රාවය

අප මිනිසුන් බවට පත්කළ දස මහා විප්ලව

අප මිනිසුන් බවට පත්කළ දස මහා විප්ලව

කොලින් බරාස් සංස්කරණය
ජයා පත්මපානි

කම පූර්වජයෙකුගෙන් ( a n c e s t o r ) පැවැත ආ මානවයන් හා චිම්පන්සින් එකිනෙකාගෙන් වෙනස් සත්ව විශේෂ ලෙස පරිණාමය වීම ඇරඹුණේ මීට වසර මිලියන 6කට පමණ පෙරය. එතැන්සිට බොහෝ කලක් යන තෙක්ම එතරම් කැපීපෙනෙන වෙනසකට භාජනය නොවූ මේ දෙකොට්ඨාසයම මයිල් පිරුණු සිරුරකින් යුතු කුඩා මොළයක් සහිත වනවාසීන් ලෙස වනගහනවලම ජීවත් විය. එහෙත් මෙයට වසර මිලියන දෙකකට පමණ පෙර සිට එම තත්ත්වය වෙනස් වන්නට පටන් ගත්තේය. ඊට හේතුව මානව ඉතිහාසය වෙනස් කිරීමට තුඩුදුන් නව සොයාගැනීම් මගින් නූතන මිනිසා බිහිකිරීමට සමත්වන ලෙස මානවයන් සිය පරිණාමය තමන්ගේම අතට ගැනීමයි.

1. ආහාර පිසීම

අපේ ආදිතම මානවයන් දෙපයින් ඇවිද යන්නට ඇති නමුත් ඔවුන්ට තිබුණේ කුඩා හිස් කබල්ය. ඔවුන්ගේ දත් විශාලය, දෑත් දිගුය. කල් ගතවන විට ඔවුන් මිනිස් ස්වරූපය ගන්නට ඇත්තේ කෙසේදැයි කිසිවකු හරියටම නොදන්නා නමුත් ස්වාභාවික වරණයට අනුව ස්වරූපය වෙනස්වන අනිකුත් සත්ව විශේෂ මෙන් නොව, අපේ සිරුරේ ස්වරූපය අප වගාකරගත් අපේම කුසලතා නිසා හැඩවැඩවූවක් විය හැකිය.
මේ සම්බන්ධ ඇති එක් උපකල්පනයක් මෙසේයි. ආදිකාලීන මානුෂයන් (hominins) ආහාරයට ගත්තේ තද අමු ආහාර වර්ග වන අතර දිරවීම පහසු වීමට ඒවා සුදුසු පරිදි විකා හපකිරීමට සැලැකිය යුතු උත්සාහයක් ගත යුතුව තිබුණි. එහෙත් පාලනය කරගත් ගින්දර භාවිතකොට ආහාර පලහා පිසගැනීම සමග ඒ තත්ත්වය වෙනස් විය. ගින්නේ පලහාගත් ආහාර විකීමට පහසු වන ලෙස මෘදු වූ අතර ආහාරයේ ඇති දිරවීමට අපහසු කෙඳි සහිත කොටස්ද සිරුරට පහසුවෙන් අවශෝෂණය කළ හැකි සීනි බවට ලේසියෙන්ම පත්විය. මේ අනුව එතෙක් පැවැති විශාල දත්වල සහ දිගු අතුනුබහනක අවශ්‍යතාව නැතිවී ගිය බැවින් කල්යෑමේදී ඒවාද ප‍්‍රමාණයෙන් කුඩා විය. එපමණක් නොව ගින්දර පාලනය කොට ? එළිවන තුරු ගිනිමැල දල්වා තැබීමට හැකි වූ නිසා තවදුරටත් වන සතුන්ගෙන් බේරීමට රාත‍්‍රිකාලයට ගස් නැගීමේ අවශ්‍යතාවක් ආදි මානවයන්ට නොවීය. ඒ නිසා ගස්නැගීමට පහසුවන දිගුදෑතක පැවැත්මද අත්‍යවශ්‍ය නොවීය. ඒ අනුව කෙටි අතුනුබහන් සහ කෙටි අත් ඇතිවීම වැනි ශරීරය සම්බන්ධයෙන් ඇතිවූ වෙනස්කම් නිසා ඉතුරුකරගත් ශක්තිය මොළය වර්ධනය වීමට වැයවිය. වෙනත් අන්දමකින් කිව්වොත් හෝමෝ ඉරෙක්ටස් මානවයා ස්වරූපයෙන් අපට සමාන වූයේ අප මෙන්ම ඔවුන්ද පිසගත් ආහාර අනුභව කළ බැවිනි.
වඩා විශාල මොළයක් ඇති හෝමෝ ඉරෙක්ටස් වැනි මානවයන් බිහිවීමට හේතුව පෝෂ්‍යදායී පදාර්ථයන්ගෙන් යුතු වූ මාංශ භක්ෂණය කිරීම බව මේ සම්බන්ධයෙන් ඇති තවත් මතයකි. එයින් තේරුම් යන්නේ හෝමෝ ඉරෙක්ටස් යනු හොඳ දඩයක්කාරයකු බවයි. ගොදුර වෙහෙසට පත්වෙන තෙක්ම හඹායෑමට තරම් හොඳින් අපේ සිරුරු හැඩගැසී ඇති බව ඇත්තකි. එහෙත් දඩයම් කිරීමේ ක‍්‍රමවේදය මුළුමනින්ම වෙනස් වීමට හේතු වූයේ වෙනත් ආකාරයක නව සොයා ගැනීමක් නිසාය. එය දඩයම් කරන ආකාරය පමණක් නොව මානව සමාජයේ ස්වභාවයද තීරණය කරන නව සොයා ගැනීමක්ද විය. එය ආයුධ භාවිතයයි. ඒත් ආරම්භයේදී භාවිත කළ ආයුධය මොන වගේද?

