විමල්ටත් අහුවුණු පවිත‍්‍රාටත් අහුවන විදුලිබල මෑන් පවර්ලා

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවයේ නියුතු ස්ථිර පත්වීම් නොලද මිනිස් බල සැපයුම් හෙවත් ‘මෑන් පවර්’ යටතේ සේවයට බඳවා ගත් සියලූදෙනා ස්ථිර පදනමේ පිහිටුවාලන බවට පුවතක් නොබෝදා පළවිය. පුවතට අනුව ඒ දිනය උදාවනුයේ දෙසැම්බර් මස 1 වැනිදා සිටය.

වසර ගණනාවක් අනියමින් සේවයේ නියුතු හාරදහස් අටසියයකට වැඩි විදුලිබල මෑන් පවර් සේවකයන්ට මෙය සතුටුදායක ආරංචියක් බව අමුතුවෙන් කිවයුතු නැත. මෙවර අයවැයෙන් සියලූ අස්ථිර සේවකයන් ස්ථිර කිරීමට ගත් යෝජනාව මෙහි ප‍්‍රතිඵලයක් බව මොවුන්ගේ විශ්වාසයය. එහෙත් සියල්ල තාවකාලික සතුටක් බවට පත්වී ඇත්තේ සියල්ල දේශපාලන උප්පරවැට්ටි වන නිසාය.

තුන්වන වරටත් ජනපති ලෙස ඉල්ලන්නට පෙර කඩිමුඩියේ ගෙනා අයවැය යෝජනාවක් ලෙස අස්ථිර සේවකයන් ස්ථිර කිරීම ඇතත් ඒ කුමන සේවකයන්ද යන්න නිට්ටාවටම සඳහන් නොවීය. මේ නිසා මෑන් පවර් සේවකයන් මෙම පදනමට අයත් නැති බව කියමින් සැහැල්ලූවෙන් අහකට කරනු ලැබුවේ ඔවුුුහු හුදෙක් යම්කිසි ආයතනයක් ලබාදෙන වහල් සේවකයන් බව නොකියා කියමිනි.

මේ සියලූ කාරණා අස්සේ විදුලිබල මණ්ඩලයේ සේවයේ නියුතු අනියම් සේවකයන්ට කරන්ට් වදිනුයේ සියලූ රාජ්‍ය චක‍්‍රලේඛන උල්ලංඝනය කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ස්ථිර සේවයට 3000ක ප‍්‍රමාණයක් තම ඡුන්ද බලප‍්‍රදේශය වන රත්නපුරෙන් බඳවා ගැනීමට විදුලිබල ඇමතිනී පවිත‍්‍රාදේවී තීරණය කිරීමත් සමගය. මේ බඳවා ගැනීම් සිදුවන්නේ අස්ථිර සේවකයන් ස්ථිර කරන්නට ගෙනා අයවැය යෝජනාව මතය. කෙසේ වෙතත් ලංකා විදුලිබල සේවක සංගම් විරුද්ධවීමත් සමග එය තාවකාලිකව නැවතී ඇත.

මෑන් පවර් ලෙස බඳවා ගත් සේවකයන් හාර දහසකට අධික ප‍්‍රමාණයක් සිටියදී ඔවුන් ස්ථිර නොකොට අලූතින් තුන්දහසක් බඳවා ගැනීම හරහා තම රැුකියා ඉබේම අහිමි වන බව ඒත්තු ගත් මෑන් පවර් සේවකයෝ පාරට බැසීමට ගත් තීන්දුව මේ මොහොතේ ජනාධිපතිවරණයට හානිවෙතැ’යි සිතූ විදුලිබල ඇමතිනිය දෙසැම්බර් 1 වැනිදාට ස්ථිර පත්වීම් ලබාදෙන බවට පොරොන්දු වූවාය. එහෙත් දෙසැම්බර් මස 1 වැනිදාට පෙර 3000ක් බඳවා ගැනීම හරහා ඉහත සේවකයන් ඉබේම අහකට වන ලකුණු මතුවී ඇත. මෙකී අනතුර දැක දැක මේ ආණ්ඩුවම කෙරෙහි විශ්වාසය තබන්නට මේ මෑන් පවර්ලාට සිදුව ඇත්තේ අයවැය යෝජනාව නිසාය. යම් හෙයකින් රහසේ බඳවා ගන්නා මේ පිරිස බඳවා ගත් පසු විදුලිබල මණ්ඩලයේ සේවක අතිරික්තයක් පැන නගින අතර ඒ අනුව වසර ගණනාවක් අනියම් ලෙස සේවය කළ මෑන් පවර් පිරිස් ඉබේම ඉවත් වන්නේමුත් වසර ගණනක සේවය දෙසැම්බර් 1 වැනිදා සිට ස්ථිර වෙතැ’යි මොවුහු අදහති. දිගු ඉතිහාසයක සිට රැවටීමකට ලක්වූ මේ පිරිස් මෙවර නොරැුවටෙතැ’යි කිවහැක්කේ කාටද? එබැවින් ඒ ගැන නැවත නැවතත් සිතීම මෑන් පවර් සේවකයන්ගේ අයිතියකි.

