රාවය

ලෝකය ගොඩ නැගුවේ ආදරයට බර මිනිස්සු – ප‍්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ

ලෝකය ගොඩ නැගුවේ ආදරයට බර මිනිස්සු – ප‍්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ

පහන් විජේසේකර
ඡායා
රවීන්ද්‍ර පුෂ්පකුමාර

සංගීතය සහ ජීවිතය අතර ඔබ දකින සම්බන්ධය මොකක්ද?

සංගීතය කියන්නේ ජීවිතය වගේම පුළුල් විෂයයක්. ජීවිතය පිහිටුවා ගන්නේ සම්ප‍්‍රදායක වගේම සංගීතය පිහිටුවන්න සිද්ධ වෙන්නෙත් සම්ප‍්‍රදායක. සංගීතයට රටාවක් හිමියි. ජීවිතයටත් රටාවක් තියෙනවා. රටාව ඉක්මවන්න අපිට බැහැ. සංගීතය සහ ජීවිතය අතර තියෙන්නේ එහෙම සමානත්වයක් කියලයි මට හිතෙන්නෙ.

ඔබේ පාසල් කාලය ගෙවී ගියේ කොහොමද?

මම මුලින්ම ගියේ ශ‍්‍රී රේවත මහා විද්‍යාලයට. ඊළඟට උසස් අධ්‍යාපනය සඳහා සුභද්‍රාරාම පිරිවෙණට සම්බන්ධ වුණා. සුන්දර සිිහිවටන සමග තමයි පාසල් කාලය මතකයේ රැුඳිලා තියෙන්නේ. පුද්ගලික අරමුණුවලට වඩා මුළු සමාජය දිහා විවෘතව බැලීමේ පුරුද්දක් අපිට තිබුණා. මට තිබුණෙ කුතුහලයෙන් පිරුණු ළමා කාලයක්. ඒ කාලය දිහා බලනකොට පාසලේ අපිට උගන්නපු ගුරුවරු අද අපි මේ ජීවිතේ ජයගෙන තියෙන අරමුණුවලට බොහෝ සංවේදී දේවල් එකතු කළා කිව්වොත් නිවැරදියි.
සුභද්‍රාරාම පිරිවෙණ කියන්නේ මහා පණ්ඩිත ස්වාමීන් වහන්සේලා සහ ගුරුවරුන්ගෙන් පිරිච්ච ආයතනයක්. ශ‍්‍රී රේවත මහා විද්‍යාලය කියන්නෙත් ඒ හා සමාන ගුරුවරුන්ගෙන් සමන්විත පාසලක්. ඔවුන් සමාජය පිළිබඳව, ජීවිතය පිළිබඳව ලබා දුන් ඥානය තමයි තවම අපි තුළ වැඩ කරන්නේ.

ගම සහ ගමේ අත්දැකීම් කොහොමද?

මං හැදුණේ වැඩුණේ කෝට්ටේ ප‍්‍රධාන කරගත්ත ගංගොඩවිල කියන ගමේ. වෙල් යායවල්, ලඳු කැලෑවල්වලින් පිරිච්ච ඉතාමත් නිස්කලංක පරිසරයක තමයි හැදී වැඩුණේ. ගංගොඩවිල, දෙල්කඳ, පැඟිරිවත්ත, විජේරාම, මාදිවෙල ආදී වශයෙන් වූ ප‍්‍රදේශ ගණනාවකින් සමන්විතයි. එදත් මේ ප‍්‍රදේශ තුළ සංස්කෘතිය හා දේශපාලනය සම්බන්ධ ක‍්‍රියාකාරීත්වය වැඩියි. ඒකත් අපිට වැදගත් අත්දැකීමක් වුණා. කිට්ටුවෙන්ම ආශ‍්‍රය කරපු ජීවිතය බෙදා හදා ගත්ත යහළුවන් කීපදෙනෙක් මට හිටියා. අපේ කේන්ද්‍රස්ථානය වුණේ පැපිලියානේ ජනතා ප‍්‍රගතිපුර පුස්තකාලය. එතන පොතපත පිළිබඳව සංවාද කරන පිරිසක් හිිටියා. අපිත් කුඩා කාලයේ ඉඳන් ඒ පැත්තට යොමුවුණා. මේ කාලයේ අපිට ඇසුරු කරන්න ලැබුණු වැඩිහිටි වාමාංශික දේශපාලන සගයන් නිසා අපේ ජීවිතේට තවත් පැත්තක් විවර වුණා. විශේෂයෙන්ම 71 කැරලි කරුවන් මළ ගෙවල්වල, පිරිත් ගෙවල්වල, තොවිල් ගෙවල්වල වගේ සාමූහික තැන්වලදී එකතු වුණා. ඔවුන්ගෙන් තමයි සාමූහික ජීවිතය කියන එක ඉගෙන ගත්තෙ.

