විරුද්ධ පක්ෂ ව්‍යාපාර අරාජිකත්වයේ සෙවණැලි

 

ප්‍රජාතන්ත‍්‍රවාදී ගති ලක්ෂණ ඉක්මවා ගිය ඒකාධිපති ගති ලක්ෂණවලින් යුතු ආණ්ඩුක‍්‍රමය සේ ම ඒ සමග රටේ එක දිගට දශක ගණනාවක් පැවති ප‍්‍රචණ්ඩ වාතාවරණය රටේ සමාජ ක‍්‍රමය, දේශපාලන ක‍්‍රමය හා සමස්ත ආයතන ක‍්‍රමය කුණු කිරීමට හේතුවී තිබෙන්නේයැ’යි කිව හැකිය. ප‍්‍රභාකරන් පරාජය කිරීමෙන් පසුව ආණ්ඩුක‍්‍රමය හා සමාජ ක‍්‍රමය නැවත යථා තත්ත්වයට ගැනීමට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ ඇති කිරීමෙන් තොරව ඉදිරියට යන්නට දරන උත්සාහය අරාජිකත්වයක් කරා යන තැනකට රට තල්ලූ කිරීමට හේතුවී තිබෙන්නේයැ’යිද කිව හැකිය.
දැන් හැම තැනකම තිබෙන්නේ කිසියම් ප‍්‍රමාණයක අරාජික තත්ත්වයකි. එම අරාජික තත්ත්වය දෘශ්‍යමාන තත්ත්වයක් ලෙසද සැලකිය හැකිය. ආගමික සංස්ථා තිබෙන්නේ අරාජික තත්ත්වයකය. ආණ්ඩු පක්ෂය පමණක් නොව, විරුද්ධ පක්ෂය තිබෙන්නේද අරාජික තත්ත්වයකය. පැවිදි ආගමික නායකයන්ට පැවිද්දන් කෙරෙහි පැවති ආධිපත්‍යය බිඳවැටී පැවිද්දන් අයාලේ යන තත්ත්වයක් ගොඩනැගී තිබෙන බව හොඳින් දැකිය හැකිය. මේ තත්ත්වය සියලූ දේශපාලන පක්ෂවලටද ආවේණික පොදු ලක්ෂණයක් බවට පත්ව තිබෙන බවද දැකිය හැකිය. සංවිධානාත්මක අර්ථයෙන් පමණක් නොව දෘෂ්ටිමය අර්ථයෙන්ද හැම තැනකම ඇත්තේ අඩු වැඩි ප‍්‍රමාණයකට අරාජික තත්ත්වයකි. හැම තැනකම විධිමත් ක‍්‍රියාකාරිත්වයේ විශාල බිඳ වැටීමක් ඇතිවී තිබෙන්නේයැ’යි කිව හැකිය.

