මාතෘ භූමිය අතහැර මරදානේ චීන රෙදි සාප්පුවට

සටහන හා ඡායාරූප
රුක්මාල් සිල්වා

මගේ තාත්තා ශ‍්‍රී ලංකාවට ඇවිත් තියෙන්නේ එකදාස් නවසිය හතළිස් ගණන්වල. ජපන්නුන්ගෙ හමුදා කඳවුරුවල වැඩ කරන්ඩත් වහල් සේවයේ යොදවා ගන්ඩත් චීන මිනිසුන්ව බලහත්කාරයෙන් ගත්බව මගේ තාත්තා මට කියාදීලා තියෙනවා. මගේ තාත්තාගේ දෙමාපියන් හා වැඩිහිටියන් එයාව ගෙදරින් පිටමං කරලා රටිනුත් යන්ඩ කියලා. ජීවිතේ බේරාගන්ඩ කොහේට හරි ගිහිං හැංගෙන්ඩ කියලා. ජපනුන්ගෙන් ජීවිතේ බේරා ගන්ඩ ඕනෙ නිසා තාත්තා චීනයේ ෂංතුං ප‍්‍රාන්තයේ ඉඳලා තවත් යහළුවෝ තිස්පහක් හතළිහක් එක්ක ලංකාවට ඇවිත්. ඒ ආපු කණ්ඩායමේ දෙතුන් දෙනෙක් එක්ක මෙහෙදී රෙදි වෙළෙඳාම පටන් අරං.
මම අද කතා කරන්ඩ යන්නේ ශ‍්‍රී ලංකාවේ සිටින චීන වෙළෙඳුන් හෙවත් කොළඹ මරදානේ තිබෙන චීන රෙදි සාප්පු ගැනයි. අපි බහුතරයකට චීන රෙදි සාප්පු ගැන ලොකු උනන්දුවක් තියෙනවා. සමහරවිට චීන රෙදි සාප්පුවලින් බඩු ගන්ඩ ඒවා හොයාගෙන යනවා. අහම්බෙන් වගේ චීන රෙදි සාප්පුවලට යන අයත් ඉන්නවා. සමහර ඇඳුම් තියෙන්නේම චීන කඩවල විතරමයි. වර්තමානයේ විලාසිතා ලෝකයේ කොච්චර නං නවීන පන්නයේ සුපිරි වෙළඳ සාප්පු තිබුණත් චීන වෙළඳ සාප්පු ගැන නං අමතක කරන්ඩ බැරි තත්ත්වයක් අපේ සමහර මිනිස්සු අතර නැතුවාම නෙමේ.

ඒ නිසාම මම කොළඹ මරදානේ තියෙන චීන රෙදි සාප්පුවකට ගොඩවුණා. එය චයිනීස් යුනියන් ස්ටොර්ස්.එහි හිමිකරු ලියූ යුං ෂං. ඕනෑම චීන රෙදි සාප්පුවකට ගියාම චීන මුදලාලි ඉඳගෙන ඉන්නේ කැෂියර් එකේ. පාරිභෝගිකයින් එක්ක වෙළෙඳාම් කරන්නේ ඒ සාප්පුවේ වැඩ කරන ශ‍්‍රී ලාංකික තරුණ කාන්තාවන්. පළමු වතාවට චීන සාප්පුවකට යන කෙනෙකුට හිතෙන්නේ චීන මුදලාලිට සිංහලෙන් කතා කරන්ඩ බැහැ කියලා. නමුත් කතාවට වැටුණාම තේරෙනවා ශ‍්‍රී ලංකාවේ අපිට වඩා හොඳට චීන මුදලාලි සිංහල කතා කරනවා. ඒකට හේතුව තමයි අදවෙනකොට ලංකාවේ චීන රෙදි සාප්පුවල වැඩ කරන්නේ චීනයෙන් මෙරටට ආපු දෙවෙනි පරම්පරාවයි. ඒ පරම්පරාවේ කෙනෙක් තමයි ලියූ යුං ෂං. මේ අය සිංහල කතා කෙරුවාට පෙනුමෙන් නං සබෑම චීන්නු.

