රාවය

ගැමි ආර්ථිකය නැංවීමට ගමට බලය දිය යුතුය – ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න

ගැමි ආර්ථිකය නැංවීමට ගමට බලය දිය යුතුය – ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න

සමුපකාරය

50, 60 දශකවල ලංකාවේ ගැමි ජනයාගේ ආර්ථික සංවර්ධනය සඳහා සමුුපකාරය යොදාගැනීම වැදගත් කර්තව්‍යයක් විය. මුලින්ම සමුපකාර ක‍්‍රමය ඇරඹුණේ පළාත් බද ප‍්‍රභූවරුන් වෙතිනි. ක‍්‍රමයෙන් ඊට රජයේ අනුග‍්‍රහය ලැබිණි. ඇතැම් පළාත්වල මෙම වැඩපිළිවෙළ විශාල වශයෙන් පැතිරී ගියේය. 70 දශකයේදී සමුපකාර ක‍්‍රමය දියුණු කිරීමට කියමින් ඊට ඉහළ පරිපාලනමය මැදිහත්වීම් සිදු කැරිණි. එහිදී පොදු ජනයාගේ සංවර්ධනයට වඩා රාජ්‍ය ධනවාදී සංකල්පය මතුවිය. සංස්ථා බිහිවීම එම සංකල්පයේ ප‍්‍රතිඵලයකි. දැවවලට මෙන්ම කජුවලටද සංස්ථා ඇතිවිය. ඉන් රාජ්‍ය ධනවාදය ඉස්මතු වුවත් පළාත්බදව පැවති කර්මාන්ත දියුණුවීමට මෙම ක‍්‍රමවේදය හේතුවිය. කම්මල්කරුවන්, ගඩොල් පෝරණු පවත්වාගෙන යන්නන් වැනි කණ්ඩායම්වලට ආර්ථික ශක්තියක් ගෙනදීමට මෙම වැඩපිළිවෙළට ශක්‍යතාව තිබිණි. එහෙත් මෙය මුළුමනින් ගමට ආර්ථික බලයක් ලැබෙන ක‍්‍රමයක් බවට පත් නොවීය. ඉන් සිදුවූයේ පුද්ගලයන් කිහිපදෙනකුට ආර්ථික බලයක් හිමිවී බහුතරයක් පිරිස හුදු ශ‍්‍රමිකයන් වීමය.

රාජ්‍ය ධනවාදය

වර්තමානයේ ක‍්‍රියාත්මක වන දිවි නැගුම වැනි වැඩසටහන්වලද අවසාන ඉලක්කය ග‍්‍රාමීය එකමුතුවක් නොවේ. පුද්ගලයන් කිහිපදෙනකුට පිටුවහලක් ලබාදී ඔහු යටතේ ශ‍්‍රමික පිරිසක් බිහිකිරීමය. එමගින් බැංකු ක‍්‍රම නිර්මාණය කළ ශ‍්‍රමිකයාට කැපී පෙනෙන ආර්ථිකමය පිම්මක් පැනීමේ අවකාශයක් මෙහි නැත. කුඩා ව්‍යවසායකයන් ලෙස ඉහළට මතුවූ කිහිපදෙනාට පමණක් බැංකු ක‍්‍රමය උපකාරයෙන් තම ව්‍යාපාරය වඩාත් විශාල කරගත හැකිය. එය ජාත්‍යන්තර බැංකු දක්වාම සම්බන්ධ කළ ආයතනගත කිරීමකි. එම ක‍්‍රමය මුළුමනින්ම වාගේ බහුතරය යටපත් කර ධනේශ්වර පන්තියක් බිහිකර ගැනීමට පාර කැපීමකි. ප‍්‍රාග්ධනය එක් පුද්ගලයකු තුළ එකතුවීම වැඩි කර ශ‍්‍රමිකයන් ඉක්මනින් බිහි කරන මෙම ක‍්‍රමය පැරණි රාජ්‍ය ධනවාදී ක‍්‍රමයට වඩා වේගවත්ව ඇති නැති පරතරය වැඩි කරන්නකි. 70 දශකයේ රාජ්‍ය ධනවාදී යුගය අදට සාපේකෂව වඩා සාර්ථකය. එහෙත් රාජ්‍ය ධනවාදය පැරණි සමුපකාර ක‍්‍රමය හා සසඳන කල නිරවුල් ක‍්‍රමයක්යැ’යි කිව නොහැකිය.

