නව තාක්ෂණයේ තෙවැනි රැල්ල

ප‍්‍රභාෂ්වර

පවතින සමාජ- ආර්ථික තත්ත් වයන් දැවැන්ත වෙනසකට බඳුන්වීම සමාජයේ ජීවත් වන බහුතරයකට මහත් කරදර හා චිත්ත පීඩා ගෙන එයි. 18 වැනි සියවසෙහි හටගත් පළමුවැනි කාර්මික විප්ලවය මෙන්ම ඉන් වසර සියයකට පසු කරළියට පැමිණි දෙවැන්න හේතුවෙන් ලොව එතෙක් පැවති සමාජයීය ඇවතුම්-පැවතුම් උඩු යටිකුරු වී ගියේය. නූල් හා ඉඳිකටු උපයෝගී කරගෙන හස්ත කර්මාන්තයක් ලෙස පවත්වාගෙන ගිය ඇඟලූම් නිෂ්පාදනය, එඞ්මන්ඞ් කාට්රයිට් විසින් 1785දී හඳුන්වා දුන් බලවේග අත්යන්ත‍්‍රයත් සමග අභාවයට පත්විය. එකෙණෙහි දෑතින් ඇඟලූම් නිපැයූ සියල්ලන්ට ඔවුන්ගේ ජීවනෝපාය අහිමිව ගියේය. තෝමස් අල්වා එඩිසන් 1879දී විදුලි බල්බයද, කාල් ෆෙඞ්රික් බෙන්ස් 1887දී සිය අශ්වයන් රහිත මෝටර් වාහනයද ලොවට හඳුන්වා දෙන ලදි. මෙම බෙන්ස් මෝටර් වාහනයේ වෙළෙඳපොළ මිල, පාරිභෝගිකයන්ට දැරිය හැකි අගයකට පත් වූ සැණින් එතෙක් ගමන් බිමන් සඳහා යෙදැවුණු අශ්වයන්ට මෙන්ම අශ්ව රථ රියදුරන්ටද ගමනාගමන ක්ෂේත‍්‍රයෙන් සමුගැනීමට සිදුවිය. අශ්ව රථ ආශ‍්‍රිත අනෙකුත් රැුකියාවල (අශ්ව රථ නිපැයුම, අශ්වයන් නඩත්තු කිරීම) නියැලූණු ශ‍්‍රමිකයන්ටද ඔවුන්ගේ රැුකියා අහිමිව ගියේය. එහෙත් මෝටර් රථය නිසා රියදුරන්ගේ ඵලදායීතාව ශීඝ‍්‍රයෙන් ඉහළ යෑම නොවැළැක්විය හැකිවිය. මෙම ප‍්‍රවණතාව ආර්ථික විද්‍යාඥයන් විසින් හඳුන්වන්නේ ‘ශ‍්‍රම වෘද්ධිය’ ලෙසය. වැඩි පාරිභෝගිකයන් සංඛ්‍යා වකට තම සේවය සැලසීමටත්, අශ්ව රථවල බලය ඉක්මවා යන වේගයකින් වැඩිදුර ප‍්‍රමාණයක් ආවරණය කිරීමටත් ඔවුන්ට හැකිවීම, මෙම ‘ශ‍්‍රම වෘද්ධිය’ කෙරෙහි ඍජුවම බලපෑවේය. එහෙයින් මෝටර් රථය බිහිවීමේ ආර්ථික ප‍්‍රතිලාභ, එම ක්ෂේත‍්‍රය තුළ සේවයේ නියැලූණු ශ‍්‍රමිකයන්ටද, ගමනාගමන සේවා ලබාගන්නා පාරි භෝගිකයන්ට මෙන්ම කර්මාන්තයට මුදල් යෙදවූ ප‍්‍රාග්ධන හිමියන්ටද යහමින් ලැබෙන්නට විය. පැරණි ආර්ථික ව්‍යුහයන් බිඳ වැටී නව මොඩල ලෝකය තුළ බිහිවූයේ ඒ ආකාරයටය.

