විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ඇත්ත සහ බොරුව

නීතිඥ ලාල් විජේනායක

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකර නැවත විධායක බලය පාර්ලිමේන්තුවට වගකියන්නා වූ අගමැති හා කැබිනට් මණ්ඩලයක් වෙත පැවරීමේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් ව්‍යවස්ථාගත කළ යුතු බවට හඬක් ජනතාව තුළින් මතු වී ඇත. අද ජනතාව මෙම ඉල්ලීම ඉටු කර ගැනීම සඳහා දින 100ක් තුළදී කි‍්‍රයාත්මක කළ යුතු මාර්ග සිතියම වටා එක් රොක්වෙමින් සිටිති. එම මාර්ග සිතියම පදනම් වූ පොදු ගිවිසුම අනුව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක වශයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්‍ෂකයා ජයග‍්‍රහණය කළහොත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය පළමුවන මාසය තුළදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමත්, එම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින්ම 18 සංශෝධනය ඉවත් කර 17 සංශෝධනය පණ ගැන්වීමත් කළ යුතුව ඇත.

මාර්ග සිතියම පිළිබඳව හා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම පිළිබඳව ප‍්‍රශ්න කිහිපයක් මතු කරමින් තිබේ.
එක් ප‍්‍රශ්නයක් නම් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකිරීම සඳහා 2/3 ක වැඩි ඡුන්දයක් මෙම පාර්ලිමේන්තුවෙන් ලබාගන්නේ කෙසේද? යන්නය.
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුයැයි යන ඉල්ලීම වසර ගණනාවකට පෙර සිට මතුවූවක් වන අතර එය සාර්ථක කර ගැනීමට ප‍්‍රධාන බාධකයක් වශයෙන් පැවතියේ එක්සත් ජාතික පක්‍ෂය විධායක ජනාධිපති ක‍්‍රමයට පක්‍ෂ වීම හා රටේ සුළු ජාතික කොටස් විධායක ජනාධිපති ක‍්‍රමය තුළින් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කර ගැනීමේ වැඩි අවකාශයක් ඇති බවට අදහසක් දැරීමයි. එහෙත් අද එක්සත් ජාතික පක්‍ෂය විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම මූලික ප‍්‍රතිපත්තියක් ලෙස පිළිගෙන, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ ජනතා ව්‍යාපාරයට ද සම්බන්ධ වී සිටී. ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාව නියෝජනය කරන්නා වූ පක්‍ෂ අද වන විට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට පක්‍ෂව සිටී. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය 1977 සිටම විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කළ යුතුය යන ප‍්‍රතිපත්තිය පිළිගෙන ඇත. එමෙන්ම වාමාංශික පක්‍ෂද මෙම කාලය තුළදී දැඩි ලෙස විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකළ යුතුය යන ස්ථාවරයේ පිහිට කි‍්‍රයා කර ඇත. වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින මන්තී‍්‍රවරුන් අතරින් විශාල බහුතරයක් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකිරීමේ ස්ථාවරය පිළිගෙන ඇත.

විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුය යන මූලික සටන් පාඨය මත ජයග‍්‍රහණය කළහොත්, එය විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා ලත් බලවත් වරමක් වන හෙයින් පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන් එම වරමට පටහැනිව කි‍්‍රයා කරනු ඇතැයි සිතිය නොහැක. එය අද පාර්ලිමේන්තුව නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජාතික පක්‍ෂය, සුළු ජාතීන් නියෝජනය කරන්නා වූ පක්‍ෂ හා වමේ පක්‍ෂවල ප‍්‍රතිපත්තිවලට අනුකූලවීමකි.