ඇතැම් කර්මාන්තවලට රාජ්‍ය ධනවාදී ස්වරූපය හොඳින් ගැළපුණි. මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ඉන් එකකි. සම් භාණ්ඩ, පිත්තල, ස්වර්ණාභරණ හා වෙනත් කුඩා කර්මාන්තකරුවන්ට එළියට ඒමට එම ක‍්‍රමය උපකාරී වූයේය. දැන් ක‍්‍රියාත්මක වනුයේ සියල්ලන් එක රාමුවකට ගැනීමය. පිරිසක් ශ‍්‍රමිකයන් වීම එහි අනිවාර්ය අංගයකි. එම ශ‍්‍රමිකයන් විදේශ රැුකියාවලට යොමු කිරීමද එක් පියවරකි. එය මහා පරිමාණයෙන් සිදුවන්නකි. ලංකාවේ රැුකියා හිඟය අවමවීමට එක හේතුවක් වන්නේද පිටරට රැුකියාවල බහුතර පිරිසක් නියැලීමය. ඔවුන් මුදල් එවීම නිසා දුප්පත්කම කිසියම් ප‍්‍රමාණයකට තුනීවීමද සිදුවෙයි. එහෙත් ඊට විකල්ප වෙනත් බියකරු දේ සිදුවනු දක්නට ලැබේ. පවුල් අවුල්වීම ඉන් ප‍්‍රධාන එකකි. එහෙත් පවුලේ කෙනකු සැලකිය යුතු ආදායමක් ලබනවා යන හැඟීම එම පවුල්වල පැවැත්මට බලවත් සාධකයක් වී තිබේ. ඒ අවස්ථාවන් අහිමිව දවසින් දවස පහළට රූටා වැටෙන ජනයා දිවි නැගුම වැනි ව්‍යාපෘතිවල කොටස්කරුවෝ වෙති. එනම් පිරිසක් ගැමි ධනපති පන්තියක් බිහිකිරීමට දායක වන අතර තව පිරිසක් ඉන් බැහැරට විස්ථාපනය වෙයි. දැනට ලංකාවේ ගම තුළ දක්නට ලැබෙන්නේ එවැනි සංසිද්ධියකි.

කෘෂිකාර්මික පදනම

ලංකාවේ කෘෂිකාර්මික ජන පදනම දියුණු කළ යුතුය. එය පත්වන ඕනෑම ආණ්ඩුවක ප‍්‍රධාන කටයුත්තක් බවට නිතැතින්ම පත්වන්නේ ඡුන්ද පදනම එහි ඇති බැවිනි. එහෙත් පොහොර හා කෘෂි ආම්පන්න බෙදාදීම හැර කෘෂිකර්මාන්තය වෙනුවෙන් සංකල්පීය හා ප‍්‍රායෝගික තලයේ වැදගත් වන දෙයක් කිරීමට ආණ්ඩු අසමත් විය. පොහොර සහනාධාරය වැනි ක‍්‍රියාවක අවසාන ඉලක්කය වූයේ කෙසේ හෝ කුඹුරු අස්වද්දා වී ටික ගෙට ගැනීමය. එය සිදුවුණි. මේ ක‍්‍රියාවලිය තුළ සිටියේත් ගම් මට්ටමේ සිටින බලවත් කොටස්ය. ණයදීම, අස්වැන්න මිලදී ගැනීම හා මෙම ක‍්‍රියාවලිය තුළ සක‍්‍රීය වූයේ එම බලවත් පිරිසය. කවර ආණ්ඩුව යටතේ වුව එම ක‍්‍රියාවලිය සිදුවූයේ ගොවියා සහ ව්‍යාපාරිකයා අතර සම්බන්ධයෙනි. මෙම ක‍්‍රියාවලිය තුළ ගොවියා දියුණුවක් නොලබා එකම තැන සිටිනයුරුද දක්නට ලැබිණි. එමෙන්ම ව්‍යාපාරික ඉලක්ක මත තාක්ෂණය හා රසායනය උපරිමයෙන් භාවිත කිරීම නිසා විශාල විනාශයක්ද සිදුවූ බව සත්‍යයකි. ගොවි පරපුරුද ඉන් විනාශ මුඛයට ගියහ. වී වගාව වැඩි වුවත් පුද්ගලයන්ගේ හා භූමියේ රෝගී තත්ත්වයන් වර්ධනය වීම නිසා ඉකුත් වසර විස්ස තිහ තුළ කෘෂිකර්මාන්තයෙන් ලත් ප‍්‍රතිඵල බරපතළය.