2. ආයුධ භාවිතය

වැර වෑයමින් දමා ගසන ආයුධයකට වේගවත් ඇන්ටිලොප් මුවකු වුවත් පරදවා ගමන් කළ හැකිය. වේගයෙන් ඉලක්කයට දමා ගැසීමට අවශ්‍ය ආකාරයේ උරහිසක් සහිතවූ මුල්ම මානව විශේෂය හෝමෝ ඉරෙක්ටස් බව පසුගිය වසරේ ඉදිරිපත් කළ පර්යේෂණ පත‍්‍රිකාවකින් යෝජනා කර තිබුණි. ජෝජියාවේ මනිෂි (Dmanishi) පළාතේ තිබූ හෝමෝ ඉරෙක්ටස් වාසභූමියකින් සොයාගත් මිට මොලවන ප‍්‍රමාණයේ අසාමාන්‍ය ගල් එකතුව ඔවුන් දමාගසන ආයුධය වශයෙන් තෝරා ගත්තේ මොනවාදැයි තේරුම් ගැනීමට හොඳ සාක්ෂියකි.
ආයුධයක් වශයෙන් දමාගසන ගල් හාවිත කිරීම හෝමෝ ඉරෙක්ටස් මානවයන්ට හුදෙක් දඩයම් උපක‍්‍රමයක් පමණක් නොවීය. එය තමන්ට විරුද්ධවන සතුරෙකු සාර්ථකව මරා දැමීමටද යොදා ගත හැකිවිය. දකුණු කැලිපෝනියානු සරසවියේ ක‍්‍රිස්ටෝපර් බොහෙම් පෙන්වාදෙන ආකාරයට ආදි මානව සමාජවල සිරුරෙන් තරමක් දුර්වල අයෙකුට වුවද මුහුණට මුහුණලා සටන් කිරීමකින් තොරව අතින් දමා ගසන ආයුධ නිසා ඈතින් සිට ශක්තිමත් ප‍්‍රතිවාදියෙකු මරා දැමීමේ හැකියාවක් ඇති විය.