පොදු අපේක්‍ෂකයා විධායක ජනාධිපති වශයෙන් පත් වුවහොත් දේශපාලන බලය ඔහුට හිමි වන බැවින් පාලක සන්ධානයේ කිසිවකු එම පුද්ගලයා ජනාධිපති වශයෙන් රැුඳී සිටිය යුතු බවට ඡුන්දය භාවිතා කරනු ඇතැයි සිතිය නොහැක. එය දේශපාලන යථාර්ථයයි. ජනතාවගේ මතයට පිටුපා කි‍්‍රයා කිරීමට පාර්ලිමේන්තු මැතිවරණයක් අබියස සිටින කිසිදු මන්තී‍්‍රවරයෙකු ඉදිරිපත් වේයැයි සිතිය නොහැක. එහෙයින් 2/3ක වැඩි ඡුන්දයෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය සඳහා මෙම පාර්ලිමේන්තුවේ දීම අනුමැතිය ලබාගැනීමේ හැකියාව ඇත.
යම් හෙයකින් එසේ නොවුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැර විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකිරීමට කැපවූ පාර්ලිමේන්තුවක් පත්කරන ලෙසට ජනතාවගෙන් ජනවරමක් ඉල්ලීම ඊළඟ පියවර වේ. එම වරමද ලැබෙන බවට කිසිදු සැකයක් නොමැත. එහෙත් අද කවුරුත් දන්නා ආකාරයට ශී‍්‍රලනිප ඇමතිවරු හා මන්තී‍්‍රවරු අතිබහුතරයක් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකිරීමට පක්‍ෂව සිටිති. අද විධායක ජනාධිපති ක‍්‍රමය පවත්වාගෙන යා යුතුයැයි කියන හඬ ජනාධිපති හා ඔහු වටා සිටින කිහිප දෙනෙකුගේ හඬක් පමණක් බවට පත් වී තිබෙන්නකි.

සංවර්ධන තර්කය

තවත් කරුණක් නම් රට සංවර්ධනය කිරීම සඳහා බලවත් හා ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍ය බවට ඉදිරිපත් කර ඇති තර්කයයි. මෙය පුහු තර්කයක් බව අප රටේ ඉතිහාසය දෙස මෙන්ම ලෝකයේ අනෙකුත් රටවල්වල ඇති පාලන ක‍්‍රම හා එම රටවල් ලබා ඇති දියුණුව සලකා බැලීමේදී මනා සේ පෙනී යයි. පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් ඇති ඉන්දියාව අද ලෝකයේ බලවත්ම රාජ්‍යයක් බවට ඉතා කෙටි කාලයකදී පත්ව ඇත. ඊශ‍්‍රායලය වැනි කුඩා රටක් ඔවුන්ට සතුරු රාජ්‍යවලින් මැදි වී සිටියදී ඉතා ශීඝ‍්‍රයෙන් සංවර්ධනය වූ බලවත් රටක් බවට පත්ව ඇත. ඔස්ටේ‍්‍රලියාව, බි‍්‍රතාන්‍යය, කැනඩාව වැනි රටවල් පාර්ලිමේන්තු ක‍්‍රමය තුළින් බලවත් රටවල් බවට පත්ව ඇත. අප රටේ ඉතිහාසය දෙස සලකා බැලීමේදීිද, ජනතාවට හිතකර ජනතාවගේ ජීවන තත්ත්වය ගුණාත්මකව ඉහළ දැමීමට පාදක වූ සියලූ මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක වී ඇත්තේ 1977 දක්වා පැවති පාර්ලිමේන්තු ක‍්‍රමය තුළය. මින්නේරිය, මිනිපේ, ගල්ඔය, වැනි මහා පරිමාණයේ ව්‍යාපෘති මෙන්ම මහවැලි ව්‍යාපෘතියද ආරම්භ කරන ලද්දේ 1970දී, පාර්ලිමේන්තු ක‍්‍රමයක් පැවති වකවානුවේදීය. කර්මාන්තකරණය අතින් බැලූවද ටයර් සංස්ථාව, ඛණිජතෙල් නීතිගත සංස්ථාව, විදුලිබල මණ්ඩලය, වානේ සංස්ථාව යනාදී නොයෙකුත් කර්මාන්ත ඇතිකරන ලද්දේද පාර්ලිමේන්තු පාලන ක‍්‍රමයක් පැවති අවධියේය. විදුලිබල නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිද ඇතිකරන ලද්දේ එම අවධියේය.

ඇත්ත වශයෙන්ම විධායක ජනාධිපති ක‍්‍රමයක් තුළ මතු වී ඇත්තේ විකෘති වූ සංවර්ධනයක්ය. අද මෙම ආණ්ඩුව සංවර්ධන ව්‍යාපෘති වශයෙන් හැඳින්වෙන හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, කොළඹ නවීකරණය කිරීමේ ව්‍යාපෘති හා අධිවේගී මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘති තුළින් මහජනතාවගේ ජීවත්වීමේ ගුණාත්මකභාවය ඉහළ දමනවා වෙනුවට සිදුවී ඇත්තේ මෙම ව්‍යපෘති නඩත්තු කිරීම පිණිස ජනතාව මත දැරිය නොහැකි බරක් පැටවීමය. මෙම ව්‍යාපෘති නඩත්තුව සඳහා ජනතාව පරිහරණය කරන්නාවූ භාණ්ඩ සියල්ලටම දැඩි බදු පැනවීම තුළින් ජීවත්වීමේ බර තවත් වැඩි කිරීමය.

