රාවය

යක්ෂයා සහ දෙවියා රැගෙන කෝලක්කාර පංගුවට නටන මහබඹා

යක්ෂයා සහ දෙවියා රැගෙන කෝලක්කාර පංගුවට නටන මහබඹා

කස පුපුරනවා …… ගිනි බෝල ඇස් අග්ගිස්සේ ද`ගර දානවා…. බෙර තාලයට අලි ඇත්තු සෙලවෙනවා. ගිගිරි බැඳි දෙපා මහපොළොවේ වදින හ`ඩ …. බෙර නාදය…. පෙරහැර ළ`ගම එනවා කියලා කියනවා. කසකරුවෝ, ගිනිබෝල පසුකළාම, මේ එන්නේ මහබඹා.. සපරගමු සමන් දේවාලයේ මහපෙරහැරට විතරක් වෙන්වුණ මහබඹා තමයි මේ එන්නේ. මුහුණු දෙකයි. අයෝමය සිරුරයි. එක් අතක කඩුවක්. අනෙක් අතේ මල් මිටක්. එක් පසෙක යක්ෂ මුහුණක් .. අනෙක් පසේ දේව මුහුණක්.

සමන් දේවාල පුරාණය

සපරගමු මහසමන් දේවාලයේ අතීතය සොයාගෙන ගියාම නතර වෙන්නේ දඹදෙණි යුගයේ, ආරිය කාමදේව කියන ඇමතියා තමයි සපරගමුවට මැණික් ගරන්න ආවේ. නැවක් පිරෙන්න මැණික් ලැබුණොත් දේවලයක් බඳින්නම්. තවත් බොහෝ දේ කරන්නම් කියලා මේ ඇමතියා සමන් දෙවියන්ට භාර වුණා. මැණික් ලැබුණා. ඉතින් දෙවොල ඉදිකළා. සපරගමු මහසමන් දේවාලය අද තියෙන මේ බිමේ එදා තිබුණ පන්සලක්. ඒකේ නම තමයි සමන් වෙහෙර. සමන් වෙහෙර ආරියකාමදේව කියන ඇමතියා නිසා සමන් දෙවිදුන්ට කැපවුණ දේවාලයක් වුණා.

පෙරහැර

දළදා මාළිගාවට කතරගම දේවාලයට වගේම සපරගමු සමන් දෙවොලටත් පෙරහැර චාරිත‍්‍රයක් තියෙනවා. ඇසළ මංගල්‍ය නැකතට කපක් සිටුවලා මේ පෙරහැර අරඹනවා. දිය කැපීමෙන් අවසන් කරනවා. මේ පෙරහැර මංගල්‍ය රටේ අනෙකුත් පෙරහැර මංගල්‍ය එක්ක සසඳනකොට සුවිශේෂයි. සපරගමු සමන් දෙවොලේ පෙරහැර මංගල්‍ය ගැන මුලින්ම ජේ.එම්.බී බණ්ඩාර මහත්තයා කතා කළා..

සපරගමු සමන් දේවාලයේ පෙරහැර චාරිත‍්‍රයක් එක්ක බෞද්ධ වත්පිළිවෙත් බොහෝමයක් සම්බන්ධයි. පෙරහැර පටන් ගන්න හාමුදුරුවෝ වස් වසන්න ඕන. ඇසළ මහට තමයි වස් වසන්නේ. එතකොට ඇසළ මහින් දවසක් වගේ තියලා කප සිටුවනවා. නිකිණි පුර පෝයට තමයි පෙරහැර අවසන් කරන්නේ. සාමාන්‍යයෙන් කුඹල් පෙරහැර, විදී පෙරහැර, මහපෙරහැර දවස් පහ ගානේ දවස් පසළොසක් තමයි තියෙන්නේ. ඒත් නැකතට මේ දින ටිකක් එහෙට මෙහෙට වෙන්න පුළුවන්. මහපෙරහැරේ දවස් පහ වෙනස් වෙන්නේ නැහැ. කුඹුල් පෙරහැර විදී පෙරහැර දින ටිකක් එහෙට මෙහෙට වෙනවා. මේ විදිහට ආරම්භ වෙන පෙරහැරේ මහබඹා නටන්ගේ මහපෙරහැරේ විතරමයි. කසකරුවන්, ගිනිබෝල කරකවන්නන් පෙරටුවෙන් මහ බඹා පෙරහැරට අපූරූ හැ`ගීමක් එකතු කරනවා. එක අතක කඩුවක්. අනෙක් අතේ මල් මිටක්…..දේව මුහුණක් යක්ෂ මුහුණක්. මහබඹා සරනවා….

