ක‍්‍රීඩාවේ ලිංගික සෙල්ලම

 

ක්‍රීඩාවේ ලිංගි කත්වය ගැන කතා කිරීම මේ මොහොතේ මාතෘකාව වී ඇත. මෙරට කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ලිංගික අල්ලස් චෝදනාව මෙම කතාව කරළියට ඒමට හේතුවිය. එය පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතත් කතාබහ වූ අතර ඒ ගැන සෙවීමටත් සොයා බලා පියවර ගැනීමටත් කඩිනම් උත්සාහයක් ගන්නා බව ඊට පත් කරන කමිටුවලින් පෙනේ. එහෙත් මෙරට ක‍්‍රීඩාව තුළ පත් කළ කමිටු ගැන සොයන්නටද වෙනම කමිටුවක් පත් කළ යුතු තත්ත්වයක් පැන නැගී ඇත.

ක‍්‍රීඩාවේ ලිංගික අඩන්තේට්ටම් සිදුවීම අද ඊයේ සිදු වූවක් නොවේ. එසේම එය මෙරටට පමණක් සීමා වූවක්ද නොවේ. මෙය ජාත්‍යන්තරය තුළ ජාත්‍යන්තර මට්ටමෙන්ම සිදුවන්නකි.
කාන්තා ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවන්ට ලිංගික බලපෑම් සිදුවී නම් එවැනි යෝජනා එළිබැස්සේ නම් පිට්ටනියට බහින්නට ඇති සුදුසුකම් මෙට්ටයකට වැටීම නම් එය බරපතළය. එහෙත් මේ කමිටු වාර්තා අවසානයේ එවැනි කිසිවක් සිදුවී නැතැ’යි පැවසුවහොත් එතැනින් සියල්ල අහවරවේද? මෙවැනි අවැඩක් සිදුවෙතැ’යි කී ක‍්‍රීඩිකාවන්ට කුමක් වේද? කාන්තා ක‍්‍රිකට් පිලට මේ චෝදනාව එල්ල වන විට පිටියට බහින සැම කාගේ හෝ ගොදුරුවේයැ’යි උපකල්පනය කළ යුතුද? මෙහි ඇති භයානකකම හැම අංශයෙන්ම පීඩාවට පත්වනුයේ එම ක‍්‍රීඩිකාවන් සියල්ලම වීමය. පීඩනයට ලක්වූ නොවූ සියල්ල මේ මොහොතේ එහිම ගොදුරු වී ඇත. ක‍්‍රීඩා අමාත්‍යවරයා මේ කතාව අසා විලිබියෙන් රත්පැහැ වන්නේ නම් කදිම පිළියම මෙවැනි දෑ සිදුවී නැතැ’යි රට්ටු ඉදිරියේ පාරම්බෑමය. එවිට එවැන්නක් ඇතැ’යි කී ක‍්‍රීඩිකාවන් ඉබේටම මානසික රෝගීන් වන අතර එවැනි අවශ්‍යතා සපුරා ගන්නට දත කෑ නිලධාරි පැළැන්තිය ජය පැන් බොන තත්ත්වයක් උදාකර ගන්නවා නියතය. එබැවින් මෙවැනි ප‍්‍රශ්නවලදී ක‍්‍රියාකළ යුත්තේ මීට වඩා සංයමයෙන් බව අපගේ හැඟීමය. ඒ අතර කිවයුත්ත නම් අපගේ හැඟීම මෙවැන්නක් සිදුවන බවය. එහෙත් මේවා ඔප්පු කිරීම ලේසි නැති බවය. කාන්තා ක‍්‍රිකට් භාර පිරිස කෙසේ හෝ අවසානයේ ඇඟ බේරා ගන්නවා නියතය.

