ක‍්‍රීඩා අමාත්‍යාංශය සූදු පිටියක්ද?

ක්‍රීඩා අමාත්‍යාංශයේ ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මියට එරෙහිව පස් වැදෑරුම් චෝදනා පත‍්‍රයක් එල්ල වී ඇත. එයට කූඨ ලෙස ලේඛන පිළියෙල කොට ක‍්‍රීඩා සංගම් මුදල් වංචා කිරීම, අමාත්‍යාංශයේ වාහන අලූත්වැඩියා කිරීම, ගුවන් ටිකට් පත් මිලදී ගැනීමේ දූෂිත ක‍්‍රියා, කාල්ටන් ක‍්‍රීඩා නාලිකාවට ටෙන්ඩර් පටිපාටියකින් තොරව රුපියල් ලක්ෂ 24ක මුදල් ගෙවීම සහ ඇමති ඉන්ධන දීමනා වංචා කිරීම යන චෝදනා ඇතුළත්ය.

1. කූඨ ලේඛන සෑදීම

කෝටි පහමාරක මුදලක් (රුපියල් 53,800,00,00) ක‍්‍රීඩා සංගම් 14ක් වෙනුවෙන් ලබාගැනීමට රංජනී ජයකොඩි උත්සාහ කර තිබේ. ක‍්‍රීඩා අමාත්‍යවරයා සමග කළ සාකච්ඡුාවකට අනුව ජාතික ක‍්‍රීඩා සංගම් සඳහා උපකරණ මිලදී ගැනීමට හෝ ඉදිකිරීමට මුදල් ලබාදිය යුතු බවට ලේඛනයක් ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරිය ගණකාධිකාරීවරයාට ඉදිරිපත් කොට ඇත. එහි කිසිදු ටෙන්ඩර් කැඳවීමක් කැඳවා නොමැත. මෙලෙස මුදල් ලබාදීමට කටයුතු කොට ඇති සංගම් වනුයේ ශ‍්‍රී ලංකා ටෙනිස් සංගමය (ලක්ෂ 50) ශ‍්‍රී ලංකා ගොල්ෆ් සංගමය (ලක්ෂ 30), ශ‍්‍රී ලංකා රග්බි ෆුට්බෝල් සංගමය (ලක්ෂ 50*, ශ‍්‍රී ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමය (ලක්ෂ 50) වෙනුවෙන් මිල ගණන් ලබාදිය යුතුයැ’යි සඳහන් මිල ගණන් වෙනුවෙන් කිසිදු ආයතනයක් නම් කර නොමැත. මෙසේ ආයතනයක් ගැන සඳහන් නොමැතිව ක‍්‍රීඩා සංගම්වලට දීමටයැ’යි කියා ජනරාල්වරිය ඉල්ලා ඇති මුදලේ වටිනාකම කෝටි 3කට ආසන්නය. (මිලියන 28කි.)

ශ‍්‍රී ලංකා වොලිබෝල් සංගමයට ලක්ෂ 20ක් ගැනීම සඳහා ආයතන 3ක් විසින් මිල ගණන් ඉදිරිපත් කර ඇත. ඒවා නම් කොළඹ 03, ගාලූ පාර, අංක 307 දරන ලිපිනයැ’ති ජයසිරි සිල්වා ආයතනය. කොළඹ, කෙයිසර් වීදිය, අංක 20/5 ලිපිනය ඇති ස්පෝර්ට් එම්පෝරියම් සහ පානදුර ගාලූපාර, අංක 402හි ඇති කීන් ස්පෝර්ට්ස්ය. මෙයින් පානදුර එම ලිපිනයේ පිහිටා ඇත්තේ බැංකුවකි. අනෙක් ආයතන සඳහන් ලිපිනයන්හි එවැනි ආයතන පිහිටා නැත.

