රාවය

මේ විවර වන්නේ පූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නව රාජ්‍යයක දොරටුවයි – පී.බී. වරාවැව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු

මේ විවර වන්නේ පූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නව රාජ්‍යයක දොරටුවයි – පී.බී. වරාවැව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු

කේ. සංජීව

එජාප හිටපු මහ ලේකම් කුණ්ඩසාලේ ආසන සංවිධායක තිස්ස අත්තනායක සන්ධානයට එකතුවුණා. මෙම පක්ෂ මාරුව එජාපයේ නුවර ජනපදනමට බලපෑමක් කළාද?

නැහැ කියන එක තමයි කෙටිම පිළිතුර. මේ මනුස්සයාට ඡුන්ද පදනමක් නැති නිසා තමයි ජාතික ලැයිස්තුවට රිංගා ගත්තේ. ඔහු පක්ෂය ඇතුළේ පසුගිය කාලයේ ක‍්‍රියාත්මක වුණු විදිහ බැලූවාම හොඳට තේරෙන දෙයක් තමයි ඒ කාලේ ඉඳලාම මහින්ද ජනපති සමග ඔහු සම්බන්ධතා පවත්වලා තියෙනවා කියලා. මම මේ පුද්ගලයාට කියන්න කැමතියි කුණ්ඩසාලේ ආසනයේ මැණික්හින්න ප‍්‍රාදේශීය සභාවට ඉල්ලලා දිනලා පෙන්වන්න කියලා. පසුගිය කාලයේ එජාපයේ ජනපදනම බිඳුණේ මෙවැනි ආසන සංවිධායකවරු නිසා. මොකද ඔවුන් ජනතාව පිළිබඳව ඇල්මකින් කටයුතු කළේ නැහැ. ජනතාව ගැන සොයලා බැලූවේ නැහැ. දැන් එජාපයට තිබුණු ප‍්‍රශ්න සියල්ලම වගේ විසඳිලා අවසානයි. දැන් එජාපය ජයග‍්‍රාහී මාවතට ඇවිල්ලා ඉන්නේ.

නුවර කියන්නේ සාම්ප‍්‍රදායික එජාප බලකොටුවක්. ඒත් පසුගිය කාලයේ එජාපයේ ඒ ජනපදනම දියවෙලා යනවා. දැන් ජනපතිවරණයක් ඇවිල්ලා මේ ජන පදනම නැවත පක්ෂයට දිනාගන්න ඔබලාට තියෙන වැඩපිළිවෙළ මොන වගේද?

මේ ජනපදනම දියවෙලා යන්න මූලිකම හේතුව තමයි පසුගිය කාලයේ අපේ පක්ෂයෙන් පත්වුණු ආසන සංවිධායකයෝ. ඔවුන් තමන්ගේ ආසනය ගැන සොයා බැලූවේ නෑ. අනික තමයි මේ ඒකාධිපති ජනපති ක‍්‍රමය. මේ ක‍්‍රමයට පුළුවන් පක්ෂ කඩලා බිඳලා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වළපල්ලට යවන්න. මොන පක්ෂයද භේදභින්න නොවුණේ. මොන පක්ෂයද කැඩිලා බිඳිලා නොගියේ. දැන් අපි ගම සංවිධානය කරමින් යනවා. පුංචි ඒකක විදිහට ගමේ සංවිධාන කටයුතු සාර්ථකව සිද්ධ වෙනවා. දැන් එජාප පාක්ෂිකයාට දැනෙන්න පටන් අරන් තියෙනවා අපි දැන් ඉන්නේ ජයග‍්‍රහණය අබියස කියලා.

ඇත්තටම කියන්න දින සියයකින් විධායක ජනපති ක‍්‍රමය අහෝසි වෙනවාද? බොහෝ අය කියනවා මේක කොළය වහලා ගැහිල්ලක් කියලා.

