රාවය

විසඳාගත යුතු අංක එකේ ප‍්‍රශ්නය අධිකරණය

විසඳාගත යුතු අංක එකේ ප‍්‍රශ්නය අධිකරණය

අධිකරණයේ දක්නට තිබෙන අන්ත දූෂිත හා අවුල්සහගත තත්ත්වය ආණ්ඩුකරණයට හා යහපාලනයට අදාළව අපේ රටේ තිබෙන අංක එකේ ප‍්‍රශ්නය ලෙස සැලකිය හැකිය. එය බලයට පත්වන නව ආණ්ඩුවට බලයට පැමිණි මොහොතේ සිට ඉදිරියට මුහුණ දෙන්නට සිදුවන ලොකුම ප‍්‍රශ්නය ලෙස සැලකිය හැකිය.
අධිකරණයේ ඇතිවී තිබෙන මෙම අවලස්සන තත්ත්වය මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ ඇතිවූ විශේෂ තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය. එය ඊට පෙර 1999දී සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට පත්වීමත් සමග ඇතිවී මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ උපරිම මට්ටමකට වර්ධනය වූ තත්ත්වයක් ලෙස සැලකිය යුතුය. සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට පත්වන තෙක් විශේෂයෙන්ම ලංකාවේ උසස් අධිකරණය ලෙස සැලකිය හැකි ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය සාපේක්ෂ අර්ථයෙන් ස්වාධීන හා පිළිගත හැකි යහපත් තත්ත්වයකින් ක‍්‍රියා කළේය. ජේ.ආර්. ජයවර්ධන විසින් අගවිනිසුරු ධුරයට පත් කළ නෙවිල් සමරකෝන් ධුරයට පත්වීමෙන් පසු ජනාධිපතිවරයා සමග තිබූ පුද්ගලික යාළු මිත‍්‍රකම් නොසලකා ස්වාධීනව හා සාධාරණවද ජනාධි පතිවරයාගෙන් එල්ල වන අයුතු බලපෑම්වලදී ඒවාට යට නොවී අධිකරණයේ ගෞරවය හා ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් ඉදිරියට යන්නට වෙර දැරූ ශ්‍රේෂ්ඨ අගවිනිසුරුවරයකු ලෙස සැලකිය හැකිය. නෙවිල් සමරකෝන්ගෙන් පසු සරත් නන්ද සිල්වා තෙක් එම තනතුරට පත් සියලූදෙනාද අඩු වැඩි වශයෙන් ඒ මගේ ගමන් ගන්නා තත්ත්වයක් පැවතුණේයැ’යි කිව හැකිය.
ජනාධිපතිවරයාට හයෙන් පහක බලයක් ලැබී තිබුණු අවස්ථාවකදී පවා අධිකරණය පවත්වාගෙන ගිය ස්වාධීන පිළිවෙතේ තරම පෙන්නුම් කිරීම සඳහා ඉදිරිපත් කළ හැකි නිදර්ශන දෙකක් මෙසේය.

ස්වාධීනත්වය හා ගෞරවය රැකගැනීම

ජනාධිපති ජයවර්ධන බලයට පත්වූ පසුව ඉතා ඉක්මනින් ශ‍්‍රීලනිප නායිකා සිරිමා බණ්ඩාරනායකගේ ප‍්‍රජා අයිතිය අහිමි කිරීමේ අරමුණ ඇතිව 1978 අංක 7 දරන විශේෂ ජනාධිපති කොමිෂන් සභා නීතිය පනවමින් ඒ මගින් දේශපාලන පළිගැනීම්, බලය අනිසි ලෙස යොදා ගැනීම්, දූෂණය හං වංචා ගැන සොයා බලා ඊට වගකිවයුතු අයගේ ප‍්‍රජා අයිතිය අහිමි කළ යුතුද යන්න සොයා බලා වාර්තා කිරීම සඳහා කොමිෂන් සභාවක් පත්කිරීමට අවශ්‍ය බලය ලබා ගත්තේය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 81 වැනි වගන්තිය යටතේ කිසියම් පුද්ගලයකුගේ ප‍්‍රජා අයිතිය හත් අවුරුද්දකට නොවැඩි කාලයක් සඳහා අහිමි කිරීමේ බලය පාර්ලිමේන්තුවට තිබුණි. එබඳු පුද්ගලයකු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු නම් පාර්ලිමේන්තුවේ සම්පූර්ණ මන්ත‍්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකින් විශේෂ ජනාධිපති කොමිසමේ නිර්දේශ මත සම්මත කරගන්නා යෝජනාවකින් පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමට පුළුවන්කම ලැබී තිබුණි.

