එක්සත් ජාතික පක්ෂයට ආර්ථික ප‍්‍රතිපත්තියක් වහාම ඕනෑකර තිබේ

චානුක වත්තේගම

ජනාධිපති සිහිනය දකිමින් සිටින එක්සත් ජාතික පක්ෂය මෙතෙක් කොට නැත්තේ තමන්ගේ ආර්ථික ප‍්‍රතිපත්ති පැහැදිලිව ජනතාවට ඉදිරිපත් කිරීමය. ඔවුන් ජනාධිපතිවරණය සීරියස් ගන්නේ නම් මේ වහා කළ යුතු දෙයකැයි සිතමි.

පළමුව, එක්සත් ජාතික පක්ෂය යනු නිදහස ලැබීමේ පටන්ම කිහිපවාරයක්ම තම ආර්ථික ප‍්‍රතිපත්ති කාලානුරූපව මාරු කළ පක්ෂයකි. එනිසා ඒ පිළිබඳ වාමාංශික කියැවීම කවරක් වුවද සේනානායක ජයවර්ධන ප‍්‍රතිපත්තීන් වත්මන් එජාපය තුළද එසේම ක‍්‍රියාත්මක වේය උපකල්පනය වරදකි. දෙවනුව පසුගිය වසර දහයක පමණ කාලය තිස්සේ එජාපය අවම වශයෙන් පළාත් සභාවක හෝ බලය දරා නැත. එහි පැරැුණි නායකයන් කිහිපදෙනකු හැරුණු විට ඇත්තේ අලූත් මුහුණුය. අලූත් මොළය. මේ මොළ සිතන්නේ කෙසේද පුරවැසියන් වන අපි නොදනිමු. තෙවනුව හා වඩාත් වැදගත්ව, එජාපයට අද්‍යතන වාතාවරණය තුළ තම පැරැුණි ප‍්‍රතිපත්ති එසේම ක‍්‍රියාත්මක කළ හැක්කේද යන ප‍්‍රශ්නය පැනනැගෙයි.
නිදහසට ඒක්ෂණ එක්සත් ජාතික පක්ෂ රජයන්ට තම ප‍්‍රතිපත්ති ගැන ලොකුවට හිතන්ට දෙයක් වීය නොසිතමි. ‘ජාතියේ පියා‘ගේ වගකීම වූයේ සුද්දා ඒ වන තෙක් පදවාගෙන ආ අඟුරු කෝච්චියම, දේශීය ඌරුවට ඉස්සරහින් පුවක් මලක් ගසාගෙන පැදවීමය. මේ හැරුණු විට මහ සේනානායක ආණ්ඩුව කළ ලොකුම දෙය වියළි කලාපයේ එවකට ජනශූන්‍ය ප‍්‍රදේශයන්හි කෘෂිකාර්මික ජනපද ඇතිකිරීමය. මෙය රට සහළින් ස්වයංපෝෂිත කිරීම මෙන්ම රටේ ජනගහනයෙන් සැලකියයුතු ප‍්‍රතිශතයක් වන ගොවීන්ගේ ඡුන්දය බලාපොරොත්තුවෙන් කළ දෙයක් ලෙසද සැලකිය හැකිය. 1970 පමණ වනතුරු මේ නිද්‍රාශීලී ප‍්‍රතිපත්ති එජාපයේ ටේ‍්‍රඞ්මාක් එක විය. එයින් වැඩිම වාසිය ගත්තෝ ප‍්‍රතිවාදීහුය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා වාමාංශිකයෝ මේ වන විට සිය ජනහිත ප‍්‍රතිපත්ති මත එජාපයට වඩා බොහෝ සෙයින් ජනතාවට සමීපව සිටියෝය.

හැත්තෑ ගණන්වල මැදහරියේදී ජුනියස් ජයවර්ධන මේ අඟුරු කකා කොළඹ දුවන ගමනේ වරද වටහා ගන්නේය. ඇත්තටම 70-77 සමගි පෙරමුණු රජයේ ගොන්කම් විසින් ජයවර්ධන එතැනට තල්ලූ කරලනු ලබයි. 1978 දී ලංකා ආර්ථිකයේ එතෙක් මෙතෙක් වූ රැුඩිකල්ම විපර්යාසය කරන්නේ ජයවර්ධනය. (1977 දී එජාපය බලයට පත් වුවද මේ වෙනසට අදාළ බොහෝ දේ සිදුවන්නේ ඉන් වසරකට පසුව 1978 දීය.) එතෙක් රාජ්‍ය කේන්ද්‍රීය වූ ආර්ථිකයට 1978 දී නිදහසින් පසුව මුල්වරට පෞද්ගලික අංශය තීරණාත්මකව ඇතුළු වෙයි. ජාත්‍යන්තර වෙළෙඳාම ලිබරලීකරණය වන අතර ඒ වන තෙක් බලපැවැත්වූ දැඩි ආනයන රෙගුලාසි බලා සිටියදීම වාගේ ලිහිල් වෙයි. පෞද්ගලික බැංකු, පෞද්ගලික රෝහල් ආරම්භ වේ. ‘ඔරෙංජං බාර්ලි‘ වෙනුවට කොකාකෝලා ආදේශ වෙයි. හාල් පොත අවලංගු කෙරෙන අතර ආහාර ද්‍රව්‍ය වෙළෙඳාම රජයේ පාලනයෙන් නිදහස් වෙයි. පෞද්ගලික අංශය ගමනාගමනයට එක් වෙයි. මොරිස් මයිනර් ටැක්සි වෙනුවට තෙසක්-රිය බිහි වෙයි.

