ජනාධිපතිවරණ ප‍්‍රචාරණ ව්‍යාපාරය දෙපයින් සිටවීම

අජිත් පැරකුම් ජයසිංහ

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අප විසින් කර තිබෙන බිම් මට්ටමේ නිරීක්ෂණ අනුව පැහැදිලිව දැකිය හැකි කාරණයක් වන්නේ රාජපක්ෂ විරෝධී දැවැන්ත ජන රැුල්ලක් ඇති වී තිබෙන බවයි. ජනමත සමීක්ෂණවලින් ද මේ බව පෙන්නුම් කර තිබේ.

පෙනෙන්නට තිබෙන ආකාරයට ඡන්දය දෙන්නේ ආණ්ඩු පක්ෂයට ද විපක්ෂයට ද යන්න සම්බන්ධයෙන් ඡුන්ද දායකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් දැනටමත් තීරණය කර හමාර ය. ජයග‍්‍රාහී මානසිකත්වය රඳවා ගැනීමට අපේක්ෂකයෝ සමත් වෙත් නම්, මේ පුද්ගලයන් ඡන්දය දෙන ආකාරය වෙනස් වේ යයි සිතිය නො හැකි ය. පරාජය හමුවේ දුර්මුඛ වී ඡන්දය නො දී සිටීම හැර, ඡන්දය දෙන ආකාරයේ ලොකු වෙනසක් සිදු වේ යයි අපේක්ෂා කළ නො හැකිය.

මෙම සන්දර්භය තුළ ජනාධිපතිවරණ ව්‍යාපාරය බොහෝ දුරට එකිනෙකාට බලය පෙන්වීම, පදනම ආරක්ෂා කර ගැනීම හා අනෙකා දුර්මුඛ කිරීම කෙරෙහි යොමු වී තිබෙන ආකාරයක් ද නිරීක්ෂණය කළ හැකි ය.

බලය පෙන්වීම නම් කාරණයෙහිදී ආණ්ඩු පක්ෂය ප‍්‍රධාන වශයෙන් කරමින් සිටින්නේ තමන් සමග මෙතෙක් සිටි බලවේගය තවමත් එහෙමම සිටින බව පෙන්වීමට උත්සාහ කිරීමයි. ඒ අතර දතට දතක්, ඇහැට ඇහැක් යන ගෝත‍්‍රික න්‍යාය ඉදිරිපත් කරමින් තමන්ගෙන් ගැලවී ගිය ලේකම් වෙනුවට එජාපයේ ලේකම් තමන්ගේ පැත්තට ගෙන පෙන්වීමට ද ආණ්ඩුව සමත් විය.
තිස්ස අත්තනායකගේ පිම්ම සමාන හා ප‍්‍රතිවිරුද්ධ ක‍්‍රියාවක් ලෙස පෙන්වීමට ආණ්ඩුව උත්සාහ කළ මුත් එය එසේ වන්නේ නැත. එයට මූලික හේතුව වන්නේ මෛත‍්‍රීපාලගේ පියවර රටේ පොදු දේශපාලනික අවශ්‍යතාවක් වෙත ස්ථානගත වීමක් වීමයි. තිස්ස අත්තනායක සිය පිල් මාරුවට හේතු ලෙස ඉදිරිපත් කරන කාරණා වන්නේ පැය 24ක් තුළ රනිල්ට අගමැතිකම දෙන්නට මෛත‍්‍රීපාල එකඟ නොවීම, මැති ඇමතිවරු 20ක් කඩාගෙන එන්නට මෛත‍්‍රී අසමත් වීම වැනි අදේශපාලනික, බොළඳ හේතු ය.

විපක්ෂය ද බලය පෙන්වන්නට උත්සාහ කරන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීන් එක එකා තමන් වෙත බිලී බා ගනිමිනි. තිස්ස අත්තනායක කඩාගෙන ගිය දිනයේ සවස හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර විපක්ෂයට එකතු කර ගැනීමෙන් තිස්සගේ කඩාගෙන යාමේ බලපෑම අවම කිරීමට විපක්ෂය සමත් විය.

