ඕනෑම සංගීත ආරකට දිශානුගතවීමක් අවශ්‍යයි – කසුන් කල්හාර

රවීන්ද්‍ර පුෂ්පකුමාර

කසුන් කල්හාර සිය සහෘද ශිල්පීන් වන ඉන්ද්‍රචාප ලියනගේ, නදීක ගුරුගේ සහ කුෂානි සඳරේඛා එක්ව ‘රොමැන්ටික් ඔපෙරා’ ප‍්‍රසංගය නොවැ. 01 දින මීගමුව ආවේමරියා ශාලාවේදී පවත්වයි.

ඔබ සංගීතය අර්ථකථනය කරන්නේ කොහොමද?

මම මියුසික් කියල කියන්නේ සරල කාරණයකට නම් නෙවෙයි. සියලූ කලාවන්ගේ දියුණුම කලාව මියුසික් එහෙම නැත්නම් සංගීතය කියල තමයි මම විශ්වාස කරන්නේ. සංගීතය ස්පර්ශ කළ හැකි දෙයක් නෙවෙයි. නොපෙනෙන දෙයක්. අවකාශයේ සිදුවන වෙනස්වීම් හරහා මිනිස්සුන්ට දැනෙන්න ගන්නව. ඒ නිසා මේක එක්තරා මැජික් එකක්. මිනිස්සු කියනවනෙ අපිට ආත්මයක් තියෙනව කියල හරියට මියුසික් කියන්නෙ ඒ වගේම දෙයක්.

ඔබ විශ්වාස කරන දේ අපේ රටේ ස්ථාපිත කිරීම කෙබඳු කටයුත්තක්ද?

මෑත වකවානුව තුළ ළඟ ළඟම ගොඩක් දේවල් වෙනස් වුණා. විශේෂයෙන්ම අපේ රටේ මිනිස්සුන්ගේ රසඥතාව. ඉස්සර මිනිස්සුන්ට බැණ බැණ හිටිය, මේ රටේ මිනිස්සුන්ට නිර්මාණ කරලා වැඩක් නෑ, මිනිස්සුන්ට ඕවා දැනෙන්නෑ කියල. දැන් එහෙම නෙමෙයි මේක අපිට දැනෙනව කියල කෑගහල කියන්න පුළුවන් මිනිස්සු ටිකක් ඉන්නව. ඒ නිසා දැන් නිර්මාණයක් කරන කොට මිනිස්සු හොයනව නිර්මාණකරුවා මීට කලින් මොනවද කරල තියෙන්නෙ; ඒවා කොයි මට්ටමේ තිබුණද කියලා. එහෙම රසවිඳින ශ‍්‍රාවකයෝ, පේ‍්‍රක්ෂකයො පිරිසක් ඉන්නව. ඒ නිසා දැන් ලොකු සතුටක් තියනව. වෙනදට වැඩිය උනන්දුවකින් දැන් නිර්මාණ කළ යුතුයි කියන මට්ටමට අපව තල්ලූ කරල තියනව.

ඔබ දැන් ජනප‍්‍රිය තලයට ඇවිදින් වසර දහයකට වැඩියි. මේ කාලය තුළ ඔබ විශ්වාස කරපු මියුසික්මද ඔබේ භාවිතාව තුළ තිබුණේ?

නෑ. වෘත්තියක් විදිහට අපි මියුසික් කරගන යන අතර අපට මියුසික් අමතක වෙලා යනව. එතකොට මේක අපිට මතක් කරල දෙනව සමහර ශ‍්‍රාවකයො වගේම, මේ ගැන හැඟීමක් තියන මිනිස්සු. එහෙම මිනිස්සු හිටිය. අදටත් ඉන්නව. ඔවුන් අපේ අරමුණ මතක් කරනව. කොහොමත් සියලූ දේ නැති කරගෙන, විකුණගෙන වෘත්තියක් කරනව කියන එක මම අතෑරල තියෙන්නෙ. ඕනෑම නිර්මාණකරුවකුට එක යුගයක් තියනව තමන්ට හිතෙන්ඩ ගන්නව තමන්ගෙ නිර්මාණ ඇගැයීමකට ලක්වෙන්නෙ නෑ කියල. එහෙම කාලයක් හැම නිර්මාණකරුවකුටම වගේ මටත් තිබුණ. හැබැයි දැන්මම කරගෙන ආපු සිස්ටම් එකෙන් එළියට බැහැලා වැඩ කරන්න සිදුවෙලා තියෙනව. ඒ නිසා දැන් මම විශ්වාස කරපු මියුසික්වලට යන්න උනන්දුවෙලා තියනව.

ඔබ පාසල් අවධියේදී කළ ප‍්‍රසංගයක් බලපු පේ‍්‍රමසිරි කේමදාස මහතා කිව්වෙ ‘මට දැන් බලාපොරොත්තුවක් ඇතිව මැරෙන්න පුළුවන්’ කියල. ඒත් ඔබ ගීතය ඇතුළෙ හිරවෙලා ඉන්නව. එදා ඒ විශ්වාසයට මොකද වෙන්නෙ.

