රාවය

ජනවාරි 8 වැනිදා කළ යුත්තේ කුමක්ද?

ජනවාරි 8 වැනිදා කළ යුත්තේ කුමක්ද?

ජනතාවට  වෙනසක් අවශ්‍යයි – සරත් ඉද්දමල්ගොඩ පියනම

පැවැත්වෙන ජනාධිපතිවරණය කොතෙක් දුරට සදාචාරාත්මක ද යන්න ප‍්‍රශ්නයක්. ඊට පළමු හේතුව වන්නේ නියමිත කාලය පිරෙන්නට පෙර තමන් සිතූ වෙලාවක මැතිවරණය පැවැත්වීමට ජනාධිපති ගත් තීන්දුවයි. දෙවනුව තමන් ජනාධිපති ධුරයේ රැුඳීසිටිමින් හා සියලූ බලතල තමන්ගේ වාසියට යොදවාගනිමින් මැතිවරණය පැවැත්වීමයි.

තවද, වඳුරඹ දී සිදුවූ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාව, වරදකරුවන් පොලීසියෙන් පැහැරගෙන යාම, එප්පාවලදී හා මාතරදී වීදියේ විරෝධය නැමැති කණ්ඩායමට හා කුරුණෑගල කුඹුක්ගැටේදී අලූත් පරපුරේ තරුණ කලාකරුවන් පිරිසකට පහරදීම, විපක්ෂයේ වේදිකාවට වෙඩි තැබීම, නීති විරෝධී ලෙස ප‍්‍රචාරක කටයුතු සිදුකිරීම, රාජ්‍ය සේවකයන් මැතිවරණ කටයුතු සදහා යොදාගැනීම, තෑගි බෝග දීම, මැතිවරණය සඳහා රාජ්‍ය දේපළ යොදා ගැනීම ආදී නොයෙකුත් සිද්ධීන් මගින් ප‍්‍රකාශ වන එක් දෙයක් වන්නේ ජනාධිපතිවරණය පැවැත්වෙන කාලයේදීවත් සදාචාරාත්මකවීමට හා සාධාරණය ඉටුකිරීමට ජනාධිපති ඇතුළු වර්තමාන ආණ්ඩුවට වුවමනාවක් නැති බවයි.
පසුගිය කාලය තුළදී ආණ්ඩු පක්ෂය විසින් සිදුකර ඇති ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හා පවත්වාගෙන ගිය දූෂිත පාලන ක‍්‍රමයට එරෙහිව ආණ්ඩු පක්ෂය ඇතුළෙන් ද විරුද්ධ පක්ෂයෙන් ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන්, නීතිඥයන්ගෙන් හා වෙනත් වෘත්තිකයන්ගෙන් ද සාමාන්‍ය මධ්‍යස්ථ පුරවැසියන්ගෙන් ද අතිප‍්‍රබල විරෝධයක් පැන නැගී ඇති බව මෙම ජනාධිපතිවරණ සමයේදී පැහැදිලිව දකින්නට පිළිවන්.

කෙසේ වෙතත් පොදු අපේක්‍ෂකයා ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය ලැබූවත් රටේ ජනාධිපතිවරයා තමන් බව ප‍්‍රකාශ කිරීමෙන් දෙන පණිවුඩය කුමක්දැයි පුරවැසියා විසින් විමසිය යුතුයි. එම ප‍්‍රකාශය තුළ තර්ජනාත්මක ස්වරූපයක් පෙනෙන්නට තිබෙනවා. මේ කාරණා සැලකිල්ලට ගනිමින් බුද්ධිමත්ව ඡුන්දය භාවිතා කළ යුතුයි.
කෙසේ වෙතත් වෙනසකට යාමට ජනතාවට අවශ්‍ය බව පෙන්නුම් කරනවා. නමුත් ජනතා අපේක්ෂාවෙන් ඉටු කරන එම වෙනස සැබෑකර ගැනීමට නම් බලය ලබා ගැනීමට කටයුතු කරන පොදු විපක්ෂය විසින් ජයගතයුතු අභියෝග බොහෝයි. බලය ලබා ගන්නාවුන් කොතෙක් දුරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිහිටුවයිද? ඔවුන් විසින් ඉදිරියේදී පිහිටුවන ආර්ථිකය පොදු ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකිරීමට සමත්වේද? පරිසරය විනාශකරන මෙගා ව්‍යාපෘති අත්හිටුවයි ද? ජාතික ප‍්‍රශ්නය විසදීමට එකඟතාවකට පැමිණීමට කටයුතු කරයිද? ජනාධිපතිවරණයෙන් පසුවද එම අභියෝග ජයගැනීමට පුරවැසියා වෙත මහත් වගකීමක් ඉටු කිරීමට සිදු වෙනවා.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන්  ඡන්දය දෙන්න  – මහාචාර්ය රත්නසිරි අරංගල ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

