රාවය

තණ්හා රති රඟා සර්පයා වෙනුවට සර්ප හැව පෙන්වීම

තණ්හා රති රඟා සර්පයා වෙනුවට සර්ප හැව පෙන්වීම

තවත් බෞද්ධ තේමාවක් රැුගත් චිත‍්‍රපටයක් ‘තණ්හා රති රඟා’ නමින් ලාංකේය සිනමාවට මුදා හැර ඇත. මෙතෙක් බිහි වූ බෞද්ධ චිත‍්‍රපට මෙන් නොව මෙය වඩාත් සූක්ෂ්මය. මෙතෙක් කලක් අප නැරඹුවේ ගෙඩි වශයෙන් බෞද්ධ ආගම, සිංහල ජාතිය පිළිබඳව සාකච්ඡුා කෙරෙන අතිශය ප‍්‍රචාරකවාදී කෘතිය. එහෙත් ‘තණ්හා රති රඟා‘ යනු වඩා සූක්ෂ්මව අදේශපාලනය කරා සමාජය කැන්දා යන කෘතියකි. යම්කිසි ආගමක් පිළිබඳව ප‍්‍රකාශ වන කලාකෘතීන්වලට විරුද්ධ වීමට සදාචාරමය අරුතින් අපට අයිතියක් නැත. එහෙත් දර්ශනයේ දුගීභාවය නිසා බෞද්ධාගම තුළින් යථාර්ථය කියවීමේ අදේශපාලනික ව්‍යාපෘතියකට විරුද්ධ වීමට අපට අයිතියක් ඇත.

දෘෂ්ටිවාදය විසින් කරනු ලබන්නේ ස්වකැමැත්තෙන් අප ශික්ෂණය කිරීමයි. නිලේන්ද්‍ර දේශප‍්‍රිය විසින් කරනු ලබන්නේ ස්වකැමැත්තෙන් අපට පශ්චාත් යුද යථාර්ථය අමතක කරවීමයි. බොදු බල සේනා රළු පනාවට හසුනොවන ජාතිවාදී මකුණන් සෝහිත හිමියන්ගේ සුමුදු පනාවට හසුවෙනවා මෙන් සනත් අබේසේකරගේ ‘මහින්දාගමනයට’ හසුනොවන ලිබරල් ජාතිකවාදීන් රොත්ත නිලේන්ද්‍ර දේශප‍්‍රියගේ ‘තණ්හා රති රඟා’ අබියස නිරුත්තරය. ඉතින් ‘තණ්හා රති රඟා’ තුළින් ප‍්‍රකටවන අදේශපාලනය පිළිබඳව සාකච්ඡුා කිරීමට කාලය පැමිණ ඇත.

හිතේෂිවන්ත විචාර කලාව

‘ෆිල්ම් එක නම් මරේ මරු, ඔහොම යං, ඔහොම යං, කාස්ටින් මරු, වැඬේ ගොඬේ ගොඩ, පොඩි රෝලර් කෝස්ටර් ගතියක් තිබුණා….’
කෘතිය පිළිබඳව සාකච්ඡුා කිරීමට ප‍්‍රථම කෘතිය වටා චාමර සලන මෙවන් වූ විචාරයන් පිළිබඳව අදහසක් පැවසිය යුතුය. මෙය විචාරයක් නොවන බවට අයෙකුට තර්ක කළ හැකිය. එහෙත්් ගැටලූව වන්නේ සුමිතුරු විචාර කලාවක් උරුම ලාංකේය විචාර කලාව අවසානයේ ගමන් කරන්නේ මෙවන් වූ දුගීභාවයකටය. ‘ඔහොම යං, ඔහොම යං’ වැනි වචන නොතිබුණාට ‘තණ්හා රති රඟා’ චිත‍්‍රපටය පිළිබඳව ලියැවුණු බොහෝ ලිපි තුළ තිබුණේ ‘ඔහොම යං, වැඬේ ගොඩ’ වැනි අදහස්ය. කෘතිය සමග කෘතිය බිහිවන සමාජය කියවනවා වෙනුවට, කෘතිය පමණක් කියවා උඩ පනින මෙවැනි විචාරකයන්ට මතක් කර දිය යුත්තේ විචාරය යනු හිතමිතුරන් උඩ දාන විෂයක් නොව එය, එයටම ස්වාධීන පැවැත්මක් සහිත කලාවක් බවයි.

