රාවය

ගොඩෝ එනකං හොඳම දේ සිදුවුණු හැටි

ගොඩෝ එනකං හොඳම දේ සිදුවුණු හැටි

පියල් කාරියවසම්

ජාන් ජොන්සන් (Jan Jonson) ස්වීඩන් නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි. නළුවෙකි. රචකයෙකි. ස්ටොක්හෝම් රංග කලා ආයතනයේ අධ්‍යාපනයේ ලබන්නාවූ ඔහු ස්වීඩන් රාජකීය නාට්‍ය ශාලාවේ නළුවකු වශයෙන් කටයුතු කරයි. අධ්‍යක්ෂවරයකු ලෙස ඔහු ප‍්‍රධානතම කටයුත්තකට අතගසනු ලැබුවේ සැමුවෙල් බෙකට්ගේ ‘ගොඩෝ එනකං’ නාට්‍ය පෙළ ස්වීඩනයේ කුමාලා සිරගෙදර සිරකරුවන් හා එක්ව නිර්මාණය කිරීමෙනි. එම නිෂ්පාදනයෙන් අනතුරුව කැලිෆෝර්නියාවේ ක්වීන්ටින් සිරගෙදර වාසය කළ සිරකරුවන් හා එක්ව ‘ගොඩෝ එනකං’ නිෂ්පාදනය කරනු ලබන්නේ සැමුවෙල් බෙකට්ගේද උපදෙස් ලබාගනිමිනි. වසර 2002-2003 අතර කාලය තුළ ඔහු ඔස්ලෝ මැක්සිම සිරගෙදර වාසය කරන්නෝ සමග බෙකට්ගේ ‘එන්ඞ් ගේම්’ නාට්‍ය පෙළ නිෂ්පාදනය කළේය.
පහත සඳහන් වන්නේ කුමාලා සිරගෙදරදී ‘ගොඩෝ එනකං’ නාට්‍ය නිෂ්පාදනය කිරීමේදී ඔහු ලබාගත් අත්දැකීම් මාලාවේ එක් සුවිශේෂී සිද්ධියක් පිළිබඳවයි.

රුවත් දෙපයින්, විනිවිද පෙනෙන්නාවූ අත්දිග කමිසයකින් සහ හඩු ගැසුණු දණහිස තෙක් දික්වූ කලිසමකින් සැරසී සැමුවෙල් බෙකට්ගේ ‘ගොඩෝ එනකං’ නාට්‍යයේ වැල්ඩිමීර් සහ ඊස්ට‍්‍රජන් චරිතවලට පණ පොවන්නාවූ නළුවන් දෙදෙනා දෙස මා බලා සිටියේ වේදිකාවට වැටෙන්නාවූ ආලෝක පහන්වලින් උණුසුම්වෙමිනි. එවකට මගේ වයස අවුරුදු දාහතරක් වූ අතර නාට්‍යය ප‍්‍රදර්ශනය වූයේ ස්වීඩනයේ ගොතෙන්බර්ග් ජනරංග ශාලාවේය. මගේ චරිතය වූයේ දෙවරක් පමණක් නාට්‍යයේ පෙනී සිටින්නාවූ කොලූ ගැටයාගේ චරිතයයි. පළමුවන අංකයේදීත්, දෙවන අංකයේදීත් අවසාන ඇසිල්ලේ තිර අතරින් ඉදිරියටවිත් ‘මිස්ටර් ගොඩෝ’ මට කිව්වා ඔබට කියන්නැයි කියලා ඔහු ද එන්නේ නැහැ, ඒත් සහතික වශයෙන්ම හෙට එනවාය කියලා. යනුවෙන් ප‍්‍රකාශ කිරීම මගේ රංග කාර්ය වූයේය. එතෙක් මගේ වතාවත වූයේ උණුසුම් රංගාලෝක ධාරා යටට වී නාට්‍ය දෙස බලා සිටීමයි. එහිදී මට අවශ්‍ය වූයේ ඔවුන්ගේ (චරිත* හැඟීම්වලට සවන්දීමටය. කොටින්ම ප‍්‍රවේශම් සහගතව මගේ පණිවුඩය ප‍්‍රකාශ කිරීමට ප‍්‍රථමයෙන් වේදිකාවේ සිදුවන කතාබහ සහ හැසිරීම් ඇසීමට සහ දැක බලාගැනීමට මට අවශ්‍ය වූයේය. එසේ අසා සිටිද්දී වේදිකාවේ පැවති උණුසුමෙන් මෙන්ම අභ්‍යන්තරිකව මා තුළ පැවතුණු යම් සිහින් ගින්නකින් මා දැවෙන්නාක් මෙන් මට දැනුණා.