බලය පෙන්වීම ඉතා වැදගත් ය. මන්ද, දැනට තමන් ඡන්දය දෙන්නේ කාට ද යන්න තීරණය කර නැති පිරිස් තීරණයක් වෙත එළඹීමේදී බලය නම් සාධකය කෙරෙහි අවධානය යොමු කරති. ජනතාව තුළ ජයග‍්‍රාහී මානසිකත්වය ඇති කිරීම අත්‍යවශ්‍ය ය. හෘදය සාක්ෂියට වඩා ඡුන්දයකදී ලංකාවේ ජනතාව සලකා බලන්නේ තමන් ඉන්නේ බහුතරය සමග ද, දිනන පැත්තේ ද වැනි කාරණා බව කලින් ඡුන්ද නිරීක්ෂණය කිරීමේදී පෙනේ.

ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල කෙබඳු ද යන්න හුදෙක් ම දේශපාලන වශයෙන් සක‍්‍රිය කොටස්වල ප‍්‍රතිචාරයෙන් පමණක් තේරුම් ගත නො හැකි ය. දේශපාලනය අඩුවෙන් කතා කරන කොටස සිතන්නේ කෙසේ ද යන කාරණය ඉතා වැදගත් ය. විශේෂයෙන් ම ලංකාවේ ඡුන්දදායකයන්ගෙන් 50%කට වැඩි ප‍්‍රතිශතයක් කාන්තාවෝ ය. එහෙත් දේශපාලනික වශයෙන් සක‍්‍රිය පිරිසගෙන් 95%ක් ම පිරිමි ය. කාන්තාවන් අමතන්නට සමත් වන්නේ කවුරුද, ඒ අපේක්ෂකයා ජයග‍්‍රහණය කරනු ඇතැයි කීම වැරදි ප‍්‍රකාශයක් නො වේ.

විපක්ෂය දෙසට දැවැන්ත ජනරැුල්ලක් ගොඩනැගී ඇති බව අපි කලින් ද කීවෙමු. එහෙත්, මේ රැුල්ල ගොඩනැගෙන්නේ කුමක් පදනම් කරගෙන ද යන්න තවමත් විපක්ෂය හරි හැටි තේරුම් ගෙන ඇති බවක් නො පෙනේ.

මෙහි තිබෙන මූලික කාරණය වන්නේ රටේ යහපාලනයේ ගැටලූවයි.

ජනතාවට අවශ්‍ය වී තිබෙන්නේ දූෂණය ඉහවහා නො ගිය, නීතියේ පාලනයෙන් යුත්, මනා ආර්ථික පාලනයකින් යුතු රටකි. අනේක විධ බාධා මැද ජනතාව විපක්ෂ රැුලිවල රොද බඳින්නේ මේ අපේක්ෂාව වෙනුවෙන් ශක්තිය ගොනු කරන්නට ය. එහෙත් විපක්ෂයේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය මේ කාරණා නිසි ලෙස ආමන්ත‍්‍රණය කරනවා වෙනුවට බල තුලනය වෙනස් කිරීමේ ඔලූගෙඩි මාරුවට අනවශ්‍ය තරම් වැදගත්කමක් දී තිබේ.