තුන්වැනි විප්ලවය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ලොව පුරා පැතිර ගියේ විසිවන සියවස අගභාගයේදීය. 1950දී සංකලන පරිපථය සොයා ගැනීමත් සමග ට‍්‍රාන්සිස්ටර් ගණනාවක් එකම චිප් එකකට කැටිකර ගැනීමේ හැකියාව තොරතුරු තාක්ෂණඥයන්ට හිමිවුණි. මෙම අවශෝෂණ හැකියාව සෑම වසර දෙකකට වරක්ම දෙගුණයකින් ඉහළ ගියේය. වැඩි වැඩ ප‍්‍රමාණයක් ඉටුකරගත හැකි කුඩා ප‍්‍රමාණයේ ඉලෙක්ට්‍රොනික උපකරණ නිපදවනු ලැබුවේ ‘මුවර්ගේ නීතිය’ නමින් හැඳින්වෙන (චිප් එක සතු) මෙම අවශෝෂණ න්‍යාය භාවිත කරමිනි. ඉන්ටෙල් ආයතනයේ නිර්මාතෘවරයකු වන ගෝර්ඞ්න් මුවර්ගේ නමින් මෙකී න්‍යාය හඳුන්වන ලද්දේ චිප් නිපැයුම හා අදාළව හෙතෙම ලොවට තිළිණ කළ මාහැඟි දායකත්වය නිසාය. මැෂින් බුද්ධිය, අන්තර්ජාලය සහ උසස් රොබෝ තාක්ෂණය වැනි තෙවැනි රැුල්ලේ සොයාගැනීම් හේතුවෙන්, රියැදුරු රහිත වාහන, නියමුවන් රහිත ඩ්‍රෝන, භාෂා 100ක් වුව සැණින් පරිවර්තනය කළහැකි පරිගණක, ගුරුවරයා සහ සිසුවා අතර මෙන්ම වෛද්‍යවරයා සහ රෝගියා අතර තිබෙන දුර සහමුලින්ම තුරන් කරන මොබයිල් තාක්ෂණය වැනි විස්මිත දේවල් අත්විඳ ගැනීමේ හැකියාව වත්මන් පරම්පරාවට උදාවිය. එහෙත් අද වනවිට මුවර්ගේ නීතිය එහි ක‍්‍රියාත්මකභාවයේ අවසානයට පැමිණ තිබේ. මන්ද, ට‍්‍රාන්සිස්ටර් තවදුරටත් හකුළුවාලීමට වෑයම් කිරීම, මෙතෙක් එමගින් ලද විශාල ආර්ථික ප‍්‍රතිලාභ පහත හෙළා එහි නිෂ්පාදන පිරිවැය ඉහළ නැංවීමට දායක වන හෙයිනි. කෙසේ වෙතත්, 1960 දශකයේදී අප දුටු සුපිරි පරිගණකවල මෙහෙයුම් බලයට වඩා ඉතා ඉහළ කාර්යක්ෂමතාවක් ද පාරිභෝගිකයා අත ඇති ස්මාර්ට් ජංගම දුරකතනය සතුව ඇත්තේ ‘මුවර්ගේ නීතිය’ හරහා නිපදවනු ලැබූ චිප් එක හේතුවෙනි. ‘මැෂිමට එරෙහි තරගය’ නමින් 2011දී එරික් බි‍්‍රන්ජොල්ෆ්සන් සහ ඇන්ඩෲ මැකෆී විසින් රචිත ග‍්‍රන්ථයට අනුව, 1988 සිට 2003 දක්වා වන කාලය අතරතුර කොම්පියුටරයක් සතු කාර්යක්ෂමතාව, මිලියන හතළිස් තුන් ගුණයකින් ඉහළ ගිය වග මෙහි අවධාරණය කිරීම වටී.