රැවටීමේ ඉතිහාසය

මෑන් පවර් ලෙස සේවකයන් විදුලිබල මණ්ඩලයට බඳවාගැනීම සිදුවන්නේ 2005 වසරේ සිටය. ඊට පෙර සමෘද්ධි බළකාය ලෙස බඳවා ගත් පිරිසක් මෙවැනිම කට්ටක් කමින් තම සේවයේ ස්ථිර කරන්නැ’යි කළ අරගලවල ප‍්‍රතිඵලයක් ලෙස ඔවුහු 2005දී පත්වීම් ලද්දෝය. එකී අතීතය මත මෙවර අයවැය යෝජනාව සැලකිල්ලට ගත් මෑන් පවර් සේවකයන් මේ තම ස්ථිර පත්වීම් ලබන කාලයයැ’යි ඇදහූහ. එහෙත් එය තවමත් අවිනිශ්චිතය. දත්ත සැකසුම්කරුවන්, මනු කියවන්නන්, ලිපිකරුවන්, සහකරුවන්, රියදුරන් ලෙස විදුලිබල මණ්ඩලයට බඳවා ගත් මෑන් පවර්ලා හාරදහස් අටසියයට වැඩිය.

විමල් වීරවංශගේ ඇන්දීම

2005 ජනාධිපතිවරණයේදී මොවුන්ගෙන් නොසෑහෙන්නට වැඩගන්නා මේ ආණ්ඩුව 2010දී රැකියාව ස්ථිර කරන බවට බලාපොරොත්තුවක් දැල්වීය. මෙම බලාපොරොත්තුව දැල්වූයේ විමල් වීරවංශ ඇමතිවරයාය. එදා 2010දී ජනපති මහින්ද රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා ‘මිනිස් බලඑකමුතුව’ ලෙස මෙම විදුලිබල මෑන් පවර්ලා හාරදහස් අටසියය තමන් යටතට ගත් වීරවංශ අමාත්‍යවරයා 2009-12-30 වැනිදා ජාතික තරුණ සේවා සභාවට මොවුන් සියල්ල කැඳවා රැුකියාව ස්ථිර කරදෙන බව ස්ථිර වී එවර ඡුන්දයට උපරිම ලෙස මොවුන් ලවා වැඩ ගත්තේය. ජනාධිපති පත් වුවද පොරොන්දුව ඉටු නොවීය. ඊළඟට මහ මැතිවරණය ආහ. මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ගිය පසු තමා විදුලිබල ඇමති වන බවත් එවිට සියල්ල අනිවාර්යයෙන් ස්ථිර කරදෙන බව පවසා තමාගේ ජයග‍්‍රහණයට උපරිම දායකවන්නැ’යි මෙම විදුලිබල මෑන් පවර්ලා ඇන්දීය.

එය මෙම පිරිස කොතෙක් විශ්වාස කළේද යත් මෙම පිරිස විමල් වීරවංශට සහයෝගය දෙනු පිණිස හංවැල්ල ශාඛාවක්ද පිිහිටුවා ගනු ලැබීය. සෑම සේවකයකුගේම දිනක වැටුප එකතු කොට මෙම පක්ෂ කාර්යාලය පිහිටුවා ගෙන එහි සිට විමල් දිනවීම සඳහා පෝස්ටර්, ඡුන්ද රැුස්වීම් සංවිධානය කරනු ලැබීය. එහි ප‍්‍රතිඵලයක් ලෙස හංවැල්ලෙන් ඉහළ ප‍්‍රතිශතයක් ලබාගැනීමටද විමල්ට හැකිවිය. එහෙත් ඡුන්දයෙන් පසු විමල් කීවේ එම අමාත්‍යාංශය පාඨලී ඇමතිවරයාට ලැබී ඇති බවය.

