Untitled-1

Untitled-1

දින 100ට පූර්විකාවක්


--------

මෙය ලියන්නේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජනාධිපතිවරණයෙන් දිනනවාය යන පුරෝකතන හමුවේය. ඒ අනුව ජනාධිපතිවරණයෙන් පසු දින සිට එළැඹෙන කාලය ජනාධිපතිවරණයේ කාර්ය භාරයට වඩා සංකීර්ණ වගකීම් සමූහයක් කර ගැසීමට සිදුවන පාලන කාලයකි. දිනුවා පැරදුණා මැතිවරණ කිරීම ආණ්ඩු කිරීමට වඩා පහසු යැයි දිනෙක වික්ටර් අයිවන් මා සමග පැවසූවකි. මෙය ලියන්නට වාඩි වූයේ ඒ කතාවෙන් මතු කෙරෙන භාරධුර වගකීම් පොදු අපේක්ෂක පොරොන්දු පත‍්‍රයේ දින සියය සමගින් ඈඳීම ගැන සටහනක් තැබීමටය.

දින සියය අවසන් වන්නේ මූලික ව්‍යවස්ථාමය ප‍්‍රතිසංස්කරණ කිහිපයක් සම්පූර්ණ කිරීමෙන් පසුව තීන්දු කෙරෙන පාර්ලිමේන්තු මැතිවරණයක් සමගින්ය. ඇති කරන්නට යන ප‍්‍රතිසංස්කරණ මේ රටේ ජනතාවට වැදගත් හා අත්‍යවශ්‍ය ප‍්‍රතිසංස්කරණ වන්නේය. එසේ වූවත් ඒ කිසිවක අඩංගුව සඳහා තවමත් මූලික රාමුව හෝ සාකච්ඡුාවට තබා නැත. මේ අතර, මෛති‍්‍රපාල සිරිසේන වෙනුවෙන් පොරොන්දු ඉටු කිරීම විස්තර කෙරෙන ප‍්‍රශ්න-උත්තර ලියැවිල්ලක් නිර්නාමිකව විද්‍යුත් තැපෑලෙන් ලැබුණි. මේ විස්තර කිරීමෙහි ඇත්තේ ද ගනු ලබන පියවර සඳහා වන කාල සටහනක් සමග පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යා ගැන විස්තර කිරීම් පමණි. ඒවාද වැදගත්ය. මේ සමාජයට වඩා වැදගත් වන්නේ, එම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අඩංගුව දැන ගැනීම සහ එය සම්පූර්ණ කිරීමේ කි‍්‍රයාවලියට හවුල් වීමය. එබැවින්,

1. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර ස්ථාපිත කිරීමට පොරොන්දු වන පාර්ලිමේන්තු ක‍්‍රමය ජනතාවට වගකියන්නේ කෙසේද යන්න දැන ගැනීම අවශ්‍ය ය. පොරොන්දු පත‍්‍රිකාවෙහි ලියා ඇති ජාතික සමගියේ ප‍්‍රතිමූර්තියක් ලෙස නව ජනාධිපති ධුරය ව්‍යවස්ථාගත කෙරෙන්නේ කෙසේද යන්නත්, නව ජනාධිපති ධුරයට උචිත බලතල යැයි කියන්නේ කවර ආකාරයේ බලතල දැයි දැන ගැනීමත් ඒවගේම අවශ්‍ය ය.

