ඩෝල් කන්තලෙන් පැනයයි


kanthale

කේ. සංජීව

දාහයට තිත තබමින් කන්ත ලේට මහ වැසි වැටෙමින් තිබේ. කාලයක් දුහුවිලි අහසට විසි කළ පොළොව ස්පොන්ජ් එකක් මෙන් තෙතබරිත වී ඇත. කන්තලේ දුම්රිය ස්ථානයෙන් කන්තලේ ප්‍රදේශයට ගොඩබසින විටම වට මහ වැස්ස මගේ ගමන ප්‍රමාද කළේය. එහෙත් සොයා යා යුතුය. මේ වැස්සෙන් කන්තලේ මිනිස් ජීවිතද සිසිල් වී ඇතැයි මට සිතේ. එහෙත් පසුදා කන්තලේ සමගිපුර ඇවිද යන මට දැනුණේ මේ වසින වැස්සට මේ මිනිසුන්ගේ හිතේ ඇවිළෙන දහසක් ගිනි නිවා දමන්නට බැරි බවය.
ගොවිතැන, වැලි ගොඩ දැමීම, ගඩොල් කැපීම, හැර වෙනත් රැකියා කන්තලේට හිඟය. ඇඟලුම් කම්හල් වුණත් එකක් හෝ දෙකක් ඇරෙන්න තවත් නැත. මෙවැනි පසුබිමක 2012 වර්ෂයේදී කන්තලේට පැමිණි ඩෝල් ආයතනය කන්තලේ, කල්ආරු, සේරුවාවිල වැනි ප්‍රදේශවල දුප්පතුන්ට නිවන පෙන්නුවේය. එහෙත් අද වනවිට ඩෝල් ආයතනය ඒ සැනසීම නමැති මන්දිරයට ගිනි තබා ඇත. ඒ ගිනි දැන් ඇවිළෙන්නේ මේ මිනිසුන්ගේ හදවත් තුළය. ඒ ගින්න නිවන්න මේ වසින වැසි මදිය. කොටින්ම කියනවා නම් මේ වනවිට ඩෝල් ආයතනය කන්තලේ ප්‍රදේශයේ සේවකයන් 100ක් පමණ අනාථභාවයට හෙළා පැනගොස් ඇත. අධික ලාභ උපයන මේ බහුජාතික සමාගමේ මේ නොහොබිනා වැඬේ දකින්නට ඒ ගැන ලියන්නට තොරතුරු එකතු කරන්නට පසුගියදා මම එහි ගියෙමි. මෙහි මුලින් ලියැවුණේ ඒ ගමනේ ඇරඹුම ගැනය. දැන් පහළට ලියැවෙන්නේ මේ මිනිසුන්ගේ ජීවිත ගැනය. ඩෝල් ආයතනය ඔවුන් හෙළා ඇති දුකේ තරම ගැනය.

මමත් පටන් ගන්න හිටියා
“මේ කෙසෙල් ගොවිපොළ පටන් ගත්තේ 2012/12/28. කන්තලේ, සමගිපුර මේ ඉඩමට ඩෝල් එකේ මහත්තයාත් එක්ක මුලින්ම ආවේ මමයි මගේ මාමායි. මම ඉංජිනේරු අංශයේ තමයි වැඩ කළේ. හෙක්ටයාර් 66ක් විතර මෙතන තියෙනවා. හෙක්ටයාර් 35ක් තමයි මේ වෙනකොට වගාකරලා තියෙන්නේ. මම මේ ගොවිපොළේ වැඩ කරලා මාසෙකට රුපියල් 15,000ක් විතර ගත්තා. මගේ දරුවෝ තුන්දෙනාට කන්න දීලා ඉගැන්නුවේ මේකෙන්. මේ ප්‍රදේශයේ අපිට මේ වගා බිම ලොකු උපකාරයක් වුණා. දැන් ජීවත් වෙන එකත් ප්‍රශ්නයක්.”
මේ කල්ආරු ප්‍රදේශයේ පදිංචි සුනිල් ශාන්ත මහතාගේ හඬය. ඔහු දෛනිකව කිලෝමීටර් 15ක් පමණ ගෙවා දමමින් මේ ස්ථානයට එන්නේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්නය. බඩවියත රැක ගන්නය. ඩෝල් ආයතනය සතු මෙම කන්තලේ කෙසෙල් ගොවිපොළ වසා දමන විට එය දියුණු තත්ත්වයක පැවතුණි. ලාභයද උපරිම බව සේවකයෝ ප්‍රකාශ කරති. එහෙනම් ඇයි වසා දැමුවේ. එය ගැටලුවකි. ඒ පිළිබඳව කරුණු සොයා බලන්නට ප්‍රථම ඩෝල් ආයතනය ගැන සොයා බලමු.

