තෙමසෙක් ලංකාවට උචිත නොවන්නේ ඇයි?

රොහාන් සමරජීව

රජය සතු ආයතනවල ජ්‍යෙෂ්ඨ තනතුරු සඳහා විනිවිද නොපෙනෙන ක‍්‍රම යොදාගනිමින්, කඩිනමින් කෙරෙන පත්කිරීම්වලින් සිදුවන හානිය අවම කරගැනීමේ අපේක්ෂාවෙන් තාවකාලික විසඳුමක් ලෙස රජයට අයත් සමාගම් සහ සංස්ථාවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් හැර වෙනත් පත්වීම් සිදුකිරීමෙන් වැළකී සිටින ලෙස සංක‍්‍රාන්ති ආණ්ඩුවේ අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියෙමි. ඉන්පසුව, විධායක පත්වීම් සිදුකිරීමේ වගකීම එකී මණ්ඩල වෙත පවරා අදාල ආයතනවල කාර්යසාධනය පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩල වගවිය යුතු තත්වයන්ට ගෙන ආ යුතු බව මම කියා සිටියෙමි.  

කෙසේවුවත්, මා ඉදිරිපත් කළ ඉහත විසඳුම සපලවීම කරුණු දෙකක් මත රඳා පවතී.  එකක් අධ්‍යක්ෂ මණ්ඩලවලට පත්කරනු ලබන පුද්ගලයන්ගේ වෘත්තීය ගුණාත්මකභාවය වන අතර දෙවැන්න එම මණ්ඩල වගවන තත්ත්වයේ තබාගැනීමට පවතින හැකියාවයි.  1950 දශකයේ අග භාගයේ සිට රාජ්‍ය ව්‍යවසාය ආර්ථිකය තුළ මහා පරිමාණයෙන් ව්‍යාප්ත වීම ආරම්භ විය. එදා පටන් අද වන තුරු පැවතුණු සෑම රජයක්ම කළේ ඉහත කී ආයතනවල ඉහළ තනතුරු සිය ඥාතීන්ට සහ දේශපාලන හිතවතුන්ට පරිදාන ලෙස පිරිනැමීමයි. එලෙසින් ඔවුන් වගවීමක් නොමැති කොට්ඨාසයක් බවට පත්වීමයි.  

තෙමසෙක් විසඳුම

පෞද්ගලික අංශය විසින් ධාවිත ආර්ථික සංවර්ධනයක් පවතින රටක ප‍්‍රතිරූපය තිබුණ ද සිංගප්පූරුවේ ව්‍යාපාරවලින් අතිවිශාල ප‍්‍රමාණයක සැබෑ අයිතිය එරට රජය සතුව පවතී.  උදාහරණයක් ලෙස, ලෝකයේ හොඳම ගුවන් සමාගම් අතරින් එකක් වන සිංගප්පූරු ගුවන් සමාගමේ අයිතියෙන් සියයට 56.26ක් රජය සතුය. සිංග්ටෙල් නමින් හැඳින්වෙන සිංගප්පූරු විදුලි සංදේශ සමාගමේ අයිතියෙන් සියයට 52ක් ද එරට අභ්‍යන්තර ප‍්‍රවාහන කටයුතුවලින් වැඩි කොටසක් හසුරුවන MRT ලෙසින් සංක්ෂිප්ත සමාගමේ කොටස්වලින් සියයට 54ක් ද රජය සතුය. කෙසේවුවත්, මේ සමාගම්වල අයිතිය තබාගැනීම හෝ පාලනය කිරීම රජය විසින් ඍජුව සිදුනොකරයි. ‘තෙමසෙක් හෝල්ඩින්ස්’ නමින් හැඳින්වෙන ‘ස්වෛරී සම්පත් අරමුදලක්  (Sovereign Wealth Fund)  හරහා මේ කටයුතු සිදුකෙරේ.  

ශ‍්‍රී ලංකාවේ රජයට හිමි, අකාර්යක්ෂමව පාලනය කෙරෙන වාණිජ ආයතනවල ගැටලූවට විසඳුම් සොයන අයකු සිංගප්පූරු ක‍්‍රමය දෙස බැලීමේ වරදක් නොමැත. වරදක් වන්නේ, නිසි සොයාබැලීමකින් තොරව අතුරලියේ රතන හිමියන්ගේ පිවිතුරු හෙටක්  සංවිධානයේ ආකල්ප පත‍්‍රිකාවෙන් උපුටාගත් අදහසක් මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප‍්‍රකාශනයට ඇතුළු කිරීමයි.