අරාජිකත්වය

පූර්ණ අරාජික තත්ත්වයක් ඉතාමත් බියකරුය. ඒකාධිපති තත්ත්වයකටත් වඩා බියකරුය. එය සමාජ, ආර්ථික හා දේශපාලන ක‍්‍රමයේ තිබිය යුතු ඒකමතිකභාවය විනාශ කරන බිහිසුණු පිළිකාවක් ලෙස සැලකිය හැකිය.
පූර්ණ අරාජික තත්ත්වයක් පූර්ණ අශීලාචාර තත්ත්වයක් ලෙස සැලකිය හැකි අතර කිසියම් විශාල ප‍්‍රමාණයකට අශීලාචාර තත්ත්වයකට පත්ව තිබෙන රට හා සමාජය පූර්ණ අරාජික තත්ත්වයකට පත්වීම වළකා ගැනීම රට හා සමාජය මේ මොහොතේ මුහුණ දී තිබෙන ලොකුම අභියෝගය ලෙස සැලකිය හැකිය.
ලැබී තිබෙන ජනාධිපතිවරණයෙන් රාජපක්ෂ පාලනය පරාජය කොට සර්ව පාක්ෂික ආණ්ඩුවක් වැනි පුළුල් එකඟතා ආණ්ඩුවක් ඇති කර ගනිමින් රට, සමාජය හා ආණ්ඩුක‍්‍රමය නැවත යථා තත්ත්වයට පත්කිරීමට හේතුවන ප‍්‍රතිසංස්කරණ ඇති කිරීම මගින් පූර්ණ අරාජික තත්ත්වයක් ඇතිවීම වළකා ගත හැකිය.
ඓතිහාසික අර්ථයෙන් ආණ්ඩුව තිබෙන්නේ පරාජය කළහැකි ජරාජීර්ණ වූ තත්ත්වයකය. ඒකාධි පතිත්වයකට බර තබා ක‍්‍රියාකරන ආණ්ඩුවකට වුවද එක්තරා විශාල ප‍්‍රමාණයක මහජන අනුමැතිය නැතිව පැවතිය නොහැකිය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බොහෝ දුරකට සිය පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය මහජන අනුමැතිය අහිමි කරගත් පාලකයකුගේ තත්ත්වයට පත්ව ඇතැ’යි කිව හැකිය. ඒ තත්ත්වය නැවත ඇතිකර ගැනීමට ඔහු ක‍්‍රියාකරමින් සිටිනුයේ මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන දේවලින් නොව විවිධ පුද්ගල කණ්ඩායම්වලට මහජන මුදලින් පගාව දීමෙනි. ඔහු තෝරාගත් කණ්ඩායම්වලට පගාව දෙමින් තිබෙන්නේද හොර රහසේ නොව ප‍්‍රසිද්ධියේය. එම තත්ත්වය ඔහු කෙරෙහි වන මහජන විශ්වාසය පළුදුවීමේ ක‍්‍රියාවලිය වේගවත් කිරීමට හේතුවී ඇතැ’යි කිව හැකිය.

2005 සහ අද

2005 ජනාධිපති වරණයේදී ජේවීපීය මහින්දට උපරිම වශයෙන් ආධාර කළේය. හෙළ උරුමයද උපරිම වශයෙන් ආධාර කළේය. වමේ පක්ෂ තුනද භේදයකින් තොරව ආධාර කළේය. මුස්ලිම් ජනතාව අතරද මහින්දට කිසියම් විශාල ප‍්‍රමාණයක පිළිගැනීමක් තිබුණි. රනිල් වික‍්‍රමසිංහට ලැබෙන්නට තිබුණු දෙමළ ඡුන්ද වළකාලීමට ප‍්‍රභාකරන් කෙනෙක්ද සිටියේය. ප‍්‍රභාකරන් පරාජය කිරීමේ සංසිද්ධිය සිංහල ජනතාව අතර ජනාධිපති මහින්ද රාජපක්ෂට අතිවිශාල පිළිගැනීමක් ඇති කිරීමට හේතු වුවත් ඒ පිළිගැනීම කල්පවත්නා ආකාරයට ආරක්ෂා කරගැනීමට ජනාධිපතිවරයා අසමත් විය. දැන් ජනාධිපතිවරයා සිටින්නේ 2010 සිටි තත්ත්වයේ නොව 2005 සිටි තත්ත්වයටත් වඩා තරමක් පහළ තත්ත්වයකය. දැන් ජනාධිපතිට ජේවීපීය සේ ම හෙළ උරුමයද තරයේ විරුද්ධය. වාමාංශික පක්ෂ තුනේ නිල සහාය ඇතත්, ඒ හැම පක්ෂයක්මත් ජනාධිපතිවරණය මත දෙකඩ වී තිබේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සිංහල ජනතාව අතර තිබුණු පිළිගැනීමේද විශාල බිඳවැටීමක් ඇතිවී තිබෙන අතර මුස්ලිම් ජනතාව අතර කිසියම් පිළිගැනීමක් තිබුණේ නම් එයද මුළුමනින් බිඳ වැටී තිබෙන්නේයැ’යි කිව හැකිය. ඊට අතිරේකව 2005දී මෙන් ජනාධිපතිවරයාට අනියම් ලෙස උදව් කරන්නට ප‍්‍රභාකරන් කෙනකුද අද නැත.
ඒ අර්ථයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්නේ පරාජය කිරීම අමාරු තැනක නොව පරාජය කිරීම පහසු තැනකය.
එහෙත් අරාජිකත්වය, අරාජික අදහස් හා අරාජික ක‍්‍රියාකාරකම් ආණ්ඩුව කෙරෙහි පමණක් නොව මහින්ද විරෝධී, ප‍්‍රතිසංස්කරණ හිතවාදී විරුද්ධ පක්ෂ ව්‍යාපාර කෙරෙහිද බලපා තිබේ.