විධායක ජනාධිපති ක‍්‍රමය හඳුන්වා දුන් අවස්ථාවේ ජේ. ආර්. ජයවර්ධන මහත්මයා කිව්වා මේ ක‍්‍රමයෙන් පිරිමියෙක් ගැහැනියක් කරන්නත්, ගැහැනියක් පිරිමියෙක් කරන්නත් විතරයි බැරි කියලා. නමුත් මේ පාලනය යටතේ ජනතාව ස්ත‍්‍රී නොවන පිරිමිත් නොවන තත්ත්වයට පත් කරලායි තියෙන්නේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සෝදාපාළුවට ලක් වෙලා තියෙනවා. රට මහා අනතුරකට මුහුණපාලා තියෙනවා. දැන් ආණ්ඩුවක් වෙනුවට රෙජීමයක් ඇතිවෙලා තියෙනවා. ජනතාව එහි නැහැ. ඉතින් මේ වගේ අවස්ථාවක තමයි විශාල බලවේගයක් ආණ්ඩුවට විරුද්ධව ඇතිවෙලා තියෙන්නේ. වාමාංශික බලවේග ඉඳන් අන්ත දක්ෂිණාංශික බලවේග වෙනකන් ජාතික වැඩපිළිවෙළක් සඳහා එකතුවෙලා ඉන්නවා. ඒක විදේශ කුමන්ත‍්‍රණයක් නෙවෙයි. අවුරුදු දෙකකට කලින් ඡුන්දය ගෙනාවෙ මහින්ද රාජපක්ෂමයි. අපිට මේ වෙලාවෙ නිහඬව ඉන්න බැහැ. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ මේ 21 වන සියවසේ පැරණි පක්ෂ ගැන තිබුණු සංකල්පය අත්හැරලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ඡුන්දය දෙන්න. ඒ බලවේගය සමඟ එක්ව යහපාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා මෛත‍්‍රීපාල සිරිසේන මහත්මයාට ඡුන්දය දෙන්න.

රට ආර්ථික පරිහාණිය කරා ගියා – ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා  ,වයඹ විශ්වවිද්‍යාලය

මේ අවස්ථාව වෙන මැතිවරණයක් වගේ නෙවෙයි. හොඳට හිතලා ඡුන්දය දෙන්න ඕනෑ. මොකද ජනාධිපතිවරයා අවුරුදු 8කට බලය ඉල්ලන්නේ. මෙතරම් දිගු කාලයකට මෙතරම් බලවත් ධුරයක් සඳහා බලය ඉල්ලන වෙලාවක අපි සැලකිලිමත් වෙන්න ඕනෑ. පළමුවෙනි වතාවටයි මෙහෙම වෙන්නේ. වැරදි තීරණයක් ගත්තොත් අවුරුදු 8කට හරවන්න බැහැ.