1970 මැයි මාසයේ සිට 1977 ජූලි දක්වා ඇතිවූ සිද්ධීන් සොයා බලා වාර්තා කිරීම සඳහා 1978 අගෝස්තු මාසයේදී ආණ්ඩුව ත‍්‍රිපුද්ගල ජනාධිපති කොමිසමක් පත් කළේය. මෙම කොමිසම බණ්ඩාරනායක මහත්මිය හා වෙනත් පුද්ගලයන් ගණනාවකට නොතීසි යැවීය.

මෙම ජනාධිපති කොමිසමේ වලංගුභාවය අභියෝගයට ලක්කරමින් සිරිමා බණ්ඩාරනායක මහත්මිය අභියාචනාධි කරණය ඉදිරියට ගියාය. පරීක්ෂණ කොමිසම පරීක්ෂාවට ලක් කරන්න යන්නේ විශේෂ ජනාධිපති කොමිෂන් සභා නීතිය පැනවීමට පෙර කාලයක් වීම හේතු කොටගෙන බණ්ඩාරනායක මහත්මියගේ පරිපාලන කාලයේ කරුණු පරීක්ෂා කිරීමට හෝ වාර්තා කිරීමට හෝ නිර්දේශ ඉදිරිපත් කිරීමට බලයක් නැති බව තීන්දු කරමින් අභියාචනාධිකරණය එම විශේෂ ජනාධිපති කොමිසමට එරෙහිව තහනම් ආඥාවක් නිකුත් කළේය.

එම සිද්ධියේදී පෙනෙන්නට තිබෙන ඉතාම වැදගත් දේ අභියාච නාධිකරණය ජනාධිපතිගේ දේශපාලන අභිලාෂය සැලකිල්ලට ගෙන ක‍්‍රියා කරනවා වෙනුවට නීතිය සැලකිල්ලට ගෙන ක‍්‍රියාකිරීමය. එම නියෝගයෙන් පසුව ආණ්ඩුව 1998 නොවැම්බර් 20 වැනි දින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන සංශෝධනයක් මගින්ද (පළමු සංශෝධනය) ඕනෑම නඩුකරයක අධිකරණ බලය අභියාචනාධිකරණයෙන් ඉවත් කොට ශ්‍රේෂ්ඨාධි කරණයට පැවරීමේ හැකියාව පාර්ලිමේන්තුවට ලබාදීම මගින් සිය දේශපාලන අභිලාෂය ඉටුකර ගත්තා වුවද එය තමන්ට එරෙහිව දෙන ලද තීන්දුවක් ලෙස සලකා ජනාධිපති ජයවර්ධන තීන්දුව දෙන ලද විනිසුරුවරුන්ගෙන් පිළිගන්නා තැනකට ගියේ නැත.

