ජනතාව අබිමුව රඟ දැක්වෙන්නේ පිටපතක් නොමැති විකාරරූපී නාටකයක්ද?


sarath

මහාචාර්ය සරත් විජේසූරිය

නාට්‍ය ශාලාවට ඇතුළු වූ පුද්ගලයා නොව, වෙනත් පුද්ගලයෙකු නාට්‍ය ශාලාවෙන් පිටතට පැමිණෙන බව’ කලකට පෙර මහාචාර්ය සරච්චන්ද්‍ර පැවසුවේ කලා නිර්මාණයකින් රසිකයෙකු ප්‍රඥා සම්පන්න වන බව කවි බසින් පැහැදිලි කරමිනි.
‘මා කැමති මගේ ජනතාව අදහන මිනිසුන් නොව, සිතන මිනිසුන් බවට පත් වෙනු’ දැකීම යයි, නොබෝදා ලොවෙන් සමුගත් ෆිදෙල් ක්‍රැස්තෝ පැවසුවේ තමන් වෙනුවෙන් නොව, රට වෙනුවෙන් නායකයෙකුගේ කැපවීම සම්බන්ධ පරමාදර්ශය බසින් නොව ක්‍රියාවෙන් විදහා පාමින් යයි සිතමි.
රටක් ප්‍රඥා සම්පන්න කරන්නේ කවියන් නම්, රටක් අවදියෙන් තබන්නේ නායකයන්ය යන්න ශ්‍රී නේරුතුමන් පවසා තිබේ.
අද අප ජීවත් වන්නේ කවියන් මෙන්ම නායකයන් ද නැති රටක බව පැවසීම සැහැසි ප්‍රකාශයක් ද?
ලොව කිසිම රටක ජනතාව ඉබේම ප්‍රඥා සම්පන්න වන්නේ නැත; අවදි වන්නේ ද නැත.
රාජ්‍ය පාලනය යනු තමන්ට බලය ලැබුණ බලය කැමති අන්දමට භුක්ති විඳීම නොවේ. රටක බහුතර ජනතාවක් විශ්වාසයෙන් ලබා දෙන වරමින් උරුම වන රාජ්‍ය බලය රටේ සහ රට වැසියන්ගේ අභිවෘද්ධියට අදාළ වන පරිද්දෙන් පාලකයන් පරිහරණය කළ යුතුමය. අප රට පාලනය කළ පාලකයන් රට වැසියන් තබන විශ්වාසය කොතරම් ආරක්ෂා කර ගැනීමට සමත් වී ද? වත්මන් පාලකයන් ගමන් කරන්නේ ද සුපුරුදු ගමනම ද?

අය වැය
මෙවර අය වැය ලේඛනයෙන් පරිගණක ලබා දීම, ටැබ් ලබා දීම ගැන අලංකාර යෝජනාවක් ඇත. මේ ඔස්සේ අපේක්ෂා කරන්නේ කුමක් ද? මින් අපේක්ෂා කරන්නේ පිරිහී විනාශ මුඛය අබිමුව පවතින රටේ අධ්‍යාපනයේ මට්ටම වෙනස් තලයකට එසවීම ද? අධ්‍යාපනය දියුණු කරන්නේ කෙසේ ද? මෙය විමසා බැලිය යුතු වැදගත් ප්‍රශ්නයකි.
තාක්ෂණය පරිහරණය සඳහා අවකාශය පුළුල් කිරීමෙන් අපේක්ෂා කරන්නේ අධ්‍යාපනය දියුණු කිරීම ද? අධ්‍යාපනය හා සම්බන්ධ මූලික ප්‍රශ්න; අධ්‍යාපන ක්‍රියාවලියෙහ‘ අර්බුදය ගැන අසංවේදීව අලවන පැලැස්තරවලින් තවදුරටත් පරිහානිය වැඩි වනු මිස අඩු නොවේ. අධ්‍යාපනයේ සැබෑ අර්බුදය විසඳීමට සැලකිය යුතු ධනයක් වැය කළ යුතු බව පිළිගත යුතුය. එහෙත් ධනය වැය කරන්නේ කුමට ද? වැය කරන්නේ කෙසේ ද? යන ප්‍රශ්න ප්‍රථමව බුද්ධිමත්ව නිරාකරණය කර ගත යුතුය. මේ සඳහා මෙතෙක් සිදු කර තිබෙන පර්යේෂණ සහ යෝජනා කිසිවක් සැලකිල්ලට ගෙන ඇති බවක් නොපෙනේ.