3. ආභරණ හා ශරීරාලේපන

මීට දශකයකට පමණපෙර දකණු අප‍්‍රිකාවේ බ්ලොම්බෝස් ගුහාවල සිදුකළ කැණීම්වලදී සායම් තැවරූ හිල් කරන ලද බෙලිකටු එකතුවක් පාදා ගැනීමට ලැබුණි. බෙලිකටුවල හිල් විද තිබූ ආකාරය අනුව එම බෙලිකටු එකතුව මාලයක් හෝ වළල්ලක් ලෙස හාවිත කරන ලදැයි සිතාගත හැකිවිය. මේ බෙලිකටුවල තවරා තිබු ගුරුපැහැ සායම වෙනත් ද්‍රව්‍ය හා කලවම් කොට විශේෂයෙන්ම නිපදවා ගත්තක් බවට සහ ඒවා ශරීරය සායම් කිරීම සඳහාද යොදාගන්නට ඇති බවට සාක්ෂි වඩා මෑතකදී කළ බ්ලොම්බෝස් ගුහා කැණීම්වලින් සොයාගත හැකිවිය.
බැලූ බැල්මටම නොවැදගත් ඒවා ලෙස පෙනුණද ඇත්තටම මෙවැනි නිපදවීම් මගින් පෙන්නුම් කරන්නේ මානව සංනිවේදනයේ හා විශ්වාසයන්ගේ විප්ලවකාරී වෙනසක් ඇති වූ බවකි. හෝමෝ ඉරෙක්ටස් කාලයේ සිට පැවැත ආ සමානාත්මතාව පිළිබඳ හැඟීම අභියෝගයට ලක් කරමින් මානව සමාජය තුළ ඇතිවූ උස් පහත් භේදයක සලකුණු සමාජ තත්ත්වය විදහාපාන මේ ආභරණ හා ආලේපනවලින් කියැවේ. ආභරණවලින් පළකළ සමාජ තත්ත්වයට අතිරේකව ශරිරා ලේපනවලින් කණ්ඩායමේ අනන්‍යතාවද කියාපාන්නට ඇත. පරපුරෙන් පරපුරට ආභරණ හා ආලේපන භාවිතය පවත්වාගෙන යෑමට හැකිවීමෙන් පෙනීයන්නේ තමන් විසින් ගොඩනගාගත් සම්ප‍්‍රදායයන් පවත්වාගෙන යෑමට තරම් සංකීර්ණ වූ භාෂාවක් මේ වනවිට මානවයන්ට තිබුණ බවයි.

4. ඇඳුම් මැසීම

ආභරණ සහ ආලේපන හැරෙන විට සිය කය වසාගැනීමට සුදුසු වස්ත‍්‍ර නිපදවා ගැනීමද මානවයන් මනුෂ්‍යයන් බවට පත්කිරීමේ ලා වැදගත් විප්ලවකාරී පියවරක් විය. ඇඳුම් මැසීම පිළිබඳ මුල්ම සාක්ෂියක් වශයෙන් සැලකිය හැකි අවුරුදු 60,000ක් පැරණි ඉඳිකටුවකට සමාන කෞතුක භාණ්ඩයක් කැණීම්වලින් සොයා ගැනීමට හැකිව තිබේ. එහෙත් ඒ වනවිටත් වස්ත‍්‍ර භාවිතය ඇරඹී අවුරුදු දහස් ගණනක් ගෙවී ගොස් ඇති බවට සාක්ෂි ඇත. මේ බව තහවුරු කරන සාක්ෂියට ඇත්තේ තරමක අසාමාන්‍ය ප‍්‍රභවයකි. ඒ ප‍්‍රභවය නම් ඇඳුම්වල වෙසෙන ඉනිකුණන්ය. ඉනිකුණන් යනු මානවයන් විසින් වස්ත‍්‍ර පරිහරණය කිරීම ඇරඹීමෙන් පසු හිසකෙස්වල සිටි උකුණන් ගෙන් පරිණාමය වූ සත්ව විශේෂයකි. පළමු වරට ඉනිකුණන් සහ උකුණන්ගේ ජාන සසඳා බැලූවිට උකුණන්ගෙන් ඉනිකුණන් බිහිවන්නට ඇත්තේ මීට වසර 70,000 කට පමණ පෙර බව දැන ගන්නට ලැබුණි. එහෙත් වැඩිදියුණු කළ ක‍්‍රමවේදයන් යොදා වඩා මෑතදී කළ සංසන්දනයකට අනුව පළමු ඉනිකුණන් බිහිවීම වසර 170,000ක් දක්වා ඈතට යන්නක් බව තහවුරු වී ඇත. මොන අයුරින් බැලූවත් ලොව පුරා කෙමෙන් විසිර යෑමට පෙර මීට වසර 60,000කට පමණ පෙර අපේ මුතුන් මිත්තන් අප‍්‍රිකාවෙන් නිකුත් වෙන විටත් වස්ත‍්‍ර පරිහරණය කරමින් සිටි බව තහවුරු වේ.
ඉනිකුණන් සහ උකුණන්ගේ ජාන සම්බන්ධය පිළිබඳ මුල් පර්යේෂණය කළ ජර්මනියේ ලිප්සිග් නුවර පිහිටි පරිණාමීය මානව විද්‍යාව පිළිබඳ මැක්ස් ප්ලෑන්ක් පර්යේෂණායාතනයේ මාක් ස්ටොන්කින්ග් පෙන්වාදෙන පරිදි ශීතල ඔරොත්තු නුදුන් නිරුවත්ව විසූ ආදි මානවයන්ට මෙන් නොව වස්ත‍්‍ර හැඳි මානවයන්ට ශීතල පළාත්වලට සංක‍්‍රමණය වීමට හැකියාවක් ඇති විය. හුදෙක් ලොම් සහිත සත්ව හම්වලින් ලිහිල්ව ගත පොරොවා ගැනීම වෙනුවට ඉඳිකටු භාවිත කොට ඇඟට තදවන සේ ඇඳුම් මසා ගැනීමට හැකිවීමෙන් සිය සිරුරේ උණුසුම මනාව රඳවා තබා ගැනීමට වස්ත‍්‍ර භාවිත කළ මානවයන්ට හැකිවිය. ඒ එසේ වුවද අප‍්‍රිකානු සවන්නා තැනිතලාවේ බිහිවූ ආදි මානවයන්ට හිම මිදුණු ශීත පළාත්වලට සංක‍්‍රමණය වීම කලක් යන තෙක්ම මහත් අභියෝගයක්ව පවතින්නට ඇත. වඩා මෑතක දී කරන ලද පර්යේෂණවලින් නිගමනය වන පරිදි ලොව පුරා විසිර යෑමට ආදිමානවයන්ට හැකියාව ඇතිවූයේ ගෝලීය දේශගුණයේ සිදුවූ සැලකිය යුතු වෙනස්කම් නිසාය.