ඩෝල්
ඩෝල් නාමය ලෝකයේ හරි ජනප්‍රිය වෙළෙඳ නාමයක්ය. ඒ ලෝකය පුරා සංසරණය වන සුමියුරු පලතුරු නිසාය. ලෝකයට පලතුරු සපයන බහුජාතික සමාගම් අතර ඩෝල් ආයතනය ප්‍රධානය. දැනට ටික කාලයකට පෙර මෙහි මූලස්ථානය තිබුණේ පිලිපීනයේය. දැන් එහි මූලස්ථානය තිබෙන්නේ ජපානයේය. ඒ ඩෝල් සමාගම හිතුචු යන ජපන් සමාගම විසින් මිලට ගැනීම නිසාය. අග්නිදිග ආසියාව, යුරෝපය, උතුරු ඇමරිකාව ආදි දේශසීමා තුළ මේ ආයතනය සතු ගොවිපොළ ප්‍රමාණය සුවිශාලය. ඩෝල් ආයතනය ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්නේ 2005 වර්ෂය තුළය. ඒ බුත්තල වෑකඩ අක්කර 550ක කෙසෙල් වගාවක් ආරම්භ කරමින්ය. දැනට මෙම ආයතනය ලංකාව තුළ දෙමෝදර, කුඩාඔය, සෙවණගල, මහියංගණය, කන්තලේ ආදි ප්‍රදේශ තුළ මහා පරිමාණයෙන් කෙසෙල් වගා කරමින් සිටී. එය අතිදුෂ්කර මේ ප්‍රදේශවල මිනිසුන්ට ලොකු ශක්තියක් බව කිව යුතුය. අනෙක් පැත්තෙන් ලාභ උපරිම කරගන්නට පමණක් කල්පනා කරන මෙම ආයතනයේ ඉහළ නිලධාරීන් නිසා සහ ඔවුන්ගේ පරිපාලන ප්‍රතිපත්ති නිසා මේ ආයතනයේ සුළු වේතනයකට වැඩ කරන සේවකයන්ගේ සෞඛ්‍යය තිබෙන්නේ අනතුරුදායක තත්ත්වයකය. එයත් කිව යුතුමය.
ඔවුන්ගේ සුබසාධනය ගැන ආයතනය එතරම් සැලකිල්ලක් නොදක්වන බවද පෙනේ. මෙම ගොවිපොළ තුළ ශ්‍රමය වගුරවන සේවකයන් මෑන් පවර් සේවකයන්ය. එනිසා ඔවුන්ගේ ජීවන තත්ත්වය ගැන අමුතුවෙන් කතා කිරීම අවශ්‍ය නැත. මේ මොන ප්‍රශ්න තිබුණත් මේ රසායනික භාවිතාවන් නිසා හෙට මැරේවියැ’යි අවදානමක් තිබුණත් මේ මිනිස්සු මේ වගා බිම්වල රැකියාව කරති. ඒ මේ පළාත් තුළ රැකියා සුලභ නැති නිසාය. දුප්පත්කම අහස උසට නිසාය. එවැනි තත්ත්වයක් යටතේ ගහෙන් ගෙඩි එන්නා සේ ගොවිපොළක් වසා දැමුවහොත් මේ මිනිසුන්ගේ ජීවිතවලට ඇතිවන තත්ත්වය කුමක්ද? අපි කල්පනා කළ යුතුවෙමු.