ඉන්පසු සුක්කානම අතට ගන්නා රණසිංහ පේ‍්‍රමදාසට දළ රළ පෙළ මැදින් යාත‍්‍රා කරන්ට ලැබෙන්නේ බලාපොරොත්තු වූවාට වඩා කෙටි දුරකි. මේ කෙටිකාලය තුළ ඔහුගේ ලොකුම සම්මාදම ධනවාදය යනු ලොක්කන්ට පමණක් නොව සොක්කන්ටද එක සේ මහඟු ඵල මහානිසංස ගෙනෙන කප් රුකක්ය යන මතය ජනගත කිරීමයි. එපිණිස ඔහු යොදාගන්නේ ගම්නියම්ගම් විනිවිදින ඇඟලූම් කර්මාන්ත ශාලාය. 1990 මැද හරිය වන විට, ජුනියස් ජයවර්ධන විසින් හඳුන්වා දෙනු ලැබූ විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය, රණසිංහ පේ‍්‍රමදාස විසින් තෙම්පරාදු කරනු ලදුව, කෙතෙක් ඓන්ද්‍රීයව ජන ජීවිතයට බද්ධ වන්නේද කියතොත් ප‍්‍රතිවාදීන්ට පවා එයින් තොරව තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ලිවිය නොහැකි වන්නේය.

එක්සත් ජාතික පක්ෂයේ උපරිම නව ලිබරල් පාලනය අපට හමුවන්නේ රනිල් වික‍්‍රමසිංහ යටතේය. 2001 දී ඔහුගේ අගමැතිකමින් ඇරැුඹෙන රජය මෙරට සියලූ රජයන් අතුරින් නවලිබරල්වාදී මූලධර්ම වඩාත් සමීපව ක‍්‍රියාත්මක කරන්ට උත්සාහ ගත් රජය සේ ඉතිහාස ගතවනු නිසැකය. හැම එකක්ම නොවතුදු වොෂින්ටන් සමාහිතයේ කරුණු දහය අතුරින් වැඩි හරියක් ක‍්‍රියාත්මක කරන්ට මේ රජය උත්සාහ දරයි. අයවැය හිඟය අඩු කරන්ට උත්සාහ දැරෙන අතර ඉන් පෙර වසරෙහි ඍණ 1.5%ක්වූ වර්ධන වේගය 2002 දී 4% දක්වා වැඩිවේ. පාඩු ලබන රාජ්‍ය ආයතන රාශියක් මේ සමයේදී පුද්ගලික අංශය වෙත පවරා දී තියේ. තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ ඉන් පෙර නුවූ විරූ උත්සාහයන් ගැනෙන්නේද මේ සමය තුළදීයි. රාජ්‍ය හා ව්‍යාපාර අංශයන්හි පුළුල් ලෙස තාක්ෂණය භාවිතය ඇරැුඹේ. අද ඇති වී තීබෙන තොරතුරු තාක්ෂණ බූම් එකේ මූලාරම්භයද එතැනය. ලංකාවේ පළමු වතාවට රජයක් මූල්‍ය කළමනාකරණ උත්සාහයක් දරන්නේ මේ යුගයේදීය. හැබැයි මේ උත්සාහයම ජනතාවගේ පැත්තෙන් අවම ජනප‍්‍රිය තීරණය ගන්ට රජය පොළඹවයි. ඒ ඒ වන විට 3,50,000 පමණ වූ රාජ්‍ය සේවකයන් ගණන වැඩි නොකරන්ට රජය ගන්නා තීරණයයි. මේ මෑතකාලීන රජයන් අතුරින් කිසිවකුට රැුකියා නොදුන් එකම රජයයි. එය වසර දෙකකට මඳක් වැඩි කාලයක් තුළ, කොස් ගෙඩියක් කඩා වැටෙන්නාක් සේ, කඩා වැටෙන්ට දෙවන ප‍්‍රබල හේතුව වන්නේද එයයි.