මේ වෙලාවේ වඩා සූදානමකින් වඩාත් නිවැරදි දර්ශනයක් එක්ක විශ්වාස කළ හැකි ප‍්‍රතිපත්ති ඉදිරිපත් කරලා තියෙන්නේ කවුද කියලා අවබෝධයකින් ඡුන්දපොළට යන්න කියලා මම ඉල්ලනවා. අනිවාර්යයෙන්ම ඡුන්දය ප‍්‍රකාශ කරන්න. පුරවැසියාට තිබෙන බලය තමයි ඡුන්ද අයිතිය. අතීතයේ වගේ ජිල්මාට්වලින් ඒක වෙනස් කරන්න බැහැ. මේ වෙනකොට ඒ කාලය පහුකරලා ලෝකය ඉස්සරහට ඇවිත්. ඒ වගේම කාගේවත් කේන්දර විශ්වාස කරන්න එපා. එක්කෙනෙක්ගේ කේන්දරයට රටේ අනාගතය තීරණය වෙන්නේ නැහැ. ජනතාව අතේ තමයි ඔවුන්ගේම අනාගතය තියෙන්නේ. එක් එක්කෙනාගේ කේන්දර බලලා තීරණ ගන්න එපා.
ආර්ථිකය සම්බන්ධයෙන් මම දකින දේ තමයි පහුගිය කාලයේ රට ආර්ථික පාරිහානියක් කරා ගිය බව. සංඛ්‍යාලේඛනවලින් ආණ්ඩුව කුමක් පෙන්නුවත් ඒ තමයි ඇත්ත. ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය අසාර්ථක බව කියන්න ඕනෑ. ඒ නිසා ආණ්ඩුවේ ආර්ථික ක‍්‍රියාවලිය වෙනස් වෙන්න ඕනෑ. නමුත් එවැන්නක් පෙනෙන්නේ නැහැ. ඇත්තටම ජනාධිපති ක‍්‍රමය ගැන තියෙන විවේචනවලත් ආර්ථිකය තමයි මූලික වෙන්නේ. ධනය අයුතු ලෙස පරිහරණය ගැන තමයි චෝදනා එල්ල වෙන්නේ. රාජ්‍ය මූල්‍යය පරිහරණය කරනකොට පාර්ලිමේන්තුවට වග නොකියන එක ප‍්‍රශ්නයක්. මේ ආණ්ඩුව ඒවා වෙනස් කරන්නට උත්සාහ නොගන්නා බවකුයි පෙනෙන්න තියෙන්නේ. 2015 අයවැයේදීත් බදු මුදලින් තමයි ආණ්ඩුව ආදායම් ලබන්නේ. නිෂ්පාදන මුල් කරගත් ආර්ථිකයක් ඇති කරන්න ඕනෑ. මේ ආර්ථික ප‍්‍රතිපත්ති එක්කම ආණ්ඩුවට බලය දෙනවා නම් ජනතාවට, විශේෂයෙන් අඩු ආදායම්ලාභී ජනතාවට දැඩි පීඩනයකට මුහුණපාන්න වෙයි කියලායි ආර්ථික විශේෂඥයන් විදියට අපි දකින්නේ.

රාජපක්ෂට ඡන්දය දෙන්න එපා  – විසාකේස චන්ද්‍රසේකරම් ,චිත‍්‍රපට අධ්‍යක්ෂ, සමාජ ක‍්‍රියාකාරික

මම පුරවැසියන්ගෙන් කෙළින්ම ඉල්ලනවා රාජපක්ෂට ඡන්දය දෙන්න එපා කියලා. ලෝකයේ අනිත් රටවල ඉතිහාසය ගත්තාමත් මේ රටේ වෙන දේවල් ගත්තාමත් අපි දකිනවා පවුලකට බලය දෙන එක භයානකයි. එහෙම පවුල් පැහැදිලිවම ඒකාධිපතිත්වයකට තල්ලූ වෙනවා. දිගින් දිගටම පවුලේ බලය තියාගන්න උත්සාහ කරනවා. ඒ නිසා විධායක ක‍්‍රමය අහෝසි කරන්න පොරොන්දු වෙලා ඉන්න ක‍්‍රමය වෙනස් කළ හැකි අපේක්ෂකයෙක්ට ඡන්දය දෙන්න කියලා මම ඉල්ලනවා.

