ක්ෂෙණුකා-සජින්-ක‍්‍රිෂ් ගැටුමෙන් මතු වූ ආණ්ඩුවේ කොටිවලිගය

 

සජින්වාස් ගුණ වර්ධන හා ක‍්‍රිස් නෝනිස් අතර ගැටුමට ක්ෂේණුකා සෙනෙවිරත්න නමැති රාජ්‍ය නිලධාරිනියකගේද නම ගෑවුණු අතර එනිසාම පසුගිය කාලයේ කවුද මේ ක්ෂේණුකා කියා මාධ්‍ය නිරන්තරව කතා කරන්නට විය. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර වසන්ත සමරසිංහ මහතා කළ හෙළිදරව්වක් නිසා මෙම කතාබහ තව තවත් ආන්දෝලනාත්මක විය. හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා මෙහිදී රජයේ මුදල් අමාත්‍යාංශ විගණන වාර්තාවක් උපුටා දක්වමින් කියා සිටියේ ක්ෂෙණුකා සෙනෙවිරත්න පසුගිය දවස එල්ටීටීඊ හිතවාදීන් සමග හිතවත්ව සිට ඇති බවකි.

කවුද මේ ක්ෂෙණුකා

සමාජ මාධ්‍ය වාර්තා කරන පරිදි ක්ෂෙණුකා ද සිල්වා සෙනෙවිරත්න යනු කොළඹ 07 කාන්තා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හමාර කර 80 දශකයේ අග භාගයේදී උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයට යන තැනැත්තියකි. එහිදී ඇය මැක්ඩොනල්ඞ් ආයතනයක වේටර්වරියක් ලෙස කටයුතු කළ බවද කියයි. පසුව ලංකාවට පැමිණෙන ක්ෂෙණුකා සෙනෙවිරත්න ද අයිලන්ඞ් පුවත්පතේ මණික් ද සිල්වාගේ දැන හැඳුණුම්කම් මත එවක විදේශ කටයුතු අමාත්‍ය ඒ.සී.එස් හමීඞ් මහතා හඳුනා ගනී. පසුව කුවේට්හි කම්කරු නිලධාරිනියක ලෙස ද ඊට පසු කාලයකදී විදෙස් කටයුතු අමාත්‍ය කදිර්ගාමර් යටතේ චන්ද්‍රිකා ජනාධිපතිතුමියගේ දරුවන් දෙදෙනා පිළිබඳව විමසිල්ලෙන් සිට සේවය කළ බවද වාර්තා වෙයි. පසුව ඇය බි‍්‍රතාන්‍යයේ නියෝජ්‍ය මහකොමසාරිස් සහ මහකොමසාරිස් යන නිලවලට පත්වෙන අතර 2009 නොවැම්බර් 17 වැනි දින ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයා බවට පත්වන්නීය.

කොටි හවුල

දෙමළ ජනතාව සංහාරයකට ලක් කළ යුද අවධියේදී ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයා ලෙස මුලින්ම 2007 වර්ෂයේ ජූනි සිට කැපීපෙනෙන සේවාවක් කළ දයාන් ජයතිලක 2009 දක්වා එනුවර නිත්‍ය නියෝජිතයා විය. පසුව 2009 නොවැම්බර් 17 වැනි දින එම නිලයට පත්වන්නේ අපගේ කතා නායිකාව වන ක්ෂෙණුකා සෙනෙවි රත්නය. මෙම කාලයේ පැවති යුද්ධය සාර්ථක කර ගන්න අමිල සේවාවක් කළා යැයි කියන දයාන් ජයතිලක එම තනතුරින් පහකිරීම සඳහා ක්ෂෙණුකා සෙනෙවිරත්න කැපවී වැඩ කළ අතර ඇය 2009 නොවැම්බර් සිට 2011 දක්වා එම ධුරයේ කටයුතු කළාය. පසුව 2011 අගෝස්තු සිට 2012 දක්වා එම ධුරයේ කටයුතු කරනුයේ තමාරා කුගනායගම්ය. දයාන් ජයතිලකගෙන් පසුව කැපී පෙනෙන වැඩ කොටසක් කළා යැයි කියන තමාරාට ද සිදුවන්නේ දයාන්ට ලෙසම ගෙදර යන්නටය.