මහබඹා කෝලම

සපරගමු මහ සමන් දේවාලයේ පෙරහැරට විතරක්ම සුවිශේෂ වුණ මහබඹා ගැන කතා ගොඩක් තියෙනවා. මහබඹාට මුහුණු දෙකයි වාගේම සපරගමුවේ මිනිස්සුන්ටත් මුහුණු දෙකයි කියලා කියනවා. ගොඩක් දෙනෙක් කියන්නේ මේක බොරු කතාවක් කියලා. මහබඹා කියලා කියන්නේ සීතාවක රාජසිංහ රජ්ජුරුවෝ. එතුමා හොඳට හොඳයි නරකට නරකයි ඒක තමයි මුහුණු දෙකෙන් කියන්නේ. තවත් කතාවක් මහබඹා ගැන. සපරගමු නැටුමේ පරිපාකයට පැමිණි අබේරත්න මහත්තයා නම් කියුවේ වෙනස් කතාවක්.
රාවණාට හිටියා කුම්භකරණ කියලා සහෝදරයෙක් එතුමාට මහ බා කියලත් කියනවා. එතුමාට තමයි සපරගමුව අස්වැද්දීමේ වගකීම පැවරුවේ. මහ බා සපරගමු අඩවියේ එයාගේ බලපරාක‍්‍රමය පාලා ගොවිතැන කළා. මේ කියන මහ බා තමයි මහබඹා විදිහට සපරගමු සමන් දේවාලයේ පෙරහැරට එකතු වෙලා තියෙන්නේ. මේක එක මතයක්. අනෙක තමයි සීතාවක රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලයේ දෙල්ගමු විහාරයේ දළදාව ස`ගවලා තිබුණනේ. ඒ කාලේ රජ්ජුරුවෝ දළදාව සමන් දෙවොලට වඩම්මලා දළදා පෙරහැර කළා. මේ දළදා පෙරහැරේ රජ්ජුරුවෝ ගියා. රජ්ජුරුවෝ නැති දවසට මහ බඹා පෙරහැරේ ගෙනිච්චා. එතකොට මහ බඹා කියලා කියන්නේ සීතාවක රාජසිංහ රජ්ජුරුවන්ගේ අණු රූපයක්. සීතාවක රාජසිංහගේ චරිතය ගත්තහම හොඳට හොඳයි නරකට නරකයි ඒ නිසා තමයි මහබඹාට මුහුණු දෙකක් තියෙන්නේ. දේව මුහුණෙන් හොඳ පෙන්වනවා. යක්ෂ මුහුණෙන් නපුර නරක පෙන්වනවා.
මේ විදිහට මහබඹා ගැන කතා ගෙතනවා. මේ ගැන අතීත පොතපතේ සඳහන් වෙන්නේ මහ බඹා කෝලම කියලා. සපරගමු සමන් දේවාල පෙරහැරේ අනික් අංගවලට වගේම මහ බඹා කෝලමටත් ගම්වර දීලා තියෙනවා.

ගම්වරය

සපරගමු මහ සමන් දේවාලයේ මහබඹා කෝලම පවත්වාගෙන යෑමේ වගකීම තියෙන්නේ කොළඹුගමට. කොළඹුගම ගණිත පරපුරට මේ සඳහා ගම්වරයක් දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ කාර්ය නිසි විදිහට පාලනය කරලා මෙහෙයවා කරන්න විදානේ නිලයටත් ගම්වරයක් දීලා තියෙනවා. අද නම් මේ ඉඩකඩම් ගොඩක් විකිණිලා. අන් සතු වෙලා. අද කොළඹුගම ගණිත පරපුරක් ඇත්තේ නැහැ. සපරගමු මහසමන් දේවාලයේ කොමසාරිස් පොත කොළඹුගම ගම්වරය ගැන ලිඛිත සටහන් තියෙන්නේ මේ විදිහට. මහපෙරහැර පළමු වෙනිදා බුලත් 40ක් දී බස්නායක නිලමේට පෙනී සිටීමද කැවිලි පෙට්ටියක් සහ බුලත් 40ක් පනිච්චියාට දීමද පෙරහැර මහ බඹා මුඛයේ පස් දවසක් කෝලන් නැටීමටද බස්නායක නිලමේගේ වලව්වේදී පින්කමකට නොහොත් වෙන ප‍්‍රසිද්ධ ප‍්‍රස්ථාවලට පහළොස් දවසක් නැටීමද ඊට කෑම ලැබීමද ආදී කොට වේ.
මේ විදිහට කෝලම්කාර පංගුවට නියමිත දේවාල කාර්යය කොමසාරිස් පොතේ ලියවිලා තියෙනවා. කෝලක්කාර පංගුවට තමන්ගේ කාර්යය නියමිත විදිහට කරන්න. ඒ පරපුරට යැපෙන්න ගොඩ ඉඩම්. මඩ ඉඩම් ගම්වර විදිහට දීලා තියෙනවා.