මේවා දැනට තේරුම් කෙරෙන අයුරු කවුරුන් හෝ පුද්ගලයෙකු නැතිනම් කිහිප දෙනෙකු ලියා අවසන් කරමින් ඇත. මෙවරද කලින් ජනරජ ව්‍යවස්ථා දෙක මෙන්ම කිසිදු සුළු ජන නියෝජනයක් නැතිව ලියැවෙන්නකි. එබැවින් මෙය නැවතත් කොළඹ සිංහල විද්වත් පිරිසකට සීමා වීමේ බරපතළ අවදානමක් ඇත. අනතුරුව ඒ කෙටුම්පත් දින සියය සම්පූර්ණ වන්නට පෙර පාර්ලිමේන්තුවෙහි සම්මත කර අවසන් කරනු ඇත. පසුව ලියා ඇති ප‍්‍රශ්න-උත්තර පත‍්‍රිකාවට අනුව එම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට 2/3 බලය ලබා ගන්නේ මේ තියෙන පාර්ලිමේන්තුවෙනි. අපට අවශ්‍ය ආකාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ලැබේ යැයි එනිසා අප විශ්වාසය තැබිය යුත්තේ කවුරුන් හෝ එය කෙටුම්පත් කරන කණ්ඩායම මත හා පවතින පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන්ගේ දායකත්වය මතය. සමාජ කතිකාවකට දින සියයෙහි ඉඩක් ඇත්තේද නැත. එනිසාම එය එක්තරා ආකාරයක අවදානම් සහගත කි‍්‍රයාදාමයකි. කවුරු කොහේ ඉන්නවාදැයි ඔට්ටු අල්ලන්නටවත් බැරි මේ පාර්ලිමේන්තුවෙන් ඡුන්ද හැර ලබා ගත හැකි දායකත්වය කුමක්ද ? ඔවුන්ගේ මෙතෙක් කල්කිරියාවට අනුව ඡුන්දය හැර වෙන කිසිදු වැදගත් එකතුවක් ඔවුන්ගෙන් නොලැබෙනු ඇත. මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව එබැවින් සම්මත කෙරෙනු ඇත්තේ සමාජ නියෝජනයක අදහස් යෝජනා හෝ විචාරයක් නැතිවය.

එසේ හෙයින් පාර්ලිමේන්තු ක‍්‍රමයට නැවත ගොඩවීමේදී පැරණි රෝග නොමැති සහ වඩා ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක අඩංගුව පිළිබඳ කතිකාව අප විසින්ම ආරම්භ කළ යුතුව ඇත. එය දැන් සමාජ වගකීමක් ලෙස අපම පවරා ගත යුත්තකි. එනිසා කෙටුම්පත් කෙරෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව සමාජ සංවාදයට තැබිය යුතු කාරණා ගණනාව අතුරින් කිහිපයක් පමණක් මෙලෙසින් මතු කරන්නට අදහස් කරමි.

1.1 ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදනයේ කි‍්‍රයාදාමය කවරේද? එවැන්නක් ගැන කොතැනකවත් සඳහනක් නැත. එය සියලූ ජනකොටස් නියෝජනය වන්නාවූ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක එකඟත්වය ඇතිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අදහසක් හෝ නැත. එබැවින් අවම වශයෙන් පවතින පාර්ලිමේන්තුවේ සුළු ජන නියෝජනයක් ඇති දේශපාලන පක්ෂ සමග කෙටුම්පත පිළිබඳව සාකච්ඡුා කිරීමකින් තොරව එය සම්මත නොකළ යුතුයැයි ආරම්භයේදීම කිව යුතුව ඇත.

1.2 ජනාධිපති වෙත පවරන වගකීම් අතර දැනට ලියා ඇත්තේ ‘‘උචිත වගකීම් හා බලතල’’ ලෙස පමණි. වෙනත් විස්තර නැති හෙයින්ම එම වගකීම් හා බලතල කවරේද යන්න ගැන සමාජ කතිකාවක් තිබිය යුතුය. දැනටම පොදු අපේක්ෂකයා ලෙස මෛති‍්‍රපාල සිරිසේන මාධ්‍යයට කියා ඇති අයුරු ඔහු පළාත් සභා සම්බන්ධ සියලූ බලතල තමා අත රඳවා ගන්නේය. ඒ අයිතිය ඔහුට ලබා දුන්නේ කවරෙකුද? එය එසේ විය යුතුද? රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති අත රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයද තැබුණහොත් අවුරුදු 30 ක යුද්ධයෙන් පසුව ඉතිරිව ඇති සියලූ තුවාල සමනය කිරීමේ, සමාජ විභේදනය තුරන් කිරීමේ දේශපාලන ප‍්‍රතිකර්ම සාකච්ඡුා කිරීමට තරම් විශ්වාසයක් දෙමළ ජනතාවට ඉතිරි වනු ඇතිද? එනිසා මේ කියන උචිත වගකීම් හා බලතල මේ රටේ කිසිදු ජනකොටසකට අහිතකර නොවන සේ ව්‍යවස්ථාගත කළ හැක්කේ කෙසේදැයි අප සාකච්ඡුා කළ යුතුව ඇත.

