එළියට දාන්න ආවොත් ජනේලයකින් පැනලා මැරෙනවා – උයන්වල ණයකාරයන්වූ වනාතේ මිනිස්සු

අපිව අද ණයකාරයෝ කරලා. මට බිලක් එනවා රුපියල් 86,000ක් ගෙවන්න කියලා. කොහෙන්ද අපිට ඒවා ගෙවන්න සල්ලි. අපේ ගෙවල් කඩලා අපේ ඉඩම් අරගෙන සතයක්වත් දුන්නේ නැහැ. දැන් අපෙන්ම කුලී ගන්නවා. මෙතනට එන්න මුලින් රුපියල් 50,000ක් බැන්දා. ඒක පොලියට ගත්තේ. තවම පොලී ගෙවනවා. ඊළඟට මාසිකව හාර දහසක බිලක් එනවා. මට ගෙවන්න බැරිවුණා. මාස තුනක් ගියාම ඉතිරි 50,000 ගෙවන්න කිව්වා. දැන් ඒ සේරම එකතු කරලා රුපියල් 86,000ක තුණ්ඩුවක් දෙනවා. ගෙව්වේ නැත්නම් ගෙයින් එළියට දානවා කියලා බය කරනවා. එළියට දාන්න ආවොත් අම්මපා මේ ජනේලයකින් පැනලා මැරෙනවා.’ එහෙම කිව්වේ ගුණපාල. තව බොහෝ පිරිසක් එවැනිම කතා එමට කීවෝය. ඒ හැම අත රුපියල් පනස්දාහට එහා බිලක් විය. සියල්ලෝ එදා වේල කුලී රැුකියාවකින් හොයාගන්නෝය. ඔවුන්ට බිල් ගෙවනවා තබා කුස පුරවා ගැනීමත් යුද්ධයක් වී ඇති හැඩය.

‘අපි දෙයියනේ කියලා වැටිලා හිටියේ අපේ ඉඩම්වල. ඒවට ඔප්පුත් තිබුණා. ඒවා ගණන් ගත්තේ නැහැ. සමතලා කරලා අපිව මෙතනට දැම්මා. දැන් අපේ ඉඩම් පවා අරගෙන අපිව කුලීකාරයෝ කරලා. මේක හෙණ ගහන අපරාධයක්නේ.’

ශ‍්‍රියානි මහත්මිය කෝපයෙන් අදහස් දැක්වීය. මෙවැනි කතා ඇති පදම්ය. ඒ ගැන කොතෙක් කතා කළද එපමණමය. මේ අපේ ඉඩම්යැ’යි එදා ඔවුන් සිටි තැන් අද ඔවුන්ට වුව ලකුණු කොට පෙන්විය නොහැකි තරමට පොළොවට සමතලා ව එක බිම් කඩක් වී හමාරය. එබැවින් මොවුන්ගේ ජීවිත මෙතැන් පටන් කොතරම් බාධක මැද වුව පැවතිය යුත්තේ මෙහිමය. මේ වනාතය. වනාතේ ඉදිකළ ‘සිරිසර උයන’ සහ ‘නෙත්සර උයන’ ලෙස නම් තබා ඇති මහල් නිවාස දෙකෙහි වෙසෙන ජනයාය.

මොවුන් මෙහි පදිංචි වී මාස හතර පහකටත් වැඩිය. එහෙත් මෙය මහා උත්සවාකාරයෙන් විවෘත වන්නේ නොබෝදාය. ඔක්තෝබර් 27 වැනිදාය. ජනපතිගේ අතිනි.
මිනිසුන් ඕනෑතරම් ඇති වනාතේ මෙම මහල් නිවාස විවෘත කිරීමේ උත්සවයට මිනිසුන් ගෙනෙනුයේ බස්වලින් පිට පළාත්වලිනි. ඒ තරමට වනාතේ මිනිස්සුන්ගේ කලකිරීම ආණ්ඩුව මනාව දන්නේය. දහස් ගණන් ආරක්ෂක රැුකවලූන් යොදා මිනිසුන් මාස ගණනක් තිස්සේ පදිංචි මහල් නිවාස අලූතින් විවෘත කරති. ඒ ඇයිදැ’යි නොවැටහේ. එහිදී පුන පුනා කියා තිබුණේ මෙම නිවාස හිමියන්ට නිවාසවල ඔප්පු කොපියක් ප‍්‍රදානය කරන බවය. එහෙත් උත්සවාකාරව ලබාදී ඇත්තේ ආරාධනා පත‍්‍රයය. මෙම නිවාසවල ඔප්පුව ලබාදෙන බවට මුලින් කතිකා කරගෙන ඇත්තේ වසර 20ක් ගෙවුණු තැනය. එනම් වසර විස්සක් ගෙවීම් කළ යුතුය. මෙවර ජනතාව ගෙන්වා ගැනීම සඳහා ඔප්පු කොපි ප‍්‍රදානය කරන කතාව ප‍්‍රචලිත කර ඇත. එහෙත් බලහත්කාරයෙන් ගෙනත් දැමූ මිනිසුන් විශ්වාස කළ නොහැකි බැවින් පිට පළාත්වල මිනිසුන්ට ආරාධනා පත‍්‍ර ලබාදෙන රූපරාමු මාධ්‍ය හරහා පෙන්වීමට තරම් මේ ආණ්ඩුවට ව්‍යාජ විය.