කැරලි මැඬපැවැත්වීම

රට තුළ ඇති විය හැකි කැරලිකාරී තත්ත්වයන්ට මුහුණදීම සඳහා විධායක ජනාධිපති ක‍්‍රමයක් අවශ්‍යය යන්න ඉදිරිපත් වී ඇති තවත් තර්කයකි. මෙයද පදනම් විරහිතය. ඇත්ත වශයෙන්ම අප රටේ ත‍්‍රස්තවාදී ව්‍යාපාර වර්ධනය වුයේ 1977න් පසුව, නැතහොත් විධායක ජනාධිපති ක‍්‍රමය කි‍්‍රයාත්මක වූ කාලය තුළදීය. අවුරුදු 30 කාලයක විධායක ජනාධිපති ක‍්‍රමය තුළ ගොඩනැගුණු ත‍්‍රස්තවාදය පාලනය කිරීමට නොහැකි විය. අවසාන වශයෙන් යුද්ධය අවසන් කිරීමට හැකිවූයේ විධායක ජනාධිපති ක‍්‍රමය නිසා නොව ඒ වන විට විශේෂයෙන්ම ඇමෙරිකාව තුළ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයන් ඇති වීමෙන් පසුව ලෝකය පුරා ත‍්‍රස්තවාදී ව්‍යාපාරවලට විරුද්ධව හටගත් මතවාදය හේතුවෙන්ය. විශේෂයෙන් ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ඇමෙරිකාවෙන් හා ඉන්දියාවෙන් විශාල යුදමය සහායක් ලැබුණ අතර, ලක්ෂ්මන් කදිරගාමර් විදේශ ඇමති වශයෙන් කි‍්‍රයා කළ අවධියේදී ගොඩනැගුවාවූ රාජතන්ති‍්‍රක සම්බන්ධතා යටතේ එල්ටීටීය ත‍්‍රස්තවාදී ව්‍යාපාරයක් බව රටවල් පිිළිගෙන ඒ තුළින් එල්ටීටීය කොන් වීම හේතු විය.

පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් පවත්නා වූ ඉන්දියාව, ඊශ‍්‍රායලය වැනි රටවල් බොහෝ සාර්ථකව එම රටවල්වල හටගත් බෙදුම්වාදී හා ත‍්‍රස්තවාදී නැගිටීම්වලට විරුද්ධව කි‍්‍රයා කර ඇත. විශේෂයෙන්ම ඊශ‍්‍රායලය වටකරගෙන ඇති මැද පෙරදිග රටවල් තුළින් මතු වන්නා වූ යුද තර්ජන සියල්ලක් පරාජය කර ශක්තිමත් රාජ්‍යයක් බවට පත් වී ඇත. ලංකාවේද 1971 දී හටගත් කැරැුල්ල පාලනය කිරීමට පාර්ලිමේන්තු ක‍්‍රමයක් තුළ හැකි වී ඇත. කැරලිකාරී හෝ යුදමය තත්ත්වයන් වර්ධනය වන්නේ එම රට තුළ හටගන්නා වූ සමාජ, ආර්ථික හා දේශපාලන හේතූන් මතය. යුධමය තත්ත්වයන් හටගැනීම පාලනය කළ හැකි වන්නේ එ් එ් රටවල් තුළ හටගෙන ඇති සමාජ, ආර්ථික හා දේශපාලන ප‍්‍රශ්නවලට විසඳුම් සෙවීම තුළින් මිස පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් පැවතියේද නැතහොත් විධායක ජනාධිපති ක‍්‍රමයක් පැවතියේද

යන්න මත නොවේ. පාර්ලිමේන්්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් තුළ පාලකයන් හා ජනතාව අතර නිරන්තරයෙන් සංවාදයක් පවතින හෙයින් හා එම ක‍්‍රමය තුළ ජනතාවගේ අදහස් නොතකා කි‍්‍රයා කිරීමට හැකියාවක් නොමැති වීම තුළින් සමහර විට මෙවැනි බරපතළ කැරලිකාරී තත්වයන් මතු නොවීමට ඉඩ තිබිණ. ඉන්දියාව යුද්ධ දෙකකදී පාකිස්තානය පරාජය කළේ පාර්ලිමේන්තු ක‍්‍රමයක් තුළය. එපමණක්ද නොව දැඩි විධායක බලතල සහිත ආණ්ඩු ක‍්‍රම පවතින බොහෝ රටවල් තුළ මතුවී ඇති කැරලිකාර තත්ත්වයන් පාලනය කිරීමට හෝ පරාජය කිරීමට එවැනි ආණ්ඩු අපොහොසත් වී ඇත. නිදසුනක් වශයෙන් සෞදි අරාබිය, සිරියාව, ඊජිප්තුව, ඉරාකය, මෙක්සිකෝව වැනි රටවල් ගෙන හැර දැක්විය හැක.

