රාවය

නිෂ්ක‍්‍රිය සමාජයක් අබියස හෝ ගාන පොකුණ

නිෂ්ක‍්‍රිය සමාජයක් අබියස හෝ ගාන පොකුණ

චමිල ප්‍රියංක

නාට්‍යවේදී ඉන්දික ෆර්ඩිනැන්ඩු නිර්මාණය කළ ප‍්‍රථම සිනමා නිර්මාණය හෝ ගාන පොකුණ පසුගියදා ඇමරිකාවේ චිකාගෝ අන්තර්ජාතික ළමා චිත‍්‍රපට උළෙල නියෝජනය කරනු ලැබීය. එහිදී එයට Special Jury Award (Teacher’s Choice) සම්මානය හිමිවිය. ‘හෝ ගාන පොකුණ’ නිෂ්පාදනය කළේ කුසුම්සිරි ලියනාරච්චි සහ යශෝධරා සරච්චන්ද්‍ර ඇතුළු කණ්ඩායම විසිනි.

ඔබ නාට්‍යකරුවෙකු ලෙස ලංකාවේ සුවිශේෂී නිර්මාණ කළ අයෙක්. අද ඔබ චිත‍්‍රපටයක් නිර්මාණය කර තිබෙනවා. චිත‍්‍රපට නිර්මාණකරණයට පෙළඹෙන්නේ ඇයි?

නාට්‍යයක් පවතින්නේ එම නාට්‍යය පෙන්වන අවස්ථාවේදී එම රඟහලේදී පමණයි. එය තමයි එම නාට්‍යයේ ක්‍ෂණ භංගුර භාවය(ephemerality). නැවත නැවතත් ජීවිතය ප‍්‍රතිනිර්මාණය කිරීමට නාට්‍ය කලාවේ තිබෙන ආශ්චර්යමත් හැකියාව තමයි එහි තිබෙන වැදගත්ම දේ. එයට ස්ථීරව පැවැත්මක් නැහැ. නැවත නැවතත් ඉපදෙමින් මියැදෙනවා. නමුත් සිනමාව සාපේක්ෂව ස්ථාවර තත්ත්වයකට පත්කරන්න පුළුවන් කලාත්මක ප‍්‍රකාශනයක්. අද වන විට ශ‍්‍රී ලංකාව තුළ අපගේ කලා භාවිතාවන් යම්කිසි ආකාරයකට සමාජයට සෘජුව බලපාන පරිදි දියුණු කරගන්න අවශ්‍ය අවස්ථාවක ඉන්නවා කියලා මම හිතනවා. එහිදී නාට්‍ය කලාව ඔස්සේ මට ළඟා කරගැනීමට හැකි පේ‍්‍රක්ෂකාගාරයට වඩා සංඛ්‍යාත්මකව ඉහළ පේ‍්‍රක්ෂකාගාරයක් ළඟා කර ගැනීමට අවශ්‍යතාවක් ඇතිවීම ස්වභාවිකයි. මම කරලා තිබෙන චිත‍්‍රපටය ලාංකේය අර්ථකථනයෙන් ගත් විට ඇත්තටම ළමා චිත‍්‍රපටයක්. නමුත් එය ළමා චිත‍්‍රපටයක් පමණකුත් නෙමෙයි. සුවිශේෂී හේතු කිහිපයක් නිසා මම ළමා චිත‍්‍රපටයක් නිර්මාණය කිරීමට පෙළඹෙනවා. මේ මොහොත වන විට ලංකාවේ වැඩිපුර ආකර්ෂණයක් දිනා තිබෙන චිත‍්‍රපට ශානරය වන්නේ ළමා චිත‍්‍රපටයයි. ළමා චිත‍්‍රපට එක් අතකට පවුලේ චිත‍්‍රපට බවට පත්වෙනවා. ළමා චිත‍්‍රපට වැඩිපුර බලන්නේ ඡන්දදායකයො වන පවතින සමාජීය නිෂ්ක‍්‍රීයභාවයේ කොටස් කරුවන්. සත්‍ය වශයෙන්ම මට මේ චිත‍්‍රපටයේ ළමයින්ට වගේම ප‍්‍රධාන ගනුදෙනුවක් මෙය නැරඹීමට පැමිණෙන වැඩිහිටියො සමගත් තිබෙනවා. ලංකාවේ ළමයින් චිත‍්‍රපට බැලීමට තනියම නොපැමිණෙන නිසා, මගේ උපායමාර්ගික අපේක්ෂාව වන්නේ ළමයින් සමග පැමිණෙන වැඩිහිටියන්ටත් මෙම චිත‍්‍රපටය පෙන්වීම මගින් ලාංකේය සමාජ ආර්ථික දේශපාලනික ජීවිතවල පැහැදිලි වෙනසක් ඇතිකරගැනීමට ආරාධනා කිරීම සඳහා අනුප‍්‍රාණය සැපයීමයි.