‘ඔය මුලින් ගත්ත මිනිස්සු අපි දැක්කෙත් එදායි. මේ ප්ලැට්වල ඉන්න අය නෙමෙයි. මේ ප්ලැට් එකක තට්ටු 13ක් තියෙනවා. ඒවායෙන් එකකින් පවුල් දෙකයි උත්සවයට ගත්තේ. ඒ මේ අයට පක්ෂ අය. ඒ විදියට පවුල් විසිහය ගානේ ගත්තා. දෙකෙන්ම. ඒ අයට කිව්වා සිංහල නම් සාරි ඇඳලා, නැෂනල් ඇඳලා එන්න ඕනෑ කියලා. දෙමළ, මුස්ලිම් ඒ අයගේ ඇඳුම්. ඒ විදිහට අලූත්ම ඇඳුම් ඇඳලා මේ අය ගියේ. බැලින්නම් මේ නිකං ආරාධනා පත‍්‍රය දීලා තියෙන්නේ.’
ඒ සිරිසර උයනෙහි පදිංචිකරුවෙකි.

‘තිලංග මහත්තයා තමයි සංවිධායක. මුලින් කිව්වා සේරටම එදාට බුරියානි දෙනවා කියලා. ඒත් කට්ලට් එකයි, පාන් කෑල්ලයි දීලා ගියා. බත් දෙන්න හට් ගහලා තිබ්බා හතරවටේම. මේ බොරු කර කර මොනාද කරන්නේ.’

නෙත්සර උයනේ පදිංචිකරුවකු කීවේ එසේය. එදා ජනපති වැඩිවෙලා නොගෙන රැස්වීමෙන් පිටවී ගොස් ඇත. මෙතරම් ලොකු උත්සවයක් සංවිධානය කළද, ලක්ෂ ගණන් ඊට වෙන්කර ඇති වුවද එදින ජනපති වචනයක් හෝ මිනිසුන් අමතා කතා නොකිරීම මෙහි සිදුවී ඇති අපූරු දෙයකි. විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන ඇමතිවරුන් හා මන්ත‍්‍රී තිලංග සුමතිපාල බොරු බේගල් ඇදබාමින් සිට විසිර ගොස් ඇත. වනාතේ මිනිස්සු ජනපතිට සමීපව තම දුක් කන්ද භාරදෙන්නට ලිපි සකස් කරගෙන ඇතත් කිසිවකුට ජනපති ආසන්නයටවත් යෑමට ඉඩ ලබාදී නොමැත.
නිවසක් ලබාදීම මහඟු කාර්යයකි. එය සැමරිය යුතු තත්ත්වයකි. එහෙත් මේ මහල් නිවාසවල ඉන්නෝ උන්හිටි තැන් අහිමිව ආ අය නොවෙති. තමන්ට කියා ඉන්නට තැනක් තිබූ මිනිසුන්ය. ඔවුන් අද කබලෙන් ළිපට වැටී ඇත්තේ තම වටිනා ඉඩම් නොමිලේ පූජා කොට මාස්පතා කුලීකරුවන් වී ඇති බැවිනි. මේ ඛේදවාචකය එකී ජනතාව මෙන්ම ආණ්ඩුවද දනිති. ඒ නිසා මේ මිනිසුන් මගහැර යන තැනට ජනපතිද ඉක්මන් විය. අනෙක් අතට ඉදිරියේදී ඉතිරි නිවාසවලටද මේ සන්තෑසියම සිදුකිරීමට නියමිතය. ඒ බව නොබෝදා පාර්ලිමේන්තුවේදී දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා පැවැත්වූ කතාවෙන් තහවුරු විය. තවත් පවුල් පන්දාහකට මෙවැනි නිවාස ඉදිකර දෙන බව එම කතාවෙන් මතුවිය. එසේ නම් 54 වත්ත, 34 වත්ත, 42 වත්තට වෙච්ච දේ ඉතිරි වතුවලටත් විය හැකි ඉඩ අත ළඟය. මේ තත්ත්වයන් යටතේ මේ නිවාස විවෘත කොට සැබෑ ලෙස සතුටුවීමට ජනපතිට හැකිද? කතා පැවැත්වීමට ජනපතිට හැකිද? මේ පැල්පත්වාසීන් නොවන බව ආණ්ඩුව දනියි. මේ අනවසර නිවාසලාභීන් නොවන බව ආණ්ඩුව දනී. එසේ නම් තම නිවාස දන්දී කුලීකරුවන් වූ මේ මිනිසුන්ට මේ නිවාස නොමිලේ ලබාදිය යුතු නැද්ද? වර්ග අඩි එක්දහස් ගණන්වල සිටි අය අද වර්ග අඩි 380ට 400ට සීමාවී ඇත. අකමැත්තෙන් වුව මින් මත්තට මොවුන් දිවි ගෙවිය යුත්තේ මේ නිවාසවලය. එසේ නම් ඔවුන් කුලීකරුවන් ලෙස දක්කාගෙන යෑම වරදක් නොවේද?
සිරිසර උයන, නෙත්සර උයන වැනි බොරු නම් දැමීම හරහා මේ සියල්ල සමනය වන්නේද? මේ මිනිසුන්ට වෙන කළ හැකි දෙයක් නැත. මේ උයන්වල දිවි ගෙවිය යුතුමය. එබැවින් ඊට සහන සැලසීම ආණ්ඩුවේ යුතුකමකි. අඩුම තරමින් මාස තුනකට පසු එකවර ලබාගන්නා රුපියල් පනස් දහසක හෝ මුදල කපා දැමිය යුතුය. එසේ නොකොට රුපියල් 86,000, 60,000, 70,000 බිල් ලියමින් මේ මිනිසුන්ට නිකුත් කිරීම හරහා අවසානයේ ඔවුන්ට ඉතිරි වන එකම පිළියම ජනේලයෙන් බිමට පැනීම පමණක්ම වන බැවිනි.