මෙය ක‍්‍රිකට්වලට පමණක් පොදු වූවක් නොවේ. හැම ක‍්‍රීඩාවකම දැකිය හැකි ලක්ෂණයකි. මලල ක‍්‍රීඩාව විශේෂිතය. අද සාන්තුවරයන් වී සිටින බොහෝ පුහුණුකරුවන් පුහුණු පියවරක් ලෙස ක‍්‍රීඩිකාව ඇඳට ගත්තා පමණක් නොව ඇතැම්හු අඹුවන් ලෙසද තබා ගත් ඉතිහාසයක් පවතී. එය හෙළිදරව් නොවන්නේ හද්දා පිටිසරින් කොළඹට එන මේ ක‍්‍රීඩිකාවන් විශ්වාස කරන එකම රැුකවරණය තම පුහුණුකරුවන් බව ඔවුන් විශ්වාස කරන නිසාවෙනි. අදටත් දියගම රති ක‍්‍රීඩාවට කාමර පවත්වාගෙන යන මලල ක‍්‍රීඩා බලධාරිහු සිටිති. ඒවාට හූමිටි තබන උදව් කරන සෙසු නිලධාරීන් ඒ හරහා තම තම අවශ්‍යතාවන් සපුරා ගනිති.

වරක් සුනිල් ගුණවර්ධන මහතා එකල ඔහුගේ ගෝලයන් වූ රංග විමලවංශ, රොහාන් ප‍්‍රදීප් වැනි ක‍්‍රීඩකයන් පිස්සු නටන විට කීවේ ‘ක‍්‍රීඩකයන් එහෙම තමයි, ක‍්‍රීඩකයන් දඩබ්බරයන් බවයි.’ එහෙත් අද ආපසු හැරී බලන කල ඇතැම් අය අදටත් හිරබත්කමින් සිටිති. එසේ වූයේ පුහුණුකරුවන් දඩාවතේ යද්දී සෙසු ක‍්‍රීඩකයන් ඉබාගාතේ ගිය බැවිනි.
ක‍්‍රීඩාවක විනයක් කතා කළයුත්තේ නිලධාරීන්ට එරෙහි වන විට, ක‍්‍රීඩාවේ අඩුපාඩු පෙන්වන විට නොව පහළ සිටම ඉහළ දක්වාය.
බැඞ්මින්ටන් ක‍්‍රීඩාවත් එවැනි අතීත අමිහිරි සිද්ධි තොගයක තෝතැන්නකි. පිහිනුම් ක‍්‍රීඩාව අරබයාද මේ ප‍්‍රශ්නය එහෙම්මය. ටේබල් ටෙනිස් ක‍්‍රීඩාවේ ලිංගිකත්වයට එරෙහිව කතා කළ ක‍්‍රීඩිකාවන් අවසානයේ එහිම ගොදුරු වූයේ අද ක‍්‍රිකට් පළහිලව්වට මෙන්ම අවසානයේ කතා කළ වරදට ඔවුන්ම වැරදිකරුවන් වූ බැවිනි.

මෙය මොනතරම් වහන්තරාවක් වී ඇත්ද යත් ජිම්නාස්ටික් පිහිනුම් වැනි ක‍්‍රීඩාවල තම දරුවන්ට තැනක් ලබාදීමට මව්වරුන් කැපකිරීම් කරන අවස්ථා මෙරට ඕනෑතරම් පවතී. මේවා හිතලූ නොවේ. ඊයේත් අදත් සිදුවූ දෑය. හෙටත් සිදුවන දෑය. මලල ක‍්‍රීඩිකාවන් කී දෙනෙක් ලිංගික ගොදුරු වීද?
එස්.බී. දිසානායක යුගය කතා කළහොත් එය මොනතරම් හිරිකිතද? බැඞ්මින්ටන් ක‍්‍රීඩාව තුළ මේවා තොග මට්ටමෙන් සිදුවූයේ මෑත භාගයේදීය. එහෙත් ඒ පිළිබඳ පැමිණිලි නැත. පැමිණිලි නැති ලිංගික ගනුදෙනු ක‍්‍රීඩාවේ කොතෙක් වේද? රට සවාරි, මුදල් මෙන්ම බොහෝ වියපත් බඹරු අදටත් මේ සංගම් අත් නෑර ඒවායේ ලගින්නට මෙයද එක් හේතුවක් වී ඇත. එවන් වටාපිටාවක ලිංගික අඩන්තේට්ටම් සිදුවන්නේදැ’යි කමිටු පත්කිරීමම අයෝග්‍යයය. කමිටු පත් කළ යුත්තේම ලිංගික අඩන්තේට්ටම් සිදුවන බැවින් ඊට පිළියම් සෙවීමටය.

