චීන ව්‍යාපෘති හා ඉඩම්


chaina

වික්ටර් අයිවන්

පෝට් සිටි චීන ව්‍යාපෘතිය මහින්ද රාජ පක්ෂ පාලන කාලයේදී මහත් විවාදයට හා විවේචනයට හේතුවී තිබුණු ව්‍යාපෘතියක් විය. එසේම ඒ ව්‍යාපෘතිය අසල්වැසි ඉන්දියාවේද බලවත් සැකයට හේතුවී තිබුණු බව පෙනෙන්නට තිබුණි. මැතිවරණ කාලයේදී එය මහජනයාට පෙනුණේ මැතිවරණයෙන් රාජපක්ෂ පාලනය පරාජය වුවහොත් එය නතර කරන්නට යන ව්‍යාපෘතියක් වශයෙනි. රාජපක්ෂ පාලනය පරාජය වීමෙන් පසු එම ව්‍යාපෘතියේ වැඩ තාවකාලික ලෙස නතර කරන්නට සිදුවුවත් එම ව්‍යාපෘතියේ චීනය සමඟ ඇතිකරගෙන තිබූ ගිවිසුමේ සුළු ප්‍රතිසංස්කරණ කිහිපයක් ඇතිකර ගැනීමෙන් පසු එම ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් බවට පත්විය.
එම ව්‍යාපෘතියේ හොඳ නරක කුමක් වුවත් එය ඇහැට කනට පේන දැවැන්ත ව්‍යාපෘතියක් විය. ඒ සඳහා චීනය ලොකු ආයෝජනයක්ද කර තිබුණි. ව්‍යාපෘතිය නතර කරන්නේ නම් අලාභය චීනයට ගෙවිය යුතුව තිබුණු අතර ව්‍යාපෘතිය නතර කොට අලාභ ගෙවන තැනකට ගියේ නම් එය රටට දැරිය නොහැකි ලොකු බරක් වන්නට ඉඩ තිබුණි. අනෙක් අතට කිසියම් ප්‍රමාණයකට ඉදිකර තිබූ දූපතට කුමක් කරන්නේද කියන ප්‍රශ්නයද විසඳා ගැනීමට අමාරු ලොකු ප්‍රශ්නයක් බවටද පත්ව තිබුණි. අවසානයේ චීනයට ලැබෙන පංගුව තරමක් කුඩා කොට චීනයට දෙන සින්නක්කර අයිතිය අවුරුදු 99 බද්දක් බවට පත් කොට ව්‍යාපෘතිය පවත්වාගෙන යන්නට යහපාලන ආණ්ඩුවට සිදුවිය. අවුරුදු 99 බදු අයිතිය හා සින්නක්කර අයිතිය අතර ලොකු වෙනසක් ඇත්තේයැ’යි කිව නොහැකිය. අනූ නව අවුරුදු බද්දකට ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් එම දීර්ඝ බදු කාලය අවසන් වීමෙන් පසු ලංකාවට ලැබෙනු ඇතැයි ස්ථිර ලෙස කිව නොහැකි ප්‍රීමා සමාගමේ තිරිඟු පිටි ව්‍යාපෘතිය ආරම්භ කළේද විසි අවුරුදු කාලයක් සඳහාය. එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව අක්කර 28ක ඉඩම එම සමාගමට ලබාදෙන ලද්දේ නොමිලේය. ත්‍රිකුණාමලයේ වරායේ ජැටියද නොමිලේ පරිහරණය කිරීමේ අයිතියද සමාගමට ලබාදෙන ලදි. ඉතා වැදගත් දේ ප්‍රීමා සමාගම සමඟ ඇතිකර ගන්නා ලද ගිවිසුමෙන් තිරිඟු පිටි හා ඇට ආනයනය කිරීමේ ඒකාධිකාර අයිතිය සමාගමට ලබාදීමය.
එහෙත් ඇති කරගත් ගිවිසුමේ කොන්දේසිවලට අනුව විසි අවුරුදු කාලය සම්පූර්ණ වීමෙන් පසුව ප්‍රීමා ව්‍යාපෘතිය ලංකාවට හිමිවූයේ නැත. 1986දී අවුරුදු 25කට බලපාන තවත් විසි අවුරුදු කාලයක් සඳහා ගිවිසුමක් ඇතිකර ගන්නා ලද අතර එම ගිවිසුමේ කාලය සම්පූර්ණ වීමෙන් පසු 2003 වසරේදී ඇතිකර ගන්නා ලද ගිවිසුම අනුව ත්‍රිකුණාමලයේ තිබූ ෆැක්ටරිය සමඟ අක්කර 28 ඉඩමද, කෝට්ටේ තිබූ අක්කර හතරක ඉඩම හා එහි තිබූ ගොඩනැගිලිවලද අයිතිය ප්‍රීමා සමාගමට ලබාදෙන ලදි.
