රාවය

නිකරුණේ පොලිසියෙන් ගුටි කෑ පුරවැසියකුගේ බලය

නිකරුණේ පොලිසියෙන් ගුටි කෑ පුරවැසියකුගේ බලය

මම කිව්වොත් මුලින්ම ඔබ ගැන හඳුන්වා දෙන්න කියලා.

මම මේ රටේ පුරවැසියෙක්. ගම්පහ යාගොඩ මගේ පදිංචිය. කොළඹ කොල්ලූපිටියේ ප‍්‍රදේශයේ පෞද්ගලික බැංකුවකට අනුබද්ධිත ආයතනයක පරිපාලන කළමනාකරුවෙක් විදිහට සේවය කරනවා. අවුරුදු හතළිස් එකක් වන මම විවාහකයෙක්. දෙදරු පියෙක්. මගේ නම දුමින්ද හපුආරච්චි.

අපි ඔබව හඳුනාගන්නේ ලේ පෙරාගෙන ඉන්න කොටයි. ඒ සිද්ධියට එමුද?

ඔව්. මාධ්‍යයට මාව දකින්න ලැබෙන්නේ ලේ පෙරාගෙන ඉන්න කොටයි. මාධ්‍ය හරහා මාව දැක්ක ලංකාව තුළ විතරක් නෙමෙයි විදෙස් ජනයාත් මාව දැක්කේ ලේ පෙරාගෙනයි. ඒක මගේ ජීවිතේ අමතක නොවන සිද්ධියක්. අමතක කරන්න බැරි සිද්ධියක්. නිතර නිතර මා තුළම වද දෙන සිද්ධියක්. ඒ මොකද අපි එහෙම තැලිලා පොඩි වෙච්ච මිනිස්සු නෙමෙයි.

අපි ඔබ කම්පිත කළ රටම අවධානය යොමු කළ එම සිද්ධිය මතක් කරමු.

මම ගම්පහ ඉඳලා රැුකියාවට උදේ හවා එන්නේ දුම්රියෙන්. මට මතකයි මේ සිද්ධිය වුණ දවස. 2014-04-22දා. මම එදත් රැුකියාව අවසන් කරලා කොල්ලූපිටියේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා බස් රථයකින් පැමිණියා. ඒ ගම්පහට යන දුම්රිය අල්ල ගන්න. මගේ ඉක්මනට හේතු තිබුණා. ඒ තමයි මගේ බාල පුතා ශිෂ්‍යත්වයට මුහුණ දෙනවා. ඒ වෙනුවෙන් උපකාරක පන්තියකට දාලා තිබුණා. එම පන්තියෙන් හවසට දරුවා ගැනීමත් මගේ රාජකාරියක් වෙලා තිබුණා. එදත් මගේ කඩිමුඩි ගමනේ එකම අරමුණ දුම්රිය අල්ලගෙන පුතාගේ පන්තියට වෙලාවට යෑමයි. එදා දුම්රිය ස්ථානය අවට පොලිස් නිලධාරීන් පිරිලා හිටියා. දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් හෝ උපවාසයකුත් ඇති, ඒ නිසා පොලිසිය එන්න ඇති කියලා මම හිතුවා. මම වෙනදා වගේ දුම්රිය ස්ථානයට ඇතුළු වුණා. එතන කලබලය දුම්රිය සේවකයන්ගේ උද්ඝෝෂ ණයක් කියලත් කතාබහවලින් මට වැටහුණා. මම බැලූවේ මට යන්න තියෙන පොල්ගහවෙල දුම්රිය තියෙනවද කියලා විතරයි. ඒ බලන්න මම තරප්පුවේ උඩට නගින්න උත්සාහ කළත් වේදිකාවේ සිටි පොලිස් නිලධාරීන් සහ මිනිසුන් නිසා මට බැරිවුණා. ඒ එක්කම අපි හිටපු පැත්තට බැටන් පොලූ අරගෙන පොලිසිය දුවගෙන ඇවිත් පහර දෙන්න ගත්තා. කිසිම දෙයක් නොදත් මම අනපේක්ෂිත විදිහට ඒ අයගේ දරුණු පහරකෑමකට ලක්වුණා. හිසට වැදුණු බැටන් පොලූ පහරකට හිස පැලිලා ලේ ගලන්න ගත්තා. ඒ නිසා මාව දැඩි කම්පනයකට ලක්වුණා. මම නොදැනුවත්වම මාව පඩි පෙළේ ඉන්දුණා.