ඉහත විවිධ ප‍්‍රතිපත්ති සෙට් අතුරින් තමන් නැවත බලයට එතොත් එක්සත් ජාතික පක්ෂය ක‍්‍රියාත්මක කරන්නේ කවර සෙට් එකද? එසේ නැතහොත් ඔවුන් මේ සියල්ල ඉවත දමා අලූත් ප‍්‍රතිපත්ති සෙට් එකක් තෝරා ගන්නේද? අවාසනාවකට මේ දක්වා මේ සම්බන්ධයෙන් ඔවුන් විසින් දී ඇත්තේ එකිනෙකට පරස්පර, අපැහැදිලි ප‍්‍රතිචාරයය. නිදසුන් කිහිපයක් පහත දැක්වේ.
අද එක්සත් ජාතික පක්ෂ නායකයෝ ආවේගශීලීව ‘කැසිනෝ සංස්කෘතියකට‘ එරෙහිව කතා කරති. එහෙත් සංචාරක ව්‍යාපාරය රටේ ප‍්‍රධාන ආදායම් මාර්ගයක් කරගන්ට තැත්කරන කවර හෝ රජයකට ‘කැසිනෝ සංස්කෘතියකින්‘ තොරව එය කළ හැක්කේද? ශ‍්‍රී ලංකන් එයා ලයින්ස් තායිලන්තයේ බැංකොක් නුවරට දිනකට ගමන් වාර දෙකක් පියාසර කරයි. දේශපාලන ස්ථාවරභාවයක් නැති, වරින් වර කලබල ඇතිවන, පියාසර නොකළ යුතුය රටවල් ගණනාවක් අවවාද කොට ඇති තැනකට කොළඹ නගරය වැනි තැනක සිට ගමන්වාර දෙකක්ම අවශ්‍ය ඇයි? මෙයින් අදහස් වන්නේ මේ මොන ප‍්‍රශ්න තිබුණත් තවමත් බැංකොක් නගරයේ කැසිනෝ-කාම-විනෝද-ෂොපින් සංස්කෘතිය විසින් ආකර්ෂණය කරනු ලබන විශාල ජන සංඛ්‍යාවක් සිටින බව නේද? මේ රටවලට තරගකාරී ලෙස සංචාරක ව්‍යාපාරය දියුණු කරන්ට උත්සාහ දරන රටක් වශයෙන් අපට හුදෙක් අනුරාධපුරයේ ගල්කණු, හික්කඩුවේ කොරල්පර පෙන්වීම තුළින් පමණක්ම සංචාරක කේන්ද්‍රයක් විය හැක්කේද? ආගමික තහංචි කවරක් වුවද තායිලන්තය පමණක් නොව සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල් ගණනාවක් දැනටම අනුගත වී ඇති මෙ ඊනියා ‘කැසිනෝ සංස්කෘතියෙන්‘ පරිබාහිරව අපට අපේ සංචාරක ව්‍යාපාරය කෙතෙක් දියුණු කළ හැකිද?

එක්සත් ජාතික පක්ෂය වත්මන් ආණ්ඩුව චීනයෙන් ණය ගැනීම ගැනද සංවේගයෙන් කතා කරයි. ඔව්, චීනයෙන් ණය ගැනීම නවත්වන්ට එජාපයට පිළිවන. හැබැයි ඒ චීනය වෙනුවට වෙන කෙරුම් කාරයකුට ළංවීමෙනි. චීනයෙන් ණය ගැනීම හා ඇමෙරිකාවෙන් ණය ගැනීම අතර වෙනසක් තිබේද? ණය නොගෙන රට දියුණු කරන්ට හැකි නම් පට්ටය. හැබැයි අද වන විට ලංකාව වැනි රටකට එය ප‍්‍රායෝගික දුෂ්කරතාවකි. ණය නොගන්නේ නම් සංවර්ධන කටයුතු පිණිස වැය කරන්ට වන්නේ සමාජ ආරක්ෂණය සඳහා යෙදවිය යුතු මුදල්ය. නැතිනම් සංවර්ධන කටයුතු සම්පූර්ණයෙන් අත්හිටුවිය යුතු වේ. ණය නොගැනීමේ ප‍්‍රතිපත්තියක් අනුගමනය නොකළ හැකි බව දන්නා එජාපය වැරදි චිත‍්‍රයක් මවා පාන්නේ ඇයි?