මහ බඹා තැනීම

මහ බඹාට පණ දෙන්නේ ගාමිණි වෙළගෙදර මහත්තයා. එක පෙරහැර මංගල්‍යයකට එක මහබඹයි. මේ හින්දා හැම මංගල්‍යකදීම මහ බඹා අලූත් වෙනවා. මහ බඹා තනන කාර්යය ගැන ගාමිණි වෙළගෙදර කතාකළා. මහ බඹා හදන්න ගන්නේ උණ ගසුයි බට ගසුයි තමයි. මේක පුළුවන් තරම් සැහැල්ලූ වෙන්න ඕන. ඇයි මේක පැය දෙක තුනක් කරේ තියාගෙන නටන්න ඕන. මේ වැඬේට බට ගස් 30ක් උණ ගස් 1 1/2ක් විතර යනවා. සාමාන්‍යයෙන් දවස් 5ක් විතර යනවා හදන්න. මහ බඹා සැකිල්ලේ උස බිම ඉඳලා කරට අඩි 8 1/2යි. මේ ශරීරයේ පහළම කොටසේ වට ප‍්‍රමාණය අඩි 5 1/2ක් විතර වෙනවා. උරහිස අඩි 3 1/2ක් විතර පළලයි. කෙ`ද් හැටියට තමයි අත් දෙක බඳින්නේ. සාමාන්‍යයෙන් අත් දෙකට බදින රවුමක පළල අ`ගල් 10ක්, 10 1/2 විතර වෙනවා. ඉන අඩි 2 1/2ක් පළලයි. මුහුණට සවිකරන යක්ෂ සහ දේව මුහුණ කඩුව මල්මිට වගේ දේවල් දේවාලයේ පෙට්ටගමක සුරක්ෂිතයි. මහ බඹා හැදුවට පස්සේ මේවා බට් කරනවා. පස්සේ අපි මේ සැකිල්ලට සාරි අන්ඳනවා. සායයි හැට්ටයි තමයි අන්දන්නේ. මේකට ගන්නේ ඉන්දියන් ඔයිල් සාරි එක. සාරිය කූඩුවට තියලා ඉදිකටු නූල්වලින් මහනවා.
මහ බඹා කියලා කියන්නේ මේ විදිහට නිර්මාණය වන අති විශාල ශරීරයකට. ඒක ඇතුළේ විවරයක්. ඒ විවරයට රිංගන මිනිසෙක් තමයි මහ බඹාට පණ දෙන්නේ. මේ විදිහට ඇතුළට රිංගන මිනිහට මහබඹා කරට අරගෙන නටන්න මහ බඹාගේ ඉනට සවිකරපු පටි දෙකක් තියෙනවා. කොහොම හරි මහ බඹාගේ වැඩ නිම වුණාට පස්සේ මහ බඹා කිලෝ 40ක් විතර බරයි. මේ බර දරාගෙන නටන්නේ කොහෙද? අපි පෝල්ගෙන් ඇහැව්වා. පෝල් තමයි මහ බඹාට නටන්නේ. ආදරයට පෝල් කියුවට මෙයාගේ නම ප‍්‍රයස් ද සිල්වා.

මහබඹාට නැටීම

බෙර පදයට තමයි අඩිය තියන්නේ. හොඳ මූණ නරක මූණ හැමෝටම පෙනෙන්න නටන්න ඕන. අඩි දෙක තුනක් යනවා රවුමක් කැරකැවෙනවා. ආයි යනවා. රවුම් දෙක තුනක් කැරකැවෙනවා. මහ බඹාගේ ඇතුළට ගියාට පස්සේ ආයෙත් පෙරහැර ඉවර වෙනකම් එළියට එනවා බොරු. පැය 2ක් 3ක් මේක කරේ තියාගෙන ඉන්න ඕන. ඉස්සරහ පේන්න පොඩි සිදුරක් තියෙනවා. එච්චරයි. හරිම අමාරුයි. දාඩිය දානවා. මිනිසෙක් රජෙක් වුණාම දාඩිය දානවා තමයි. කොහොම හරි පෝල් මේ මහ බඹා නිසා හැම පෙරහැර මංගල්‍යකටම සීතාවක රාජසිංහ රජ්ජුරුවන්ට අඳිනවා. මහ පෙරහැර දවස් 5ක් විදී සරනවා. දිය කැපීමේ මංගල්‍යය කළාට පස්සේ මහ බඹාට නටන පෝල්ම මහ බඹා දේව ආභරණ දේවාල පෙට්ටගමේ තැම්පත් කරලා සැකිල්ල කළු ග`ගට වීසිකරලා දානවා. ආයෙත් ඉතින් ඊට පස්සේ දොළොස් මසක් එනතුරු ම`ග බලනවා…