5. භාජන භාවිතය

අපේ ආදි මානවයන් අප‍්‍රිකාවෙන් නිකුත්වනවිට වස්ත‍්‍ර ආදියට අමතරව වෙනත් දේවල්ද පොදි ගසාගෙන යන්නට ඇත. මීට වසර 100,000 කට පමණ පෙර දකුණු අප‍්‍රිකාවේ විසූ මානවයෝ දිය බඳුන් ලෙස පැස්බර බිත්තර කටු භාවිත කළ බවට සාක්ෂි හමුවී තිබේ. මේ අන්දමින් අනෙකුත් ප‍්‍රිමාටා විශේෂවලට කළ නොහැකි අයුරින් තමන්ට අවශ්‍ය දෑ බඳුන්වල බහා ගෙනයෑමට හැකියාවක් වර්ධනය කරගැනීම මානවයන්ට විශේෂ වාසියක් විය. මෙහිදී පැස්බර බිත්තර කටුවල කොටා තිබූ සලකුණුවලින් තේරුම්ගත හැකි දෑ අතිශයින් ම වැදගත් වන්නේ විසිර වාසය කළ මානව කණ්ඩායම් අතර යම් ආකාරයක වෙළහෙළඳාම් සහ සම්බන්ධතා පවත්වා ගැනීම ඉන් පිළිබිඹු වන බැවිනි.
1999 සිටම ප‍්‍රංශයේ බෝඩෝ සරසවියේ ආචාර්ය පියර්-ජීන් ටෙක්සියර් ප‍්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක් දකුණු අප‍්‍රිකාවේ කේප් ටවුන් නුවරට කිලෝමීටර 150ක් උතුරින් පිහිටි ඩයිප්ක්ලූෆ් ගල් ගේ ආසන්නව සිදු කළ කැණීම්වලින් කැපී පෙනෙන ලෙස සලකුණු කොටන ලද පැස්බර බිත්තර කටු සොයාගෙන තිබේ. අවුරුදු දහස් ගණනක කාල පරාසයකට අයත් වන මේ බිත්තර කටුවල නිරන්තරයෙන්ම භාවිතකර තිබුණේ පස් ආකාරයක මූලික සලකුණුය. ඉන් අදහස් වන්නේ මේ පංච ආකාර සලකුණුවලින් කියවෙන දෑ අවබෝධ කරගැනීමේ හැකියාව පරපුරෙන් පරපුරට නොකඩවා පැවතුණ බවකි. ටෙක්සියර් සහ ඔහුගේ සගයන් කල්පනා කරන අන්දමට මේ මානව කණ්ඩායම් පිටස්තර මානව කණ්ඩායම් සමග සම්බන්ධතා පැවැත්වූ බැවින් තමන්ගේ කණ්ඩායම් අනන්‍යතාව තබා ගැනීම පිණිස ඔවුන්ට අයිති භාණ්ඩවල නිශ්චිත සලකුණු කොටා තැබීය.