අවසාන මොහොත වෙනකම් දන්නේ නෑ
“ගිය මාසේ අන්තිම කෙසෙල් පැළ කපන්න පටන් ගත්තා. මුලින් අපිට කිව්වේ කැන් තියෙන ගස්වලට ලොකු පෝෂණයක් දෙන්න තමයි ඒක කරන්නේ කියලා. අන්තිමට මේ මාසේ 10 වැනිදා තමයි කිව්වේ දෙසැම්බර් 31 වෙනකොට ගොවිපොළ සම්පූර්ණ යෙන්ම වහලා දානවා කියලා. මේ වෙනකොට සම්පූර්ණයෙන්ම කෙසෙල් පැළ කපලා ඉවරයි. අක්කර තුනක විතර කෙසෙල් අලත් ගැලෙව්වා. අපිට වන්දි දෙනවාද, වෙන තැනක රක්ෂා දෙනවාද මොකුත් නැහැ. මෙහේ මහත්තුරු මොනවත් දන්නේත් නැහැ. අන්තිමට නොවැම්බර් 16 වර්ජනය පටන් ගත්තා. ඩෝල් එක එයාලාගේ බඩුත් ලොරිවල පටවලා අරගෙන ගියා. අන්තිම ලොරිය අපි නතර කරගත්තා. ඒකේ ලක්ෂ ගාණක බඩු තියෙනවා. ඒක නතර කරගත්තේ නැත්තං අපිට මොනවත් නැහැ. දැන් අපි ඉල්ලන්නේ අපිට මාස 4ක වැටුපක් වන්දියක් විදියට දෙන්න කියලා. පාලකයෝ ඒකටත් කැමති නැහැ වගේ. අපි කම්කරු කාර්යාලයට ගියා. තවම සාකච්ඡා විතරයි. කිසිම විසඳුමක් නැහැ.”
මේ හඬ සේනක මහතාගේය. ඔහු ආයතනයේ මෙම අර්බුදයත් සමඟ වෘත්තීය සමිතියක් ලෙස එහි සේවකයන් ගොනුකර ගනිමින් ඩෝල් ආයතනය සමඟ සටනට බැස ඇත. එය හොඳ තත්ත්වයක්ය. එය මේ අසරණ මිනිසුන්ගේ සිත් තුළ යම් බලාපොරොත්තු වක් ඇතිකර ඇත. මෙම සටන නිසාම පසුගිය 22 වැනි දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ අදාළ පැමිණිල්ල විභාගයට ගන්නා අතර එහිදී සේවකයන් ඔවුන්ගේ ඉල්ලීම ලෙස මාස 4ක වැටුපක් වන්දි ලෙස ඉල්ලා ඇත.
එහෙත් ඩෝල් කළමනාකාරීත්වය එයට එකඟ වී නැති නිසා මේ පිළිබඳ විභාගය නැවත 25 වැනි සිකුරාදා දිනයට කල් දමා ඇත. සාමාන්‍යයෙන් මෙහි රැකියාව කරන සේවකයකුට මාසිකව ලැබෙන වැටුප රුපියල් 15,000ක් පමණය. සිව් මාසයක වැටුපක් යනු රුපියල් 60,000ක්ය. මේ බහුජාතික සමාගම මේ සොච්චම ගෙවන්නටද කැමති නැති බව මේ සාකච්ඡා අසාර්ථක වීම පිටුපස කතාවයි. කන්තලේට දැන් වැසි කාලය උදාවී ඇති නිසා ලබන පෙබරවාරිය වනතුරු කුලී රැකියාවක් හෝ සොයා ගැනීම දුෂ්කරයැ’යි දැනගන්නට තිබෙන තත්ත්වය තුළ මේ තවත් බරපතළය.

වැන්දඹු අපිට සහනයක් දෙන්න
“මම සේරුවාවිල ශ්‍රියානි කීර්තිසේන. දැනට මම මේ ආයතනය එක්ක වැඩ කරන්න පටන් අරන් අවුරුදු 3ක් වෙනවා. මගේ මහත්තයා මැරිලා දැන් අවුරුදු 11ක්, ගැහැනු ළමයින්ම තුන්දෙනෙක් මට ඉන්නේ. එයාලට ඉගෙන ගන්න සේරම දේවල්වලට වියදම් කළේ මෙතැනින් ලැබෙන පඩියෙන්. දැන් ඉතින් මොනවා කරන්නද මන්දා. හිතාගන්න අමාරුයි. මට දැන් 43ක් වෙනවා. රක්ෂාවක් දැන් සොයා ගන්න අමාරුයි. මේ වැහි කාලේ කුලී වැඩත් අඩුයි. අනික ගඩොල් කපනවා වගේ වැඩ දැන් කරන්න අමාරුයි. මම නම් කියන්නේ රස්සාවක් දෙන්න කියලා.”
මෙලෙස කතා කරන ශ්‍රියානි වැන්දඹු කාන්තාවක්ය. මෙවැනි කාන්තාවෝ 25 දෙනෙක් පමණ මෙම ගොවිපොළ තුළ දැනට සේවයේ නිරතව සිටිති. හිටිඅඩියේ මේ වසා දැමීම තුළ මේ ගැහැනුන් මහමගට වැටී ඇත. මෙම වසා දැමීම තුළ වන්දි ඉල්ලන බොහෝ සේවකයන් කියන්fරෑන් රැකියාවක් සොයාගන්නා තුරු ජීවත්වෙන්න සරිලන මුදලක් වන්දි ලෙස ලබාදිය යුතුයි කියාය. එහෙත් මෙවැනි කාන්තාවන් රැකියාවක් සොයා ගන්නේ කෙසේද? ඔවුන්ට රුපියල් 60,000ක මුදලකින් ඉතිරි ජීවිත කාලයම ගෙවා දමන්නට පුළුවන්ද? මේවා බරපතළ සමාජ ප්‍රශ්නයන්ය.්‍