මගේ ගීත තුළ මගේ මියුසික් කියන එක හිරවෙලා නෑ. ඒක ගීතයකින් හිර කරන්න හෝ දියකර හරින්න බෑ. සංගීතය කියන එකේ විභාන්තරය මහා විශාල දෙයක්. ඒක විනාඩි දෙක තුනක ගීතයක් ඇතුළෙ කොහොමවත් ගොනු කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ලංකාවෙ සාමාන්‍යයෙන් සරල ගීත ගත්තොත් මේ කියන්නෙ අපි ඉස්සර ගුවන්විදුලියේ අහන සරල ගී නෙවෙයි. දැනට ව්‍යවහාරයේ තියන සරල ගීත ආකෘතිය ඇතුළෙ සංගීතය කියල බොහොම ටිකයි තියෙන්නෙ. ඒක ඇතුළේ අපි හිතන සංගීතය කරන්ඩ ලොකු සංයමයක් තියෙන්ඩ ඕනෑ. ඒ සංයමය හදාගෙන මිසක් මියුසික් කරන්න බෑ. ඒ නිසා තමයි එදා මාස්ටර් කියපු දේ සැබෑවක් කරන්න බැරිවෙලා තියෙන්නෙ.

අනෙක් දේ තමයි කේමදාස මාස්ටර්ට සංගීතය කරන්න, කැපවීමෙන් විශ්වාසය තියල වැඩ කරන්න මිනිස්සු හිටිය. දැන් ඒ සම්පත් හිඟතාව තදින් දැනෙනව. උදාහරණයක් හැටියට මට ඕනෑවෙනව වයලින් දහයක් ගහල පොඩි මියුසික් එකක් කරන්න. එක පැත්තකින් වයලින් දහයක් හොයාගන්ඩ බෑ. ඒ හොයා ගත්තත් වයලින් දහය ගහන්ඩ දහදෙනෙක් හොයාගෙන ඒ කාලය අරන් කැපවීම් කරන්ඩ කැමති නෑ. මොකද ඒ අයට මීට වැඩිය මුදල් එනව ගීතයකට සංගීතය සැපයුවහම. ඒ නිසා වැඩකට ආදරෙන් එන පිරිස ඉතාම අඩුයි. ඒ නිසා ඒ ප‍්‍රශ්නයත් දැඩිවම තියනව. මේක සරල කාරණයක්.

ඔබ පේ‍්‍රම ගීතවල හිරවෙලා ඉන්නවය කියන චෝදනා ගැන මොකද කියන්නේ?

මම වචනාර්ථයට කැමතියි තමයි. ඒත් මම ඒ පස්සෙම එලවන්නේ නෑ. මම වැඩි ඉඩක් දෙන්නෙ සංගීතයට. මම සමහර නිර්මාණ කරල තියනව වචන නැතිව. නිර්මාණයක වචන තියෙන්ඩ ඕනෑ කියනව නම් ඒක ඉතාම හොඳ දෙයක් වෙන්ඩත් ඕනෑ. ඒ නිසා එහෙම නිර්මාණය පේ‍්‍රම ගීතයක්ද නෙවෙයිද කියන එක මට අදාළ කාරණාවක් නෙවෙයි.

සංගීතය දේශපාලනිකයි කියල ඔබ විශ්වාස කරනවද? ඊට අනුව ඔබේ සංගීත භාවිතය ගැන ඔබ තෘප්තිමත්ද?

ඔව්. සංගීතය දේශ පාලනිකයි. මම වෘත්තීය කියල එන හැම වැඩක්ම භාරගන්නෙ නෑ. මොකද මගේ ගමන මම දිශානුගත කරගෙන තියන නිසා. ඒ නිසා මම තෝරගත්තු සංගීත ආරෙ ඒ චේන්ජ් එක තියනව. මම සංගීතයෙන් ආමන්ත‍්‍රණය කරන සීමා සහිත පිරිස ගැන හිතුවහම ඉන් පෙර කියපු දේශපාලන අදහස තෘප්ත වෙනවා.

රොමැන්ටික් ඔපෙරා මේ කතා කළ දේවල් ග‍්‍රහණය කරගත් එකක්ද?

රොමැන්ටික්, ඔපෙරා ප‍්‍රසංගයට සම්බන්ධ වෙන, ඉන්ද්‍රචාප ලියනගේ, නදීක ගුරුගේ සහ කුෂාණි සඳරේඛා සමග මම මීට කලිනුත් නිර්මාණවලට සම්බන්ධවෙලා තියනව. ඒත් අපි කිහිපදෙනා එක්ව ප‍්‍රසංගයක් කරලා නැහැ. මම හිතුව මේක වෙනස් දෙයක් වෙයි කියල. මේ රොමැන්ටික් ඔපෙරාව තුළ අපි තුන් හතරදෙනාම එකතුවෙලා ගායනා කරන නිර්මාණ තියනව.
අපි මේ වැඬේ වෙනුවෙන්ම සූදානම් වෙලා පුහුණුවීම් කළා. මම හිතනව මේක වෙනස්ම දෙයක් වෙයි කියලා.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;