6. නීතිය හා සාමය

භාණ්ඩ හුවමාරු වෙළෙඳාම ඇරඹීමත් සමග තම කණ්ඩායමේ සාමාජිකයන් සමග පමණක් නොව අන් කණ්ඩායම් සමග ගනුදෙනු කිරීමද සාමකාමීව සහ සාධාරණව පවත්වා ගැනීමට අපේ මුතුන් මිත්තන්ට සිදුවිය. එබැවින් නීතිය හා යුක්තිය හඳුන්වාදීමේ ලා වෙළෙඳාම් කිරීම මූලික වශයෙන් දායක වන්නට ඇතැයි කිව හැකිය.
නීතිය විකාශය වූයේ කෙසේද යන්න පිළිබඳ කිසියම් අදහසක් ඇතිකර ගැනීමට ශිලා යුගයේ විසූ දඩයක්කාරයන් මෙන් සමානාත්මවාදී හැඟීමකින් කටයුතු කරන නැගෙනහිර අප‍්‍රිකානු ජංගම එෙ`ඞ්ර ගෝත‍්‍රිකයන් වැනි ඇතැම් ජන කොටස්වල සමාජ ආකල්ප විමසීමෙන් තේරුම් ගත හැකිය. උදාහරණයක් වශයෙන් ගත්තොත් පිටස්තර එෙ`ඞ්ර ගෝත‍්‍රික කණ්ඩායම්වලට අයත් සතුන් පැහැරගැනීම වැනි බෙහෙවින් අනතුරුදායක කටයුත්තක නියැලෙන විට මධ්‍යගත දේශපාලන අධිකාරියක බලපෑමක් නැති මේ එෙ`ඞ්ර ගෝත‍්‍රික පිරිමි තම පවුලේ නොවන සාමාජිකයන් සමගද නොපැකිලව සහ යෝගයෙන් කටයුතු කරති. මේ අන්දමේ සාමූහික හොරකම් සදාචාරාත්මකව විය නොහැකි නමුත් එහිදී අන්‍ය සාමාජිකයන් හා සහයෝගයෙන් කටයුතු කිරීමට පෙළඹීම මගින් පිළිබිඹු වන්නේ නුතන නීති සම්ප‍්‍රදායේ ඇති ‘අනුගතවීම’ පිළිබඳ ආකල්පයයි. ඇරිසෝනා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සාරා මැතිව් වාර්තා කරන අන්දමට එවැනි සතුන් පැහැරගැනීමේ කල්ලියකට සහභාගිවීම ප‍්‍රතික්ෂේප කිරීම කණ්ඩායමේ අනිකුත් සාමාජිකයන් විසින් නියම කරන තදබල දඬුවමකට යටත්වීමට සිදුවන වරදකි. මෙවැනි අවස්ථාවලදී නියම අධිකරණයකට සමානව විනිශ්චය කිරීම හා දඬුවම් කිරීම සිදුවන බැවින් නීතිය හා විනිශ්චය යන සංකල්ප මධ්‍යගත අධිකාරයක් සහිත සමාජ බිහිවීමට පෙර ඇති වූවක් බව මැතිව් පවසයි.