සෝභිත හිමිගේ භූමිකාව

සෝභිත හිමිගේ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය විධායක ජනාධිපති ක‍්‍රමයට එරෙහිව ප‍්‍රබල මහජන මතයක් ගොඩනැගීම සඳහා කැපීපෙනෙන වැඩ කොටසක් ඉටු කළේය. ඒ සමග එම ව්‍යාපාරය මේ වනවිට දැන හෝ නොදැන ආණ්ඩු විරෝධී ප‍්‍රතිසංස්කරණ සඳහා වන ව්‍යාපාරයේ ගමන දුර්වල කිරීමට හේතුවන අවුල් ඇති කරන ව්‍යාපාරයක් බවට පත්ව තිබෙන බවක්ද පෙනෙන්නට තිබේ.

සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය දේශපාලන පක්ෂයක් නොව ඊට වඩා ලිහිල් සමාජ ව්‍යාපාරයකි. එය පළමුවෙන් ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන පොදු අපේක්ෂකත්වය වෙනුවෙන් පෙනී සිටියේය. මුලදී එම ව්‍යාපාරය සුදුසුම පොදු අපේක්ෂකයා ලෙස නොනිල වශයෙන් නම් කළේ සෝභිත හිමියන්ය. සියලූ විරුද්ධ පක්ෂවල සහාය දෙන්නේ නම් පොදු අපේක්ෂකයා ලෙස තරග කොට ජනාධිපති ක‍්‍රමය හය මාසයක් තුළ අහෝසි කර ගෙදර යන්නට සූදානම් බව උන්වහන්සේ කීවේය. මෙම ව්‍යාපාරය අතින් දැන හෝ නොදැන සිදුවූ බරපතළම වරදක් වනුයේ පොදු අපේක්ෂකයකු තෝරාගැනීම සඳහා පවත්වාගෙන ගිය මතවාදය ප‍්‍රායෝගික නොවීමය. එම තත්ත්වය කවදා හෝ පහළ වන පොදු අපේ්ක්ෂකයකු පිළිබඳ බලාපොරොත්තු ඇති කොට ජනමනස ව්‍යාකූල කළේය. පසුකලෙක සෝභිත හිමි පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමේ අදහස අතහැර ඒ වෙනුවට පොදු අපේක්ෂක වශයෙන් කරු ජයසූරිය තෝරාගත යුතුයැ’යි කියන මතය වෙනුවෙන් අනියම් ලෙස පෙනී සිටින තැනකට ගියේය. ඒ අර්ථයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය කරු ජයසූරියගේ අපේක්ෂකත්වය වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටින ව්‍යාපාරයක් බවට පත්වීයැ’යි කිව හැකිය.