කළගුණ සලකන්න කියලා ඡුන්දය දෙන්න එපා. දේශපාලකයන් කරන්නෙත් රැුකියාවක්. රැුකියාවට කළගුණ සලකන සිරිතක් නැහැ. අනිත් එක ඒ අය හොඳට තමන්ටම කළගුණ සලකාගෙන තියෙන්නේ. කළගුණ සලකන්න ඕනෑ දෙමාපියන්ට. අද සමාජයේ ඒකත් හරියට වෙන්නේ නැහැනේ. යුද්ධයක් ජයගන්න එක කවුරුවත් තනියම කරන දෙයක් නෙවෙයි. ඕනම කෙනෙක්ට ඒක තේරෙනවා.

රාජපක්ෂලාට ඡන්දය දෙන්න කියන කලාකරුවනුත් ඉන්නවා. නමුත් ඒ අය අද ගුටිකන සහෝදර කලාකරුවන් වෙනුවෙන් පෙනී ඉන්නවාද? ඇත්තටම කලාකරුවෙකුගේ පළවෙනි වගකීම පාලකයාව රකින එක නෙවෙයි. කලාවත් සහෝදර කලාකරුවන්වත් රකින එක. මට සාක්ෂි නැහැ මේ අය මුදල් අරගෙන පාලකයා වෙනුවෙන් පෙනී ඉන්නවා කියන්න. නමුත් අද හැමෝම එහෙම කියනවානේ. ඒ අය තමන්ගෙ නිර්දෝෂී බව පෙන්නන්න ඕනෑ. නැත්නම් ඔවුන් කියන දේ පිළිගන්නෙ කොහොමද? ජනතාවගෙන් මම ඉල්ලනවා පුරවැසියන් විදියට තීරණයක් ගන්න කියලා.

අලූත් අදහස්වලට ඉඩක් නෑ – ලූෂන් බුලත්සිංහල , ප‍්‍රවීණ නාට්‍යවේදී

මේ වෙනකොට අපි තීරණය කරලා ඉවරයි මෛත‍්‍රීපාල සිරිසේන මහත්මයා අටවෙනිදාට ජයග‍්‍රාහකයා කරවීම තුළින් අපේ තිබිච්ච ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස අභියෝගයට ලක් කරපු 18 වැනි සංශෝධනය පරාජය කිරීම සඳහා. ඒ සඳහා කලාකරුවන්ගේ සහ පුරවැසියන්ගේ ශක්තිය ලබාදෙනවා. 18 වෙනි සංශෝධනයේ ප‍්‍රතිඵල මොනවද කියලා අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නැහැ. දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව අලූත් අදහස් ඉදිරිපත් කරන්න, හිතන්න පතන්න ඉඩක් නැහැ කියලා පැහැදිලියිනෙ. මම කලාකරුවෙක් හැටියට ඒක දකිනවා. කලාකරුවෙක් විදියට ජීවත්වෙන පළවෙනි කොන්දේසිය තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක නිදහසේ හුස්ම ගැනීමේ අවකාශය. තුන්වෙනි වතාවටත් මහින්ද රාජපක්ෂ බලයට පත් කරනවා කියන්නේ මේ තියෙන නිදහස මින් ඉදිරියට අපට ඕන නැහැ කියලා අත්හැරියා කියන එක. ඒ නිසා අප මේ වෙලාවෙ කල්පනා කරන්න ඕන 1948 අපට ලැබිච්ච නිදහස ආරක්ෂා කරගැනීමට තියෙන එක අවස්ථාවක් මේක. මේ අවස්ථාව පැහැර හරින්න නරකයි. නිදහසේ කලා කටයුතු කරගෙන යන්න නම් මේ අවස්ථාව අපේ අතට ගන්න ඕන. ජනතාවත් තීරණය කරලා ඉවරයි ඒකාධිපතිත්වය පරාජය කිරීම සඳහා මෛත‍්‍රීපාල මහත්මයාගේ හංසයා ලකුණ ජයග‍්‍රහණය කරවීමට. අපි අවුරුදු විස්සක් තිස්සේ නිහඬව හිටියා. හැමෝගෙම දේශපාලන වේදිකාවලට නැග්ගෙ නැහැ. මම අවුරුදු විස්සක් කටවහගෙන හිටපු මිනිහෙක්. 94දී අපි ජනතාවට යම් යම් කරුණු පැහැදිලි කරලා දීලා පිහිටවපු ආණ්ඩුවක් තමයි මේ තියෙන්නේ. ආයෙමත් අපි ජනතාව ඉදිරියට එන්නේ එදා අපි සටන් කරපු ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස ලබාගන්නට.