මහජන නියෝජිතයන් මිල දී ගැනීම නම් කාරණයේදී විශේෂඥයන් වන්නේ නිසැකව ම රාජපක්ෂ පවුලයි. ඒ වෙනුවෙන් ධනය, තනතුරු, වරප‍්‍රසාද පිරිනමමින් ද, අවශ්‍ය නම් භීෂණය මුදා හරිමින් ද කටයුතු කරන්නට ඔවුහු අතිදක්ෂයෝ ය. එය ඔවුන්ගේ පොළවයි. ඔවුන් සමග හැප්පෙන්නට ඔවුන්ගේ අවකාශය වෙත යාම කිඹුලා සමග සටන් වදින්නට වතුරට පැනීම වැනි දෙයකි.
විපක්ෂය වෙනුවෙන් හා ආණ්ඩුව වෙනුවෙන් ජනමත නිර්මාණය කිරීම වෙනුවට ජනමාධ්‍ය විසින් නිර්මාණය කරමින් තිබෙන්නේ ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට පනින දේශපාලකයන් පිළිබඳ කටකතා නිර්මාණය කිරීමයි. මේ කටකතාවල උපත දකින්නට ලැබෙන්නේ ඕපාදූප වෙබ් අඩවිවලයි. එහෙත්, ඒවා ක්ෂණයකින් අන්තර්ජාලය පරිහරණය නො කරන ජනතාව වෙත ද ගමන් කරන ආකාරය විසින් පෙන්නුම් කරන කාරණයක් තිබේ. ඒ කුමක්ද? මෙවර ජනාධිපතිවරණයේදී අන්තර්ජාලය හා සමාජ වෙබ් අඩවි විසින් කරනු ලබන බලපෑම 2010 අවුරුද්දට සමාන වන්නේ නැත. ගත වූ පස් වසර තුළ රටේ සිදු වී තිබෙන අන්තර්ජාල විනිවිදීම තුළ සමාජ මනස හැසිරවෙන ආකාරයේ දැවැන්ත විපර්යාසයක් වී තිබේ.
මෙහි තිබෙන තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ මේ දේශපාලනඥයන් හැසිරවෙන්නේ ඕපාදූප විසින් වීමයි. ඔවුන් පිළිබඳ ප‍්‍රබන්ධ කරන පුවත්වලට අනුව ඔවුන් හැසිරෙන ස්වරූපයක් දක්නට ලැබෙන අතර, විපක්ෂයත්, ආණ්ඩුවත් තරගෙට මෙන් පුවත් නිර්මාණය ඔස්සේ චරිත හැසිරවීම කරගෙන යයි. මෙය හරියට බල්ලා විසින් වලිගය වැනීම වෙනුවට වලිගය විසින් බල්ලා වැනීම වැනි තත්ත්වයකි.

විපක්ෂ ජනාධිපති අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරයේ අවධානය වෙනස් කළ යුතු ය. ආණ්ඩුවෙන් දේශපාලකයන් විපක්ෂයට දිනා ගැනීම කෙරෙහි මූලික අවධානය යොමු කිරීම යනු ආණ්ඩුවට වාසිදායක පොළවක ක‍්‍රීඩා කරන්නට විපක්ෂය ඉදිරිපත් වීම වැනි ය. ඒ ක‍්‍රීඩාව දිනා ගැනීම අමාරු ය. එපමණක් නොව, එමගින් ජනතාවගේ චිත්ත ධෛර්යය ද බිඳ වැටේ.
මෙතෙක් කල් ආණ්ඩුව සමග නැටවුණු, තීරණාත්මක මොහොතේදී ආණ්ඩුව සමග එක් වන්නට සිදු වන තරමට රාජපක්ෂ පවුලට වහල් වූ, දේශපාලන සදාචාරයක් තබා ආත්ම ගෞරවයක්වත් නැති, මුදලට කෑදර දේශපාලන නායකයන් රැුසක් එක්සත් ජාතික පක්ෂයේ සිටින බව අප අමතක නො කළ යුතු ය. ඔවුන් වනාහි මේ කුණු වූ දේශපාලන ක‍්‍රමයෙන් බිහි වී තිබෙන පණුවෝ ය. ජනතා අරගලය දියත් විය යුත්තේ මේ පණුවන් බිහි වන ක‍්‍රමය වෙනස් කිරීමට මිස පණුවන් දිනා ගන්නට නො වේ.

ඒ පැත්තට මේ පැත්තට පැනීමේ දේශපාලනයේ එක් අනතුරුදායක කඩඉමක් පසුගියදා සලකුණු විය. ඒ වනාහි මහින්ද රාජපක්ෂගේ සංස්කෘතික දේශපාලන පෙරමුණේ සුවිසල් භූමිකාවක් රඟපාමින් අතිවිශාල ලෙස වරප‍්‍රසාද ලැබූ ප‍්‍රතිගාමී සිනමාකරුවකු වන සෝමරත්න දිසානායක මෛත‍්‍රීපාල රැුල්ල සමග එකතු වීමයි. ඒ සමග ම මර්වින් සිල්වාගේ නම ද කියැවුණ අතර විපක්ෂ පොදු අපේක්ෂකයකු වෙනුවෙන් මාදුළුවාවේ සෝභිත හිමි සමග මුල පිරූ නිර්මාල් රංජිත් දේවසිරි කළ ප‍්‍රකාශයක් මෙසේයි:

