හමුදාවේ කලකිරීම් කුමක් නිසාද?


forces

ලසන්ත රුහුණගේ

හමුදා කුමන්ත්‍රණයක් පිළිබඳ කථාවක් පසුගියදා කරලියට ගෙනආවේ ඒකාබද්ධ විපක්‍ෂයේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාය. ඔහුට අනුව එම හමුදා කුමන්ත්‍රණයට හේතුවී තිබුණේ ආණ්ඩුව පිළිබඳ කලකිරීමය. එම කලකිරීමට හේතුව වී තිබුණේ ඔහුට අනුව වීරෝදාර රණවිරුවන් රහස් පොලිස් ප්‍රශ්න කිරීම්වලට ලක්කිරීම, උසාවි ගානේ දැක්කවීම, රිමාන්ඞ් භාරයට පත් කිරීම හා දඬුවම් ලබාදීම ආදියයි.
දිනේෂ් ගුණවර්ධනගේ මේ අපූරු ඇඟකිළිපොලා යන හෙළිදරව්වෙන් තිගැස්මකට ලක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම කථාවට අදාළ කරුණු සම්බන්ධයෙන් වහාම බුද්ධි අංශ වාර්තාවක් කැඳවා තිබුණි. එම වාර්තාව අනුව නම් දිනේෂ් ගුණවර්ධනගේ බුද්ධි වාර්තාව සනාථවී නොතිබුණු බව ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ප්‍රකාශ වන්නට විය.
කොහොමත් වීරෝදාර රණවිරුවන් (අවධාරණය ඔවුන්ගේය) ප්‍රශ්න කිරීම, උසාවි ගානේ දැක්කවීම, රිමාන්ඞ් භාරයට පත්කිරීම හා දඬුවම් ලබාදීම ආදියට තමා එකඟ නැතැයි කියන ජනාධිපතිවරයෙකුට හා ඔහුගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුවකට එරෙහිව හමුදාවක් තුළ කලකිරීමක් ඇතිවිය නොහැකිය. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන ප්‍රශ්න කිරීම සඳහා යුදහමුදා බුද්ධි අංශ සාමාජිකයන් දිනකට විසිදෙනා බැගින් ගෙන්වීම නැවැත්වූ ජනාධිපතිවරයෙකු ගැන ඔවුන් කලකිරෙන්නේ නැත. (මෙම කරුණ සත්‍යබව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය රාවය පුවත්පතට මින් පෙර ප්‍රකාශ කර තිබුණි.) ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ ඇතුළු මානව හිමිකම් චෝදනා ඉල්ලා අස්කරගන්නැයි තවම දිවුරුම් දී වත් නැති නව ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින ජනාධිපතිවරයෙකු සම්බන්ධයෙන් එවන් කලකිරීමක් ඇතිවන්නේද නැත.
කරුණු එසේ වුවද හමුදාව තුළ මේ වනවිට කලකිරීමක් පවතින්නේය. ඒ පසුගිය යුද්ධයට මුවා වී දේශපාලනඥයන්ගේ නීති විරෝධී අණදීම් මත අතුරු සන්නද්ධ කණ්ඩායම් සාදාගෙන අපරාධ කළවුන් පිළිබඳ පරීක්‍ෂණ ගැන නොවේ. ජනාධිපතිවරයා විසින් හමුදාව තුළ සිදුකරන හමුදාවට තීරණාත්මක පත්කිරීම් සම්බන්ධයෙන්ය. යුද හමුදාපති, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී යන තනතුරු ඊට අයත්ය. ඒ එම තනතුරුවලට ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන නිසාය.
යුද හමුදාවට අනුව එහි වගකිව යුතු තනතුරුවලට පත් කිරීමේදී සලකා බලන කරුණු කිහිපයක් ඇත. එකක් වන්නේ එම හමුදා නිලධාරීන්ගේ සේවා සාර්ථකත්වයය. අනෙක වැරදිවලට යොමු නොවූ පුද්ගලයෙකුද යන්නය. විශේෂයෙන්ම අණදීමේ තනතුරු දරන :ක්‍දපප්බා ීඑරු්ප* නිලධාරියෙකුද යන්නය. හමුදාවේ අභ්‍යන්තර ක්‍රියාපටිපාටියට අනුව පොදු තනතුරු :ක්‍දපපදබ ීඑරු්ප* දරන්නෙකුට එහි අණදීමේ ඉහළ තනතුරු වන යුද හමුදාපති, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී යන තනතුරුවලට පත්විය නොහැකිය.
යම් නිලධාරියෙකු යුද හමුදාවට බැඳී අධිකාරිත්වයට පත්වීමේදීම ඔහු සුදුසුකම් ලබන්නේ අණදීමේ තනතුරකටද නැතහොත් පොදු තනතුරකටද යන්න තීරණය වේ. ඒ ඒ නිලධාරියාට අයත් රෙජිමේන්තුව අනුවය. ඒ අනුව සේවා සපයන රෙජිමේන්තුවල කිසිවකුට යුද හමුදාවේ අණදීමේ තනතුරුවලට යා නොහැකිය. මෙය යුද හමුදාවට පමණක් නොව නාවික හමුදාවට හා ගුවන් හමුදාවටද අදාළ කරුණක්ය. ඒවාහිද නාවික හමුදාපති ධුරයට මෙන්ම ගුවන් හමුදාපති ධුරයට සුදුසුකම් ලැබිය හැකි අංශ තිබෙන්නේය.
