මහින්ද දැන් බෙලහීන නායකයෙක් – පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න

තරිඳු උඩුවරගෙදර

පොදු විපක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළ ඇතුළත් කරුණු මොනවාද?

ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය අපි මේ වෙනකොට සකස් කරමින් ඉන්නවා. මූලික වශයෙන් ජනතාවට දෙන සහන පිළිබඳව අපි දීර්ඝ ලෙස සාකච්ඡුා කරලා හැම ක්ෂේත‍්‍රයටම බලපාන සහන වැඩපිළිවෙළක් අපි සූදානම් කරනවා. ඒ විතරක් නෙවෙයි අපි පිහිටුවන දවස් සියයේ ආණ්ඩුව සුබසාධන ආණ්ඩුවක් විදියට තමයි අපි පිහිටුවන්නේ. ඊට පස්සේ ඉදිරි වසර දෙක තුළදී ලබාදෙන සහන පිළිබඳවත් අපි සාකච්ඡා කරනවා. දවස් සියයක සර්ව පාක්ෂික ආණ්ඩුවක් අපි පිහිටුවන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරලා, නැවතත් දාහත් වන සංශෝධනය බලාත්මක කිරීම, ආයතන පත්කිරීමේදී දේශපාලනඥයන් හරහා පත් නොවී බුද්ධිමතුන්ගෙන් පත්කරලා දාහතටත් වඩා එහා ගිහින් ස්වාධීන ආයතන පද්ධතියක් ප‍්‍රායෝගිකව පිහිටුවන්නයි.

ආණ්ඩු පක්ෂය මහා ගැටලූවක් විදියට අරගෙන තියෙන්නේ පොදු අපේක්ෂකයා විසින් රනිල් වික‍්‍රමසිංහව අගමැති කිරීම..

පාර්ලිමේන්තු ක‍්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ බහුතරය පිළිගන්නා කෙනා තමයි පාර්ලිමේන්තුවේ අග‍්‍රාමාත්‍යවරයා කියන්නේ. ඒ අග‍්‍රාමාත්‍යවරයා පත් කළත් ජනාධිපති ධුරයේ ඉන්නේ මෛත‍්‍රීපාල සිරිසේන. දවස් සියයකට පස්සේ විධායක ජනාධිපති ක‍්‍රමය සම්පූර්ණයෙන් අහෝසි වුණත් ජනාධිපති ධුරය දිගටම යනවා. ඔහු මේ රටේ රාජ්‍ය නායකයා විදියට කටයුතු කරනවා. ඔහුත් අග‍්‍රාමාත්‍යවරයාත් කුමන බලතල දරනවාද යන්න දැන් සාකච්ඡා කරගෙන යනවා. එතකොට ජනාධිපතිවරයා අග‍්‍රාමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුව සමග එකඟතාවකින් වැඩ කරනවා.

අනික් චෝදනාව දින සීයක් ඇතුළත ආණ්ඩුක‍්‍රමය වෙනස් කිරීම කළ නොහැකි දෙයක් කියලා.

මේ සියලූම කටයුතු ගැන ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳව හොඳ දැනුමක් තියෙන, ආචාර්ය උපාධි තිබෙන හොඳම නීතිඥයන් සමග අපි කටයුතු කරන්නේ. ඔවුන් අපට පෙන්වාදී තිබෙනවා මේ සඳහා දින සීයක් ප‍්‍රමාණවත් බව.

ආණ්ඩුව එල්ල කරන අනෙක් චෝදනාව බටහිර කුමන්ත‍්‍රණ කතාව. මේකට ඔබේ උත්තරය මොකක්ද?