ජපනාගෙන් බේරුණා

මම චයිනීස් යුනියන් ස්ටෝර්ස් එකට ගිහිං චීන මුදලාලි එක්ක කතාවට වැටුණා. ඔහු මුලින්ම තමන්ගේ තාත්තාගේ මව් රට ගැන තාත්තා තමන්ට කියා දුන් කරුණු කාරණා සිහියට නැංවූවා.

1939 අගෝස්තු මාසේ අන්තිම දිනය ජර්මනියට ඉතාම තීරණාත්මක දිනයක් වූ බව කියමින් ඔහු මාත් එක්ක කතාවට එක්වුණා. එදා උණුසුම් ගිම්හාන හැන්දෑවේ පෝලන්ත යුද ඇඳුම් ඇඳගත් නට්සි කණ්ඩායමක් ජර්මන් දේශසීමාව අසල වූ ගලයිවිට්ස්හිගුවන් විදුලියට ඇතුල් වුණා. ඉන් එක් ජර්මන් ජාතිකයෙක් ශබ්ද විකාශන යන්ත‍්‍රයක්ගෙන ජර්මනියට විරුද්ධව යුද්ධයක් ප‍්‍රකාශ කරන්නට යන බව කියා තිබෙනවා. එසේ ප‍්‍රකාශ කරන ගමන්ම පෝලන්ත හමුදාව ජර්මන් දේශ සීමා ආරක්ෂක භටයින් සමග වෙඩි හුවමාරුවක් කරලා. එදා 1939 අගෝස්තු මාසයේ අන්තිම දිනය ගෙවී ගිහිං සැප්තැම්බර් 1 වැනිදා එළිවෙන ජාමේ වෙනකොට ජර්මන් හමුදාව පෝලන්ත හමුදාවට ඉතාම සාර්ථක ලෙස මුහුණ දීලා නට්සි ආක‍්‍රමණික යින්ගෙන් බේරිලා.

ආසියාව ආක‍්‍රමණය කළේ යුදවාදී ජපානය බව මට අපේ තාත්තා විශේෂයෙන්ම කියලා දීලා තියෙනවා. විධිමත් යුද ප‍්‍රකාශ කිරීමක් නැතිව ජපන් හමුදාව චීනයේ ඊසාන දිග පළාතේ මැන්චූරියාව ආක‍්‍රමණය කරලා තියෙන්නේ 1931 සැප්තැම්බර් 18 වැනි දා. මෙලෙස චීනය ආක‍්‍රමණය කිරීමට එවකට හිටපු ජපන් අගමැති තනාකා සෙනෙවියාමෙම යුද සැලසුම සූදානම් කරලා තියෙන්නේ 1927දී බවයි කියැවෙන්නේ.ජපන් යුදකාමීන්ගේ පැතුම් පළ කරමින් නතාකා සෙනවියා ලියූ ලියවිල්ලක්ද අපේ තාත්තා මට කියා දුන්නා අදවගේම මතකයි. තනාකා සෙනවියාගේ ලියවිල්ලේ මෙහෙම සඳහන් වී තිබුණා.

‘‘චීනය යටත්කර ගැනීම සඳහා අපි ප‍්‍රථම කොට මැන්චූරියාව හා මොංගෝලියාව යටත් කරගත යුතුය. ලෝකයයටත් කරගැනීමට ප‍්‍රථම අප යටත් කරගත යුත්තේ චීනයයි. චීනය යටත්කර ගතහැකි වූවොත් ඉතිරි ආසියානු රටවල් හා දකුණු මුහුදුවල රටවල් බියට පත්වනු ඇති බව ජපානය විශ්වාස කෙරුවා. නැගෙනහිර ආසියාව අපේ බව එවිට ලෝකයා වටහා ගෙන, අප හා සටනට ඒමට ඔවුහු කිසිසේත් එඩිතර වෙනඑකක් නැහැ.

