රාවය

නළු ගැමියා වෙනුවට ඇත්ත ගැමියාට ළංවෙමු

නළු ගැමියා වෙනුවට ඇත්ත ගැමියාට ළංවෙමු

 

නව ආණ්ඩුව කියූ පරිදිම ජන. 21දා වන විට ඉන්ධන මිල ඇඟට දැනෙන ප‍්‍රමාණයකින් අඩු කළේය. මැතිවරණ අල්ලසක් වෙනුවෙන් පවා රාජපක්ෂ මහතා පෙට‍්‍රල් මිල අඩු කළේ රු. 10කින් පමණි. මෙවර අඩුවීම රු. 33කිි. රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව කෙතරම් දුරට මහජනයා මත බදු බර පටවා තිබුණේද යන්න මෙවැනි කාරණයකින් පවා තහවුරු වෙයි. තොරතුරු දැනගැනීමේ පනත පෙබරවාරි 20 වැනිදාට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ව්‍යවස්ථා සංශෝධනයත් නිසැකවම කඩිනම් වනු ඇත. ඒ අනුව දින සියයේ වැඩපිළිවෙළ පොරොන්දු ප‍්‍රකාරව කෙරෙන බවක් පෙනෙන්නට තිබේ. පොරොන්දු දේශපාලනය මෙතෙක් රටේ ඉහටත් උඩින් තිබුණි. එහෙත් පොරොන්දු ඉටු කරන දේශපාලනය මෙතෙක් දෙපතුල් ළඟවත් නොතිබුණි. රටට අවශ්‍ය පොරොන්දු ඉටුකරන දේශපාලනයකි. ඒ අනුව වත්මන් ආණ්ඩුව කියන දේ කරන ආණ්ඩුවක් බවට ආරම්භයේදීම පත්වී තිබීම පැසසුම් කටයුතුය.

ඉකුත් දවසක හිටපු ජනපතිවරයා දළදා මාලිගයට ගියේය. එහි එක් රොක්වූ කාන්තාවන් පිරිසක් එතුමාගේ පරාජය ගැන යළිත් මැසිවිලි නැගූහ. පරාජය වී මැදමුලනට ගිය විට ‘ඇයි මැරුවෙ නැත්තෙ’ කියා ගම්මු කෙළින්ම ඇසූහ. ඒවා ඇසෙන දකින විට මහින්ද රාජපක්ෂ මහතා වටා සිටි ජනතාව ඔහුටත් වඩා නරකයැ’යි සිතේ. ඉන්ධන මිල අඩුකර ජනයාට සහන දී රට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මාවතට යළි යොමුකරමින් සිටින මිනිසා දෙස රාජපක්ෂලෝලීන් දැන් හැරී බැලිය යුතුය. මෛත‍්‍රීපාල සිරිසේන මහතා ළඟ ශරීර භාෂාවක් (body language) නැති බව සැබෑය. ඔහු දුවන පනින රග්බි තබා එල්ලේවත් ගහන පින්තූර කොහේවත් දක්නට නැති බවත් සැබෑය.

පෝලිමට සෙට් කර තැබූ ළමයි වඩා ගන්නවා වැනි රඟපෑම් නොකරන බවත් සැබෑය. එහෙත් මේ මොනවා නොකළත් මෛත‍්‍රී යනු පොළොවේ ඉඳන් තවදුරටත් කට්ට කාගෙන දේශපාලනය කරන්නට කැපවන්නකු බව නම් පැහැදිලිය. කළයුත්තේ ළමයි වඩාගෙන තාත්තා කියවා ගැනීම නොව ඒ දරුවන්ට යහපත් අනාගතයක් සැකසිය හැකි ආර්ථිකයක් ළමයින්ගේ ඇත්ත තාත්තලාට උදාකරදීමය. එය නොකර දරුවන්ගේ සොටු සෙම පිසලා අනෙක් පැත්තෙන් උන්ගේ තාත්තලා හිඟමනට පත්කරන ආර්ථිකයක් රාජපක්ෂලා රටට උදාකර දුනි. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස පත්වූයේ රාජපක්ෂ නම් ප‍්‍රබන්ධය වෙනුවට එතනට ඇත්ත මිනිසකු අවශ්‍ය යුගයකය. නළු ගැමියා වෙනුවට ඇත්ත ගැමියකු අවශ්‍ය යුගයකය. ඔහු පසුගිය දිනෙක ජනමාධ්‍යවේදීන්ට ප‍්‍රවෘත්ති තෝරාගන්නේ කෙසේද යන්නත් පහදා දුන්නේය. ප‍්‍රවෘත්තිමය වටිනාකමක් නැත්නම් ජනාධිපති වූ පමණින් මගේ කතාවක් වුව ජනමාධ්‍යයෙහි පළ නොකළ යුතු බව හෙතෙම කීවේය. එය අපි දන්නා මෙරට ජනාධිපතිවරයෙක් හෝ වෙනත් දේශපාලනඥයෙක් නම් කියන කතාවක් නොවේ. එහෙත් ජනාධිපති මෛත‍්‍රී එසේ කීවේය. ජනාධිපති නම් ඔහුගේ ඕනෑම දෙයක් පැය ගණන් විකාශනය කරන දුෂ්සම්ප‍්‍රදායක් ඇති රටක ප‍්‍රවෘත්ති වාර්තාකරණය ගැන ඔහු දුන් ආදර්ශය වැදගත්ය. ඉන් නොනැවතී ඔහු අත්හැරීම පිළිබඳ පාඩමද සමාජයට කියා දුන්නේය. ඒ මෙය තමන්ගේ ප‍්‍රථම හා අවසන් ජනාධිපති ධුර කාලය කියමිනි. හම්බන්තොටින් හිට්ලර්ගේ සුළඟ වැදුණු මිනිසකුත්, පොළොන්නරුවෙන් මැන්ඩෙලාගේ සුළඟ වැදුණු මිනිසෙකුත් බිහිවීම එක් අතකින් අපූරු සංසිද්ධි දෙකකි.

