ආසියාවේ ආශ්චර්යමත් මීතොටමුල්ලේ කුණුකන්ද

ඡායා : රුක්මාල් සිල්වා

අනු ර පු ර, පොළොන්නරුවේ ඉදිවිය යුතු වැව් කොළඹ ඉදිවන විට ඒ වටා ඇවිදීමේ මං තීරු එළෙන විට අහස උසට යන ආශ්චර්යමත් කුණු කන්දක් මීතොටමුල්ලේ වැවෙමින් තිබේ. මීතොටමුල්ල කුණු කන්දේ සිරසට නැග්ග කල මුළු කොළඹ ආශ්චර්යම ඇස් දෙකෙන් දැකිය හැකි බව මීතොටමුල්ල වැසියෝ පවසති. කුණු කන්දෙන් ලැබී ඇති එකම ඵලය එයය.
කුණු දැමීමට එරෙහිව දැමුණු බැනරය කුණු කන්ද පාමුල පිවිසුම් මාර්ගය ආරම්භයේ හරහට ඇදී ඇත්තේ මාර්ග බාධකයක් ලෙසිනි. බැනරය දමා විරෝධය පෑ මීතොටමුල්ල වැසියන්ට එරෙහිව දැමූ පොලිස් බැරියර් ඒ ඉදිරිපිටය. එබැවින් කුණු කන්දට යන මග තාවකාලිකව වසා දමා ය. එහෙත් කුණු කන්ද බලාකියා ගන්නා පිරිස් වෙසෙන කන්ටේනර් ගෙවල් සහ එහි වසන අය තවමත් එහිම වසති. ඒ තාවකාලිකව වැසුණු මග ඇරෙන තෙක් විය යුතුය. ජනතා හඬට එරෙහි අධිකරණ ලියැවිල්ලක් එන තෙක් විය හැකිය. අප සිටිනුයේ කොළඹ නගරයේ කන්දක් පාමුලය. කොළඹට කඳු නොමැතිය. ඇත්තේ මේ එකම කන්දය. ඒ මීතොටමුල්ල කුණු කන්දය. අඩි පන්සියයක් පමණ උස මෙය වසාගෙන ඇත්තේ කාක්කන් සහ කොකුන්ය. කඳු මුදුනේ එහාට මෙහාට ඇඹරෙන බැකෝ යන්ත‍්‍රද එක දෙකක් පවතී.

‘කියන්න තියෙන හැම තැනටම කිව්වා. කියන්න ඕනෑ හැමෝටම කිව්වා. ඒත් කිසිම ප‍්‍රතිඵලයක් නැහැ. එක්කෝ අපි මේ කුණු කාගෙන ජීවත් වෙන්න ඕනෑ. නැත්නම් මේ කුණු ගොඩටම මැරිලා යන්න ඕනෑ.’ මේ මීතොටමුල්ල වැසියෙකි. නම් ගම් උප්පැන්න සහතිකයේ ඇති සැටියෙන්ම කියූ ඔහු නම දාන්නයැ’යි කීවේ මැරෙන්න බය නැතැ’යිද කියමිනි.
නම නොදැම්මද සිතන්නට දෙයක් ඇත. එනම් මේ කුණු කන්ද මේ ජනයා සිතන තරම් කෙන්දක් නොවන බවයි.

‘ඔයගොල්ලන්ට පුළුවන්ද දවස් දෙක තුනක් කුණු ටික ගෙදර තියාගන්න. බලන්නකෝ ඒ වුණාට අපි අවුරුදු ගාණක් මේ කුණු කරදරයෙන් දුක් විඳිනවානේ.’
ඇය වයසක උන්දෑ කෙනෙකි. කුණු කන්දට පිවිසුම් මාර්ගයේ ටික දුරක් ඇදෙන කල ආරක්ෂක ලේකම්ගේ ලකුණ ලකුණු කළ ගෙවල් පේළියකි. එනම් කඩා බිඳ දැමීමට නියමිත සලකුණ බිත්තියෙහි රතුපාටින් ලකුණු කොට ඇත.