කරුගේ භූමිකාව

කරු ජයසූරිය නරක පුද්ගලයකු නොව හොඳ පුද්ගලයෙකි. එහෙත් ඔහු දේශපාලනයෙන් පිටස්තර ස්වාධීන පුද්ගලයකු නොව එජාපයේ නිලතල හොබවන එජාපයේ නායකයෙකි. එවැනි පුද්ගලයකුට මෙම ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වීමට අවශ්‍ය නම් ඔහු පළමුවෙන්ම එකඟ කරවා ගත යුතුව තිබුණේ තමන්ගේ පක්ෂය මිස පිටස්තර සමාජ ව්‍යාපාර නොවේ. විධිමත් හරි ක‍්‍රමය එයයි. එසේ නොකොට අවිධිමත් හා අනියම් ආකාරවලට ඒ වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටින තත්ත්වයක් ඇතිවූ විට සමස්ත ව්‍යාපාරයම අවුල් ජාලාවක් බවට පත්වීම නොවැළැක්විය හැකිය. සෝභිත හිමිගේ ව්‍යාපාරයට දේශපාලන පරිණතභාවයක් තිබුණේ නම් කරුට කිවයුතුව තිබුණේ පළමුව පක්ෂයට ගොස් පක්ෂයේ අනුමැතිය ලබාගන්න, එවිට කොන්දේසි විරහිතව ඔබට සහයෝගය දෙන්නට සූදානම් බවය. එසේ කරනවා වෙනුවට මෙම ව්‍යාපාරය කළේ කරුගේ හැංගිමුත්තන් සෙල්ලමට උදව් කිරීමය. ඒ මගින් සිදුවූයේ ප‍්‍රශ්න විසඳා ගන්නවා වෙනුවට ප‍්‍රශ්න අවුල්කරන තත්ත්වයක් ඇතිවීමය. සෝභිත හිමිගේ ව්‍යාපාරය අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්නට යන බව සතියක් තරම් කාලයක් තුළ දැන සිටියේය. අවබෝධතා ගිවිසුම පිළිබඳ ප‍්‍රශ්නයක් තිබේ නම් එය ඒ දිනයේදීම හෝ දින දෙකක තරම් කාලයක් තුළ දැනුම් දිය යුතුව තිබුණි. එවිට විසඳාගත යුතු ප‍්‍රශ්න ඇති නම් ඒවා විසඳා ගනිමින් අවබෝධතා ගිවිසුමක් ඇති කරගත හැකිව තිබුණි. ඒ වෙනුවට කළේ ගිවිසුම අත්සන් කිරීමට නියමිත දිනයට පෙර රාත‍්‍රියේදී ඒ බව දැනුම්දීමය. එය හරියටම කසාදයකට එකඟ වී මඟුල් උත්සවයද සූදානම් කළ පසු අවසාන මොහොතේදී කසාදයට එකඟ නොවන බව දැනුම්දීම වැනි ක‍්‍රියාවකි. එය සෝභිත හිමිගේ දේශපාලන ව්‍යාපාරයේ වගකීමෙන් තොර බව හා දේශපාලන අපරිණතභාවය පෙන්නුම් කළ තවත් ප‍්‍රබල අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

දැක්මේ සීමාසහිතකම්

ඉන්පසු එම ව්‍යාපාරය වෙනුවෙන් පවත්වන ලද ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී එම ව්‍යාපාරයේ ප‍්‍රකාශකයකු කීවේ ගිවිසුමට අත්සන් කරන්නට පෙර අපේක්ෂකයා දැනගත යුතු බවත් ඉදිරිපත් වන අපේක්ෂකයා ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට ගෙදර යන කෙනකු වීම අත්‍යවශ්‍ය බවත්ය. පළමු කරුණේ සාධාරණත්වයක් ඇතත්, දෙවැනි කොන්දේසිය දේශපාලනයෙන් පිටස්තර කෙනකුට මිස පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයකුට අදාළ කිරීම අසාධාරණය. සෝභිත හිමි වැන්නකු පොදු අපේක්ෂකයා ලෙස තරග කරන්නේ නම් ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමෙන් පසුවට ගෙදර යන්නෙමියි කීම සාධාරණය. උන්වහන්සේ බලතරගයට සම්බන්ධ පක්ෂයක් නියෝජනය කරන පුද්ගලයකු නොවන නිසා ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමෙන් පසු ගෙදර යනවා හැර කරන්නට අන් දෙයක් ද නැත. එහෙත් පක්ෂයක් ඉදිරිපත් කරන නියෝජිතයකුගේ තත්ත්වය ඊට වෙනස්ය. ඔහුට ජනාධිපතිවරණයට තරග කොට ජයගැනීමෙන් පසු ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමෙන් පසු අගමැති ලෙස ක‍්‍රියාකිරීමේ අයිතිය තිබිය යුතුය. ප‍්‍රතිසංස්කරණ වැඩසටහන ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන දේට සීමා නොකළ අඛණ්ඩ වැඩසටහනක් බවට පත් කරගත හැකිවනු ඇත්තේ එවිටය. සමාජ ව්‍යාපාරයක් දේශපාලන පක්ෂයක් සමග ගනුදෙනු කිරීමේදී එම පක්ෂයට කරුණු පැහැදිලි කරදෙන ප‍්‍රතිපත්තියක් මිස නියෝග දෙන ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම සාධාරණ හෝ ප‍්‍රායෝගික වන්නේ නැත. ජනාධිපතික‍්‍රමය අහෝසි කරන බවට එජාප ප‍්‍රතිපත්තියක් වශයෙන් පිළිගෙන තිබේ. සෝභිත හිමිගේ ව්‍යාපාරයේ මූලික අරමුණ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම නම් එජාපය සමග වැඩ කිරීමට එම ප‍්‍රතිපත්ති වෙනස පමණක් වුවද ප‍්‍රමාණවත් විය යුතුය. අපේක්ෂකයා තීන්දු කරන පක්ෂය එජාපය නම් සුදුසු අපේක්ෂකයකු තෝරා ගැනීමට එම පක්ෂයට තිබෙන අයිතියට ගරු කළ යුතුය. එම පක්ෂයට ආධාර කරන සමාජ ව්‍යාපාර දෙක තුනක් ඉදිරිපත් කළයුතු අපේක්ෂකයා වශයෙන් නම් දෙක තුනක් ඉදිරිපත් කළහොත් විය හැක්කේ කුමක්ද?