දෙවැනි නිදර්ශනය ඊටත් වඩා වර්ණවත්ය. ආර්.පී. විජේසිරි 1977 මැතිවරණයෙන් ස්වාධීනව පාර්ලිමේන්තුවට තේරී පත්වී ඉන්පසු ශ‍්‍රීලනිපයට එකතු වූ මන්ත‍්‍රීවරයෙකි. ඔහු ප‍්‍රබල කථිකයෙකු වූ අතර ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ඉතා බලවත් ලෙස විවේචනයකට ලක් කළ පුද්ගලයෙක් විය. ඔහු ප‍්‍රසිද්ධ රැුස්වීමකදී ජනාධි පතිවරයා ගැන කරන ලද්දේ යැයි කියන අපහාසාත්මක කතාවකට එරෙහිව නීතිපති ඔහුට එරෙහිව සාපරාධී අපහාස නීතිය යටතේ අධිචෝදනා ඉදිරිපත් කළේය. සාපරාධී අපහාසයකදී නීතිපතිට අධි චෝදනා ඉදිරිපත් කිරීමේ බලයක් තිබුණද අපරාධ නඩු විධාන සංග‍්‍රහය අනුව එසේ කළ යුතුව තිබුණේ මහේස්ත‍්‍රාත් අධිකරණයකදී සිදුකරන මූලික පරීක්ෂණයකින් චෝදනා සනාථ වූ අවස්ථාවකදී පමණය. නීතිපති මේ නඩුවේදී ඊට වෙනස්ව යමින් මහේස්ත‍්‍රාත් අධිකරණයේ කෙරෙන මූලික පරීක්ෂණයකින් තොරව අධිචෝදනා ඉදිරිපත් කළේය. විජේසිරි නීතිපතිගේ එම අධි චෝදනා ඉදිරිපත් කිරීමට හා මහාධිකරණය එම අධිචෝදනා භාරගැනීමට එරෙහිව තහනම් ආඥාවක් ලබාගැනීම සඳහා අභියාචනාධිකරණයට ගියේය. අභියාචනාධි කරණය එම පෙත්සම සලකා බලා දණ්ඩ නීති සංග‍්‍රහයේ 480 වැනි වගන්තිය යටතට වැටෙන වරදක් මූලික පරීක්ෂණයකින් තොරව ඍජුව මහාධිකරණය වෙත අධිචෝදනා ඉදිරිපත් කිරීමට අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ ප‍්‍රතිපාදන පරිදි නීතිපතිවරයාට බලයක් නැති බව සේ ම එවැනි අධි චෝදනා පත‍්‍රයක් පවත්වාගෙන යෑමට මහාධිකරණයටද බලයක් නැති බව තීන්දු කරමින් විජේසිරි ඉල්ලා සිටි තහනම් නියෝගය ලබා දුන්නේය.

ස්වාධීනත්වය හා ගෞරවය අත්හැරීම

නීතිපති මෙම අධිචෝ්දනා පත‍්‍රය ඉදිරි පත්කර තිබුණේ ජනාධිපතිවරයා වෙනුවෙනි. එහිදී අභියාචනාධිකරණය ජනාධිපතිවරයා වෙනුවෙන් පවරන ලද නඩුවක් සම්බන්ධයෙන් ඊට එරෙහිව තීන්දුවක් දීම සුදුසුද කියා සිිතා බලන තැනකට ගියේ නැත. එහිදී සලකා බලන ලද්දේ නීතියට අනුකූලව එහි ඇති හරි වැරදි පමණය. එය අධිකරණයක තිබිය යුතු වැදගත්ම ගුණයකි. ඒ ගුණය සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට පත්වන තෙක්ම ආරක්ෂා වී තිබුණේයැ’යි කිව හැකිය. ආචාර්ය මාර්ක් ප‍්‍රනාන්දු මැතිවරණ සිද්ධීන් දෙකකට අදාළව දෙන ලද නඩු තීන්දු දෙකක් ඒ සඳහා දැක්විය හැකි හොඳ නිදර්ශන දෙකක් ලෙස සැලකිය හැකිය.
1993දී ඡුන්දයෙන් තේරී පත්ව තිබූ සබරගමුව, බස්නාහිර, මධ්‍යම, ඌව සහ උතුරුමැද පළාත් සභා 1998 අගෝස්තු වනවිට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 154 (ඉ) වගන්තිය අනුව නීතිය අනුවම විසිර වී තිබුණි. මෙම පළාත් සභාවල අලූත් මැතිවරණයක් සඳහා නාමයෝජනා කැඳවා තිබූ අතර 1988 අගෝස්තු 28 දින ඒ සඳහා මැතිවරණ පැවැත්වෙන දිනය වශයෙන් නම් කර තිබුණු අතර 1988 අගෝස්තු 4 වන දින තැපැල් ඡුන්ද පත‍්‍රිකා නිකුත් කිරීම විදුලි පණිවුඩ යවා අත්හිටුවා තිබුණු අතර ඊළඟ දිනයේදී ජනාධිපතිවරිය විසින් මහජන ආරක්ෂක පනතේ 2 (1) වගන්තිය අනුව රට පුරා හදිසි නීතිය ප‍්‍රකාශ කර තිබුණි. ඒ සමග ජනාධිපති එම පළාත් සභා බල ප‍්‍රදේශ පහේ මැතිවරණ කල් දමන ලදි. නීතිය අනුව පළාත් සභා මැතිවරණයක් කල් දැමීමට ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වුවත් ජනාධිපති එසේ නොකොට හදිසි තත්ත්වයක් ප‍්‍රකාශ කරමින් එසේ කළේය.

