රාවය

කුරාණය ජීවිතයට මුසුකරන මදර්ෂා….

කුරාණය ජීවිතයට මුසුකරන මදර්ෂා….

පිහිඹියා තුරුපත් සිහින් සරසරයක පැටලිලා… පිහිඹියා ගස සෙවණ සලසනවා. සුදු පැහැති ලෝගුවෙන් සැරසී සුදු පැහැති තොප්පි හිස පැළඳි මුස්ලිම් තරුණයන් පිරිසක් පිහිඹියා සෙවණ යට කතාබහක…. ගුරුවරයා අසලින්ම. අපිට තේරෙන්නැති අරාබි වචන සරන අවකාශයක අපිත් ගියා සරපියා මුස්ලිම් අරාබි විද්‍යාලයට. අරාබි භාෂාවෙන් කියන්නේ මෙවැනි පාසල්වලට මදර්ෂා කියලා. මේ වචනය සිංහල කළාම පාසල නැතිනම් දහම් පාසල යන අර්ථය ගන්නවා. සරපියා මුස්ලිම් අරාබි විද්‍යාලය තියෙන්නේ මාවනැල්ලේ හිඟුල ඔය කියන ගමේ. 1994දී තමයි ආරම්භ කරලා තියෙන්නේ. මේ මදර්ෂා එකේ දැනට ළමයි 75ක් විතර අකුරු කරනවා. ඒ අතර ලංකාවේ හැම ප‍්‍රදේශයකම ළමයි ඉන්නවා. මදර්ෂා එකෙන් තමයි මුස්ලිම් ළමයින්ට මුස්ලිම් සිරිත කුරාණය උගන්වන්නේ. ඔවුන්ගේ ජීවිතයට මුස්ලිම් අඩිතාලම සකසන්නේ මෙතැනින්. ගැහැනු පිරිමි කියලා මදර්ෂා වෙන වෙනම තියෙනවා. මිශ‍්‍ර මදර්ෂා ලෝකයේ කොහේවත් නැහැ. ඒක මුස්ලිම් පිළිවෙත්වලට විරුද්ධයි.

කුරාණය කටපාඩමින්

මදර්ෂා එකකට පිරිමි ළමයකු නම් ඇතුළු කරගන්නේ අවුරුදු 10දි. නැත්නම් 11දි. ගැහැනු ළමයි නම් අවුරුදු 5 පිරුණාම මදර්ෂා එකට ඇතුළු කරනවා කියලා කියනවා. මෙහෙම ඇතුළු කරන ළමයි අවුරුදු තුනක්ම කරන්නේ කුරාණය පාඩම් කරන එක. ඔවුන් අවුරුදු තුන අවසානයේදී කුරාණය කටපාඩමින් කියන්න ඕනෑ. එහෙම කිව්වාම හාපීස් කියලා ගෞරව නාමයක් තෑගි ලැබෙනවා. මේ විදියට අකුරු කරන මදර්ෂා ගැන මුලින්ම කතා කළේ කාමිල් ගුරුවරයා.

‘මේ පාසලට ළමයෙක් ඇතුළු කරන්නේ 5 වසරේදී. නැත්නම් 6 වසරේදී. ඕලෙවල් ඒලෙවල් වෙනකම් පන්ති මදර්ෂා එකේ තියෙනවා. නේවාසිකව තමයි ළමයි ඉන්නේ. එක ළමයකුගෙන් රුපියල් 3000ක් අය කරනවා. සමහර ළමයින්ගේ මාපියෝ රුපියල් 5000ක් දෙනවා. කෑම බීම හැම දෙයක්ම පාසල දෙනවා. ළමයි උදෑසන හතරට නැගිටලා කුරාණය පාඩම් කරන්න ඕනෑ. හැම දවසේම හවස හයට ගුරුවරයා ඉදිරියේ කටපාඩම් දෙන්න ඕනෑ.’

