ගොයම් කන්නේ නියර ම නම්

ජනාධිපතිවරයා නැවතත් පරණ පුරුද්දක් අරඹමින් සතියකට දින කිහිපයක් ම රාජ්‍ය නිලධාරීන්, සේවකයන් හා විවිධ ජනකොටස් අරලියගහ මන්දිරයේ විශේෂ ශාලාවකට කැඳවමින් ඔවුන් සමග සංවාද පවත්වන බව මාධ්‍ය කියයි. පරණ පුරුද්දක් ය කීවේ හැම මැතිවරණයක් ආසන්නයේදී ම ජනාධිපතිවරයා මේ පිළිවෙත දිගට ම අනුගමනය කළ නිසා ය.

එහෙත්, ඇත්ත වශයෙන්ම දැන් එහි සිදුවන්නේ ඊනියා සංවාදයන් නොව, මීළඟ ජනාධිපතිවරණයේ ජනාධිපතිවරයාගේ ප‍්‍රචාරක ව්‍යාපාරය ඉදිරියට ගෙන යෑම යි. ඒ සඳහා යොදා ගන්නා පන්දහසකට පමණ එක වර අසුන් ගත හැකි දැවැන්ත ශාලාව ඉදි කර ඊට පහසුකම් සපයා ඇත්තේ ද, එක් වරකට එහි ගෙන එන පන්දහසකට ආසන්න පිරිසට ආහාරපාන හා වෙනත් පහසුකම් සපයන්නේ ද කිසිවකුගේ පෞද්ගලික බූදලයකින් නො ව මේ රටේ මහජනයාගේ බදු මුදලෙනි. රටේ සෑම පුද්ගලයකුම භාණ්ඩ හෝ සේවා හෝ ලබා ගැනීමට වැය කරන සෑම රුපියලකින් ම අඩු ගණනේ සත හැත්තෑවක් වක‍්‍ර බදු ලෙස ආණ්ඩුවට ගෙවන බව මතක් කර ගැනීම වටියි. ජනාධිපතිවරයා තමාගේ බූදලයෙන් මෙන් මේ වියදම් කරන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වත් අරමුදල් නොවේ.

ජනාධිපතිවරයා මෙලෙස අතිවිශාල පිරිසක් වරින් වර රැුගෙන අවුත් සංග‍්‍රහ කොට ඇමතීම නීතිය අනුව වරදක් නො වේ. මන්ද, මේ වන විට කිසිම මැතිවරණයක් ලංකාවේ පැවැත්වෙන බවට නීත්‍යනුකූල දැන්වීමක් නැති නිසා ය. එහෙත්, මැතිවරණ පැවැතුණු කාලවලදී ද මේ පිළිවෙත දිගට ම අනුගමනය කැරුණු බව රට දනියි.
මෙයින් පෙනෙන්නේ අන් සියලූ අපේක්‍ෂකයන්ට පෙර ජනාධිපතිවරයා සිය ඡන්ද ප‍්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කර ඇති බවයි. ඔහු ඒ සඳහා යොදා ගන්නේ විධායක ජනාධිපතිධුරයෙන් ඔහුට පැවැරී ඇති බලතල ය.

රටේ නීතියට අනුව වරදක් නො වුණත්, තමන්ගේ බලතල යොදා ගෙන කරන මේ අවනීතික කාර්යය සදාචාරයට විරුද්ධ බවත්, ජනාධිපතිවරණයක දී සියලූ අපේක්‍ෂකයන්ට සමාන තත්ත්වයක් ලැබිය යුතු ය යන මූලධර්මයට පටහැණි බවත් ජනාධිපතිවරයා දන්නේ නැති ද? අවාසනාවකට මේ සියලූ දේ කෙරෙන්නේ ඒ තත්ත්වය හොඳින් ම දැනගෙන ය. එසේ නම් බෞද්ධ ධර්මයේ දේව ධර්මය ලෙස සැලකෙන කිසිදු ලජ්ජාවකින් හෝ බයකින් හෝ තොර ව මෙවැනි දේවල් සිදුවන්නේ ඇයි?

එක් පැත්තකින් කෙසේ හෝ බලය ලබා ගැනීමට ඇති කෑදරකම නිසා ය. තමාගේ බලය තවදුරටත් තබා ගැනීම සඳහා වූ අරමුණෙන් මැඬෙන ජනාධිපතිවරයාට රටේ ඉහළම නීතිය වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන පවා කමකට නැත. රටේ අනෙකුත් නීති, රෙගුලාසි, නියමවලින් වැඩක් නැත. තමාගේත්, තම පවුලේත්, ඥාතීන්ගේත්, ගජමිතුරන්ගේත් වුවමනා එපාකම් ඉටුකරන්නට රටේ නීති කඩ කිරීමත්, අවශ්‍ය වෙනස්කම් හිතුවක්කාර ලෙස කිරීමත් ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් අපහසු දේ නො වේ. ඌව පළාතේ ප‍්‍රධාන ඇමති ධුරයත්, කතරගම දේවාලයේ බස්නායක ධුරයත් එකවර තම ඥාති පුතණුවන් වන ශෂින්ද්‍ර රාජපක්‍ෂට දැරිය හැකි වන ලෙස චිරාත් කාලයක් රටේ පැවතියා වූ නීතියට සංශෝධනයක් ගෙනාවේ මේ ජනාධිපතිවරයා ම ය.
අනෙක් පැත්තෙන්, නුඹලාට කළ හැකි දෙයක් කරපල්ලා. මට අවශ්‍ය දේ මම කරනවා ය කියන උද්දච්ඡු සිතුවිල්ල නිසා ය. විධායක ජනාධිපති ධුරය නිසා තමා වටා ඇති බලයත්, රශ්මියත් ජනාධිපතිවරයා හොඳින් දනියි. තමා නීතියට ඉහළින් තබා ඇත්තකු බව ද ඔහු හොඳින් දනියි. නීතිය ඉදිරියට පමුණුවන්නට බැරි නිසා නීතිය කැඞීම ම සිය පිළිවෙත ලෙස ඔහු රකිනවාදැ’යි කියන්නට ද බැරි ය. එහෙත්, නීතියට ඉහළින් සිටින්නාගෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ නීතිය නො කඩා සිටීම ය කියා නම් ඔහු දන්නා බවක් නො පෙනේ.

රටේ ජනාධිපති ධුරය කෙතරම් ආදර්ශවත් ධුරයක් ද? එහෙව් තැනකින් ලැබෙන්නේ නීතියත්, සදාචාරයත් වුවමනාවෙන් ම බිඳින මෙවැනි ආදර්ශ නම් එවැනි රටක තිබිය හැකි සදාචාරය කුමක් ද? හැදියාව කුමක් ද? නීතිගරුකභාවය, නීතියේ පාලනය පිළිබඳ මිනුම්දඬුව කුමක් ද?