චීනයේ සම්පත් අපට හැකි අයුරින් පාවිච්චි කිරීමට හැකිවන පරිදි අපේ සන්තකයට ගත්විට,අප ඉන්දියාවත් කොදෙව් රැුසත් සුළු ආසියාවත්, මධ්‍යම ආසියාවත් යුරෝපය පවාත් අල්ලා ගැනීමට පටන් ගනිමු. මැන්චෝරියාව හා මොංගෝලියාව කෙරෙහිද පාලනය ඇති කිරීමට අප කටයුතු කිරීම අවශ්‍ය බවද නතාකා සෙනවියාගේ ලියැවිල්ලේ සඳහන්ව තිබුණ බව මගේ තාත්තා මට බොහෝම සරලව කියා දුන්නා.

යුද්ධය පටන් අරන් අවුරුදු දහයකටත් වැඩි කාලයක් මගේ තාත්තා එයාගේ මව් රට වූ චීනයේ හිටියත්, පහුවෙනකොට ජපන්නු එයාලාගේ වහල් සේවය සඳහා චීන පිරිමින්ව බලහත්කාරයෙන් අරං තියෙනවා. එතකොට තමයි තාත්තාගේ වැඩිහිටියෝ එයාව රටිං පිටමං කරලා තියෙන්නේ. තාත්තා මේ ගමන තනිවම ආපූ එකකුත් නෙමේ. එයා ජීවත් වූ ෂංතුංප‍්‍රාන්තයේ තවත් පිරිමි කිහිප දෙනෙක් එක්ක තමයි ලංකාවට ඇවිත් තියෙන්නේ.

පවුලේ තොරතුරු

මගේ තාත්තා ලියූ චිං ටූං, අම්මා මැගී.තාත්තා ලංකාවට ආවාට පස්සේ ආයෙමත් ලංකාවේ නෝනා කෙනෙක්වත් විවාහවෙලා. චීනයේදී වූ පළවෙනි විවාහයට දාව දරුවෝ දෙන්නෙකුත් එයාට ඉඳලා තියෙනවා. මම උපදින්නේ ලංකාවට ඇවිත් සිංහල නෝනා කෙනෙකුව කසාද බැඳගත් විවාහයකින්. මගේ අම්මා සැබැවින්ම සිංහල කාන්තාවක්. ඇය එච්. ජයන්ති. ගම් පළාතයි ලිපිනයයි පත්තරේට දානඑක හොඳ නෑ නේද කියලාලියූ යුං ෂං අකමැත්ත පළ කෙරුවා.

තාත්තා ලංකාවට ආවාට පස්සේ නැවත චීනයට ගියේ නැද්ද. චීනයේ නෝනාව සහ දරුවෝ දෙන්නාව බලන්ඩ ගියේ නැද්ද කියලාත් මම අහන්ඩ අමතක කළේ නැහැ. ඒ ප‍්‍රශ්නයට ලියූ යුං ෂංගේඋත්තරය වුණේ මෙන්න මෙහෙමයි. මම ඔය ප‍්‍රශ්න තාත්තාගෙන් ඇහැව්වා. මම වයසින් යමක් කමක් අවබෝධ කරගන්ඩ පුළුවන් වෙනකොටම මට තේරුණා මගේ තාත්තා වෙනස් කෙනෙක් කියලා. ඒ කියන්නේ ශ‍්‍රී ලංකාවේ අයත් එක්ක ගත්හාම වෙනස් ස්වරූපයක් තිබුණා. ඒ වගේම ඊට නොදෙවෙනිව අම්මාත් මොකක්දෝ වෙනස් ස්වරූපයක් දරන බවත් තේරුම් ගියා. ඊට පස්සේ මම ඒ සියල්ලම ප‍්‍රශ්න අහලා තේරුම් ගන්ඩ උත්සාහ කළා. හැබැයි මට තාත්තාගෙන් ප‍්‍රශ්න අහන්ඩත් එයාට ඒවාට උත්තර දෙන්ඩත් එච්චරම ලේසි පහසු වුණේ නැහැ. මොකද එයා සම්පූර්ණයෙන්ම චීන භාෂාව කතා කරපු කෙනෙක්. සිංහල භාෂාව ගැන ඒ තරම්ම දැනුමක් තිබුණේ නැහැ.ඒ සියල්ලම හරියට නිවැරදිව තේරුම් ගන්ඩ මට මගේ අම්මා උදව් කළා. අම්මා යන්තමින් වගේ චීන භාෂාව දැනගෙන හිටියා.