මෙම තත්ත්වයට එරෙහිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ දෙදෙනකු (වරුණ කරුණාතිලක හා සුනන්ද දේශප‍්‍රිය) මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් කළ අතර රටේ ආරක්ෂක තත්ත්වයේ ප‍්‍රතිඵලයක් ලෙස මැතිවරණ පැවැත්විය නොහැකි බවට රජය ඉදිරිපත් කරන තර්කය ව්‍යර්ථ කිරීමට අවශ්‍ය තරම් ශක්තිමත් කරුණු ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුවන් සමත්ව තිබුණි. මෙම පෙත්සම් දෙක සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් කරුවන්ගේ ඉල්ලීම්වලට ඉඩදෙමින් මැතිවරණ කොමසාරිස්වරයා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මගින් ලබාදී තිබෙන භූමිකාව හරියාකාරව ඉටුකිරීමට අසමත්වීම ගැන මැතිවරණ කොමසාරිස් වරයාට දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කළේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් හදිසි නීතිය යටතේ කල්දමන ලද පළාත් සභා මැතිවරණ පවත් වන්නට සිදුවිය. ඡුන්දය දීමේ අයිතිය අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස පිළිගන්නා ලද්දේද මෙම නඩු තීන්දුවෙනි.

ඉන්පසු 1999 වයඹ පළාත් සභා මැතිවරණයෙන් පසුව පුරවැසියන් දෙදෙනකු මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් කරමින් වයඹ පළාත් සභා මැතිවරණයේදී සිදුවූ ඡුන්ද කොල්ලය වැනි තත්ත්වයක් පවත්වන්නට නියමිත එම පළාත් සභා මැතිවරණවලදී ඇතිවීමේ අවදානමක් ඇති බවත් එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවීමක් සිදුවන බවත් එම පෙත්සම් දෙකෙන් කරුණු ඉදිරිපත් කර තිබුණි. එම පළාත් සභා මැතිවරණවලදී නිදහස් හා සාධාරණ තත්ත්වයක් සහතික කිරීම සඳහා පොලිස්පතිවරයාද සමග සාකච්ඡුා කොට වැඩසටහනක් සැලසුම් කොට එය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමසාරිස්වරයා වෙත නියෝග කළේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් එම පළාත් සභා මැතිවරණ කිහිපයෙහි වෙන කවදාවත් නැති ආකාරයට නීතිය ක‍්‍රියාත්මක වන තත්ත්වයක් ඇතිවිය. වෙනදා මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග නොපිළිගත් රාජ්‍ය මාධ්‍ය ආයතන අකුරටම නීතියට අනුකූලව ක‍්‍රියා කළේය. රාජ්‍ය සම්පත් අයථා ලෙස භාවිත කිරීමටද උසස් නිලධාරීහු ඉඩ නුදුන්නෝය. පොලිසියද අකුරටම තම යුතුකම් හා වගකීම් ඉටු කළේය.
චෝදනා ලාභී තත්ත්වයක සිටි නීතිපති සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට ගැනීමෙන් අපේක්ෂා කළේ අධිකරණය ගමන් ගනිමින් තිබූ එම ඉදිරිගාමී ගමන ආපසු හැරවීමය. ඔහු ඉතා දක්ෂ ලෙස ඒ කාර්යය ඉටු කළේය. ලංකා අධිකරණ ඉතිහාසයේ පළවෙනි වතාවට අධිකරණය විධායකයේ දේශපාලන අතකොලූවක් බවට පත් කළේය. ඒ සඳහා අධිකරණය පවත්වාගෙන ගිය පොහොසත් සම්ප‍්‍රදා යන් විනාශ කළේය. තමන්ට අවනත නැති බව පෙනෙන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන් අතට වැදගත් නඩු විභාග කිරීමට ඉඩ නොදී ඒවා හැමවිටම අගවිනිසුරු ඇතුළත් විනිශ්චය මණ්ඩල ඉදිරියේ විභාගයට ගන්නා පිළිවෙතක් අනුගමනය කළේය. ආණ්ඩුකරණයට අදාළ ආරාවුල්වලදී මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ප‍්‍රතික්ෂේප කරන පිළිවෙතක් අනුගමනය කළේය. තමන්ට පක්ෂ නැති පහළ අධිකරණයේ විනිසුරු වරුන් අධිකරණ සේවයෙන් පිටමං කරන ගොරහැඩි පිළිවෙතක් අනුගමනය කළේය.