ලංකාවේ දැනට පවතින ළමා චිත්‍රපට කලාව පිළිබඳව කතා කළොත්.

ලංකාවේ ළමා චිත‍්‍රපට පිළිබඳ සාකච්ඡා කිරීම එක් අතකින් අභියෝගාත්මකයි. ලංකාව ඇතුළේ විවිධ ශානරවල චිත‍්‍රපට භාවිතාවන් තිබෙනවා. මගේ චිත‍්‍රපට භාවිතාව ඊට වඩා වෙනස් අවකාශයක පිහිටනවා කියලා මට හිතෙනවා. මගේ සිනමා භාවිතාවට විශේෂයෙන්ම බලපාන සිනමාකරුවෙක් වන්නේ ඉරානයේ මජීඞ් මජිඩි. මම සිනමාවට පිවිසෙන්නේ මජිඩිගෙ සිනමාවෙන් ලැබූ උත්තේජනයත් සමගයි. මෙම චිත‍්‍රපටය ලංකාවෙ ළමා චිත‍්‍රපට කලාවට වෙනස් ප‍්‍රවේශයක් යෝජනා කරාවි කියලා මම විශ්වාස කරනවා.

හෝ ගාන පොකුණ චිත‍්‍රපටය තුළ සාකච්ඡා වන්නේ කවරාකාර ප‍්‍රස්තුතයක්ද?

පළමුවැනි කාරණය තමයි මෙය ළමා චිත‍්‍රපටයක් වගේම ළමා චිත‍්‍රපටයක් නෙමෙයි. චිත‍්‍රපටයේ ආඛ්‍යානය ඇතුළේ ස්ථර කිහිපයක් තිබෙනවා. ‘මහා විප්ලවය’ (Great Revolution) පිළිබඳව අපි හැමවිටම බොහොම ලාලසාවෙන් කතා කරනවා. අපේ ජීවිතවල තිබෙන අර්බුද ‘මහා විප්ලවයක්’ පැමිණ විසඳාවි කියලා අපි විශ්වාස කරනවා. එක්වරම පැමිණෙන විශාල විපර්යාසයක් තුළින් අපේ ජීවිත වෙනස් කරයි කියන සාමූහික විඥානමය ඇබ්බැහිය අපිට තවමත් තිබෙනවා. 1971 සහ 88-89 කාලයේදී ලංකාවෙ සන්නද්ධ අරගල දෙකක් සිදුවෙනවා. නමුත් ඒ අරගල දෙකම මල්පල දරන්නේ නැහැ. මෙම චිත‍්‍රපටයේ එක ධාරණාවක් විදිහට මහා විප්ලව වෙනුවට ක්ෂුද්‍ර සහ සූක්ෂ්ම විප්ලව වෙත අපේ අවධානය යොමුකරමුද කියන කාරණාව මම යෝජනා කරනවා.