මේ සියලූ කි‍්‍රයාකාරකම් පසුපස සිටි අදිසි හස්තය ක්ෂෙණුකා සෙනෙවිරත්න බව අද රටම දන්නා රහසකි. ලාංකේය විදෙස් සේවාවේ මෙවැනි කැපී පෙනෙන වැඩකොටසක් කළ ක්ෂෙණුකා සෙනෙවිරත්න එහිම බලමහිමයෙන් විදෙස් කටයුතු අමාත්‍යාංශයේ ලේකම් දක්වා ඉහළ නගින්නේ ආසියාවේ ආශ්චර්යය පරිදිය. අද මාධ්‍ය කියන ලෙස හිටපු ජනතා විමුක්ති පෙරමුණ මන්තී‍්‍රවරයා හෙළිදරව් කරන ලෙස ඇය පසුගිය ජිනීවා නුවර නිත්‍ය නියෝජිතයා ලෙස කටයුතු කළ කාලයේ යුරෝපයේ එල්.ටී.ටී.ඊ හිතවාදීන් සමග එකට කටයුතු කර ඇත. එම තොරතුරු හෙළිවන්නේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පත්කළ කමිටුවක් මගින් කළ විගණන විමසුම් වාර්තාවකින්ය.

හෙළිවන තොරතුරු

හෙළිවන තොරතුරු වලට අනුව ඇය ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරිය ලෙස කටයුතු කරන අවදියේ ජිනීවා තානාපති නිල නිවස අලූත් වැඩියා කිරීම සඳහා සමාගමකට කොන්ත‍්‍රාත් තුවක් ලබාදී ඇත. එම කොන්ත‍්‍රාත්තුව ලබාදී ඇත්තේ ජිනීවා නුවරට කි.මී 300ක් පමණ ඈතින් ඇති සුරිච් නුවර ආයතනයකටය. එම ආයතනයේ නම සෙල්වා සග්්ය. සාමාන්‍යයෙන් නිවසක අලූත්වැඩියා කටයුතු සඳහා අප කොන්ත‍්‍රාත්තුවත් දෙනුයේ ඉදිකිරීම් සමාගමකටය. එහෙත් ක්ෂෙණුකා සෙනෙවිරත්න මහත්මිය තම නිල නිවස අලූත්වැඩියාව සඳහා තෝරා ගන්නා මෙම ආයතනය මූල්‍ය ආයතනයකි. යුරෝපය තුළ සෙල්වා සග් ආයතනය පවත්වාගෙන යන ව්‍යාපාර කටයුතු වනුයේ ඉඩකඩම් ගනුදෙනු, ජීවිත රක්ෂණ, සෞඛ්‍ය රක්ෂණ, නිවාස සහ මෝටර් රථ රක්ෂණය වැනි කටයුතුය.

කවුද සෙල්වා සග් සමාගමේ හිමිකරු? ඔහුගේ නම පී.ටී තුරෙයිරාජාය. ස්විස් රජය සහ ස්විස් පොලිසිය කියන ලෙස තුරෙයිරාජා යුරෝපය තුළ ප‍්‍රබල කොටි කි‍්‍රයාකාරිකයෙකි. ඔහු සහ තවත් අටදෙනකු 2011 ජනවාරි මාසයේදී ස්විස් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා අතර එහිදී ඔවුන්ට විරුද්ධව න`ගන චෝදනාවන් වනුයේ මූල්‍ය වංචාවන් සිදුකිරීම, පැහැර ගැනීම් සිදුකිරීම, නීති විරෝධි අපරාධ සංවිධානයක සාමාජිකයකු ලෙස කටයුතු කිරීම ආදිය වෙයි. ඇත්තටම තුරෙයිරාජා මෙම අවධියේදී මෙවැනි මූල්‍ය ආයතන පවත්වාගෙන යමින් එල්ටීටීඊ සංවිධානයට අරමුදල් සපයා ඇත. එය දැන් හෙළිදරව් වී ඇති සත්‍යයකි.