ගන්න තීරණය ගැන පස්සේ පසුතැවෙන්න එපා – පරාක‍්‍රම නිරිඇල්ල, ප‍්‍රවීණ නාට්‍යවේදී

මම කතාකරන්නේ කලාකාරයෙක් පුරවැසියෙක් හැටියට. දැන් ඉන්න වැඩවසම් වන්දිභට්ට කලාකාරයෙක් විදියට පාලකයාගේ යටත්වැසියෙක් හැටියට නෙවෙයි. ස්වාධීන කලාකාරයෙක් හැටියට. මම සියලූ පුරවැසියන්ගෙන් ඉල්ලන්නේ ඇස් පනාපිට පේන දේ දිහා බලන්න. දුප්පත්ව දේශපාලනයට ඇවිත් කෝටි ගණන් ගසා කාපු ලාභ උපයපු දැන් මහා මාලිගා හදාගෙන ජීවත්වෙන පාලක රොත්ත විසින් ජනතාව රවට්ටන්න ගන්න උත්සාහය දිහා බලන්න. ඔවුන් නැවතත් බලයට එන්න පුළුවන් හැම උප්පරවැට්ටියක්ම දානවා. අනෙක් පාර්ශ්වයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය නොදී මර්දනය කරමින්. මාධ්‍ය අවකාශය පවා අහුරමින් ආණ්ඩුව ගෙනියන ප‍්‍රචාරණය දිහා බලන්න. රට මුහුණපාන්න යන භයානක විපත්තිය තේරුම් ගන්න. පිටරටින් නළුවන්ව ගෙනාවාට වන්දිභට්ට කලාකරුවන්ව දාලා ඡුන්දය ඉල්ලූවාට රැුවටෙන්න එපා. වැඩවසම් කලාකරුවන් පාලකයා ඉදිරියේ ප‍්‍රශස්ති ගායනා කළාට ස්වාධීනව අදහස් ප‍්‍රකාශ කරන කලාකරුවන් ඉන්නවා. ආණ්ඩුවෙන් වරප‍්‍රසාද ලබන අය කියයි අප එන්.ජී. ඕවලින් සල්ලි අරන් කතා කරනවා කියලා. ඒත් ඒක එහෙම නෙවෙයි කියලා ඒ අයත් අපිත් දන්නවා. අනෙක් අතට එහෙම සල්ලි අරන් ස්වාධීනව කතා කළත් පාලකයන් හොරකමින්, වංචාවෙන් ජනතාවගෙන් සූරා කාපු සල්ලි අරන් කතා කරනවාට වඩා ඒක නම්බුයි. මම ඉල්ලනවා මේ වෙලාවෙ ගන්න තීරණය ගැන පස්සේ පසුතැවෙන්න එපා.

