බැහැයි කියලා බැහැ

රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයේ දී ඡන්දය දීම නිදහස් ව ද, සමාන ව ද, රහසේ ද විය යුත්තේ ය. ඒ කොන්දේසි සපුරා ලීමට නම්, ඊට ගැළපෙන සාධාරණ ඡුන්ද ව්‍යාපාරයක් රටේ පැවැත්විය යුත්තේය.

ජනවාරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය අසමතුලිත, අසමාන. අසාධාරණ එකක් බව මේ වන විටත් හොඳින් පැහැදිලි වී තිබේ. ජනාධිපතිවරණය පැවැත්වීමේ තීරණය මුළුමනින්ම ජනාධිපති රාජපක්‍ෂගේ ය. ඒ නිසා, අන් සියල්ලන්ටම කලින් ඡන්දය පැවැත්වෙන බව දන්නේ ඔහු ය. දැන සිටියා පමණක් නො ව, තුන්වැනි ධුර කාලයක් සඳහා සිය අභිමතය ප‍්‍රකාශ කරන්නට කලින් සිට ම, ජනාධිපතිවරණය ඉලක්ක කොට ගෙන සිය ඡන්ද ව්‍යාපාරය ඔහු අරඹා තිබුණේ ය. රජයේ ක්‍ෂෙත‍්‍ර නිලධාරීන්ට බෙදා දීම සඳහා මෝටර් බයිසිකල් ආනයනය කරන්නට තීරණය කරන්නට ඇත්තේ කාලයකට පෙර ය. අයවැය ඉදිරිපත් කිරීම ඉදිරියට ගන්නා ලදි. අඩු වරප‍්‍රසාදලාභී ජනතාවගේ ඡුන්දය ලබා ගැනීම සඳහා විවිධ වරදානයන් දෙන්නට පටන්ගත්තේ ද කලකට පෙර සිට ය. අරලියගහ මන්දිරය දන්සැලක් බවට පරිවර්තනය කරමින් වරකට පන්දහස බැගින් ගෙන්වා කන්නට බොන්නට දී දේශපාලන පණිවුඩයක් ද දෙන ලදි. එහෙත්, ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත් කොට නැති තත්ත්වය මත විපක්‍ෂයට ඒ සඳහා සංයුක්ත ලෙස සූදානම් වන්නට ඉඩක් නො විණි. එය විපක්‍ෂයේ අදක්‍ෂකමක් හා ආණ්ඩුවේ සූරවීරකමක් ලෙස ආණ්ඩුවේ නායකයන් විසින් අර්ථ දැක්වුව ද ඇත්ත වශයෙන් ම එයින් පෙනෙන්නේ මේ ආණ්ඩුව කෙතරම් දුරට නීතියට ගරහන්නේ ද, එය නො සලකා හරින්නේ ද යන්න ය.

ජනාධිපතිවරණය සඳහා ජනාධිපතිවරයා සිය අභිලාෂය ප‍්‍රකාශකර පැය විසිහතරක් යන්නට පෙර මුළු රටේ ම පරිසරය එක් අපේක්‍ෂකයකුගේ රූපයෙන් දූෂණය කරමින්, මහජන අවකාශයට ආවේගාත්මක බලහත්කාරයක් එල්ල කරමින් රට පුරාම ලයිට් කණුවක් ගානේ කටවුට් ප‍්‍රදර්ශනය කිරීම ඇරඹිණි. දවසට පෝස්ටර් වර්ග දෙක තුනක් තාප්ප පුරා ඇළවිණි. අනෙක් ප‍්‍රතිවාදී අපේක්‍ෂකයන් සූදානම් වීමට කල් ගන්නා විට ජනාධිපතිවරයා ධාවන පථයේ බොහෝ දුරක් ගොස් ය.

එහෙත් ඒ ජයග‍්‍රහණය දෙසට නොවේ. බොරුව, පුරාජේරුව, අත්තුක්කංසනය දෙසට ය.

මේ සියලූ දෙයින් පෙනෙන්නේ ජනාධිපතිවරණය අසමතුලිත තරගයක් වන බව ය. මුළු මහත් රාජ්‍ය බලය, රාජ්‍ය සම්පත් සමග පොරබැදීම විරුද්ධ පක්‍ෂයේ අපේක්‍ෂකයන්ට සුළුපටු අභියෝගයක් නොවේ.