රිය අනතුරු පාලනය උදෙසා විශාල දඩ නියම කරන අය වැයෙන් පොදු ප්‍රවාහනය දියුණු කිරීම සඳහා විධිමත් හා සාධනීය සැලසුමක් යෝජනා නොවේ. පොදු ප්‍රවාහනය දියුණු කිරීම ගැන නිසි අවධානයක් සිදු නොකොට රටේ ආර්ථිකය සංවර්ධනය කරන්නේ කෙසේ ද?
බොහෝ අය වැය යෝජනා අවසන සේවය කරන්නේ සාවද්‍ය ටෙන්ඩර් ගනුදෙනුවලට බව පෙනේ. ඒ ඔස්සේ ගජමිතුරන්ට හරි හම්බ කර ගැනීමට අවශ්‍ය මංපෙත් විවර වන අන්දම නම් හිතින් හ‘තා ගත නොහැකි තරම්ය.
පොදු ජනතාවගේ දුගී බව හා නූගත්කම අවම කිරීමට අවශ්‍ය සාධනීය යෝජනා අය වැය ලේඛනයේ තිබෙන්නේ ‘කරපිංචා’ තරමටය. ඒ යෝජනා ද මූලිකව වශයෙන් සේවය කරන්නේ සාවද්‍ය ලෙස රජය සමඟ ව්‍යාපාර කරන පටු සමාජ තීරුවකටය.
කොන්දේසි රහිතව මහජන නියෝජිතයන්ගේ වරප්‍රසාද වැඩි කර ගැනීමට සිදු කරන යෝජනා අය වැය සංවාදය ඔස්සේ මතුවී තිබේ. මහජන මන්ත්‍රීවරුන්ට ආර්ථික ප්‍රශ්න අපමණ නම් මැතිවරණයක දී අසාමාන්‍ය ධනයක් වැය කරන්නේ කෙසේ ද? මහජන මන්ත්‍රීවරුන් ජීවත් වන්නේ මන්ත්‍රී වැටුපෙන් ද? මහජන වරමින් බලයට පත්වුණ සියලු මහජන නියෝජිතයන් කල්පනා කළ යුත්තේ තමාට පෙර රට ගැන නොවේ ද?
බොහෝ මැති ඇමතිවරුන් රජයේ මුදල්වලින් මූලිකව සිදු කරන දේවල් විස්තර සහිතව විග්‍රහ කරමින් නීති ගරුක උසස් රාජ්‍ය නිලධාරියෙකු පවසා සිටියේ රාජ්‍ය මුදල් අවභාවිතය ඉතාම නරක තත්වයකට පත්ව තිබෙන බවයි. ඔහු පවසා සිටියේ කොන්ත්‍රාත්වලින් දේශපාලනඥයන් කොමිස් ලබා ගැනීමටත් වඩා නාස්තිය සහ දූෂණය සිදු වන බවයි. මේ තත්වය කොතරම් ශෝචනීය ද?

ජන මාධ්‍යවල රංගනය
ජනවාරි 08 වෙනිදා වෙනසකට සිවිල් සමාජය නියෝජනය කරන උදවිය අතුරින් මරණ සහතික අත තබා ගෙන හඬ නැඟුවේ සීමිත පිරිසකි. ඔවුහු රාජපක්ෂවරුන්ගේ රාජ්‍ය පාලනය විවේචනය කළහ. එපමණක් නොව ඔව්හු යහ පාලන ආණ්ඩුවේ කටයුතු ද විවේචනය කිරීම සිය වගකීමක් සේ සලකති. එය ඒකාබද්ධ විපක්ෂයට රුචි නොවීම සාධාරණය. අභාග්‍යය වන්නේ රටේ ඇතැම් ජන මාධ්‍යවලට ද එය රුචි නොවීමයි.
සිවිල් සමාජය අවඥාවට ලක් කිරීමට අවිනීත දේශපාලනඥයන් සහ රාජපක්ෂවාදීන් භාවිත කරන්නේ ‘සිවල් සමාජය’ යන වචනයයි. ඇතැමුන්ගේ නම්වල අකුරු වෙනස් කොට අවමන් කිරීම ද සිදු කරයි. විමල් වීරවංශට මගේ නම කියවෙන්නේ සරත් ලෙස නොව, හරක් ලෙසය. කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විට බැවින් ඒ ගැන ඔහුට සමාවක් හ‘මිය. ඔහු පෙන්වන්නේ තමන්ගේ දැන උගත්කමේ තරමයි. ගැටලුව වන්නේ ජන මාධ්‍ය ආයතනවල හැසිරීමයි. එය කනගාටුදායකය.