1.3. රාජ්‍ය නායකයා ලෙස ව්‍යවස්ථානුගත වන්නේ ජනාධිපති ය. ඒ තනතුර මෙවර පොදු අපේක්ෂක වන මෛති‍්‍රපාල සිරිසේන තේරී පත්වීමෙන් නතර වන්නක් නොවේ. එනිසා අපට ඉතිරි වන ප‍්‍රශ්නයක් ඇත. මින් මතු ජනාධිපතිවරයා තෝරා පත් කරන්නේ කෙසේද? රටේ ඡුන්දදායකයන් විසින් ද? නැතිනම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡුන්දයෙන්ද? කවර ආකාරයෙන් පත් කළ ද ඒ කෙතරම් කාලයකට ද? වාර කීයකටද යන්නත් වැදගත් කාරණාවකි. පැවරිය යුතු බලතල ගැන කතා කළ යුත්තේ ජනාධිපති පත් කෙරෙන ආකාරය අනුව පමණි. මහජන ඡුන්දයෙන් පත් නොවන ජනාධිපතිවරයෙකුට වගකීම් පැවරීම ප‍්‍රවේසමෙන් කළ යුත්තකි.

1.4. ජාතික සමගියේ ප‍්‍රතිමූර්තියක් ලෙස නව ජනාධිපති ධුරය ව්‍යවස්ථාගත කරනවා යැයි යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙවැනි ප‍්‍රකාශ සතු පැහැදිලි කිරීම් සිංහලවාදී හවුල්කරුවන්ට ඇත්තේ ඔවුන්ගේ සීමා තුළය. පළාත් සභා සතු ව්‍යවස්ථාමය බලය ජනාධිපති අත රැුඳවීම එයටම අයත් වන්නක්ද? දැනට ඇති 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභා සඳහා ලබා දෙන ව්‍යවස්ථාමය බලය නව ව්‍යවස්ථාවට ඇතුළත් කෙරෙන ආකාරය සාකච්ඡුාවට තැබීම එබැවින් අතිශය වැදගත් ය.

02. නීතියට අනුව කටයුතු කිරීම, නීතියේ ආධිපත්‍යයට ප‍්‍රමුඛස්ථානයක් දීම, යහපාලනය මත ස්ථිරසාර ලෙස පදනම් වෙමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය යලි ස්ථාපිත කිරීම, මූලික අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කොට ප‍්‍රවර්ධනය කිරීම, මාධ්‍ය නිදහස සහ තොරතුරු ලබා ගැනීමේ අයිතියද ඇතුළු අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම සහ මානව ගරුත්වය ඇතිව ජීවත්වීමට ඇති අයිතිය සහතික කිරීම වැනි පොරොන්දු ව්‍යවස්ථාවට ඇතුළු කිරීම අතිශය වැදගත් කාරණාවන් ය. ඒවා එනිසාම සමාජ කතිකාවකින් තොරව කෙටුම්පත් කර මේ පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීම ප‍්‍රශ්න සහිත වනු ඇත. නිදසුනක් ලෙස,

2.1 පසුගිය වාරයේ පාර්ලිමේන්තුවෙහි සම්මත කළ 17 වන ව්‍යවස්ථා සංශෝධනය මෙවර නව ව්‍යවස්ථාවට ඇතුළු කරන්නේ කෙසේද යන්න සමාජ අනුමැතියකට යටත් විය යුතුව ඇත. එයට හේතුව, අධිකරණය, රාජ්‍ය පරිපාලනය හා විශේෂයෙන් පොලීසිය ස්වාධීන, කාර්යක්ෂම හා දූෂණයෙන් තොර රාජ්‍ය යාන්ත‍්‍රණයේ පංගු ලෙස නවීකරණය කර ගැනීම අතිශය ගැටලූ සහගත වාගේම, ඉතා දුරදිග යන ප‍්‍රතිසංස්කරණ ඉල්ලා සිටින ක්ෂේත‍්‍ර වීමය. එනිසාම ඒවායේ ස්වාධීනත්වය ව්‍යවස්ථාවට නැගිය යුත්තේ එවැනි නව ප‍්‍රතිසංස්කරණ පිළිබඳව ගොඩ නැගෙන සමාජ කතිකාවක්ද සමගින් ය.