යැපෙන තත්ත්වයට එරෙහිව

ඉහත මා සඳහන් කළ පරිදිම මෙම ගොවි පවුල්වලින් එක් අයකු පිටරට සේවය කරනු බොහෝ විට දක්නට ලැබෙන්නකි. දැන් ගොවි ජන දිවියෙහි පදනම හුදෙක් කෘෂිකර්මාන්තය නොවේ. කෘෂිකර්මාන්තය සමග විදෙස් රැුකියාවකි. කෘෂිකර්මාන්තයෙන් පැහැදිලි ලාභයක් අත් නොවුණත් ගොවි ජනයාගේ ජීවන චක‍්‍රය සැකසී තිබෙන්නේ ඒ වටා බැවින් එය පවත්වාගෙන යන බව පැහැදිලිය. පිටරට රැුකියාවක නියුතු පවුලේ කෙනකුගෙන් ලැබෙන්නේ එසේ අසීරුවෙන් කරන කෘෂි කර්මාන්තයට යම් මූල්‍යමය ආධාරයකි. මෙම ක‍්‍රමය වෙනස් කර ගොවියා සිය නිෂ්පාදනයෙන් යැපෙන තත්ත්වයක් ඇතිකර ගැනීම වැදගත්ය. ඒ සඳහා එක් පියවරක් ලෙස පැරණි සමුපකාර ක‍්‍රමයට යා හැකිය. සමුපකාර බැංකු ක‍්‍රමය අත්හදා බැලිය හැකිය. අද වනවිට සමුපකාරයෙන් හදාපු මහජන බැංකුව කෝටිපතියන්ගේ බැංකුවක් බවට පත්වී ඇති ආකාරයද අප අමතක නොකළ යුතුය. වියයුත්තේ සමුපකාර ක‍්‍රමයෙන් හදන බැංකුවක් සැබෑ මහජන බැංකුවක් බවට පත්වීමය. ඒ සමගම ගොවි ජනයා තමන්ගේ කටයුතු තමන් විසින්ම සැලසුම් කරගන්නා ක‍්‍රමයක් වෙතට යෑම වැදගත්ය. පැරණි ග‍්‍රාම රාජ්‍ය සංකල්පය තුළ ගම අභ්‍යන්තරයෙන්ම ගම ගැන සොයා බලන යාන්ත‍්‍රණයක් තිබුණි. වරිග සභා ක‍්‍රමය පවා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයකි. දැනට ගම ගැන වැඩ කරන්නට තිබෙන ප‍්‍රාදේශීය සභා ක‍්‍රමය හුදෙකලා වූ එකකි. මමත් නගර සභා මන්ත‍්‍රීවරයෙක් නිසා කරන්නට වැඩක් අපි කාටවත් නැති බව හොඳින්ම ප‍්‍රත්‍යක්ෂ කරගෙන සිටිමි. ප‍්‍රාදේශීය සභාවට දැනට නියෝජිතයන් පත් කරන සමානුපාතික ක‍්‍රමය හා ඔවුන් තෝරාගන්නා මනාප ක‍්‍රමය මුළුමනින් වෙනස් කර පැරණි ගම්සභා ක‍්‍රමයට නියෝජිතයන් පත්කර ගැනීමෙහි වැදගත්කමක් තිබේ. එවිට සභාව නියෝජනය කරන්නේ ගමට හෝ ජන කණ්ඩායමට අදාළ අයෙකි. ඔහුට ගම වෙනුවෙන් වගකීමක් පැවරේ. දැන් එවැන්නක් නැත. ජනාධිපති මහින්ද රාජපක්ෂ පවා පත්වූයේ එම ක‍්‍රමයටය. ඔවුන්ගේ පරපුරේ අය පෙර සිටි ගම් සභාපතිවරුය. එකල ගම් සභා උසාවියක් තිබිණි. ගම් සභාපතිවරයාට පොලිස් බලතල ලැබී තිබිණි. ගම් මට්ටමේ ආරාවුල් එහිම විසඳන ක‍්‍රමයක් තිබුණි. ගමට යළි එම බලය ලබාදිය යුතුය. එහෙත් ගමෙහි අපරාධකාරයන්ට බලය ලබා නොදීමටත් මේ ක‍්‍රියාවලිය හසුරුවන කොටස් හා ජනතාව වගබලා ගත යුතුය.

