මීටර් සියය දුවලා මම වාර්තාවක් තිබ්බා – මහාචාර්ය රාජ් සෝමදේව

ඡායා රවීන්ද්‍ර පුෂ්පකුමාර

ඔබේ ජීවිතෙන් වැඩි කාලයක් ගෙවෙන්නෙ පුරා විද්‍යා කැණීම් සමග. කොහොමද ඒ ජීවිතේ ස්වභාවය?

ඒක එක පැත්තකින් අසහනකාරි කාල පරිච්ෙඡ්දයක්. අනෙක් අතට වඩා නිදහස්කාමී හැඟීමක් ජනිත කරන කාලයක්. ශිෂ්‍යයන් සමග නුපුරුදු පළාතක වගකීම්සහගත කටයුත්තක නියැලීම යම් ආකාරයකින් අසහනය මතු කරන්නක්. කණිනවා කිව්වොත් ජනතාව නිදහන් හෑරීමක් ලෙස දකින්න පළමු පියවරේදී පෙළඹෙනවා. එහෙත් ක‍්‍රමයෙන් ඔවුන් අපේ පර්යේෂණ ක‍්‍රියාවලිය තේරුම් ගන්නවා. ඒ මානව සම්බන්ධතා නඩත්තු කරන්න ගන්න උත්සාහය තුළ අපි යම් පීඩනයකට ලක්වෙනවා. අනෙක් පැත්තෙන් අපි බලා පොරොත්තු නොවන දේවල් පවා අනාවරණය කරගන්න, ඉතා නිවැරදිම දත්ත ඉදිරිපත් කරන්න ලැබෙන හැකියාව නිසා නිදහස්කාමී හැඟීමක් පහළ වෙනවා. ඇත්තටම අපි ගෙදරට වඩා හොඳ සුවපහසු නින්දකුත් ලබනවා පිට ගියාම.

ඒ කොහොමද?

මහන්සිවෙලා වැඩ කරනවා. කල්පනා කරනවා. සමහරවිට ලියනවා. ඊළඟ දවස ගැන බලාපොරොත්තු තියාගෙන නින්දට යනවා. ඒක සුවපහසුයි. මගේ මේ 24 වැනි අවුරුද්ද. සෑම වසරකම මම මාසයක් දෙකක් ක්ෂේත‍්‍ර රාජකාරිවල යෙදෙනවා. අපේ විනෝදය වෙන්නෙත් ? දොළහ එක වෙනතුරු හම්බවෙන පුරා වස්තුවක් ගැන සාකච්ඡුා කිරීමයි.

සම්මත පුරා විද්‍යා භූමියෙන් ඈත්ව කැණීම් කිරීම කෙබඳු අත්දැකීමක්ද?

අනුරාධපුරේ කැණීමක් කරනවා නම් හවසට ටවුන් එකට ඇවිත් කෑම ටිකක් කාලා යන්න පුළුවන්. ඒත් හල්දුම්මුල්ල, බෙරගල, වේලිඔය කඳු මුදුන්වල ගල් ගුහාවල කැණීම් කිරීම ඒ තරම්ම පහසු නැහැ. වනාන්තරය විතරයි. ගම්මු හවස හය වෙනකොට දොරවල් වහ ගන්නවා. ඇත්තටම වෙනස් තැන්වල වැඩ කිරීම අමාරුයි.

මේ වැඬේදි ගම්මුන්ගෙ ප‍්‍රතිචාර කොහොමද?