මෙවැනි ආයතනයකට තම නිල නිවස අලූත්වැඩියා කිරීමට කොන්ත‍්‍රාත්තුව ලබාදෙන ක්ෂෙණුකා සෙනෙවිරත්න මෙම තත්ත්වයන් නොදැන සිටියා යැයි සිතිය නොහැකිය. අනෙක් පසින් මෙවැනි දේවල් සිදුවුණේ තමන් අදාළ නිලයේ සිිටි කාලේ නොවන බව කියා අත පිසදා ගන්නට ද ඇයට බැරිය. ඒ විගණන වාර්තාව කියන ලෙස මෙම ගනුදෙනුව සිදුවී ඇත්තේ ජිනීවා නිත්‍ය නියෝජිත ලෙස වැඩභාර ගෙන දින දෙකකට පසු එනම් 2009.11.19 නිසාය. මෙම ගනුදෙනුවට අදාළව පළමු ගෙවීම 2009.12.22 වැනි දින කර ඇති බවද උක්ත වාර්තාව පැහැදිලි කරයි. තවදුරටත් අදාළ නිලධාරීන් පැහැදිලි කරනුයේ පි.ටී තුරෙයිරාජා එල්.ටී.ටී.ඊ කි‍්‍ර‍්‍රයාකාරිකයකු බවය. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පත් කළ නිලධාරීන් හතර දෙනකු ජීනීවා නුවරට ගොස් විමර්ශන කටයුතු සිදුකිරීමෙන් පසුව නිකුත් කරන ලද මෙම වාර්තාව කියන ලෙස මෙම කොන්ත‍්‍රාත්තුවේ වටිනාකම ප‍්‍රංශ ස්විස් මුදලින් 150,000කි. එම මූල්‍යමය වටිනාකම රුපියල්වලින් ගණනය කරන්නේ නම් එහි වටිනාකම රුපියල් මිලියන 20කට වඩා වැඩිය. මෙම විගණන වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු වන්නේ 2012 වර්ෂයේදී වන අතර ඒ සම්බන්ධ මුදල් අමාත්‍යාංශය කළ දෙයක් නැතිය. උදේ හවස කොටි ආවා කොටි ආවා කියමින් කෑ ගසන දේශපේ‍්‍රමි ආණ්ඩුවේ නිරුවත මෙය හැර අන්කවරක්ද? විමල් වීරවංශ මෙම දූෂිත ගනුදෙනුව ගැන කියනුයේ මෙවැනි කතාවකි.

මේ වගේ දෙයක් ආවහම අපි සොයනවා බලනවා මම විදේශ කටයුතු ඇමතිතුමාගෙන් විමසුවා එතුමා කියුවේ ඔය කොන්ත‍්‍රාත්තුව දීල තියෙන්නේ එතුමිය එන්න කලින් කියලා. මේ විමල් ඇමතිතුමා සිරස නාලිකාවට කියන දෑය. විමල් කියන දේ සත්‍ය නම් මෙම ගනුදෙනුව සිදුවී ඇත්තේ දයාන් ජයතිලක අදාළ තනතුර දරන අවධියේ විය යුතුය. දයාන් ජයතිලක ඉහත නාලිකාවටම ප‍්‍රකාශ කරනුයේ මෙවැනි අදහසකි.

මට ඔය නිල නිවස අලූත්වැඩියා කිරීමක් ගැන ඒ කාලේ කල්පනා වුණේ නැහැ. මම ඒවෙලාවේ ලොකු සටනක හිටියේ. අපි ඒ සටන 2009 දිනුවා. ඊට පස්සේ මාව අයින් කළා. ඒ කාලේ ක්ෂෙණුකා සෙනෙවි රත්න එංගලන්තයේ මහකොමසාරිස්. මෙයාට එහිදිත් ඔය නිල නිවාස අලූත්වැඩියා කිරීමේ ප‍්‍රශ්නයක් තිබුණා. මම අයින් කළාට පස්සේ එතනට ආවේ ක්ෂෙණුකා සෙනෙවිරත්න. එයාට එතන වැඩකරන්න බැහැ කියලා ජනාධිපතිට තේරුණාට පස්සේ තමයි. එයාව අයින් කරලා තමාරාව එතනට ගේන්නේ. දැන් මේ සිද්ධියේදී මම දැක්කා සජින් වාස් කියලා තියෙනවා. එයා ඉන්නේ කාර්යාල ප‍්‍රශ්න බලන්න නොවෙයි කියලා. මම අහනවා එයා කාර්යාල ප‍්‍රශ්න බලන් නැත්නම් බලන්නේ ජාත්‍යන්තර ප‍්‍රශ්න ගැන ද කියලා. ජාත්‍යන්තර ප‍්‍රශ්න බලන්න එයාට තේරෙනවද? මොනවද එයාට තියෙන සුදුසුකම්. සිරස මාධ්‍ය ඔස්සේ දයාන් ජයතිලක මෙලෙස සිය අදහස් පළ කළ අතර මෙම ප‍්‍රශ්න සහ පිළිතුරුවලින් අපට පෙනෙනුයේ ලාංකීය විදෙස් සේවාවට රාජපක්ෂ පවුල් පාලනය කර ඇති වින්නැහියේ තරමය. මෙම ප‍්‍රශ්නයේ දී ක්ෂෙණුකා සෙනෙවිරත්නට පසුව එම තනතුරට පත්වන තමාරා කුගනායගම් මහත්මියද ඉහත ගනුදෙනුව සනාථ කරමින් මාධ්‍යට කරුණු කියන අතර ඇය කියනුයේ තමන් අදාළ තනතුරට පත්වී වැඩභාර ගත් පසු සුපුරුදු පරිදි සියලූම ලිපි ලේඛන පිළිබඳව විමසිලිමත් වූ බවය. එහිදී මෙම ගනුදෙනුව පිළිබඳව තතු ද තමන්ට දැන ගන්නට ලැබුණු බව ප‍්‍රකාශ කරන ඇය මෙම අදාළ ආයතනය ඉදිකිරීම් ආශි‍්‍රත සමාගමක් නොව සුරිච් පිහිටි මූල්‍ය සමාගමක් බව ද සනාථ කරයි.