කොම්පියුටරයේ ක‍්‍රමික විකාශනය

කොම්පියුටරය සතු මෙම අසමසම බලමහිමය ලොවට සැබැවින්ම දැනෙන්නට පටන් ගත්තේ, එය සොයාගත් දිනයේ සිට සෑහෙන කාලපරාසයක් (1822 සිට 2000 දක්වා) ඉක්ම ගිය පසුවය. ‘චෙස් ලෑල්ල’ සහ ‘වී’ පිළිබඳ වන පැරණි රජ කතාවකට කොම්පියුටරයේ පරිණාමය සමාන කළ හැකිය. අලූත් ගෘහස්ථ ක‍්‍රීඩාවක් වන චෙස් ප‍්‍රථමයෙන්ම සොයාගත් මිනිසා, එය එකල රට පාලනය කළ රජුට නමෝ විත්තියෙන් හඳුන්වා දුන්නේය. රජතුමා මෙම ක‍්‍රීඩාව කෙතරම් උනන්දුවෙන් වැළඳ ගත්තාද කිවහොත්, චෙස් නිර්මාතෘවරයාට ඔහු කැමති ඕනෑම දෙයක් ඉල්ලන්නැ’යි පවසා සිටියේය. චෙස් නිර්මාතෘ එකෙණෙහි රජු වෙත මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කළේය. ‘රජතුමනි, මෙම චෙස් ලෑල්ලේ පළවෙනි කොටුවට එක් වී ඇටයක්ද, දෙවන කොටුවට වී ඇට දෙකක්ද, තෙවැන්නට වී ඇට 4ක්ද, යනාදී වශයෙන් කොටු 64ම ආවරණ වන පරිදි මා කී ගුණකිරීමේ සූත‍්‍රයට අනුව මට වී ලබාදෙන්න.’ මෙය ඉතා සරල දෙයක් බව සිතූ රජතුමා, චෙස් නිර්මාතෘගේ ඉල්ලීම වහා ඉටුකරන්නැ’යි භාණ්ඩාගාර ප‍්‍රධානියාට අණ කළේය. මුල් කොටු හා අදාළ වී ප‍්‍රමාණය ඉතා සුළු වුවද, දිගින් දිගටම ගණනය කිරීමේදී කොටු 30ක් පිරවීම සඳහා වුව කෙත් යායක ධාන්‍ය සංචිතයක් අවශ්‍ය වග රජවාසලේ ගණිතඥයාට වැටහුණි. එළැඹගත් ගිවිසුමට අනුව, හිමාල පර්වතයටත් වඩා විසල් වී තොගයක් චෙස් නිර්මාතෘවරයා වෙත ප‍්‍රදානය කළ යුතු බවත්, කොටු 64 ආවරණය වන විට එය ගණනය කළ නොහැකි තරමට විශාල වන බවත් ගණිතඥයා රජුට සැලකර සිටියේය. අවසානයේ, චෙස් නිර්මාතෘගේ ගණිත ගැටලූව අබියස පරාජය පිළිගන්නවා හැර වෙනත් විකල්පයක් රජතුමා සතුව නොවීය. ගණිත සූත‍්‍රයක ආරම්භක වර්ධනය ඉතා සරලව පෙනුණද, ඉදිරි ගුණකිරීම් සමග එය කළමනාකරණය කළ නොහැකි තරම් දැවැන්ත ස්වරූපයකට පත්වන වග මෙම උදාහරණයෙන් පෙනී යයි. බි‍්‍රන්ජොල්ෆ්සන් සහ මැක්ෆීට අනුව තොරතුරු තාක්ෂණයේ වත්මන් ප‍්‍රගතිය, ඉහත කී චෙස් ලෑල්ලේ මැද කොටු තුළ කෙරෙන (ධාන්‍ය) ගුණකිරීම්වලට සමාන කළ හැකිය. මීට වසර කිහිපයක් තුළදී විසඳීමේ හැකියාව පරිගණකය වෙත ලැබී ඇත. ලෝ ප‍්‍රකට ආර්ථික විද්‍යාඥයන් දෙදෙනකු වන ෆ‍්‍රෑන්ක් ලෙවි සහ රිචඞ් මර්නෙන්, 2005දී පළකරන ලද ඔවුන්ගේ පොතෙන් පැහැදිලිවම කියා සිටියේ ජනාකීර්ණ වීථියක මෝටර් රථයක් පැදවීම වැනි සංකීර්ණ කර්තව්‍යයක් කොම්පියුටරයට කිසිසේත් සිදුකළ නොහැකි බවයි. එහෙත් මේ ප‍්‍රකාශයෙන් වසර 3ක් ඉක්මයෑමට පෙර ගූගල් සමාගම සිය රියදුරු සහිත, පරිගණකගත ස්වයංක‍්‍රිය මෝටර් රථය ලොවට හඳුන්වා දුන්නේය. ‘පරිපථ ගතකරන ලද බුද්ධිය’ ලෙස හැඳින්වෙන මෙම තාක්ෂණය නුදුරු අනාගතයේදී මෝටර් රථ වෙළෙඳපොළ පමණක් නොව තව බොහෝ විෂය ක්ෂේත‍්‍ර ආක‍්‍රමණය කරනු ඇතැ’යි පරිගණක විද්‍යාඥයෝ පවසති.