වාණිජ ව්‍යාපාරයන්යැ’යි සැලකිය හැකි (ජනතාවට නිවාස සැපයීම සහ ජනතා සුභසාධනය වැනි කටයුතු අරමුණු කොටගත් ව්‍යවසායයන් හැර) සහ සාමාන්‍ය නියාමන අධීක්ෂණයට යටත් වන රජයේ සමහර ඒකක තෙමසෙක් සංවිධානයට හිමිය.  උදාහරණයක් ලෙස, සිංගප්පූරු රජය විසින් දුරකතන සේවා මෙහෙයුම් සමාගමක් වෙත පනවන ලද විශාලතම දඩය පසුගිය වසරේ තෙමසෙක් ආයතනය සතු සිංග්ටෙල් සමාගම වෙත පනවන ලදි. මෙකී ව්‍යාපාර සිය කටයුතු පිළිබඳව වාණිජ තීරණයන් ගන්නා අතර ඒවායේ සේවා කිසිවිටෙක පිරිවැයට වඩා අඩු මිලකට සපයනු නොලැබේ.  

හිමිකරු වන තෙමසෙක් හෝල්ඩින්ස් ආයතනය වෙනුවෙන් ප‍්‍රමාණවත් ලාභ ඉපදවීමට සහ සමාගම් කාර්යක්ෂම අයුරින් මෙහෙයවීමට පමණක් කැපවුණු වෘත්තිකයෝ ඒවායේ අධ්‍යක්ෂ මණ්ඩලවලට පත්කෙරෙති. ඔවුන්ගේ තනතුරු රඳා පවතිනුයේ තනතුරු සඳහා සකස්කර ඇති කාර්යසාධන දර්ශකවලින් මැනෙන සාර්ථකත්වය මතය. සේවයට තෝරාගන්නා උපමානයන් වන්නේ ඔවුන්ගේ බලයේ සිටින පක්ෂයට ලබාදුන් සහයෝගය හෝ කාගේ ඥාතිකමක් ඇති ද හෝ කුමන පාසලෙහි උගත්තේ ද වැනි කරුණු නොවේ.  

තෙමසෙක් ආයතනය සිය අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සඳහා කාර්යසාධන දර්ශක සකස්කර ඇත්තේ කෙසේදැයි කෙනෙක් විමසනු ඇත. වසරක් පාසාම නොවැරදී ලාභ ඉහළ නැංවීම කිසිවකුට කළහැක්කක් නොවේ. විශේෂයෙන්ම තරඟකාරී වෙළඳපලක මෙය කළ නොහැක්කකි. සමස්ත ලෝක ආර්ථිකයේම නැගීම් හා බැසීම් ඇතිවීම සාමාන්‍ය කරුණක් වන අතර විශේෂයෙන්ම සිංගප්පූරුව වැනි අතිශයින් ගෝලීයකරණය වූ ආර්ථිකයක් තුළ ආර්ථික උච්චාවචන ලාභ ඉපදවීම මත අනිවාර්යයෙන්ම බලපෑම් ඇති කරයි.  

මෙය විසඳා ඇත්තේ සමාගම් කොටස් වෙළඳපලට ඇතුළත් කිරීමෙනි. සිංගප්පූරු ගුවන් සමාගම වැනි තරඟකාරිත්වයට මුහුණ දෙන සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ කාර්යසාධනය මනිනු ලබන්නේ සමාගමේ කොටස් මිල ඇතුළු මිනුම්දඬු මගිනි. තම අයිතියේ පවතින සමාගම ප‍්‍රමාණවත් තරම් ආදායම් උපදවන්නේ නැතැයි හෝල්ඩින් සමාගමට වැටහී ගියහොත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඉවත්කිරීමට මෙන්ම තමන් සතු කොටස් විකුණා දැමීමට ද එයට අයිතිය තිබේ.  