වෙනත් කර්මාන්තයකරෑ් හරි ඕනෑ
“දැන් බලන්න කන්තලේ සීනි කර්මාන්ත ශාලාව වහලා කොච්චර කල්ද, ඒක ආයෙත් පටන් ගත්තාද? නැහැනේ. කන්තලේට ඉතුරු වෙලා තියෙන මේ වගේ තැන් වැහිලා යනවා නම් අපේ මිනිස්සුන්ට රක්ෂා දෙන්නේ කවුද? දැන් ගඟේ වැලි ගොඩ දාන්න බැහැ. වැස්ස නිසා ගඩොල් කපන්න බැහැ. හැමෝටම කුඹුරු නැහැ. එතකොට මේ මිනිස්සු ජීවත්වෙන්නේ කොහොමද? මේක ලොකු ගැටලුවක්. ඩෝල් එකේ මෙතන වැඩ කරන ලොක්කෝ කියන්නේ වහන්න හේතුව ඉඩම් ප්‍රශ්නයක් කියලා. මේ ඉඩම් මහවැලියට අයිති ඉඩම්. එහෙනම් ප්‍රශ්නය ඇති කරලා තියෙන්නේ ආණ්ඩුවද? මෙතන කවුද බොරු කියන්නේ? ප්‍රදේශයේ ජනතා නියෝජිතයෝ විදිහට මේවා අපි දැනගන්න ඕනෑ. මම රජයට කියන්නේ ඩෝල් එක මෙතැනින් යනවා නම් වෙන ආයතනයක් හරි ගෙනල්ලා මේ මිනිස්සුන්ගේ අනාගතේ සුරක්ෂිත කරන්න කියලා. මෙහෙම කර්මාන්තශාලා ගොවිපොළ වහලා දාන්න ගියොත් අපි අනාථයි.”
මේ හඬ කන්තලේ හිටපු ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වන කපිල අතුකෝරල මහතාගේය. ඔහු කියන කතාව ඇත්තය. කන්තලේ සීනි කර්මාන්ත ශාලාව දේශපාලන කූඹීන් කා දමා දැන් සෑහෙන්න කාලයක් ඉක්ම ගොසිනි. රැකියා උත්පාදනය ගැන කටමැත දොඩවන ආණ්ඩුව දැනට තිබෙන රැකියා ප්‍රමාණය සුරක්ෂිත කරගන්නට මහන්සි විය යුතුය.
කන්තලේ මෙම ගොවිපොළ වසා දැමීම පිළිබඳ කතාව අවසානයට අපට කියන්නට ඇත්තේ 100කට ආසන්න මෙම මෑන්පවර් (පිනර්කල් ඉංජිනියරින් සමාගමේ) සේවකයන් විශාල ප්‍රමාණයක් දින 180කට වැඩි කාලයක් මෙම ගොවිපොළ තුළ සේවය කර ඇති බවය. එනිසා මොවුන්ගේ ඉල්ලීම වන සාධාරණ වන්දි මුදල ලබාදීමට අදාළ ආයතනය පියවර ගත යුතු බවය. ඒ සඳහා රජයේ කම්කරු බලධාරීන් ද තමන්ගේ අවධානය මේ වෙත යොමු කළ යුතු බවය. අවසානයේ මේ වැසී යන ගොවිපොළ වෙනුවට වෙනත් රැකියා ස්ථානයක් හෝ මේ සේවකයන් සඳහා විවෘත කරගැනීමට රජය යම් මැදිහත් ක්‍රියාකාරීත්වයක් දැක්විය යුතු බවය.■