එජාපයේ භූමිකාව

මෙම ජනාධිපතිවරණයෙන් බලයට පත්වන කවර විකල්ප නායකයකුට වුවද විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා විනා එය පවත්වාගෙන යෑමේ හැකියාවක් නැත. අද රටේ තිබෙන තත්ත්වය 1994දී පැවති තත්ත්වයට බෙහෙවින් වෙනස්ය. විධායක ජනාධිපතික‍්‍රමයට එරෙහිව විශාල මතවාද තිබුණත් විධායක ජනාධිපතික‍්‍රමය ගැන වර්තමානයේ තරම් මහජන පිළිකුළක් හෝ අප‍්‍රසාදයක් එකල නොතිබුණි. අනෙක් අතට එකල ජනාධිපතික‍්‍රමය යටතේ ගොඩනගා තිබෙන ආයතන ක‍්‍රමයද වර්තමානයේ තරම් කුණුවී ක‍්‍රියාවිරහිත තත්ත්වයකට පත්ව නොතිබුණි. අද විධායක ජනාධිපති ක‍්‍රමය සමග සමස්ත ආයතන ක‍්‍රමය තිබෙන්නේ දූෂිත ක‍්‍රියාවිරහිත හා ගඳ ගසන තරමට කුණුවූ තත්ත්වයකය. මීළඟට බලයට පත්වන කවර පාලකයකුට වුවද ඔහුගේ කැමැත්ත අකමැත්ත කුමක් වුවද දේශපාලන ක‍්‍රමයේ හා එහි ව්‍යුහයේ ප‍්‍රතිසංස්කරණ ඇති නොකොට එක අඩියක්වත් ඉදිරියට යා නොහැකිය. ජනාධිපති ක‍්‍රමයේ දැන් පවතින යථාර්ථය එයයි. ඒ නිසා ඊළඟ පාලකයා මේ ක‍්‍රමය වෙනස් කරාවිද නැත්නම් පවත්වාගෙන යයිද යන සැකය තිබෙන යථාර්ථයට වලංගු නැත.