අවුරුදු කිහිපයකට පසු ඇලන් ඩුරිස්ගේ ආත්ම භාෂණයක් වන The man Himself රචනය ස්ටොක්හීම්හි රාජකීය නාට්‍ය ශාලාවේ රඟදැක්වීමෙන් අනතුරුව මට ස්වීඩන් ප‍්‍රතිශෝධන දෙපාර්තමේන්තුවෙන් ආරාධනයක් ලැබුණේය. එකී ඇරයුම වූයේ කුම්ලා මැක්සිමම් නම්වූ සිරකඳවුරේ පිරිමි සිරකරුවන් ඉදිරියේ එකී නාට්‍ය රඟදැක්වීමටයි. ආත්ම භාෂණයක ස්වභාවය ගත් එකී නාටකය සිරකරුවන්ට නැරඹීම ඉතා වැදගත්වනු ඇතැ’යි එදා සිරකඳවුරේ අධිකාරිත්වය තේරුම් ගන්නට ඇත. එහෙත් නාට්‍ය දර්ශනයෙන් අනතුරුව එකී පේ‍්‍රක්ෂකයන් වූ සිරකරුවෝ සතුටට පත්වුණේ නැත. සියල්ලටම වඩා ඔවුන් නරඹා තිබුණේ ඔවුන් ගැනම නාට්‍යයකි. එය ඔවුන් සතුටට පත් කළ හැකි දෙයක් නොවුණ හෙයින් ඉදිරි ආසන පේළියක වාඩිවී සිටි සිරකරුවෙක් රතු රෝස මලක් රැුගෙන මා වෙත ආවේය.
‘කරුණාකරලා ආයෙත් එන්න ඇවිත් අපට නාට්‍ය ගැන උගන්නන්න.’
රෝස මල මට පිරිනමන්නා වූ අතර මට කීවේය. එකී සිරකරුවාගේ මුහුණුවර සැමුවෙල් බෙකට්ගේ ගොඩෝ එනකං නාට්‍යයේ ඊට‍්‍රජන්ගේ චරිතය මට සිහිපත් කළේය.
‘මට නාට්‍ය උගන්නන්න බෑ; ඒත් අයර්ලන්ත නාට්‍යකරුවෙක් වෙන සැමුවෙල් බෙකට්ගේ නාට්‍ය රචනයක් අරගෙන ඇවිල්ලා මං ඒක ඔයගොල්ලත් එක්ක කියවන්නං.’
යනුවෙන් මම ප‍්‍රතිචාර දැක්වූයෙමි.
‘බෙකට් මගේ වීරයෙක්!’
අපේ සංවාදය අහගෙන හිටිය තව හිරකාරයෙක් කෑගැසුවේය. මම ඔවුනට බෙකට්ගේ නාට්‍ය රචනා සහ මාගේ එකී නාට්‍ය රචනා සහ නාට්‍ය රචකයාට ඇති කැමැත්ත ප‍්‍රකාශ කොට සිටියෙමි. අනතුරුව අන්ධකාරයේ ජීවත් වන්නන්ගේ ජීවිතවලට බෙකට් රචනා කියවීමෙන් පසු කුමක් සිදුවේද යන්න අත්විඳිය යුතු කාරණයක් බවද මම ඔවුන්ට පැහැදිලි කළෙමි.
‘ඉක්මනින් ආයෙත් එන්න. අපි කොහේවත් යන්නේ නෑ.’

ඔවුන්ගේ අවසන් ආයාචනයත් පිළිතුරක් වූයේය. බෙකට් විසින්ම ඔහුගේ ප‍්‍රංශ රචනයෙන් ඉංග‍්‍රීසි බසට පරිවර්තනය කරන ලද ‘ගොඩෝ එනකං’ පිටපතේ පිටපත් කිහිපයක් රැුගෙන මම නැවතත් ඔවුන් මුණගැසීමට ගියෙමි. පසුව සිරකරුවෝ එකිනෙකා මාරුවෙන් මාරුවට පිටපත කියවාගෙන යන්නාවූ ආකාරයට අප එක්ව සවන් දුන්නෙමු. නාට්‍ය ගොඩ නැගිය හැකි විලාසයක් සොයා ගන්නට උත්සාහ කළෙමු. සෑම කියවීම් වාරයකදීම අවසානයේ අපි කියවන්නෝ වෙනස් කළෙමු. සතියක් පමණ මෙසේ කියවාගෙන යද්දී දිනක් කියවමින් සිටි සිරකරුවෙක් සිය ආසනයෙන් නැගිට්ටේය.

