රාවය

ඉක්මන් පියවරක් තැබිය යුතුය

ඉක්මන් පියවරක් තැබිය යුතුය

 

2016 මැයි මස පළමුවැනිදා ස්වීඩනයේ එක් නගරයක විරෝධතා පෙළපාළියක් පැවැත්වෙමින් තිබිණ. විරෝධතාකරුවන් අයත්වූයේ නව නාසි ව්‍යාපාරයටය. ඔවුන්ගේ විරෝධතාවෙහි අරමුණව පැවතියේ ස්වීඩනය කරා එන සුදු නොවන සංක්‍රමණිකයන්ට ස්වකීය විරෝධතාව පළකර සිටීමයි. ඔවුන් තම පෙළපාළිය පවත්වන අතරේ දුඹුරු සමින් යුත් උස් ස්ත්‍රියක් එක්වරම වීදිය මැදට පිවිසියාය. කෙළින්ම විරෝධතාකරුවන් මැදට ගිය ඈ කිසිදු චකිතයකින් තොරව සිය දකුණත මිට මොළවා ඉහළට ඔසවා නිහඬව සිටගත්තාය. පෙළපාළිය ඒ ස්ථානය පසුකර යනතුරුම ඇය සෙලවුණේවත් නැත. අවට සිටි ජනතාව මෙන්ම පොලිසියද තුෂ්නිම්භූත වෙද්දී ඇය අභීතව එසේ රැඳීසිටියාය. පසුව ඇගෙන් ඒ ක්‍රියාවෙහි අරමුණ කුමක්දැයි අසාසිටි අවස්ථාවේදී ඈ කියාසිටියේ තම අරමුණ වූයේ නාසින් කෙරේ වන තම පිළිකුල පෙන්වා සිටීම බවයි. එහිදී ඇයට බරපතළ අනතුරක් නාසින්ගෙන් සිදුවීමට ඉඩ තිබූ බැවින් ඒ ගැන බියක් දැනුණේ නැතිදැයි අසාසිටි විට ඇගේ පිළිතුර වූයේ තමා ඒ ගැන නොතැකූ බවයි. ඇගේ මේ ක්‍රියාව ඡායාරූපයට නගන ලදුව ප්‍රසිද්ධියට පත්වූ අතර එය සැලකෙනුයේ ලොව විශිෂ්ටතම ඡායාරූපයක් ලෙසිනි.
මනුෂ්‍යත්වය වෙනුවෙන් මේ කාන්තාව කළ අගනා ක්‍රියාව අද දවසේ යුක්තිය වෙනුවෙන් කටයුතු කරන ලොව පුරා බොහෝ අයට ශක්තිය සපයන ආදර්ශයක්ව තිබේ. ඇය සිය අත ඉහළට ඔසවා විරෝධය පළකිරීමට පෙළඹුණේ නෙල්සන් මැන්ඩෙලා අනුකරණය කරමිනි. ‘මං අනුගමනය කළේ මැන්ඩෙලාව.’ ඇය පසුව සිය ඉරියවුව ගැන පැවසුවාය. නෙල්සන් මැන්ඩෙලා සිය දකුණත මිට මොලවා ඉහළට ඔසවා සිය විරෝධය පළකරන ආකාරය ඔහුගේ දේශපාලන ව්‍යාපාරය ගැන දන්නා අයට අමුත්තක් නැත. ටෙස් ඇස්ල්පන්ඞ් ස්වීඩන් ජාතික කාන්තාවක වන අතර ඇය ප්‍රගතිශීලී අදහස් වෙනුවෙන් සටන් කරන්නියක ලෙස ප්‍රසිද්ධියට පත් ක්‍රියාකාරිනියකි.
ඇගේ මේ නිර්භීත ක්‍රියාව අපට පවසන දෑ බොහෝය. එක් අතකින් ඒ අපට ප්‍රබල ආදර්ශයකි. බොහෝ අගතීන් නිහඬව ඉවසා සිටීම ඉතා හොඳින් ප්‍රගූණ කර සිටින මිනිසුන් බහුල අප වැනි රටකට ඇයගේ මේ කේවල විරෝධය බොහෝ පාඩම් කියාදෙයි. ඇය සිය නිහඬ විරෝධය මඟින් පෙන්වූවේ තම එඩිතරකම පමණක්ම නොවේ. අගතීන් ඉදිරියෙහි තම සවි පමණින් සටන් කිරීමේ වැදගත්කමද ඇය එදා ලොවට පෙන්වා සිටියාය. එසේම එවන් විරෝධය පෑමකදී ගත හැකි ක්‍රියාමාර්ග බොහෝ ඇති බවත්, අවශ්‍යවන එකම දෙය අධිෂ්ඨානය පමණක් බවත් ඇය කියාසිටියාය. ඇගේ මේ ආදර්ශය කෙතරම් දැඩි බලපෑමක් කළේද යත් එය ස්වීඩනයෙහි නැග එන නව නාසි ව්‍යාපාරයට එරෙහිව නැගීසිටීමට යහපත් මිනිසුන්ට උත්තේජනයක් වූ බව ඉන් පසුව මිනිසුන් ඉදිරියට පැමිණෙමින් සිටින ආකාරය පැහැදිලිව කියා පායි.