7. කාලසටහන

ඉන්පසු ගතවූ අවුරුදු දහස්ගණනාව තුළ පැතිර ගිය වෙළහෙළඳාම නිසා හුවමාරු වූයේ ද්‍රව්‍යමය බඩුභාණ්ඩ පමණක් නොවේ. වෙළහෙළඳාම් සමග මතිමතාන්තර හා සංකල්පද ගනුදෙනු විය. ඒ මගින් ප‍්‍රාග් ඓතිහාසික යුගයේ මුල්ම විද්‍යාත්මක චින්තන ධාරාවද බිහිවෙන්නට ඇත. මේ අතර තම පරිසරය විද්‍යාත්මකව නිරීක්ෂණය කළ මුල්ම ජන කණ්ඩායම්වලින් එකක් වර්තමානයේ ස්කොට් ලන්තය යන නමින් හැඳින්වෙන පෙදෙසේ එකල දඩයම් කිරීමෙන් හා වන පලවැල එකතුකිරීමෙන් ජීවත් වූ බවට සාක්ෂි තිබේ. ඔවුන් විසූ ඇබර්ඞීන්ෂයර් පෙදෙසේ අවුරුදු 10,000ක් තරම් පැරණි කාලයක සිට ඉදිකළ මධ්‍ය ශිලා යුගයට අයත් නටබුන් ස්ථාන රැුසක් දක්නට ලැබේ. ඒ අතරින් වැදගත් තැනක් ගන්නා එක් නටබුන් ස්ථානයක ඊසාන දිග සිට වයඹ දක්වා චාපාකාරව පිහිටා ඇති වලවල් දොළහක් දක්නට ලැබේ. මේ වලවල් පිහිටි චාපය තිබෙන්නේ ශීත සෘතුවේදී ක්ෂිතිජයෙන් හිරු නැග එන අන්දම මැනවින් නැරඹිය හැකි නිම්නයකට මුහුණ ලා බව බර්මින්හැම් සරසවියේ වින්සන්ට් ගැෆ්නි සහ ඔහුගේ සගයෝ නිරීක්ෂණය කළහ. වලවල් 12 ස්ථානගත කර තිබෙන්නේ චන්ද්‍රමාස ගතවෙන ආකාරය දැකගැනීම පිණිස බව නිගමනය කළ පර්යේෂකයෝ ඇබර්ඞීන් ෂයරයේ චන්ද්‍ර කාලසටහන වශයෙන් හැඳින්විය හැකි මේ දිනදර්ශනය, මෙතෙක් සොයාගත් පැරණිතම ප‍්‍රාග් ඓතිහාසික දිනදර්ශනය මෙන් දෙගුණයක් පැරණි බව පෙන්වා දෙති.
‘ගෙවී යන කාලය සටහන්කර තබා ගැනීමට අවශ්‍ය වූ විට හැම සංස්කෘතියක් එය කළේ චන්ද්‍ර මාසය ගතවෙන ආකාරය අනුවයැ’යි පවසන ගැෆ්නි කාලවකවානු පිළිබඳ විධිමත් සංකල්පයක් ඇතිකර ගැනීම, සැමන් මසුන් බිත්තර දැමීම පිණිස උඩුගං බලා පිහිනීම වැනි සෘතු අනුව ඇතිවන සිදුවීම් කල් තියා දැනගැනීමට ආදි මානවයන්ට හැකිවූ බවද පෙන්වා දෙයි. ”ඔබට එවැනි ගුප්ත දැනුමක් තිබෙන්නේ නම් සමාජය පාලනය කිරීමේ අවස්ථාවද ඔබට ලැබේ”යැයි ගැෆ්නි පවසයි.

8. නගුල් ආනිසංසය

ස්කොට්ලන්තයේ විසූ දඩයම් කිරීමෙන් හා වන පලවැල එකතුකිරීමෙන් ජීවත් වූ ආදිවාසී ජන සමාජ එසේ චන්ද්‍ර මාස අනුව කාලවකවානු මිනුම් ගතකරන අතරතුර මෑතපෙරදිග විසූ ආදිවාසීහු ගොවිතැන් කටයුතුවල නිරතවීම අරඹා තිබුණි. ගොවිතැන් කිරීම ගත වෙහෙසකරවන කටයුත්තක් වූ බැවින් ඒ කටයුත්ත වඩා පහසු කරවන මෙවලම් නිපදවා ගැනීමට මුල්ම ගොවීහු පෙළඹුණහ. මෙසේ නිපදවාගත් මෙවලම් අතුරෙන් වඩාත්ම වැදගත් වූ මෙවලම නගුල වූ අතර එනිසා සමාජය කෙරෙහි ඇතිවූ බලපෑම විමතිය දනවන සුලූය.
දඩයම් කිරීමෙන් හා වන පලවැල එකතුකිරීමෙන් ජීවත් වූ අතීත සමාජවල දඩයම පුරුෂයන්ටත් වන පලවැල එක් කිරීම ස්ත‍්‍රීන්ටත් වශයෙන් අද මෙන්ම ස්ත‍්‍රී පුරුෂ භේදය අනුව ශ‍්‍රම විභජනය පවතින්නට ඇත. කෙසේ වෙතත් ගොවිතැන් කිරීම ආරම්භ වූ මුල් අවධියේදී ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව දෙගොල්ලන්ම සමෝසමේ ගොවිතැනේ යෙදිණ. එනිසා කලක් යන තෙක්ම ගොවිතැන ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාව පවත්වා ගැනීම සම්බන්ධයෙන් වැදගත් මෙහෙවරක් ඉටු කළේය. එහෙත් සීසෑමේදී මූලික වශයෙන්ම පුරුෂයන් විසින් මෙහෙයවිය යුතු වූ බරපතළ මෙවලමක් වූ නගුල හඳුන්වාදීමෙන් පසු ඒ තත්ත්වය නැතිව ගිය බව ඩෙන්මාර්ක් ජාතික කෘෂි ආර්ථික විශේෂඥයෙකු වූ එස්ටර් බොසෙරුප් 1970 ගණන්වල පෙන්වා දුන්නේය. මේ අදහස පරීක්ෂාවට ලක් කරනු වස් ලොස් ඇන්ජල්ස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ප ඕලා ගියුලියානෝ සහ ඇගේ සගයෝ ලොවපුරා ගොවිතැන සඳහා නගුල යොදාගත් සමාජ සහ නගුල යොදා නොගත් සමාජ අතර ස්ත‍්‍රී පුරුෂ ශ‍්‍රම විභජනය පිළිබඳ සංසන්දනාත්මක අධ්‍යයනයක් කළේය. අධ්‍යයනයට අනුව බොසරුප්ගේ ‘නගුල් ආනිසංසය’ පිළිබඳ අදහස තහවුරු කළා පමණක් නොව අද දක්වාම නගුල පුරුෂභාවයේ සංකේතයක් වශයෙන් පවතින බවද ප ඕලා පෙන්වා දුන්නේය. ‘ස්ත‍්‍රී පුරුෂ ශ‍්‍රම විභජනය තීරණය වන එකම කාරණය නගුල භාවිත කිරීම නොවේ. එහෙත් එක සමාන ජන කණ්ඩායම් දෙකක් අතරින් එක් සමාජයක් පමණක් නගුල භාවිත කරන්නේ නම් ඒ සමාජය ස්ත‍්‍රී පුරුෂ භේදය වැඩියෙන් සලකන සමාජයක්යැ’යි ප ඕලා පවසයි.