මෙම ප‍්‍රවාහයේ සිටින ලොකුම පක්ෂය එජාපය ලෙස සැලකිය හැකිය. ඡන්ද බලය පිළිබඳ ප‍්‍රශ්නයේදී විරුද්ධ පක්ෂවලට අයත් අන් සියලූ පක්ෂ එකට එකතු කළද සියලූදෙනාට තිබෙන ඡුන්ද පදනම එජාපයට තිබෙන ඡන්ද පදනමට වඩා කුඩාය. ඒ නිසා තීන්දු ගැනීමේ ප‍්‍රමුඛ වැදගත්කමක් එම පක්ෂයට ලැබිය යුතුය. එසේම කොතරම් විශාල වුවත් එජාපයට පමණක් රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීම දුෂ්කරය. ඒ සඳහා අනෙකුත් විරුද්ධ පක්ෂ ව්‍යාපාරවලද සහයෝගය අත්‍යවශ්‍යය. පක්ෂයක් වශයෙන් තමන් කොතරම් විශාල වුවත් අන් විරුද්ධ පක්ෂවල සහාය නැතිව මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කළ නොහැකි බව එජාප තේරුම් ගත යුතුය. ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද කියා තීන්දු කිරීමේ වගකීම එජාපයට දිය යුතුය. එම අපේක්ෂකයාට ආධාර කිරීම සඳහා ඔහු ලවා සම්පූර්ණ කරවාගත යුතු කොන්දේසි ඇතොත් ඒ ගැන කතා කිරීමේ අයිතිය අනෙක් පක්ෂවලට ලැබිය යුතුය.

ජවිපෙ හා හෙළ උරුමය

මේ ප‍්‍රශ්නයේදී විරුද්ධ පක්ෂ ගණයට වැටෙන සියලූම දේශපාලන පක්ෂ එක පෙරමුණකට ගත හැකි නම් අගනේය. එහෙත් එය ප‍්‍රායෝගික නැත. එක්සත් ජාතික පක්ෂයෙන් කවර අපේක්ෂකයකු ඉදිරිපත් කළත් ජවි පෙරමුණ ඍජු ලෙස ඔහුට සහාය දෙනු ඇතැ’යි සිතිය නොහැකිය. එහෙත් අනෙක් අතට මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කිරීම සඳහා කරන අරගලයට ඔවුන් අවහිර කරනු ඇතැ’යි ද සිතිය නොහැකිය. ඔවුන් මෙම ජනාධිපතිවරණයේදී අනුගමනය කරනු ඇත්තේ වෙන පෙරමුණක ඉඳිමින් මහින්ද රාජපක්ෂ පාලනයට පහර දෙන ප‍්‍රතිපත්තියකි. ආණ්ඩු පෙරළියක් ඇතිවී ඒ මගින් වමට ජනිත වන අවකාශය අල්ලා ගැනීම එම පක්ෂයට තමන්ගේ ප‍්‍රධාන අරමුණ කරගනු ඇතැ’යි සිතිය හැකිය.

පක්ෂයක් වශයෙන් දරන අදහස්වල හරි වරද කුමක් වුවත් ජාතික හෙළ උරුමය වැඩිම අවදානමක් ගෙන ක‍්‍රියා කළ පක්ෂය ලෙස සැලකිය හැකිය. රතන හිමියන්ගේ ප‍්‍රවේශය ඉතා බලවත්ය. දේශපාලන උපමාවකින් කියන්නේ නම් බිත්තරයේ කට්ට කැඞීමට අවශ්‍ය නිර්භීතභාවය තිබුණේ උන්වහන්සේටය. දැන් බිඳුණු බිත්තරය ප‍්‍රකෘති බිත්තරයක් බවට පත් කළ නොහැකිය. කට්ට කැඩූ බිත්තරය කුණුවන්නට පෙර අන් සියලූදෙනා එකතු වී ඔම්ලටය තනාගත යුතුය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග තරග කිරීමට හොඳ පංචස්කන්ධයක් ඉදිරිපත් කිරීම පමණක් ප‍්‍රමාණවත් වන්නේ නැත.
ඉදිරිපත් වන පුද්ගලයාට එල්ල වන දැවැන්ත ප‍්‍රහාරයන්ට ඔරොත්තු දීමේ පුළුවන්කමක් සේ ම පළපුරුද්දක්ද තිබිය යුතුය.
සිංහල බෞද්ධ ජනයාගේ පමණක් නොව සුළු ජාතීන්ගේද විශ්වාසය දිනාගැනීමට පුළුවන්කමක් තිබිය යුතුය.
ගනුදෙනු කරන්නට යන්නේ සංකීර්ණ අර්බුදයක් මත නිසා විධිමත් ලෙස ක‍්‍රියාකිරීමට අවශ්‍ය දේශපාලන පළපුරුද්දක් හා පරිණතභාවයක්ද තිබිය යුතුය.
ශ‍්‍රී ලංකා අර්බුදය ජාත්‍යන්තර ප‍්‍රශ්න සමගද ඈඳුණු අර්බුදයක් වන නිසා ඉදිරිපත් වන අපේක්ෂකයා ජාත්‍යන්තරය සමග ඇති ප‍්‍රශ්නද විසඳාගැනීමේ හැකියාවක් ඇති ජාත්‍යන්තර වශයෙන්ද පිළිගැනීමක් ඇති පුද්ගලයකු විය යුතුය.

