රාවය

මෛත‍්‍රී පාලනයෙන් නිර්වාණය අපේක්ෂා කළ හැකි ද?

මෛත‍්‍රී පාලනයෙන් නිර්වාණය අපේක්ෂා කළ හැකි ද?

අජිත් පැරකුම් ජයසිංහ

මෛත‍්‍රී පාලනය තුළ සතියක් ගෙවී ගියේ ය. සතියක් යනු එතරම් දිගු කාලයක් නො වේ. එහෙත්, මේ සතිය තුළ අනාගතය ගැන වැදගත් සංඥා කීපයක් ම දකින්නට ලැබිණි. එම සංඥා මෙසේයි:
මෙය විප්ලවයක් නොව බල සීරුමාරුවකි

සිදු වී තිබෙන්නේ ධනවාදයේ අර්බුදය පුපුරා ගොස් එහි ස්වරූපයේ වෙනසක් සිදු වීම මිස සමාජවාදී විප්ලවයක් නොවන බව මතක තබාගෙන කටයුතු කළ යුතු ය. එහෙයින් ඇතැමුන් අපේක්ෂා කරන ආකාරයේ දැවැන්ත සමාජ විපර්යාසයක් සිදු වන්නේ නැති බව කනගාටුවෙන් වුවත් කිව යුතු ය. එවැනි බලාපොරොත්තු තබාගෙන සිටි අයට අලූත් කලකිරීම් ඇති කර ගැනීමට සිදු වනු ඇත. එහෙත් සුබවාදී නොවී සිටිය යුතු බවක් එයින් අදහස් වන්නේ නැත. වඩා වැදගත් වන්නේ සුබවාදී වෙමින්, අධෛර්ය නො වෙමින් අරගලය පවත්වාගෙන යාමයි.

මෛත‍්‍රීපාල සිරිසේන යනු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සිටි සාමාන්‍ය ඇමතිවරයකු මිස සුවිශේෂ අරගලකරුවෙක් නො වේ. ඔහු වනාහි දහඅටවන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා ශිරානි බණ්ඩාරනායක දෝෂාභි යෝගයට ලක් කිරීම වැනි අධම ක‍්‍රියාවලට අත එසවූ අයෙකි. ඔහු තුළ යම් සරලකමක් දක්නට ලැබිණි. මහින්ද රාජපක්ෂගේ මජර ක‍්‍රමය වෙනස් කිරීමේ අරගලයට නායකත්වය දීමේ අභියෝගාත්මක, එඩිතර තීරණයකට එළඹීමට ඔහු නිර්භීත වූයේ ය. ඔහුගේ වටිනාකම ඇත්තේ එතැනයි.

ඔහුත්, ඔහු වටා ඒකරාශී වූ පිරිසත් මෙහෙයවනු ලබන්නේ වෙනසක් සඳහා මහජන අභිලාෂය විසිනි. ජනතාව හා ජනමාධ්‍ය විසින් කරනු ලබන බලපෑම මෙහිදී ඉතා වැදගත් ය.

අලූත් බෝතලේ පරණ වයින්

අලූතින් පත් කරන ලද කැබිනට් මණ්ඩලය සිදු වූ වෙනසේ තරම නිරූපණය කරන සංකේතයක් ලෙස සැලකිය හැකි ය. අමාත්‍ය මණ්ඩලය පත් කර තිබෙන්නේ තාවකාලික පදනමකින් දින 100 වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම සඳහා ය. එය කලින් අමාත්‍යාංශවලට සාපේක්ෂව ප‍්‍රමාණයෙන් කුඩා ය. දක්ෂකමට වඩා ජ්‍යෙෂ්ඨත්වයට මුල් තැන දී ඇති බව පෙනේ. එසේම, මෙම දින 100 තුළ පෙන්වන කාර්යසාධනය මත අනාගත ඇමතිවරුන් තීරණය වනු ඇත.

