මිනිසුන් වහල් සේවයේ යොදවන ජනාධිපති

 

නූතන වහල් සේවයයැ’යි කියන්නේ මෑන් පවර් සේවකයන්ටය. අටවාගන්නා ලද යම් මෑන්පවර් ආයතනයක් විවිධ වෘත්තික කටයුතු සඳහා සේවකයන් බඳවාගෙන වෙනත් පිළිගත් ආයතනයකට එම සේවකයන් රැුකියාවේ යෙදවීම සඳහා භාරදීම මේ යටතේ සිදුවන ක‍්‍රියාවලියය. ඒ අනුව පිළිගත් ආයතනය විසින් මෑන්පවර් ආයතනයට එසේ ලබාගන්නා සේවකයන් වෙනුවෙන් මිලක් ගෙවනු ලබයි. මෙසේ විකුණනු ලබන සේවකයාට සිදුවන්නේ මෑන්පවර් ආයතනයේ සේවකයකු වශයෙන් ඔහු අනුයුක්ත කරන ලද ආයතනයේ රාජකාරි කටයුතු සිදුකිරීමටය. නූතන වහල් සේවයයැ’යි මෑන්පවර් සේවකයන්ට කියන්නේ ඉහතින් විස්තර කරන ලද සේවකයන් විකුණන ගනුදෙනු ක‍්‍රියාවලිය නිසාය.

මේ ආකාරයට සේවකයන් විකිණීමේ ගනුදෙනුව නිසාම මෑන්පවර් සේවකයන්ට මේ වනවිට පිළිගෙන නීතිගත කර ඇති සේවක අයිතිවාසිකම් කිසිවක්ම ලැබෙන්නේ නැත. ඔවුන් නිකම්ම නිකං එක් එක් ආයතනයට විකුණනු ලබන මෑන්පවර් සේවකයන් පමණය.

සිය ලාභය තරකර ගැනීම සඳහා හෝ වෙනත් උපායශීලී කරුණක් හේතුවෙන් පෞද්ගලික අංශයේ ආයතන මේ ආකාරයට මෑන්පවර් සේවකයන්ගෙන් සිය කටයුතු පවත්වාගෙන යෑම හෝ පවත්වාගෙන යෑමට උත්සාහ දැරීම අරුමයක් නොවේ. එහෙත් රාජ්‍ය ආයතනයක් මූලික කම්කරු අයිතිවාසිකම් නොසලකා විකුණන ලද සේවකයන්ගෙන් සිය කටයුතු පවත්වාගෙන යනවා නම් එය අරුමයකි. මේ අරුමය පිළිබඳ කථා රාජ්‍ය ආයතන වන ලංකා විදුලිබල මණ්ඩලය, ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ආදියෙන් අපට අසන්නට දකින්නට ලැබී ඇත. ඊට අලූතින්ම එකතු වන සාමාජිකයා වන්නේ රාජ්‍ය බැංකුවක් වන ජාතික ඉතිරි කිරීමේ බැංකුවය.

වාර්තා වන අන්දමට එම බැංකුවේ 600කට ආසන්න මෑන්පවර් සේවකයෝ පිරිසක් සේවයේ යෙදී සිටිති. ඔවුන් කොළඹ ප‍්‍රධාන කාර්යාලය තුළත්, ප‍්‍රාදේශීය කාර්යාල තුළත් පසුගිය සතියේ උද්ඝෝෂණයක යෙදෙමින් ආණ්ඩුවට බලකර සිටියේ වසර ගණනාවක් තිස්සේ ඔවුන් බැඳ දමා ඇති නූතන වහල් සේවයෙන් මුදාහැර එම බැංකුව තුළම අයිතිවාසිකම් හිමි සේවකයකුගේ තත්ත්වයට පත් කරන ලෙසයි.

ජාතික ඉතිරි කිරීමේ බැංකුව තුළ සේවය කරනු ලබන මේ මෑන් පවර් සේවකයකුට වසරකටම ලැබෙන්නේ නිවාඩු දින 6ක් පමණය. එහිදීත් එකවර දින දෙකකට වඩා නිවාඩු ගැනීම තහනම්ය. සාමාන්‍ය බැංකු සේවකයකුට වසරකට නිවාඩු දින 42ක් ලැබේ. එමෙන්ම ශ‍්‍රී ලංකා මහ බැංකුව නියම කර ඇත්තේ බැංකු සේවකයකු සෑම වසරකම අනිවාර්යයෙන් දින 7ක කාලයක් ඔවුන්ගේ ආතතිය දුරුකර ගැනීම සඳහා නිවාඩු ලබාගත යුතු බවය. ඉතිරි කරගත් නිවාඩු සඳහා ගෙවීම් සිදුකිරීමේදී එම අනිවාර්ය ගත යුතු නිවාඩු දින 7 සලකා බලන්නේ නැත.