ජනාධිපතිවරයාටත් වඩා මේ බටහිර කුමන්ත‍්‍රණ ගැන ඉදිරියෙන් හිටි පක්ෂයක් තමයි ජාතික හෙළ උරුමය. ත‍්‍රස්තවාදය පරාජය කිරීමේදීත් මුල්වුණේ ජාතික හෙළ උරුමය මිසක් ජනාධිපතිවරයා නෙවෙයි. මාවිල් ආරුවලට ගිහින් උපවාස කරලා මුලින්ම සටන ආරම්භ කළේ රතන හාමුදුරුවෝ. එතැනින් තමයි සටන ආරම්භ කළේ. ඒ රතන හිමි සහ චම්පික වගේ අය දැන් මෙතැනට ඇවිත් ඉන්නවා. ඒ මැතිවරණයේදී උපවාස කළේ ජනාධිපතිවරයාවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයවත් නෙවෙයි ඕමල්පේ සෝභිත හිමියන්. ඒ උපවාසය එක්කනේ මේ රටම නැගිටින්නේ. දළදා මාලිගය ඉස්සරහ තමයි ගිවිසුම අත්සන් කරලා මහින්ද පොරොන්දු වෙන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ගැන. ඒ ගිවිසුම්ගත වෙච්ච ඕමල්පේ සෝභිත හිමියනුත් මේ බලවේගය සමග ඉන්නවා. යුද්දෙ ඉවර වුණු පසු ලංකාවට ඇවිත් පොළොවට වඳින ජනාධිපතිවරයා මුලින්ම ගිහින් බදාගන්නේ වෙන කාවවත් නෙවෙයි මෛත‍්‍රීපාලව. පස්වරක් කොටි බෝම්බවලට මුහුණ දුන්න මෛත‍්‍රීපාලටයි දැන් කොටි ලේබල් අලවන්නේ. ඔවුන් සමග ඉන්න කොට හොඳයි. විරුද්ධ වුණොත් බටහිර කුමන්ත‍්‍රණ.

අන්තර්ජාලය තුළ අපි දකිනවා දැනටමත් මහින්ද රාජපක්ෂ පරාජය වී අවසාන බව. නාගරික සමාජය ආශ‍්‍රය කිරීමේදීත් අපට එය පැහැදිලිව පේනවා. එහෙත් ලංකාවේ බහුතරයක් වෙච්ච ග‍්‍රාමීය සමාජයට ඔබේ මැතිවරණ ව්‍යාපාරය ගෙනියන්නේ කොහොමද?

අපි ගෙනියන්නත් කලින් මේ පණිවුඩය බිම් මට්ටමට ගිහිල්ලා තියෙනවා. ගම්වල කට්ටිය දහදෙනෙක් කතා කළොත්, විශේෂයෙන් මම කතාකළ සමහර ශ‍්‍රීලනිප ශාඛා සමිති නියෝජිතයො පවා කියන්නේ දහයෙන් අටක් මෛත‍්‍රිපාලව ජනාධිපති කරන්න ඕනෑය කියන මතයේ ඉන්නා බවයි. දුම්රියේ උදේ එන අයගෙන් දහයක් කතා කළොත් දහදෙනාම කියන්නේ මේකෙ වෙනසක් වෙන්න ඕනෑ කියලා. අපටත් ඉදිරියෙන් ජනතාව ඉන්නවා කියලා මතක තියාගන්න. අද මේ තීන්දු තීරණ ගන්න අපහසු වෙලා තියෙන්නෙ මේකෙ ඉන්න ප‍්‍රාදේශීය සභාවෙ ඉඳන් පාර්ලිමේන්තුව වෙනකන් ඉන්න මිනිස්සු නිසා. ඒ තමයි මේ පල්වෙච්ච ගඳගහන දූෂිත ක‍්‍රමයේ ප‍්‍රතිඵලය. ඔවුන්ට ලැබූ වරප‍්‍රසාද අතාරින්නට තිබෙන නොහැකියාව. මේ ආණ්ඩුව බදාගෙන ඉන්නෙ ඔවුන් විතරයි. අන්තිමේ ඉතිරි වෙන්නෙත් ඔවුන් විතරයි. එතැනිනුත් කණ්ඩායමක් අපට එනවා. මැරුණත් ශ‍්‍රී ලංකා කියලා ඉන්න ආචීර්ණ කල්පික පිරිසක් ඉතිරි වෙයි. ඒත් අවුරුදු පනස් පහෙන් පහළ මිනිස්සු පක්ෂ වශයෙන් නෙවෙයි රට වශයෙන් හිතන්නේ. ඒ වගේම තරුණ පරපුර විදියට ලක්ෂ හතරක් ඡුන්ද එකතුවෙලා තියෙනවා. ඒ අයගේ මතය ඔය සාම්ප‍්‍රදායික මතය නෙවෙයි.