පශ්චාත් යුද කාලීන සමාජය

ලාංකේය සමාජය 2009 මැයි 18න් පසුව සියලූ වැඩ අත්හැර, කිරිබත් කා, රතිඥ්ඥා දල්වා අලූත් කාලයකට අවතීර්ණ විය. මෙම කාලය ‘පශ්චාත් යුදකාලීන සමාජය’ ලෙස නම් කරන ලදි. මෙම පශ්චාත් යුද කාලය තුළ සිදුවූයේ කුමක්ද? මෙතෙක් කලක් දකුණට පමණක් උරුම වූ ධනවාදයේ විනෝදය උතුරට ගමන් කළේය. කොයිතරම් විනෝදය ප‍්‍රවාහනය වූයේද යත් අද දකුණට වඩා විනෝදයක් උතුර තුළ ඇති බවට වායුසමනය කළ දුම්රිය, නවීන සිනමාශාලා, සාප්පු සංකීර්ණ විසින් උපකල්පනය කිරීමට ඉඩ සලසනවා ඇත. අනෙක් අතට දකුණ තුළ ඇතිවූ සතුරාගේ රික්තයට මුස්ලිම් වෙළෙන්දා හසුවිය. යුද සමය තුළ බෙදා හැරී දෘෂ්ටිවාදයේ තෙල බෙදාගන්න තැනක් නැතිව හන්දිවල පිරිත් ලෙස පුපුරා ගියේය. අලූත් සල්ලිකාරයන් පිරිසක් බිහි වූ අතර ඒ සමග නවතම ආරේ සංස්කෘතියක් රට තුළ බිහිවිය. ‘දූෂණය’ මෙම සල්ලිකාර පන්තියේ උදාන වාක්‍යය බවට පත්විය. 18 වන ව්‍යවස්ථා සංශෝධනය ඇති විය. මේ පශ්චාත් යුද කාලය තුළ ලංකාවේ දක්නට ලැබුණු බොහොමයක් සමාජ විපර්යාසයන් අතරින් කිහිපයකි. මෙකී සියලූම විපර්යාසයන් පසුපස සිටින ඒජන්තවරයා වූයේ යුද සමයේ උත්කෘෂ්ටත්වයට පත් ඒකාධිපති ධනපති රාජ්‍යයයි.
දැන් ‘තණ්හා රති රඟා’ චිත‍්‍රපටය පෙනී සිටින්නේ මෙකී කවර වූ විපර්යාසය පිළිබඳවද?