මැෂින් බුද්ධිය හා මිනිස් ශ‍්‍රමය

මෑතක් වනතුරුම බොහෝ විද්‍යාඥයන් සිතුවේ මැෂිමකට ලිඛිත හෝ කතා කරන භාෂාවන් මෙන්ම සංකීර්ණ දෘශ්‍ය රූප සාර්ථකව ග‍්‍රහණය කරගත නොහැකි බවයි. එහෙත් ඇපල් ස්මාර්ට් ජංගම දුරකතනයේ එන අංගයක් වන ‘සිරි’, අප විසින් නිකුත් කරන හඬ විධානයන්ට ඉතා නිවැරදිව ප‍්‍රතිචාර දක්වන අතර ඉලෙක්ට්‍රොනික තැපෑලෙන් යැවීමට අදහස් කරන පණිවුඩයක් හෝ වෙනත් ලිපියක් අප කියවන විට ඒ ආකාරයෙන්ම ලියාගැනීමටද සමත් වෙයි. ගූගල් සිතියම සහ මෝටර් රථ සංවේදක කරළියට ආවේ දෘශ්‍ය රූප මැනවින් හඳුනාගත හැකි කැමරා පරිගණක ඉංජිනේරුවන් අතින් නිර්මාණය වූ හෙයිනි. මෙම අද්විතීය මැෂින් බුද්ධිය යොදවා, නුදුරු අනාගතයේදී විවිධ රැුකියා ක්ෂේත‍්‍ර 700කට අධික සංඛ්‍යාවක් මිනිස් ශ‍්‍රමයෙන් නිදහස් කොට, පූර්ණ වශයෙන් පරිගණක ගත කළ හැකි බව ඔක්ස්ෆර්ඞ් සරසවියේ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්යවරුන් වන කාල් බෙනඩික් ෆේ‍්‍ර සහ මයිකල් ඔස්බෝන් කියති. ඉදිරි දශක දෙක තුළ ඇමරිකාවේ වත්මන් රැුකියා ප‍්‍රමාණයෙන් 47%ක්ම කොම්පියුටර් කරණය හා රොබෝකරණය නිසා අහිමි වී යනු ඇතැ’යි ඔවුහු අවධාරණය කරති. මේ නිසා වෙනස් වන ලෝකයට ගැළපෙන පරිදි ශ‍්‍රමිකයන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම නොපමාව වර්ධනය කළ යුතු බව ඔවුන් දරන මතයයි. ඉදිරි දශකය තුළ හටගනු ඇතැ’යි සැලකෙන මෙම ඩිජිටල් විප්ලවයේ සරුසාර අස්වැන්න පුහුණු, නුපුහුණු ශ‍්‍රමිකයන්, ප‍්‍රාග්ධන හිමිකරුවන්, පාරි භෝගිකයන් සහ සාමාන්‍ය ජනයා අතර කොයි ආකාරයට බෙදී යනු ඇත්දැ’යි දැන් දැන්ම උපකල්පනය කිරීම වටී. තොරතුරු තාක්ෂණ දැනුමෙන් අග තැන්පත් ශ‍්‍රමිකයන්ට සහ ප‍්‍රාග්ධන හිමියන්ට මින් වැඩි වාසියක් අනිවාර්යයෙන් හිමිවෙයි. මේ දෙකොටසට අයත් නොවන පුද්ගලයන්ගේ අනාගතය එතරම් පැහැබර වනු ඇතැ’යි සිතිය නොහැක. පරිගණක සාක්ෂරතාව ඇති අයගේ ආදායම මතුදා බෙහෙවින් ඉහළ යනු ඇති අතර ඒ අනුව, පුහුණු හා නුපුහුණු ශ‍්‍රමය අතර, සුවිශාල ආදායම් බෙදීයෑමේ විසමතාවක් හටගැනීම නොවැළැක්විය හැකිය. බහුතරයක් කර්මාන්ත ශීඝ‍්‍රයෙන් පරිගණකගත වීමත් සමග නුපුහුණු ශ‍්‍රමිකයන්ට රැුකියා සැපයීම මහත් දුෂ්කර ව්‍යායාමයක් බවට පත්වනු ඇත. ධෑක්‍ෘ දත්තවලට අනුව, 1991 සිට 2012 දක්වා බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රමික වැටුප් සැබැවින්ම වර්ධනය වූයේ 1.5%ක් වැනි සොච්චම් අනුපාතයකිනි. ඇමරිකාවේ එය 1%ක් විය. 1992 සිට 2012 දක්වා වන කාලය අතරතුර ජර්මන් ශ‍්‍රමිකයන්ගේ වැටුප් වර්ධක අනුපාතය 0.6% ඉක්මවා යෑමට අසමත් විය. මෙයින් පෙනීයන්නේ නව තාක්ෂණික දියුණුවේ ප‍්‍රතිලාභ, තොරතුරු තාක්ෂණ නිපුණතාවෙන් තොර, බහුතරයක් ශ‍්‍රමිකයන් වෙත ගලා ගොස් නැති බවයි. 1900දී ඇමරිකානු ශ‍්‍රම බලකායෙන් 40%ක්ම කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ නියැලූණු අය වූහ. වසර 2000 වනවිට එය 05% දක්වා පහත වැටුණි. පසුගිය ශතවර්ෂය තුළ ඇමරිකානු කෘෂි ක්ෂේත‍්‍රය කෙතරම් යාන්ත‍්‍රීකරණය වී ඇත්දැ’යි මෙම සංඛ්‍යා ලේඛනවලින් ගම්‍ය වේ. නුදුරේදී වෙළෙඳපොළට නිකුත්වීමට නියමිත, රියදුරු රහිත ස්වයංක‍්‍රීය මෝටර් රථ නිසා ටැක්සි රියදුරන් බොහොමයකට ඔවුන්ගේ රැුකියා අහිමි වනු ඇත. පරිගණකගත රොබෝවරුන් මෝටර් රථ නිපැයුම් කර්මාන්තයට අලූතින් එක්වුණු නිසා එම ක්ෂේත‍්‍රයෙහි රැුඳුණු බහුතරයක් කම්කරුවන්ට සිය රැුකියාවලින් සමු ගන්නට සිදුවිය. ගෝලීය ඉලෙක්ට්‍රොණික උපකරණ නිෂ්පාදකයකු වන ෆොක්ස්කොන් සමාගමට අයත් ෂෙන්සෙන් කර්මාන්තශාලාවේ වැඩවලින් 90%ක්ම සිදු කෙරෙන්නේ ස්වයංක‍්‍රිය රොබෝවරුන් අතිනි. රොබෝවරුන් නිසියාකාරව මෙහෙයවීම පිණිස යොදවා ඇති ඉංජිනේරුවන්ගේ ප‍්‍රතිශතය 10%කට සීමාවී තිබේ.