මේ ආකාරයට අණ දීමේ තනතුරු දරන අංශයකට අයත් නිලධාරීන්ද අසාර්ථක වූ විට හෝ විෂමාචාරයන්ට ලක්වූ විට ඔවුන් අණ දීමේ රාජකාරීවලින් ඉවත්කර පොදු තනතුරුවලට පත්කිරීම හමුදාවක ක්‍රියාපටිපාටියයි. එය එසේ නොවන්නේ සිටින යුද හමුදාපතිවරයාගේ හිතවත්කම් මත තනතුරු ප්‍රදානය කිරීමේදී හා දේශපාලන බලපෑම් මත තනතුරු ප්‍රදානය කිරීමේදී පමණය. එවැනි තනතුරු ප්‍රදානය කිරීම් ගැන ඇත්ත වශයෙන්ම යුද හමුදාව තුළ ඇත්තේ කලකිරීම්ය.
විශේෂයෙන්ම යුද හමුදාවේ නිලධාරින් ඇතුළු සියල්ලන්ගේ මතය වී ඇත්තේ තනතුරුවලට පත්කිරීමේ මේ අභ්‍යන්තර ක්‍රියාපටිපාටිය ගැන ඉන් පිටත සිටින දේශපාලනඥයන්ට කිසිදු අවබෝධයක් නැති බවය. ඔවුන් දන්නා එකම දෙය ජේ්‍යෂ්ඨතා ලේඛනය නම් වූ ලේඛනයක් ගෙන්වාගෙන දේශපාලන හිතවත්කම් මත යුද හමුදාවේ තනතුරු ප්‍රදානය කිරීම බවය. ඔවුන්ගේ මතය අනුව වයසින් වැඩිවීම හෝ යුද හමුදාවේ වැඩි සේවා කාලයක් සැපිරීම යුද හමුදාවට නායකත්වය දීමට සුදුසුකමක් වන්නේ නැත. ඒ සඳහා නොකැළැල් නායකත්ව කුසලතාවක් ජේ්‍යෂ්ඨත්වය සමඟ යුද හමුදා නිලධාරියෙකුට තිබිය යුතුය. ඒ අනුව ඔවුන් කියන්නේ යුද හමුදාපති ඇතුළු ඉහළ අණදීමේ තනතුරුවලට පත්විය යුතු නිලධාරීන් පිළිබඳව අත්දැකීමෙන්ම ඔවුන් දන්නා බවය. ඔවුන්ගේ මතය අනුව යුද හමුදාපතිවරයා ඇතුළු දැනට සිටින ජේ්‍යෂ්ඨතම හමුදා නිලධාරීන් 14 දෙනා අතුරින් අණදීමේ තනතුරුවලට සුදුසුකම් ලබා සිටින්නේ නිලධාරීන් 4 දෙනෙකු පමණය. කොටින්ම කිවහොත් වත්මන් යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා මෙන්ම යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී උභය මැදවලද අණදීමේ තනතුරු අහෝසිකරගත්, ඒවායින් අසාර්ථක වී වත්මන් තනතුරුවලට පත්වීමට පෙර පොදු තනතුරු දැරූ අයය. අණදීමේ තනතුරුවලට සුදුස්සන් වශයෙන් එම 14 දෙනා අතර දැනට සිටින්නේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී චන්න ගුණතිලක, 11 වන ස්ථානයේ සිටින මහේෂ් සේනානායක, 13 වන ස්ථානයේ සිටින උදය පෙරේරා හා 14 වන ස්ථානයේ සිටින කේඒඩීඒ කරුණාසේකර යන මේජර් ජෙනරාල්වරු පමණය. යුද හමුදාව තුළ කලකිරීම් හටගෙන ඇත්තේ මෙම තත්ත්වය නිසාය. නියමිත සුදුසුකම් ලබන නිකලැල් නිලධාරියෙකුට ඔහුට හිමි අවස්ථාවේදී හමුදාපති ධුරය දැරීමට හැකිවිය යුතු අතර ඊට පසු සුදුසුකම් ලබන නිලධාරීන්ටද ප්‍රධාන තනතුර තෙක් මාණ්ඩලික ප්‍රධානී හා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබාදිය යුතුය.