ගැටුම නිසා

ලංකාවේ විදෙස් කටයුතු අමාත්‍යාංශ සහ තානාපති අංශය පිළිබඳව මෙම තොරතුරු මතුපිටට එන්නේ සජින් – කි‍්‍රෂ් ගැටුමට පින්සිදු වන්නටය. මේ නිසාම අද ආණ්ඩුව සහ රාජපක්ෂ පවුල් පාලනය මත ද කොටි සෙවනැලි වැටී තිබුණු බව ජනතාවට පැහැදිලි විය යුතුය. අනෙක් පසින් කොටියා සහ දේශපේ‍්‍රමය රාජපක්ෂ පවුල් පාලනය තහවුරු කර ගැනීම සඳහා ජනතාවට සපයන රසවත් චුයින්ගම් එකක් බව ද ජනතාව තේරුම් ගත යුතුය. කරුණා – පිල්ලෙයාන් කේපී අද සිටින්නේ ආණ්ඩුව තුරුලේය. ඔවුන්ගේ අණ කි‍්‍රයාත්මක කළ හාල්මැස්සන් දින නියමයක් නැතුවම බන්ධනාගාර ගත කර හමාරය.

මෙම සියලූ තත්ත්වයන් නිරීක්ෂණය කරන අපි ආණ්ඩුවෙන් විමසිය යුත්තේ කරුණා අම්මාන්, පිල්ලෙයාන්, කේපි ඔඩොක්කුවේ තබාගෙන තවදුරටත් කොටි ලේබලය විපක්ෂයට ඇලවිය හැකිද කියාය. ක්ෂෙණුකා සෙනෙවිරත්න වැනි ආණ්ඩුවේ ඉහළ නිලයක් දරන තැනැත්තියක් කොටි සංවිධානය සමග හිතවත්ව කළ කී දේ ආණ්ඩුව ඉවසනවා නම් එයින් පෙනෙන්නේ ආණ්ඩුවේ දේශපේ‍්‍රමය සහ කොටි විරෝධය පුස්සක් බවය. එය නොපමාව ලාංකේය ජන සමාජය තේරුම් ගත යුතුය.

ඇමති ජී.එල්ගේ ප‍්‍රකාශ

ලංකාවේ විදේශ සේවයේ අවලංගු කාසියක් බවට පත්වී සිටින අමාත්‍ය ජී.එල් පීරිස් මහතා ක්ෂෙණුකා ආරක්ෂා කිරීම සඳහා පෙරට එන අතර ඔහු එහිදී කියා සිටින්නේ ඉහත කොන්ත‍්‍රාත්තුව ෂෙල්වාසුග් ආයතනයට ලබාදෙන විට ඇය එහි තානාපති නොවන බවය. තවදුරටත් අදහස් දක්වන අමාත්‍යවරයා කියා සිටින්නේ ෂෙල්වාසුග් ආයතනය සහ එල්ටීටීඊ කි‍්‍රයාකාරිකයන් අතර කිසිදු බැඳීමක් නොතිබූ බවට ස්විස් රජය සනාථ කර ඇති බවය.