හරිම සහයෝගියි. සමහර වෙලාවට අපි හත්අට දෙනකුටම එක කුරුම්බා ගෙඩියක් ගේනවා. ඒ වෙන නැති නිසා. එක අම්මා කෙනෙක් දවසක් ගේන්න දෙයක් නැති නිසා වතුර ජෝගුවක් ගෙනාවා. බැලින්නම් එහේ වතුර කිවුල් නිසා ඇය බීමට හොඳ වතුර ගෙනත් තියෙන්නේ. සමහරවිට රටකජු මිටක් බැදගෙන එනවා. අපි ඔවුන්වත් පස් ටිකක් අදින්න හරි සහභාගි කරගන්නවා. ගැමියන්ගේ සමහර මතිමතාන්තර නිසා අපිට සමහර දේවල් අඳුන ගන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. හල්දුම්මුල්ලෙදි සොහොනක් කණින කොට අපිට රවුම් ගල් වගයක් ලැබුණා. අඳුරගන්න බැරි නිසා බෑගයක දාලා තිබ්බා. මිනිස්සු පුරා වස්තු බලන්න ආපු වෙලාවක ඒක දැකලා කිව්වා මේ රාවණා ගුලිනෙ කියලා. රාවණා රජ්ජුරුවො සීතා දේවිට අග්ගලා අරගෙන යනකොට වැටිලා ගල් වුණා නෙ. ඒවා තමයි මේ කියලා ඔවුන් කිව්වා. බලනකොට වසර 3000කට විතර කලින් යකඩ නිෂ්පාදනයට අපේ මිනිස්සු ඒවා භාවිත කරලා තියනවා. ගැමියො හුඟක් දුරට එහෙම ඇවිල්ලා හාර අවුස්සන්නෙ අපිට නිදන් හම්බ වුණාද බලන්නයි. සමහරු අහනවා මාසයක් හාරලත් ඔච්චරද හම්බ වුණේ වගේ ප‍්‍රශ්නත්. ගැමියන්ගේ ඒ හාරා ඇවිස්සීමෙන් පුරා වස්තු පිළිබඳ නව අර්ථකථනවලට අපිට යන්න හැකිවූ අවස්ථා රැුසක් තිබෙනවා. අපි මේ කරන කැණීම් ගැන, සොයා ගන්න දේවල් ගැන අපිට කුරුම්බා ගෙඩිය, රටකජු මිට ගේන අම්මලා දැනගන්න ඕනේ. ඔවුන්ගේ උරුමයයි මේ හාරා පාදා බලන්නේ.

ප්‍රොෆෙසර්ගේ පාසල් කාලය ගෙවෙන්නේ කොහෙද?

මගෙ මව, පියා දෙන්නම ගාල්ලෙ උණවටුනෙ. මම ඉපදුණේ වැල්ලවායෙ. ඉස්කෝලෙ ගියේ පූජාපිටියෙ. විශ්වවිද්‍යාලයට යනතුරු පාසල් දොළහකට ගියා. පියා සෞඛ්‍ය පරීක්ෂකයෙක් නිසා මාරුවීම් ලැබෙන ලැබෙන වෙලාවල්වලට රට පුරා අපිත් ගියා. කළුතර මහා විද්‍යාලයටත් ගිහින් ඒ ලෙවල් කළේ කළුතර උතුර විද්‍යාසාර පිරිවෙන් විද්‍යායතනයේ. මීගමුව දුන්ගල්පිටිය රෝමානු කතෝලික විද්‍යාලයේදී මලල ක‍්‍රීඩාවටත් සම්බන්ධ වුණා. කළුතර විද්‍යාලයේදී පාපන්දු කණ්ඩායමේ නායකත්වයත් දැරුවා. මීටර් 100න් කළුතර මාණ්ඩලික වාර්තාවකුත් මම තිබ්බා. බැඞ්මින්ටන් ජාතික ශූර නිලූක කරුණාරත්නගෙ තාත්තා ලූවී කරුණාරත්න හිටියේ මගෙ පන්තියේ. ඔහු පසුව නැෂනල් කෝචර් විදියටත් වැඩ කළා. මම ඕ ලෙවල් කළේ හිදැල්ලන සීවලී විදුහලේ. එහේදි මට නවකවධය ලැබුණා. ඒක මට හරිම මානසික පීඩාවක් වුණා. මම ඩබල් ප‍්‍රමෝෂන් ගහලා හතේ ශිෂ්‍යත්වයත් පාස්වෙලා ඒ ඉස්කෝලෙට ගිය ළමයෙක් වුණත් සීවලී එකේදි නවකවධය මානසිකව බලපෑවා. මම පළමු වතාවෙදි ඕ ලෙවල් ෆේල් වුණා.