9. මලාපවහනය

මානව ඉතිහාසයේ බරපතළම වැරැුද්ද ගොවිතැනයැ’යි ජරෙඞ් ඩයමන්ඞ් නමැති මානව විද්‍යාඥයා වරක් ප‍්‍රකාශ කළේය. කොන්ද කැඩෙන වැඩක් වුවත් ගොවිතැන නිසා විශාල වශයෙන් ආහාර නිපදවීමට හැකිවීම නගර බිහිවීමටද හේතු විය. නාගරික ජිවිතය නිසා බොහෝ වාසි සැලසුණද ජලය මගින් පැතිර යන විෂබීජ හේතුකොටගෙන ඇතිවෙන රෝග වසංගත ආදියෙන් ගැලවීම බොහෝ නගරවලට තිබූ ප‍්‍රධානතම සනීපාරක්ෂක අභියෝගය විය.
නගර ආරම්භ වූයේ යම් දවසකද එදා සිට නාගරික මලාපවහන ක‍්‍රමද පැවැතුණ බවට සාක්ෂි තිබේ. වසර 5000ක් පැරණි ඉන්දු නිම්න මිටියාවත් ශිෂ්ටාචාරයට අයත් පැරණි නගර ගොඩනගා තිබුණේ අපවහන කටයුතු සඳහා යොදාගත් භූගත කාණු පද්ධතියක් මතය. ඒ කාලයටම අයත් ස්කොට්ලන්ත ජනාවාසවල වැසිකිළි කීපයක් පැවැතිණි. අවුරුදු 3500ක් පැරණි ක‍්‍රීට ශිෂ්ටාචාරයේ නගරවාසීහු අපද්‍රව්‍ය ජලයෙන් සේදී යන වැසිකිළි සහ මලාපවහන පද්ධති භාවිත කළහ. එහෙත් ලන්ඩනයේ ඉම්පීරියල් කොලෙජ් සරසවියේ ආචාර්ය තෝමස් බොන්ඞ් පෙන්වාදෙන පරිදි මේ කිසිවක් සැලසුම් කර තිබුණේ සනීපාරක්ෂක හේතු සලකාගෙන නොවේ. මේ මලාපවහන පද්ධති අතරින් බොහෝමයක් උසස් මට්ට්මක සිවිල් ඉංජිනේරු ශිල්පයක් නිරූපණය කළද ඒවායේ අරමුණ හුදෙක් නුදුරින පිහිටි ගඟට හෝ එවැනි වෙනත් තැනකට කසල ජලය යැවීමට පමණක් සීමාවිය.
අපවහනයේදී කසල ජලය පිරිසිදු කොට යැවිය යුතු බව මිනිසුන් වටහාගත්තේ 1850දී ලන්ඩන් නගරය පුරා පැතිරගිය කොළරා රෝගය හා එවකට පැවැති අපිරිසිදු ජලසම්පාදන ක‍්‍රමයේ සම්බන්ධයක් ඇති බව නාගරික වෛද්‍ය ජෝන් ස්නෝ විසින් පෙන්වා දුන් පසුවයි. විශාල ප‍්‍රමාණයේ මධ්‍යගත නාගරික මලාපවහන පද්ධති ප‍්‍රථම වරට හඳුන්වා දෙන්නේ 20වැනි ශතවර්ෂයේ මුල් දශක කිහිපයේදීය. කාර්යක්ෂම මලාපවහන පද්ධතිවල අවශ්‍යතාව කලක සිටම පැවැත ආවකි. එය ඉටුවීමෙන් පසු මහජන සොඛ්‍යය විප්ලවකාරී ලෙස දියුණු විය.