රනිල් ගැන

මේ සියලූ කාරණා සැලකිල්ලට ගත් විට පක්ෂයක් වශයෙන් එජාපයට මේ මොහොතේ ඉදිරිපත් කළ හැකි හොඳම අපේක්ෂකයා රනිල් වික‍්‍රමසිංහය යන්න මගේ මතයයි. කිසිවෙකු පරිපූර්ණ නැත. ඔහු පිළිබඳව මටද විවේචනයක් ඇති අතර ඒ විවේචනයන් මම විටින් විට ඉදිරිපත් කර ඇත්තෙමි.
ඔහු කිසිම මැතිවරණයක් ජයගත නොහැකි පරාජිත නායකයකු ලෙස සැලකීම වැරදිය. මෙම දේශපාලන ක‍්‍රමය තුළ ආණ්ඩු මාරුවකට ඉඩක් තිබෙන්නේ දීර්ඝ කාලයකට පසුවය. දීර්ඝ කාලයක් අල්ලාගෙන සිටීමට සිදුවීම තුළ මෙම දේශපාලන ක‍්‍රමය තුළ විරුද්ධ පක්ෂයේ නායකත්වයට පත්වන පුද්ගලයා කිසියම් විශාල ප‍්‍රමාණයකට අවුලකට ගිය පුද්ගලයකු බවට පත්වීම නොවැළැක්විය හැකිය. කඩින් කඩ පවත්වන ඡුන්දවලින් පරාජය වීම නොවැළැක්විය හැකිය. ජනාධිපතික‍්‍රමය ඇති කිරීමෙන් පසු ඉතාමත් ප‍්‍රතාපවත් නායිකාවකගේ තත්ත්වය හිමිකරගෙන සිටි සිරිමා බණ්ඩාරනායකද පවත්වනු ලබන සියලූ මැතිවරණවලින් පරාජය වන පරාජිත නායිකාවකගේ තත්ත්වයට පත්ව සිටියේය. එහෙත් එය දේශපාලන ක‍්‍රමය විසින් ඇති කරන ලද විසම තත්ත්වයක් ලෙස මිස ස්වාභාවික තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය.

රනිල් වික‍්‍රමසිංහ පිළිබඳව ඉතාමත් නරක ප‍්‍රතිරූපයක් නිර්මාණය කර තිබියදීත් 2001 පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීමට ඔහු සමත් විය. 1999 ජනාධිපතිවරණයේදී ජනා ධිපතිනියට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල නොවන්නට එයද දිනුම හා පරාජය කාටදැ’යි කිව නොහැකි තරම් වන කරට කර තරගයක් වන්නට ඉඩ තිබුණි. ප‍්‍රභාකරන් අවහිර නොකරන්නට 2005 ජනාධිපතිවරණයේදී ජය ග‍්‍රාහකයා වන්නට ඉඩ තිබුණේද රනිල්ය.