ඇමති මණ්ඩලයෙන් 70%ක් ම එක්සත් ජාතික පක්ෂයේ ය. ඇතැම් ඇමති තනතුරු මතභේදාත්මක ය. විශේෂයෙන් ම, රවි කරුණානායකට මුදල් ඇමතිකම දීම හා අකිල විරාජ් කාරියවසම්ට අධ්‍යාපන ඇමතිකම දීම ජනතාවගේ අවධානයට ලක් වී තිබේ. රනිල් වික‍්‍රමසිංහ එමගින් පෙන්වා තිබෙන්නේ සිය පරණ ලක්ෂණයි.
එක්සත් ජාතික පක්ෂය සිතාගෙන සිටින්නේ මෙම ජයග‍්‍රහණය තමන්ගේ එකක් බවයි. තමන් මෛත‍්‍රීපාලට ජනපති පුටුව පිදුවා යයි රනිල් වික‍්‍රමසිංහ සිතාගෙන සිටින බව පෙනේ. ඒ කියන්නේ රාජපක්ෂ හිතවාදීන් වෙනුවට තමන්ගේ ම දූෂිතයන් පිරිසක් ස්ථානගත කරගෙන පාලනය ගෙන යාමයි. පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව සැබෑ අරගලයක් කළ එක්සත් ජාතික පක්ෂයේ නව පරපුර පසුපසින් තබා පැරණි දූෂිතයන් ඉදිරියට ගැනීමෙන් අප කියන දෙය ඔප්පු වේ.
වෙනසක් වෙනුවෙන් පැවති ජනතා අභිලාෂය මත ලැබුණු ඡුන්ද එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ලැබුණු ඒවා ලෙස තේරුම් ගැනීම එම පක්ෂය කර ගන්නා බරපතල වරදකි. මීට කලින් එක්සත් ජාතික පක්ෂ පාලනයන් තුළදී ක‍්‍රියාත්මක කරන ලද ක‍්‍රමය ම දින 100 තුළත් ක‍්‍රියාත්මක කරන්නට රනිල් වික‍්‍රමසිංහ කටයුතු කරමින් සිටින බවක් පෙනේ. අපට කියන්නට තිබෙන්නේ කරලා බලමු කියා ය.

ධනවාදීන් අතර සම්මුති

රනිල් වික‍්‍රමසිංහ රජය මහින්ද රාජපක්ෂ සමග සම්මුතියකට එළඹ තිබෙන බවට සැක කළ හැකි සිද්ධි ගණනාවක් සිදු විය. ඒ අතරින් පළමුවැන්න වන්නේ ජනාධිපතිවරණයට පසු දින සිදු වූ රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණය අසාර්ථක වූ පසු රනිල් වික‍්‍රමසිංහ කළ මැදිහත්වීමයි. එය ලේ වැගිරීමක් නැවැත්වීමට කළ මැදිහත්වීමක් වුවත්, රාජ්‍ය විරෝධී ක‍්‍රියාවකට එරෙහිව කටයුතු නො කර සිටීමේ සම්මුතියකට එළඹීමට ඔහුට අයිතියක් නැත. සමස්තයක් ලෙස ම රාජපක්ෂ පාලනයේ දූෂණ හා නීති විරෝධී ක‍්‍රියාවලට එරෙහිව කටයුතු කිරීමේ උවමනාවක් එක්සත් ජාතික පක්ෂ නායකත්වය පැත්තෙන් දකින්නට ලැබෙන්නේ නැත.

දූෂිතයන්ට දඬුවම් දීම

රාජපක්ෂ පාලනය තුළ මහජන මුදල් ගසා කෑ හා විවිධ නීති විරෝධී ක‍්‍රියාවල යෙදුණු අයට එරෙහිව කි‍්‍රයාමාර්ග ගැනීම සිදු වෙමින් පවතින්නේ ආණ්ඩුවට පිටින් ය. ජාතික හෙළ උරුමය පවා මෙහිදී කටයුතු කරන්නේ ආණ්ඩුවට පිටින් සිටිමිනි. මංගල සමරවීර රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයට එරෙහිව රහස් පොලිසියට කළ පැමිණිල්ල ද එවැනි ය.

දූෂිතයන්ට දඬුවම් කිරීම හේතු දෙකක් නිසා අත්‍යවශ්‍යය. පළමුවැන්න වන්නේ එවැනි ක‍්‍රියා කිරීම සම්බන්ධයෙන් දෙවරක් සිතන්නට දේශපාලකයන් පෙළඹවීමට එය හේතු වේ. අනෙක් පැත්තෙන් මහින්ද රාජපක්ෂ ඇතුළු පසුගිය ආණ්ඩුවේ දූෂිත දේශපාලකයන් සම්පූර්ණ යෙන් ම දේශපාලන කරළියෙන් පිටමං කර දැමිය යුතු ය. ඔවුන්ට අනාගත දේශපාලනය තුළ ඉඩක් ඉතිරි නො කිරීම දේශපාලනිකව රටට අත්‍යවශ්‍ය ය.

