රාවය

ශ‍්‍රීලනිප දෙකට කැඬේ

ශ‍්‍රීලනිප දෙකට කැඬේ

 

ආණ්ඩුවේ විශාල දෙදරීමක් ඇතිකරමින් හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයද දෙකඩ කරමින් ආණ්ඩුවේ ඉහළ පෙළේ නායකයන් ද ඇතුළුව සැලකිය යුතු පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානම් වන බවත් ඒ තත්ත්වය කිසි ලෙසකින්වත් වළක්වාගත නොහැකි බවත් රාවයට වාර්තාවෙයි.

එසේ ඉවත්වන්නට නියමිතයැ’යි කියන පිරිස අතර ඉහළින්ම සිටින්නේ සෞඛ්‍ය ඇමති මෛත‍්‍රීපාල සිරිසේනය. පසුගිය දිනවල ඔහු ආණ්ඩුවෙන් ඉවත්වන බවට විවිධ ප‍්‍රවෘත්ති පැතිර ගිය අතර ඒ ගැන මාධ්‍යවලින් විමසන කිසිම අවස්ථාවක ඔහු ඍජු පිළිතුරක් නොදීමද කැපී පෙනෙයි. කෙසේ වෙතත් මේ සතියේ මුල් දින කිහිපය තුළ ඔහු සිය අමාත්‍යාංශයේ තිබුණු පෞද්ගලික බඩු බාහිරාදියද ක‍්‍රමයෙන් ඉවත්කරගෙන ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

පසුගිය දින කිහිපය පුරාම ඔහු වෙන්වී යෑම වළක්වා ගන්නට ආණ්ඩුවේ විවිධ පිරිස් උත්සාහ දැරුවත් එය නිරර්ථක වී ඇති බවද දැනගන්නට ලැබේ. විශේෂයෙන් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග එවැනි උත්සාහයක යෙදී තිබේ. ඒ අතර සිරිසේන මහතාගේ පවුලේ සාමාජිකයන් හරහාද සිරිසේන මහතාට ආණ්ඩුවෙන් ඉවත්නොවන ලෙස බලපෑම් කෙරෙමින් පවතින බව වාර්තාවෙයි.

හදිසි ජනාධිපති වරණයක් කැඳවීමට ආණ්ඩුව තුළින් මුලින්ම එරෙහිවූ අය අතර සිරිසේන මහතා ප‍්‍රමුඛයකු වන අතර, ජනාධිපතිවරණයක් පැවැත් වීමට වසර දෙකක කාලයක් ඉදිරියට තිබියදී, ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකොට ජනාධිපති වරණයකට යෑම සුදුසු නොවන්නේයැ’යි සඳහන් ලිපියක් ඔහු ජනාධිපතිවරයාට යැවූ බවද පසුගිය කාලයේ මාධ්‍ය විසින් වාර්තා කෙරිණි.
ශ‍්‍රීලනිපයෙන් ජනාධිපති වරණයකට ඉදිරිපත් කෙරෙන අපේක්‍ෂකයාගේ නම යෝජනා කිරීම සම්ප‍්‍රදායක් ලෙස කරන්නේ පක්‍ෂයේ මහ ලේකම් වුවත්,  පසුගිය 19වැනිදා රාත‍්‍රියේ පැවැති ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභා රැුස්වීමේදී මීළඟ අපේක්‍ෂකයා ලෙස ජනාධිපතිවරයාගේ නම යෝජනා කර ඇත්තේ ඇමති නිමල් සිරිපාල ද සිල්වා විසිිනි. ස්ථිර කරන ලද්දේ ඇමති ඒ එච් එම් ෆවුසි විසිනි.
ජනාධිපතිවරණ ප‍්‍රචාරක මෙහෙයුම සම්බන්ධයෙන්ද මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ විරෝධයක් තිබුණු අතර පසුගිය සතියේ පොළොන්නරුවේ පැවැති රැුස්වීමකදී ඔහු ඒ ගැන ප‍්‍රසිද්ධියේම කියා තිබිණි. එක එක්කෙනාට වුවමනා විදියට නොව සාමූහිකව සහෝදරත්වයෙන් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවිය යුතු බව ඔහු එහිදී කී අතර ඒ විවේචනය විශේෂයෙන් එල්ලවූයේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේ ප‍්‍රධානියා වන බැසිල් රාජපක්‍ෂ ඇමතිවරයාට බවද පෙනිණි. කෙසේ වෙතත් 19වැනිදා රැුස්වූ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව නව මැතිවරණ මෙහෙයුම් කමිටුවක් පත්කර ඇති අතර ඊට මෛත‍්‍රීපාල සිරිසේන ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ නම් ඇතුළත් කර ඇත. නමුත් එය නමට පමණක් ඇති කළ එකක් ලෙස පෙනෙන බව පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෝ කියති. සිරිසේන මහතා ප‍්‍රමුඛව ආණ්ඩුවෙන් ඉවත්වන පිරිස වෙනම සිටිමින් විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයාට සහාය දෙන්නට බලාපොරොත්තුවෙන් සිටින බව ද ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.