‘අපිට එක්සත් ජාතික පක්ෂයෙන් මේ ගෙවල් දුන්නේ. දැන් කියනවා මේවා අනවසරලූ. අපි අවුරුදු ගාණක් මේවායේ ජීවත් වුණා. ආරක්ෂක ලේකම් කියලා තියෙන්නේ වහාම යන්න කියලා. ඒ අය එන වෙලාවට හිටියොත් බලෙන් ඇදලා දාලා කඩනවා කිව්වා. අපිට ෆ්ලැට්වලට යන්න ලෑස්ති වෙන්න කිව්වා. ලක්ෂයක් ගෙවන්න අපිට නැහැ කිව්වාම ඒවා වැඩක් නැහැ කිව්වා. අපේ ගෙවල් කඩලා මෙතන කුණු ලොරි පාර්ක් කරන්න හදනවා කියලායි ආපු මහත්තුරු කිව්වේ.’

මේ කුණු කන්දට බිලිවන්නට ඉන්නා මිනිසුන්ය. එවැනි නිවාස 54ක් පවතී. පවුල් පනස් හතරකි. කුණුවලින් විදුලිය ඉපැදවීමට විදුලි බලාගාරයක් ඉදිකිරීම ඉදිරි සැලසුමය. මේ නිවාස සුද්ධ පවිත‍්‍ර කිරීම එහි මූලික සැලැස්මක්ය. අලි මදිවාට හරක් කියන්නා සේ ඉදිරියේදී කුණුවලට අමතරව විදුලි බලාගාරයකින් සිදුවන අකටයුතුකම්වලටද මේ ජනයාට මුහුණ දෙන්නට සිදුවනවා නොඅනුමානය.

‘මේ ප‍්‍රශ්නය අපි මෙලහකටත් විසඳගෙන. ඒත් මේ පැත්තේ මිනිස්සු එකා වගේ මේ සටනට එකතුවන්නේ නැහැ. ඒකයි ප‍්‍රශ්නෙ. දුමින්ද සිල්වා පස්සේ යන උන් කුණු ගොඬේ හරි ජීවත්වන විදිහට ඉන්නේ. ඊයේ පෙරේදාත් දුමින්ද මන්ත‍්‍රීවරයා ඇවිත් බලලා ගියා. ඇයි මෙතන උද්ඝෝෂණයක් කළානේ. ඒවා නවත්වන්න වගේ ආවා. මෙහේ සමහරුන් ඒ පස්සේ යනවා. ඒකයි මේවා විසඳන්න බැරි.’ ඒ තරුණයෙකු කී දෑය.

උද්ඝෝෂණය

මීතොටමුල්ල කුණු කන්ද පිළිබඳ කතාබහ නැවත අලූත්වන්නේ ඒ අවට ගම්මුන් නොබෝදා කුණු කන්දට එන ට‍්‍රැක්ටර්, ලොරි රථ වළකාලමින් ගෙනගිය දැවැන්ත උද්ඝෝෂණය නිසාවෙනි. එයට හේතු පාදක වූ ප‍්‍රධාන කරුණක්ද විය.

‘අපිට දැන් ප‍්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. අපි නාමයෝජනා දෙන කොටම මේ උද්ඝෝෂණය කළේ ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න කියලා. අපට ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න ඕනෑ නැහැ. හැබැයි අවුරුදු ගාණක් අපි විඳින අපහසුව කාටවත් ගාණක් නැහැ. ඊයේ පෙරේදා වැස්සට කුණු කන්දේ පැත්තක් නාය ගියා. ඒ කුණු පදාසය වැටුණේ කුණු කන්ද ළඟින් ගලන පොඩි ඇළට. ඇළ පිරිලා වතුර යන්න තැනක් නැතිව අවට වතුර ගෙවල්වලට දාලා ඒ ගෙවල් යටවුණා. ඒ මිනිස්සු පාරට බැස්සේ පොඩි එවුන් කරගහගෙන මහ වැස්සේ. ඉතින් ඒකට විරුද්ධවයි අපි උද්ඝෝෂණය පටස් ගාලා කළේ. එහෙම නැතිව නැකත් බලලා අපි උද්ඝෝෂණය කළේ නැහැ.’ ඒ මීතොටමුල්ල වැසියෙකි.

කෙසේ වෙතත් උද්ඝෝෂණයේ ප‍්‍රතිඵලයක් ලෙස කුණු ගෙනඒම තාවකාලිකව නවත්වා ඇත. එය කොතෙක් කාලයකටද යන්නඅධිකරණ තීන්දුව එන තෙක් විය හැකිය.