දින සියයක් ඇතුළත විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කරන බව පොදු විපක්ෂය කියනවා. ඒත් ඒකට 2/3ක පාර්ලිමේන්තු බලය ගන්නේ කොහොමද කියලා ආණ්ඩුව අහනවා?

නැහැ, මේක වෙනස් වෙනකොට තුනෙන් දෙකේ බලය නෙවෙයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලයත් අපි සමග එකතුවෙනවා. එතකොට රටේ නායකයා ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. පාර්ලිමේන්තුවේ විතරක් නෙවෙයි පක්ෂයේ බලයත් අපට ලැබෙනවා. ඒකත් එක්ක ඇතිවෙන්නෙ විශාල වෙනසක්. දැන් අපිත් එක්ක එකතුවෙන්න ආත්ම ශක්තිය නැති අයත් එදාට රාජ්‍ය බලය එක්ක අපිත් එක්ක එකතුවෙනවා. තුනෙන් දෙක ප‍්‍රායෝගිකව ඇතිවෙන ප‍්‍රශ්නයක් නෙවෙයි.

මෛත‍්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති වෙලා ශ‍්‍රීලනිපයේ බලයත් අරගෙන ආණ්ඩුවක් හදාගෙන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි නොකර හිටියොත්?

නැහැ. අපි එකඟවෙලා ඉන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න. අපට මොන බලය හම්බ වුණත් එහෙම කරන්නෙ නැහැ. අපි සියලූ පක්ෂ සහභාගි කරගත්ත සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්නේ. අපි එන්නේ ආණ්ඩුවක් හදන්න විතරක් නෙවෙයි අලූත් දේශපාලන සංස්කෘතියක් හදන්න. ජනතා විමුක්ති පෙරමුණ ඒකට ආවෙ නැති වුණොත් අපි ඔවුන්ට කමිටු සභාපතිත්වය දීලා ඔවුන්වත් මේ රාජ්‍ය තන්ත‍්‍රයට සහභාගි කරගන්නවා. රට හදන වැඩපිළිවෙළකට අපි යනවා අවුරුදු දෙකක. ඊට පස්සෙ අපට පුළුවන් අපට කැමති විදියට පක්ෂ දේශපාලනයේ යෙදෙන්න.

ආණ්ඩුවේ තිබුණු ප‍්‍රශ්න මෙච්චර කල් පෙනුණේ නැද්ද කියලා ප‍්‍රශ්න කළොත්?

ඇයි පෙනුණෙ නැත්තේ. මෙච්චර කල් මම කළ කතා ඇහුණේ නැද්ද? මෛත‍්‍රීපාල සිරිසේනගේ කතා ඇහුවේ නැද්ද? මෛත‍්‍රීපාල සිරිසේන ලියුම් ලියපු කතා දන්නේ නැද්ද? අදත් ඉන්න අය මේ ප‍්‍රශ්න දකිනවා. කතා කරනවා. ජනක බණ්ඩාර අදත් කියන්නේ ඒක. එතනෝල්කාරයෝ, කුඩුකාරයෝ විතරයි ඉතුරුවෙන්නේ කියලා. හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර කියන්නේ මේ කතාව. ඒගොල්ලො ඇයි අඬ අඬා හරි මේ ගැන කතා කරන්නේ. අපි කිව්වා කියලා අහන්නේ නැති නිසා තමයි එළියට ඇවිත් සටන් කරන්නේ. ආණ්ඩුවේ ඉන්න හැමදෙනාම ප‍්‍රතිපත්ති විරහිත අය නෙවෙයි. ප‍්‍රතිපත්තිගරුක මිනිස්සු ගොඩක් ඉන්නවා. අපි ඉල්ලන්නේ ඔවුන්ගෙන් නිහඬව ඉන්න එපා කියලා.

නැවත වරක් මහින්ද රාජපක්ෂටම රට දීලා අපට ලැබෙන මේ අවස්ථාව තව අවුරුදු අටකට අතහැරියොත් රාජපක්ෂ පාලනය මොන වගේ වෙයිද?