මේ දින සියය පරිපූර්ණ වෙනකොට අගමැතිවරයාගේ උපදෙස් පිළිපදින ඒ හරහා වැඩ කරන ජනපතිවරයෙක් තමයි ඇත්තටම බිහිවෙන්නේ. මෙතනදි වෙන්නේ දැන් ජනපතිට තියෙන අසීමිත බලය නව ජනපති අතහරින එක. එහෙම කරලා ජනපතිට පුළුවන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රතිමූර්තිය විදිහට වැඩ කටයුතු සිදුකරන්න. සර් ඔලිවර් ගුණතිලක ඉන්න කොටත් 52 හදිසි අවශ්‍යතා ප‍්‍රශ්නයක් ආවා. ඒ වගේ අවස්ථාවල එයා කටයුතු කළේ අගමැතිගේ උපදෙස් මත. දැන් මෙතැනත් කටයුතු කරන්න වෙන්නේ අගමැතිවරයාගේ උපදෙස්වලට අනුකූලව තමයි. අගමැතිත් සමානයන් අතර ප‍්‍රමුඛයෙක් පමණයි. එයාටත් පාර්ලිමේන්තුව ඇතුළේ එහෙම දඩබ්බරකම් කළ නොහැකියි. පාර්ලිමේන්තුවට තමයි වගකීම තියෙන්නේ රටේ ප‍්‍රශ්නවලට අදාළ තීන්දු තීරණ සාකච්ඡුා කරලා ගන්න. මෙතැනදී මේ ආණ්ඩු පක්ෂය කියන විදිහේ ජාතික ආරක්ෂාව අනතුරකට ලක්වෙන්නේ නැහැ. ලෝකයේ දියුණු රටවල් කීයක් මේ ක‍්‍රමය භාවිත කරනවාද?

මේ දින සියයේ වැඩපිළිවෙළේ තියෙනවා උචිතයැ’යි සිතන බලතල ළඟ තබාගෙන ඉතිරි බලතල පාර්ලිමේන්තුවට පවරනවා කියලා. මොනවද මේ උචිත බලතල?

දැන් තියෙන මහජන ඉල්ලීම මොකක්ද? මහජන ඉල්ලීම තමයි 1978 ඒකාධිපති ව්‍යවස්ථාව ඉවත් කරන්න කියන එක. මේ ක‍්‍රමය යටතේ ඇත්තටම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලකයකු බිහිවීමේ ඉඩකඩ හොඳටම අඩුයි. මේ ක‍්‍රමය ගැන ජේ.ආර්. ජයවර්ධන මුලින්ම යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන කොට එදා පාර්ලිමේන්තුවේ හිටිය බුද්ධිමතුන් සියල්ලම වගේ මේ අදහස්වලට විරුද්ධ වුණා. ඒ ඔක්කොම කිව්වේ මේ රටේ බලය එක්කෙනෙකුට පවරන්න එපා. එහෙම කළොත් එදාට මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවසානයි කියලා. ඒ කියපු හැම දෙයක්ම අද 100%ක් නිවැරදි වෙලා තියෙනවා. දැන් අපි ඉදිරියේදී මේ වැඩපිළිවෙළ සාර්ථක වුණොත් සභාග ආණ්ඩුවක් තමයි පිහිටුවන්නේ. මේ සභාගයේ ඉන්න සියලූම පක්ෂ සඳහා නිශ්චිත වැඩ කොටසක් පැවරෙනවා. ඔවුන්ට අමාත්‍යාංශ හිමිවෙනවා. හැබැයි ඇමති මණ්ඩලය 25ක උපරිමයකට යටත් වෙලා තමයි පත් කෙරෙන්නේ. ජනාධිපතිගේ බලතලත් මේ 25 දෙනා අතර බෙදිලා යනවා.

දැන් ජනමතය ජනතා රැල්ල හැදිලා තියෙන්නේ මේ ජනපති ක‍්‍රමය අහෝසි කළ යුතුයි කියලා. ඔබලාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ එක තැනක තියෙනවා ජනමතවිචාරණයකට යන්න අවශ්‍ය වන කිසිදු සංශෝධනයකට යන්නේ නැහැ කියලා. එහෙම තත්ත්වයක් යටතේ මේක කළ හැකිද?

