරදෙන තැනකට ගියේ නැත. ඒ අර්ථයෙන් ඉන්දියාව හැර අන් සියලූ රටවල් එල්ටීටීඊය ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කොට තහනම් කරන ලද්දේ ලංකාවට දෙන සහයෝගයක් වශයෙනි. යුරෝපා සංගමය පනවන ලද තහනම කෙරෙහි තීරණාත්මක ලෙස බලපෑවේ ඇමරිකාවය. ඒ අර්ථයෙන් ඇමරිකාව හා යුරෝපා රටවල් දෙමළ දුක්ගැනවිලි ගැන අනුකම්පාවක් තිබුණද එල්ටීටීඊයට සහයෝගය දෙන තැනක සිටියේ නැත. ඒ රටවලට එල්ටීටීඊ හිතවාදී ලේබලය අලවන ලද්දේ අප විසිනි. යුද්ධය පැවති කාලයේදී එල්ටීටීඊයේ මුහුදු සැපයුම් මාර්ග අඩපණ කිරීමට අප සමත්වූයේද ඇමරිකාව ලබාදුන් තොරතුරු හේතු කොටගෙනය.
අවසාන යුද්ධයේදී එල්ටීටීඊය යුදමය වශයෙන් මුළුමනින් පරාජය කිරීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ ආරක්ෂක හමුදා සමත් විය. එල්ටීටීඊ ඉතුරුබිතුරු යම් යම් තැන්වල ඉතිරිව තිබෙනවා විය හැකි වුවත් ඔවුන් නැවත ආයුධ සන්නද්ධව නැගීසිටින තැනකට යනු ඇතැ’යි සිතිය නොහැකිය. ප‍්‍රචණ්ඩ මාර්ගයක් තෝරාගත් සංවිධානයක් කිසියම් අවස්ථාවක ප‍්‍රචණ්ඩ මාවත අත්හැරියහොත් ඔවුන් සම්බන්ධයෙන් පනවා තිබුණු තහංචිද අවලංගුවන තත්ත්වයක් ඇතිවිය හැකිය. ජේවීපීයද කලක් ප‍්‍රචණ්ඩ මාවත තෝරාගෙන සිටි තහනම් කර තිබූ සංවිධානයකි. එහෙත් පසුකලක ජේවීපීය ප‍්‍රචණ්ඩ මාවත අතහැර ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතට මාරුවිය. නැවත ජේවීපීය ප‍්‍රචණ්ඩ මාවත තෝරාගනු ඇතැ’යි කිසිවකුත් කල්පනා කරන්නේ නැත. එසේ කල්පනා කරන්නේ නම් එය ඉතාමත් අයුක්තිසහගතය. ඒ ධර්මතාව එල්ටීටීඊයටද අදාළය.
දෙමළ ඩයස්පෝරාව තුළ එල්ටීටීඊය ඉතා බලවත් තත්ත්වයක් හිමිකරගෙන සිටි කාලයක් තිබුණි. එහෙත් අද ඔවුන්ගේ තත්ත්වය ශක්තිමත් නැත. එල්ටීටීඊය ගැන ඔවුන් අතරද මහා වාද විවාද පවතී. එල්ටීටීඊය අත්පත් කරගත් මහා පරාජයෙන් පසුව එල්ටීටීඊය පෙනී සිටි මතවාදය පිළිගන්නා අය දෙමළ සමාජයේ ඇත්තේම නැති තරම්ය. දෙමළ සන්ධානයේ නායකයන්ට එල්ටීටීඊ ලේබලය ඇලවීම තරම් පාපයක් තවත් තිබිය නොහැකිය. සාම්ප‍්‍රදායික දෙමළ නායකයන් තරම් එල්ටීටීඊයෙන් බැටකෑ පිරිසක් නැති තරම්ය. ඔවුන්ගෙන් වැඩිම පිරිසක් ඝාතනයට ලක්වූවෝ එල්ටීටීඊය අතිනි. එල්ටීටීඊය ඉතා බලවත් තත්ත්වයක් හිමි කරගත් අවස්ථාවකදී සාම්ප‍්‍රදායික දෙමළ නායකයන් සිය ජීවිත ආරක්ෂාව සඳහා ඔවුන්ට පක්ෂපාතීත්වය ප‍්‍රදර්ශනය කළ බව සත්‍යයකි. එහෙත් ඔවුන් කිසිවිටෙකත් හදවතින් එල්ටීටීඊ හිතවාදීන් වීයැ’යි කිව නොහැකිය. සාම්ප‍්‍රදායික දෙමළ නායකයෝ කිසිවෙක් වෙනම රාජ්‍යයක් ගැන කල්පනා නොකරති. ඒ සියල්ල එසේ තිබියදීත් ආණ්ඩුවේ පැවැත්මට එල්ටීටීඊ බිල්ලා නැතිව බැරි සාධකයක් වී තිබේයැ’යි කිව හැකිය.