මේක පිටපතක් නෙමෙයි, මේක මගේ දිනපොත. වැල්ඩිමීර් කියන දේවල් හිතන දේවල්. බලා ඉන්න හැටි. හිනාවෙන හැටි. වැළපෙන හේතු කාරණා. බොහොමයක් මගේ ජීවිතයට සමානයි.
යනුවෙන් පැහැදිලි හඬකින් කෑ ගැසුවේය.
හොඳින් කටයුතු කරගෙන යද්දී මාහට මෙය යම් පේ‍්‍රක්ෂකාගාරයකට ප‍්‍රදර්ශනය කළයුතුයැ’යි හැඟුණේය. සිරකඳවුරු අධිකාරිත්වය මට නාට්‍යය නිෂ්පාදනය කරන්නට අවසර ලබා දුන්නේය. සිරකරුවන් පනස් දෙනකුගෙන් පස්දෙනෙක් නාට්‍යයේ චරිත පහට ඉතාමත් ගැළපෙන්නා වූ බව මට අවබෝධ වූයේය. අවුරුද්දක පුහුණුවීම් කාලයකින් පසු අපට අප සූදානම් බව පසක් වූයේය. රංග වස්ත‍්‍ර සමග පුහුණුවීම්වල යෙදෙනවිටත්, කඳවුරේ සේවය කරන්්නන් සහ අනෙක් සමීපතමයන් ඉදිරියේ රඟපාන්නා වූ විටත්, පේ‍්‍රක්ෂකයනුත් රංගන ශිල්පීනුත් මෝහනය වූ ස්වභාවයකින් එකිනෙකා මුණගැසෙන්නාවූ විටත් එතැන සිරකඳවුරක් නොවුණේය. මංගල දර්ශනය පිටතින් පැමිණෙන්නාවූ අමුත්තන්ට වෙන්වූ අතර එහිදී ප‍්‍රධාන තැනක් ලැබුණේ සිරකරුවන්ගේ පවුලේ සාමාජිකයන්ටය.

මගේ නළුවන්ට බලාපොරොත්තු වූ පිළිගැනීම ලැබුණේය. සිපිරිගෙයි පාලන ව්‍යුහය නව යමක් දුටුවේය. ඔවුන් දැකගත්තේ සිරකරුවන් නොවේ. ඔවුන් දුටුවේ මනුස්සයෝය. මෙය ඔවුන් දැකගත් ඉතාමත්ම විශිෂ්ට ප‍්‍රතිශෝධන ක‍්‍රියාවක් බව ඔවුන් කීවෝය. එහි ප‍්‍රතිඵලයක් ලෙස සිරගෙයි දොරටු විවර වූවේය. සුව පහසු වෑන් රථයක රංග වස්ත‍්‍ර, රංග උපකරණ සහ පෙරදින සිරකඳවුර පිටුපස ගොවිපළෙන් සොරාගන්නා ලද දිරාපත් ගසක්ද පටවාගත් අප මාර්ගයට පිළිපන්නෙමු. අපට ආරාධනා ලැබ තිබුණේ. ගොහෙන්බර්ග්හි ස්ටෑටර්ස් රඟහලේ ආරාධිත දර්ශනයක් සඳහා ‘ගොඩෝ එනකං’ ඉදිරිපත් කිරීමටය. මගේ නළුවෝ වසර ගණනාවක් ඔවුන්ගෙන් විතැන් කර තිබූ නාද මාලා, සුවඳ, වර්ණ, නිදහසේ විඳ අප ඉදිරිපත් කරනු ලැබූයේ පළමු අංකය පමණක් වූයේ සම්පූර්ණ නාට්‍ය පෙන්වීමට අපට අවසර නොලැබී තිබූ හෙයිනි. පේ‍්‍රක්ෂකාගාරය ඉතා ගෞරවනීය ලෙස නළුවන්ට සවන් දුන් අතර වාතාශ‍්‍රය තුළ ‘මොවුන් කෙරෙහි සමාව දිය යුත්තේය’ වැනි හැඟීම් පැතිරී පැවති බවක් මට දැනුණේය. දර්ශන වාරයෙන් පසු අප නැවත සිරකඳවුරට පැමිණියෙමු. මිනිස් වටිනාකමින් තොර, අනන්‍යතාවයෙන් තොර සිරකුටියක් තුළදී ඔවුහු නැවත පසු දිනට දෙනෙත් විවර කළෝය.