සැබෑ සතුරා වාරණය කිරීම

චිත‍්‍රපටය ආරම්භය සිදුවන්නේ කොළඹ නගරය ආශ‍්‍රිතව ජීවත්වන ජන කණ්ඩායමක් යුද ජයග‍්‍රහණය සමරන දර්ශනයක් සමගය. එම ස්ථානයට පැමිණෙන චණ්ඩියාගේ (කමල් අද්දරආරච්චි) හෝ දේශපාලකයාගේ (විශ්වජිත් ගුණසේකර) චරිත හරහා එම අවස්ථාව තවදුරටත් විවිධත්වයෙන් පිරි අවස්ථාවක් බවට පත්කරන අතර එකී මැදිහත්වීම් තුළින් කිරිබත් කෑමේ ඒකාකාරී වාර්තාමය ස්වරූපය නාට්‍යමය තත්ත්වයකට පරිවර්තනය කර ඇත. ඔබ බසයේ ගමන් කරන විට බේබදු පුද්ගලයෙකු බසයට නැගි විට එම බස්රථය විනෝදයෙන් ඇලලී යනු ඇත. ඒකාකාරී බස්රථ ගමන වඩා සිත්ගන්නා සුලූ බවට පත්වනු ඇත. ඉතින් ඒ ආකාරයට කිරිබත් කෑමේ මිලේච්ඡුත්වය වෙනුවට නාටකීය සිත්ගන්නා සුලූ අවස්ථාවක් බවට එම අවස්ථාව පත්කර ඇත.
චිත‍්‍රපටයේ මුඛ්‍ය අර්බුදය මෙමගින් පැහැදිලිය. එනම් අධ්‍යක්ෂවරයාට අවශ්‍ය කර ඇත්තේ චිත‍්‍රපටය පුරාම වඩා පරිස්සම්කාරී ගමනක් යාමටය. පොදු සතුරා වෙනුවට පෞද්ගලික සතුරා තෝ්රාගැනීම තුළින් ආරක්ෂාකාරී ලෙස පශ්චාත් යුද තත්ත්වය පිළිබඳව සාකච්ඡුා කිරීමටය. බාප්පා සතුරා කිරීම මගින්, මස්සිනා සතුරා කිරීම මගින් ගමන වඩා සුරක්ෂිතය. මෙය ටෙලි නාට්‍ය උපක‍්‍රමයකි. වර්තමානයේ විකාශය වන සියලූම ටෙලි නාට්‍යවල සිටින්නේ පොදු සතුරෙකු නොව පෞද්ගලික සතුරෙකි. මේ සතුරාට ඉතිහාසයක් නොමැත. මෙම සතුරා ස්ථානගත වන්නේ අදේශපාලනික තීරයකය. එවිට අප මුහුණ දෙනු ලබන සියලූම සාමාජීය අර්බුද සුදු වෑන් එකකින් ඉස්සුවා වැනි ආකාරයට අතුරුදහන් වී අපගේම ගැටලූවක් බවට පත්වනු ඇත. චිත‍්‍රපටය ආරම්භයේදී හඳුන්වා දෙනු ලබන මෙම පෞද්ගලික සතුරන් සමස්ත චිත‍්‍රපටය පුරාම නාට්‍යමය ගුණය වර්ධනය කරමින් සිටිනවා මිස අවසානයේ සිදුවන කිසිවක් නොමැත. චිත‍්‍රපටයේ කිසිදු ස්ථානයක මෙම සතුරන්ගේ විරෝධයට හේතුවක් පෙන්වන්නේ නැත. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයාට එරෙහි චණ්ඩි මස්සිනා පේ‍්‍රම සම්බන්ධයට එරෙහිවීමට හේතුවක් නැත. ත‍්‍රීවිල් රියදුරා එක් අවස්ථාවක තමන්ගේ නිවස බාප්පාට අවශ්‍ය මන්ද යන්න විමසූ විට බාප්පාගේ පිළිතුර වන්නේ ‘මට ඒක අයිතියි, මට ඒක ඕනෙ’ යන්න පමණි. මෙම සතුරන්ට දේශපාලනයක්, ඉතිහාසයක් නොමැත යන්න ප‍්‍රකාශ කරන්නට සිදුවන්නේ එබැවිනි. අධ්‍යක්ෂවරයාට සහ තිර රචකයන්ට අවශ්‍ය දේ පැහැදිලිය. එනම් උගුරට හොරා බෙහෙත් බීමටය. පශ්චාත් යුද සමාජයේ දේශපාලනය පිළිබඳ සාකච්ඡුා නොකර පශ්චාත් යුද සමාජය පිළිබඳව සාකච්ඡුා කිරීමටය. අදේශපාලනික තීරයක සිට සාකච්ඡුා කරනු ලබන පශ්චාත් යුද සමාජය ව්‍යාජයකි. මතුපිටින් අතගෑමකි.