ජනසවිය හා සමෘද්ධි

ගැමි දුප්පතුන් සංවර්ධනය කිරීමට ඉදිරිපත් කළ ජනසවිය හා සමෘද්ධි හුදෙක් දිළිඳු සහනවලින් එහා නොයයි. ඒ දිළිඳු සහනාධාරය තුළ දේශපාලනමය වශයෙන් වහලූන් පිරිසක් බිහිකරනුද දැකිය හැකිය.
ජනසවිය සහ සමෘද්ධි යන අදහස් බැලූ බැල්මට විචිත‍්‍රවත්ය. අපේක්ෂාව වැටී සිටින එකාට උදව් කිරීමය. එය නරක දෙයක් නොවේ. එහෙත් ඉන් සිදුවූයේ සුළු ධනවතුන් කිහිපදෙනකු බිහිකර ශ‍්‍රමිකයන් වැඩි පිරිසක් ඇති කිරීමය. 70 දශකයේ පැරණි අර්ථයට අතිරේකව දේශපාලන වහල්ලූ ජනසවියෙන් සහ සමෘද්ධියෙන් බිහිවූහ. ඇතැම් අවස්ථාවල චේතනාන්විතවම මෙවැනි කටයුත්තක් කෙරෙහි උනන්දු පිරිසක් ක‍්‍රියාවලියට සම්බන්ධ වූ අවස්ථාවල ජනසවිය වැනි ව්‍යාපෘතිවල සාර්ථක වූ අංශ තිබේ. දිළිඳුකම දුරැුලීමට අවශ්‍යවන්නේ ස්වයංක‍්‍රීයව ක‍්‍රියාත්මක වන වැඩසටහනකි. පුද්ගලයකු මුල්වී යම් ක‍්‍රියාවක් වෙනුවෙන් මහන්සිවීම ක‍්‍රමයක් හඳුන්වාදීමක් නොවේ. අපට අවශ්‍යවන්නේ දිළිඳුකම පිටුදැකීමට ක‍්‍රමයක් හඳුන්වාදීමය.

පිළිසරණ වෙනුවට බලය

දැනට ගම් මට්ටමේ ඇති දුප්පත්කම තුරන් කිරීම සඳහා පිළිසරණ ව්‍යාපාරයක් අවශ්‍යය. ඊට සමෘද්ධි වැනි සහනාධාරයක් හා ඒක නිසි පරිදි ක‍්‍රියාත්මක කරන ගම් සභා මට්ටමේ වැඩපිළිවෙළක් වුවමනාය. ගමෙහි කෙනකු බඩගින්නේ සිටිනවා නම් ගම් සභාපතිට ඒ ගැන පිළිතුරක් තිබිය යුතුය. ගමෙහිම සමුපකාර ආයතන පිහිටුවාගෙන ගම්සභාපති ඇතුළු සභිකයන්ට ආහාර පිළිබඳ වැඩසටහනක් සැකසිය හැකිය.

දෙවනුව ඒ පළාතට අදාළ තේ වගාව, වී වගාව, සත්ව පාලනය හෝ සුළු කර්මාන්ත සැලසුම් සහගතව නැංවිය යුතුය. නිෂ්පාදන හා නිෂ්පාදන අතිරික්තය සැලසුම් සහගතව ගමෙන් පිට යැවීමේ වැඩපිළිවෙළක්ද ගම තුළින්ම නිර්මාණය වීම වැදගත්ය. ඒ සඳහා බාහිර යාන්ත‍්‍රණයක්ද සැකසී තිබිය යුතුය. මෙම ක‍්‍රියාවලියෙන් ලැබෙන ලාභය නිෂ්පාදකයාට හා ගමට ලැබිය යුතුය. පුද්ගලික ව්‍යාපාරිකයන් මේ කටයුත්තෙහි නිරත නම් ක‍්‍රියාවලිය පරීක්ෂාවට ලක් කෙරෙන ක‍්‍රමයක්ද වැඩසටහනට අඩංගු විය යුතුය. එමෙන්ම රසායනික ද්‍රව්‍ය පාලනයකින් තොරව පාවිච්චි නොකර පාරම්පරික කෘෂිකාර්මික සිද්ධාන්තයන්ද ප‍්‍රයෝජනයට ගෙන සාර්ථක අස්වැන්නක් ලබන්නේ කෙසේද යන්න ගැනත් අවධානය යොමුවීම වැදගත්ය. ගැමි දිළිඳු ජනයා සංවර්ධනය කළ හැක්කේ එවැනි වැඩපිළිවෙළකට පමණි. රජයකට මේ පිළිබඳ සැලැස්මක් තිබිය යුතුය. දර්ශනයක් තිබිය යුතුය. ගැමි ජනයාට නිර්මාණශීලීව තම ප‍්‍රශ්න විසඳා ගැනීමට බලය මෙන්ම සහාය රජයකින් ලබාදිය යුතුය. එසේ නොමැතිව දිළිඳු සහන එකම උත්තරය කරගතහොත් සදාකාලිකවම දිළිඳු සහන ලබාදෙන්නට සිදුවනු ඇත.

(සාකච්ඡාවක් ඇසුරිණි.)

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;