මේ සියල්ලට වඩා තීරණාත්මක, රජයේ රැුකියා පිනට දීමේ ගැටලූවට දැන් යොමුවෙමු. 1970 ගණන්වල සිට බලයට පත් වූ හැම රජයක්ම (2001 වික‍්‍රමසිංහ රජය හැරුණු විට) පාක්ෂිකයන්ට මහා පරිමාණයෙන් රැුකියා මවා දීමේ වෙස්සන්තර ප‍්‍රතිපත්තියක් අනුගමනය කර ඇත්තේ කිසිම හිරිකිතයකින් තොරවය. මීට අමතරව පෞද්ගලික අංශය අත් මේස් එකක් දමාගෙන වත් නාල්ලන දේශීය උපාධිධරයන් රාශියකට පිනට රැුකියා ලබාදෙන්ටද 2005 සිට රජයට සිදුවන්නේය. පිනට කියන්නේ මෙයින් අතිබහුතරය කරන ප‍්‍රයෝජනවත් කාර්යයක් නැති නිසාය.
මේ වෙස්සන්තර ප‍්‍රතිපත්තිය නිසාම අද රජයේ සේවය මිලියන 1.3 දක්වා පිම්බී ඇත්තේය. එසේම මෙසේ රැුකියා මැවීම අපේ රටේ දේශපාලන සංස්කෘතියේ එක් අනිවාර්ය අංගයක්ව තියේ. මේ වන විට තවදුරටත් රැුකියා ජනනය කළ නොහැකි තරමට රාජ්‍ය සේවය පිම්බී පවතී. එහිදී එක්සත් ජාතික පක්ෂය අනුගමනය කරන ක‍්‍රියාමාර්ගය කවරේද? 2001-3 සමය සේ කිසිවකුටත් රැුකියා නොදීමද? නැතිනම් අංශක එකසිය අසූවක ටර්න් එකක් ගෙන අන් සියලූ රජයන් පරයමින් පාක්ෂිකයන්ට රැුකියා මවාදීමද? ඒ වෙනුවෙන්ම රටේ ණය බර ඉහළ යැවීමද?

කෘෂිකර්මාන්තය සම්බන්ධ යෙන්ද එක්සත් ජාතික පක්ෂය පිළිතුරු දිය යුතු ප‍්‍රශ්න ගණනාවක් වේ. 2001-3 සමයේ ඔවුන්ගේ ප‍්‍රතිපත්තිය වූයේ බස්නාහිර පළාත කෘෂිකාර්මික කටයුතු පිණිස යොදා නොගැන්මයි. මෙය හොඳ දෙයකි. මිල වැඩි බස්නාහිර පළාතේ ඉඩම් මඩ ඉඩම් සේ පවත්වාගැනීමේ තේරුමක් නැත. ඒවා ගොඩකර විකිණීමට අයිතිකරුවන්ට අවකාශ ලැබිය යුතුය. එජාපය තවම සිටින්නේ ඒ ආස්ථානයේද? බජට්ටුවට බරක් වෙමින් හා පරිසර දූෂණයට හේතුකාරක වෙමින් පවත්වාගෙන යනු ලබන පොහොර සහනාධාරය එජාප රජයක් යටතේද එසේම පවතිනු ඇතිද? නොඑසේ නම් තවත් වැඩිවනු ඇතිද? හේතුව හඳුනා නොගත් වකගුඩු රෝගයට හේතුකාරක විය හැකිය සැකකෙරෙන රසායනික පොහොර, කෘමි නාශක හා පලිබෝධ නාශක භාවිතය ගැන එජාපයේ ප‍්‍රතිපත්තිය කුමක්ද? නිතර දේශීය ගොවියා ගැන කඳුළු හෙළන එක්සත් ජාතික පක්ෂය වත්මන් රජය සේම ‘දේශීය ගොවියා ආරක්ෂා කිරීම‘ පිණිස ආරක්ෂණවාදී ප‍්‍රතිපත්ති අනුගමනය කරනු ඇතිද? තම නිෂ්පාදන පිණිස සහතික මිලක් තිබිය යුතුය යන ගොවි ජනතාවගේ සදාතනික මැසිවිල්ල එජාපය ආමන්ත‍්‍රණය කරනු ඇත්තේ කෙසේද? ජල කළමණාකරණයේදී, ආර්ථිකයට යම් ඍණාත්මක බලපෑමක් ඇතිව හෝ කෘෂිකර්මාන්තයට ප‍්‍රමුඛ ස්ථානය ලබා දීමේ ප‍්‍රතිපත්තිය තවදුරටත් අනුගමනය කරනු ඇත්තේද?
මේවාට පිළිතුරු දීම එක්සත් ජාතික පක්ෂය විසින් අවසාන මොහොත දක්වා කල් තැබිය යුතු දේවල් නොවේ. ප‍්‍රතිපත්තියක් ඇතිනම් ඡුන්දදායකයා එය වහා දැනගන්ට ඇවැසිය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;