දරුවන් ණයකාරයන්  කරමුද?  – අමා විජේසේකර, රංගන ශිල්පිනී

මම මේ මොහොතේ ඉල්ලන්නේ බුද්ධිමත්ව තමන් දකින දෙය තේරුම් අරගෙන ඡුන්දය පාවිච්චි කරන්න කියලා. අද රටේ නීතියක් නැහැ. සදාචාරයක් නැහැ. අපි දිනපතා ඒක අත්විඳිනවා. අපට කුඹුක්ගැටේදී මුහුණපාන්න වෙච්ච සිදුවීමත් ඒකට හොඳම උදාහරණයක්. අපිත් එක්ක ගිය නංගිලාට පරුෂ වචනයෙන් බැන්නේ. කාන්තාවන්ට සලකන්නේ මේ විදියටද? අපට පහර දෙන්න පවා මේ මැරයන් පෙළඹුණා. ඡුන්දය දෙන ඔබ මේවා අනුමත කරමින් ඡුන්දය දෙනවාද කියලා තීරණය කරන්න. ඒවා අනුමත කරන පිරිසකට බලය දෙනවාද? ඔබ ගන්නා තීරණයේ වැදගත්කම තියෙන්නේ එතැනයි. වෙනසක් අවශ්‍ය වෙන්නේ සදාචාරයක් ඇති කරන්න. රටක මිනිස්සු අවදි කරන්න ඕනෑ එතැනට. අපිට ඕනෑ දරුවන් ණයකාරයන් කරන රටක්ද? අපෙන් පස්සේ තරුණ පරපුරට ලැබෙන්න ඕනෑ සදාචාරයක් නැති මජර ක‍්‍රමයක්ද? අනාගත පරපුරට හිතන්න අයිතියක් නැති කරනවාද? අලූත් අදහස්, ආකල්ප එක්ක නිදහසේ ජීවත්වෙන්න තියෙන අයිතිය නැති කරනවාද? යල් පැනගිය බොරු දේවල්වලට ඉඩ දෙන්න ඕනෑද? කල්පනා කරලා ඔබේ තීරණය ගන්න.

මේ රජය  කාන්තා විරෝධියි – ආචාර්ය හරිනි අමරසූරිය, ශ‍්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

මේ ඡුන්දය තීරණාත්මක මොහොතක්. හැම රටකටම ඓතිහාසිකව මේ වගේ අවස්ථා උදාවෙනවා. මේ ඡුන්දයේදී රට ගන්නා තීරණය අනුව රටේ දීර්ඝකාලීන අනාගතයක් තීරණය වෙනවා. මෙය ඉදිරියේදී රට කොච්චර ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනවාද, මානුෂික, මානව හිතවාදී වෙනවාද කියල තීරණය කරන ඡුන්දයක්. මේ ආණ්ඩුව මනුෂ්‍යත්වයට සැලකුවේ නැහැ. විශේෂයෙන් කාන්තාවන්ට. 2009 ඉඳන් අද වෙනකන් ඉතාමත්ම කාන්තා විරෝධී ආකාරයට තමයි රජය ක‍්‍රියාත්මක වුණේ. ඒ නිසා ජනතාව විශේෂයෙන් මොළය පාවිච්චි කරල ඡුන්දය දෙන්න ඕනෑ. මේ ආණ්ඩුව සංවර්ධනය දිහා බලන්නේත් කාන්තා විරෝධී විදියට. මේ විදියට ගියොත් ඉදිරියේදී මානව සංවර්ධනයෙන් යම්කිසි විදියට කාන්තාව ඓතිහාසිකව ඉවත් වේවි. ඒ නිසා මේ තීරණාත්මක මොහොතේ කෙටිකාලීනව හිතන්නෙ නැතිව ඉදිරියේදී මොනවගේ සමාජයක්ද ඇති කරගන්නෙ කියලා හිතලා ඡුන්දය දිය යුතුයි.