කුණු කන්දේ ඉතිහාසය

‘මෙතැන කුණු දාන්න ගත්තේ අද ඊයේ නෙමෙයි. දැන් අවුරුදු විස්සකටත් වැඩියි. වීරසිංහ මල්ලිමාරච්චි මහත්තයා තමයි මුලින්ම මෙතන කුණු දාන්න ගත්තේ. හැබැයි ඒ කොළොන්නාවේ කුණු විතරයි. ඒත් හදිසියේ බ්ලූමැන්ඩල් කුණු කන්ද ගිනි ගත්තාම අධිකරණ නියෝග මතම මෙතැන අක්කර දෙකක කුණු දාන්න පවරා ගත්තා තැනක් හොයා ගන්නකම්. දැන් අවුරුදු ගාණක් වෙලා. බ්ලූමැන්ඩල් කුණු කන්ද නැත්තටම නැතිවුණා. මීතොටමුල්ල බ්ලූමැන්ඩල් කුණු කන්දත් පරද්දලා උස ගියා. මේ ගම් ගොඩක් මැද තියෙන්නේ කුණුගොඩ. කොහොමද අපි ජීවත්වෙන්නේ. මේ අවට හැම ගෙයකම වගේ ළමයි ඩෙංගු හැදිලා තියෙනවා. වැඩිහිටියෝ කියලා නැහැ ළමයිටත් ශ්වසන රෝග හැදිලා. ඒක නරකයි කියන අපියි දැන් නරක් වෙලා තියෙන්නේ.’ ඔහු කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ සාමාජිකයෙකි.