පුළුවන්. නිකන් හිතන්න 18 අහෝසි වෙනවා. 17 බලගැන්වෙනවා. අමාත්‍යාංශ 25කට යටත්ව පත්වෙනවා. තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරනවා. අල්ලස් දූෂණ කොමිසම වැඩි බලතල සහිතව ස්ථාපනය වෙනවා. ජනාධිපති තමන් අතේ තියෙන බලතල පාර්ලිමේන්තුවට පවරනවා. එතකොට විධායකය අහෝසි කරලා පාර්ලිමේන්තු ක‍්‍රමයකට යනවා නෙවෙයිද? ජනාධිපති නාමමාත‍්‍රික තත්ත්වයට පත්වෙනවා නෙවෙයිද? අනික හිතනවාද මේ පත්වෙන පුද්ගලයාට මේ ප‍්‍රතිසංස්කරණ නොකර අනිත් අය කළා වගේ කරන්න පුළුවන් වෙයි කියලා. මේ අවස්ථාවේ අපි ජයග‍්‍රහණය කරවන්නේ පුද්ගලයෙක්, නෙවෙයි ප‍්‍රතිපත්තියක්. ඒක තමයි අපි නිවැරදිව තේරුම් ගතයුත්තේ. මහින්ද චින්තනය කියලා අපි ජයග‍්‍රහණය කෙරෙව්වේ පුද්ගලයෙක්. එතනයි අපිට වැරදුණේ.

මේ ප‍්‍රතිසංස්කරණවලින් මේ අශීලාචාර මැතිවරණ ක‍්‍රමය වෙනස් වෙනවා. කොට්ඨාසයකට මන්ත‍්‍රී කෙනෙක් පත්වෙනවා. දේශපාලනයට එන පුද්ගලයන් සඳහා යම් නිර්ණායක ටිකක් සකස් කරනවා. පූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෞකික රාජ්‍යයක දොරගුළු තමයි අපි මේ විවෘත කරන්න යන්නේ.

පවතින ක‍්‍රමය යටතේ ජනතා පරමාධිපත්‍යය විකුණලා වෙනත් පැත්තකට පනින්න පුළුවන්. විධායකයට අධිකරණයේ වැරදිකරුවෙක් වෙන පුද්ගලයකු නිදහස් කරන්න පුළුවන්. අනික් පැත්තෙන් ඔහු අධිකරණයට යටත් නැහැ.

ඔව්. මේ වැරදි සියල්ලමත් අපි නිවැරදි කරනවා. විධායකය අධිකරණයට යටත් කරනවා. එතකොට යම් කරුණක් සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ විධායකයට විරුද්ධව නඩු පැවරිය හැකියි. වැරදිකරුවන් නිදහස් කළ හැකියි කියන බලයත් අපි පාර්ලිමේන්තුවට දෙනවා. යම් පුද්ගලයෙක් අධිකරණයෙන් වැරදිකාරයා වෙලා සිරගත කළහොත් පසුව ඔහු ගැන යම් යම් කරුණු සලකා බැලූවහොත් ඒක පාර්ලිමේන්තුවට සාකච්ඡුා කරලා සාමූහික කැමැත්තෙන් තීරණය කළ හැකියි.
නව ක‍්‍රමය යටතේ යම් මන්ත‍්‍රීවරයෙක් පිල්මාරු කළහොත් ඔහුගේ මන්ත‍්‍රී ධුරය අහෝසි කරලීමට පුළුවන්. අපි කල්පනා කරලා බලනවා රටක් වශයෙන් තියෙන මැතිවරණ සියල්ලම එකම දිනයකදී තියන්න පුළුවන්ද කියලා. අපිට කරන්න පුළුවන් වුණොත් ඒක රටට රටේ ආර්ථිකයට ගොඩක් වැදගත්. මේ නව ආණ්ඩුව සරත් ෆොන්සේකා මහත්තයාට ප‍්‍රජා අයිිතිය සහ ඔහුගෙන් වර්තමාන රජය උදුරා ගත්ත සියලූ දේවල් දෙනවා. දැන් මැතිවරණ සටනේ දූෂණ වංචා ගැන විශාල විදියට කතා කරනවා. අපි මේවා ගැන ඉදිරියේදී පරීක්ෂණ ආරම්භ කරනවා. ඒ වගේම මේ දූෂණ වංචාවලට හසුවන වැරදිකරුවන් වන අයට තරාතිරම නොබලා දඬුවම් දෙනවා. මේ දූෂණවලට වැරදිකරුවන් වූ අය නීතිය ඉදිරියට ගෙන එන්න පවතින ප‍්‍රතිපාදන ප‍්‍රමාණවත් නැතිනම් අපිට පුළුවන් ඒකට විශේෂ අධිකරණයක් වුණත් පිහිටුවන්න. නැතිනම් දණ්ඩ නීති සංග‍්‍රහයට යම් වගන්ති එකතු කරන්න. මොකද අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා යන මේ ගමනේදී වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීමත් ගොඩාක් වැදගත්.