ගැනුම්කරුවන් අමාරුවේ දමන වෙහිකල්ස් ලංකා වාහන

 

අපි සල්ලි දීලා වාහන අරගෙන අවුරුදු දෙකක් තිස්සේ ගෙවල්වල තියාගෙන ඉන්නවා. අඩු ගණනේ පෙට‍්‍රල් ටිකක් ගහන්නවත් ෂෙඞ් එකට යන්න විදියක් නැහැ. රෙජිස්ටර් කරලා නැහැ කියලා පොලිසියෙන් අල්ලනවා. ගොඩාක් අය වාහන ගත්තේ ඔෆීස්වලින් ලෝන් අරගෙන. ඔෆීස් එකෙන් අහනවා වාහනය කෝ කියලා. අඩුම ගානේ වාහනේ පොතවත් ඉදිරිපත් කරන්න අපිට බැරිවෙලා තියෙනවා. ඔෆීස්වලින් හිතන්නේ අපි බොරු කියලා සල්ලි ගත්ත බොරුකාරයො කියලා.’

ඉහත දැක්වෙන්නේ දීර්ඝකාලීන දුක්ගැනවිල්ලක සංක්ෂිප්තයකි. එහි හිමිකරුවා වූයේ වෙහිකල්ස් ලංකා පුද්ගලික සමාගමෙන් වාහන මිලදී ගෙන අද අසරණභාවයට පත් ගැනුම්කරුවෙකි. මේ ගැනුම්කරුවා ඇතුළු සියයකට ආසන්න පිරිසකට අද හිමිවී ඇත්තේ මහමග ධාවනය කළ නොහැකි වාහනයක් පමණය. අහිමි වී ඇත්තේ එම වාහනයට අදාළ ලියාපදිංචියය. මේ නිසාම මෙකී ගැනුම්කරුවන් ඔවුන්ගේ දුක්ගැනවිල්ල සමාජය හමුවේ තැබීම සඳහා පසුගිය ඔක්තෝබර් 16 වැනිදා කොළඹ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වනු ලැබීය. ඒ වෙහිකල්ස් ලංකා පුද්ගලික සමාගමෙන් වාහන මිලදී ගෙන අසරණභාවයට පත් ගැනුම්කරුවන්ගේ එකමුතුව වශයෙන්ය.

එම මාධ්‍ය හමුවේදී හෙළිදරව් වූ කරුණු අනුව වෙහිකල්ස් ලංකා පුද්ගලික සමාගමෙන් මෙම පුද්ගලයන් වාහන මිලදී ගෙන ඇත්තේ මීට අවුරුදු දෙකකට පමණ පෙර 2012 වර්ෂයේදීය. මෙසේ වාහන මිලදී ගත් පනහකට අධික පිරිසක් ඔවුන් සමග සංවිධාන ගතවී ඇත. වාහන මිලදී ගත් මුළු පිරිස 90ක් පමණ වන බව දැනගන්නට ලැබී ඇත. එම වාහන ඔවුන් වෙහිකල්ස් ලංකා පුද්ගලික සමාගමෙන් මිලදී ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 20 සිට රුපියල් ලක්ෂ 40 දක්වා වූ මිල ගණන්වලටය. මෙම වාහන ලියාපදිංචි කිරීම සඳහා ඔවුන් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වරයාට අයදුම්පත් ඉදිරිපත් කර ඇතත් පිළිතුර වී ඇත්තේ එම වාහන ලියාපදිංචි කිරීම පිළිබඳව ගැටලූවක් පැන නැගී ඇති බැවින් ඒ සඳහා නීතිපතිවරයාගේ උපදෙස් පතා ඇති බවය. තම වාහන ලියාපදිංචි නොකිරීම සම්බන්ධයෙන් එම වාහන විකුණූ ආයතනයට එරෙහිව පොලිසියට පැමිණිලි ගණනාවක් සිදුකළද ඉන් ඵලක් වී නැත. පසුව පොලිස්පතිවරයා හමුවුවද පළක් වී නැත. පොලිස්පතිවරයාගෙන්ද ලැබී ඇත්තේ සුපුරුදු පිළිතුරමය. ඒ නීතිපතිවරයාගෙන් ඒ පිළිබඳව විමසා ඇති බවය.