දැන් හැමදේම සල්ලිවලට

අතීතයේ සපරගමු සමන් දේවාල පෙරහැර මංගල්‍යයට ගම්වර දුන්නා ඒ පෙරහැර මංගල්‍යයට දායකත්වය දෙන මිනිසුන්ගේ ජීවිත පත්වාගෙන යන්න. මේ විදිහට දුන්න ගම්වරවලින් ඒ මිනිස්සු ජීවත් වුණා. දැන් තත්ත්වය වෙනස්. පෙරහැරේ ගොඩක් වැඩවලට අදාළ පරපුර දැන් සම්බන්ධ වෙන්නේ හරිම අඩුවෙන්. කුල ප‍්‍රශ්නයත් ඒකට තදින්ම බලපාලා. පෙරහැරේ රාජකාරිය කරනවා කියලා කියන්නේ තමන්ගේ කුලය සමාජයට පෙන්වීම කියලා මිනිස්සු හිතනවා. මුතු කුඩය අල්ලනවා වගේ ගරු කටයුතු වැඩවලට නම් තවමත් මිනිස්සු එනවා. අනෙක් වැඩ ගොඩක් අද කර ගන්නේ මුදල් හදල්වල බලය පෙන්වලා. කොළඹුගම දේවාල පංගුවේ කාර්ය මෙහෙයවන විදානේ පරම්පරාව තවමත් සල්ලි බලයෙන් මහ බඹාට පණ දෙනවා. අමරසේකර විතාරණ මහත්තයාගේ පරපුර තමයි එදා ඉඳලා කොළඹුගම ගම්වරයේ විදානේ නිලය කළේ.

කොළඹුගම කෝලක් කාර පංගුව තිබුණේ ගණිත පරම්පරාවකට ඒ මිනිස්සු අද නැහැ. ඒ ඉඩමුත් අද නැහැ. ඒත් අපි ඒදා ඉඳලා අද වෙනකම් මේ රාජකාරිය කොහොම හරි කරනවා. අද මහබඹා හදන්න රුපියල් 30,000ක් විතර වියදම් වෙනවා. නටන කෙනාට දවසට 1000 ගානේ දෙනවා. අද මේ පෙරහැරේ ගොඩක් දේවල් කෙරෙන්නේ සල්ලිවලට. පැරණි සිරිතට අනුව ඒ ඒ පරපුරු නෙමෙයි අද මේ වැඩකරන්නේ. අද මහ බඹාත් අපිත් හැමදේම සල්ලි තමයි.

සපරගමු සමන් දේවාල මංගල්‍යයේ මහ බඹා නැටීමට කියන්නේ මහ බඹා කෝලම කියලා. මේකට අදාළ නැටුම් විලාසයක් සපරගමු නැටුම් සාම්ප‍්‍රදායේ තියෙනවා. ඒ කොහොම වුණත් සපරගමුවට පමණක් උරුම වුණ මහ බඹා අනික් පළාත්වලත් දැන් පෙරහැරේ යනවා. ගොඩක් පෙරහැර සංවිධානය කරන අය පෙරහැරේ විචිත‍්‍රත්වය සලකලා මහ බඹා තමන්ගේ පෙරහැරට එකතු කර ගන්නවා. ඉතින් සීතාවක රාජසිංහ රජ්ජුරුවෝ අද හැම පෙරහැරකම පෙරටුවේම යනවා. ඒත් ගොඩක් අය දන්නේ නැහැ මේ සීතාවක රාජසිංහගේ අනුරූපය කියලා. ඒ හින්දම අද සීතාවක රාජසිංහ රජ්ජුරුවොත් එයාගේ යක්ෂ සහ දේව මුහුණත් පෙරහැරවල වෙන වෙනස් විදිහට පාවිච්චි කරනවා. කොහොම වුණත් හොඳ සහ නරක මහ බඹා අපිට මතක් කරනවා. එයා ලෝකය කැරකැවෙනවා වගේ කැරකැවෙනවා. මඳක් නතර වෙනවා. ආයිත් නටනවා. ඒක තමයි ලෝකයේ හැටි. අපිට හිතෙනවා.