ධනේශ්වර මාධ්‍ය භාවිතාව විසින් අපිව සුපිරි තරු සහ සුපිරි වීරයා කියන සංකල්පය වෙතට යොමුකරලා තිබෙනවා. අපේ ෆැන්ටසි ලෝකය තුළ ඒ ආකාරයට සුපිරි වීරයන් විසින් ජයග‍්‍රහණය කරන සටන්වලින් තෘප්තිමත් වෙන්න අපි පුරුදු වෙලා සිටිනවා. අපි රජවරුන් වෙනුවෙන් මෙහෙවරකම් කරන්න සිටින බැලයො වගේ සුපර් ස්ටාර්ස්ලව විනෝදයට පත් කරන්න සැදී පැහැදී සිටිනවා. සුපර් ස්ටාර්ස්ලා අපිව විනෝදයට පත්කරනවාට වඩා අපි සුපර් ස්ටාර්ස්ලාව විනෝදයට පත් කරනවා කියලා මට හිතෙනවා. ඒ බැහැරින් සිටින සුපිරි වීරයා වෙනුවට අප සියලූ දෙනාගේ අභ්‍යන්තරයේ සිටින වීරයාව භාවිත කරමුද කියන කාරණය තමයි මම මතුකිරීමට උත්සාහ කරන්නේ.

2010 වර්ෂයේදී මම දැනට ආචාර්ය උපාධිය හදාරන ඕස්ටේ‍්‍රලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය විසින් මියෙන්මාරයේ විපක්ෂ නායිකා අවුං සාං සුකීට ආචාර්ය උපාධියක් පිරිනැමුවා. එම ආචාර්ය උපාධිය පිරිනමන උපාධි ප‍්‍රදාන උත්සවයේදී ඇය වැදගත් දෙයක් ප‍්‍රකාශ කළා. ඇය කියූ දෙයක් තමයි ඇගේ රටේ ජනතාව ඇවිත් ‘ඔයාලා කවදද අපිට නිදහස දිනා දෙන්නෙ?’ කියලා ඇයගෙන් අහනවා කියලා. ‘ඒ නිදහස දිනාගන්න ඔයාලා මොනවද කරලා තියෙන්නෙ කියලා’ ඒ අයගෙන් පෙරලා අහන්න සිදුවෙනවා කියලා ඇය කියනවා. නිදහස දිනාගැනීමේ අරගලයේදී අපි හැමෝටම කොටසක් තිබෙනවා කියලා ඇය ප‍්‍රකාශ කරනවා. අපේ ජීවිත වෙනස් කරගැනීම සඳහා කරන අරගලයේදී අනිත් අය එය කර දෙන තෙක් බලා සිටින්නේ නැතිවීම පිළිබඳව මෙම චිත‍්‍රපටය තුළ සාකච්ඡා කෙරෙනවා. අද සුපිරි වීරයන්ගේ සංකල්ප සමාජය තුළ උත්කර්ෂයට පත්වෙන්නේ පවතින සමාජීය නිෂ්ක‍්‍රියභාවය නිසාමයි. මේ කාරණාව චිත‍්‍රපටයේ තවත් එක් ස්ථරයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

අපේ වගේ රටක සමූහයක් විදියට වගේම පෞද්ගලිකව අපි බලාපොරොත්තු වෙන විමුක්තිය උදාකරගැනීමට අපට තිබෙන ප‍්‍රධාන උපාය මාර්ගය අධ්‍යාපනය කියලා මම දැඩි සේ විශ්වාස කරනවා. කවර වයසක, කවර තරාතිරමක සිටියත් තමාගේ ජීවිතය වඩා ඉහළ තැනකට ඔසොවා තැබීමට අධ්‍යාපනය කොයිතරම් වැදගත්ද? අභිමානයක් සහිතව ජීවත් වෙන්න අධ්‍යාපනය කොයිතරම් වැදගත්ද කියන කාරණාව මෙම චිත‍්‍රපටය තුළ සාකච්ඡුා කෙරෙනවා.

ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙලවලදී චිත‍්‍රපටය සම්බන්ධයෙන් ලැබුණු ප‍්‍රතිචාර කොහොමද?