දැල්පන්දු ක‍්‍රීඩාව කාන්තාවන්ට පමණක් සින්න වී ඇති නිසාත් ඒවායේ නිලධාරි තැන් කාන්තා භාරයේ නිසා මෙවැනි ගැටලූ නැතැ’යි කවුරුන් හෝ සිතනවා නම් එයද මුලාවකි. ඒවායේ ඊට සරිලන වැඩ වේ. එවැනි චෝදනාද එමට පසුගිය කාලයේ සිදුවිය. එහෙත් මේ සියල්ල තරග උණුසුම මෙන්ම කෙමෙන් මතුවී එසැණින් පහව යන්නේය. ඒ හරහා සිදුවන නියත දෑ නම් අවසානයේ බොහෝ අය ඒවායේම ගොදුරු වී ඒවාටම අනුබල දී විශ‍්‍රාම යෑමය. ක‍්‍රීඩා ඉතිහාසය තුළ මෙවැනි උදාහරණ එමටය.

එබැවින් කාන්තා ක‍්‍රිකට් ප‍්‍රශ්නය හරහා වටහාගත යුත්තේ මෙය අලූත් සෙල්ලමක් නොවන බවය. බොහෝ සංගම්වල මේ තත්ත්වය පොදුය. රග්බි ක‍්‍රීඩාවෙහි පවා ඇතුළාන්තයේ ඇත්තේ බියකරු චිත‍්‍රය. ඒ හරහා ක‍්‍රීඩාවට සමුදුන් ළමෝ එමට වූහ. කොතරම් දක්ෂ වුවත් ක‍්‍රීඩාවෙන් ළමුන් ඉදිරියට යවනවාද යන්න සියවරක් හිතන පවුල් අදටත් එමටය. ක‍්‍රීඩිකාවන්ගේ කාමර දොරකඩ මහ ? තුවා පිටින් සිටින නිලධාරීහු අදටත් ක‍්‍රීඩා සංගම්වල නිලතල දරති.

ක‍්‍රීඩාවේ ලිංගිකත්වය ගැන කතා කරන්නේ නම් එය දෙකක් නොව එකක් ලෙස ගමන් කරන බව කිව යුතුය. ඇතැම් ක‍්‍රීඩිකාවන්ද නිලධාරින්ට හසුවී පසුව තමාගේ වැඩ සියල්ල අනෙක් අය අහකට කර කරගන්නා අවස්ථාද එමටය. එවන් වටාපිටාවක මේ කමිටු සේවිය යුත්තේ තහනම් උත්තේජක මෙන්ම මේ තහනම් ආධිපත්‍යයද අවම හෝ කරන වටාපිටාවක්ය. අප ලැජ්ජා විය යුත්තේ මෙවැනි කතා රට්ටු දැනගන්නවාට නොව ඒවා ඔහේ වන්නට දී ඉන්නම් වාලේ ඉන්නවාටය. කාන්තා ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවන් ලිංගික අල්ලස්වලට ගොදුරු වී ඇතැ’යි සැකයට පරීක්ෂණයක් පැවැත්වේ. එම පරීක්ෂණයේ ප‍්‍රතිඵල එවැන්නක් නැතැ’යි කී හොත් අප ඒ ගැන සැක හිතන්නේ ඇයි? සැක කළයුත්තේ එය එසේ නොවුවහොත්ය. මන්ද මේ බොහෝ අය අඩු වැඩි වශයෙන් මේවායේ කොටස්කරුවන් වන බැවිනි.