අපි ඔබව දකින්නේ ඉන්පසුව.

ඔව්! මම එහෙම ලේ පෙරාගෙන ඉඳගෙන ඉන්න කොට පොලිසියේ අයම මාව වත්තම් කරගෙන පහළට ගෙනාවා. එතකොට මම ඇහැව්වා ‘ඇයි එහෙම අපිට ගහන්නේ’ කියලා. එතකොට තමයි මාධ්‍ය මාව හසුකර ගත්තේ. එතකොට පොලිසිය කියන්න ගත්තා මේ සාමාන්‍ය මිනිස්සු ගහලා කියලා. ඇත්තටම මට ගැහැව්වේ පොලිසිය. ඒක සාමාන්‍ය මිනිස්සු මත පටවනවට මම කැමති නැහැ. මමත් සාමාන්‍ය මිනිහෙක්. පොලිසියම ගහලා පොලිසියට මාව අරගෙන යන ගමන් කියනවා මාධ්‍යයට මේ සාමාන්‍ය මිනිස්සු ගහලා කියලා. මම එතනදි මාධ්‍යයට මට හැකි වෙර දාලා කිව්වා රටටම දැනගන්න ‘මට සාමාන්‍ය මිනිස්සු ගැහැව්වේ නැහැ. මට ගැහැව්වේ පොලිසියෙන්’ කියලා.

ඊට පස්සේ මොකද වුණේ?

ඊළඟට පොලිසියම මාව පුද්ගලික රෝහලකට ගෙන යන්න උත්සාහ කළා. මම කිව්වා බැහැ මට ජාතික රෝහලට යන්න ඕන කියලා. මම ජාතික රෝහලට ගිහින් ප‍්‍රතිකාර ගත්තා. හිසට මැහුම් පහක් දැම්මා.

ඔබගේ හිසට විතරද පහර වැදුණේ?

නැහැ. ඒක විතරයි පෙනුණේ. මගේ බෙල්ලට බැටන් පොලූ පහරක් වැදුණා. පිට පුරා පහරවල් වැදිලා තිබුණා. ඒවයේ විපාක මම පස්සේ කාලයේදී වින්දේ.

මේ සිද්ධිය ගැන පොලිසියේ පැමිණිල්ලක් දැම්මද?

කොටුව පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇවිත් රෝහලෙන් යනකොට මගෙන් ප‍්‍රකාශයක් ගත්තා. සහකාර පොලිස් අධිකාරිවරයෙක් මගේ ජංගම දුරකතනයට අරගෙන බස්නාහිර ප‍්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණ ප‍්‍රකාශයක් ලබාදෙන්න කිව්වා. පොලිස්පතිවරයාගේ නියමයෙන් පරීක්ෂණයක් කරනවා කිව්වා.

පරීක්ෂණයක් කළාද?

මගේ පැමිණිල්ල ගත්තට පරීක්ෂණයක් කළේ නැහැ. මට පොලිසියෙන් ලබාගැනීමට හැකිවුණේ මාගේ ප‍්‍රකාශයට අදාළ සටහන් අංකය පමණයි. (CIB (1) 2014-04-23 දින පැය 15-14-94/179 යටතේ සටහන් කර ඇත.)