පුංචි කාලේ ඉඳන්ම සංගීතඥයෙක් වීමේ අරමුණක් තිබුණාද?

නැහැ. මට ගොඩක් දේවල්වලට අරමුණක් තිබුණේ නැහැ. මගේ පරිසරය තුළ හම්බවෙච්ච මගේ පමණට වඩා ලොකු මිනිස්සු දුන්නෙ පොදු අරමුණක්. අනිත් එක මට ගොඩක්ම දැනුණේ මේ සමාජය ගැන තියෙන ආදරය. මට මගේම අරමුණක් එන්නේ නැහැ. සමාජයට ආදරය කරන ගතිය තමයි දැනුණේ. ? බෝවනතුරු ඉන්නෙ ගෙදරින් පිට. කොයිවෙලේත් ක‍්‍රියාකාරී තැන්වල. සිනමාහලක එක්කෝ සංගීත ප‍්‍රසංගයක, මළගේක, ලෙඩෙක් ළඟ. මෙන්න මේ වගේ ක‍්‍රියාකාරී තැනක තමයි මම හිටියේ. ඒ සමාජ වටාපිටාව ඇත්තෙන්ම සංගීතඥ යෙක්වීමට බලපෑවා. අධ්‍යනය තුළ සියලූ දේවල් තුළින් හොඳ චින්තන ශක්තියක් ගොඩනගා ගත්තා. මගේ පරම්පරාවත් එක්ක වැඩ කරනවා වගේම මං නොදුටු පරම්පරාවක් එක්ක වැඩ කරන්නත් අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම අමර දේවයන්, කේමදාසයන්, ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුනිල් ආරියරත්නයන් වගේ අයත් එක්ක කතා කරන්න වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඒවා තමයි ජීවිතය අවබෝධ කරගන්න හේතුවුණු කාරණා.

නිර්මාණවල ස්වීයත්වය පිළිබඳව ඔබ කොපමණ දුරට හිතනවාද?

මම වැඩ කරන කොට මට කිට්ටුම විවේචනයක් ලැබෙන්නේ වාද්‍ය ශිල්පීන්ගෙන්. ඒ වගේම රෙකෝඩින් ඉංජිනියර්ගෙන්. මුලින්ම ලැබෙන්නේ වාද්‍ය ශිල්පීන්ගේ විචාර. වාද්‍ය ශිල්පියෙක් කියන්නේ විවිධ සංගීතඥයන් සමග වැඩ කරන අය. දැන් මහින්ද බණ්ඩාර ගත්තොත් ලංකාවේ ඉන්න බොහෝ සංගීතඥයන් සමග වැඩ කරපු කෙනෙක්. මගෙත් එක්කත් වැඩ කරනවා. බොහෝ සංගීතඥයන්ගේ, වාද්‍ය ශිල්පීන්ගේ ලැබුණු වැඩිමනත් විචාරවල තිබුණේ මගේ නිර්මාණ තුළ නාට්‍ය එක්ක සම්බන්ධ වුණු හැඩතලයන් තියෙනවා කියලා. මම හිතන්නෙ එයින් ස්වීයත්වය මැරෙන්නෙ නැහැ. තවත් කලාවක ආභාසයයි එතනදි ලැබෙන්නෙ.

ගීතයකට තනුවක් නිර්මාණය කිරීමේදී ඊට අදාළ අර්ථ හා ශබ්ද රසය ගැන ඔබ හිතන්නේ කොහොමද?