පුරා විද්‍යාව පිළිබඳ පෙළඹවීම එන්නේ කොහොමද?

රිවිරැුස පත්තරේ තිබුණා මහාචාර්ය සෙනරත් පරණවිතාන මහත්මයගෙ ලිපියක්. ඒ ශිලා ලේඛනයක් කියවා ගැනීම ගැන. මම පහේ පන්තියෙ. මට ඒ විෂය ගැන විශාල කුතුහලයක් ඇතිවුණා. මම කැලණිය තෝරා ගත්තෙත් පුරා විද්‍යාව කරන්න ඕනෙ නිසයි.

කොහොමද විශ්වවිද්‍යාල ජීවිතේ?

මම විශ්වවිද්‍යාලයට ගියේ 82දී. එතකොට මට වයස 22යි. ඩබල් ප්‍රොමෝෂන් ගැහුවට ඒ ලෙවල්වලදි වයස මදි නිසා විභාගෙ ගන්න නොදී කාලයක් හිටියා. ඔය කාලෙ තමයි ක‍්‍රීඩා කළේ. විශ්වවිද්‍යාල කාලය ගෙවුණෙ ඒකාකාරී විදියට. මම නේවාසිකාගාරෙවත් හිටියේ නැහැ. නවකවධය ආදී ප‍්‍රශ්නවලින් මගහරින්නත් මට ඕනෙ වුණා පැරණි අත්දැකීම් නිසා. මම හුඟක් වැඩ මග ඇරලයි හිටියේ.

දේශපාලනය ගැන උනන්දු වුණෙත් නැද්ද?

විශ්වවිද්‍යාලයෙදි පක්ෂ තුනකින්ම මට සාමාජිකත්වය ගන්න ආරාධනා කළාම මම ඒ තුනේම සාමාජිකත්වය ගත්තා. මම දේශපාලනික වශයෙන් අද දක්වාම දරන්නෙ ජාතිකවාදී අදහස්. ස්වීඩනයේ හැතැප්ම 10ක් ඇවිදගෙන යනකොට නිසරු බිම් කොච්චර හම්බ වෙනවද? ඒත් ලංකාවේ හැතැප්ම දහයටම තියෙන්නේ සරු බිම්. ගෝලීය ගම්මාන වගේ අදහස් මම විශ්වාස කරන්නේ නැහැ. හැම සංස්කෘතියක් ගැනම අවබෝධයෙන් හා ඒවාට ගරු කරමින් ජීවත්වීමයි අවශ්‍ය. විවිධත්වයට ගරු කරන ගමන් අපේ අනන්‍යතාවන් ගැන සැලකිලිමත් විය යුතුයි.

සරු බිම් තියන රට දුප්පත් වෙලා, නිසරු බිම් තියන රටවල් පොහොසත් වුණේ කොහොමද?

13 වැනි ශත වර්ෂය වනවිට ලෝකයේ තිබුණු පැරණි සම්භාව්‍ය ශිෂ්ටාචාර බිඳ වැටුණා. ඒක එහෙම වුණේ ඇයි කියන එක ගැන තවම විද්‍යාත්මක නිර්වචනයක් නැහැ. ග‍්‍රීසිය වගේ රටක අද වනවිට යාචකයො වැඩියි. ඊළඟට යුරෝපය වගේ රටවල් 13 වැනි ශත වර්ෂය වනවිට වෙළෙඳාම දියුණු කරලා. නැව් ගමනාගමනය දියුණු කරලා හැකි සියලූම රටවල් සූරාකෑමටත් බඳුන් කළා. ඇසිරියාව, ඊජිප්තුව වගේ රටවල පුරාවස්තු ගලවගෙන නැව් පිටින් එංගලන්තයට ගෙනාවා. ඒ සූරාකෑමට අපිත් අහුවුණා. අද ලන්ඩන් කෞතුකාගාරයේ තියන පුරා වස්තු අදාළ රටවල් අරගෙන ගියොත් ලන්ඩන් කෞතුකාගාරය වහන්න වෙනවා. යුරෝපයේ හා ස්කැන්ඩිනේවියානු රටවල්වල දියුණුවට සූරාකෑමත් පදනම් වෙනවා. යුරෝපය නූතන විද්‍යාව නිසා දියුණු වුණා නෙමෙයි. පෙරදිගත් විද්‍යාව තිබුණා. චීනය, වෙඩි බෙහෙත් සොයා ගත්තා. කඩදාසි, මුද්‍රණ යන්ත‍්‍රය සොයා ගත්තා. බැබිලෝනියාවෙ සුමේරියන් වරු තමයි 3600 ක‍්‍රමය සොයා ගත්තෙ . ග‍්‍රහ තාරකා ගැන, රසායනය ගැන, මිනිත්තුවට තත්පර හැටයි යනාදී සියල්ලම සොයා ගත්තෙ බැබිලෝනියන්වරු. ඒත් ඥානයෙන්ම විතරක් දියුණු වෙන්න බැරිවුණා.