ආරක්ෂක ලේකම්

‘අපි මීට ඉස්සර වෙලා අවස්ථා ගණනාවකදී උද්ඝෝෂණය කළා. එක පාරක් උද්ඝෝෂණය කරන්න ඉන්න කොට පළාත් සභා ඡුන්දය ආවා. එතකොට කොළොන්නාව පොලිසියේ ලොකු මහත්තයා ඇවිත් කිව්වා ආරක්ෂක ලේකම්තුමා දැනුම් දුන්නා උද්ඝෝෂණය කරන එක වහාම නවත්වන්න කියලා. ඒ මහත්තයා කතා කරන්න එන්න කිව්වා කියලා පොලිසිය බස් එකක් අරගෙන අපිව එක්කගෙන ගියා ආරක්ෂක ලේකම්වරයාගේ ඔෆීස් එකට. ඒ ගිහිල්ලා ලොකු තිරයක් දාලා පෙන්නුවා ඇමරිකාවේද කොහෙද කුණු කළමනාකරණය කරන ආකාරය. හරිම අපූරුයි. ඇතුළට යන ලොරිය ආපහු එළියට එන්නේ හෝදලා වේලලා කුණු ගෙනිච්චාද කියලා හිතාගන්න බැරි විදියට. ඒ පෙන්නලා ආරක්ෂක ලේකම් කිව්වා මමත් ඒ විදිහට තමයි මෙතන කරන්නේ කියලා. අපි කිව්වා ලේකම්තුමා අපිත් කැමතියි එහෙම කරනවාට. හැබැයි මෙතන කරන්න එපා වෙන තැනක කරන්න කියලා. ඉතින් ලොකුවට සංවාදය ගියා. මේ අවුරුද්දේ මාර්තු මාසේ මේක වුණේ. අන්තිමට ලේකම්තුමා අපෙන් තැන් අහන්න ගත්තා. අපි කිව්වා ගම් මැද නැතිව නිකම් තියෙන ඉඩම්වල දාන්න කියලා. එතකොට ආයෙමත් අපෙන්ම තැන් අහනවා. අපි කිව්වා මුතුරාජවෙල කුඹුරේ දාන්න කියලා. එතකොට එතන හිටපු අය කිව්වා ඒක කුරුලූ අභය භූමියක් කියලා. ලේකම් කිව්වා ඒකට කමක් නැහැ. ඒක මට පවරාගෙන කරමු කියලා. (නාගරික සංවර්ධන අධිකාරියට) ඊළඟට ඒ අවටින් විරෝධතා එයි කිව්වාම අපි කැලණිමුල්ල කුඹුරක් කිව්වා. ඒක කැලණි පන්සලට අයත් ඉඩමක්. එතකොට ලේකම් කිව්වා ඒකට කමක් නැහැ. ඒක මගේ යටතට අරගෙන පුරවමු මම බලාගන්නම් කියලා. එතකොට කිව්වා මීතොටමුල්ල කුණු අලූත්. ඒවා අරගෙන යන්න ගියාම ගඳ වැඩියි. ඒ පැත්තේ ඉන්න බැරිවෙයි කියලා. හරි එහෙනම් බ්ලූමැන්ඩල් කුණු පරණනේ. ඒවා එතැනට දාලා බ්ලූමැන්ඩල් තැන හිස් කරමු. අපිට මාස තුනකින් විසඳුමක් දෙන්නම් කිව්වා. අපි කිව්වා තුනක් නෙමෙයි හයක්ම දෙන්නම් කියලා. අගෝස්තු මාසෙන් හයත් ඉවරයි. වගේ වගක් නැහැ. කුණු මෙතනටම දානවා. උද්ඝෝෂණය කරන්න එපා කියලා අනතුරු ඇඟවීම් එවනවා. ඕක තමයි තත්ත්වය.’ ඒ ද එම ජාතික ව්‍යාපාරයේම සාමාජික යෙකි.
‘කාක්කෝ කුකුල් මස් වැදලි එක්ක වැලවල්වලයි, ගස් උඩයි, වහලවල් උඩයි හැම තැනම ලගිනවා. ඒවා බිම වැටුණම මැස්සෝ. ඇඳුම් වැලක දැම්මාම මැස්සෝ. කුස්සියේ 
මැස්සෝ පිරිලා. අපි පුදුම දුකක් විඳින්නේ. කුණු ඇවිස්සුණාම ගඳේ බෑ. ඉතින් උයාගත්ත එක කන්න බෑ.’ ඒ මීතොටමුල්ල කාන්තාවක සිය ගැටලූව අපට කී හැටිය.
‘මේ රාහුල විද්‍යාලය මාස තුනක් වහලා තිබ්බා කුණුගොඩ හින්දා. තව තිබ්බා නම් ඉස්කෝලේ කුණුවලට වැහෙනවා. ඒ හින්දා අපි ඒ අවට සුද්ධ කරලා ඉස්කෝලේ ඇරියා. ඒත් ළමයි ඉන්නේ කුණු කන්ද පාමුල. ළමයි ලෙඩ වෙනවා. මේවා බලධාරීන්ට පේන්නේ නැද්ද? මේ ඉස්කෝලෙට ඒ කාලේ නාවලගේ බෙනට් කුරේ අක්කර දෙකක් අරගෙන දුන්නා. අද ඒ අක්කර දෙකත් කුණු දාලා. අපිට කුණු කන්දට ඉඩ දීලා ගෙවල් අතඇරලා යන්නද මේ ආණ්ඩුව කියන්නේ.?’ මීතොටමුල්ලේ හැම කෙනාගේම සියලූ ගැටලූ අබිබවා ලොකුම ගැටලූව වී ඇත්තේ කුණු ගොඩය. ඒ තරමට මේ කුණු කන්ද ඔවුන් ලෙඩ කර හමාරය. එහෙත් කොළඹ නගර සභාවට ඊට විසඳුම් නැති ගාණය.

‘දවසට ලොරි, ට‍්‍රැක්ටර් 50-75ක් මේ කන්දට එනවා. අබාන්ස් කට්ටියත් එනවා. කොළඹ, කෝට්ටේ විතරක් නෙමෙයි කැලණියේ කුණුත් දැන් එනවා. පාරවල් දිගේ කුණු වතුර වැටිලා පාරේ යන්න බැහැ. වැස්සාම ගෙවල්වලත් කුණු වතුර. අපි මේ දුක් විඳින්නේ ඇයි?’