වාහන විකුණුම්කරුවූ වෙහිකල්ස් ලංකා පුද්ගලික සමාගමේ හිමිකරු වන හර්ෂ ප‍්‍රභාත් ද සිල්වාව අදාළ පැමිණිලි සම්බන්ධයෙන් පොලිසියට කැඳවූ බවක් හෝ ඔහුගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගත් බවක් හෝ ගැනුම්කරුවන් දන්නේ නැත. ඒ එම පැමිණිලි විභාග කරන කිසිමදාක වාහන විකුණුම්කරුවා පොලිසියට නොපැමිණීම නිසාය. පුදුමයවන්නේ රුපියල් මිලියන ගණනක වාහන සම්බන්ධ වූ සාවද්‍ය මුදල් පරිහරණයක් සිදුවී තිබියදීත් පොලිසිය ඒ සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් අධිකරණයට මෙතෙක් කරුණු වාර්තා කර නොතිබීමය. වඩාත් පුදුමයවන්නේ පැමිණිලි සඳහා පොලිසියටවත් නො ආ හර්ෂ ප‍්‍රභාත්ද සිල්වා නමැත්තා එදින අදාළ මාධ්‍ය සාකච්ඡුාව සඳහා පැමිණ අදහස් දැක්වීමය.

එහිදී හර්ෂ ප‍්‍රභාත් ද සිල්වා කියා ඇත්තේ මේ පිරිස ඔවුන්ගෙන් වාහන මිලදී ගත් පිරිස් බවත්, ඔවුන් පත්ව සිටින තත්ත්වය ගැන ඔහු කනගාටුව ප‍්‍රකාශ කරන බවත්, ඔහුගේ ව්‍යාපාරය සඳහා ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමැතිය තිබෙන බවත්, ඔහුගේ වාහන සඳහා මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ලියාපදිංචිය ලබාදෙන බවට ලිපියක් මගින් දන්වා එවා ඇති බවත්, ඔහු වාහන විශාල ප‍්‍රමාණයක් විකුණා තිබෙන බවත්, ඒවාට ලියාපදිංචිය ලැබී ඇති බවත්, මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් දෙදෙනෙක් හා නීති ක්ෂේත‍්‍රයේ පුද්ගලයෙක් ඔහුගේ වාහන ලියාපදිංචියට බාධා කරන බවත් හා අවශ්‍ය වුවහොත් ඒ පිළිබඳව හෙළිකරනා බවත්ය.

වෙහිකල්ස් ලංකා පුද්ගලික සමාගමෙන් වාහන මිලදී ගත් පිරිස් කියන ඔවුන්ගේ කතාව ඇත්තය. ඔවුන්ගේ අසරණභාවය නැවත ප‍්‍රශ්න කළයුතු නැත. ඔවුන් නොදන්නවා වූවාට මෙම වාහන මිලදී ගැනීමේදී මේ ගැනුම්කරුවන් රැුවටී ඇති බව ඒ සම්බන්ධයෙන් අප සතු තොරතුරු සනාථ කරයි. එම සනාථ කිරීම් පැහැදිලිවම හා නිරවුල්ව අවබෝධ කරගැනීම සඳහා පළමුවෙන්ම අප මෙම වෙහිකල්ස් ලංකා පුද්ගලික සමාගමේ වාහන විකිණීමේ ව්‍යාපාරය පිළිබඳව අවබෝධයක් ලබාගැනීම වැදගත්ය.