අපේක්ෂා දල්වන ප‍්‍රතිචාර සෑම තැනකින්ම ලැබු ණා. චිත‍්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වුණේ චීනයේ ෂැංහයි නුවර. එහිදිී මම අපේක්ෂා නොකළ ආකාරයට පේ‍්‍රක්ෂකාගාරය චිත‍්‍රපටය වැළඳගත්තා. එම උළෙලේදී කිසිම ගැටලූවක් නොමැතිව ලොකු සහසම්බන්ධයක් පේ‍්‍රක්ෂක යන් සහ චිත‍්‍රපටය අතර ඇතිවුණා. මෙය ඉතාමත්ම උත්තේජනාත්මක චිත‍්‍ර පටයක්ය කියන අදහස බොහොමයක් දෙනා අතර තිබුණා. එමෙන්ම මෙම චිත‍්‍රපටය ජීවිතය දිහා සුබවාදීව බැලීමට යොමුකරනවා කියලා බොහෝ අය පැවසුවා. අනතුරුව මෙම චිත‍්‍රපටය චිකාගෝ අන්තර්ජාතික ළමා චිත‍්‍රපට උළෙල වෙනුවෙන් චිකාගෝ විශ්වවිද්‍යාලයේ තිරගත වුණා. විශාල ළමා පේ‍්‍රක්ෂකාගාරයක් සහභාගි වුණා. එතනදි මා පොළඹවන සුලූ අතිශය තෘප්තිමත් ප‍්‍රතිචාරයක් ලැබුණා. පාසැල් ගුරුවරු, අධ්‍යාපනඥයන් සහ පර්යේෂකයන් බොහො මයක් චිත‍්‍රපටය නැරඹීමට පැමිණ සිටියා. ෂැංහයි නුවර වගේම චිකාගෝවලත් ප‍්‍රතිචාරය වුණේ මෙම චිත‍්‍රපටය ඉතාමත් ධනාත්මක වගේම අනුප‍්‍රාණය සැපයීමේ ගුණයක් සහිත චිත‍්‍රපටයක්ය කියන එකයි.

චිත‍්‍රපටය ලංකාවේ ප‍්‍රදර්ශනය කිරීම ගැන යම් අභියෝගයකට මුහුණදී සිටිනවා නේද?

ලංකාව තුළ විධිමත්ව, තමන්ගේ අපේක්ෂාව පරිදි චිත‍්‍රපටයක් ප‍්‍රදර්ශනය කිරීමේ අවස්ථාව ලබාගැනීම සෑම සිනමාකරුවෙක් හමුවේම තිබෙන අභියෝගයක්. නාට්‍යයක් නිෂ්පාදනය කරන විට එය කොයිතරම් අපහසු කටයුත්තක්ද කියන එක අපි දන්නවා. නමුත් නාට්‍යයේ පළමුවැනි දර්ශනයෙන් පසුව නාට්‍යයක් නිෂ්පාදනය කිරීමට වඩා පවත්වාගෙන යාම හරිම අපහසුයි කියලා වැටහෙන්න පටන් ගන්නවා. මෙම චිත‍්‍රපටය නිර්මාණය කර අවසන් වූ පසු එය ප‍්‍රදර්ශනය කරන්නේ කෙසේද කියන කරන කාරණය ඊට වඩා සියදහස් වාරයක් තදබල ලෙස මට දැනුණා. චිත‍්‍රපටයක් නිර්මාණය කරන්න පහසුයි. නමුත් එය පවත්වගෙන යෑම අතිශයින්ම අපහසුයි. ශ‍්‍රී ලංකාවේ තිබෙන ප‍්‍රධාන චෝදනාවක් වන්නේ සිනමාකරුවා විසින් නිෂ්පාදකයාව අරක්ෂා කරන්නේ නැහැ කියන එක. නිෂ්පාදකයාට අඩුම තරමෙන් වියදම් කළ මුදලවත් නැතිවන තත්ත්වයක් යටතේ චිත‍්‍රපටයේ තිබෙන නිර්මාණාත්මකභාවය අබිබවමින් හැමවිටම මැසිවිලි නැගෙනවා. අනික් පැත්තෙන් ලංකාවේ ලාභ ලබන සිනමාව, කලාත්මක සහ නිර්මාණාත්මක අතින් දියුණු නැහැ කියලා චෝදනාවක් තිබෙනවා. නමුත් මම ‘හෝ ගාන පොකුණ’ පිහිටුවන්න උත්සාහ කළේ මේ දෙක අතරමැද. ඒත් මේ චිත‍්‍රපටයත් අවුරුදු එකහමාරක් පමණ කාලයක් පුරා තිරගත කිරීමට අවස්ථාව ලැබෙනකම් බලා සිටිනවා. කලාකෘතියක් සර්වකාලීන වීම පිළිබඳව අප සෑම අවස්ථාවකදීම උද්යෝගයෙන් කතා කරනවා. නමුත් නිර්මාණයක් සර්වකාලීන වීමට පෙර එම කෘතිය කාලීන වන බව අප අමතක කරනවා. ලංකාවේ කාලීනව වැදගත්වන සිනමා කෘතියක් කොපමණ පලදායී වෙනවාද කියන ගැටලූව නිතර පැන නගින්න පුළුවන්. මොකද චිත‍්‍රපටය පෙන්වන අවස්ථාව වන විට එම චිත‍්‍රපටයේ සමාජ දේශපාලන අදාළත්වය ඉකුත්ව ගිහින් තිබෙන්න පුළුවන්. එවැනි අවදානමක් ඉදිරියේ අද අපි සිටිනවා. මම කියන්නේ ලංකාවේ චිත‍්‍රපට බෙදාහැරීමට රාජ්‍යය වහාම මැදිහත් විය යුතුයි. ලංකාවේ චිත‍්‍රපටය නිෂ්පාදනය කිරීමට වඩා ප‍්‍රචාරණය සඳහා වැඩි මුදලක් වැයවෙනවා. නමුත් ලංකාව තුළ නැවත නැවතත් චිත‍්‍රපටයේ ප‍්‍රචාරණය වෙනුවෙන් තව තවත් මුදල් යොදවන්නෙ කෙසේද කියන අර්බුදය තුළ නිෂ්පාදකවරු සිටිනවා. ඉතින් මම වගේ රංගකලාව සමග ගනුදෙනු කළ අයෙකුට එවැනි තත්ත්වයක් දරාගත නොහැකි වගකීමක් බවට පත්වෙනවා. මොකද අපි ලංකාවේ කවදාවත් ලාභ ලබන්න නාට්‍ය කරන්න පුරුදු වී නොමැති නිසා.