සැමුවෙල් බෙකට්හට මාගේ නිර්මාණය පිළිබඳ ආරංචි වී තිබුණේය. ඉතා සිත්ගන්නාසුලූ අත් අකුරුවලින් මාවෙත හමුවීමේ ස්ථානයක් සහ වේලාවක් සඳහන් කර ඔහු එවූ ලිපියෙන් මම උත්තම ප‍්‍රීතියට පත්වීමි. අප හැමවිටම ඔහු මගෙන් මෙවැනි ප‍්‍රශ්න වැලක් ඇසුවේය.
‘අන්ධකාරයේ ජීවත් වන්නන්ට මගේ නාට්‍යය දුන්නම මොකක්ද වුණේ?
‘නාට්‍යයේ නිශ්ශබ්ද තාවට මොකක්ද වුණේ?’
මම ඔහුට පිළිතුරු සැපයුවෙමි. අප නාට්‍යයේ පුහුණුවීම් කරන්නාවූ විට නළුවෝ එහි වචන උන්ගේම වනතෙක් පුහුණුවීම් කළෝය. එසේ පුහුණුවීම්හි ප‍්‍රතිඵලය වූයේ නිෂ්පාදනය අලංකාර, විශ්වාස සහ වටහාගත හැකි මට්ටමින් නාට්‍යයේ ආත්මය කරා ළඟාවීමයි. සමුවෙල් බෙකට් එක එල්ලේ මා දෙස බලා සිටියේය. එම බැල්ම මා විනිවිද යන්නාක් මෙන් වූයේය. ඔහු උණුසුම් සහගත මඳහසකින් යුක්තව හිස වැනුවේය.
‘ඇයි පළවෙනි අංකය විතරක් නිෂ්පාදනය කළේ? ඔහු ඇසුවේය. ඔවුන් දෙවැනි අංකයට අකමැතිද? එහි වැරදි යමක් තිබුණාද?’
‘ඔවුන් නාට්‍යයට කැමතියි, එහෙත් මුළු නාට්‍යයම ගොඩ නගන්න අයිතිය ගන්න අපට සල්ලි තිබුණේ නෑ.’
මම පිළිතුරු සැපයුවෙමි.
හොඳයි මුදලයි ගැටලූව නේද? සැමුවෙල් බෙකට් ඇසුවේය. සම්පූර්ණ ගැටලූව එය බව මම ඔහුට කීවෙමි. එවිට නාට්‍යයේ පූර්ණ අයිතිය ලබාදෙන බව පවසන්නාවූ සටහනක් අත පිසින්නාවූ කොළයක ඉතා බියකරු අත්අකුරුවලින් ලියා මට පිරිනමන්නාවූ අතර මෙසේ කීවේය.
‘මේ ටිෂූ කොළය ප‍්‍රවේසමෙන් තියාගන්න, ඒ මිනිස්සු ළඟට ආයෙත් යන්න. සම්පූර්ණයෙන්ම නාට්‍ය කරන්න. ඔවුන්ව පාරට ගේන්න. ඊට පස්සේ ආයෙත් මාව හම්බවෙලා මොකක්ද වුණේ කියලා මට කියන්න.’