මට මේ ටෙස්ගේ කේවල විරෝධය පෑම සිහිපත් වූයේ රාවය උපදේශක කර්තෘ වික්ටර් අයිවන් පසුගිය රාවයෙහි කර තිබූ ආරාධනය දුටු විටය. නව පුරවැසි ව්‍යාපාරයක් වෙනුවෙන් ඉදිරියට එන මෙන් රාවයේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටි ඒ ආරාධනය යනු වසර තිහක දැවැන්ත සමාජ මැදිහත්වීමක අත්දැකීම් මත පිහිටා කරන ලද්දකි. පුරා වසර තිහක් අතිශය අදිටන් සහගතව පුද්ගලික මැදිහත්වීමක් ලෙසද ඒ සමඟම ප්‍රකාශනයක් සමාජ ව්‍යාපාරයක් ලෙස සාමූහිකව ක්‍රියාත්මක කිරීම තුළින් ලද අත්දැකීම් මතද ඔහු විසින් කරන ලද ඇරියුම ඉතා බැරෑරුම් ලෙස සලකා බැලිය යුතු අවස්ථාවක අද ලංකාව පවතියි. ටෙස් ඇස්ප්ලන්ඞ් වැනි ධෛර්ය සම්පන්න කාන්තාවකගේ මැදිහත්වීම අපට මෙහිදී අගතිය හමුවේ පුරවැසියාගේ වගකීම පිළිබඳ මනා ආදර්ශයක් සපයයි. අප අද වන විට ඉන්නේ ටෙස් වැන්නියන් මෙන් අවම තරමින් තම විරෝධය පළකිරීමට හෝ ඉදිරියට පැමිණිය යුතු අවස්ථාවකය.
2016 ගෙවෙමින් පවතිනුයේ ඉතාම අත්තනෝමතික පාලනයක් අවසන් කිරීම සඳහා ඓතිහාසික පියවරක් ගත් ජනතාවකගේ අපේක්ෂා ඔවුන්ගේම නිහැඬියාව හමුවේ දියව යන පසුබිමකය. ඒකාධිපතියෙකු පළවා හැරීම සඳහා පෙරට ආ ජනතාව විසින්ම ගෙනඑන ලද නව පාලනය දැක්මක් නැති අසාර්ථක බවෙක ගිලීයන අතර රට පවතිනුයේ අරාජිකබවෙහි ගිලෙමිනි. ආපසු පැවති ජරාජීර්ණ බව කරා යෑමට ජනතාව අපේක්ෂා නොකළද තමන් ඉදිරියෙහි වන පැහැදිලි මාවතක් ගැන ඉඟියක්ද නව පාලනයෙන් ඔවුන්ට සැපයෙන්නේ නැත. ඒ වෙනුවට දැන් අප හමුවේ සිටිනුයේ කිසිදු වරදානයකින් තෘප්තිමත් නොවන කෑදර පිරිසකි. ඔවුන් ජනතා අපේක්ෂා ගැන කතාකළද තකන්නේ හුදෙක් තම වාසිය ගැනම බව ඉතා පැහැදිලිය. මන්ත්‍රී වරප්‍රසාද වැඩි කරගැනීම හැරුණ විට ඔවුන් රටෙහි අනාගතය ගැන බරපතළ ලෙස සිතන බවක් අපට දකින්නට නැත. ජනපති සහ අගමැති වෙතින් පළවන අදහස්ද අපට කියාපාන්නේ තම අභිලාෂය කුමක් වුවද පෙරේත දොලපිදේනි නැතිව මේ ආණ්ඩුව පවත්වා ගත නොහැකි බවකි. ඒ අනුව ජනතාවට දැන් සිදුව ඇත්තේ තම අනාගතය වෙනුවෙන් යයි කියමින් අතිශය පසුගාමී පිරිසකගේ සුඛවිහරණය වෙනුවෙන් ජාතික ධනය කාබාසිනියා වන ආකාරය බලා සිටීමටය.