මේ හර්ෂ ප‍්‍රභාත් ද සිල්වා මුලින්ම සිදුකළේ සම්පූර්ණ වාහන දෙකට වෙන් කර එම වාහන කොටස් දෙක දෙදෙනකුගේ නමින් රටට ගෙන ඒමය. පසුව එම කොටස් දෙක එක්කර වාහනයක් සකස් කර විකිණීමය. මෙය වාහන ආනයනය කිරීමේදී ගෙවිය යුතු බද්දෙන් රිංගා යෑම සඳහා යොදාගත් අලූත් ක‍්‍රමවේදයක් වූ අතර ඊට ශ‍්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා මෝටර් රථ ආනයනකරුවන්ගේ විරෝධය එල්ල විය. අවසානයේ එම ප‍්‍රශ්නය අධිකරණයට යොමුවූ අතර අභියාචනාධිකරණයෙන් ලැබුණේ හර්ෂ ප‍්‍රභාත් සිල්වාගේ එම වාහන ලියාපදිංචි නොකරන අවාසිදායක තීන්දුවකි. එම තීන්දුවට එරෙහිව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට ගියද ඔහුගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පවසා තිබුණේද වාහනයක් කිනම් ආකාරයකට සකස් කළද ඒ සඳහා නියමිත බදු ගෙවිය යුතු බවයි.

බදු දැලෙන් රිංගා යෑම සඳහා වූ පළමු උත්සාහය ඒ ආකාරයට අසාර්ථකවීමෙන් පසු හර්ෂ ප‍්‍රභාත් ද සිල්වා සිදුකළේ ඔහුගේ වෙහිකල්ස් ලංකා පුද්ගලික සමාගම සඳහා වාහන එකලස් කිරීමේ ආයෝජන මණ්ඩල අනුමැතියක් ලබාගැනීමය. එසේ එකලස් කරන වාහන දේශීය වෙළෙඳපොළට මුදාහැරිය හැකි බවට අවසර ලැබී ඇති අතර ඒ සඳහා වූ වාහන අමතර කොටස් ගෙන්වීමට ඒ අනුව අවසර ලැබී ඇත. එහිදීත් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩල අනුමැතිය ඔහුට මුලින්ම ලැබී ඇත්තේ භාවිත කර ලද වාහන අමතර කොටස් ඒ සඳහා ගෙන්වීමටය. එම අවසරය වාහන ආනයනය සම්බන්ධයෙන් රටේ පවතින නීතියට පිටින් ඔහුට ලබාදුන්නේ කෙසේද යන්න කතාබහට ලක්වී ඇති අතර ඊට හේතුව වී ඇත්තේ වසර දෙකකට වඩා පැරණි වාහන රටට ගෙන්වීමට අවසර නොදුන් තත්ත්වයය. ඒ නිසාම වසර දෙකකට වඩා පැරණි අමතර කොටස් ගෙන්වා වාහන එකලස් කරන්නට ලබාදෙන්නේ කෙසේද යන ප‍්‍රශ්නය ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට එරෙහිව යොමුවී ඇත. මේ හේතුවෙන් පසුව ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නවතම අමතර කොටස් ගෙන්වා වාහන එකලස් කරන ලෙසට වෙහිකල්ස් ලංකා පුද්ගලික සමාගමට දුන් අවසරයේ කොන්දේසි වෙනස් කර ඇත. එම කොන්දේසිය කඩ කිරීම නිසා පසුව ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඔහුට ලබා දුන් අවසරය තහනම් කර ඇති අතර ඊට එරෙහිව හර්ෂ ප‍්‍රභාත් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර ඇත. එම නඩුව මේ වනවිට විභාගවෙමින් පවතින අතර හර්ෂ ප‍්‍රභාත් එම මාධ්‍ය සාකච්ඡුාවේදී කිව් ලෙස දැනට ඔහුගේ වෙහිකල්ස් ලංකා පුද්ගලික සමාගමට වාහන එකලස් කිරීම සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩල අවසරයක් නැත.