මහත් වූ සතුටට පත්වූ මම නැවත කුම්ලා සිරගෙදර බලා ගියේ මගේ සහෝදර සිරකරුවෝ මුණගැසීමටය. අප නව ජීවයකින් සම්පූර්ණ නාට්‍යය නිර්මාණය කිරීම ආරම්භ කළෙමු. එසේම එය නව ගමන් මාර්ගයකට අවතීර්ණවීමක් වූයේය. පෙර පුහුණුවීම් සහ පෙර නිෂ්පාදනවලින් ලද අත්දැකීම් ඔස්සේ අපි ගමන තවත් පහසු කරගත්තෙමු.
නැවතත් ස්ටෑටන් රඟහලේදී මාධ්‍ය වේදීන්ගේද දර්ශනය ඇතුළුව අප පස්වන දර්ශන වාරය සඳහා සුදුසුකම් ලබා සිටියෙමු. එහෙත් එකී පස්වන දර්ශනයට පෙර පැවැත්වූ මාධ්‍ය සාකච්ඡුාවෙන් අනතුරුව රඟහලෙන් පිටත නොසන්සුන්තාවක් හටගෙන තිබුණේය. මුළු මහත් ජාතියට ‘මොකක්ද මේ සිද්ධ වේගෙන යන්නේ යන’ නොසන්සුන්තාවට පත්වන ආකාරයක් මට දැනුණු අතර මා ලද ආරංචියෙන් පසු මගේ දෙපා විලංගු ලෑවාක් මෙන් වූයේය. එසේම මේ වනවිට සියලූ ප‍්‍රවේශපත් විකිණී රඟහල සහ පේ‍්‍රක්ෂකයෝ නොඉවසිල්ලෙන් තිරය විවෘත වන තෙක් බලා සිටියෝය. මනස සන්සුන් වුවද, ශරීරය වෙවුලද්දී බඩගින්නත්-පිපාසයත්-උපැස් යුවළත් රහිතව මම එක් අතකට පුටුවකුත් තවත් අතකට මයික‍්‍රපෝනයත් රැුගත් වේදිකාවට ගොඩ වූයෙමි.
‘ගොතෙන්බර්ග් රඟහල පැමිණි ඔබ සැමදෙනාම මම සාදරයෙන් පිළිගන්නවා. ඒත් මට සමාවෙන්න. නාට්‍යයේ නළුවන් පස්දෙනාගෙන් හතර දෙනෙක් මේ වෙලාවේ මේ ගොඩනැගිල්ලේ නැහැ.’
යනුවෙන් ප‍්‍රකාශයට පත් කළෙමි. මුළු මහත් පේ‍්‍රක්ෂකාගාරයම හුස්ම ගැනීම නතර කළාක් මෙන් වූ අතර ඝන කණ්ණාඩි කුට්ටමක් පැළඳ ගත්, ශ‍්‍රවණ ආධාරවලින් යැපෙන්නාවූ රඟහලේ මුල්ම පේළියක සිටියාවූ මහලූ පේ‍්‍රක්ෂකයෙක් තම ආසනයෙන් නැගිට මගෙන් නැවත මෙසේ ඇසුවේය.
‘මට සමාවෙන්න.. මේ ගොඩනැගිල්ලේ නැතැ’යි කියන එකේ අර්ථය මොකක්ද?’
‘නළුවෝ.’
මම පෙරළා ඔහුට කෑ ගැසුවෙමි. ගල්කැට සහිත ග‍්‍රාමීය මාර්ගය සහිත බෙකට් විසින් යෝජනා කර ඇති වේදිකා පසුබිමේ තනිවූ මම සසලවූ පේ‍්‍රක්ෂකාගාරයට කුමාලා බන්ධනාගාරයේ ගත කළ කාලයත් දර්ශනයට පෙර පුවත්පත් කලාවේදීන් සමග පැවැත්වූ සංවාදය අතරතුර සිරකාර නළුවෝ හතරදෙනෙක්ම රඟහලේ පිටවීම් දොරටු ඔස්සේ පිටවී යුරෝපය හරහා පලා ගොස් ඇති ආකාරය විස්තර කරන්නට වූයෙමි.
වහාම නැවත මම පැරිසියේදී බෙකට් ඉදිරියේ වාඩිවී සිටියෙමි. මා දෙස නිසොල්මන්ව බලා සිටි බෙකට් මොකක්ද සිද්ධ වුණේ’ යනුවෙන් විමසන්නට පෙරම ඔහුට සිදුවූ දෙය පහත් හඬින් විස්තර කරන්නට වූයෙමි.
‘වේදිකාවේ තිරය විවර වෙන්න කලින් ඔක්කොම.. පුස්සෝ හැරෙන්න.. පලා ගියා.’
විනාඩි ගණනාවක් හුස්ම නොගන්නාවූ තරම් සන්සුන් ස්වභාවයකින් මා දෙස බලා සිටි සැමුවෙල් බෙකට් මහ හයියෙන් සිනාසෙන්නට වූයේය. අනතුරුව මෘදුව මෙසේ කීවේය.
‘මං නාට්‍යය ලිව්වට පස්සේ සිද්ධ වෙච්ච එකම අපූරුම හොඳම දෙය සිද්ධවෙලා තියෙන්නේ.’
ජේම්ස් නෝව්ල්සන් සහ එලිසබෙත් නෝව්ල්සන් සංස්කරණය කළ Beckett R e m e m b e r i n g , Remembering Beckett කෘතිය ඇසුරිනි.
Edited by James and Elizabeth Knowlson

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;