2. වාහන අලූත්වැඩියාව

ක‍්‍රීඩා අමාත්‍යාංශයේ වාහන අලූත්වැඩියා කටයුතු අධ්‍යක්ෂ ජනරාල්වරියගේ පෞද්ගලික ව්‍යාපෘතියකි. දෙපාර්තමේන්තුවේ වාහනයක් හදිසි අනතුරකට ලක්වූ පසු පොලිස් වාර්තා සහ රක්ෂණ වන්දි වාර්තා කිසිවක් අමාත්‍යාංශයට නොලැබෙන බව පැවසේ. එපමණක්ද නොව කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව එහි අලූත්වැඩියා කටයුතු සඳහා ජයකොඩි දන්නා ගරාජයකට දමන බවද පැවසේ. රක්ෂණ වන්දිද කෙළින්ම ගරාජයට ලබාදෙන ලෙස උපදෙස් දී ඇත. මෙය ‘අරවින්ද මෝටර්ස් ඇන්ඞ් සර්විස්’ නම් වේ. ගැටලූව එම ලිපිනය අනුව එම ස්ථානයේ එවැනි ගරාජයක් නොමැතිවීමය. ඒ වෙනුවට පෙන්වනුයේ කොළඹ 10, පංචිකාවත්ත ලිපිනයේ පිහිටි හිරුණ ඔටෝ ස්පෙයාර්ස් නම් ආයතනය සහ එම ගොඩනැගිල්ලේම පිහිටි ඇක්වාස් මෝටර්ස් ආයතනයය.

3. ගුවන් ටිකට් පත්

මේ සියල්ල ලබාදී ඇත්තේ ලොහාන් රත්වත්තේ සහ අමන්දා රත්වත්තේ වර්ල්ඞ් එයාර් ආයතනයටය.
ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ඊට අනුබද්ධ ආයතන ගුවන් ටිකට් පත් මිලදී ගතයුත්තේ බී. ඕ.සී. ට‍්‍රැවල්ස් (පුද්) සමාගම සහ ‘පීපල්ස් ට‍්‍රැවල්ස් (පුද්) සමාගමෙනි. එය නියම කොට ඇත්තේ රාජ්‍ය මුදල් චක‍්‍රලේඛනය අනුවය. එහෙත් එම චක‍්‍රලේඛනයන්ට පටහැනිව ක‍්‍රීඩා අධ්‍යක්ෂවරිය ලොහාන් රත්වත්තේ මහතාගේ ආයතනයට භාරදී ඇත.

4. සී.එස්.එන්.

2013 ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ විකාශන අයිතිය මිල ගණන් නොමැතිව කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් (සී.එස්.එන්.) ලබාදී ඇත. විකාශනයෙන් පසුව රුපියල් ලක්ෂ 24ක බිලක් කාල්ටන් ආයතනයෙන් ඉදිරිපත් වී ඇත. ගොනු අංකයක් හෝ පිළියෙළ කළ හෝ පරීක්ෂා කළ නිලධාරියකු හෝ නොමැතිව අධ්‍යක්ෂ ජනරාල්වරිය එයට අත්සන් තබා ඇත.

5. ඇමති තෙල්

ක‍්‍රීඩා පිටි නිරීක්ෂණය සඳහා ගියායැ’යි පවසමින් අතිරේක ඉන්ධන බිල්පත් ඉදිරිපත් කර මුදල් ලබාගෙන ඇත. ඒ සියල්ල අනුමත කොට ඇත්තේ රංජනී ජයකොඩි මහත්මියය. මේවාට ක‍්‍රීඩා ඇමතිවරයා දඬුවම් ලබනු ඇතැ’යි සිහින ගැන නොසිතිය යුතුය. එසේම මෙවැනි අභීත ක‍්‍රියාවක් කුමන හෝ හේතුවක් මත කළ ගණකාධිකාරිවරියට ‘පව්’ කියනු හැර වෙන යමක් කීමට ඉතිරි වේදැ’යි අපි නොදනිමු. බොහෝ අය බොහෝ වැරදි දන්නාමුත් අද දවසේ ඒ ගැන කිසිවක් නොකියනුයේ මේ යථාර්ථය හේතුවෙනි. එනම් අද රටේ තැනක් ඇත්තේ හොරුන්ටම වන බැවිනි. අවංකවීම මෝඩකමක් බවත් හොරකුවීම පැවැත්ම බවත් ගණකාධිකාරී ජාතකය අපට කියාදෙනු ඇත.

ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ප‍්‍රධාන විගණකාධිපතිවරියගේ පෞරුෂයට අපි ගරු කරමු. රටට අවැසි එවැනි චරිත විනා බොරු හිනාකාරයන් නොවන බව කිව යුතුය. ක‍්‍රීඩා අමාත්‍යාංශයම හොර ගුහාවකි. එහි ක‍්‍රීඩාව හැර බූරු සෙල්ලම නම් අපූරුවට පැවැත්වේ.