පුංචි බංකුවක් මත කුරාණය දිග හැරිලා. බිම තප්පලන් ගහගත්ත ළමෝ කුරාණය දිහා බලාගෙන මුමුණනවා. හිසත් එක්කම ගත තාලයකට ළෙල දෙනවා. මම ඇහැව්වා ඇයි එහෙම වැනෙන්නේ කියලා. එක දිගට එකම ඉරියව්වක ඉඳලා පාඩම් කරන එක ලේසි නැහැ. මේ අමාරුකම මගඇර ගන්න ඔවුන් ක‍්‍රමයක් සොයාගෙන.

අරාබිවලින් ඇරඹුම

‘ලංකාව ඇතුළෙත් මදර්ෂාවලට අවුරුදු 1000ක විතර ඉතිහාසයක් තියෙනවා.’ තවත් මදර්ෂා ගුරුවරයෙක් කතාව පටන් ගත්තා. එයාගේ නම මොහොමඞ් අලි ෆාස්.
‘මදර්ෂා පල්ලිවලත් තියෙනවා. එතකොට ඒ මදර්ෂා එකේ කෙරෙන්නේ කුරාණය කියවන්න අවශ්‍ය මූලික දේවල් උගන්වන එක. අරාබි භාෂාව උගන්වනවා. ව්‍යාකරණ උගන්වනවා. සාමාන්‍ය යෙන් කුරාණය පාඩම් කරන්න පටන්ගන්න අවුරුදු දහයක් විතර වයස වෙන්න ඕනෑ. ඊට අඩුවෙන් අමාරු නැහැ. ඒත් සාමාන්‍ය වයස තමයි අවුරුදු දහය. මදර්ෂා එකේ පළමු අවුරුද්දේ අපි ළමයින්ට අරාබි භාෂාව උගන්වනවා. මුස්ලිම් සිරිත් විරිත් උගන්වනවා. තුන්වැනි අවුරුදුවල තමයි කුරාණය පටන් ගන්නේ. මේ වෙනකොට ගොඩාක් අයට අරාබි කියවන්න පුළුවන්. කුරාණය මූලිකවම උගන්වනවා. ඊට අමතරව හදීෂය උගන්වනවා.’ හදීෂය අලූත් වචනයක්. ‘මොකද්ද හදීෂය කියලා කියන්නේ?.’ මම විපරමින්.

හදීෂය

‘කුරාණය කියලා කියන්නේ අල්ලාහ් මොහොමඞ් නබිතුමා මාර්ගයෙන් අපට දුන්න දෙයක්. කුරාණයේ වාක්‍ය හයදහස් හයසිය හැටහයක් තියෙනවා. මේ හැම වාක්‍යයක්ම පැහැදිලි කරලා කියන්නේ හදීෂය. මෙහෙම හිතමු කුරාණය අපිට උගන්වනවා දවසට පස් සැරයක් වඳින්න ඕනෑ කියලා. ඒත් කුරාණය කොතැනකවත් කියන්නෑ. මේක කරන්න ඕනෑ මෙහෙමයි කියලා. ඒක අපිට උගන්වන්නේ හදීෂය. බොදු බලය වගේ බෞද්ධ සංවිධාන අපිට විරුද්ධව කුරාණය අරගෙන ඒකේ මෙහෙම තියෙනවා අරෙහෙම තියෙනවා කියලා කෑගහනවා. ඒත් හදීෂය බැලූවාම තේරෙනවා බොදු බලය කියන අර්ථය නෙවෙයි කුරානයේ ඒ අදාළ වාක්‍යයට තියෙන්නේ කියලා.’

‘කුරාණයට හදීෂයට අමතරව අකීදා කියලා ඉගැන්වීමක් තියෙනවා. අල්ලාහ් ගැන මොහොමඞ් නබිතුමා ගැන වගේ දේවල් මුස්ලිම්වරුන් දැනගන්නේ මේ අකීදා හරහා. තව ෆ්ලිත් කියලා එකක් උගන්වනවා. මොකද්ද මේකෙන් උගන්වන්නේ. හිතන්න ව්‍යාපාර කටයුත්තක් කරන්නේ කොහොමද කියලා කුරාණය උපදෙස් දෙනවා. අද නවීන ලෝකයේ ව්‍යාපාර සමහර වෙලාවට කුරාණය සමග සැසඳෙනවා අඩුයි. එහෙම වෙලාවට කුරාණය හදීෂය වගේ දේවල් සංසන්දනාත් මකව අධ්‍යයනය කරලා මුස්ලිම් පිළිවෙත් කෙළෙසන්නේ නැතුව ව්‍යාපාරය කිරීමට දැනුම සොයා ගැනීම තමයි මේක හරහා මුස්ලිම්වරුන් කරන්නේ.’