තනුව කියන එක වචනවලිනුත් උපදිනවා, ස්වර තුළිනුත් උපදිනවා. ඒක කොයි වෙලාවේ හට ගන්නවද කියලා කියන්න බැහැ. සමහර තනු ඒ මොහොතේ ඇතිවෙනවා. සමහර ඒවා මාස ගණන් අවුරුදු ගණන් යනවා. සමහර පද රචනාවලට තනුවක් එන්නේම නැහැ. එක්තරා අවිවේකයත් සමගම සිද්ධ වෙන නිර්මාණත් තියෙනවා. මට මේක ඕනේ ඉක්මනටම කිව්වොත් අපි ඒකට කාලය කැප කරනවා. ඒ වගේ කරපු නිර්මාණත් තියෙනවා. ‘දැන් ඉතින් වෙන කුමක් කරන්නද, ආදරණීය වස්සානේ, ඔබ එන්න ෆැන්ටසි ඇවනිව් ගීත ඒ අතරින් කිහිපයක්. විවිධ සාකච්ඡුා හරහාත් තනු යෙදෙනවා. නිෂ්පාදන බලපෑම මතත් සිදුවෙනවා. කොහොම නමුත් සැබෑ නිර්මාණයක් එහෙම උඩින් පල්ලෙන් ගිිහින් හදන්න බැහැ. වචනවලින්, රිදම් එකෙන්, ගායන ලීලාවෙන් පටිගත කරන කාලසීමාවෙන් මේ හැමදේකින්ම සීමාවෙලා තියෙන අතරතුර තමයි තනුව නියමාකාරයෙන් නිර්මාණය වෙන්නේ.

වර්තමාන ගීත කලාව තුළ ඒ දේ ආරක්ෂා වෙනවාද?

වර්තමානයේ තියෙන ප‍්‍රශ්නය තමයි, තාක්ෂණය පාවිච්චි කරන විදිවල බංකොළොත්කමක් තිබීම. ඒක හොඳට දැනෙන්නේ මේ සියල්ල තාක්ෂණයෙන්ම ජයගන්න බැරි නිසා. හැඟීම කියන එක එක්තරා දුරකට ගේන්න පුළුවන් වෙන්නේ වෙනත් අභ්‍යාස තුළින්. ඊළඟට අද නිර්මාණ කරන්නේ හුදෙකලා වෙලා. එහෙම බැහැ. විශාල පිරිසක් එක්ක නිර්මාණ ක‍්‍රියාවලිය සම්බන්ධ වෙන්න ඕනේ. ඊට හොඳම උදාහරණය තමයි ගුවන්විදුලි සංස්ථාව. එදා ගුවන්විදුලි සංස්ථාවට මරදානේ තිබුණු සංගීත සංස්කෘතිය විශාල වශයෙන් බලපෑවා. මරදාන කියන්නේ ලොකු සංගීත කේන් ද්‍රස්ථානයක්. එක පැත්තකින් කේමදාස මාස්ටර්, තව පැත්තකින් ධර්මදාස වල්පොළ, ටවර් හෝල් ශිල්පීන්. මේ වගේ විශාල ගුරුකුල තිබුණා. ගාමිණී විජේතුංග කියන සිනමා විචාරකයයි මමයි මේ මරදානේ සංගීත කාමර පිළිබඳව කෘතියක් කරන්නත් සූදානම් වෙලා හිටියේ. විවිධ ප‍්‍රදේශවල සංගීතය ඉගෙන ගත් අය හේවුඞ් එකට ආවා. මේ හේවුඞ් එකෙන් ආපු අයයි, මරදානේ අයයි ඔක්කොම එකතුවෙලා ගුවන්විදුලි සංස්ථාව එක්ක වැඩ කළා. එහෙම තමයි ගුවන්විදුලි සංස්ථාවේ සංගීත සම්ප‍්‍රදාය දියුණු වුණේ. ඒ සම්ප‍්‍රදාය තමයි අද බිඳී විසිරිලා තියෙන්නේ.

ඔබ සංගීතය හදාරන්න යොමුවුණේ කොහොමද?

ඇත්තටම කිව්වොත් සංගීතය හදාරන්න පෙර මගේ ජීවිතයේදී තක්සලාවක් වූ ආයතනයක් ගැන සඳහන් කළ යුතුමයි. උසස්පෙළින් පස්සේ වසර 15ක කාලයක් මගේ ජීවිත තක්සලාව වුණේ කොළඹ කොමර්ෂල් ඉංජිනේරු ආයතනයයි. ලංකාවේ උසස් අධ්‍යාපනයෙන් පසු ඉංජිනේරු තාක්ෂණය හදාරන්න ආපු අය වගේම විදේශීය වශයෙන් ඉංජිනේරු තාක්ෂණය හදාරන්න ආපු අයත් කොළඹ කොමර්ෂල් එකේ රස්සාවෙදි මට හම්බ වුණා. මං ගමේදි එකතු කරගත්තු ඥානය මේ ස්ථානයේදී ගවේෂණය කරන්න මහඟු අවස්ථාවක් ලැබුණා. මෙතන හිටිය අයත් එක්ක සාහිත්‍ය ගැන, ගීතය, පත්තර ගැන, නාට්‍ය, සිනමාව ගැන හොඳ ඥාන ගවේෂණයක යෙදුණා. එතනින් සිදුවූ පෝෂණය නිසා තමයි සංගීතය හදාරන්න පෙළඹුණේ. මං ශාස්ත‍්‍රීය සංගීතය හදාරන්න මුලින්ම යොමුවුණේ 1989දී විශාරද බී. වික්ටර් පෙරේරා කියන සංගීත ගුරුවරයා යටතේ. අවුරුදු 4ක කාලයක් ඔහු යටතේ සංගීතය හැදෑරුවා. ඊට එහායින් ගත්තම කේමදාසයන්ගේ තැන්වලට ගිහින් තියෙනවා. අමරදේව මහත්තයගෙන් ඉගෙන ගෙන තියෙනවා. මගේ අධ්‍යයනය විවිධ වුණා.