දළදා මාලිගාවේ සිට ජාතිය ඇමතීමේ උත්සවයේ පටන් රාජ්‍ය උත්සව, ප‍්‍රතිපත්තිගරුකව වැඩ කිරීම, සහනශීලී ප‍්‍රතිපත්තියකින් රාජ්‍ය පාලනය, පුද්ගලයා වෙනුවට මහජන හිතකාමී වැඩසටහන් ඉදිරියට ගැනීම වැනි කටයුතු දෙස බඬේ බිජු තියාගෙන බලන්නේ නැතුව ඒවා ජනතාව පිළිගන්නවා නම් ඔවුන්ට එක් දෙයක් කළ හැකිය. ඒ ඉදිරි මහ මැතිවරණයකදී වත්මන් සහයෝගිතා ආණ්ඩුවේ අනාගත වැඩපිළිවෙළ සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය කරන බුද්ධිමත් මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත්කර එවීමය. එනම් මර්වින් සිල්වලා, රෝහිත අබේගුණවර්ධනලා, වීරවංසලා, සජින් වාස්ලා පන්නයේ බෙලිකටු මළු සහ මෝල්ගස් වංගෙඩි බඳු මිනිසුන්ට පාර්ලිමේන්තුව පැත්ත පළාතේවත් ඒමට නොහැකි වන ලෙස තම තීන්දු ගැනීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය භාවිතයට ගැනීමය. මේ රටේ ජනයා පළමුව ජනතා නියෝජිතයා යන්නෙහි අරුත තමන් තුළ පසිඳලිය යුතුය. මහජන නියෝජිතයා යන්නෙහි අරුත අප සැබෑවටම දන්නෙහි නම් පාර්ලිමේන්තුව සැපිරී තිබිය යුත්තේ කුඩු, එතනෝල්කාරයන් හා නිදන් බිඳින්නන්ගෙන් නොවේ. ඒ පැරණි ඛේදනීය තත්ත්වයන් පරාජය කර මහජනයා වෙනුවෙන් ඇත්තටම පෙනී සිටින හා වැඩ කරන නියෝජිතයන් තෝරා ගැනීමට යළි ඉක්මනින් අවස්ථාවක් ජනතාවට ලැබෙනු ඇත. තමන්ගේ ආසනයේ සංවිධායක වූ පමණින් ඕනෑම මහජන විරෝධියකු පත්කරනවාද තමන් කැමති පක්ෂයට සම්බන්ධ නැති වූවත් වෙනත් පක්ෂයක සිටින ප‍්‍රතිපත්තිගරුක නියෝජිතයකු පාර්ලිමේන්තුවට පත්කර ගන්නවාද කියන තැනට මෙවර ජනයාට බාධාවකින් තොරව පැමිණිය හැකිය. ඊට උපකාරීවන්්නේ වත්මනෙහි ගොඩ නැගී තිබෙන සහයෝගිතා දේශපාලනයයි. පාර්ලිමේන්තුවට කවර පක්ෂයකින් මන්ත‍්‍රීවරයෙක් පත්ව ආවත් ප‍්‍රශ්නයක් නැත. ඔහුට ඉටුකරන්නට වෙන්නේ සහයෝගිතා ආණ්ඩුවේ වැඩසටහනය. ඔහුගේ ප‍්‍රතිපත්තිය වියයුත්තේ මෛත‍්‍රීවාදී හෝ රනිල්වාදී එකක් නොවේ. සහයෝගිතා ආණ්ඩුවාදී එකකි. ලංකාව දැඩි පක්ෂවාදී ආස්ථානයක සිට මෙතෙක් කටයුතු කළ රටකි. එහෙත් එයින් රට අගතියට මිස සුගතියට නොගියේය. තනි පක්ෂයකින් නොකළැකි එහෙත් පක්ෂ ගණනාවකින් සැදි සහයෝගිතා ආණ්ඩුවකින් කළහැකි වැඩ කොටස කුමක්දැ’යි යන්නත් දැන් පිරික්සා බැලීමට අවකාශයක් ලැබී තිබේ. දැන් කළයුත්තේ එම අවකාශය ප‍්‍රායෝගික එකක් බවට පත්කර ගැනීමට යත්න දැරීමය.