රට වෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන්, මානව ධර්මතා වෙනුවෙන් කතා කරන හා හඬ නඟන පුද්ගලයන් අවඥාවට ලක් කරන ජන මාධ්‍ය ආයතන, ජාතිවාදයට, ආගම්වාදයට මෙන්ම පැහැදිලිවම දූෂණ වංචා සහ අපරාදවලට චෝදනාලාභීන්ට ජන විඥානය දූෂණය කිරීමට යහමින් අවස්ථාව ලබා දෙන තත්වයක් විද්‍යමානය. ඇතැම් මාධ්‍ය ආයතනයක සේවය කරන පුද්ගලයන් මෙහිදී අසරණ බව ද කිව යුතුය. උදාහරණයක් ලෙස ‘හිරු එෆ්එම් සහ ‘හිරු ටීවී’ දැක්වීමට කැමැත්තෙමි.
දුමින්ද සිල්වාට ලබා දුන් නඩු තීන්දුව සම්බන්ධව මතුවුණ සංවාදයේ දී සිවිල් සමාජයේ කිසිවෙකු පැවසූ කාරණාවලට පිළිතුරු දීමට මේ මාධ්‍ය ආයතනයට නොහැකි විය. එනමුත් ඔවුන් ඒ ඒ පුද්ගලයන් සමඟ දේශපාලනික සාධක මත කෝන්තර ඇති කරගෙන තිබෙන පුද්ගලයන් මාර්ගයෙන් වාඩුව පිරිමසා ගන්නා තත්වයක් පැහැදිලිවම දක්නට ලැබේ. ඇතැම් මාධ්‍යවේදියෙකු මේ කටයුත්ත කරන්නේ බඩවියත වෙනුවෙනි. යම් තැනක දී මා මුණ ගැසුණ එක් මාධ්‍යවේදියෙකු පැවසුවේ මෙවැන්නකි.
“අකමැත්තෙන් හරි ඉහළින් දෙන උපදෙස් අනුව වැඩ කරන්න වෙනවා. වැඬේ සමහරු කල දුටු කල වළ ඉහ ගැනීමත් තියෙනවා. ඉහළ සතුටු කරලා තමන්ගේ තැන හදා ගන්න පැනලා දෙන වැඩත් තියෙනවා”
මේ ප්‍රකාශය පිළිගත හැකිය. මේ මාධ්‍ය ආයතන පවත්වා ගෙන යන්නේ ජන විඥානය පෝෂණය කිරීමට නොව, ඒ උදවියගේ ව්‍යාපාරවල පැවැත්මට අවශ්‍ය දේශපාලන බලය තුලනය කර ගැනීමට බැවින් මේ යථාර්ථය පසක් කර ගත හැකිය. එබැවින් මේ ආයතනවල සේවය කරන මාධ්‍ය නොදරුවන්ට අනුකම්පා කිරීම වටී. එහෙත් රටක ශීලාචාර පැවැත්ව නැති නාස්ති කිරීමට වන්දි ගෙවන්නේ කවුරුන් ද?
බුද්ධි අංශ ප්‍රධානියා ගැන මා මතයක් පළ කළේ සාධක ඇතිව යම් පදනමක් මත පිහිටාය. ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධයෙන් ද එය එසේමය. ජනාධිපති ලේකම්වරයා සම්බන්ධව ද තත්වය ඊට වෙනස් නොවේ. මේ කිසි පුද්ගලයෙකු සමඟ අපට පෞද්ගලික ප්‍රශ්න නැත. අපට සැබවින්ම පෞද්ගලික න්‍යාය පත්‍ර නැත. අපගේ විවේචනයට පිළිතුරු දෙන්නට අසමත් පුද්ගලයන් පවසන්නේ, මේ සෑම විවේචනයක්ම අමෙරිකාවෙන් ලැබෙන උපදෙස් මත සිදු කරන බවයි. ඩොලර්වලට කහින වැඩ බවයි.