2.2 අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය සහ මාධ්‍ය නිදහස යනු මාධ්‍ය සංවිධාන විසින් ඉදිරිපත් කරන ආකාරයේ සරල කාරණාවක් නොවේ. අද රාජ්‍ය හා පෞද්ගලික යැයිද මාධ්‍යයෙහි වෙනසක් ඇත්තේ නැත. නාමයෝජනා දින සියලූ පුවත්වල සම්පූර්ණ පළමු පිටුව ජනාධිපති රාජපක්ෂගේ මැතිවරණය වෙනුවෙන් විකිණූ කර්තෘවරුන් හා ඒ ගැන මෙතෙක් කිසිදු ප‍්‍රතිචාරයක් නොදැක්වූ කර්තෘ සංසදය හා මාධ්‍ය සංවිධාන හවුල් වන ජනමාධ්‍ය, ස්වාධීන නිදහස් මාධ්‍යයක් බවට පත් කර ගැනීම, හුදෙක් නීති සම්පාදනය පිළිබඳ කතාවක්ම නොවේ. එය රාජ්‍ය අයිතිය යටතේ ඇති මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍යද මූලික හා ප‍්‍රධාන වශයෙන් සමාජ වගකීමට යටත් කිරීම පිළිබඳ බරපතළ කතාවකි. එවගේම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය එකම ආකාරයෙන් නියාමනය කළ හැක්කේද නොවේ. ගුවන් තරංග පාලනය කිරීමට සහ ඒ සඳහා අවසර දීමේ ආණ්ඩු බලය ගැන කතා කළ යුත්තේ එම ගුවන් තරංග පොදු අයිතියට අයත් බව පිළිගනිමින් ය. එනිසා එවැනි නියාමන කාර්යයන් අමාත්‍යාංශ වෙත බාර නොවිය යුතු අතර, රාජ්‍ය මාධ්‍යයද දේශපාලන බලයෙන් මුදවා පාලනය විය යුතුය. මේවා ගැන අප විවෘත දීර්ඝ සාකච්ඡුාවක් කළ යුතුව ඇත.
2.3 මානව ගරුත්වය ඇතිව ජීවත්වීමට ඇති අයිතිය යනු සංස්කෘතික අනන්‍යතාවද ගරු කරන්නකි. එය මානව හිමිකම් අතර ව්‍යවස්ථාගත කෙරෙන්නේ කෙසේද යන්න අප මෙතෙක් සංවාදයට ගත්තක් නොවේ. එනිසාම අපේ රටේ වාර්ගික ගැටුම් පිළිබඳව කතා වන්නේ බෙදුම්වාදය වැනි අන්තවාදී වේදිකා මත පමණ ය. වාර්ගික ගැටුම් සතු සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ සාධකය මාධ්‍ය විසින්ද යටපත් කෙරෙන්නකි. මුස්ලිම් ජනතාවට එරෙහිව දියත් වූ සිංහල බෞද්ධ අන්තවාදය පිළිබඳ කතිකාව එය බෙහෙවින් ඉස්මතු කෙරුවකි. එනිසාම මානව ගරුත්වය ඇතිව ජීවත්විමට ඇති අයිතිය සමග සංස්කෘතික අනන්‍යතා ව්‍යවස්ථාවට ගන්නේ කෙසේද යන්න අප අලූතින් ආරම්භ කළ යුතු සාකච්ඡුාවකි.

3. මානව ගරුත්වය සහිතව ජීවත්වීමට සැමට ඇති අයිතිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සුභසාධන රාජ්‍ය නැවත ස්ථාපිත කිරීම සහ විශේෂයෙන් ඉහළ මට්ටමේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවාවන් සඳහා සියලූ පුරවැසියනට ඇති අයිතිය සහතික කිරීම මේ වන විට පැරණි අදහසක් වූවත් එයට අපේ රටේ ඇති ආකර්ෂණය නිසාවෙන් එවැනි පොරොන්දු මෙලෙසින් මැතිවරණ පොරොන්දු පත‍්‍රිකා වලට රිංගවනු ලැබේ. එහෙත් වෙළඳපල කේන්ද්‍රීය ආර්ථිකයක පෞද්ගලික වත්කම් එකතු කර ගැනීමේ කිසිදු සීමාවක් නැති රටක, සියලූ පුරවැසියනට එවැනි සහතික ලබාදීමක් අවශ්‍ය වන්නේ නැත. මේ විවෘත ආර්ථිකය විසින් ගම හා කොළඹ අතර අශිෂ්ට බෙදීමක් ඇතිකර තිබේ. ග‍්‍රාමීය ආර්ථිකය අතහැර දමා ඉන් පිටවන ශ‍්‍රමය මැද පෙරදිගටත් නිදහස් වෙළඳ කලාපවලටත් ගාල් කර කොළඹ සුඛෝපභෝගී ජීවිත සඳහා විදේශ විනිමය උපයන ආර්ථිකයක් අපි අවුරුදු 30කට වැඩි කලක් අත්විඳිමු. එය බරපතල විසමතාවක් ලෙස නිදහස් අධ්‍යාපනයේත් සෞඛ්‍ය සේවාවේත් පැලපදියම්ව ඇත. එනිසා සුභසාධන රාජ්‍යය යන්න නිරවුල්ව සහ දේශපාලනිකව අර්ථ ගැන්වීමේදී,

