ක‍්‍රීඩා ඇමති කවුද?

 

මෙවර අය වැයෙන් පසු ක‍්‍රීඩා අමාත්‍ය වරයා පස්වනක් ප‍්‍රීතියට පත්ව ඇත්තේය. ඒ විශාල මුදල් කන්දරාවක් සිය අමාත්‍යාංශයට වෙන්කර ඇති නිසාවෙනි. පොඩි එකකු තෑග්ගක් ලද විට පිනා යන තරම් පිනක් අමාත්‍යවරයාට කඩා වැටුණායි අමාත්‍යවරයා කියනුයේ ඇයි?

මෙරට ක‍්‍රීඩා සංවර්ධනයට මෙවර අයවැයෙන් වෙන්වූ මුදල රුපියල් මිලියන 3000කි. මෙය ඉතිහාසයේ රජයක් රාජ්‍ය නායකයකු ක‍්‍රීඩාව වෙනුවෙන් වෙන් කළ වැඩිම මුදල බව කියනුයේ ක‍්‍රීඩා අමාත්‍ය තැනය.

එහිදී අමාත්‍යවරයා කියනුයේ උපදේශකයන් නොමැති සෑම පාසලකටම අමාත්‍යාංශය මගින් ක‍්‍රීඩා උපදේශකයන් පත්කිරීමට රුපියල් මිලියන 750ක්ද, සුගතදාස සහ ඛෙත්තාරාම ක‍්‍රීඩාංගණ සංවර්ධනයට තවත් රුපියල් මිලියන 2,250ක් ද අයවැයෙන් වෙන්කර ඇති බවය. ජනපතිවරයා මේ සියල්ල කරනුයේ එතුමා තුළ ක‍්‍රීඩාව කෙරෙහි ඇති අසීමිත ආදරය කැමැත්ත නිසාය. මෙරටෙහි දේශපාලනයක් නොපවතී. පවතිනුයේ කැමැත්තට ක‍්‍රියා කිරීමය. රාජපක්ෂලාගේ කැමැත්ත යන්න රටේ පැවැත්මය. ජනාධිපති ක‍්‍රීඩාවට ආදරය නිසා මේ තරම් මුදලක් වෙන් කොට ඇත. අධ්‍යාපනයට එතරම් කැමැත්තක් නැති නිසා මෙතරම් මුදලක් වෙන් කොට නැත. මේ රටේ මුදල් බෙදන කැමැත්තය. එතනදී මහින්දානන්ද අලූත්ගමගේ හොඳ ළමයෙක් වී ඇත. ඒ ජනපති ආස කරන ආදරය කරන අමාත්‍යාංශයක් ඔහුට ලැබී ඇත.

ක‍්‍රීඩා අමාත්‍යවරයා තවත් පම්පෝරියක් ඇද බායි. ‘මම ක‍්‍රීඩා ඇමති ලෙස පත්වෙද්දී අමාත්‍යාංශයට වෙන්වී තිබුණේ රුපියල් මිලියන 500ක් වැනි මුදලක්. ඒත් ජනාධිපති පසුගිය කාලයේ මිලියන 6300ක් පමණ ක‍්‍රීඩා සංවර්ධනයට ලබා දුන්නා’ ඒ ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ අදහස්ය.

එසේ නම් ජනපතිට ක‍්‍රීඩාව ගැන ආඩම්බරය ඇතිවී ඇත්තේ මහින්දානන්ද අමාත්‍යවරයා නිසාය. ඊට පෙර මුදල් අඩු වුවද ක‍්‍රීඩාව යම් තරමකට හෝ තිබුණමුත් අද මුදල් මල්ල ඇරුණු විට ක‍්‍රීඩාව නොපවතී. මෙහි දෝස කාගේද? ක‍්‍රීඩා අමාත්‍යවරයාට ලැබුණු මුදල් කන්ද විශාලය. එහෙත් ඔහු මී පැටියකු තරමට හෝ ක‍්‍රීඩාවක් ජනිත නොකළේ ඇයි?
අපට ඉදිරියේදී අසන්නට වනුයේ පිට්ටනි කන්නද යන්නය. එය දැනටත් වලංගුය. මේ පිට්ටනි සැබැවින්ම කන්න තමයි කියන පිරිසක් සිටී. එබැවින් ඒ අය පිට්ටනි හදති.
අද ක‍්‍රීඩා ඇමති කවුද? නාමික ඇමති මහින්දානන්ද අලූත්ගමගේය. එය දන්නා කරුණකි. එහෙත් මේ සියල්ල පරිපාලනය කරනුයේ මන්ත‍්‍රී නාමල් රාජපක්ෂය. ක‍්‍රීඩා ඇමති යනු රූකඩයකි. එය නටවනුයේ නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාය. ජනපති ක‍්‍රීඩා අමාත්‍යාංශයට මෙතරම් මුදල් වෙන්කිරීමේ රස රහස මහින්දානන්ද අමාත්‍යවරයාට සේ ම අපටත් මැජික් නොවන බව කිව යුතුය. අද සුපිරි ක‍්‍රීඩා නිවහනක මහින්දානන්ද අලූත්ගමගේ මහතා වෙසෙනුයේ නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාට පින්සිදුවන්නටය.

ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙස ඔහුට අයත් නොවන ක‍්‍රීඩා තබා ඇත. ඒ අතර ප‍්‍රධාන ක‍්‍රීඩාව රග්බිය. එය බලා කියා ගනුයේ නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාය. එනම් අධීක්ෂණ ක‍්‍රීඩා ඇමතිය. අනෙක ක‍්‍රිකට්ය. එහි පුටු එහා මෙහා වන්නේ ජනපතිට වුවමනා පරිදිය. තවත් පැත්තකින් මලල ක‍්‍රීඩාවය. එයට කුමක් කළ යුතුද යන්න ආරක්ෂක ලේකම්ගෙන් විමසිය යුතුය. ඔලිම්පික් සංගමය වෙනම ලෝකයකි. එය ක‍්‍රීඩා ඇමතිට අතපෙවිය නොහැකි තරම් දුරය. වොලිබෝල් සංගමය මිතුරාගේය. එබැවින් ඊටද කළ හැකි දෙයක් නැත. ක‍්‍රීඩා ඇමතිවරයාට ඉතිරිව ඇති එකම දේ පිට්ටනි සෑදීමය. පිට්ටනි හරහා තමන් සැදීමය.

ඉදිරියේදී පිට්ටනිවල බොහෝ වැඩද ආරක්ෂක ලේකම්වරයා යටතට යනු ඇත. පොඩි පොඩි කොන්තරාත් පමණක් ක‍්‍රීඩා අමාත්‍යවරයාට හිමිවනු ඇත. එය එදා වේලට සරිලනු ඇතිය.
මේ රටෙහි මෝටර් රථ ක‍්‍රීඩා සංගම් ක‍්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇතත් එය කුමක් කළ යුතුද යන්න තීන්දු කරනුයේ කාල්ටන් ක‍්‍රීඩා ඇත්තන්ය. මේ අනුව බලන කල ක‍්‍රීඩා ඇමතිට ඇත්තේ පිට්ටනි සාදා හෝ අනුන් සාදන පිට්ටනිවල ජාතික මහා ක‍්‍රීඩා උළෙල නම් ජාතික බොරුව ක‍්‍රියාවට නැගීමය. මේ ටික කරන්නට ක‍්‍රීඩා ඇමතිවරයෙක් වුවමනාද?
මිලියන 500ක්ව පැවති ගිණුම මිලියන 6300ක් වුවද මෙරට ක‍්‍රීඩාවේ දියුණුවක් වී ඇතිද? ටොරින්ටන්හි පිහිටි තුරග තරග ක‍්‍රීඩාංගණය ඉදිකළමුත් එය අයිති රග්බි ක‍්‍රීඩාවට පමණය. සියලූ ක‍්‍රීඩා සමාජ මේ අවට පවතී. එහෙත් ඔවුන්ට මේ ක‍්‍රීඩාංගණය තහනම් කලාපයකි.

කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි තරගාවලිය මේ වනවිට ක‍්‍රීඩාවේ සැණකෙළිය බවට පත්වී ඇත. මෙවර එහි පළාත් සියල්ලට ගීත නිර්මාණය කළේය. ඒ පිළිබඳ මහා සැමරීමක් බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලාවේදී පැවැත්විණි.
එහිදී කෑම මේස තරු හතේ සිරි ගත්හ. මේ එක් දිනකට කෝටි තුනක් පමණ වැය කොට තිබුණි. එහෙත් ටොරින්ටන්හී පිිහිටි කෘත‍්‍රිම ටෙනිස් පිටියට ක‍්‍රීඩා කරන්නට එන ක‍්‍රීඩිකාවන්ට ගෙනෙන බත්පත කන්නට තැනක් නැතිය. ඇඳුම් මාරු කිරීම් ගැන කවර කතාද? ටෙනිස් ක‍්‍රීඩිකාවන් පැවසුවේ දැනට ඒ සඳහා ප‍්‍රයෝජනයට ගත්තේ පාපන්දු සංගම් මූලස්ථානය බවය. මේ ක‍්‍රීඩාවේ යථාර්ථයය.

ක‍්‍රීඩා අමාත්‍යවරයා වැඩ භාරගෙන තුන් වසරක් ඉක්ම ගොස්ය. එහෙත් ඔහුට මේ වන තෙක් ක‍්‍රීඩා උපදේශකයන් පාසල්වලට පත් කිරීමට නොහැකි වී ඇත. එය මෙවර හෝ කරන්නැ’යි රුපියල් මිලියන 750ක් වෙන් කොට ඇත. ඉදින් මේ වසරේ ඒ සියල්ල සපිරේද?
සුගතදාස ක‍්‍රීඩාංගණයේ එලූ ධාවන පථයෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශය ලාභ ලැබුවා සහතිකය. එය හිඟන්නාගේ තුවාලය බඳුය. ධන නිධානයකි. එයට සහ ඛෙත්තාරාමයට වෙන් කොට ඇති මිලියන 2,250ක මුදල ගැන ක‍්‍රීඩා ඇමති මේ තරම් සතුටු ඇයි?
මෙරට ක‍්‍රීඩාව අහවරය. එයට හුස්මක් පිඹින්නට මේ මළ මිනිසුන්ට බැරිය.