අනෙක් ගැටලූසහගත කාරණය වන්නේ වෙහිකල්ස් ලංකා පුද්ගලික සමාගම වාහන එකලස් කිරීම යන ක‍්‍රමවේදයට අනුව ඔහුගේ කර්මාන්තශාලාව තුළ වාහන එකලස් කරනවාද යන්නය. මුලදී වාහනය කොටස් දෙකකට කපා ගෙනැවිත් රට තුළදී එකට පිරිද්දූ ආකාරයටම වෙහිකල්ස් ලංකා පුද්ගලික සමාගම වර්තමානයේ සිදුකරන්නේද වාහනයේ එන්ජිම, ගියර් පද්ධතීන් හා ඇක්සලය එක කොටසක් වශයෙනුත් වාහනයේ කඳ ඇතුළු ඉතුරු කොටස් වෙනමත් වශයෙන් එක වාහනයක් කොටස් දෙකකට ගෙන්වීමය. එසේ ගෙන්වා සවිකිරීමය. එහි මහා ලොකු වාහන එකලස් කිරීමක් නැත. පරණ බොරුවම ඊට වඩා නිර්මාණාත්මක ආකාරයට දැන් සිදුකිරීමය.

රට තුළ වාහන එකලස් කිරීම නිවැරදිව සිදුකරන්නේ කෙසේද යන්න අවබෝධ කරගත හැක්කේ මයික්‍රෝ සමාගමෙන්ය. ඔවුන් වාහනයක ඇණමුරිච්චි සිට සියලූම දෑ මෙරටට ගෙන්වා වාහන එකලස් කිරීම සිදුකරයි. ඒ නිසාම විශාල කාර්යය මණ්ඩලයකට එම සමාගමේ රැුකියා ලැබී ඇත. ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියකදී සලකා බලන ප‍්‍රධාන කාරණා දෙකෙන් එකක් වන්නේද එයය. සේවක රැුකියාවලට අමතර අනෙක් කාරණයවන්නේ කොතරම් මුදලක් ආයෝජනය කරනවාද යන්නය. වෙහිකල්ස් ලංකා පුද්ගලික සමාගමේ වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවේ කොතරම් සේවකයන් පිරිසක් සිටීද යන්න සොයා බැලූවහොත් එහි ඇත්ත නැත්ත දැනගත හැකිවනු ඇත.

වාහන එකලස් කිරීම නම් එකම කාර්යයක නිරත වන වෙහිකල්ස් ලංකා පුද්ගලික සමාගමේ වාහන ලියාපදිංචි නොකිරීමටත් මයික්‍රෝ සමාගමේ වාහන ලියාපදිංචි කිරීමටත් හේතුව කුමක්ද? එය වෙහිකල්ස් ලංකා පුද්ගලික සමාගමෙන් වාහන මිලදී ගත් අය නොදන්නා රහසය. මයික්‍රෝ සමාගම ඔවුන් වාහන එකලස් කිරීම සඳහා ගෙන්වනු ලබන සෑම අමතර කොටසකටම මුල් අවස්ථාවේදී රේගුවේදී බදු ගෙවනු ලබයි. වාහනය එකලස් කිරීමෙන් පසු විකිණීමට පෙර මුදල් අමාත්‍යාංශය විසින් නියම කරන ලද ප‍්‍රතිශතයකට එක් එක් වාහනය සඳහා නිෂ්පාදන බදු ගෙවනු ලබයි. ඒ නිසාම මයික්‍රෝ සමාගමේ වාහන ලියාපදිංචියේදී අද වන තෙක් නීතිමය බාධක හෝ ප‍්‍රශ්න මතුවී නැත. සාමාන්‍යයෙන් වාහනයක් රටට ගෙන්වීමේදී පෙට‍්‍රල් වාහනයක් නම් වාහනයේ වටිනාකම මෙන් 200%ක පමණ බදු ප‍්‍රතිශතයක්ද, ඞීසල් වාහනයක් නම් 300%ක පමණ බදු ප‍්‍රතිශතයක්ද අයකරනු ලබන අතර එකලස් කරන ලද වාහන සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය පසුව ගණනය කරනු ලබන්නේ මුල් අවස්ථාවේදී රේගුවට නොගෙවන ලද අදාළ බදු ප‍්‍රමාණයන්ය.