ස්ථාවර ආණ්ඩු

තවත් තර්කයක් නම් ස්ථාවර ආණ්ඩු පිහිටුවීම රටක් සංවර්ධනයට අවශ්‍ය බවය. මෙම තර්කයද පදනම් විරහිත තර්කයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු වරින් වර පවත්වනු ලබන නිදහස් හා සාධාරණ මැතිවරණ තුළින් ජනතාවට කැමති ආණ්ඩු පත් කර ගැනීමේ බලය ජනතාවට හිමි කිරීමය. එහෙයින් ජනතාවට අවශ්‍ය අවස්ථාවකදී ආණ්ඩු වෙනස් කිරීමේ බලය ජනතා නියෝජිතයන් වෙත තිබිය යුතුය. පාර්ලිමේන්තු ක‍්‍රමයක් තුළ නිරන්තරයෙන් ආණ්ඩුව, ජනතාවට වගකීමට බැඳී සිටී. යම් අවස්ථාවක එම පාලකයන් ජනතාවගේ හැඟීම්වලට පටහැනිව කි‍්‍රයා කරන්නේ නම් ආණ්ඩු වෙනස් කිරීමේ බලය ජනතා නියෝජිතයන්ට ඇත. එහෙත් විධායක ජනාධිපති ක‍්‍රමයක් තුළ විධායක ජනාධිපති අසීමිත බලතල සහිතව ස්ථිර කාල පරිච්ෙඡ්දයක් සඳහා පත්වන බැවින් විශේෂයෙන්ම 18 වන සංශෝධනය සම්මත වීමෙන් පසුව විධායක ජනාධිපති වෙත රට පාලනය කිරීමේ සම්පූර්ණ බලතල පැවරෙන හෙයින් එම කාලය තුළ කෙතරම් දූෂිත ජනතා හැඟීම් නොසලකන්නා වූ ආණ්ඩුවක් පැවතියද එය වෙනස් කිරීමට ජනතාවට හැකියාවක් නොමැත. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක මූලධර්මවලට පටහැනිය. අප රට තුළ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය කි‍්‍රයාත්මක වූ අවුරුදු 30ක කාලය තුළ හය වතාවක් ඉතා සාධාරණ හා නිදහස් මැතිවරණ තුළින් ආණ්ඩු වෙනස් කර ඇත. එම කාලය තුළ යහපාලනයක් පැවති බව පිළිගත යුතුව ඇත. එහෙත් අද විධායක ජනාපති ක‍්‍රමය තුළ සාධාරණ හා නිදහස් මැතිවරණ පැවැත්වීමේ අවකාශය අහිමි වී ඇත. නීතියේ ආධිපත්‍යය සම්පූර්ණයෙන්ම බිඳවැටී කැලෑ නීතිය රජකරන තත්ත්වයක් මතුවී ඇත. නීතිය එක හා සමානව හැමෝටම කි‍්‍රයාත්මක නොවන ඉතා භයානක තත්ත්වයක් හටගෙන ඇත. අප රටේ දීර්ඝ කාලයක් ගරුත්වයට පත්ව තිබූ අධිකරණයේ ස්වාධීනත්වය අද ප‍්‍රශ්න කරන තත්ත්වයකට පත්ව ඇත. රට අරාජික තත්ත්වයකට පත් වීමට ප‍්‍රධාන හේතුව විධායක බලය කිසිදු වගවීමකින් තොරව කි‍්‍රයාත්මක වීමය. විධායක බලය පාර්ලිමේන්තුව තුළ රැුඳී තිබේනම් මෙවැනි සිද්ධීන් පිළිබඳව ප‍්‍රශ්න කිරීම්වලට විධායකය ලක්වන අතර එ් අනුව විධායකයට තම බලය භාවිත කිරීම පිළිබඳව වගවීමෙන් මිදී සිටිය නොහැක. අප රටට මෙම අරාජික තත්ත්වයෙන් ගොඩ ආ හැක්කේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර නැවත පාලකයන් ජනතාවට වගවීමේ පාලනයක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් ඇති කිරීමෙන් පමණක්ය.

 window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;