විදේශ අමාත්‍ය ජී.එල් පීරිස්ගේ ප‍්‍රකාශය සත්‍යයෙන් තොර බවය. අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය අසත්‍ය බව 2002 වර්ෂයේදී දී සිදුකළ ආණ්ඩුවේම විගණනයෙන් ඔප්පු වන බව ද බීබීසී සිංහල සේවයට කියා සිටින පා.ම. වසන්ත සමරසිංහ කොටි සංවිධානයට මුදල් සම්පාදනය කළ පි.ටි තුරෙයිරාජා පොලිස් අත්අඩංගුවට පත්වූවකු බව ඉහත විගණන වාර්තාවම කියන බව පවසයි.

ෂෙල්වාසග්

ජිනීවා තානාපති කාර්යාලයේ අලූත් වැඩියාවක් සම්බන්ධ කොන්ත‍්‍රාත්තුව සම්බන්ධ මෙම ගැටලූවේදී අදාළ කොන්ත‍්‍රාත්තුව ලබාගත් ෂෙල්වාසුග් ආයතනයේ ප‍්‍රධානියා වන පීටීසී තුරෙයිරාජා බීබීසී සිංහල සේවයේ සරෝජ් පතිරණ සමග සංවාදයකට එක්වෙමින්් කියා සිටින්නේ තම ආයතනයට කොටි සම්බන්ධයක් නොමැති බවය.

සිය සමාගම සමග සම්බන්ධතා පැවැත්වූ තැරැුව්කරුවන් දෙදෙනෙක් ස්විස් බලධාරීන් අත්අඩංගුවට ගන්නා ලද බව දන්නා නමුත් ඔවුන් කවුරුන්දැයි හෙළි කළ නොහැකි බව ද කියා සිටින තුරෙයිරාජා එවක ජිනීවා නුවර ලංකා තානාපති කාර්යාලයේ වැඩකළ උදුමාන් ජවුෆර් නමැති තම මිතුරා මගින් ඉහත කොන්ත‍්‍රාත්තුව ලබාගත් බව ද කියා සිටී. සිය සමාගම සමග ඉහත කොන්ත‍්‍රාත්තුවට ලංකාව නියෝජනය කරමින් කවුරුන් අත්සන් කළා දැයි තමන් නොදන්නා බව පවසන ඔහු නිල නිවාසය ආරම්භ කිරීමෙන් පසුව තමාට ක්ෂෙණුකා සෙනෙවිරත්න මුණගැසුණු බව ද කියා සිටී. බීබීසී සිංහල සේවයට ඔහු කරන ප‍්‍රකාශයට අනුව ලංකාව පාර්ශ්වයෙන් මෙම කොන්ත‍්‍රාත්තුවට අත්සන් කළේ කවුරුන් දැයි ඔහු නොදන්නා බව කීම විහිළුවකි. තමන්ගේ තැරැුව්කරුවන් දෙදෙනකු ස්විස් අත්අඩංගුවට පත්වීම සහ ස`ගවන මෙම කාරණය නිසා මෙම කොන්ත‍්‍රාත්තුව පිළිබඳ නැවත ඇති වන්නේ සැකයකි. කවුරු කෙළසක කොහොම කීවත් මෙම කොන්ත‍්‍රාත්තුව පිළිබඳ රටට කරුණු හෙළි කරන්නේ ආණ්ඩුවේම මුදල් අමාත්‍යාංශය පත් කළ කමිටුවකින් කළ පරීක්ෂාවකට අදාළ වාර්තාවක්ය. එම වාර්තාවේ අඩංගු කරුණු සහ දින වකවානු අනුව මෙම ගනුදෙනුවට ක්ෂෙණුකා සෙනෙවිරත්න සම්බන්ධ යැයි මාධ්‍ය පැවසීම යුක්ති යුක්තය. අනෙක් පසින් අදාළ කොන්ත‍්‍රාත් ආයතනයට තිබෙන කොටි පැටළිලි හෙළි කරන්නේද එම වාර්තාවමය. මේ නිසා ලංකාවේ බලධාරීන්ට අවංක වුවමනාවක් තිබෙනවා නම් මෙම වාර්තාවේ අඩංගු කරුණු සත්‍යදැයි තවත් විධිමත් විමර්ශනයකින් සොයා බැලිය හැකිය. නැතිනම් තිබෙන මෙම වාර්තාව පදනම් කරගෙන අදාළ පුද්ගලයන්ට විරුද්ධව විනය කි‍්‍රයාමාර්ග ගත යුතුය.