වෙහිකල්ස් ලංකා පුද්ගලික සමාගම මුල සිටම කට්ටි පනින්නේ නැත්නම් රිංගා යෑමට ප‍්‍රයත්න දරන්නේ ඒ ආකාරයට වාහන එකලස් කිරීමෙන් පසු විකුණන ලද වාහනය වෙනුවෙන් රටට ලැබිය යුතු බදු මුදලෙන් මගහැරීමටය. ශ‍්‍රී ලංකා රේගුවට අනුව වෙහිකල්ස් ලංකා පුද්ගලික සමාගම දෙකොටසක් වශයෙන් ගෙන්වන වාහනයක් සඳහා වාහන අමතර කොටස් ලෙස බදු අයවන්නේ දළ වශයෙන් රුපියල් ලක්ෂ 5ක පමණ ප‍්‍රමාණයක්ය. එසේ වුවද එම සමාගම ගෙන්වන වාහන සඳහා දළ වශයෙන් රුපියල් ලක්ෂ 20 සිට ඉහළට යන බද්දක් අයවිය යුතු බව ශ‍්‍රී ලංකා රේගුවේ ගණන් බැලීමය. එම නිසා පසු අවස්ථාවක රටට අයවිය යුත්තේ එම බදු ප‍්‍රමාණයය. මේ සෙල්ලම මෙසේ ගියහොත් එකලස් කරනවායැ’යි කියා වාහනයේ අංගෝපාංග කොටස් දෙකකට වෙන්කර ගෙන්වා ඒවාට අමතර කොටස් වශයෙන් වූ බදු ගෙවා වාහන රටට ගෙන්වන්නත්, ඒ මගින් වැඩි ලාභයක් තියාගන්නටත් බොහෝ පිරිස් පෙළඹෙනු ඇත. ඉන් සිදුවන්නේ රටට හිමිවිය යුතු බදු ආදායම අහිමිවී යෑම පමණය.

වෙහිකල්ස් ලංකා පුද්ගලික සමාගම මීට පෙර විකුණන ලද වාහන දැනට ලියාපදිංචි වී ඇත්තේ කෙසේද යන පැනයද ඊළඟට මතුවිය හැකිය. එම වාහනවල ලියාපදිංචියේ පෙර අවස්ථාවද වර්තමානය මෙන්ය. වාහන ගැනුම්කරුවන්ගේ දුක්ගැනවිල්ල පෙරට විත් සමාජගත වන්නේය. ඊට පිළිසරණ පතා අධිකරණයට යන්නේය. ප‍්‍රවාහන විෂය භාර අමාත්‍යවරයා හා නිලධාරීන් වගඋත්තරකරුවන් කරන්නේය. අමාත්‍යවරයා සමග හෝ නිලධාරීන් සමග අධිකරණයෙන් පිට ඇති කරගන්නා එකඟතාවක් අනුව අධිකරණයේදී සමාදානයකට යන්නේය. ප‍්‍රශ්නයට තුඩු දුන් වාහන තොගය එකවර ලියාපදිංචියට අවසර ලැබෙන්නේය. පුදුමයෙකිය. රටේ අනෙකුත් වාහන ආනයනකරුවන් හෝ වාහන එකලස් කරන්නන්ගේ වාහන විකුණන පිළිවෙළට එක් එක් වාහනය වශයෙන් ලියාපදිංචි වුවත් මෙම වාහන ලියාපදිංචිවන්නේ තොග වශයෙන්ය. ඇමතිවරු හෝ නිලධාරීන් සමග එකඟතාවයෙන් වෙහිකල්ස් ලංකා වාහන ඉතිහාසය පුරාම ලියාපදිංචි වී ඇත්තේ එයාකාරයටය.

දැන් නැවත වරක් එහිම අලූත් තැටියක් ඔහු වාදනය කරන්නට යන බව වත්මන් සිදුවීමෙන් වටහාගත හැකිය. එම අලූත් තැටිය වෙනුවෙන් එක් වාහනයකට රුපියල් ලක්ෂ විස්ස ගණනේ ගණනය කළත් රටට අහිමි වන බදු මුදල වාහන අනූවක් සඳහා රුපියල් මිලියන එකසිය අසූවකි. වෙහිකල්ස් ලංකා පුද්ගලික සමාගමෙන් වාහන මිලදී ගත්තවුන් ඇත්තටම අසරණය. ඔවුන්ට සාධාරණ ඉටුවිය යුතුය.