සිංගප්පූරුව වැනි කුඩා රටක සමාගමක් සමඟ ඇති කරගත් කෙටිකාලීන ගිවිසුමක් අවසන් වූයේ ඒ ආකාරයට නම් චීනය වැනි බලගතු රටක් සමඟ ඇතිකර ගන්නා දීර්ඝකාලීන ගිවිසුමක් අවසන් වනු ඇත්තේ කෙසේදැයි සිතාගැනීමට අමාරු නැත.
මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී හම්බන්තොට ඉදිකෙරුණු ආර්ථික වශයෙන් ඵලදායී නොවන නාස්තිකාරී ව්‍යාපෘතීන් දෙකක් ලෙස සැලකිය හැකි වරාය හා ගුවන් තොටුපොළ පිළිබඳ ප්‍රශ්නය විසඳාගන්නට සිදුවූයේද පෝට් සිටි ප්‍රශ්නය විසඳා ගැනීමට සිදුවූ ආකාරයටත් වඩා රටට අනාගතයේදී ලොකු ප්‍රශ්න ඇති කිරීමට හේතුවිය හැකි ආකාරයටය.
වරාය හා ගුවන්තොටුපොළ තැනීම සඳහා දැවැන්ත වියදමක් දරා තිබුණු අතර ඒ සියල්ල කර තිබුණේ චීනයෙන් ණයට ලබාගන්නා මුදල්වලිනි. ව්‍යාපෘති දෙකම ආදායම් උපයා දෙන ව්‍යාපෘති නොවූ අතර ඒවා පවත්වාගෙන යෑම සඳහා ලොකු වියදමක් දරනවාට අමතරව ලබා ගත් ණය හා පොලිය ගෙවීම වෙනුවෙන් රටට ඔරොත්තු නොදෙන තරමේ ලොකු වියදමක් දැරිය යුතු තත්ත්වයකට පත්ව තිබුණේය. අවසානයේ ඒ ප්‍රශ්නය විසඳා ගැනීමට සිදුවූයේද චීනයට හම්බන්තොටින් අක්කර 15,000ක් තරම් ඉඩම් ප්‍රමාණයක් ලබාදී එම ව්‍යාපෘති දෙකද වඩා විශාල චීන ව්‍යාපෘති දෙකක් බවට පත්කිරීමෙනි.
ජේ.ආර්. ජයවර්ධන පාලන කාලයේදී ලංකාවට ඉන්දියාව සමඟ ලොකු ගැටුමක් ඇතිකර ගන්නා තැනකට යන්නට සිදුවූයේ රට තුළ ඇමරිකන් බලපෑම වර්ධනය කිරීමට හේතුවීයැයි කියන මීට වඩා සුළු ප්‍රශ්නවලටය. ජේ.ආර්. ජයවර්ධන කල්පනා කළේ ඇමරිකාව ලෝක බලවතා වන නිසා ඇමරිකාව සමඟ කුමක් කළද ඉන්දියාවට කළ හැකි කෙංගෙඩියක් නැති බවය. එහෙත් වැඬේ අවසන් වූයේ ඉන්දියාව ඉදිරියේ දණින් වැටෙන තැනකට යෑමට සිදුවීමෙනි. ජනාධිපති ජයවර්ධනට ප්‍රකෘති සිහිය ලැබුණේ ඉන්දියාව ලංකාවේ ගුවන් සීමාව උල්ලංඝනය කරමින් යාපනේට ගුවනින් පරිප්පු දැමූ අවස්ථාවේදීය. ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන කවර දෙයක්වත් කරන්නට ලංකාව ඉඩ නොදෙන බවට දෙරට අතර ජාත්‍යන්තර ගිවිසුමක්ද ඇතිකර ගන්නා ලදි.
පෝට් සිටි ව්‍යාපෘතියටත් වඩා හම්බන්තොට චීන ව්‍යාපෘතිය ඉන්දියාවේ සැකයට හා කනස්සල්ලට හේතු නොවේද? ඒ නිසා විය හැකි දේවල් මොනවාද? අප පහසුවෙන් ගැලවිය නොහැකි උගුලක සිරවී සිටි බව සත්‍යයකි. හම්බන්තොට වරාය හා ගුවන්තොටුපොළ ඵලදායී ව්‍යාපෘතියක් බවට පත්කර ගත යුතුව තිබුණි. එසේ නොවෙතොත් ඒ සඳහා ගෙවිය යුතු ණය වාරිකවල තරම තිබුණේ ලංකාවට ඉසිලිය නොහැකි තත්ත්වයකය. එහෙත් ලංකාව එම ප්‍රශ්නය විසඳාගත් ක්‍රමය නිවැරදිද? අවසානයේ සිදුවූයේ අසුවී තිබුණු උගුලේ රැහැනෙන් ගැලවෙනවා වෙනුවට රැහැන තදකර ගැනීම නොවේද?