මෙවැනි අවස්ථාවක විරුද්ධ පක්‍ෂයේත්, සමස්ත ඡන්දදායක ප‍්‍රජාවගේත් අයිතිවාසිකම් ආරක්‍ෂකයා හැටියට ක‍්‍රියා කළ යුත්තේ මැතිවරණ කොමසාරිස්වරයා ය. 18වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ තුන්දෙනකුගෙන් යුත් මැතිවරණ කොමිසමක් පත් කළ යුතුයැ’යි නියම කර ඇතත්, වුවමනාවෙන් ම ජනාධිපතිවරයා කොමිසම පත් නොකොට සිටින තත්ත්වයක් යටතේ, තනි පුද්ගලයකු වන මැතිවරණ කොමසාරිස්වරයාගේ උර මත මේ ජනතා අභිලාෂය ඉටුකිරීමේ වගකීම මුළුමනින් ම පැවරී කතිබේ. ඒ වගකීම ඉටුකිරීම භාරධුර කාර්යයක් වනවා පමණක් නොව, සිය සාම්ප‍්‍රදායික භූමිකාවෙන් ඉදිරියට ගොස් සක‍්‍රිය ව මැදිහත් විය යුතු කාර්යයක් ද වෙයි.

එහෙත්, අවාසනාවකට මෙන් මැතිවරණ කොමසාරිස්වරයා කරන කියන දෙයින් පෙනෙන්නේ, ඔහු සිය සාම්ප‍්‍රදායික භූමිකාව තුළ ම සිරවෙමින් තමාට කළ හැකි දේවලට වඩා කළ නො හැකි දේවල් ගැන කියමින් පසුබානසුලූ ආස්ථානයක සිට ක‍්‍රියා කරන්නට වැඩි කැමැත්තක් දක්වන බව ය. තමන්ගේ ශක්තිය තමන්ම දුඹුල් කරගැනීමේ ස්ථාවරයක ඔහු සිටින බව පෙනෙයි.
රටේ පිළිගත් නීති අබිබවමින්, රාජ්‍ය බලය හා රාජ්‍ය සම්පත් කිසිදු හිරිකිතයක් නැතිව එක් පුද්ගලයකුගේ වාසිය සඳහා පමණක් යොදා ගන්නා ආක‍්‍රමණකාරී අවස්ථාවක, ඒ ප‍්‍රහාරයට මුහුණ දීමේදී සිය සාම්ප‍්‍රදායික බිත්තර කටුව තුළට ගුලිවී සිටින්නට තතනන රාජ්‍ය නිලධාරියකුගෙන් මහජන අයිතිවාසිකම් ආරක්‍ෂකයකුගේ කාර්යභාරය ඉටු නො වේ. නියම අයිතිවාසිකම් ආරක්‍ෂකයකු නම්, මේ පවතින මහා ප‍්‍රවාහයට එදිරි ව, සක‍්‍රිය ව ඡුන්දදායකයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින ස්ථාවරයකට මැතිවරණ කොමසාරිස්වරයා මාරු විය යුතුය. එවැනි සක‍්‍රිය භූමිකාවක දී ඔහු වෙනුවෙන් පෙනීසිටින්නට. ඔහු ආරක්‍ෂා කරගන්නට රටේ උද්යෝගිමත් පුරවැසියන් ඉදිරියට එන බව විශ්වාස කළ හැකි ය.

මින් අදහස් කරන්නේ මැතිවරණ කොමසාරිස්වරයා පසුගාමී, තමාගේ රාජකාරිය ඉටු නො කරන, වගකීම් විරහිත පුද්ගලයකු ලෙස හුවා දැක්වීම නො වේ. තමාගේ බලය හා ශක්තිය මත ඡුන්දදායක අයිතිවාසිකම් ආරක්‍ෂාව සඳහා ඔහු විශාල වැඩ කොටසක් ඉටුකර ඇති බව ද, ඉටු කරමින් සිටින බව ද පිළිගත යුතු ය. එහෙත් නීතියේ පාලනයක් නැති, නීතිය දනිමින් ම කඩා බිඳ දමන, චණ්ඩිකම බලය ලෙස යොදා ගන්නා හිතුවක්කාර පාලනයක් පවතින විට ඊට එරෙහිව යමින් මහජනතාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කර ගැනීමේ වගකීම වූ කලි හුදු සාම්ප‍්‍රදායික භූමිකාවෙන් පිටතට පැමිණ කළ යුත්තකි.