සිනමාව ඩිජිටල්කරණය පිළිබඳව සාකච්ඡා කෙරෙනවා. නමුත් ලංකාව එවැනි අනාගතයකට මුහුණ දීමට සූදානම් නැති තත්ත්වයකුයි පෙනෙන්නේ. ඔබේ අදහස මොකක්ද?

ලංකාවෙ සිනමාව වහාම ඩිජිටල්කරණය කිරීමේ අත්‍යවශ්‍යතාව වගකිවයුත්තන්ට දැනෙ න්නේ නැත්තේ ඇයි කියන එක විස්මයට කාරණයක්. මේ තත්ත්වය තේරුම්ගැනීමට රාජ්‍යය විසින් චිත‍්‍රපට කරන්න අවශ්‍ය නැහැ. මේ සඳහා රාජ්‍ය පොළඹවන්නේ කොහොමද කියන එක අද සිනමාකරුවා මුහුණ දෙන විශාල අභියෝගයක් බවට පත්වෙලා. ඩිජිටල්කරණයට ඵලදායි ප‍්‍රතිචාරයක් නොදුන්නොත් නුදුරු අනාගතයේදී ලංකාවේ සිනමා කර්මාන්තය අතිශය බරපතළ අර්බුදයකට මුහුණ දීමට නියමිතයි. උදාහරණයක් විදිහට ඉන්දියාවේ රසායනාගාර සෙලොලොයිඞ් පටය සමග සිදුකරන වැඩකටයුතු නවත්වමින් තිබෙනවා. ලංකාවේ චිත‍්‍රපට පසුනිෂ්පාදනයේදී අපේ සම්පූර්ණ ගනුදෙනුව බොහෝවිට තිබෙන්නේ ඉන්දියාවත් සමග. ඩිජිටල් නොවීම සම්බන්ධයෙන් තිබෙන අභියෝගය තේරුම්ගන්න ඒ අර්බුදයම හොඳටම ප‍්‍රමාණවත්.