එහෙත් මුලින්ම විසඳා ගතයුතු ප‍්‍රශ්නය වන්නේ ඔවුන්ට සාධාරණය ඉටුවිය යුත්තේ රජයේ පාර්ශ්වයෙන්ද, වෙහිකල්ස් ලංකා පුද්ගලික සමාගමේ පාර්ශ්වයෙන්ද යන්නය. ඉන්පසු සාධාරණය ඉටුවිය යුත්තාගෙන් ඔවුන්ට සාධාරණය ලබාදී අසරණ තත්්ත්වයෙන් ඔවුන් මුදවා ගැනීම බලධාරීන්ගේ යුතුකමකි. වගකීමකි.

වෙහිකල්ස් ලංකා පුද්ගලික සමාගමේ හිමිකරු හර්ෂ ප‍්‍රභාත් ද සිල්වා මහතා ඔහුගේ ජංගම දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

අපිට සාධාරණය  ඉටු කරන්න  – කේ.ඒ. චරිත් මහතා
වෙහිකල්ස් ලංකා (පුද්ගලික) සමාගමෙන් වාහන මිලදී ගෙන අසරණභාවයට පත් ගැනුම්කරුවන්ගේ එකමුතුව

අපි දෙදාස් දොළහ අවුරුද්දේ තමයි වෙහික්ලස් ලංකා ආයතනයෙන් මේ වාහන ගත්තේ. අද වෙනකම් අපේ වාහන ලියාපදිංචි කරලා නැහැ. මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කොමසාරිස්තුමාට කිව්වම ඒ ගැන උපදෙස් ගන්න නීතිපතිතුමාට යැව්වා කියලා කිව්වා. අපි මේ වාහන විකුණපු හර්ෂ ද සිල්වාට එරෙහිව පොලිසියට පොලිස්පතිතුමාට පැමිණිලි කරලා තියෙනවා. පොලිස්පතිතුමත් කියන්නේ නීතිමය ගැටලූවක් නිසා නීතිපතිතුමාට යොමු කළා කියලා. අපිට වාහන විකුණපු හර්ෂ ද සිල්වාට කිව්වම ඔහු කියනවා අපේ වාහන ලියාපදිංචි කරන්න ලක්ෂ්මන් යාපා ඇමතිවරයා කැබිනට් පේපර් එකක් දාලා තියෙන්නේ කියලා.

අපේ වාහන ලියාපදිංචිය වෙහිකල් ලංකා ආයතනය භාර ගන්නවා කියලා ඒකටත් අපෙන් රුපියල් තිස්දාහක් ගත්තා. අපිට හර්ෂ ද සිල්වා මහතා කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් ඔහුගේ වාහන සඳහා අවසර තියෙනවා කියලා. ඒ වගේම ඔහු කියනවා රජයට අයවිය යුතු බදු මුදල් අපෙන් ඔහු අරගෙන තියෙන්නේ කියලා. ඒ වගේම ඔහු කියනවා කස්ටම් එකට නිකං බදු ගෙවන්නේ නැහැ කියලා.

අදටත් වෙහිකල් ලංකා ෆැක්ටරියට කතා කළාම වාහන විකුණන්න තියෙනවා. අද අපි අමාරුවේ වැටිලා ඉන්නේ. මේකෙන් තව මිනිස්සුත් අමාරුවේ වැටෙනවා. අපි අපේ වාහන අරගෙන අපිට සල්ලි ගෙවන්න කිව්වා. ඒත් හර්ෂ ද සිල්වා කියන්නේ ඔහුට දෙන්න සල්ලි නැහැලූ. අපෙන් ගත්ත සල්ලි තව වාහනවලට යට කරලලූ. අපි කියන්නේ අපිට වෙච්ච අසාධාරණයට කොහෙන් හරි සාධාරණයක් වෙන්න ඕනෑ කියලයි.