සාමාන්‍ය බැංකු සේවකයාට වෛද්‍යාධාර, නිවාස ණය, අධ්‍යාපන ණය, ප‍්‍රවාහන දීමනා, යැපීම් දීමනා, ඒකාබද්ධ දීමනා, දුෂ්කර සේවා දීමනා, යන්ත‍්‍රසූත‍්‍ර අවදානම් දීමනා, අවහිරතා දීමනා, අයවැය සහන දීමනා, ජීවන අංක දීමනා ඇතුළු දීමනා රැුසක් ලැබේ. මේ නිසාම සාමාන්‍යයෙන් බැංකුවක කාර්යාල කාර්ය සහායකයකු මාසිකව දළ වශයෙන් රුපියල් 45,000ක පමණ වැටුපක් ලබයි. එහෙත් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සේවයේ යොදවන මෑන්පවර් කාර්යාල කාර්ය සහායකයකුට ලැබෙන්නේ රුපියල් 12,020ක මාසික වැටුපක් පමණය. අතිකාල සේවයේ යෙදුණහොත් අතිකාල පැයකට රුපියල් 90.15ක අමතර දීමනාවක් ලැබේ. මේ ආකාරයේ මෑන්පවර් සේවකයකු වෙනුවෙන් බැංකුව අදාළ මෑන්පවර් ආයතනයට මාසයකට රුපියල් 16,400ක් ගෙවන බව කියැවේ. මෑන් පවර් සේවකයාට ලැබෙන වැටුප මෙන් 35%ක පමණ ලාභයක් මෑන්පවර් ආයතන හිමියා ලාභ ලබන බව මේ අනුව පැහැදිලිය. අනෙක් පැත්තෙන් බැංකුවද සේවකයන්ට හිමි පහසුකම් ලබා නොදී මෑන්පවර් ආයතන සේවකයන් හරහා විශාල ලාභයක් ලබන බව පෙනේ.

නූතන වහල් වෙළෙඳාම හෙවත් මෑන් පවර් ක‍්‍රමය අවශ්‍ය වී ඇත්තේ වගකීම්වලින් මිදී සේවක අයිතිවාසිකම් ලබා නොදී සිය ලාභයන් තරකර ගැනීම සඳහාය. මුලින් සඳහන් කළාක් මෙන් රටේ පෞද්ගලික අංශය සඳහා නම් එහි අරුමයක් නැත. එහෙත් රටේ රාජ්‍ය ආයතනයක් හෙවත් රාජ්‍ය බැංකුවක් සම්බන්ධයෙන් නම් එහි අරුමයක් තිබේ. තවදුරටත් එම අරුමය විස්මයක් බවට පත්වන්නටද හේතුවක් තිබේ. ඒ ජාතික ඉතිරි කිරීමේ බැංකුව මුදල් අමාත්‍යාංශය යටතේ පාලනය වන බැංකුවක් වීම නිසාය. මුදල් ඇමතිවරයා රාජ්‍ය නායකයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ වීම නිසාය. මේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මීට පෙර කම්කරු ඇමතිවරයකු වශයෙන් කටයුතු කර ඇති නිසාය. එපමණකින් නොනැවතී කම්කරු, ප‍්‍රඥප්තියක්ද නීතිගත කරන බවට එසමයේ වහසිබස් දෙඩූවකු නිසාය. රටේ රාජ්‍ය නායකයා බවට පත්වී වසර දහයක කාලයක් ගෙවා දමා තිබියදීත් කම්කරු අයිතිවාසිකම් ගැන තවමත් පොරොන්දු දෙන්නකු නිසාය. ඔහු නියෝජනය කරන පක්ෂයේ වෘත්තීය සමිතිය වන ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ නායකයා හෙවත් සභාපතිවරයාද ඔහු වන නිසාය.