මේ වගේ කතාවකට කාත් එක්ක හෝ එකතු වුණාම පැන්න ගමන් අහන්ඩ කටට එන ප‍්‍රශ්නයකුත් තියෙනවා. ඒ ප‍්‍රශ්නය මෙය ලියන ලියුම්කරුට විතරක් නෙමේ පාඨක ඔබටත් දැනෙනවා ඇති කියලා මට හිතෙනවා. ඒ නිසාම මම ලියූ යුං ෂංගෙන් ඇහැව්වා චීනයේ අර ගෑනිටයි ළමයි දෙන්නාටයි මොකද වුණේ කියලා. මේ ඔහු දුන්නු උත්තරේ. තාත්තා මට කියලා දීලා තියෙන විදියට එයා චීනයෙන් ඇවිත් තියෙන්නේ නැවතත් චීනයට යන්ඩ බලාගෙන නෙමේ.ශ‍්‍රී ලාංකික කාන්තාවක් වූ මගේ අම්මා චීන ජාතිකයෙක් වූ තාත්තාව විවාහ කරගෙන තියෙන්නේ ඒ නිසාමයි.

තාත්තා එකදාස් නවසිය හතළිස් ගණන්වල ලංකාවට ආවාට පස්සේ එයාගෙ ගම රට බලලා එන්ඩ නැවත චීනයට ගිහිං තියෙන්නේ හරියටම එකම එක වතාවක් විතරමයි.ඒ 1985 අවුරුද්දෙ. ඒ ළමයි දෙන්නාගෙන් එක ළමයෙක්ව නං මුණ ගැහිලා නැහැ. අනිත් ළමයා තාත්තාට හොඳට සලකලා කන්ඩ බොන්ඩ දීලාතමයි එවලා තියෙන්නේ. ඉන් පස්සේ චීනයේ බිරිඳ හෝ ඒ ළමයින් ගැන කිසිම සඳහනක් කෙරුවේ නැහැ. මගේ අම්මාත් මේ ටිකම කිව්වා.ලියූ එක්ක කතා කරන ගමන් මට තේරුණා ඒ කරුණු කාරණා ගැන හාරා අවුස්සනවාට ඔහු වැඩිය කැමති නැති බව. හැබැයි ඔහු අවංකව කියපු කරුණු කාරණා බොහොමයක්ම තිබුණා. චීනයෙන් මෙරටට ඇවිත් කඩ සාප්පු වෙළඳාම කරන චීන මිනිස්සු ගැන ලංකාවේ මිනිස්සු දැනුගතයුතුයි කියන ලොකු උනන්දුවක් ලියූට තිබුණා.

ශ‍්‍රී ලංකාවේ වෙළඳාම

ශ‍්‍රී ලංකාවට ඇවිත් මගෙ තාත්තා මුලින්ම කරලා තියෙන්්නේ ජංගම රෙදි වෙළඳාම. හෝමාගම, හොරණ සහ රත්නපුර ආදී රබර්වතු ආශ‍්‍රිත ප‍්‍රදේශවල ඉන්දියානූ දෙමළ සම්භවය ඇති ජනතාව ජීවත් වුණා. ඒ අය අතර ජංගම රෙදි වෙළඳාම කරලා තියෙන්නේ මගේ තාත්තා ඇතුළු තවත් කිහිප දෙනෙක්. ඒ අවදියේ මේ ප‍්‍රදේශවල මගේ තාත්තා සහ අනිත් අය රෙදි වෙළඳාම අරඹනකොට වෙන කිසිම කෙනෙක් මෙහිි රෙදි වෙළඳාම කරලා තිබුණේ නැහැ. බිස්නස් එක සරුවටම කරලා හොඳ වාසිත් තිබිලා. සෑහෙන්ඩ දුෂ්කරතාවලටත් මුහුණ දීලා.