අපට වැරදුණු තැන මොකක්ද?

අපි ප‍්‍රධාන යුරෝපීය ජාතීන් තුනකගේ අණසකට යටත් නොවෙන්න අපිට මීට වඩා සාධනීය සමාජ ව්‍යුහයක් අත්පත් වෙන්න තිබුණා. මෙහි පරිණාමයට ඉඩ ලැබුණේ නැහැ. බලෙන් වෙනස් කිරීමක් සිද්ධ වුණා. නිදසුනක් ගතහොත් මහරජුගේ නම ඇහිච්ච ගමන් පස්වාන් දහසකට බුදුවෙන්න කියපු ජනතාවකට සර්වජන ඡන්ද බලය හැටියට රජු තෝරා ගැනීමේ බලය දුන්නාම මොකද වුණේ? ඡන්ද බලය වැදගත්. හැබැයි සමාජයකට ක‍්‍රමානුකූල පරිණාමයක් වෙන්න නොදීයි ඒක වුණේ. ඒකෙ ප‍්‍රතිවිපාකය අපිට අද පේනවා ඡන්දය පාවිච්චි කරන්න නොදන්න එකෙන්. අන්තිමට ඡන්ද බලය නිසා මතුවුණේ මිනිස්සුන්ගේ ආතතීන් පමණයි. අපි හොඳ බෞද්ධ සමාජයක්නෙ. අපි වඳින පුදන බුදුපිළිමයේ බඩහාරලා නිදන් සොයන්නෙ පිට කෙනෙක් නෙමෙයිනෙ.මේ ගැන සංවාදයක්වත් අපි කරනවද?

ඔබ විශ්වවිද්‍යාල සේවයට එකතුවන්නේ කොහොමද?

අපේ බැච් එකේ දොළහක් හිටියා. මේ දොළහම වැඩ කළේ පළමු පන්තියේ සාමාර්ථයක් සඳහායි. මට දෙවැනි පන්තියේ සාමාර්ථයක් ලැබුණේ. මුලින්ම කළුතර හෝලික්‍රොස් එකේ ඉගැන්නුවා. ඒ 86දි විතර. විශ්වවිද්‍යාලයේ බාහිර දේශන කළා. 88දී අපේ මහාචාර්යවරයා වූ සේනක බණ්ඩාරනායක මට කිව්වා ව්‍යාපෘති කිහිපයකට සම්බන්ධ වෙන්න කියලා. ජර්මනිය සමග එක්ව ඒ වනවිට පිදුරංගල හා දඹුල්ල කැණීම් වගයක් සංවිධානය කර තිබුණා. මට හම්බ වුණේ ඉබ්බන්කටුව සුසාන භූමිය කණින්න. ආචාර්ය සෙනරත් දිසානායකත් මා සමග හිටියා. මහාචාර්ය අනුර මනතුංගටත් මටත් සෙනරත්ටත් ශිෂ්‍ය අවදියෙදිමයි ඉබ්බන්කටුව සොහොන පිළිබඳ සාක්ෂිය හම්බ වුණේ. අපි ඇඳපු සිතියම් මතයි මහාචාර්ය සේනක බණ්ඩාරනායක එම කැණීම් තීරණය කළේ. 89දි තමයි මාව පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයට බඳවා ගත්තෙ. ශාස්ත‍්‍රපති විභාගයත් කළා. ඒ නිබන්ධයට දර්ශනපති උපාධියක් පිරිනැමිය යුතු බව එය අධීක්ෂණය කළ මහාචාර්ය බන්දුසේන ගුණසේකර, මහාචාර්ය විනී විතාරණ, මහාචාර්ය සේනක බණ්ඩාරනායක වැනි මහත්වරු තීරණය කළා. මම ලිව්වේ සීගිරිය හා දඹුල්ල අභිලේඛන ගැන නිබන්ධයක්.