තෙමසෙක් හෝල්ඩින් ආයතනයේ අධ්‍යක්ෂවරුන්ගේ කාර්යසාධනය මනිනු ලබන්නේ කෙසේ ද යන ප‍්‍රශ්නය මීළඟට පැනනගී. රජයට අයත් එක් එක් සමාගමේ කොටස්වලින් කවර ප‍්‍රතිශතයක් තෙමසෙක් හෝල්ඩින් සතුව පවත්වාගන්නේදැයි යන අවසාන තීරණය ගනු ලබන්නේ මෙම අධ්‍යක්ෂවරුන් විසිනි. සිංගප්පූරු සමාගම්වල හැරුණුකොට ස්ටෑන්ඩර්ඞ් ඇන්ඞ් චාටර්ඞ් (සියයට 18), භාරතී එයාර් ටෙල් (සියයට 3) වැනි සමාගම්වල කොටස් ද තෙමසෙක් සතුව පවතී.  ආයෝජන යෙදවීම සම්බන්ධයෙන් සහ සමාගම් අධ්‍යක්ෂවරුන් පත්කිරීම සහ ඔවුන් අධීක්ෂණය කිරීම සම්බන්ධයෙන් තෙමසෙක් අධ්‍යක්ෂවරුන්ගේ වගවීම කුමක් ද?
තෙමසෙක් යටතේ පවතින සමාගම්වලට සම්බන්ධව තබා ඇති මිනුම් මට්ටම්වලට (benchmarks)  අනුකූලව තෙමසෙක්හි කාර්යසාධනය විමසා බලනු ලබයි.  කෙසේවෙතත්,  පුද්ගල හැඟීම්වලින් මුළුමනින්ම වියුක්ත වූ උපමානයන් තබාගැනීම කළහැක්කක් නොවේ. සමාගමක් කළමනාකරණය කරන විට සමහර වර්ෂවලදී එය ලාභ නොඋපදවයි. කෙනෙකු ආයෝජනයක් සිදුකළ අවස්ථාවකදී ද තත්ත්වය මෙසේම වේ.  දුෂ්කර කාලයන්හිදී  ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ස්වෛරී සම්පත් අරමුදල් දැඩි පීඩනයට පත්වේ. 

මෙවැනි අවස්ථාවන් උදාවීම සම්බන්ධයෙන් ද අවසාන ආරක්ෂිත පියවර තිබේ. 2002 වර්ෂයේ පටන් තෙමසෙක්හි ප‍්‍රධාන විධායක ධුරය දරන්නේ හෝ චිං ය. ඇය සිංගප්පූරුවේ වර්තමාන අගමැති ලී සියන් ලූන්ග්ගේ බිරිඳ වන අතර රටේ ප‍්‍රධානතම පවුලේ, එනම් ලී කුවාන් යූගේ පවුලේ සාමාජිකාවකි. තෙමසෙක් පාලනය කරනු ලබන්නේ ශක්තිමත් මෙන්ම අවශ්‍ය බලය පවරන ලද අධ්‍යක්ෂ මණ්ඩලයක් විසිනි.  එමෙන්ම ලෝක බැංකුවේ හිටපු සභාපතිවරයා ඇතුළු සත්‍ය වශයෙන්ම ස්වාධීන අධ්‍යක්ෂවරු රැසක්ම එහි වෙති.
ශ‍්‍රී ලංකාවේ මේ ආකෘතිය ක‍්‍රියාත්මක කළහැකි ද? මෙහිදී ඇසිය යුතු ප‍්‍රශ්න කිහිපයකි.  

තමන් සන්තකයේ පවතින වාණිජ ආයතනවලින් බහුතරයක් කොටස් වෙළඳපලේ ලියාපදිංචි කිරීමට රජය සූදානම් ද? අවශ්‍ය පරිදි කොටස් වෙළඳපල තුළ සමාගම් කොටස් මුදාහැරීමට හෝ මිලදීගැනීමට ස්වෛරී සම්පත් අරමුදලකට ඉඩහරින්නට රජය සූදානම් ද? මේ ප‍්‍රශ්න දෙකට ඔව් යැයි පිළිතුරු නොලැබෙන්නේ නම් සමාගම් සඳහා කාර්යසාධන මට්ටම් සකස්කිරීම කළ නොහැකිය.  

ස්වෛරී සම්පත් අරමුදල සතුව පවතින සමාගම්වලට සහ ඔවුන්ගේ තරගකාරී අනෙකුත් සමාගම්වලට එක සේ සලකන ස්වාධීන නියාමන අධිකාරීන් ස්ථාපනය කිරීමට රජය සූදානම් ද?  සිය භාණ්ඩවලට මිල නියමකිරීමේ සහ මිලදී ගැනීම් කිරීමේදී ස්වාධීන තීරණ ගැනීමට ස්වෛරී සම්පත් අරමුදල සතු සමාගම්වලට ඉඩදීමට රජය සූදානම් ද?  දේශපාලන හේතූන් මත සහනාධාර දීමට අවශ්‍ය නම් ඒ සඳහා පොදු අරමුදල්වලින් ගෙවීම් කිරීමට ආණ්ඩුව සුදානම්ද?