අලූත් වටයකින් බෞද්ධ සිනමාව

පිස්තෝලය හමු වූ විට මෙම තරුණයෝ තමන්ගේ පෞද්ගලික සතුරා සොයා එති. ත‍්‍රීවිල් රියැදුරා තමන්ගේ බාප්පාට එරෙහිවද විශ්වවිද්‍යාල තරුණයා තම පෙම්වතියගේ අයියාට එරෙහිවද පිස්තෝලය ඔසවයි. අවසානයේ මෙම ක‍්‍රියාවේ ප‍්‍රතිඵලයක් ලෙස මොවුන් පොලීසියට හසුකිරීමෙන් අධ්‍යක්ෂවරයා තවදුරටත් පහදා දෙන්නේ කුමක්ද? ඔබ සිත තුළ තිබූ වෛරය ඔබට එරෙහි වී ඇත. වෛරයෙන් වෛරය නොසන්සිඳේ. සැබෑ සතුරා සිටින්නේ ඔබ තුළමය. නොපමාව කුසල් රැුස්කරන්න වැනි බෞද්ධාගමික යෝජනාය. අධ්‍යක්ෂවරයා පළමුවෙන්ම පොදු සතුරා මගහැර පෞද්ගලික සතුරා හඳුන්වා දී පළමු වරද කළ පසු නැවතත් එම වරද නිවැරදි කරගන්නේ තමා තුළ සිටින සතුරා ගැන සිතන්නට ඉඩ සලස්වමිනි. මෙය වරද නිවැරදි කිරීමක් නොව තවදුරටත් මුලාවේ ගිලීයාමකි. අලූත් වටයකින් ඇරඹි බෞද්ධ සිනමාව ක‍්‍රියාත්මක වන්නෙ මෙහිදීය. මෙම නව සිනමාව තුළ සෘජුව අපට බෞද්ධාගමික සංකල්ප දකින්නට නොලැබෙන අතර, ඊට වඩා සූක්ෂ්ම ලෙස බෞද්ධාගමික දර්ශනයන් කාවැද්දීමට උත්සාහ කර ඇත. ගැටලූව පවතින්නේ පශ්චාත් යුද දේශපාලනය තුළ සිටින සැබෑ අර්බුදය මගහැර පාරභෞතික බෞද්ධ සංකල්පයකට සමාජ අර්බුදය ඌනනය කිරීමය. සෑම අර්බුදයක්ම බෞද්ධ දෘෂ්ටිකෝණයෙන් අවසාන කිරීම (බුදුහාමුදුරුවොත් ඕක කිව්වා) අද වන විට විලාසිතාවකි. නිලේන්ද්‍ර දේශප‍්‍රියද යෝජනා කරන්නේ මෙවන් වූ අවසානයකි. පිස්තෝලය පෙන්වන සෑමවිටම සර්පයා පෙන්වීම තුළින් ‘ආනන්ද සර්පයා දුටුවාද?’ කියා අසන සිනමාකරුවා යෝජනා කරන්නේ මෙවන් පාරභෞතික සිතිවිල්ලක් නම් අපට කියන්නට ඇත්තේ එය තවත් ප‍්‍රතිඵල රහිත සමාජ මැදිහත්වීමක් බවයි. ඕනෑම සමාජ අර්බුදයක සැබෑ තත්ත්වය වෙනුවට මෙවැනි විඥානවාදී තත්ත්වයන් හසුකරගැනීම තුළ නැවත නැවතත් පේ‍්‍රක්ෂකයා මුලාවේ ගිල්වනවා මිස එම මුලාවෙන් විමුක්තිය ලබන්නට පහසු කරන සාකච්ඡුාවක් ගොඩනගන්නේ නැත.

අර්බුදය අන්තැනක

අහම්බයෙන් හමුවන පිස්තෝලයක් සමග ලාංකේය සමාජයේ යුද මානසිකත්වය පෙන්වන්නට උත්සාහ කරන චිත‍්‍රපටයට යුද මානසිකත්වකයේ ප‍්‍රධාන වගඋත්තරකරුවා මග හැරේ (මග හරී*. එල්.ටී.ටී.ඊ සංවිධානයේ අවසානයත් සමග පූර්ණ බලය හිමිකරගත් ඒකාධිපති රාජ්‍යය විසින් උතුර මෙන්ම දකුණද අර්බුදයකට ගෙනයන ආකාරය චිත‍්‍රපටයේ තිරරචකයාට හෝ අධ්‍යක්ෂවරයාට හසුවන්නේ නැත. එබැවින් මෙම චිත‍්‍රපටය ප‍්‍රධාන නළුවා නොමැති චිත‍්‍රපටයකි. විටින් විට විධායකය නියෝජනය කරනු ලබන හමුදා සහ පොලිස් නිලධාරීන් පමණක් චිත‍්‍රපටය තුළට ඔබ්බවා ඇති අතර චිත‍්‍රපටය පුරාම එම චරිත උත්කෘෂ්ටත්වයට පත් කරයි. පිස්තෝලය සමග ගමන් කරන තී‍්‍රරෝද රථය හමුදා භටයන්ට අභිමුඛ වන සෑම මොහොතකම චිත‍්‍රපටය විසින් අපට සිතන්නට ඉඩ හරින්නේ වැරදිකරුවන් සිටින්නේ ත‍්‍රීරෝද රථය තුළ බවයි. රාජ්‍යය සහ රාජ්‍යය නියෝජනය කරන හමුදා භටයා සැමවිටම උත්කෘෂ්ට තීරකයා බවට පත්වී ඇත. ඔවුන් බනින්නේ අපේ හොඳටය. ඔවුන් අප ? එළිවන තෙක් රඳවා ගන්නේ අපේම ආරක්ෂාවටය. අපට හොඳටම බැණ කෑම පාර්සලයක් දී පරෙස්සමෙන් යන ලෙස රාජ්‍යය අපට නිසිමග පෙන්වා දෙයි. සමහර විට රාජ්‍යය විසින් අපගේ රථය මග නැවතුණ විට පෙට‍්‍රල් ගෙනත් දෙයි. අප බෝම්බ ගොඩක් උඩ සිටිනා විට ‘පරිස්මෙන් අඩිය තියන්නට’යැයි අපට අවවාද කරයි. මේ සියලූම දේවලට වගකිවයුත්තා විසින් අපගේ ආරක්ෂාව පිළිබඳව ඕනෑවටත් වඩා සොයා බලයි. වයසක පොලිස් නිලධාරියා ඉතාමත් ස්වීට් හාදයෙකි. ඔහු අප විනෝද සාගරයේ ගිල්වා හරියි. අවසානයේ සමාජ අර්බුදයේ සැබෑ වගඋත්තරකරුවා අප ආරක්ෂා කරන බවටත්, අප බිය වී සිටින විට අපට හිනා යන විහිළු කරනා බවටත් චිත‍්‍රපටය විසින් අපට මතක් කර දෙයි.