3.1 අබ්බාගාත කර ඇති අධ්‍යාපනය හා සෞඛ්‍ය නැවත නිදහස් පූර්ණ වටිනාකම් සහිත සේවා ලෙස යළි පිළිසකර කිරීම ආවට ගියාට කළ හැකි නොවේ. ඒ වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්තිමය කෙටුම්පත් සැකසීම විද්වත් පරිණත පිරිස්වල දායකත්වයෙන් විය යුතු අතර ඒවා සමාජ කතිකාවකට තැබිය යුතු වන්නේ ය. එහිදී ආණ්ඩු විසින් පොදු වියදමින් ආවරණය කළ යුතු හා නඩත්තු කළ යුතු සමාජ කණ්ඩායම් හා සේවාවන් පිළිබඳව පැහැදිලි යථාර්ථවාදී සීමා තහංචි තීන්දු කළ යුතු අතර, ඒ වෙනුවෙන් සකසා ගන්නා නිර්ණායකයන් ප‍්‍රජා සහභාගිත්වයෙන් විවෘතව සාකච්ඡුා කර එක`ග විය යුතු වන්නේය. (එවැන්නක් පිළිබඳව 1990 අපේ‍්‍රල්හි ජනසවිය සඳහා ඉදිරිපත් කෙරුණු මුල් පිටපතෙහි සඳහන් වූ නමුත් එය දිස්ති‍්‍රක් දේශපාලනයේ බලපෑම මත අත හරිනු ලැබිණ.)
3.2 ගමේ දිළිඳුකම ඇත්තේ වටිනාකම් එකතු කෙරෙන නිෂ්පාදන කි‍්‍රයාවලියක් ග‍්‍රාමීය ආර්ථිකයේ නොමැති හෙයින් සහ තවමත් ගම යනු සරල කෘෂිකර්මාන්තයකින් යැපෙන සමාජයක් ලෙස ඉතිරිව ඇති හෙයිනි. එබැවින් ග‍්‍රාමීය සමාජයට එකතු වන අලූත් පරම්පරා සඳහා පසුගිය අවුරුදු 30-40 ක කාලයක් පලදායි ආර්ථික ජීවිතයක් නොවුනි. එය මේ විවෘත ආර්ථිකයේ වෙළඳපල පිළිබඳ ගැටලූවකි. ඒ මත සුභසාධන රාජ්‍යයක් පොරොන්දුවීම යනු නිෂ්පාදනය මත ප‍්‍රසාරණය නොවන ගමට පිටතින් මුදල් පොම්ප කිරීමක් පමණක් වනු ඇත. එවැනි සුභසාධනයකින් ගම දියුණු කළ නොහැක. එනිසා ග‍්‍රාමීය ආර්ථිකය පලදායි ලෙස වර්ධනය කිරීම සඳහා ඇත්ත සැලසුම් හැදීමේ දියුණු සාකච්ඡුාවක් අවශ්‍යව ඇත.

දින 100 ට අදාලව දිග හැර ගත යුතු සමාජ කතිකාවකට මේ අල්ප වූ ආරම්භයක් පමණි. මැතිවරණ ජයග‍්‍රහණයක් යනු සියල්ල විසඳෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජීය මැදිහත්වීමක් නොවේ. එය ආණ්ඩු පාලනයේදී එනිසාම අවසන් ජනතා මැදිහත්වීමද නොවිය යුතුය. ඇත්ත හා බරපතළ සමාජ මැදිහත්වීමක් අවශ්‍ය වන්නේ මැතිවරණයෙන් පසුවය. ඒ දින 100 ට සීමා කර ඇති කාරණා අනාගත යහපත සඳහා පෙරැුළීමට අවශ්‍ය බුද්ධිමය අභ්‍යාසය සඳහාත් බලයට පත් වන පක්ෂ හා පුද්ගලයන් පීලි පැනීමෙන් වළකා ගැනීම සඳහාත්ය. ශිෂ්ට පාලනයක් තහවුරු කර ගැනීමට අවශ්‍ය වන ජන බලය සහතික කර ගැනීමට ය.