ආචාර්ය උපාධියට ලියාපදිංචි වුණේ කොහෙද?

ස්වීඩනයේ උත්සලා විශ්වවිද්‍යාලයේ. ක්ෂේත‍්‍ර වැඩ කළේ ලංකාවෙ. මම වසරකට මාස තුනයි ස්වීඩනයේ ගත කළේ. මගේ නිබන්ධය වුණේ අනුරාධපුර නගරය තිිබියදීත් රුහුණු මාගම නගරය ක‍්‍රියාත්මක වුණේ කවර හේතු සාධක මතද, ඒ පිටුපස තිබෙන යථාර්ථය කුමක්ද යන්නයි. ඒ සඳහා ස්ථාන 129ක් පරීක්ෂා කළා. ස්ථාන නවයක් කැණීම් කළා. කාබන් දින 29ක් ලබාගත්තා. රටකට අගනුවරවල් දෙකක් එකවිට මතුවීම සොයා බැලිය යුතු දෙයක්නෙ. පෝල් සින්ක්ලෙයාර් කියන මගේ මහචාර්යවරයා කිව්වා එතෙක් මෙතෙක් ඔහුගේ දෙපාර්තමේන්තුවෙන් බිහිකළ දැවැන්තම නිබන්ධය එය බව. උත්සලා විශ්වවිද්‍යාලයේ ලෝක ප‍්‍රකාශන මාලාවේ හත්වැනි ප‍්‍රකාශනය ලෙස මගේ නිබන්ධය ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

ඔබේ පරමාදර්ශය කවුද?

මහාචාර්ය සේනක බණ්ඩාරනායක. ඔහු කිසි දෙයක් අපිට ඉගැන්නුවෙ නැහැ. හැබැයි අපි ඉගෙන ගන්න ආකාරයට ඔහු හැසිරුණා. එතුමා තනි සුදු චරිතයක් නෙමෙයි. ඔහුගේ අඩුපාඩුත් අපිට පාඩම් වුණා. ඔහුගේ පෞරුෂය තමයි අපිට ආනුභාව වුණේ.

ආදරය ගැන අත්දැකීම කොහොමද?

ආදරය කියන්නෙත් බඩගින්න, කෝපය, වෛරය වගේ තවත් මිනිස් හැඟීමක්. එහෙම නැතුව හුඟාක් පාරිශුද්ධ එකක් නෙමෙයි. හැබැයි අතීතයේදී අපි හිතුවෙ ආදරය පාරිශුද්ධයි කියලා. එහෙම නැහැ. ඕනෑම විදිහකට ඒක වෙනස් වෙන්න පුළුවන්.

ප්‍රොෆෙසර් අඩියක් පුඩියක් එහෙම ගහනවද?

මිත‍්‍රයෙක් හම්බවුණාම කතා කර කර බීර එකක් බොනවා. ඒත් කලාතුරකින්. බියර් වීදුරුවකින් එහාට යන්නෙත් නැහැ. මට යාළුවොත් හිඟයි. මගේ සමහර ගති ලක්ෂණ ලිහිල් මදි මිතුරු සමාගමයට. යාළුවො කීපදෙනෙක් ඉන්නවා. ඔවුන් මාත් එක්ක යාළු ඇයි කියලා හිතනකොට මට තේරෙන දේ තමයි ඒ අය මගේ විෂයට ළැදියි. මමත් ඒගොල්ලො එක්ක යාළුයි. මොකද මම කියන දේවල් ඔවුන් අහගෙන ඉන්න නිසා.