සීමා සහිත පවුලක කතාව

 

ගණේමුල්ල හමුදා කඳවුර මායිමට ඇදපු කටුකම්බි වැටට ඇලිලා පාර දිගට වැටිලා තිබුණ කඳවුරත්-ගම්මුත් දෙබෑ කරන පාර මැද්දෙන් අපි ඇදුණා. කඳවුර ඉවරවෙන තැන මේ පාර කෙළවර ගේ තියෙනවා. මුලින්ම පාර අහපු අපට තිතට හරි මග තරුණයෙක් කිව්වා. පේන කිව්වා වගේ අපි ගේ ළඟට ඇදුණා.
උදෑසන වැඩිද මන්දා. පාර තිබුණේ උඩ. ගේ තිබුණේ බිම. ගෙට රිංගන්න හිතාගෙන අපි ඒ වළට බැස්සා.
‘එන්න මහත්තයෝ.’ මැදිවියට පැමිණි කේඬෑරි කාන්තා සිරුරක් ගෙයි දොරකඩ සිට අපව පිළිගත්තා. අපි ගෙට ගොඩ වුණා.

අපි ගියේ මදුෂා දිලක්ෂණී හොයාගෙන. මනමාලයෙක් පිළිගන්න වගේ ගෙදර සියල්ලෝ පේ වෙලා හිටියා. අපි මුලින්ම මදුෂාගේ අම්ම එක්ක කදේට වැටුණා.
කදේ කරතියා ගන්න ඉස්සර වෙලා නිමිත්ත වමාරන්න ඕනෑ කියලා මට හිතුණා. මේ ගෙදර සේරම පස්දෙනයි. අම්ම, තාත්තා, දුව, පුතා, දුව පිළිවෙළ එහෙමයි. අපිළිවෙළ මෙහෙමයි.
ලොකු දුව මදුෂා උපතින්ම ආබාධිතයි. රෝද පුටුවටම සින්නයි. වයස අවුරුදු 28යි. දෙවැනියා පුතා පෙනුමෙන් ළාමකයි. මන්දමානසිකයි. වයස අවුරුදු 18යි. බැලූ බැල්මට අවුරුදු දහයක දොළහක පෙනුමයි.

තුන්වැන්නා නිරෝගියි. වයස අවුරුදු පහළොවයි.
මේ සියල්ලගේ කුස පිරවීමේ වගකීම දරනුයේ පියා. ඔහු කුලී වැඩවල නියැලෙනවා. අප නිවසට යනවිටත් ඔහු නිවසින් පිටව ගොස්. මේ පවුල එකිනෙකා මත එකට ගැටගැසී පවතිනවා. එකෙකුට තවකෙකුගෙන් තොරව පැවතිය නොහැකියි. එබැවින් මොවුන්ගේ ලෝකය මේ වහල යට. මේ ඔවුන්ගේ ලෝකය. අප මේ දොරින් ඇතුළු වූයේ ඒ ලෝකයට.
මෙවැනි සීමාසහිත වූ පවුල් කොතෙක් ඇද්ද? එකී ජීවිත ගෙවන අසීමිත කටුක බව කිසිවෙක් මොහොතකට සිතා ඇද්ද? අමතක කළ නොහැක්කේ මෙවන් පවුල්ද සමාජයේ එමට ඇති බවයි. මේ කිසිවකින් ඔවුහු අසරණයෝයැ’යි අපි නොහඟිමු. අසරණව ඇත්තේ ඔවුන් නොව සමාජය බව අපගේ හැඟීමයි.
මදුෂාගේ අම්මාට කන්දෙමු.

‘ජීවිතේ කියන්නේ මේකයි කියලා බාරගන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? අවුරුදු විසි අටක්ම ලොකු දුවත් එක්ක ඔට්ටු වුණා. තවමත් එහෙමයි. මට දුක මං නැති දවසට මේ ළමයට මොකක් වෙයිද කියලා.’
සිය දරුවන් සමග ඔට්ටු අල්ලන ඇය කිසිදා මට්ටු නොවන බව ඇය දුටුවනම සහතිකයි.
රෝද පුටුවට ගිලා බැසගත් ශරීර කූඩුවක් රෝද දෙක මත පැද්දී සාලය මත නැවතුණා. කොණ්ඩය විදාගෙන මදුෂා අප ඉදිරියේ සිටියා. කේඬෑරී වූ දෙපතුල් කිසිදා පොළොව සිප නොගත් බව දුටුවනම අපට ඒත්තු ගියා.