මීතොටමුල්ල කුණු කන්ද වගේම ගම්ය. මේ ප‍්‍රදේශවල ජීවත් වන පවුල් සංඛ්‍යාව පන්දහසකට වැඩිය. මුලදී මේ ගම්වල මිනිසුන්ගේ කුස පිරවූ මේ තැන හැඳින්වූයේ ‘පොතු විල්’ කුඹුර ලෙසය. මේ කුඹුර අක්කර 18ක වපසරියක විහිදී පැතිරී තිබුණි. ගංවතුරකට කුඹුර විනාශ වී එය නැවත වැපිරිය නොහැකි තත්ත්වයට පත්වී ඇත්තේ ජනාකීර්ණ වීමත් සමගය. එදා වීරසිංහ මල්ලිමාරච්චි මහතා මේ කුඹුරු බිමට කොළොන්නාවේ කුණු දාන්නට පටන් ගෙන ඇත්තේ ඒ අවට මිනිසුන් උපන් ගෙයි ශ‍්‍රී ලංකාකාරයන් වීම නිසාය. එකී දේශපාලන පළිගැනිල්ල ගිය දුර අද මේ අවට කිසිවකුට ඔළුව ඔසවා සිටීමට නොහැකි තත්ත්වයක් උදාකර ඇත.

බ්ලූමැන්ඩල් කුණු කන්ද මෙන්ම මේ කුණු කන්දෙන්ද දිවි ගෙවන මිනිස් කැළක් නිර්මාණය වී ඇත. මේ කුණු කන්දට මුවා වී බොහෝ අකටයුතුකම් වෙමින් පවතී. ඒවා දේශපාලන ආශිර්වාදයෙන්ද වන දෑ ය. කොළොන්නාවේ කුඩුපුරය ගැන කතාබහ වන තරමට මේ කුණු ගොඩද ඊට ආරක්ෂාවක් වී ඇතිවාට සැක නැත. මේ අවට කෙරුමා වී ඇත්තේ දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාය. ඒ නිසා ඔහුගෙන් සුළුවට යැපෙන බොහෝ පවුල් මේ කුණු කන්දට කැමතිය. බ්ලූමැන්ඩල් කුණු කන්දද සෙළවිය නොහැකි මහා මේරු පර්වතයක් වී තිබුණ අතීතයක් තිබුණි. එහෙත් එය සෙළවිය. සෙළවූවා පමණක් නොව පොළොවටද සමතලා විය. එසේ නම් මෙයටද විසඳුමක් තිබිය යුතුය. කුණු කන්ද නාය ගියාක් මෙන් මේ අවට ජීවත් වන පවුල්වලට නායයෑමට ඉඩදී බලා සිටීමට දේශපාලකයන්ට පුළුවන් විය නොහැකිය. එබැවින් සැබැවින්ම මහා ව්‍යසනයක් වී ඇති මෙම කුණු කන්දට පිළියම් සෙවීම ජාතික වගකීමක් වී ඇත.
ජනතාව මැදි කොට කුණු දැමීම වෙනුවට ජනශූන්‍ය කලාප මේ සඳහා යොදා ගැනීම බලධාරීන්ගේ වගකීමක් විය යුතුය. මේ මිනිසුන් උද්ඝෝෂණය කරනුයේ තමන් කුණු කන්දක් ළඟට ගෙන ගොස් දැමුවායැ’යි කියා නොව තමන් ජීවත් වූ නිදහසේ හුස්ම ගත් පරිසරය විනාශ කරමින් තම නිවෙස් මැදි කොට කුණු කන්දක් නිර්මාණය කළ වරදටය. ඊට වගකිවයුත්තන්ටය. මේ කාගෙ කාගෙත් කුණුය. ඒවාට මීතොටමුල්ල ජනයා වගකිවයුතු නැත.

මේ මිනිසුන් කුණු ගොඩටම යට නොකර කඩිනම් පිළියම් යෙදිය යුත්තේ එහි පීඩාව විඳිනුයේද ඒ මිනිසුන්ම වන බැවිනි. මේවාට විසඳුම් ඇත. ඒවා කළයුත්තේ බලධාරීන්ය. ඔවුන් ඒවාට විසඳුම් නොසොයා එකී ප‍්‍රශ්නද කුණුවන්නට ඉඩදී බලා සිටීමෙන් මේ කුණු ගොඩ මේ තරම් උස්වී ඒ අවට මිනිසුන් කුඩා වී ඇත. ආසියාවේ ආශ්චර්යමත් කුණු කන්ද නම් අප සතුය. එය මීතොටමුල්ලේ ඇත.