ඔබ ඊට එරෙහිව අධිකරණයට යනවා

ඔව්! මම පුරවැසියෙක් ලෙස වුණු අසාධාරණයට මේ රටේ යන්න තියෙන ඉහළම තැන අධිකරණය. පොලිසිය මට සාධාරණයක් නොකළ නිසා මම තිෂ්‍ය වේරගොඩ නීතිඥ මහතාගේ උපදෙස් මත ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. (නඩු අංකය S/ C/FR/135/2014)

එයින් ඔබට සාධාරණයක් ඉටු වුණාද?

2014-12-10 වැනි දින අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම හේතු දැක්වීමකින් තොරව විභාගයට නොගෙන ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් ඉවත දැම්මා.

ඔබ දැන් ජනතා අධිකරණයට නැවත පැමිණිලා.

ඔව්! මම පුරවැසියෙක් විදිහට මේ රටේ නීතියට ගරු කරනවා. ඒ නිසා තීන්දුවටත් හිස නමනවා. හැබැයි එදා මම මැරුණ නම්. මගේ මරණයට කවදාවත් සාධාරණයක් වන්නේ නැහැ. ඒ තමයි මට ගහපු පොලිසියම මට කියනවනම් සාමාන්‍ය මිනිස්සු ගැහැව්වා කියලා. ඒ අය ඒක ඔප්පු කරනවා. එතකොට මගේ දරුවෝ බිරිඳ, මාපියෝ මේ අහිංසක මිනිස්සුන්ට සාප කරනවා මාව මැරුවා කියලා. මොකද්ද එතකොට තියෙන සාධාරණය. මට ගැහැව්වේ පොලිිසිය. මම උද්ඝෝෂකයෙක් නෙමෙයි. මම දරුවා ගන්න කෝච්චිය අල්ලගන්න දිව්වේ. මගෙ ඔළුව පැලූවා. නොසෑහෙන්න ගැහැව්වා. මට මොකද්ද මේ රටේ ඉටුවුණ සාධාරණය. කෝ මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කළ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්. මම කියන්නේ මේක මට වගේම හෙට ඔබටත් වෙන්න පුළුවන්. ඒ නිසා පුරවැසියන් විදිහට අපගේ ‘පුරවැසි බලය’ පෙන්වන්න ඕන. ඒකට යුක්තිය ඉටු කරගන්න ඕන. ඒ වෙනුවෙන් හඬක් නගන්න ඕන. බයවෙලා පස්ස ගහලා හිටියොත් අපිට හැමදාම ගුටි කන්න විතරයි වෙන්නේ. ඒකට යුක්තියක් සාධාරණත්වයක් ඉටුවන්නේ නැහැ.

ඒකට ඔබ යෝජනා කරන්නේ මොකක්ද?

මගේ ලේ පෙරාගත් දර්ශන මේ රට දැක්කා. ඒත් අමතක කරන්න එපා ඒ දර්ශන දැකපු මගේ බිරිඳ, දරුවන් මගේ මව පත්වෙච්ච කම්පනය කාටවත් තේරුම් කරන්න බෑ. ඒ අය මේ සමාජයට බයවෙනවා. මම කියන්නේ අපි ඉන්නේ ගෝත‍්‍රික යුගයක නෙමෙයි. අපේ අයිිතිවාසිකම් වෙනුවෙන් හඬක් නගන්න ඕන. පුරවැසියාගේ බලය ශක්තිමත්. මේ පහරදීම මාව ඒ තැනට පත් කළා. ඇයි අපි නිහඬව ඉන්නේ පහර කනකම්ද? නිහඬව හිටියම පහර දෙනවා. මරණවා. ඒවට බොරු හේතු දානවා. ඒ නිසා මේ තත්ත්වය වෙනස් කරන්න ඕන. මේ රටේ යහපාලනයක් ඇති කරන්න ඕන. ඒකට පුරවැසියන්ගේ ශක්තිය, බලය යොදාගන්න ඕන.