ඔබගේ පරමාදර්ශය කවුද?

මට එහෙම පරමාදර්ශී චරිතයක් කියලා එක් කෙනෙක් වෙන්වෙලා හිටියේ නැහැ. මගේ කුඩා කාලයේ ඉඳන් මට පරමාදර්ශී චරිත ගොඩක් හම්බ වුණා. පොතපත තුළින් හම්බවුණා. ඇහැට දැකලා හම්බ වුණා. ඒත් මගේ අති පෞද්ගලික පරමාදර්ශී චරිතයක් වුණේ මගේ පුංචි අම්මා.හැම තිස්සේම අපේ දුකේදි හිටියේ එයා. ඒක මහා දැඩි දුකක්. ඒ වෙලාවල්වලදී එයාගේ පිහිට නිබඳව මට ලැබුණා. ගෙදර ප‍්‍රශ්නයකදී වුණත් කියන්න කෙනෙක් නැතිවුණාම මගේ පිහිටට හිටියේ පුංචි අම්මා තමයි.

80 දශකයේ මුල් භාගයේදී ඔබත් නිර්මාණ සංවාද කුලකය නියෝජනය කළා. ඒ අත්දැකීම කොහොමද?

ඇත්තටම මේ රටේ නිර්මාණ සංවාද කුලකය බිහිවෙන්නේ කලාව, දේශපාලනය, සංස්කෘතිය තුළ අතීත පරම්පරාවෙන් ගෙනාපු දැනුම කොහොමද අපි උකහාගෙන වැඩ කරන්නේ කියන අරමුණ ඇතිවයි. මෙහි පුරෝගාමී චරිතයක් වුණේ සුචරිත ගම්ලත්. ඒ වගේම ආචාර්ය පියසීලී විජේගුණසිංහ, ගුණදාස අමරසේකර වැනි අයත් මේකේ හිටියා. සංගීතය, චිත‍්‍ර කලාව, දේශපාලනය ගැන ප‍්‍රශ්න කිරීමෙන් සංවාදාත්මක අදහස් ගොඩ නගා ගත් පරම්පරාවක් තමයි හිටියේ. 89දී වුණු විනාශයත් එක්ක ඒක විසිරිලා යනවා. එක්තරා කට්ටියක් පොළොවට පස්වෙනවා. තව කට්ටියක් පවුල් සංස්ථාගත වෙනවා. සමහර අය 89න් පසුවත් ඒ තිබූ අරමුණු කෙරෙහි නැවත ක‍්‍රියාකාරී වෙනවා. මමත් හැදුණේ එතැනින්. දීප්ති කුමාර, කේ. කේ. සමන්කුමාර, රොහාන් පෙරේරා යන අය මේ සංවාදය පවත්වාගෙන ගියා. මේ සෑම විවාදයක් තුළින්ම ගොඩ නගා ගත් විචාරයන් සමාජගත වෙන්න පටන් ගත්තා. එක පැත්තකින් දේශපාලන ක‍්‍රියාකාරිත්වයත් වගේම සංස්කෘතික ක‍්‍රියාකාරිත්වයකුත් මේ තුළ ගොඩ නැගුණා සංවාදශීලීව.

ආදරය ගැන මොකද හිතෙන්නේ?

ලෝකය එක්ක අපි බැඳෙන්නේ ආදරය නිසා. අපිටත් ආදරය කරන්න පුරුදු කළේ ලෝකයට ආදරය කරපු අය. මට ආදරයේ තියෙන විශාලත්වය දැනුණේ සමාජ වටාපිටාවෙන්. පෞද්ග ලිකවම දැනෙනවට වඩා පුළුල්ව තමයි ආදරය අදටත් දැනෙන්නේ. ආදරයට බර අය තමයි ලෝකය ගොඩනගන්න උත්සාහ කළේ.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;