ඇය සාලය මැද ප‍්‍රදර්ශන භාණ්ඩයක් වගේ. ඇගේ සහෝදරයාත් අයාලේ ගිය සිතුවිලි දල්වාගෙන අපගේ කතාව දන්නා සේ මුත් නොදැන ඉන්නවා.
‘මේ ලොකූ. හම්බවෙනකොට අපි බැඳපු අලූත. හැම පවුලකටම වගේ මටත් බලාපොරොත්තු පිරිලා. ඒත් ළමයා ඉපදිලා ටික දවසකින් එයා අනෙක් ළමයි දක්වන ප‍්‍රතිචාර දැක්කුවේ නැහැ. පෙරලූණේ නැහැ. මුනින්තලා වුණේ නැහැ. ඒත් ඉක්මනට කතා කළා. ගිරවි වගේ කතා කළා. ඒත් මෙයාට ඇවිදින්න බැහැ සදාකාලිකව අබ්බගාතයි කියලා දොස්තරලා කිව්වා. ඒ කාලේ විද්‍යාව දියුණු නැහැ. දොස්තරවරු උනන්දු වුණත් මදි මගේ හිතේ. කොහොම හරි ළමයා එක්තැන් වුණා. ළමයා එක්තැන් වුණාට ලොකු වුණා. ඉස්කෝල හොයාගෙන හැමතැනම ගියා. කවුරුත් බඳවාගන්න කැමති වුණේ නැහැ. ළමයා ගෙදර ආච්චි අම්මාගෙන් අකුරු ඉගෙනගත්තා. ඒ පිහිටෙන් අද දැනුම තියෙනවා. ඒත් ඒ දැනුමත් ඔය රෝද පුටුවටම හිරවෙලා. කවුරුත් රස්සාවක් දෙන්නේ නැහැ. ඕලෙවල් ඉල්ලනවා. මගේ කෙලීට ඉගෙන ගන්න තිබ්බා, ඒ දවස්වල පාසලක් දුන්නා නම්. එහෙම නොදුන්න මේ මිනිස්සු අද ඕලෙවල් නැද්ද අහනවා. මේ ආබාධයට වඩා දුවට ඒ ආබාධය බලපාලා.’

ඇයත් මේ ළමුන්ගේ කොටසක් වගේ. ඒත් මොවුන්ගෙන් තොර ලෝකයක් ඇයට නැති තරම්.
‘අක්කාට අවුරුදු දහයක් වෙනකොට දොස්තරලා කිව්වා ඒ ළමයා එහෙම වුණා කියලා ඒ ළමයත් තනියම තියන්න එපා එයාට සහෝදරයෙක් ගේ්න්න කියලා. ඒ එක්කම අපිට පුතෙක් හම්බ වුණා. එයා මෙයාට වඩා අමුතුයි. එයාට දැන් අවුරුදු 18ක්. විශේෂ පාසලකට දාලා මෙයාට ඉගැන්නුවේම අක්කාට ඒ තැන නොලැබුණ හින්දා. ඒත් ගෙදර එයාට යමක් කරන්න දැනුමක් නැහැ. අනෙක් ළමයා නිරෝගියි. ඒත් මේ දෙන්නා හින්දා එයාත් ලෙඩ වෙනවා. අපේ පුතාට අවුරුදු දහඅටක් වුණත් කවුරුත් ඒ ළමයා එක්ක සෙල්ලම් කරන්නවත් එන්නේ නැහැ. ඒ අය බයයි. ළමයෙක් හම්බ වෙන්න ඉන්න අය අපේ ළමයි දකින්නත් බයයි. අනේ මේ අපි ලබා උපන් හැටි. මම කවදාවත් මේ අය බලාපොරොත්තු වුණේ නැහැ. ඒත් හම්බ වුණා. මොකද කරන්නේ. මේ මගේ දරුවෝ. අවුරුදු පනහක් නැති මගේ ජීවිතේ මේ ළමයි දෙන්නටම සින්න වුණා. ලොකූට වැසිකිළි යන්න මම අදටත් උස්සාගෙන යනවා. නාන්න.. හැමදේටම. ත‍්‍රීවිලරයට දාගන්නත් එහෙමයි. මම නැතිව එයාට හෙටක් නෑ.’
ඇගේ දෙනෙතට කඳුළු ඉනුවා.