සෑහෙන දුෂ්කරතාවලට මුහුණ දුන්නා කිව්වාම ඒ දුෂ්කරතා ගැනත් අපිට නොඅසාම බැහැනේ. ඒ ගැනත් මම ලියූගෙන් ඇහැව්වා. ඒ කාලේ රබර් වතු ආශ‍්‍රිතව ජීවත් වූ ඉන්දියානු දෙමළ සම්භවය ඇති මිනිසුන්ට වෙළඳාම් කළේ බොහෝ විට ණයටයි. සමහර අවස්ථාවන්වලදීඒ අය ණය මුදල් කලට වේලාවට බේරුම් කරලාත් නැහැ.තාත්තායි එයාගෙ යාළුවොයි ඒ අයට විරුද්ධව පොලිසි ගිහිං තිබෙන බව ලියූ ප‍්‍රකාශ කළේ කනගාටුවෙන් වගේ.

තාත්තා රෙදි වෙළඳාම කරලා තරමක් හෙම්බත්වෙලා කළකිරුණ සවභාවයෙන් ඉන්නකොට රෙදි වෙළඳාම අතහැරලා හෝටලයක වැඩට ගිහින්. කොළඹ චැතැම් වීදියේ හෝටලයක කැෂියර් හැටියටත් වැඩ කරලා.මේ හෝටලයේ අයිතිකාරයා හොඳ සල්ලිකාරයෙක් කියලා තමයි ආරංචිය. මෙයාගේ උදව්වෙන් හා තවත් චීන මිත‍්‍රයින් දෙදෙනෙක් එක්ක එකතුවෙලා තාත්තා ත‍්‍රිකුණාමලයේදී රෙදි සාප්පුවක් පටන් අරන්.

මගේ උපන් බිම ත‍්‍රිමලේ

ත‍්‍රිකුණාමලයේ සිටින මේ අවදියේ තමයි ලියූ යුං ෂංගේ උපත සිදු වී තිබෙන්නෙ. ලියූ උපත ලබා තියෙන්නේ 1959දී. ත‍්‍රිකුණාමලයේ ඉන්න අවදියේ තාත්තාට ආ සිංහල නෝනා කෙනෙකුගේ විවාහ මංගල යෝජනාවකින් තාත්තා විවාහ වී තිබෙන බව ඔහු කියනවා. ලියූගේ ප‍්‍රාථමික අධ්‍යාපන කටයුතු ත‍්‍රිකුණාමලයේදී සිිදුවෙලා. ඔහුට අවුරුදු එකොළහක් වෙනකොට 1970දී සිය පවුලේ උදවිය අනුරාධපුරේ පදිංචියට ඇවිත් එහි රෙදි සාප්පුවක් පටන් අරන්. මෙතැනින් පස්සේ ලියූගේ ජීවිතයේ මෙනවාද සිද්ධ වුණේ කියලා අපි දැනගන්ඩ ඕනේ. මොකද මෙතෙක් වෙලා අපි ලියූඑක්ක කතා කළත් එයා කිව්වේ අම්මා තාත්තා ගැනයි. විශේෂයෙන් ලියූඑයාගේ තාත්තා ගැන ගොඩක් කරුණු කාරණා කතා කළා.

මම ලියූගෙන් ඇහැව්වා අනුරාධ පුරයට ඇවිත් මොනවාද කෙරුවේ කියලා ලියු මට උත්තර දුන්නේ මෙහෙමයි.

අනුරාධ පුරයේ දී මම දරැුඛවිභාගයට පෙනී හිටියා. ඒ වෙනකොට මමත් අම්මාත් තාත්තාගේ රෙදි සාප්පුවේ වැඩවලට උදව් කළ නිසා මට හරි හැටි අධ්‍යාපන වැඩවලට කාලය දෙන්ඩ බැරිවුණා. අපි පවුලේ ඔක්කොම එකට එකතුවෙලා රෙදි සාප්පුවේ වැඩවලට කාලය කැප කෙරුවා.