අප තවදුරත් බලාසිටිය යුතුද? මේ අප හමුවේ ඇති ප්‍රශ්නයයි. අපේ බලාසිටීම හමුවේ අහිමිවෙමින් පවතින්නේ අපේම සහ අපේ අනාගත පරපුරේ අනාගතය බව අප යළි සිහිපත් කරගත යුතුව තිබේ. තවදුරටත් දේශපාලකයා පත්කර හැරීමෙන් පමණක් අපේ අපේක්ෂාවන් ඉටුවන්නේ නැති. පුරවැසියා ශක්තිමත් ව්‍යාපාරයක් ලෙස සංවිධානය නොවන තාක් ඔහුට සිදුවනු ඇත්තේ චෞරයන්ට රැකියා සපයන්නාගේ භූමිකාව ඉටුකිරීමට පමණි. අප දැන්වත් අවසන් තිත තැබිය යුත්තේ ඊටය. මේ වනාහි ඒ සඳහා වන හොඳම සහ අවසන් අවස්ථාවයි.
රටක දේශපාලකයාට දැක්මක් නැති විට රටෙහි අනාගතය වෙනුවෙන් මැදිහත්විය හැකි ශක්තිමත් මහජන ව්‍යාපාරයක් අවශ්‍යය. දෙවන ලෝක සංග්‍රාමය හමුවේ දැවැන්ත නාසි බලපෑම් මත පවා එහි ගොදුරු බවට පත් ජනතාව අතර විවිධාකාරයේ ජනතා සංවිධාන ගොඩනැගී තිබූ ආකාරය ඒ අවධියෙහි ඉතිහාසය කියවන විට පැහැදිලිවෙයි. අපේ අරමුණ විය යුත්තේ විනාශය හමුවේ ඉවසා බලාසිටීම නොව පොදු අනාගතය වෙනුවෙන් මැදිහත් වීමය. ඒ සඳහා අද දවසේ අවශ්‍යතාව වන්නේ දේශපාලන ව්‍යාපාරවල පටු අරමුණු ඉක්මවා පොදු යහපත වෙනුවෙන් සක්‍රියව මැදිහත්විය හැකි සවිමත් දේශපාලනික එහෙත් නිර්පාක්ෂික ව්‍යාපාරයක් ගොඩනැගීමයි. වික්ටර් අයිවන් කියන පරිදිම ඉතා විවෘත එමෙන්ම පැහැදිලි දැක්මකින් යුත් සංවිධානයක් ලෙස එය ගොඩනැගීම අත්‍යවශ්‍යය. අපට සැබෑ බලපෑම් කණ්ඩායමක් මෙන්ම රටේ අනාගතය උදෙසා මැදිහත් විය හැකි එමෙන්ම යහපත් වෙනසක් සඳහා වන මැදිහත්කරුවන් විය හැක්කේ අපේ දැක්ම ඉතා පුළුල් එකක් බවට පත්කරගැනීම තුළින්ම පමණි. මේ වන විටත් ඒ යථාර්ථයක් බවට පත්කරගත හැක්කක් බව රට පුරා විවිධ ස්ථානවල මැදිහත්වීම් කරන කණ්ඩායම් ඔප්පුකර තිබේ. අද දවසේදී අපට අවශ්‍යව ඇත්තේ ඒ ආකාරයට රට පුරා හැකි සෑම තැනෙකම මහජන කණ්ඩායම් ගොඩනැගීම මෙන්ම ඒ සියල්ල එක්කර ශක්තිමත් මධ්‍ය සංවිධානයක් ගොඩනැගීමයි.
අප ඡන්දය දී සැනසෙන්නාගේ භූමිකාව ඉක්මවා යායුතු අවස්ථාවට එළඹ සිටින බව ඉතා පැහැදිලිය. අප සිටින්නේ තවදුරටත් අපේ අනාගතය අනෙකකුට භාරදීම වෙනුවට ඒ වෙනුවෙන් සක්‍රිය මැදිහත්වීමක් කළ යුතු සංධිස්ථානයකය. අපට අයිවන්ගේ මෙන්ම ටෙස් වැන්නවුන්ගේද අත්දැකීම් වැදගත්වන්නේ මෙහිදීය. අප 2017 වසර වෙන්කළ යුත්තේ මේ සමාජ මැදිහත්වීම යථාර්ථයක් බවට පත්කරගැනීම වෙනුවෙනි. පළමු පියවර ඉතා සුළු විය හැකිය. එහෙත් අප ඉතා ඉක්මනින් ඒ පියවර තැබිය යුතුමය.■