අපට චෝදනා නඟන පුද්ගලයන් කළ යුතුව තිබෙන්නේ අවලාද නැඟීම නොවේ. අප ඇමෙරිකාව සමඟ පවත්වන සම්බන්ධතා හෙළි කිරීමය. රට පාවා දෙන්නට ලබා ගෙන තිබෙන ඩොලර් ගැන ගණන් හ‘ලව් හෙළි කිරීමය. අද තොරතුරු දැන ගැනීමට නෛතික අවකාශයක් ඇත. ඒ අවසරයෙන් අප අවඥාවට ලක් කරමින් සාවද්‍ය මාධ්‍ය භාවිතාවක යෙදෙමින් ගණිකා වෘත්තියේ යෙදෙන මාධ්‍ය ආයතන කළ යුත්තේ අප උපයා ගෙන තිබෙන ඩොලර් ප්‍රමාණය සහ ඒ ඩොලර් උපයා ගෙන තිබෙන ආකාරය නිවැරදිව හා පැහැදිලිව රටට අනාවරණය කිරීමය.
ඇතැම් මාධ්‍යවේදීන් නොදන්නා කරුණක් පැවසිය යුතුය. අප මාධ්‍ය හමුවක් පවත්වන්නේ ද, අපට පුළුවන් විදිහට තේ කෝප්පයක් හෝ කිරි පැකට් එකක් දෙන්නේ ද අප උපයා ගන්නා මුදලිනි. ඇමෙරිකාවෙන් ඩොලර් තබා, ආණ්ඩුවෙන් රුපියල්වත් මා නම් නොලබන බව දිවුරා කිව හැකිය. හෘදය සාක්ෂියට එකඟව රටේ වෙනසකට දායක වීම වෙනුවෙන් ලබන්නේ අවමන් ගැරහුම් පමණි. ඒවා ගැන යම් සතුටක් තිබෙන්නේ, අපේ අදහස් මාධ්‍ය ඔස්සේ විකාශනය නොකරන මාධ්‍ය ආයතන, අපේ අදහස්වලට ප්‍රහාර එල්ල කරන පුද්ගලයන් ලවා අපට අවමන් කිරීමට ගන්නා අභීත ප්‍රයත්නය ඔස්සේ අපේ අදහස් ද සිහින් දිය සීරාවක් සේ සමාජ ගත වන තත්වයක් ද තිබෙන නිසාය.

වීරවංශගේ අධිතාත්වික රංගනය
විමල් වීරවංශගේ රඟපෑම සෑමවිටම අධිතාත්විකය. රංගනයේ දෝෂය නම් රඟපාන හැම චරිතයේම වේෂ නිරූපණයෙහි වෙනසක් නැතිකමයි. දැන උගත් ප්‍රමාණයේ තරම නිසා ද මුවෙන් පිට කිරීමට හැකිවී තිබෙන්නේ වචන ස්වල්පයකි. ‘බටහිර කුමන්ත්‍රණ’, ‘අමෙරිකන් ඩොලර්’, ‘බෙදුම්වාදය’ යන වචන, ඔහු අකුරු කියවූ දා කියවූ වචන දැයි සැක සිතේ. ආර්ථික ඝාතකයා ගැන පැවසීමට ද ආවේසය ලබන්නේ බටහිර කුමන්ත්‍රණ කණ්නාඩිය පැළඳගෙනය. ව්‍යවස්ථාව ගැන කතා කරන්නේ ද බටහිර කුමන්ත්‍රණ කණ්නාඩිය පැළඳ ගෙනය. රාජපක්ෂවරුන් විවේචනය කිරීම කවුරුත් සිදු කරන්නේ ඩොලර් ලබා ගෙනය. සිංහල නොවන භාෂාවක් කථා කරන පුරවැසියන් වෙනුවෙන් කතා කරන්නේ බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින්නන්ය.
ජාතිය ආගම රැක ගැනීමට පෙනීසිටින ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකන් පුරවැසිභාවය ලැබුවේ මන් ද? ඔහුගේ දරුවන් මව්බිමේ ජීවත් වීමට නොසතුටු මන්ද? බැසිල් රාජපක්ෂ මෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජීවත්වීමට චීනයවත් තෝරා නොගත්තේ මන්ද? ඇමෙරිකාවම තෝරා ගත්තේ මන්ද?
මහා දේශප්‍රේමී විමල් වීරවංශ පන්සිල් පද පහ හොඳින් රැකගෙන ජීවත් වුණ, ජීවත් වෙන පුද්ගලයෙකු විය යුතුය. ඔහු කිසිම හොරකමක් කර නැත. ව්‍යාජ හැඳුනුම් පත් සහ පාස්පෝර්ට් හදාගෙන නැත. දුකසේ උපයා ගත් මුදලින් සියල්ල උරුම කරගත්තෙකි. ඔහුගේ රඟපෑම හරිම තාත්විකය.