මගේ විවාහය

මගේ තාත්තාගේ චීන මිත‍්‍රයෙක්ගෙ දියණියක් සමග මම විවාහ වුණේ විවාහ මංගල යෝජනාවකින් 1984දී. ඇය එච්. ජයන්ති. නුවර ප‍්‍රදේශයේ තැනැත්තියක්. ඇයගේ තාත්තාත් චීන ජාතිකයෙක් වගේම අම්මා ශ‍්‍රී ලාංකික කාන්තාවක්. අපි දෙන්නාම චීන පියවරුන්ගෙන් ශ‍්‍රී ලාංකික කාන්තාවන්ට දාව උපන් දරුවෝ. මගේ තාත්තායි මගේ බිරිඳගේ තාත්තායි චීනයේ ෂංතුං ප‍්‍රාන්තයේ ඉඳලා ලංකාවට ආපූ හොඳ යහළුවො. මේ විවාහයෙන් පස්සේ තමයි අපි කොළඹ මරදානට ආවේ. මේවෙනකොට මම මරදානේ පවත්වාගෙන යන මේ රෙදි සාප්පුව මගේ බිරිඳගෙ තාත්තාගෙ. අපි දෙන්නාම එකතුවෙලා මේ රෙදි සාප්පුව පවත්වාගෙන යනවා. අපිට දරුවො දෙන්නෙකුත් ඉන්නවා. ඒ අයත් දැන් තරුණ වයසේ. මගේ තාත්තා 1991 ජූලි 2වැනි දා හෘදයාබාදයකින් මරණයට පත් වුණා.

චීන සාප්පුවේ විශේෂත්වය

චීන රෙදි සාප්පුවලට ඇත්තටම මිනිස්සු එන්නේ ඇයි කියන කාරණයත් මම ලියූගෙන් අහගත්තා. ඔහු කියන විදිහට හැත්තෑව අසූව දශකයේදී මරදානේ චීන රෙදි සාප්පුවලට ලොකු ඉල්ලූමක් තිබිලා තියෙනවා. විශේෂයෙන්ම හලාවත, මීගමුව, වෙන්නප්පුව වගේ ප‍්‍රදේශවල ඉඳලාම මිනිස්සු මෙහි ඇවිත් රෙදි අරන් තියෙනවා. අද ලංකාවේ සුපිරි වෙළඳ සාප්පුවල නවීන පන්නයේ විලාසිතා සහිත රෙදිපිළි තිබුණත් චීන රෙදි සාප්පු මිනිස්සු තවමත් අමතක කරලා නැහැ කියලා තමයි ලියූ කියන්නේ.
චීන රෙදි සාප්පුවලට ඇඳුම් ගේන්නේ චීනයෙන් කියලා එහෙම මිනිස්සු හිතනවා ඇතිද?. මම ලියූගෙන් එහෙමත් ඇහැව්වා. ලියූ මෙන්න මෙහෙම කිව්වා. අපෝ නැහැ. මිනිස්සු ඒ තරම් මෝඩ නැහැ. අපිත් රෙදි ගේන්නෙ පිටකොටුව තොග වෙළඳුන්ගෙන් කියලා මිනිස්සු දන්නවා.
මේ ලිපිය ලියන්ඩ චයිනීස් යුනියන් ස්ටෝර්ස්හෙවත් ලියූ යුං ෂංගේරෙදි සාප්පුවේ ඉන්නකොට මටත් තේරුම් ගියා චීන රෙදි සාප්පුවල මොකක්දෝ විශේෂත්වයක් තිබෙන බව. ඒ විශේෂත්වය සමග මෙහි මොකක්දෝ සංයමයකුත් තිබුණා. අද අපේ රටේ වායුසමනය කළ සුපිරි පන්නයේ රෙදි සාප්පු කොච්චරනං තිබුණත් චීන රෙදි සාප්පුවලටම මිනිස්සු එන්නේ ඒ නිසාම වෙන්ඩත් ඇති කියලා මට හිතුණා.