අශිෂ්ටත්වයට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන්න  – ජගත් මනුවර්ණ , රංගන ශිල්පී

මේ වෙලාවෙ රටේ පවතින තත්ත්වය, සමාජය මත මුදාහරින පීඩනය, ප‍්‍රචණ්ඩත්වයට විරුද්ධව ඡුන්දය භාවිත කරන්න කියලා මම ඉල්ලනවා. අද නිල හා නිල නොවන ආකාරයට පාලනතන්ත‍්‍රය විසින් සමාජය මත ප‍්‍රචණ්ඩත්වය මුදාහරිනවා. ශිෂ්ටත්වයට ගරු කරනවා නම් නායකයන් වෙනුවෙන්, පුද්ගලයන් වෙනුවෙන් නෙවෙයි, මේ අශිෂ්ටත්වයට විරුද්ධව ඡුන්දය පාවිච්චි කරන්න. තරුණයන් විදියට අපි දකිනවා මේ පාලනය බොහොම මිථ්‍යාදෘෂ්ටික එකක්. ඉතාම මුග්ධ පාලනතන්ත‍්‍රයක්. පාලකයාගේ මිථ්‍යාදෘෂ්ටික විශ්වාස නිසා තමයි සිවිල් සමාජය අනාරක්ෂිත වෙලා තියෙන්නේ. ඔහු විශ්වාස කරන මිථ්‍යාව විසින් සමාජය අනතුරේ හෙලනවා. පාලකයා ලබ්ධිකයෙක් වුණොත් විද්‍යාත්මක තර්කානුකූල පාලනයකට ඉඩක් නැහැ. පාලකයාගේ විශ්වාසය පොදු ජනතාව මත පටවනවා. ඔවුනුත් ඒක විශ්වාස කළ යුතුයි කියලා හිතනවා. ඒකෙ ප‍්‍රතිඵලයක් විදයට තමයි අද මේ මූලධර්මවාදය ආගමික අන්තවාදය ක‍්‍රියාත්මක වෙන්නේ. විශේෂයෙන් තරුණ පරපුර මේ තත්ත්වයට විරුද්ධ විය යුතුයි. ඡුන්දදායකයෝ තීරණයට කලින් පාලකයා කොච්චර යහපත් නිරෝගී මනසක් තියෙන කෙනෙක්ද කියලා බලන්න ඕනෑ.

ඡන්දයෙන් පස්සෙත් අරගලය අවශ්‍යයි  – ඉන්ද්‍රචාප ලියනගේ  , ගායන ශිල්පී

මම කියන්නේ මූලිකවම පුරවැසියෙක් වෙන්න. යටත් වැසියෙක් වගේ නෙවෙයි පුරවැසියා ඉතාමත් ශක්තිමත්. ක‍්‍රියාකාරීයි. කෙනෙක් පුරවැසියෙක් වෙන තරමටම එයාට අයිතිවාසිකම් හිමිවෙනවා. ඒ නිසා සක‍්‍රීය මැදිහත්වීමකින් ඔබේ පුරවැසි අයිතිය ක‍්‍රමය වෙනස් කිරීමට පාවිච්චි කරන්න කියලායි මම කියන්නේ. මේ මජර මිථ්‍යාදෘෂ්ටික පාලනයත් ඒ එක්කම හැදිච්ච ක‍්‍රමයත් වෙනස් කරන්න අපට පුළුවන්. අපි ඒකට සක‍්‍රියව මැදිහත් වෙනවා. ඡුන්දය දවසේ විතරක් නෙවෙයි ඡුන්දයෙන් පස්සෙත් ඒ අරගලය ක‍්‍රියාත්මක වෙන්න ඕනෑ. පුරවැසියන් විදියට ක‍්‍රියාත්මක වෙන්න ඕනෑ. මහින්දට කඬේ යන පිරිසක් ඉන්නවා. නමුත් අපි එක් අපේක්ෂකයෙකුට කඬේ යනවා නෙවෙයි. අපි මැදිහත් වෙන්නේ ඡුන්දය දවසෙන් අවසන් නොවෙන පුරවැසි අරගලයකට. අපි කිසිම පක්ෂයකටවත් නායකයෙක්ටවත් කඬේ යන්නේ නැහැ. බුද්ධිමත්ව ඡුන්දය පාවිච්චි කරන්න. අටවෙනිදාගෙන් පස්සෙත් පුරවැසි බලයට එක්වෙන්න.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;