යථා තත්ත්වය

අගවිනිසුරු සරත් නන්ද සිල්වා විසින් අධිකරණයේ ඇති කරන ලද මෙම විකෘතිය ඔහුගෙන් පසු කාලයේත් නොවෙනස්ව පැවති අතර මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ අගවිනිසුරු ධුරයෙන් ශිරාණි බණ්ඩාරනායක ඉතාමත් සාහසික ලෙස ඉවත් කිරීමේ ක‍්‍රියාදාමයත් සමග අධිකරණයේ පැවති විකෘති තත්ත්වය උච්චතම තත්ත්වයකට පත්කිරීමට හේතුවීයැ’යි කිව හැකිය.

දැන් අපට ඉතිරි වී තිබෙන්නේ ඉතාමත් නග්න ආකාරයට විධායකයේ අතකොලූවක් ලෙස ක‍්‍රියා කරන මහජන විශ්වාසය හා ගෞරවය මුළුමනින් හිමි කරගත් ශ්‍රේෂ්ඨාධිකරණයකි. මේ මොහොතේ ශ‍්‍රී ලංකා සමාජය සිහින දකින්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කොට ප‍්‍රතිසංස්කරණ මගින් රට ශීලාචාර තැනකට ගැනීම නම් ඒ සිහිනය සාර්ථක කරගත හැකිවනු ඇත්තේ අන් සියලූ දේට ප‍්‍රථම අශීලාචාර තැනක තිබෙන අධිකරණය ශීලාචාර තැනකට ගැනීමට සමත් වේ නම් පමණය. ඇති කරන්නට යන හැම වෙනසකටම අධිකරණ අනුමැතිය අත්‍යවශ්‍යය.

17 වැනි සංශෝධනය සම්මත කරගැනීමෙන් පමණක් අධිකරණය ඇතුළු ඒ යටතේ තිබෙන ආයතන ක‍්‍රමය ඒවා වසාගෙන තිබෙන අශීලාචාර තත්ත්වයෙන් ගොඩගත නොහැකිය. මේ ආයතනවලට දේශපාලන ඇඟිලි ගැසීමෙන් තොරව ස්වාධීනව ක‍්‍රියා කළ හැකි තත්ත්වයක් ලබාදීමෙන් පමණක් ඒවායේ ක‍්‍රියාකාරීත්වය යහපත් තත්ත්වයකට ගත නොහැකිය.

නව ආණ්ඩුවට දැන් සිටින අගවිනිසුරුවරයා එම තනතුරෙන් විධිමත් ලෙස ඉවත් කොට තනතුරෙන් අසාධාරණ ලෙස පහ කළ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක එම තනතුරට පත් කළ හැකිය. ඒ නිසා පමණක් අශීලාචාර තත්ත්වයක තිබෙන අධිකරණය ශීලාචාර වන්නේ නැත. රටට අවශ්‍ය වී තිබෙන ඊළඟට පත්වන ආණ්ඩුවට අවිවේච නාත්මකව පක්ෂපාතව ක‍්‍රියාකරන අධිකරණයක් නොව නීතියට අනුකූලව ක‍්‍රියාකරන සාධාරණ අධිකරණයකි. අධිකරණයේ ප‍්‍රධාන වගකීම විය යුත්තේ පරමාධිපත්‍ය බලය හිමි මහජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමය. විධායකයට හෝ ව්‍යවස්ථා දායකයට ඒවාට අයිති නැති අමුතු බලයක් ආරෝපණය කරගැනීමට ඉඩ නොදෙන අධි කරණයකි. පුරවැසියන් අතර ඇතිවන ආරාවුල්වලදී පමණක් නොව පුරවැසියන් හා පාලකයන් අතර ඇතිවන ආරාවුල්වලදී ද නීතියට අනුව යුක්තිය පසිඳලන අධිකරණයකි.