10. ලේඛන කලාව

ඞීප්ක්ලූෆ්වල තිබී සොයාගත් පැස්බර බිත්තර කටුවල කොටා තිබූ සංකේතවලින් පෙනීයන්නේ අවම වශයෙන් අවුරුදු 100,000ක පමණ පෙර සිටම මානව වර්ගයා අරුත් දැක්වීම පිණිස ග‍්‍රැපික සංකේත යොදාගත් බවයි. එහෙත් නියම ලේඛන කලාව ඇරඹුණේ මීට වසර 5000කට පෙරදීය. ලේඛන කලාව බිහිවීමත් සමග තොරතුරු වාර්තා කොට තබා දුරබැහැර තැන්වලට පමණක් නොව පරපුරෙන් පරපුරකට අනාගතය කරා යැවීමටද හැකිවිය. මෙය මින් පෙර නොවූ විරූ ආකාරයක සංස්කෘතික පරිණාමයකට හේතු විය.
ඉක්බිති ඇතිවූ විවිධ නිපැයුම් කෙතෙක් දුරට මිනිස් සන්තානයට බලපාන්නට ඇත්දැයි හෙළිදරව් වන අන්දමට ලේඛන කලාව මිනිසුන් තුළ ඇතිවන බිය සහ බලාපොරොත්තු පසු පරම්පරාවන්ට සන්නිවේදනය කළේය. මෙතෙක් සොයාගෙන ඇති පැරණිතම ලේඛන අතරට අයත් මෙසපොතේමියාවේ ලගාෂ් පෞර රාජ්‍යයේ දූෂිත පාලක පංතිය විසින් අධික බදු අය කරගැනීමට එරෙහිව ලියැවුණ වගන්ති මේ සම්බන්ධයෙන් උදාහරණයකට ගත හැකිය. මෙකී විරෝධය ලේඛන ගතකොට වැඩිකලක් ගතවීමට පෙර ලගාෂ්හි රජකම් කළ උරුකගිනා රජු විසින් පළමු ලිඛිත නීති සංග‍්‍රහය ලෙස සැලකිය හැකි ලේඛනයක් රචනාකොට ප‍්‍රසිද්ධ කළේය. සමාජ ප‍්‍රතිසංස්කරණ ගැන උනන්දුවක් දැක්වු රජෙකු වශයෙන් සැලැකිය හැකි ඔහු තම නීති සංග‍්‍රහය මගින් පොහොසතුන්ගේ අධික සූරාකෑම සීමා කිරීමට විධිවිධාන සැලසීය. එහෙත් එකි නීති සංග‍්‍රහය ස්ත‍්‍රීන්ට දැක්වූයේ පුරුෂයන්ට වඩා අඩු සැලකිල්ලකි. උදාහරණයක් වශයෙන් ගතහොත් පරපුරුෂ සේවනයේ යෙදෙන ස්ත‍්‍රීන්ට කළ යුතු දඬුවම් එහි සඳහන් වන නමුත් පරදාර සේවනයේ නිරත වන පුරුෂයන්ට කළයුතු දඬුුවම් එහි සඳහන් නොවෙයි. මේ නිසා කොතෙකුත් පරිණාමික විප්ලවවලින් හැඩවැඩ වුවද මනුෂ්‍යත්වය යනු තවත් බොහෝ දුරට දියුණු විය යුතුව ඇති දෙයක් බව කිව හැකිය.
(‘නිව් සයන්ටිස්ට්’ සඟරාව ඇසුරෙනි.)

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;