තමන්ගේ වැඩක් බලාගන්න

චිත‍්‍රපටය අවසානයේ සිරෙන් නිදහස් වූ තරුණයෝ තිදෙනා නැවත වතාවක් පිහියක් අහුලති. ඔවුහු එම පිහිය ඈතට වීසි කරති. පුරා පැය එකහමාරක් පුරා දිව යන කතාවක් අවසානයේ චිත‍්‍රපටය විසින් අපට යෝජනා කර සිටින්නේ පාරේ වැටී තිබෙන පිහියක් ගෙදර ගෙන ගොස් නැති කරදර දාගන්නේ නැතිව සිටිනා ලෙසය. එම ආයුධය පිටුපස තිබෙන දේශපාලනය අමතක කරන ලෙසය. මෙම යෝජනාව අද දවසේ ලාංකිකයාගේ ජීවිතයට ඇදහැලෙන මල්වරුසාවකි. මන්ද දැනටත් ඔවුන් ගතකරමින් සිටින්නේ එවැනි ජීවිතයක් වන බැවිනි. මෙය එක අතකින් ආගමික අවසානයක් වන අතරම තවත් අතකින් අදේශපාලනික අවසානයක්ද වන්නේ එබැවිනි.

උතුරේ සහෝදර ජනකණ්ඩායමක් තම මව, පියා, සහෝදරයා, සහෝදරිය අහිමි වීමේ ශෝකයක්, එම අහිමි වීම සැමරීමේ අයිතිය අහිමි වීමේ ශෝකයත් මැද පශ්චාත් යුද සමය ගෙවද්දී ‘තණ්හා රති රඟා’ චිත‍්‍රපටය විසින් දකුණේ සාමාන්‍ය ජන මනසට අපූරු අවවාදයක් කරයි. එනම් යුද්ධෙ දිනපු නිසා දැන් චලෙයි ගිහින් නාලා විනෝද වෙන්න, හැබැයි නෑවට කමක් නැහැ, බැරිවෙලාවත් පිස්තෝලයක් හම්බවුණොත් ඒක පොලීසියට භාර දෙන්න, බැරිවෙලාවත් ගෙදර ගෙනාවොත් ළමයින්ට අහුවෙන තැන්වලින් තියන්න එපා, ප‍්‍රවෘත්ති බලනවා නම් ‘දෙරණ’ ප‍්‍රවෘත්ති පමණක් බලන්න කියාය.

ඉතින් ‘තණ්හා රති රඟා’ චිත‍්‍රපටය පෙන්වා නිලේන්ද්‍ර දේශප‍්‍රිය විසින් ‘සර්පයා දුටුවාදැ’යි අපෙන් අසන විට අපට කියන්නට ඇත්තේ සර්පයෙකු නම් නොදුටු අතර, සර්ප හැවක් නම් දුටු බවයි.