ශීලාචාර තත්ත්වයකට ගැනීම

මේ සඳහා බලයට පත්වන නව ආණ්ඩුවකට කළ හැකි හොඳම දේ වනුයේ අධිකරණය ඇද වැටී තිබෙන අශීලාචාර තත්ත්වයට බලපා තිබෙන හේතු හා ශීලාචාර හා කාර්යක්ෂම අධිකරණ ක‍්‍රමයක් ඇතිකර ගැනීමට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ නිර්දේශ කිරීම සඳහා කොමිෂන් සභාවක් පත්කිරීමය. කොමිෂන් සභාව සිදුවී තිබෙන වැරදිද ඒ වැරදි කෙරෙහි බලපා තිබෙන හේතුද මහජනතාවගෙන්, නීතිඥ සංගමයෙන් පමණක් නොව විශ‍්‍රාම ගොස් සිටින අධිකරණ නිලධාරීන්ගෙන් ද සාක්ෂි විමසන තැනකට යා යුතුය. සියලූදෙනාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර ස්වාධීන හා කාර්යක්ෂම අධිකරණ ක‍්‍රමයක් ඇති කරගැනීම සඳහා ක‍්‍රියාත්මක කළයුතු ප‍්‍රතිසංස්කරණ පිළිබඳව අවශ්‍ය නම් විදේශ විශේෂඥයන්ගෙන් වුවද උපදෙස් ලබාගන්නා තැනකට යා යුතුය. අනාගත විනිසුරුවරුන්ටද පාඩමක් ලැබෙන ආකාරයට සමාව දිය නොහැකි තරමේ බරපතළ වැරදි කර තිබෙන අධිකරණ නිලධාරීන්ට සංකේතාත්මක අර්ථයෙන් හෝ දඬුවම් පැමිණවීමද අත්‍යවශ්‍යය. බරපතළ වැරදි කර තිබෙන අධිකරණ නිලධාරීන් සේවයෙන් විධිමත් ලෙස ඉවත් කිරීම අවශ්‍ය වනවා සේ ම පුනරුත්ථාපනය කළයුතු අය හඳුනාගෙන ඔවුන් පුනරුත්ථාපනය කිරීමද අවශ්‍යය.

මහේස්ත‍්‍රාත් ලෙනින් රත්නායක සිද්ධියේදී පෙනී ගියේ අධිකරණයට විධිමත් බඳවා ගැනීමේ පටිපාටියක් නොතිබුණු බවය. ඔහු මුදල් වංචාවක් මත ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් සේවයෙන් පහකළ පුද්ගලයකු වී සිටියදී නීතිඥ සේවයට සේ ම ඉන්පසු අධිකරණ සේවයට එකතුවීමට සමත්වීමෙන් පෙනී යනුයේ අයදුම්කරුගේ අතීතය හොඳින් සොයා බලන ප‍්‍රතිපත්තියක් ඒ සේවා දෙකටම තිබී නැති බවය.

අධිකරණ සේවයට බඳවාගැනීමේදී බඳවා ගන්නා පුද්ගලයන්ට හොඳ පුහුණුවක් ලබාදීම අවශ්‍ය වන්නා සේ ම ඉන්පසු ඔවුන්ගේ කටයුතු නිරන්තර පරීක්ෂාවට ලක් කෙරෙන විධිමත් ක‍්‍රමයක්ද තිබිය යුතුය. උසස්වීම් ලබාදිය යුත්තේද විධිමත් ක‍්‍රමයකටය. උසස්වීම් ලබාදීමේදීද එම තනතුරේ කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍ය දැනුම තිබේද යන්න පරීක්ෂා කරන ක‍්‍රමයක්ද තිිබිය යුතුය.  