විමල් වීරවංශගේ නිවසේ තරුණයෙකු මිය ගිය බවට පැතිරුණ කතාව ද අසත්‍යයක් බවය ඔහු පවසන්නේ.
ඔහු මෙසේ කියනවා….. අප අසා සිටිනවා…… “විමල් වීරවංශගෙ නිවසෙ ඔය කියන විදිහෙ තරුණයෙක් මළා නම් ඉන්නම දෙයි….”
විමල් වීරවංශගේ නිවසේ තරුණයෙකු ඝාතනයට ලක්වීම සම්බන්ධව ඔහු නිහඬව සිට කල් මැන ප්‍රසිද්ධියේ පවසන්නේ කුමක් ද? සිය නිවසේ එවැනි ඝාතනයක් සිදු නොවූ බව නොවේ ද? දැන් එය රට පිළිගත යුතුය. ඔහු පවසන්නේ ඇත්තයි සත්තයි. අන් අය පවසන්නේ නිතරම මුසා බස්ය.
විමල් වීරවංශ වැන්නෙකුගේ හැසිරීම ගැන අවධානය යොමු කරන විට, යහ පාලන ආණ්ඩුව මහ දවල් පිස්සු නටන රංගනයක්, රඟ දක්වන බව නොකියා සිටිය හැකි ද?
විමල් වීරවංශ පවසන්නේ ‘මේ ආණ්ඩුවට වැඩ බැරි’ බවයි. ඔහු මේ ප්‍රකාශය කරන්නේ තම අත්දැකීම් ඔස්සේ විය යුතුය.
ඔහු මහින්ද රාජපක්ෂ ආණ්ඩු කළ හැටි දනියි.
මංගල සමරවීර පිටමං කිරීමෙන් ද, චන්ද්‍රිකා බණ්ඩාරනායක පක්ෂයෙන් පන්නා දමමින් ද, එජාපයේ සැලකිය යුතු පිරිසක් දෑත් ශක්තිමත් කර ගැනීමට ළං කර ගැනීමෙන් ද, සියලු ප්‍රතිවාදීන් නැත්තටම නැති කර දමමින් ද, අවශ්‍ය සෑම කෙනෙකුම තමන්ට හීලෑ කර ගනිමින් ද, අමාත්‍යවරුන් ඇතුළු සියලු තරාතිරම්වල මහජන නියෝජිතයන් නිවටයන් බවට පත් කර ගනිමින් ද, සරත් ෆොන්සේකා සිරගත කරමින් ද, ශිරාණි බණ්ඩාරනායක අවලංගු කාසියක් බවට පත් කරමින් ද, සියලු අණ පනත් ව්‍යවස්ථා සශෝධන තනි කැමැත්තට සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුව මොන්ටිසෝරියක් බවට පත් කරමින් ද, රටේ ජීවත් විය යුතු නැති පුද්ගලයන් ලෙස සැලකූ පුද්ගලයන්ට අවශ්‍ය පියවර ගනිමින් ද, රාජ්‍ය පාලනය කළ අන්දම ගැන අතැඹුල සේ දන්නා විමල් වීරවංශට සැබවින්ම මේ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක් බව වැටහීම නිවැරදිය. මේ ආණ්ඩුවට වැඩ පුළුවන් නම් ශ‘රන්ති රාජපක්ෂ නිරුපද්‍රිතව සිටිමින් මාධ්‍ය හමු පවත්වා පොල’සියට බැණ වැදුණ අන්දම පැවසීමට නොහැකිය. ආණ්ඩුවට වැඩ බැරි නිසා ද, රාජපක්ෂවරුන් නිදැල්ලේ පිස්සු කෙළිති. ඔවුන්ගේ ගජමිතුරෝ ද නෑසියෝ ද ආණ්ඩුව සමඟ පෙම් කෙළිති. ආණ්ඩුවට වැඩ බැරිය යන චෝදනාවට ආණ්ඩුවට උත්තර නැත.
සැබවින්ම ආණ්ඩුව රඟ දක්වන නාට්‍යයට පිටපතක් නැත. පිටපතක් ලියා ගැනීමේ උත්සාහයක් ද නැත.■