අප චීනය සමඟ ගැටුම් ඇතිකර ගන්නා තැනකට හෝ චීනය සතුරකු බවට පත් කරගත යුතු නැත. චීනය සමඟ තිබෙන මිත්‍රත්වය ආරක්ෂා කරගත යුතුය. ඒ සමඟ භූදේශපාලන යථාර්ථයන්ද සැලකිල්ලට ගත යුතුය. ලංකාව පිහිටා තිබෙන්නේ චීන කට ළඟ නොව ඉන්දියානු කට ළඟය. ඉන්දියාව අපේ කලාපයේ කලාපීය බලවතාය. ඊටත් වඩා අපේ ළඟම අසල්වැසියාය. ඉන්දියාව ලංකාව කෙරෙහි අවිශ්වාසයෙන් බලන තත්ත්වයක තබාගැනීම රටේ වර්තමානයට පමණක් නොව අනාගතයටද හොඳ නැත. පෝට් සිටි ව්‍යාපෘතියේ අක්කර ගණනක් චීනයට ලබාදීමේ සිද්ධිය දෙස ඉන්දියාව බලන ලද්දේ සැකයෙනි. වරායක් හා ගුවන්තොටුපොළක් ද ඇතුළත් හම්බන්තොට අක්කර 15,000ක චීන ව්‍යාපෘතිය ඉන්දියාවට පෙනෙනු ඇත්තේ කෙසේද?
ඉන්දියාව ලංකාවේ උතුරේ බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම්වලට කිරි පොවන ලද බව සත්‍යයකි. ඒ තත්ත්වයට ඉන්දියාව තල්ලුවීම කෙරෙහිද ලංකාවේ මෝඩ ක්‍රියාකාරකම් බලපෑවේය. අවසානයේ ඉන්දියාව ඒ වරද නිවැරදි කළේය. අපද ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන දේවල් නොකරන බවට එකඟවීම මගින් අප අතින් ඉන්දියාවට සිදුවූ වරදද නිවැරදි කරගන්නා ලදි. අවසානයේ ඉන්දියාව එල්ටීටීඊ බෙදුම්වාදී ත්‍රස්තවාදී ව්‍යාපාරය පරාජය කිරීම සඳහා උපරිම මට්ටමකින් ලංකාවට ආධාර කළේය. ඉන්දියාව එහිදී අපට අවහිර කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නම් අපට එම අභ්‍යන්තර යුද්ධය අවසන් කිරීමට හැකිවන්නේ නැත. නොවැළැක්විය හැකි හේතු නිසා හෝ අප නැවත ගමන් කරමින් සිටිනුයේ වඩා විශාල ආකාරයකින් පරණ තැනටමය. එහි කෙළවර කුමක් විය හැකිද?
ලංකාවේ පිහිටීම අනුව ගත් කල ලංකාව කවර බලවතකු සමඟ වුවද කල්ලි ගැසී ක්‍රියාකරන තැනකට යෑම රටේ යහපතට හේතුවන්නේ නැත. ඉන්දියාව සම්බන්ධයෙන් අපේ ප්‍රතිපත්තිය විය යුත්තේ ලංකාවේ ළඟම අසල්වැසි බලවතා ලෙස සලකා සමීප මිත්‍රත්වයක් පවත්වාගෙන යෑමය.
එසේම ලංකාව වැනි පුංචි රටක් අක්කර දසදහස් ගණනින් විදේශ සමාගම්වලට ඉඩම් ලබාදෙන ප්‍රතිපත්තියක් රටේ යහපතට හේතුවන්නේ නැත. එවැනි දේවල් කරන විට අප ලංකාවේ වර්තමානය ගැන පමණක් නොව අනාගතය ගැනද බැරෑරුම් ලෙස කල්පනා කළ යුතුය. ලංකාව ලොකු ඉඩම් අතිරික්තයක් තිබෙන රටක් නොව වනාන්තර සඳහා තිබිය යුතු අවම ඉඩම් ප්‍රමාණය අත්හළ විට අලුතෙන් පරිහරණයට අතිරේක ඉඩම් නැති තත්ත්වයක තිබෙන රටකි.