ගැහැනු අධ්‍යාපනය

‘ගැහැනු ළමයි පිරිමි ළමයි එක තැන තියලා අපි කවදාවත් ඉගැන්වීම් කටයුතු කරන්නේ නැහැ. ඒක කුරාණයට විරුද්ධයි. අනික තමයි ගොඩාක් වෙලාවට ගැහැනු ළමයින්ට උගන්වන්නේ ගුරුවරියන්. සමහර වෙලාවට පිරිමි අයත් උගන්වනවා. එතකොට අපි කළුපාට තිරයක් දාලා තමයි උගන්වන්නේ. ගුරුවරයා දන්නෑ ළමයා කවුද කියලා. ළමයාත් දන්නේ නැහැ ගුරුවරයා කවුද කියලා. සමහර තැන්වල මේ ක‍්‍රමය දැන් ටිකක් වෙනස් කරලා. ඒත් ඒක මුස්ලිම් ආගමට කුරාණයට විරුද්ධයි. ඒ මොකද කුරාණය කියන විදියට අපිට අපේ පවුලේ ගැහැනු අයගේ මුහුණු විතරයි බලන්න පුළුවන්. මුළු ඇඟම වැහෙන්න හිජාබය ඇඳින එකේ අර්ථයත් ඒකම තමයි.’ මොහොමඞ් ගුරුවරයා කතාව දිගටම කරගෙන යනවා.

‘ගැහැනු ළමයාගේ අධ්‍යාපනය පටන් ගන්නේ අම්මගේ උකුළෙන්. අම්මා තමයි එයාට ඉන්න හොඳම ගුරුවරයා. ගැහැනු ළමයෙක් අවුරුදු 19-20 වෙනකොට කසාද බඳින්න ඕනෑ. අපි එයාලාට කියන්නේ පව්වලින් බේරෙන්න ඉක්මනින් කසාද බඳින්න කියලා. ගැහැනු ළමයි ඉක්මනින් කසාද බඳින්න ඕනෑ නිසා එයාලාට එයාලාගේ අධ්‍යාපනය අවුරුදු හතරකින් වගේ දෙන්න ඕනෑ. ඒ නිසා එයාලා පිරිමි අයට වඩා අඩු වයසින් මදර්ෂා එකට ගන්නවා. දැන් මුස්ලිම් පුද්ගල නීතිය ගන්න. අපිට කසාද බඳින්න නිශ්චිත වයසක් නැහැ. ළමයා ඉපදුණු ගමන්ම වුණත් අපිට එයාව කසාද බන්දලා දෙන්න පුළුවන්. පිරිමි ළමයි වුණත් තරුණකම පටන් ගන්න කොටම බඳිනවා නම් ඒක හොඳයි.’

මොහොමඞ් ගුරුවරයා නැවතත් කතා කරනවා. මුස්ලිම් ගැහැනු ළමයි ඉතා ඉක්මනින් කසාදයකට ඇතුළු වෙන්න ඕනෑ කියලා ඔවුන් කල්පනා කරනවා. මේ හේතුව නිසාම බොහො රටවල මුස්ලිම් ලෝකයේ ගැහැනු දරුවන්ට අධ්‍යාපනයේ පිරිමින් හා සම අවස්ථා නැහැ. පාකිස්තානයේ තලේබාන් මූලධර්මවාදයට විරුද්ධව සටන් කරන මලාලා යුසුෆායි වුණත් සටන් කරන්නෙ ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්. ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනය තලේබාන් පිරිමින් විසින් වසා දැමීම මලාලා දැඩිව විවේචනය කරනවා. ඒත් බොහෝ මුස්ලිම් තරුණියන් කෙලෙසක හෝ අධ්‍යාපනයෙන් ඉහළට යන්න අද උත්සාහ කරනවා. එසේ අදයාපනයෙන් ඉහළට ගිය මුස්ලිම් කාන්තාවන්ද අනන්තයි අප‍්‍රමාණයි.