උසස් අධිකරණයේ විනිශ්චය කාරවරුන් දෙනු ලබන නඩු තීන්දුද වක‍්‍රාකාරයෙන් හෝ පරීක්ෂාවට ලක් කෙරෙන ක‍්‍රමයක් තිබිය යුතුය. විනිශ්චයකාරවරුන් සඳහා ඉඩම් ලබාදෙන ප‍්‍රතිපත්තියද අවලංගු කළ යුතුය. එවැනි දීමනා නිසා ඔවුන් අත්‍යවශ්‍ය බැඳීම්වලට යටත් වේ. විශ‍්‍රාම යන ශ්‍රේෂ්ඨාධි කරණ විනිසුරු වරුන් වෙනත් තනතුරුවලට පත් කරන ක‍්‍රමයද අත්හිටුවිය යුතුය. විශ‍්‍රාම යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන්ට තමන්ට ලැබූ සම්පූර්ණ වැටුප විශ‍්‍රාම වැටුප වශයෙන් ලබාදෙනුයේ තමන්ගේ ඉතිරි ජීවිතය තනතුරේ ගෞරවයට හේතුවන විශ‍්‍රාම ජීවිතයක් ගතකිරීම සඳහාය. විශ‍්‍රාමයෑමෙන් පසු වෙනත් තනතුරුවලට පත් කරන ක‍්‍රමයක් ඇතිවිට හොඳ තනතුරක් ලබාගැනීම සඳහා ධුරයේ කටයුතු කරද්දී ඒ අරමුණ වෙනුවෙන් ආණ්ඩුවට පක්ෂපාතීව ක‍්‍රියාකරන තත්ත්වයක් ඇතිවිය හැකිය.

නිදහස ලැබීමෙන් පසු ඉන්දියාවට නව ව්‍යවස්ථාවක් හදාගැනීම සඳහා පත් කළ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය අධිකරණ විෂය සාකච්ඡුාවට ලක් කරන ලද අවස්ථාවේදී විධායකයට ඇඟිලි ගැසිය නොහැකි, නීතියට අනුකූලව සාධාරණව ක‍්‍රියාකරන ස්වාධීන අධිකරණයක් ඇතිකර ගන්නේ කෙසේද යන්න එම සාකච්ඡුාවේ ප‍්‍රධාන තේමාව බවට පත් කරගත් බව ග‍්‍රැන්විල් ඔස්ටින් ඉන්දියානු ආණ්ඩුක‍්‍රම සම්පාදනය පිළිබඳව ඔහු ලියා ඇති කෘතියේ (Granville Austin – the Indian Constitution, cornerstond of a nation) සඳහන් කරයි. තිබෙන අධිකරණය ශීලාචාර කිරීම පිළිබඳ ප‍්‍රශ්නය අප සලකා බැලිය යුත්තේද එවැනි ප‍්‍රතිපත්ති රාමුවක පිහිටාය.

අධිකරණයේ කාර්යභාරය

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයක යහපැවැත්ම සඳහා ස්වාධීන අධිකරණ ක‍්‍රමයක් තිබීම අත්‍යවශ්‍යය. රටක නීතියේ පාලනයක් තිබිය හැක්කේ ස්වාධීන, අපක්ෂපාත, නීතියට අනුකූලව සාධාරණව ක‍්‍රියාකරන කාර්යක්ෂම අධිකරණ ක‍්‍රමයක් තිබේ නම් පමණය. නීතියේ පාලනයක් යන්නෙන් අදහස්වන්නේ භේදයකින් තොරව නීතියට යටත්ව හා නීතියට අනුකූලව ක‍්‍රියා කළයුතු බවය. එසේම නීතියේ පාලනයක් තුළ පුද්ගලයකුට දඬුවම් කළහැක්කේ නීති උල්ලංඝනයකදී නීතියට අනුකූලව පමණය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයක් තුළ අධිකරණය වෙත පැවරෙන කාර්යභාරය තීරණාත්මක වැදගත් කමකින් යුතුය. විධායකයට හෝ ව්‍යවස්ථා දායකයට මහජනයා පීඩාවට පත්කිරීමට හේතුවන අමුතු බලයක් ආරෝපණය කරගැනීමට අධිකරණය ඉඩ නොදිය යුතුය. මහජන අයිතිවාසිකම්වල සේ ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේද ආරක්ෂකයා ලෙස ක‍්‍රියා කළයුත්තේ අධිකරණයයි. ඒ සඳහා අධිකරණය ස්වාධීන විය යුතුය. තමන් වෙත පැවරී තිබෙන වගකීම් පිළිබඳව තියුණු අවබෝධයක් ඊට තිබිය යුතුය. පූර්ණ අධිකරණ සමාලෝචන බලය අපේ අධිකරණයටද ලබාදිය යුතුය. අප අපේක්ෂා කරන ශීලාචාර නාමයෙන් වැඩි කොටසක් ස්වාධීනව හා සාධාරණව ක‍්‍රියාකරන අධිකරණයක් ඇතිකර ගැනීමෙන් පමණක් වුවත් අත්පත් කරගත හැකිය.