එහෙත් වත්මන් යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වාගේ පත්කිරීම හා ඔහුට දෙවරකදී වසර දෙකක සේවා දිගුවක් ලබාදීම හේතුවෙන් සිදුවී තිබෙන්නේ ඊළඟ යුද හමුදාපති ධුරය සඳහා ජේ්‍යෂ්ඨත්වයෙන් හා අණදීමේ දක්ෂතාවෙන් පෙරමුණට පැමිණි මේජර් ජෙනරාල්වරුන් බොහෝ දෙනෙකුට වයස අවුරුදු 55 සම්පූර්ණ වීම හේතුවෙන් විශ්‍රාම ගැනීමට සිදුවීමය. අණදීමේ තනතුරුවල ඉහළින්ම සිටින මේජර් ජෙනරාල් චන්න ගුණතිලක ඊළඟ හමුදාපති ධුරය නොලැබුණහොත් 2017 මාර්තු මස 01 දින වයස අවුරුදු 55 සැපිරීම හේතුවෙන් විශ්‍රාම යා යුතු අතර මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක 2017 අගෝස්තු 18 දින වයස අවුරුදු 55 සැපිරීමෙන් විශ්‍රාම යා යුතුය. එමෙන්ම මේජර් ජෙනරාල් උදය පෙරේරාද වයස අවුරුදු 55 සැපිරීම හේතුවෙන් 2017 අප්‍රේල් 21 දින විශ්‍රාම යා යුතුය.
වත්මන් යුද හමුදාපතිවරයා අණදීමේ තනතුරුවලින් ඉවත් කර තිබුණේ අවසන් යුද්ධයට පෙර පැවති යුද්ධයකදී ඔහු අණ ලබාදෙමින් සිටි බල ඇණිය අතහැර දමා පලා ආ පුද්ගලයෙකු වශයෙන් සලකාය. අවසන් යුද්ධ සමයේදී ඔහු පොදු තනතුරක් වූ ඉදිරි සැපයුම් කොට්ඨාසයක තනතුරක කිළිනොච්චි ප්‍රදේශයේ කටයුතු කර ඇති අතර කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති වශයෙන් ඔහුට අණ දී ඇත්තේ වත්මන් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් චන්න ගුණතිලකය. අරුමය වන්නේ අද ක්‍රිෂාන්ත ද සිල්වා යුද හමුදාපති වී හේතු රහිත සේවා දිගු ලබමින් සිටීමත් චන්න ගුණතිලක වැන්නවුන්ට ඔහු යටතේ කටයුතු කරන්නට සිදු වී තිබීමත්ය.
එම නිසා යුද හමුදාවේ යම් කලකිරීමක් ඇත්නම් එසේ ඇත්තේ මෙවැනි කරුණු ගැන අවබෝධයක් නැති දේශපාලන තීන්දු තීරණ නිසාය. නැතහොත් දිනේෂ් ගුණවර්ධනලා කියන ආකාරයෙන් අපරාධකරුවන් වූ රණවිරුවන් යැයි කියා ගන්නා පිරිස් ගැන සිදුකරන පරීක්‍ෂණ නිසා නොවේය. සිදුවිය යුත්තේ හමුදා පත්කිරීම් සිදුකරන ජනාධිපතිවරයා යුද හමුදාවක අණ දීමේ තනතුරු ලබාදිය යුත්තේ කෙසේද කියා ඊට අදාළ පටිපාටිය හදාරා ඒ අනුව කටයුතු කිරීමය. වුවමනා නම් ඔහුට ඒ සඳහා එම පටිපාටිය ගැන හොඳින්ම දන්නා හිටපු යුද හමුදාපති වත්මන් අමාත්‍ය සරත් පොන්සේකාගෙන්ද පැහැදිලි කර ගැනීමක් ලබාගත හැකිය. එම පැහැදිලි කරගැනීම්වලින් පසු හමුදා පටිපාටිය අනුව එහි පත්කිරීම් ජනාධිපතිවරයා සිදුකරන්නේ නම් හමුදාවේ කලකිරීම් අවම වනු හෝ නැතිවනු හෝ ඇත. අප මීට පෙර අවස්ථා ගණනාවකදී වත්මන් යුද හමුදාපතිවරයාගේ සේවා දිගුව පිළිබඳව ලිපි ලියමින් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරන්නට උත්සාහ කළේද මෙම කරුණ පිළිබඳවය. එහෙත් ඔහු ඒ පිළිබඳව අවධානය යොමු කළ බවක් නොපෙනුණේ වත්මන් යුද හමුදාපතිවරයාට තවත් වසරක සේවා දිගුවක් ලබාදීම මගින්ය. එම සේවා දිගුව සඳහා අවසාන මොහොතේ හේතුවූයේ ජනාධිපතිවරයාගේ රාජකීය පුත්‍රයාත් වත්මන් යුද හමුදාපතිවරයාගේ රාජකීය පුත්‍රයාත් අතර පැවති රාජකීය මිත්‍ර සමාගමක් බව පැවසෙන අතර එය සත්‍ය නම් යුද හමුදාපති තනතුර වැනි රටකට තීරණාත්මක තනතුරකට පුත්‍රයන්ගේ පාසල් මිත්‍රත්වය වැනි කරුණු හේතු වශයෙන් යොදාගැනීම කෙතරම් ඥානවන්තද යන්න පිළිබඳව ජනාධිපතිවරයා නැවත නැවතත් කල්පනා කළ යුතුය.■