මහින්දට තිබෙන කැරිස්මාව රනිල්ට නැති බව සත්‍යයකි. එහෙත් වර්තමානයේ රටට අවශ්‍යව ඇත්තේ මිනිසුන් රවටන දේශපාලන නළුවකු නොව රටේ තිබෙන පුපුරනසුලූ ප‍්‍රශ්න විසඳාලීමේ හැකියාවක් ඇති රාජ්‍යතාන්ත‍්‍රිකයෙකි. රනිල්ට එල්ල කළ හැකි නොයෙකුත් චෝදනා ඇතත් මහජන මුදල් වංචා කළ පුද්ගලයකු ලෙස කිසිවකු ඔහුට චෝදනා කරන්නේ නැත. ආණ්ඩුව පවා එසේ කරන්නේ නැත. එය ගෞරවයට හා පැසසුමට හේතුවිය යුතු වැදගත් ගුණාංගයකි. දැන් සිටින නායකයන් අතර බහුත්වවාදී ආකල්ප සහිත නායකයා ලෙස සැලකිය හැක්කේද ඔහුය. ඔහුට එරෙහිව ඉදිරිපත් කරන එල්ටීටීඊ චෝදනාවලද කිසිදු ඇත්ත පදනමක් නැත. ඔහු එල්ටීටීඊය සමග විවාදයට හේතුවන සටන් විරාම ගිවිසුමක් ඇති කරගත් බව සැබෑවකි. එම සටන් විරාම ගිවිසුම නිසා කිසියම් දීර්ඝ කාලයක් යුද්ධ විරහිත තත්ත්වයක සිටින්නට එල්ටීටීඊයට සිදුවිය. ඒ කාලයේ එල්ටීටීඊ ක‍්‍රියාකාරීන් බොහෝ දෙනෙක් විවාහ වී සැමියන් හෝ බිරියන් බවට පත්වූහ. එම තත්ත්වය එල්ටීටීඊයේ සටන් කිරීමේ ශක්තිය හීන කළේය. කරුණාගේ බිඳීම සිදුවූයේද ඒ වටාපිටාව තුළය. රනිල් කෙරෙහි පැවති එල්ටීටීඊ ක්‍රෝධයේ තරම පෙන්නුම් කරන හොඳම නිදර්ශනය වනුයේ 2005 මැතිවරණයෙන් රනිල් පරාජය කිරීමට ප‍්‍රභාකරන් ගනු ලැබූ තීන්දුවය. විවිධ හේතු නිසා ජනමාධ්‍ය මගින් මහජනතාව මත ආරෝපණය කර ඇති ජනප‍්‍රිය මතය අනුව රනිල් දුර්වල නායකයකු ලෙස සැලකුණද මා හිතන්නේ ප‍්‍රකාශ වී තිබෙන විවිධ නම් අතරින් සමහර සීමිතකම් තිබියදීත් මේ මොහොතේ ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ හැකි ශක්තිමත්ම අපේක්ෂකයා රනිල් වික‍්‍රමසිංහ වන බවය.

රනිල් වික‍්‍රමසිංහ සිහින දැකිය යුතුව තිබෙන්නේ ඒකපාක්ෂික ආණ්ඩුවක් ගැන නොව සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැනය. විධිමත් ප‍්‍රතිසංස්කරණ වැඩසටහනක් සාර්ථක ලෙස ක‍්‍රියාවට නැගිය හැකිවනු ඇත්තේ ඒකපාක්ෂික ආණ්ඩුවකට නොව සර්වපාක්ෂික ආණ්ඩුවකටය. සෝභිත හිමියන්ට එම වැඩසටහනේ ආධ්‍යාත්මික නායකයා විය හැකි අතර කරු ජයසූරියට එම ප‍්‍රතිසංස්කරණ වැඩසටහන භාරව ක‍්‍රියාකරන්නා බවට පත්විය හැකිය.

අවශ්‍ය වන්නේ විරුද්ධ පක්ෂ ව්‍යාපාරවල පවත්නා අර්ධ අරාජික තත්ත්වයන් ජයගනිමින් සමගි සම්පන්නව එක ගමන් මාර්ගයකට යොමුවීමය. එසේ කළ හැකි නම් මහින්ද රාජපක්ෂ පාලනය අපහසුවෙන් නොව පහසුවෙන් පරාජය කළ හැකිය. එවිට රට සියලූදෙනාගේ යහපතට හේතුවන ප‍්‍රතිසංස්කරණ මාවතට යොමු කළ හැකිය.