අග විනිසුරු

අග විනිසුරු මොහාන් පීරිස් තවමත් තනතුරේ එල්ලී සිටින ආකාරය දෙස බැලූ විට ඔහුත්, ආණ්ඩුවත් අතර යම් සම්මුතියක් ඇති වී තිබේ ද යන සැකය මතු වේ. ආණ්ඩුවට අවශ්‍ය ආකාරයේ නඩු තීන්දු දීමේ සම්මුතියක් ඇති වනවා නම් එය බරපතළ ප‍්‍රශ්නයකි.

උතුර මිලිටරිහරණයේ ආරම්භය

උතුරේ ආණ්ඩුකාර ධුරය හෙබවූ විශ‍්‍රාමික හමුදා නිලධාරියකු වූ මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි ඉවත් කර ඔහු වෙනුවට විදේශ සේවයේ සිටි පළපුරුදු නිලධාරියකු හා විදේශ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු ද, ලංකා සාම ක‍්‍රියාවලි සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ද ලෙස කටයුතු කළ එච් එම් ජී එස් පලිහක්කාර එම තනතුරට පත් කර තිබේ. මෙම පියවර ජාතික සංහිඳියාව ඇති කිරීමේ වැදගත් ක‍්‍රියාමාර්ගයක් ලෙස අපි අගය කරන්නෙමු.
එය එක පැත්තකින් උතුර මිලිටරිහරණය කිරීමේ පියවරක් ලෙස ද සැලකිය හැකි ය. මිලිටරිහරණය යනු ආරක්ෂාව ඉවත් කිරීම නො වේ. බෙදුම්වාදී ජාතිවාදයෙන් රට ආරක්ෂා කළ යුතු ය. එහෙත්, දෙමළ ජනයාගේ සාමාන්්‍ය ජන ජීවිතයට අනවශ්‍ය තරම් හමුදාව මැදිහත් වීම නැවැත්විය යුතු ය. අධි ආරක්ෂක කලාප මුවාවෙන් ජනතාවගේ ඉඩම් විශාල වශයෙන් අල්ලාගෙන සිටීම වෙනුවට ආරක්ෂක කටයුතු වඩා ක‍්‍රමවත් කළ යුතු ය.

උතුරේ සාමාන්‍ය තත්ත්වය ඇති කිරීම කළ යුතුව තිබෙන්නේ සිංහල ජාතිවාදී නායකයන්ට එය මහජනතාව ප‍්‍රකා්ප කිරීම සඳහා භාවිත කිරීමට කිසිදු ඉඩක් නො තබමින් ය. මෙහිදී දෙමළ දේශපාලන නායකයන් පැත්තෙන් ද වගකීම් සහගත හැසිරීමක් අවශ්‍ය ය.

උතුරේ ප‍්‍රශ්නය විසඳීමේදී දෙමළ නායකයන් පැත්තෙන් වගකීම් සහගතභාවය ඇති කර ගැනීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ජයග‍්‍රහණයකි. මෙම වගකීම්සහගතභාවය ජනාධිපතිවරණ ප‍්‍රචාරණ ව්‍යාපාරය තුළ කැපී පෙනිණි. බලය බෙදා ගැනීම ඔස්සේ ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් සෙවීමේදී සිංහල සමාජය තුළ ඇටුවම් බැස ඇති ජාතිවාදී සැකසංකාවන් දුරලීම සඳහා දෙමළ දේශපාලන නායකත්වයෙහි වගකීම්සහගතභාවය ඉතා වැදගත් ය.

අරගලය ඉදිරියට

ඒකාධිපති පාලනයට නැවත හිස ඔසවන්නට ඉඩ නො දිය යුතු ය. දින 100 වැඩසටහන වෙනුවෙන් ආණ්ඩුව ආරක්ෂා කළ යුතු ය. ආණ්ඩුවේ ගමන් මග දෙස සාවධානයෙන් බලා සිටීම හා වැරදි නිර්දය ලෙස විවේචනය කිරීම අත්‍යවශ්‍යය. එසේ ම, දින 100 වැඩසටහන තුළ කරන වෙනස වත්මන් ආණ්ඩුවේ කාර්යසාධනය බවට පත් කළ යුතු ය. ජන අරගලය ඉදිරියට ගෙන යා යුතු ය.