මේ අය මේ ගමේ පැරැුන්නෝ. අවුුරුදු තිස් හතළිස් ගාණක් එහා ගිය මේ ජීවිත මේ ගමේ කාටත් හුරුයි. පුරුදුයි. ඒත් ඒ අය මුහුණට නුපුරුදුයි. ආගන්තුකයි. යාන්තම් ගේ දොර අටවාගෙන මේ පවුල අනෙක් පවුල්වලින් මිදිලා ජීවත් වෙනවා. එහෙත් හැමදාම ඒ අය පීඩා විඳිනවා. ඒ හෙට මේ අයට කුමක් වේද යන දෙගිඩියාවෙන්. ඒ නිසාම මේ මුළු ජීවිතම අබ්බගාත වෙලා. එහෙත් ඔවුන් එක දෙයක් කියන්න වෙර දරනවා. ‘මෙවැනි පවුල් ඕනෑතරම් මේ රටේ තියෙනවා, ඒ අයටත් පිළිසරණක් ඕනෑ’ කියන පණිවුඩය ඒ තුළ තියෙනවා. ඒ පණිවුඩය සැබැවින්ම මානුෂිකයි.
මදුෂා දිලක්ෂණීගේ පවුල අනෙක් පවුල්වලින් වෙනස්වන්නේ ආර්ථිකය කියන කාරණා මතම නොවෙයි. ආර්ථික ගැටලූ සෑම පවුලකටම පොදුයි. එහෙත් මදුෂාගේ එක්තැන් ජීවිතය ඇගේ සහෝදර යාගේ මන්දමානසික ස්වභාවය ඇගේ පවුලේ සියල්ලෝ මන්දගාමී කර දමනවා. විශේෂයෙන් මවගේ සාමාන්‍ය ජීවන පසුබිම උඩු යටිකුරු කර තිබෙනවා. සියල්ලෙහි වැඩි බර දරන්නේ මේ මව. මෙවැනි පවුල්වල සාමාන්‍ය ස්වභාවයම මෙයයි. අවුරුදු 28ක් වයසැති ගැහැනු දරුවකු සිටින නිවසක ඊළඟ බලාපොරොත්තුව විවාහයක් නොවේද? මේ පවුලටද එසේම විය හැකියි. එහෙත් ඊට වඩා බලාපොරොත්තුව ඇගේ තනි ජීවිතයට හෙට දවසේ කුමක් වේද යන්නයි. මවගෙන් පසු කවුරු ඇය ඔසවා ගෙන ගොස් වැසිකිළි, කැසිකිළි පහසුකම් සපයනු ඇත්ද, ඇගේ අඩුපාඩුකම් සපයනු ඇත්ද යන්නයි. ඇයට තමාගේ් මට්ටමේ රැුකියාවක් කළ හැකි පසුබිම හදන්නේ නම් ඇයට තමාගේ් මන්දමානසික සහෝදරයාට හෝ යම් කලෙක පිහිට විය හැකියි. එහෙත් මේ සමාජය එවන් සත්ක‍්‍රියාවලට ඈලිමෑලිවන්නේ ඇයි රෑ දඩාවතේ යන බල්ලන් වෙනුවෙන් පෙනීසිටින අය ඒ හරහා ලබන ජනප‍්‍රියභාවය මෙවන් ක‍්‍රියා හරහා ලැබිය නොහැකි විය හැකියි. එහෙත් මෙවන් ගැටලූවලටද විසඳුම් අවශ්‍යයි.

තම දරුවකු එසේ නොවන තාක් කල් මේ දරුවන් වෙනුවෙන් මාපියන් විඳින දුක කාටවත් ඇස ගැටෙනු නැහැ. අද උපතේදීම මේවාට විසඳුම් ඇතිමුත් මීට පෙර වූ වැරදිවලට එකී මාපියන් සදාකාලික දුක් විඳිය යුතුයි. මෙවන් දරුවන් වුවත් ධනවත් පවුල්වල ඉපදුණි නම් විඳින්නේ අවම දුකක්. එවන් වටාපිටාවක මේ කතා ලියනුයේ මොවුන් අන්ත අසරණයන්, මොවුන්ට ඔබගේ සත්කාරය අවැසියැ’යි තැන සිට නොවෙයි. විසිඅට වසරක් ගෙවුණු ජීවිත ඉතිරි ටිකත් ඔහේ ගෙවෙනු නියතයි. එහෙත් මෙවැනි පවුල්වලටද යම් රැුකවරණයක් අවැසිමයි. මේ අපේ සමාජයේම තවත් පැතිකඩක් වන බැවින්. එසේ නම් ඔවුන්ගේ දොරෙන් ඇතුළු වී ඒ ලෝකයටත් එබෙමුද? හඬන්නට නොව ඔවුනුත් සමග සිනහවන්නට වෙර දරමුද?
මදුෂාගේ මල්ලී වෙත එබුණු අපි ඔහුගේ නම කුමක්දැ’යි ඇසුවා. අපි කියන දේ වටහාගත් ඔහු ක්ෂණිකව නම කී මුත් එය එළියට පනිනුයේ අපැහැදිලි ස්වරයෙන්. එබැවින් වරක්, දෙවරක් නොව කීපවරක්ම නම අසා ගන්නට අපට සිදුවූයේ එය නිවැරදිවම ග‍්‍රහණය කරගන්නටයි. හැම ජීවිතයකම අවසාන පැතුම එයයි. මේ පවුලටත් එයමයි. එබැවින් කොතරම් අඩුපාඩු සහිත වුවත් ඔහුට තබා ඇත්තේ එම නමයි. ඔවුන් සැමදා බලාපොරොත්තු වන දෑයි.
නම මොකක්ද?
‘ඉසුරු.’