‘අපිට මුස්ලිම් ගැහැනුන් ඉගෙන ගන්න එක ගැටලූවක් නෙවෙයි. ඉගෙන ගන්න ක‍්‍රමයයි අපිට ගැටලූව. ඔවුන්ට තනියම නවාතැන් ගන්න පාරේ යන්න බැහැ. ඒක කුරාණයට පටහැනියි. දන්නවාද අපේ සමහර පවුල් මේ නිසා තමන්ගේ දුවෙක් විශ්වවිද්‍යාලයට තේරුණාම ඒ ළඟින්ම ගෙයක් අරගෙන පදිංචි වෙනවා. පල්ලිය ඒ වගේ වෙලාවට සල්ලිවලින් වුණත් උදව් කරනවා.’ කලීල් ගුරුවරයාගේ මැදිහත්වීම. එහෙම තත්ත්වයක් තිබෙනවා නම් එය මුස්ලිම් කාන්තාවන්ගේ පැත්තෙන් ඉතාමත් හොඳ තත්ත්වයක්.

සුන්නි – ෂියා

‘සුන්නි- ෂියා ගැටුම්, ජිහාඞ් ඉගැන්වීම් වගේ දේවල් මදර්ෂාවලින් උගන්වනවාද?’ මම සිංහල ප‍්‍රශ්නයක් යොමු කළා. පිළිතුර ලැබුණේ මොහොමඞ් ගුරුවරයා ගෙන්. ‘ඇත්තෙන්ම අපේ මදර්ෂා ඕනෑම කෙනකුට විවෘතයි. අපි මේවා කරන්නේ වහගෙන නෙවෙයි. අපට මේවාට අරාබියෙන් සල්ලි එන්නේත් නැහැ. මෙරට මුස්ලිම් සමාජයම තමයි මේවාට උදව් කරන්නේ. මදර්ෂාවලට ලංකාවේ විතරක් අවුරුදු දහසක විතර ඉතිහාසයක් තියෙනවා. මේ අන්තවාදය ගැන කතා කරන්නේ දැනට අවුරුදු විස්සක ඉඳලා. සුන්නි – ෂියා ගැටුම ගැන ගත්තොත් ලංකාවේ මේ ප‍්‍රශ්නය නැහැ. අපි ගොඩාක් අය 90%ක්ම ලංකාවේ ඉන්නේ සුන්නි. ඇත්තටම කිව්වොත් ෂියා කියන්නේ මුස්ලිම් නෙවෙයි.’

ලෝකයේ කොහේ ගත්තත් මුස්ලිම්වරුන් ආගමික ජීවිතයකට උත්සාහ කරන පිරිසක්. ඔවුන් කුරාණය මත ගෙවන ජීවිතයකට කැමතියි. මේ නිසා කලීම්, දවසකට පස්වතාවක් වැඳීම, සකාද් (දුප්පතුන්ට ධනයෙන් 2.5%ක් දීම), නෝම්බි, හජ් වන්දනාව ඔවුන් අනිවාර්යයෙන්ම කළ යුතුයි. කුරාණයේ තිබෙන දේ ඔවුන්ගේ ජීවිතවලට කරන්නේ විශාල බලපෑමක්. මේ පිළිපැදීම් නිසාම නිදහස් සමාජයේ අන් අයගෙන් මුස්ලිම්වරුන් වෙන්වීම ස්වාභාවිකයි. මේ නිසාම ලෝකයේ දියුණුයැ’යි සම්මත රටවල් හිජාබය වැනි ඇඳුම් ඇඳීම පවා පොදු ස්ථානවලදී තහනම් කරලා. මුස්ලිම් සමාජයත් තමන් දෙසට නැඹුරුව නැවත සිතා බැලිය යුතුයි.