මීටත් වඩා පාලනය කුරිරු වෙන බව පැහැදිලියි. ඔහු බොහොම ප‍්‍රශස්ත නායකයෙක් ලෙස යුද්ධය අවසන් වනතුරු ක‍්‍රියාකරලා ඉන්පස්සේ ඔහු කුරිරු නායකයෙක් බවට පත්වුණා. අද ඔහු බෙලහීන නායකයෙක්. නැවත වරක් බලය දුන්නොත් නැවතත් ඔහු කුරිරු පාලනයක් පටන් ගන්නවා. ඔහුට විරුද්ධ වෙච්ච මිනිස්සුන්ගෙන් පළිගනිමින් ඉතාම කෲරත්වයකට රට අරගෙන යනවා. මේ රට තවත් විශාල අගාධයකට යනවා. ඒත් ඔහුට මේ ගමන යන්නට ලැබෙන්නේ නැහැ. මොකද මුළු ජාත්‍යන්තර ප‍්‍රජාවම එන මාර්තු මාසය වෙනකොට මේ රටට විරුද්ධව රටට තහංචි ගෙන ඒමට ක‍්‍රියා කරනවා. එදාට මේ රට අනේක තහංචි, දුක් කම්කටොලූවලට මුහුණපායි. මොකද අපට විදේශ විනිමය. විදේශ සංචිත නැතිවෙයි. අත්‍යවශ්‍ය ආහාරපාන නැතිවෙයි. දරුවන්ට කිරිපිටි ටික නැතිවෙයි. මේ රටේ සංවර්ධනය තනිකරම අඩාල වෙයි. මේ රට ආපස්සට ගමන් කරයි.

මේ පෙරැළියේ සහ ඉදිරි දිනවල සිදුකරන වෙනස්කම්වලදී චන්ද්‍රිකා බණ්ඩාරනායක, රනිල් වික‍්‍රමසිංහ, රාජිත සේනාරත්න වගේ පුද්ගලයන්ගේ භූමිකාව මොන වගේද?

අපි කාගෙත් භූමිකාව කුමන කුමන ආකාරයෙන් ස්ථානගත වුණත් අපේ පොදු පරමාර්ථය මේ ක‍්‍රමය වෙනස් කිරීම. හැමෝම එක මතයකට එක පරමාර්ථයකට එකතුවෙලා පොදු අපේක්ෂකයාට සහයෝගය දෙන තැනට ඇවිල්ලා තිබෙනවා. මේ රජය කරන දූෂණ නවත්තලා බිලියන දහස් ගාණක් ඉතුරු කරගන්න පුළුවන්. ඒ මුදල් ජනතා සහන සඳහා යොදාගන්න පුළුවන්. රාජපක්ෂලාගෙ මුදල් ජනතාවට ලබාදෙන ජනතාවාදී රජයක් ඇති කිරීම තමයි අපේ භූමිකාව.

ජනතා විමුක්ති පෙරමුණේ තර්කය වන්නේ මීට පෙර දෙපාරක්ම පොරොන්දු විශ්වාස කරලා නාගෙන ඉන්නේ, මෙවර පොදු අපේක්ෂකයා ගැන විශ්වාසය තබන්න බැහැ, ඒත් මහින්දව පරාජය කළ යුතුයි කියලා.

එහෙම බලනවා නම් කවදාවත්ම ජනාධිපතික‍්‍රමය අහෝසි කරන්න වෙන්නෙ නැහැනේ. ඒ කියන අසුබවාදී තර්කය අනුව කවදාවත් මේක වෙනස්වෙන්නෙ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂයකට බලය අල්ලා ගැනීමට එහා ගිය පරමාර්ථයක් තියෙනවා. ඔවුන්ගේ ඉලක්කයත් මේක අවසන් කිරීම නිසා වෙනම වේදිකාවක ඉන්න එක නෙවෙයි කරන්න ඕනෑ. මේක ඇතුළට ඇවිත් මේක කරන්න අවශ්‍ය කට්ටියව ශක්තිමත් කරලා බලපෑම් කරන එකයි කරන්න ඕනෑ.

මේ ප‍්‍රතිසංස්කරණ වමට වැදගත් වෙන්නේ මොනවගේද?