තෙමසෙක් ආයතනය 1974 වර්ෂයේ සිටම පවතින්නකි. මෙහි සාමාජිකත්වය දැරීම පිණිස විශ‍්‍රාමලත් විශිෂ්ට ගණයේ රාජ්‍ය නිලධාරීහු රැසක් සිංගප්පූරුවේ සිටිති. මනා පුහුණුවක් ලත් හා කාර්යක්ෂකම රාජ්‍ය නිලධාරීන් සිංගප්පූරුවේ සිටින බව ප‍්‍රසිද්ධ කරුණකි.  ශ‍්‍රී ලංකාව ස්වෛරී සම්පත් අරමුදලක් ස්ථාපනය කරන්නේ නම් ඒ සඳහා කාර්යක්ෂම සහ දූෂණයට නතු නොවන නිලධාරීන් සොයාගන්නේ කොතැනින් ද?  ඔවුන් අවංක සහ කාර්යක්ෂම යයි මොහොතකට සිතමු; එහෙත් ඇතිවන පළමුවන ආර්ථික අවපාතයට හෝ ඊළඟ පාලන පක්ෂ මාරුවට පසු එම ස්ථානයේම රැුඳී සිටීමට ඔවුනට ඉඩ ලැබේ ද?

සාමාන්‍ය රජයේ සේවය හොඳින් ක‍්‍රියා නොකරන රටක තෙමසෙක් ක‍්‍රමය ක‍්‍රියාත්මක කළ නොහැක. අවශ්‍ය පාරිසරික තත්ත්වයන් නොමැතිව මෙම මොඩලය කිසියම් රටක ක‍්‍රියාත්මක කරන්නට තැත්කිරීමෙන් සිදුවන දේ භූතානයේ බලාගත හැක. Druk Holding නමින් භූතානය විසින් පිහිටුවන ලද ආයතනය අසාර්ථක බව දැන් ඔප්පුවී තිබේ.  
පුද්ගලිකකරණය කිරීම හැර අන් විකල්පයක් නැත.
ශ‍්‍රී ලාංකික දේශපාලනය තුල කිඳාබැස ඇති අනුග‍්‍රහාත්මක සංස්කෘතිය සලකා බලන විට රජයට අයත් වාණිජ ආයතන මංකොල්ලකෑමෙන් වළකාගැනීම සඳහා එකිනෙකට සමගාමී මාර්ග දෙකක ක‍්‍රියාකිරීම අවශ්‍ය වේ.  

හදිසි කරුණක් සේ සලකා මුලින්ම කළයුත්ත නම් ප‍්‍රශ්නය ප‍්‍රමාණාත්මකව කුඩා කිරීමයි. මෙය කළහැක්කේ ජනතාවගේ මුදල් නාස්තිකර දමන රාක්ෂසයන් පෞද්ගලිකකරණය කිරීමෙනි.  උදාහරණයක් ලෙස, ගුවන් සමාගම් පවත්වාගෙන යෑමේ කිසිදු අවශ්‍යතාවක් ශ‍්‍රී ලංකාවට නැත. ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම අර්ධ වශයෙන් පෞද්ගලිකකරණය කර එමිරේට්ස් සමාගම විසින් පාලනය කරන ලද අවස්ථාවේදී එය ලාභ ලබන ආයතනයක් වූ අතර ඉන් රාජ්‍ය භාණ්ඩාගාරයට ආදායම් ද ලැබිණ. එය නැවත ජනතාකරණය කළ පසුව එය සහ මිහින් එයා සමාගම රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් විශාල වශයෙන්ම කා දමන ආයතන බවට පත්විය.  
දෙවනුව කළයුත්තේ තෙමසෙක් වැනි විසඳුමක් සඳහා අවශ්‍ය පරිසරය රට තුළ සකස්කිරීමයි.  මේ සඳහා රජයට අයත් වාණිජ ආයතන ක‍්‍රමයෙන් කොටස් වෙළඳපලට ඇතුළත් කළයුතුය. එමෙන්ම නියාමන යාන්ත‍්‍රණය ශක්තිමත් කිරීම වචනයෙන් පමණක් නොව ක‍්‍රියාවෙන් ද කළයුතුය.  
මෙම තත්ත්වයන් ඇතිකිරීමෙන් තොරව අපට නොගැළපෙන මොඩලයක් පිටතින් ගෙනැවිත් පැලකරන්නට උත්සාහ කළහොත් සිදුවනු ඇත්තේ පවතින අවුල තවත් උග‍්‍රවනු පමණකි.  

අතරමැදි ක‍්‍රියාමාර්ගයක් ලෙස, සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලවලට පත්වීම් සිදුකිරීමේ ක‍්‍රමවේදය වෙනස් කළහැක. තම තමන්ගේ පාසල් කාලයේ මිතුරු ජාලය (ගජ මිතුරු ජාලය) මත නොයැපෙමින් ඒ සඳහා ඉල්ලූම්පත් කැඳවිය හැක. තෝරාගන්නා පුද්ගලයන් සමග කාර්යසාධන ගිවිසුම්වලට එළැඹ වගවීමක් ඇති සංස්කෘතියක් නිර්මාණය කිරීමේ කටයුත්ත ආරම්භ කළහැකිය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;