පූර්ව නූතන යුගයේදී ලංකාවේ පුද්ගලික ඉඩම් හිමිකමක් නොතිබුණි. සියලු ඉඩම්වල අයිතිකරුවා ලෙස සැලකුණේ භූපති ලෙස සැලකුණ රජතුමාය. රජකුගේ ඉඩම් ප්‍රදාන සිදුවූයේ විධිමත් ආකාරයකට නොව හිතුවක්කාරී ආකාරයකටය. රජවරු විහාර හා දේවාලවලට අක්කර දහස් ගණනින් ඉඩම් පවරා දුන්නෝය. මහනුවර, මාතලේ, කුරුණෑගල, කෑගල්ල, රත්නපුරය හා බදුල්ල යන ප්‍රදේශ විශාල වශයෙන් විහාර හා දේවාලගම් පැතිර පැවතුණු ප්‍රදේශ විය. එකල මුළු බුත්තල ප්‍රදේශයම තිබී ඇත්තේ කතරගම දේවාලයටය. මිහින්තලේ සිට පදිවෙල් දක්වා පැතිරුණු විශාල ඉඩම් යායක් මිහින්තලේ විහාරයට අයත්ව තිබුණි. ලංකාව ධනේශ්වර ක්‍රමයකට පරිවර්තනය වීමෙන් පසුව රාජකාරී ක්‍රමය යටතේ පුද්ගලයන් භුක්ති විඳි ඉඩම් ඒවාහි පදිංචි පුද්ගලයන් සතු පුද්ගලික ඉඩම් බවට පත්වූ අතර ඉඩම් විකිණිය හැකි බදු දිය හැකි දෙයක් බවටද පත්විය.
බි්‍රතාන්‍ය පාලන යුගයේදී අක්කර ලක්ෂ ගණනක් රජයේ ඉඩම් වාණිජ වතු වගාවන් සඳහා වතුකරුවන්ට විකුණන ලදි. යුරෝපය වතු හිමියන් පමණක් නොව දේශීය පොල්වතු හිමියන්ට ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන දුප්පත් මිනිසුන්ගෙන් හා වෙනත් මිනිසුන්ගෙන් ඉඩම් මිලදී ගැනීම නිසා 1910 පමණ වන විට ග්‍රාමීය සමාජයේ ලොකු ඉඩම් හිඟයක් ඇතිවන තත්ත්වයක් ඇතිවිය. තෙත් කලාපයේ ගොවිතැන් කරන මිනිසුන්ගෙන් සැලකිය යුතු පිරිසකට වගා කිරීමට ප්‍රමාණවත් තරම් ඉඩම් නොතිබුණි. මෙම තත්ත්වය සොයාබැලීම පිණිස බි්‍රතාන්‍ය ආණ්ඩුවට 1929දී ඉඩම් කොමිසමක් පත්කිරීමට සිදුවිය. මහා පරිමාණයෙන් විදේශීය හා දේශීය ධනවතුන්ට ඉඩම් පැවරීමේ ප්‍රතිපත්තිය අවසන් කොට රජයේ ඉඩම් ගම් පුළුල් කිරීමේ හා අනාගත අවශ්‍යතාවන් සඳහා සංචිතයක් ලෙස තබාගත යුතු බව ඉඩම් කොමිසම රජයට නිර්දේශ කළේය. එම ප්‍රතිපත්තිය 1935 ඉඩම් සංවර්ධන ආඥා පනතට ඇතුළත් වූ අතර එතැන් සිට 1977 දක්වා රජයේ ඉඩම් ප්‍රතිපත්තිය එය විය. 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ පනත මගින් ඉඩම් අයිතිය සීමා කළේද එම ප්‍රතිපත්තියට අනුකූලවය. එම නීතියෙන් අපේක්ෂා කළේද පවරා ගන්නා ලද ඉඩම් අනාගත අවශ්‍යතාවන් සඳහා සංචිතයක් ලෙස පවත්වාගෙන යෑමය. එහෙත් 1977න් පසු එසේ පවරා ගන්නා ලද ඉඩම් රටේ අනාගත අවශ්‍යතාවන් නොසලකා දේශ පාලනඥයන් කොල්ලකන තැනකට ගියේය. ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයෝද ආණ්ඩුවට හිතවත් නිලධාරීහුද ඒ මගින් වතුකාරයන් බවට පත්වූහ.
කර්මාන්ත ඇති කිරීම සඳහා ඉඩම් ලබාදීම අවශ්‍ය වුවත් දේශීය හෝ විදේශීය සමාගම්වලට අක්කර දහස් ගණනින් ඉඩම් පවරා දෙන ප්‍රතිපත්තියක් ඉඩම් විෂයෙහි ලොකු ප්‍රශ්න ඇති කරන තත්ත්වයක් නැවත ඇති කරනු නොවැළැක්විය හැකිය.■