වම කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස අගය කරමින් ඒ තුළ සමාජ සාධාරණත්වය ගොඩනගන ව්‍යාපාරයක් විදියටයි මම විශ්වාස කරන්නේ. ඉතින් ඔවුන් සාධාරණත්වය ගොඩ නගන්න නම්, විප්ලවීය ක‍්‍රියාමාර්ගයක් වෙනුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාමාර්ගයක මේ වෙනස කරනවා නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහය ඉතාමත්ම වැදගත්. අද ලෝකයේ කොහේවත් සන්නද්ධ ව්‍යාපාරවලින් වම ජයග‍්‍රහණය කරවන්න බැහැ. හොඳම උදාහරණය තමයි අපි අධ්‍යයනය කරන්න ඕනෑ ලතින් ඇමරිකානු වම. පාර්ලිමේන්තු මැතිවරණ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහයන් ගොඩනගමින් වාමාංශික බලවේග ක‍්‍රියාත්මක වූ ආකාරය. නැගෙනහිර යුරෝපයේ නැවත ගොඩනැගෙන වාමාංශික බලවේග ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහය තුළ තියෙන්නේ. ඒ වාමාංශික ව්‍යාපාර ගොඩනැගෙන්නේ එක එක තැන්වල ඉන්න කල්ලිවලින් තනි තනිව නෙවෙයි. ඒගොල්ලො බහුජන සංවිධාන සහ දේශපාලන ව්‍යාපාර එකතු කරගෙන දැවැන්ත ව්‍යාපාර හරහා සටන් කරන්නේ. කල්ලි ගැහීම වෙනුවට එකතුවීම තමයි වාමාංශික ව්‍යාපාරය ගොඩනැගීමට තියෙන මාර්ගය. මේ කරන සටන හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහයන් ගොඩනැංවීම වමට ඉතාමත් වැදගත්. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ අපේ වේදිකාවට ආවේ නැති වුණත් ඔවුන්ගේ වේදිකාවක ඉඳගෙන මහින්ද රාජපක්ෂට පහරදෙමින් අපට සහයෝගය ලබාදෙනවා. ඔවුන් යම් කාර්යභාරයක් කළත් මම කියන්නේ මේ වේදිකාවට ඇවිත් වඩාත් ශක්තිමත් සහ පුළුල් පෙරමුණක සටන් කරන්න ඔවුන්ට එකතු වෙන්න කියලයි.

පොදු විපක්ෂය විවිධ පාර්ශ්වයන් පොදු එකඟතාවකට එකතු කරන්නට දැන් සමත් වෙලා තියෙනවා. මේ කණ්ඩායම් ජනවාර්ගික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් දරන්නේ පරස්පර ප‍්‍රතිපත්ති. ඉදිරියේ බිහිවන ජාතික ආණ්ඩුව ජනවාර්ගික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් නිහඬව ඉඳීවිද?

නැහැ, පොදු විපක්ෂයේ දේශපාලන ප‍්‍රතිපත්ති මාලාව තුළ ජාතීන් අතර සහජීවනය ගොඩනංවන සියලූම වැඩපිළිවෙළවලට එකඟතාව පළකරලා තියෙනවා. ඒත් ද්‍රවිඩ සන්ධානයවත් කියන්නේ නැහැ මේ වෙලාවේ මෙහෙම වෙන්න ඕනෑ කියලා. ඔවුන්ටත් අප හැමෝටමත් මේ වෙලාවේ අවශ්‍ය පළවෙනි දේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය. මිලිටරිකරණයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබීම තමයි උතුරේ ජනතාවගේ පළවෙනි ඉල්ලීම. අපි ඒ ඉල්ලීම ලබාදීලා ප‍්‍රජාතන්ත‍්‍රීය ව්‍යුහයක් ගොඩනැගුවට පස්සෙ අලූත් තත්ත්වයක් රට තුළ ඇතිවෙනවා. එතකොට අන්තවාදී තත්ත්වයක් නැතිව සියලූම කණ්ඩායම් එකට එක්කාසු වෙලා මේ රට ඉදිරියට ගොඩනගන්නෙ කොහොමද කියන සංවාදය ගොඩනගනවා.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;