පාඨලී ඇමති ලෙස විදුලිබල මණ්ඩලයේ වැඩ භාර ගැනීමත් සමග මෙම මෑන් පවර් සේවකයන් වැඩ වරනුයේ තම ස්ථිරභාවය ඉල්ලාය. මෙම තැනට එදා මොවුන් පෙළඹවූයේ විමල් වීරවංශ ඇමතිවරයා බවත් ඔහු කෙසේ හෝ දින තුනක් අල්ලාගෙන ඉන්නා ලෙසත් පැවසුවද කැරලි මර්දනය සහ හමුදාව පැමිණ පහර දී මොවුන් එලවා දමන විට විමල් වීරවංශ ඇමතිවරයා සොයා ගන්නටත් නැතිය. අද මොවුන්ට ස්ථිර වන්නට නම් උද්ඝෝෂණ නොකර සාමකාමීව ඉන්නැ’යි කියනුයේ පවිත‍්‍රා දේවි ඇමතිනියය.

තම අසාධාරණයට මෙවර හෝ විසඳුමක් ලබාගන්නට සියලූ විදුලිබල මෑන් පවර් සේවකයන් නොවැම්බර් 25 වැනිදා කොළඹදී ඒකරාශි විය. මෙයට සහභාගි නොවන ලෙස ලිපි එක පිට එක පාලන අධිකාරියෙන් ලැබෙනුයේ එයට සහභාගි වන අය ස්ථිර නොකරන බව පවසමිනි. එදිනම රත්නපුර හෝටලයකදී පවිත‍්‍රාදේවි ඇමතිනිය මෑන් පවර් සේවකයන් ගෙන්වා ඡුන්ද ව්‍යාපාරයක් පවත්වන්නට උත්සාහ කරනමුත් එයට සහභාගිවීමේ අවුලක් ඒ මොහොතේ පැන නොනගී. අද මේ සියල්ල කරනුයේ ස්ථිර කරන ලිපිය පෙන්නමින්ය. කෙසේ වෙතත් උද්ඝෝෂණයක් බවට සංවිධානය වූ මොවුන්ගේ මහා සමුළුව එදින සාමකාමී සමුළුවක් වන්නේ දෙසැම්බර් 1 වැනිදා පොරොන්දුව මතය.

හෙට දවසේ බොහෝ විට මොවුන් ස්ථිර වී 2010දී කළ ඡුන්ද ව්‍යාපාරය මෙවර නැවත පවිත‍්‍රාදේවිගේ පදයට ඉටු කළ හැකිය. ඇතැම්විට පවිත‍්‍රාදේවී ඇමතිිනිය බඳවා ගන්නා පිරිස් හේතුවෙන් මොවුන් පාරට වැටිය හැකිය. කුමක් වුවත් මේ වහල් වෙළෙඳාමට තිත තැබිය යුතුය. මොවුන් ඡුන්ද ගුණ්ඩු ලෙස කාලයෙන් කාලයට පත්වීම නතර විය යුතු කාලය පැමිණ ඇත.
මෙවර අයවැයෙන් ගෙනා මෙම ස්ථිර කිරීමේ යෝජනාව අද වනවිට මහා ප්‍රෝඩාවක් බවට පත්වී ඇත. එය යෝජනාවක් ලෙස ඡන්ද ගුණ්ඩුවට එහා දෙයක් නොවන බව පැහැදිලිවන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ ඇති මහජන බැංකුවේ සේවය කරන කොනත‍්‍රාත් සේවකයන් ස්ථිර නොකිරීමෙන්ම පැහැදිලි වේ.
මේ රැුවටීම්වලට කෙළවරක් නැත්දැ’යි අද මෑන් පවර්ලා පමණක් නොව සැමදෙනා සැමගෙන්ම විමසිය යුතු කලක් එළැඹ ඇත.