‘මර්වින් සිල්වා මෛත‍්‍රී පිලට එන්නේ නම් ඔහු භාර ගැනීමට විරෝධය දැක්විය යුතුය. නිල වශයෙන් ඔහුගේ පැමිණීම භාර නොගත යුතුය. මේ සඳහා මතයක් ගොඩ නැංවීම වැදගත්ය. එකම නරක පුද්ගල යා මර්වින් නොවුණද පසුගිය කාලයේ සිදුවූ රාජ්‍ය තන්ත‍්‍රයේ පරිහානිය ඔහුගෙන් සංකේතමත් වේ. ඒ නිසා ඔහුගේ පැමිණීමට විරුද්ධ වීම සංකේතාත්මක වශයෙන් වැදගත්ය.’ පොදු විපක්ෂයෙන් ජනතාව අපේක්ෂා කරන්නේ මේ ක‍්‍රීඩාව නොවේ. මැතිවරණ වේදිකාවේ අවධානය යොමු විය යුත්තේ ඒ පැත්තෙන් මේ පැත්තට ආ අයට නො වේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, දූෂණ විරෝධය, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම වැනි ඉදිරිගාමී තේමාවන් වෙත අවධානය මාරු කිරීම ඉතා වැදගත් ය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පැත්තෙන් ද පාලනය විනයගත කිරීමේ අවශ්‍යතාව ප‍්‍රකාශ වී තිබේ. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් වීමට හා යහපාලනයට ඉවහල් වන ප‍්‍රතිසංස්කරණ සිදු කිරීමේ උවමනාවක් නම් ඔහු වෙතින් පළ වී නැත. ඔහුගේ විනයගත කිරීම යනු තෝරා ගත් පුද්ගලයන් ඉලක්ක කර ගත් මර්දනීය ක‍්‍රියාවලියක් වීමේ අනතුර මේ මොහොතේ ද පැහැදිලිව පෙනේ.
මේ අනුව බැලූ කල ජනාධිපතිවරණය එක් ආකාරයකට ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා අධිකාරිවාදය අතර සටනක් වී තිබේ. මේ සමාජය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට තරමට ම අධිකාරිවාදයට ද කැමැත්තක් ඇතැයි සිතන්නට හේතු වන සාධක දක්නට තිබේ. විශේෂයෙන් ම සිංහල ජාතිවාදීන් සම්බන්ධයෙන් මෙම ප‍්‍රවණතාව දැකිය හැකි ය. ජාතික හෙළ උරුමය මේ අවස්ථාවේදී කළ තේරීම වැදගත් සාධකයක් වන්නේ එහෙයිනි. මේ මොහොතට අදාළව හෝ ඔවුහු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමේ වැදගත් දේශපාලනික ආස්ථානයක් ගැනීම සිංහල දේශපාලන ප‍්‍රජාව කෙරෙහි සාධනීය ලෙස බලපාන සංසිද්ධියකි.

බුද්ධිමත් ඡන්දදායකයන් අතර මහින්ද රාජපක්ෂ හිතවතුන් දැනටමත් මන්දෝත්සාහී වී ඇති බව දක්නට ලැබේ. ඔවුන් මුහුණ දෙන මූලික ම ගැටලූව වන්නේ මහින්ද රාජපක්ෂ යළි බලයට පත් කළ යුත්තේ කුමක් සඳහා ද යන්න ගැන නිශ්චිත අදහසක් ඉදිරිපත් කිරීමට ඔවුන් අසමත් වීමයි. යුද්දෙ අවසන් කළ නිසා ඡුන්දෙ දෙනවා යන්න දැන් එතරම් මාකට් කළ හැකි දෙයක් නො වන අතර වෙන කියන්නට දෙයක් නැති වීම නිසා බිම් මට්ටමේදී මහින්ද වෙනුවෙන් ස්වේච්ඡුා ප‍්‍රචාරණයන් අවම වී තිබේ. සංවර්ධනය පිළිබඳ ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන් ජනතාවගේ ප‍්‍රතිචාරය තුළ දූෂණ විරෝධය ද ඇත. මේ හේතුවෙන් සංවර්ධනය පිළිබඳ කරන ප‍්‍රචාරයන් තවත් පැත්තකින් දූෂණ පිළිබඳ සිහිපත් කිරීම් බවට පත් ව තිබේ. ඒ නිසා ඒ ප‍්‍රචාර මහින්දට මුළුමනින් ම වාසිදායක නැත. කෙසේ වෙතත්, ආණ්ඩුවේ පුළුල් දූෂණ ජාලයට විවිධ ආකාරයෙන් සම්බන්ධ සුවිසල් ජනගහනයක් මේ රටේ සිටිති. ඒ පිරිස දුර්මුඛ නො කර රඳවා ගැනීම ද මහින්දට තියුණු අභියෝගයකි. ඔහු එය කරන්නට උත්සාහ කරන්නේ තව තවත් එක්සත් ජාතික පක්ෂ නායකයන් ආණ්ඩුවට මිල දී ගැනීමෙනි.