යළිත් පාසලට

නව තාක්ෂණයේ තෙවැනි විප්ලවයට සාර්ථකව මුහුණදීම සඳහා සංවර්ධිත හා සංවර්ධනය වන රටවල ආණ්ඩු තම නුපුහුණු ශ‍්‍රම බලකාය තොරතුරු තාක්ෂණ දැනුමෙන් සන්නාහ සන්නද්ධ කළ යුතුය. ඉංග‍්‍රීසි භාෂා හා තාක්ෂණ දැනුම තමා සතුව ඇත්නම් වඩුවකු, මේසන් කෙනකු, විදුලි කාර්මිකයකු, පෑස්සුම් කරුවකු, හෙදියක ලෙස වුව ගෝලීය රැුකියා වෙළෙඳපොළෙන් හොඳ මාසික ආදායමක් උපයාගත හැකි බව පාසල් දරුදැරියන්ට මැනැවින් කියා දිය යුතුය. නුපුහුණු ශ‍්‍රමිකයන්, ඔවුන් කැමති වෘත්තියක නියැලීම සඳහා හොඳින් පුහුණු කරන තෙක් ඔවුනට සමාජ ආරක්ෂණ ආවරණයක් හා මාසික සහන දීමනාවක් ආණ්ඩුව විසින් ලබාදීම ඉතා කාලෝචිතය. කාබන් විමෝචන බදු හා පරිසර සංරක්ෂණ බදු ව්‍යාපාරික ප‍්‍රජාවගෙන් අයකිරීම හරහා මේ සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන ආණ්ඩුවට ලබාගත හැකිය. සෑම පාසලකටම පරිගණක විද්‍යාගාරයක් හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් රජය විසින්, පෞද්ගලික අංශයේද සහාය ඇතිව පිරිනැමිය යුතුය. නව ලොවට ගැළපෙන මෙකී වෘත්තීය පුහුණු වැඩසටහන් වහ වහා දියත් කිරීමට ලොව පුරා විසිරුණු ආණ්ඩු සමත් වුවහොත්, විරැුකියාව නිසා හටගන්නා ගෝලීය විප්ලව හා කෙළවරක් නැති ලේ වැගිරීම් මතුදා සුලබ දසුනක් බවට පත්වීම නොවැළැක්විය හැකිය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;