ජනතාව දූෂණයට ගොදුරු වී තිබෙන මුත්, දූෂණයෙන් තොර රටක් ගැන අපේක්ෂාවක් ඔවුන් තුළ නැතුවා නො වේ. විපක්ෂය මේ මනෝභාවයට ආමන්ත‍්‍රණය කළ යුතු ය.
මේ වන විට මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය ද තවත් දූෂණයක් බවට පත් වී තිබේ. ඡුන්ද ප‍්‍රචාරය සඳහා දෙන මුදල්වලින් අඩු ම තරමේ 50%ක්වත් ආසන සංවිධායක ඇමති මැති ආදීහු ගසා කන බව වාර්තා වේ. මහින්දගෙන් ලැබෙන මුදල පිල්ලි ගසා ගන්නා ආසන සංවිධායකවරු මහින්දට කටවුට් ගැසීම හා වෙනත් වියදම් කිරීම තමන්ගෙන් උදව් උපකාර ගත් ගෝල බාලයන්ට පවරති. හැකි තරම් දුරට පෞද්ගලික දේපල නොව රජයේ දේපල ම පාවිච්චි කරමින් මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය ගෙන යති. මහින්ද දුන් සල්ලිවලින් කොටසක් තමන්ගේ අනාගත ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් ඉතිරි කර ගන්නට ද ඔවුහු වග බලා ගනිති.

මහින්දගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය ගමන් කරමින් සිටින්නේ උපරිමයේ සිට පහළට බවක් මේ මොහොතේ නිරීක්ෂණය කළ හැකි ය. එහෙත්, ඔහු වනාහි අභීත සටන්කරුවෙකි. ඔහු මේ සටන ලෙහෙසියෙන් අතහැර දමනු ඇතැයි අපේක්ෂා කළ නො හැකි ය. ඔහුගේ ආත්ම ශක්තිය වී ඇත්තේ මිථ්‍යාවයි. මෙවැනි සුවිශේෂ රණකාමී චරිත හැමවිට ම දකින්නේ ගමන අවසානයේ තමන් ජයගෙන සිටින ආකාරයයි. ගමන ගැන අවබෝධයක් නැතත් ඔවුන්ට ජයග‍්‍රහණය ගැන මිථ්‍යා විශ්වාසයක් තිබේ.

අප මෙම සටහනින් උත්සාහ කළේ ජනාධිපතිවරණ ප‍්‍රචාරණ ව්‍යාපාරයේ ආරම්භක අවස්ථාවේ දක්නට ලැබෙන ලක්ෂණ කීපයක් නිරීක්ෂණය කිරීමටයි. එහිදී අප දකින මූලික ගැටලූව වන්නේ පොදු විපක්ෂය විසින් ආරම්භයේදී මතු කරන ලද සාධනීය කාරණා වන ප‍්‍රජාතන්ත‍්‍රවාදය , යහපාලනය, නීතියේ ආධිපත්‍යය වැනි කරුණු වෙනුවට පිල් මාරුව මූලික තලයට පැමිණීමයි. ඒ සමග ම විපක්ෂ අපේක්ෂා අභියෝගයට ලක් වන සංවර්ධනයන් ද දැකිය හැකි ය. දේශපාලනික වශයෙන් සාධනීය ප‍්‍රතිඵල අපේක්ෂා කරන්නේ නම් අප විසින් කළ යුතුව තිබෙන්නේ පිල් මාරුව කෙරෙහි යොමු වී ඇති අවධානය නැවත දේශපාලනික වශයෙන් වැදගත් කාරණා වෙත මාරු කිරීමයි. 

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;